Skip to content

පටුනට යන්න

සැබෑ නමස්කාරය වෙනුවෙන් උද්‍යෝගිමත් වන්න!

සැබෑ නමස්කාරය වෙනුවෙන් උද්‍යෝගිමත් වන්න!

සැබෑ නමස්කාරය වෙනුවෙන් උද්‍යෝගිමත් වන්න!

“ඔබගේ ගෘහය ගැන තිබෙන උද්‍යෝගය [ළැදියාව] මාව දවන්නේය.”—යොහ. 2:17.

1, 2. ක්‍රිස්තු වර්ෂ 30දී යේසුස් දේවමාලිගාවට පැමිණ කළේ කුමක්ද? ඔහු එසේ කළේ ඇයි?

ක්‍රිස්තු වර්ෂ 30 පාස්කු සමයේදී සිදු වූ මේ සිද්ධිය සිතින් මවාගන්න. යේසුස් යෙරුසලමේ දේවමාලිගාවට යමින් සිටිනවා. ඔහු අන්‍යජාතිකයන්ගේ මළුවට ඇතුල් වෙද්දී ‘ගවයන්, බැටළුවන් හා පරෙවියන් විකුණමින් සිටි අයවත් මුදල් තැරැව්කරුවන්වත්’ දකිනවා. ඉන්පසු ඔහු ලණුවලින් කසයක් සාදා බැටළුවන් හා ගවයන් එළවා දැමූ අතර මුදල් මාරු කරන්නන්ගේ කාසි විසුරුවා ඔවුන්ගේ මේසද පෙරළා දැමුවා. ඒ වගේම ඔහු පරෙවියන් විකුණමින් සිටි අයට ඒ දේවල් එතැනින් අරගෙන යන්න කියාද අණ කෙරුවා.—යොහ. 2:13-16.

2 යේසුස් කළ ඒ දෙයින් හෙළි වුණේ ඔහුට දෙවිගේ ගෘහය ගැන මොන තරම් සැලකිල්ලක් තිබුණාද යන්නයි. “මාගේ පියාණන්ගේ ගෘහය වෙළඳපොළක් කිරීම නවත්වන්න” යන ප්‍රකාශයෙන් ඒ බව පැහැදිලියි. ඒ වගේම ඒ සිද්ධිය දුටු යේසුස්ගේ අනුගාමිකයන්ට මතක් වුණේ ඊට ශතවර්ෂ ගණනාවකට පෙර දාවිත් රචනා කළ මේ වචනයි. “ඔබේ ගෘහය කෙරෙහි මට තිබෙන ළැදියාව මොන තරම්ද! එය මා තුළ ඇවිළෙන ගින්නක් මෙනි.”—යොහ. 2:16, 17; ගීතා 69:9, නව ලොව පරිවර්තනය, NW.

3. (අ) උද්‍යෝගයෙන් කටයුතු කරනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) අපි අපගෙන්ම අසාගත යුතු ප්‍රශ්නය කුමක්ද?

3 යේසුස් එසේ කළේ දෙවිගේ ගෘහය ගැන ඔහුට තිබූ ළැදියාව හෝ උද්‍යෝගය නිසයි. උද්‍යෝගයෙන් කටයුතු කරනවා කීමෙන් අදහස් කරන්නේ යම් දෙයක් කෙරෙහි ඉතා උනන්දුවෙන් හා ඉමහත් ඇල්මක් ඇතුව සිටීමයි. මෙම 21වෙනි සියවසේ ජීවත් වන මිලියන හතකට අධික ක්‍රිස්තියානීන්ද දෙවිගේ ගෘහය වෙනුවෙන් එවැනිම උද්‍යෝගයකින් කටයුතු කරනවා. නමුත් අපි එක් එක් කෙනා අපගෙන්ම මෙසේ අසා ගනිමු. ‘දෙවිගේ ගෘහය කෙරෙහි මට තිබෙන උද්‍යෝගය හා ළැදියාව තව තවත් වැඩි කරගත හැක්කේ කෙසේද?’ ඊට පිළිතුරු දැනගැනීමට පෙර, අද තිබෙන දෙවිගේ ගෘහය කුමක්ද කියා අපි සලකා බලමු. එදා දෙවිගේ ගෘහය කෙරෙහි ඉමහත් උද්‍යෝගයකින් හා ළැදියාවකින් කටයුතු කළ විශ්වාසවන්ත පුද්ගලයන් කිහිපදෙනෙක් ගැන ඉන්පසුව සලකා බලමු. දේවවචනයේ ඔවුන් ගැන වාර්තා කර තිබෙන්නේ “අපේ ඉගෙනීම” සඳහායි. ඒවා අධ්‍යයනය කිරීමෙන් අප තුළත් ඉමහත් උද්‍යෝගයක් ඇති කරගත හැකියි.—රෝම 15:4.

දෙවිගේ ගෘහය කුමක්ද?

4. සලමොන් ඉදි කළ දේවමාලිගාව භාවිත කළේ කුමක් සඳහාද?

4 පුරාණ ඊශ්‍රායෙලයේ දෙවිගේ ගෘහය වූයේ යෙරුසලමේ තිබූ දේවමාලිගාවයි. නමුත් යෙහෝවා දෙවි එහි වාසය කළේ නැහැ. ඒ බව දෙවිගේ මෙම වචනවලින් පැහැදිලි වෙනවා. “ස්වර්ගය මාගේ සිංහාසනයය. පොළොව මාගේ පා පුටුවය. එසේනම්, ඔබ මට ගෘහයක් සාදන්නේ කොතැනද? මට වාසස්ථානයක් සූදානම් කළ හැකි ස්ථානයක් තිබේද?” (යෙසා. 66:1NW) එසේවුණත් සලමොන්ගේ පාලන කාලයේ ඉදි කළ දේවමාලිගාව සැබෑ නමස්කාරයේ මධ්‍යස්ථානය ලෙස භාවිත කළ අතර එහිදී දෙවිට යාච්ඤාද ඔප්පු කළා.—1 රාජා. 8:27-30.

5. අද දින සංකේතාත්මක දේවමාලිගාව කුමක්ද?

5 අද දින දෙවිගේ ගෘහය, යෙරුසලමේ හෝ වෙනත් තැනක පිහිටි ගොඩනැඟිල්ලක් නොවෙයි. අපි සියලුදෙනාම දෙවිට නමස්කාර කිරීමට එක් වන්නේ සංකේතාත්මක දේවමාලිගාවකයි. එය නම් යේසුස්ගේ ජීවිත පූජාවේ පදනම මත දෙවිට සැබෑ නමස්කාරය පිරිනැමීම සඳහා දෙවි ඇති කර තිබෙන සැලැස්මයි.—යෙසා. 60:4, 8, 13; ක්‍රියා 17:24; හෙබ්‍රෙ. 8:5; 9:24.

6. සැබෑ නමස්කාරය වෙනුවෙන් කැපීපෙනෙන උද්‍යෝගයකින් කටයුතු කළ යූදා රජවරුන් කවුද?

6 එදා දෙවිගේ ගෘහය ගැන උද්‍යෝගයෙන් කටයුතු කළ කිහිපදෙනෙක් ගැන දැන් අපි සලකා බලමු. ක්‍රිස්තු පූර්ව 997දී ඊශ්‍රායෙල් රාජ්‍යය උතුරු හා දකුණු රාජ්‍යයන් ලෙස කොටස් දෙකකට බෙදුණා. ඉන්පසු දකුණු රාජ්‍යය වන යූදා පාලනය කළ රජවරුන් 19දෙනාගෙන් හතරදෙනෙක් සැබෑ නමස්කාරය වෙනුවෙන් කැපීපෙනෙන උද්‍යෝගයකින් හා ළැදිකමකින් කටයුතු කළා. ඔවුන් නම් ආසා, යෙහෝෂපාට්, හෙසකියා සහ යොෂියායි. අපට ඔවුන්ගෙන් ඉගෙනගත හැක්කේ මොනවාද?

මුළු හදවතින්ම කළ සේවයට ලැබුණු ආශීර්වාද

7, 8. (අ) දෙවි කැමති වන්නේ අපි ඔහුට කුමනාකාරයෙන් සේවය කරනවාටද? (ආ) අපි වැළකිය යුත්තේ ආසා රජු කළ කුමන දෙයින්ද?

7 ආසා රජුගේ කාලයේදී යෙහෝවා දෙවි තම සෙනඟට මඟ පෙන්වන්න අනාගතවක්තෘවරුන්ව යොදාගත්තා. ඉන් එක්කෙනෙක් වන්නේ ඕදෙද්ගේ පුත් අෂරියායි. ආසා රජ ඔහුට ඇහුම්කන් දුන්නා. (2 ලේකම් 15:1-8 කියවන්න.) සැබෑ නමස්කාරය යළි පිහිටුවීම සඳහා ආසා රජ වැඩපිළිවෙළක් දියත් කළා. එවිට ඔහු යූදා රාජ්‍යයේ සෙනඟවත් උතුරු රාජ්‍යය වන ඊශ්‍රායෙල් රාජ්‍යයෙන් පැමිණි බොහෝදෙනෙකුවත් විශාල රැස්වීමක් සඳහා රැස් කළා. ඒ අවස්ථාවේදී මේ සියලුදෙනාම එක්සත් වුණා. එමෙන්ම ඔවුන්, දෙවිට විශ්වාසවන්තව සේවය කරනවා කියා පොරොන්දු වුණා. ඒ ගැන අපට කියවීමට තිබෙන්නේ මෙසේයි. “ඔවුහු ඉමහත් ප්‍රීතියකින් හා මහත් හඬකින් යුතුව හොරණෑ සහ නළා හඬ මැද තමන් එසේ කරන බවට යෙහෝවා දෙවිට පොරොන්දු වූහ. යූදාහි සියලු වැසියන් තමන් දුන් පොරොන්දුව මුළු හදවතින්ම ඉටු කිරීමට අදිටන් කරගත් නිසා ඔවුන්ට ඉමහත් ප්‍රීතියක් දැනිණ. ඔවුහු මහත් ඕනෑකමින් දෙවිගේ මඟ පෙන්වීම් පැතුවෝය. ඒ නිසා දෙවි ඔවුන්ව පිළිගෙන ඔවුන්ට උපකාර කළෝය. එමෙන්ම දේශය පුරා සාමය දිගටම පැවතීමට යෙහෝවා දෙවි ඉඩහැරියේය.” (2 ලේක. 15:9-15NW) අපත් දෙවිට මුළු හදවතින්ම සේවය කරන විට ඔහු අපටත් ආශීර්වාද කරනවා නිසැකයි.—මාක් 12:30.

8 ආසා රජ, දෙවිගේ අනාගතවක්තෘවරයාට මුලින් ඇහුම්කන් දුන්නත් පසුව හනානි නමැති අනාගතවක්තෘවරයාගෙන් ලැබුණු යම් නිවැරදි කිරීමක් ගැන උදහස් වුණා. (2 ලේක. 16:7-10) ඒ නිසා අපත් මෙසේ කල්පනා කිරීම සුදුසුයි. යෙහෝවා දෙවි, ක්‍රිස්තියානි වැඩිමහල්ලන් තුළින් ලබා දෙන උපදෙස් හා මඟ පෙන්වීම්වලට අපි ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? අපි ඒවා ගැන අමනාප වෙනවා හෝ උදහස් වෙනවා වෙනුවට ඒවා ඉක්මනින් අදාළ කරගනිමු.

9. යෙහෝෂපාට් රජ හා ඔහුගේ යටත් වැසියන් මුහුණ දුන්නේ කුමකටද? එමෙන්ම ඔවුන් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

9 දැන් අපි ක්‍රි.පූ දහවෙනි සියවසේ යූදාහි රජ කළ යෙහෝෂපාට් රජ ගැන සලකා බලමු. ඔහු හා ඔහුගේ ජනයාගේ ජීවිතවලට අම්මොන්වරුන්ගෙන් හා මෝවබ්වරුන්ගෙන් මෙන්ම සේයිර් කඳුකරයේ වැසියන්ගෙන් දැඩි තර්ජනයක් එල්ල වුණා. ඒ අවස්ථාවේදී යෙහෝෂපාට් රජ බියට පත් වී සිටියත් ඔහු යෙරුසලමේ සිටි ස්ත්‍රීන්, පුරුෂයන් හා දරුවන් සමඟ දෙවිගේ ගෘහයට රැස් වී දෙවිට කන්නලව් කළා. (2 ලේකම් 20:3-6 කියවන්න.) ඒ අවස්ථාවේදී ඔහු අයැද සිටියේ මෙසේයි. “අපේ දෙවියනි, ඔබ අප වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නේ නැද්ද? අපට විරුද්ධව පැමිණෙන මෙම විශාල සමූහයට එරෙහිව සිටින්න අපිට කිසිම ශක්තියක් නැහැ. කළ යුත්තේ කුමක්ද කියාවත් අප දන්නේ නැහැ. ඒ නිසා අප උපකාර පතා බලා සිටින්නේ ඔබ දෙසයි.” (2 ලේක. 20:12, 13NW) ඔහු කළ එම ඉල්ලීමෙන් පසුව යෙහෝවා දෙවිගේ බලය, ලෙවීවරයෙකු වූ යහෂියෙල් තුළ ක්‍රියාත්මක වෙන්න පටන්ගත් අතර ඔහු ජනයාට සහනය ගෙන දෙන වචන පැවසුවා. ඒ තුළින් ජනයා තුළ ස්ථිර බලාපොරොත්තුවක් ඇති වුණා.2 ලේකම් 20:14-17 කියවන්න.

10. (අ) එදා යෙහෝෂපාට් රජට හා ජනයාට දෙවි මඟ පෙන්වීම් ලබා දුන්නේ කෙසේද? (ආ) අද දින දෙවි ලබා දෙන මඟ පෙන්වීම් අප අගය කරන බව පෙන්විය හැක්කේ කෙසේද?

10 එදා ඔවුන් කළ යුතු දේ ගැන දෙවි මඟ පෙන්වීම් ලබා දුන්නේ යහෂියෙල් තුළිනුයි. අද දිනත් දෙවි අපට මඟ පෙන්වීම් ලබා දෙන්නේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” තුළිනුයි. එම දාසයා ලබා දෙන මඟ පෙන්වීම් ක්‍රියාත්මක කිරීමට පෙරමුණ ගන්නේ ක්‍රිස්තියානි වැඩිමහල්ලනුයි. ඒ වගේම අපව හොඳින් රැකබලා ගැනීමටද ඔවුන් බොහෝ වෙහෙසක් දරනවා. ඒ නිසා අපි ඔවුන්ට ගෞරව කරමු. ඒ වගේම ඔවුන් සමඟ සහයෝගයෙන් වැඩ කරමු.—මතෙ. 24:45; 1 තෙස. 5:12, 13.

11, 12. යෙහෝෂපාට් රජ හා ජනයා මුහුණ දුන් තත්වයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

11 අප ප්‍රශ්න ගැටලුවලින් මිරිකී, කිසිවක් කරකියාගත නොහැකි තත්වයක සිටින විට කළ යුත්තේ කුමක්ද? අපත් යෙහෝෂපාට් රජ හා යූදාහි වැසියන් මෙන් යෙහෝවා දෙවි කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබා යාච්ඤාවෙන් ඔහුගේ උපකාරය පතමු. (හිතෝ. 3:5, 6; ෆිලි. 4:6, 7) අපි පෞද්ගලිකව ගැටලු අද්දකින විට අප තනි වෙලා කියා හැඟුණත් ඒ ගැන දෙවිට කන්නලව් කරමු. අපගේ සෙසු සහෝදරයන්ද ඔවුන්ගේ ගැටලුවලදී දෙවිට කන්නලව් කරන නිසා “ලෝකයේ සිටින [අපේ] මුළු සහෝදර සංගමය” සමඟ අප එක්සත් වෙන බව පැවසිය හැකියි. (1 පේතෘ. 5:9) එදා යෙහෝෂපාට් රජ හා ජනයා, දෙවිගෙන් මඟ පෙන්වීම් ලබාගැනීමට එක්රැස් වුණා හා සමානව අපත් සෙසු සහෝදර සහෝදරියන් සමඟ නිතිපතා රැස්වීම්වලට සහභාගි වීම අතපසු නොකරමු.

12 යෙහෝෂපාට් රජ හා ජනයා, යහෂියෙල් මගින් දෙවි ලබා දුන් මඟ පෙන්වීම්වලට කීකරු වූ නිසා ඔවුන්ට සතුරන්ව පරාජය කරන්න හැකි වුණා. ඉන්පසුව ඔවුන් ‘වීණා හා කුඩා වීණා වාදනය කරමින්, හොරණෑ පිඹිමින් යෙහෝවා දෙවිගේ ගෘහයට ගියේ මහත් ප්‍රීතියකිනුයි.’ (2 ලේක. 20:27, 28NW) අපත් එලෙසම යෙහෝවා දෙවි දෙන මඟ පෙන්වීම්වලට ගෞරව කරමින් ඔහුට ප්‍රශංසා කිරීමට හවුල් වෙමු.

අප රැස් වන ස්ථාන හොඳ තත්වයෙන් තබාගනිමු

13. හෙසකියා, රජ බවට පත් වීමත් සමඟම කළේ කුමක්ද?

13 දැන් අපි හෙසකියා රජ ගැන සලකා බලමු. ඔහු රජ වූ මුල් මාසයේදීම දේවමාලිගාව නැවත විවෘත කරමින් එහි අලුත්වැඩියා කටයුතු ආරම්භ කළා. ඔහු පූජකයන්ව හා ලෙවීවරුන්ව ඒ සඳහා පත් කළ අතර දින 16කින් එහි වැඩ නිම කළා. ඔහුට සැබෑ නමස්කාරය ගැන තිබූ උද්‍යෝගය හා ළැදිකම ඉන් පැහැදිලියි. (2 ලේකම් 29:16-18 කියවන්න.) අපත් දෙවිට නමස්කාර කිරීමට යොදාගන්නා ස්ථාන හොඳින් අලුත්වැඩියා කර, හොඳ තත්වයෙන් පවත්වාගැනීමෙන් සැබෑ නමස්කාරය ගැන අපට තිබෙන උද්‍යෝගය හා ළැදිකම පෙන්වමු. එසේ කිරීමට සහෝදර සහෝදරියන් දරන වෙහෙස දැක ඇති බොහෝදෙනා ඒ ගැන පුදුමයට පත් වී ඇති අතර එමගින් දෙවිට ප්‍රශංසාව ලැබී තිබෙනවා. එවන් අද්දැකීම් ඔබත් අසා නැද්ද?

14, 15. වර්තමානයේ යෙහෝවා දෙවිට මහත් ප්‍රශංසාවක් ගෙන දී තිබෙන්නේ කුමකින්ද? ඊට උදාහරණ දෙන්න.

14 උතුරු එංගලන්තයේ එක් රාජ්‍ය ශාලාවක විශාල වෙනස්කම් කිහිපයක් කිරීමට තිබුණා. අපගේ සහෝදරයන් එම කාර්යයෙහි නියැලීම ගැන ඊට යාබද නිවසේ අයිතිකරු ඔහුගේ විරුද්ධත්වය පළ කළා. නමුත් සහෝදරයන් ඊට ප්‍රතිචාරය දැක්වූයේ ඉතාම කාරුණික ලෙසයි. මේ ඉඩම් දෙක වෙන් කරන තාප්පය අබලන් වී ඇති බව තේරුම්ගත් ඔවුන් එය අලුත්වැඩියා කිරීමට ඉදිරිපත් වුණා. ඒ සඳහා ඔවුන් ඒ තැනැත්තාගෙන් කිසිම මුදලක් අය කළේ නැහැ. ඔවුන් එම තාප්පය සම්පූර්ණයෙන්ම වගේ අලුත්වැඩියා කළා. අපගේ සහෝදරයන් කටයුතු කළ ආකාරය නිසා ඔහු වෙනස් වුණා. දැන් ඔහු එම රාජ්‍ය ශාලාවේ ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වෙනවා.

15 පූර්ණකාලීන සේවයේ යෙදෙන ජාත්‍යන්තර ස්වෙච්ඡා සේවකයන් ලොව පුරා රාජ්‍ය ශාලා, එක්රැස්වීම් ශාලා හා බෙතෙල් නිවාස ඉදි කිරීම් කටයුතුවල හවුල් වෙනවා. ඔවුන් සේවය කරන රටවල්වල සිටින සහෝදර සහෝදරියන්ද ඊට සහය වෙනවා. සෑම් නමැති සහෝදරයා ඉදි කිරීම් ක්ෂේත්‍රයේ යම් අංශවල නිපුණත්වයක් ඇති සහෝදරයෙක්. ඔහු තම බිරිඳ වන රූත් සමඟ යුරෝපය සහ අප්‍රිකාවේ රටවල් ගණනාවක විවිධ ඉදි කිරීම් ව්‍යාපෘතිවල හවුල් වී තිබෙනවා. ඔවුන් කොහේ සිටියත් ඒ අදාළ ප්‍රදේශයේ සභාව සමඟ දේවසේවයේ හවුල් වීමෙන්ද විශාල ප්‍රීතියක් ලබනවා. තමන් ජාත්‍යාන්තර ඉදි කිරීම්වල හවුල් වීමට පෙලඹුණේ ඇයි කියා සෑම් විස්තර කරන්නේ මෙසේයි. “ඒකට ප්‍රධාන හේතුව වුණේ මෙහෙත් අනෙකුත් බෙතෙල් නිවෙස්වලත් සේවය කළ අයගෙන් ලැබුණු දිරිගැන්වීමයි. මට මේ විදිහට සේවය කරන්න අවශ්‍ය වුණේ මම ඒ අය තුළ දැක්ක පුදුමාකාර උද්‍යෝගය හා ප්‍රීතිය නිසයි.”

දෙවිගේ උපදෙස්වලට කීකරු වන්න

16, 17. දෙවිගේ සෙනඟ හවුල් වූ විශේෂ කාර්යය කුමක්ද? එමෙන්ම එහි ප්‍රතිඵලය කුමක්ද?

16 හෙසකියා රජ දේවමාලිගාව අලුත්වැඩියා කිරීමට අමතරව තවත් දෙයක් කළා. දෙවි අණ කර තිබූ පාස්කු උත්සවය පැවැත්වීමටද ඔහු කටයුතු යෙදුවා. (2 ලේකම් 30:1, 4, 5 කියවන්න.) එම උත්සවය පැවැත්වීමට සහභාගි වන්න කියා හෙසකියා රජ හා යෙරුසලමේ වැසියන්, උතුරු රාජ්‍ය ඇතුළු මුළු ජාතියටම ආරාධනා කළා. එම ආරාධනාව ඇතුළත් ලියුම් රැගත් පණිවිඩකරුවන් දේශය පුරා ගියා.—2 ලේක. 30:6-9.

17 පසුගිය අවුරුදු කිහිපය පුරා අපිත් එවැනිම විශේෂ කාර්යයක හවුල් වුණා. ඉතා සිත්ගන්නා සුළු ආරාධනා පත් සමඟින් යේසුස්ගේ මරණය සිහි කිරීමේ අවස්ථාවට සහභාගි වන්න කියා අපගේ ප්‍රදේශයේ සිටින ජනයාට අපි ආරාධනා කළා. (ලූක් 22:19, 20) අපට සේවා රැස්වීමෙන් ලැබුණු මඟ පෙන්වීම්වලට අනුව අප ඉතා උද්‍යෝගයෙන් එම කාර්යයෙහි හවුල් වුණා. ඊට යෙහෝවා දෙවි බොහෝ සෙයින් ආශීර්වාද කර තිබෙනවා. පසුගිය වසරේ 70,00,000ක් පමණ සාක්ෂිකරුවන් එම ආරාධනා පත් බෙදාහැරීමෙහි හවුල් වූ අතර යේසුස්ගේ මරණය සිහි කිරීමට 1,77,90,631ක් සහභාගි වුණා.

18. සැබෑ නමස්කාරය වෙනුවෙන් උද්‍යෝගයෙන් කටයුතු කිරීම එතරම්ම වැදගත් වන්නේ ඇයි?

18 හෙසකියා රජ ගැන බයිබලයේ මෙසේ පවසනවා. “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා කෙරෙහි [ඔහු] තම විශ්වාසය තැබුවේය. ඔහුට පෙර හා පසුව යූදා දේශය පාලනය කළ රජවරුන් අතරේ ඔහු හා සමාන රජ කෙනෙක් සිටියේ නැත. ඔහු යෙහෝවා දෙවිව අත් නොහැර දිගටම ඔහුට නමස්කාර කළේය. යෙහෝවා දෙවි, මෝසෙස් මාර්ගයෙන් දුන් ආඥා ඔහු දිගටම පිළිපැද්දේය.” (2 රාජා. 18:5, 6NW) අපත් සැබෑ නමස්කාරය කෙරෙහි උද්‍යෝගයෙන් හා ළැදිකමකින් කටයුතු කරමු. එවිට “යෙහෝවා දෙවිව අත් නොහැර දිගටම ඔහුට නමස්කාර” කිරීමටත් සදාකල් ජීවත් වීමේ අපේක්ෂාව ඇතුව සිටීමටත් අපට හැකියි.—ද්වි. 30:16NW.

මඟ පෙන්වීම්වලට නොපමාව කීකරු වන්න

19. යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වීම සඳහා සහෝදරයන් කරන්නේ කුමක්ද?

19 යොෂියා රජගේ පාලන කාලයේදීද පාස්කු උත්සවය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලුම සැලසුම් ඔහු යෙදුවා. (2 රාජා. 23:21-23; 2 ලේක. 35:1-19) වර්තමානයේදීත් දිස්ත්‍රික් සමුළු, චාරිකා එක්රැස්වීම්, විශේෂ එක්දින එක්රැස්වීම් හා යේසුස්ගේ මරණය සිහි කිරීම වැනි විශේෂ අවස්ථාවන් සඳහා කටයුතු සූදානම් කිරීමට දෙවිගේ සේවකයන් විශේෂ වෑයමක් දරනවා. සමහර රටවල සහෝදරයන්ගේ ජීවිතවලටතර්ජනයක් එල්ල වූ අවස්ථාවලදී පවා ඔවුන් යේසුස්ගේ මරණය සිහි කිරීමේ අවස්ථාවට පැමිණ තිබෙනවා. සභාවේ සෑම සාමාජිකයෙක් ගැනම සැලකිලිමත් වන වැඩිමහල්ලන්, වයස්ගතව හා අසනීපව සිටින අයටත් එම අවස්ථාවට සහභාගි වීමට උපකාර කරනවා.

20. (අ) යොෂියා රජගේ කාලයේදී සිදු වුණේ කුමක්ද? ඔහු ඊට දැක්වූ ප්‍රතිචාරය කුමක්ද? (ආ) ඉන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

20 යොෂියා රජගේ කාලයේ දේවමාලිගාව අලුත්වැඩියා කරද්දී “මෝසෙස් විසින් ලියන ලද යෙහෝවා දෙවිගේ නීතිය සඳහන් ලියවිල්ල” උත්තම පූජක හිල්කියාට සම්බ වුණා. ඔහු එය ලේකම් වූ ෂාපාන්ට භාර දුන් අතර ඔහු එය යොෂියා රජට ඇසෙන්න කියෙව්වා. (2 ලේකම් 34:14-18 කියවන්න.) එහි ප්‍රතිඵලය කුමක්ද? රජුට එය ඇසුණු වහාම ඉතා ශෝක වී ඔහු තම වස්ත්‍ර ඉරාගත්තා. පසුව, තමන් කළ යුතු දේ ගැන යෙහෝවා දෙවිගෙන් විමසීමට ඔහු පියවර ගත්තා. එවිට දෙවි, යූදා රාජ්‍යය පුරා පවත්වමින් තිබූ බොරු ආගමික චාරිත්‍ර ගැන අනාගතවක්තෘවරියක් වූ හුල්දා මගින් තම අප්‍රසාදය පළ කළා. ඒ වුණත් බොරු ආගමික චාරිත්‍ර පහකර දැමීමට යොෂියා රජ ගත් උත්සාහය නිසා ඔහුට දෙවිගේ අනුග්‍රහය හිමි වූ අතර යූදා රාජ්‍යය මත පැමිණීමට නියමිතව තිබූ විනාශයන් අද්දකින්න ඔහුට සිදු වුණේ නැහැ. (2 ලේක. 34:19-28) ඉන් අපට ගත හැකි පාඩම කුමක්ද? අපත් යොෂියා රජ මෙන් කටයුතු කළ යුතුයි. අපි, යෙහෝවා දෙවි ලබා දෙන මඟ පෙන්වීම් ඉක්මනින්ම ක්‍රියාත්මක කළ යුතුයි. එමෙන්ම සැබෑ නමස්කාරයෙන් අපව ඈත් කරවන, දෙවිට අවිශ්වාසවන්ත වීමට අපව පොලඹවන දේවල් සම්බන්ධයෙන් අපි ඉතා සුපරීක්ෂාකාරි විය යුතුයි. අපි එසේ කරද්දී යෙහෝවා දෙවිගේ අනුග්‍රහය අපට හිමි වන බව නිසැකයි.

21, 22. (අ) සැබෑ නමස්කාරය වෙනුවෙන් අපට තිබෙන උද්‍යෝගය අපව පෙලඹවිය යුත්තේ කුමක් කිරීමටද? (ආ) අප ඊළඟ ලිපියෙන් සලකා බලන්නේ කුමක්ද?

21 ආසා, යෙහෝෂපාට්, හෙසකියා හා යොෂියා යන රජවරුන් හතරදෙනා දෙවිගේ ගෘහය හා සැබෑ නමස්කාරය සඳහා දැඩි උද්‍යෝගයකින් හා ඉමහත් ළැදිකමකින් කටයුතු කළා. අප තුළත් තිබෙන එම උද්‍යෝගය, යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබීමටත් සැබෑ නමස්කාරය වෙනුවෙන් කැප වී කටයුතු කිරීමටත් අපව පෙලඹවිය යුතුයි. අපි දෙවිගෙන් ලැබෙන උපදෙස්වලට කීකරු වෙමු. එමෙන්ම ක්‍රිස්තියානි සභාව හා වැඩිමහල්ලන් තුළින් ලැබෙන යම් නිවැරදි කිරීම් පිළිගනිමු. එය ප්‍රඥාවන්තම ක්‍රියාමාර්ගය වන අතර ඉන් අපට මහත් ප්‍රීතියක්ද අත්වෙයි.

22 අපි ඊළඟ ලිපියෙන් සලකා බලන්නේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේදී අපි උද්‍යෝගය පෙන්විය යුතු ආකාරය ගැනයි. එමෙන්ම අපගේ ප්‍රේමණීය පියා වන යෙහෝවා දෙවිට උද්‍යෝගයෙන් සේවය කිරීම සඳහා යෞවනයන්ට දිරිගැන්වීමක්ද ඉන් ලබාගත හැකියි. දෙවිගෙන් අපව ඈත් කරවන්න සාතන් යොදාගන්නා ප්‍රබල උපක්‍රමයක් ගැනද සලකා බැලීමට නියමිතයි. මෙසේ අපි දෙවිගෙන් ලැබෙන සිහිගැන්වීම්වලට උනන්දුවෙන් කීකරු වෙනවා නම් දෙවිගේ පුත් යේසුස්ව අනුකරණය කිරීමටද අපට හැකියි. ඔහු ගැන ගීතිකාවක සඳහන් වන්නේ මෙසේයි. “ඔබේ ගෘහය කෙරෙහි මට තිබෙන ළැදියාව මොන තරම්ද! එය මා තුළ ඇවිළෙන ගින්නක් මෙනි.”—ගීතා 69:9, NW; 119:111, 129; 1 පේතෘ. 2:21.

ඔබට මතකද?

• දෙවි කැමති වන්නේ අපි ඔහුට කුමනාකාරයෙන් සේවය කරනවාටද? එමෙන්ම ඒ ඇයි?

• අප, යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා ඇති බව පෙන්විය හැක්කේ කෙසේද?

• අප තුළ ඇති උද්‍යෝගය අපව පොලඹවන්නේ කුමක් කිරීමටද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූර]

ආසා, යෙහෝෂපාට්, හෙසකියා හා යොෂියා යන රජවරුන් සැබෑ නමස්කාරය වෙනුවෙන් උද්‍යෝගයෙන් කටයුතු කළේ කෙසේද?