Skip to content

පටුනට යන්න

“යහපත් ක්‍රියා ගැන උද්‍යෝගිමත්” වන්න!

“යහපත් ක්‍රියා ගැන උද්‍යෝගිමත්” වන්න!

“යහපත් ක්‍රියා ගැන උද්‍යෝගිමත්” වන්න!

“අපව සියලු ආකාර අධර්මිෂ්ඨකමින් මුදා, යහපත් ක්‍රියා ගැන උද්‍යෝගිමත් වූ, තමන්ට පමණක් අයත් වූ සෙනඟක් තමා සඳහා පවිත්‍ර කරගන්නා පිණිස, ක්‍රිස්තුස් අප උදෙසා භාර වුණේය.”—තීත. 2:14.

1. ක්‍රිස්තු වර්ෂ 33දී යේසුස් දේවමාලිගාවට පැමිණ කළේ කුමක්ද?

දිනය ක්‍රිස්තු වර්ෂ 33 නීසාන් දහවෙනිදායි. පාස්කු උත්සවයට තව ඇත්තේ දින කිහිපයක් පමණයි. විවිධ ප්‍රදේශවලින් පැමිණ ඇති විශාල පිරිසක් ඒ සඳහා දේවමාලිගා භූමියට රැස් වී සිටිනවා. මේ අවස්ථාවට යේසුස්ද පැමිණෙනවා. ඔව්, ඔහු දෙවන වතාවටත් දේවමාලිගාවේ වෙළඳාම් කරමින් සිටි සියල්ලන්ව එළවා දමා මුදල් මාරු කරන්නන්ගේ මේස හා පරෙවියන් විකුණන්නන්ගේ මේසද පෙරළා දමනවා. (මතෙ. 21:12; මාක් 11:15; ලූක් 19:45) ඉන් ඔප්පු වූයේ මීට අවුරුදු තුනකට පෙර දෙවිගේ ගෘහය ගැන යේසුස්ට තිබූ ළැදියාව හා උද්‍යෝගය එලෙසම පැවති බවයි.—යොහ. 2:13-17.

2, 3. යේසුස් තුළ තිබූ උද්‍යෝගය දේවමාලිගාව පවිත්‍ර කිරීමට පමණක් සීමා නොවූ බව අප දන්නේ කෙසේද?

2 යේසුස් තුළ තිබූ උද්‍යෝගය ඔහුව පෙලඹවූයේ දේවමාලිගාව පවිත්‍ර කිරීමට පමණක් නොවෙයි. අන්ධ සහ කොර අයව සුව කිරීමටද එය ඔහුව පෙලඹෙව්වා. (මතෙ. 21:14) ඔහු “දිනපතා දේවමාලිගාවේ ඉගැන්වූවේය” කියාද ලූක්ගේ වාර්තාවේ සඳහන් වෙනවා. (ලූක් 19:47; 20:1) ඒ අනුව යේසුස්ට තිබූ උද්‍යෝගය ඔහු කළ දේවසේවයෙන්ද පැහැදිලියි.

3 පසු අවස්ථාවකදී පාවුල්, තීතස්ට ලියමින් යේසුස් ගැන මෙසේ විස්තර කළා. “අපව සියලු ආකාර අධර්මිෂ්ඨකමින් මුදා, යහපත් ක්‍රියා ගැන උද්‍යෝගිමත් වූ, තමන්ට පමණක් අයත් වූ සෙනඟක් තමා සඳහා පවිත්‍ර කරගන්නා පිණිස, ක්‍රිස්තුස් අප උදෙසා භාර වුණේය.” (තීත. 2:14) යේසුස් මෙන් “යහපත් ක්‍රියා ගැන උද්‍යෝගිමත්” වීමට අපට හැක්කේ කෙසේද? එමෙන්ම යූදාහි රජවරුන් තුළ තිබූ උද්‍යෝගයෙන් අපට ලබාගත හැකි දිරිගැන්වීම කුමක්ද?

දේශනා කිරීමෙහි හා ඉගැන්වීමෙහි උද්‍යෝගිමත් වන්න

4, 5. යූදා රජවරුන් හතරදෙනාම සැබෑ නමස්කාරය වෙනුවෙන් උද්‍යෝගයෙන් කටයුතු කළේ කෙසේද?

4 ආසා, යෙහෝෂපාට්, හෙසකියා හා යොෂියා යන රජවරුන් යූදා දේශයෙන් රූප නමස්කාරය අතුගා දමන්න පියවර ගත්තා. ආසා රජ “බොරු දෙවිවරුන්ට ඉදි කළ පූජාසනද පූජනීය ස්ථානද ඉවත් කළ අතර බොරු නමස්කාරය සඳහා ඉදි කළ කණුද කුලුනුද කඩා” දැම්මා. (2 ලේක. 14:3, නව ලොව පරිවර්තනයNW) සැබෑ නමස්කාරය වෙනුවෙන් දැඩි උද්‍යෝගකියන් කටයුතු කළ යෙහෝෂපාට් රජ “බොරු නමස්කාරය සඳහා භාවිත කළ පූජනීය ස්ථානද කුලුනුද යූදා දේශයෙන් ඉවත්” කළා.—2 ලේක. 17:6; 19:3. *

5 හෙසකියා රජ යෙරුසලමේ සංවිධානය කළ දින හතක පාස්කු උත්සවයෙන් පසු ‘එහි රැස්ව සිටි සියලුම ඊශ්‍රායෙල්වරු මුළු යූදා ප්‍රදේශයටද එහි නුවරවලටද බෙන්ජමින්, එෆ්‍රායිම් සහ මනස්සේ යන ප්‍රදේශවලටද ගොස් බොරු නමස්කාරය සඳහා ඉදි කර තිබූ කණු සහ කුලුනු කඩා දමා, පූජනීය ස්ථානද පූජාසනද මුළුමනින්ම විනාශ කළා.’ (2 ලේක. 31:1NW) දැන් අපි වයස අවුරුදු අටේදී රජ වූ යොෂියා ගැන සලකා බලමු. ඔහු ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. “ඔහු රජකම් කළ අටවන අවුරුද්දේ සිට එනම්, ළාබාල වයසේ සිටම ඔහු තම මුතුන්මිත්තා වූ දාවිත් නමස්කාර කළ දෙවිගේ මඟ පෙන්වීම් පැතීය. බොරු නමස්කාරය සඳහා ඉදි කර තිබූ කුලුනු, පූජනීය ස්ථාන, ගලින් කැපූ රූප සහ ලෝහවලින් තැනූ රූප ඉවත් කර, ඔහු යූදා දේශය හා යෙරුසලම පවිත්‍ර කිරීමට පටන්ගත්තේ ඔහු රජකම් කළ දොළොස්වන අවුරුද්දේදීය.” (2 ලේක. 34:3NW) මෙසේ එම රජවරුන් හතරදෙනාම සැබෑ නමස්කාරය වෙනුවෙන් ඉතා උද්‍යෝගයෙන් කටයුතු කළා.

6. අප සිදු කරන කාර්යය, එදා යූදාහි විශ්වාසවන්ත රජවරුන් දියත් කළ කාර්යයට සමාන කළ හැක්කේ ඇයි?

6 එදා ඒ රජවරුන් කළා හා සමාන කටයුත්තක අපත් හවුල් වෙනවා. එය නම් රූප නමස්කාරය ඇතුළු අසත්‍ය ආගමික ඉගැන්වීම්වලින් ඉවත් වීමට මිනිසුන්ට උපකාර කිරීමයි. අපි ගෙයින් ගෙට දේවසේවයේ හවුල් වන්නේ ඒ සඳහායි. (1 තිමෝ. 2:4) එවැනි අවස්ථාවකදී හමු වූ එක් යෞවනියකගේ අද්දැකීම බලන්න. ඇගේ මව නිවසේදී විවිධ දෙවිවරුන්ගේ පිළිම ඉදිරියෙහි ආගමික චාරිත්‍ර වාරිත්‍ර පවත්වනවා ඇය දැක තිබෙනවා. මේ සෑම පිළිමයකින්ම සැබෑ දෙවිව නියෝජනය කළ නොහැකි බව ඇය තේරුම්ගත්තා. ඒ නිසා සැබෑ දෙවි කවුද කියා හරියටම දැනගන්න උපකාර පතා බොහෝවිට ඇය යාච්ඤා කළා. දිනක් සාක්ෂිකරුවන් දෙදෙනෙක් ඇගේ නිවසට පැමිණියා. සැබෑ දෙවිට නමක් තිබෙන බවත් එය යෙහෝවා බවත් ඔවුන් ඇයට පැවසුවා. එමෙන්ම රූප නමස්කාර කිරීමේ ඇති නිෂ්ඵලකම දැනගැනීම ගැනත් ඇය ගොඩක් සතුටු වුණා. දැන් ඇය දැඩි උද්‍යෝගයකින් ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහි හවුල් වන අතර සැබෑ දෙවි කවුද හා ඔහුගේ කැමැත්ත කුමක්ද කියා ජනයාට උගන්වමින් සිටිනවා.—ගීතා 83:18; 115:4-8; 1 යොහ. 5:21.

7. යෙහෝෂපාට් දියත් කළ වැඩපිළිවෙළින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

7 යෙහෝෂපාට් රජ වී තුන්වන අවුරුද්දේදී කළ දෙයකින් අපට වැදගත් යමක් ඉගෙනගත හැකියි. ඔහු යූදාහි සියලු නුවරවල්වල ජනයාට දෙවිගේ නීති ගැන ඉගැන්වීමට අධිපතීන් පස්දෙනෙකුව, ලෙවීවරුන් නවදෙනෙකුව හා පූජකයන් දෙදෙනෙකුව යැව්වා. එම වැඩපිළිවෙළ මොන තරම් බලපෑමෙන් යුත් එකක් වුණාද! එය ඇසූ අවට ජාතීන් තුළ යෙහෝවා දෙවි ගැන මහත් බියක් ඇති වුණා. (2 ලේකම් 17:9, 10 කියවන්න.) අපත් දේවසේවයේ හවුල් වන විට අපගේ ප්‍රදේශයේ සිටින සෑම කෙනෙකුවම හමු වන්න උත්සාහ කරනවාද කියා කල්පනා කිරීම වැදගත්. ඒ සඳහා අපි විවිධ වේලාවන් හා විවිධ දිනවල දේවසේවයේ හවුල් වෙනවා නම් නිවසේ සිටින විවිධ පුද්ගලයන් සමඟ කතා කිරීමට අවස්ථාව ලැබිය හැකියි.

8. සාක්ෂි දැරීමේ කාර්යය තවත් පුළුල් කිරීමට අපට හැක්කේ කෙසේද?

8 අද දින දෙවිගේ සෙනඟගෙන් බොහෝදෙනෙක් තම ගෙවල් දොරවල් අත්හැර දමා අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට ගොස් සේවය කිරීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වී තිබෙනවා. ඔබටත් එසේ කළ හැකිද? එසේ කිරීමට නොහැකි සමහරුන් තමන්ගේම ප්‍රදේශයේ ජීවත් වන වෙනත් භාෂාවක් කතා කරන ජනයාට සාක්ෂි දැරීමට වෑයම් කරනවා. අසූඑක්වන වියේ පසු වන සහෝදර රොන්ට තමන් ජීවත් වන ප්‍රදේශයේ විවිධ ජාතීන්ට අයත් ජනයාව මුණගැසෙනවා. ඒ නිසා ඔහු භාෂා 32කින් ආචාර කරන ආකාරය ඉගෙනගත්තා. මෑතකදී ඔහුට අප්‍රිකාවෙන් පැමිණි යුවළක් හමු වූ අතර ඔහු ඔවුන්ට ඔවුන්ගේ භාෂාව වන යොරුබාවලින් ආචාර කළා. ඔහු අප්‍රිකාවට ගොස් තිබෙනවාද කියා ඔවුන් රොන්ගෙන් විමසූ විට ඊට “නැහැ” කියා ඔහු පිළිතුරු දුන්නා. එසේනම් ඒ භාෂාව දන්නේ කොහොමද කියා ඔවුන් රොන්ගෙන් ඇසුවා. ඒ අවස්ථාවේදී කදිම සාක්ෂියක් දීමට ඔහුට හැකි වුණා. එමෙන්ම ඔවුන් සඟරා ලබාගන්නත් කැමති වූ අතර ලිපිනයද නොපමාව ලබා දුන්නා. ඔවුන් සමඟ බයිබල් පාඩමක් පැවැත්වීම සඳහා රොන් එය අදාළ ප්‍රදේශයේ සභාවට යැව්වා.

9. අප දේවසේවයේ යන විට බයිබල් පද කියවීම වැදගත් වන්නේ ඇයි? උදාහරණයක් දෙන්න.

9 එදා යෙහෝෂපාට් සියලු නුවරවල්වලට යැවූ අය ළඟ “යෙහෝවා දෙවිගේ නීතිය සඳහන් ලියවිල්ල” තිබුණා. එලෙසම අපත් ලොව පුරා සිදු කරන දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කාර්යය සඳහා නිතරම බයිබලය යොදාගනිමු. ඊට හේතුව, එය දෙවිගේම වචනය වන නිසයි. අපි දේවසේවයේදී බයිබලය දිගහැර කියවීමෙන් ජනයාට එහි තිබෙන දේ එලෙසම දැකගැනීමට සලස්වමු. එහි ඇති වැදගත්කම මෙම උදාහරණයෙන් පැහැදිලියි. සහෝදරී ලින්ඩා දේවසේවයේ යන විට එක් නිවසක කාන්තාවක් පැවසුවේ තම ස්වාමිපුරුෂයා අංශභාග රෝගයෙන් පෙළෙන නිසා ඇයට ඇහුම්කන් දීමට තමන්ට වෙලාවක් නැති බවයි. ඒ වගේම ඇය මෙසේ වැලපුණා. “දෙවියන් මාව මේ තත්වෙට පත් කළේ මම මොන වරදක් කළාටද කියලා මම දන්නේ නැහැ.” එවිට, “මට ඔයාට එක දෙයක් ස්ථීරව කියන්න පුළුවන්” කියා පැවසූ ලින්ඩා යාකොබ් 1:13 ඇයට පෙන්වා එය කියෙව්වා. ඉන්පසු ලින්ඩා ඇයට මෙසේද පැවසුවා. “අපිත් අපි ආදරය කරන අයත් මුහුණ දෙන කිසි දුකක් දෙවිගෙන් ලැබෙන දඬුවමක් නෙවෙයි.” එවිට ඇය ලින්ඩාව ආදරයෙන් වැළඳගත්තා. එම සාකච්ඡාවෙන් පසු ඇය දිගටම බයිබල් පාඩමක් කරන්න කැමති වුණා. ඒ ගැන ලින්ඩා මෙසේ පැවසුවා. “මට ඇයව සනසන්න පුළුවන් වුණේ බයිබල් පදයක් පෙන්වූ නිසයි. සමහර වෙලාවට අපි ඔවුන්ට පෙන්වන බයිබල් පද ඔවුන් කවදාවත් දැකලා නැහැ.”

උද්‍යෝගයෙන් සේවය කරන යෞවනයෝ

10. අද සිටින යෞවනයන්ට යොෂියා හොඳ ආදර්ශයක් වන්නේ කෙසේද?

10 අපි නැවතත් යොෂියා රජ ගැන සලකා බලමු. ඔහු ළාබාල වයසේ සිටම දෙවිට නමස්කාර කළ අතර අවුරුදු 20ක පමණ යෞවනයෙකුව සිටිද්දී යූදාහි පැවති රූප නමස්කාරය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට විශාල වැඩපිළිවෙළක් දියත් කළා. (2 ලේකම් 34:1-3 කියවන්න.) එලෙසම අද සිටින යෞවනයන් බොහෝදෙනෙක්ද දේවසේවය වෙනුවෙන් එවැනිම උද්‍යෝගයකින් කටයුතු කරනවා.

11-13. යෙහෝවා දෙවිට උද්‍යෝගයෙන් සේවය කරන යෞවනයන්ගෙන් අපට ගත හැකි පාඩම් මොනවාද?

11 එංගලන්තයේ ජීවත් වන දහතුන් හැවිරිදි හන්නා, ප්‍රංශ භාෂාව ඉගෙනගනිමින් සිටියා. ඒ කාලයේදීම ඇය ජීවත් වන ප්‍රදේශයට යාබද නගරයක ප්‍රංශ භාෂාව කතා කරන කණ්ඩායමක් රැස්වීම් පවත්වන බව ඇයට දැනගන්න ලැබුණා. ඇගේ පියා ඇයව ඒ රැස්වීම්වලට රැගෙන යාමට කැමති වුණා. දැන් 18වන වියේ පසු වන හන්නා ස්ථාවර පුරෝගාමියෙක් ලෙස සේවය කරමින් ප්‍රංශ භාෂාව කතා කරන අයට දේශනා කරනවා. ඒ හා සමානව වෙනත් භාෂාවක් කතා කරන අයට දෙවි ගැන ඉගැන්වීම සඳහා වෙනත් භාෂාවක් ඉගෙනගැනීමට ඔබට හැකිද කියා කල්පනා කර බලන්න.

12 දැන් අපි රේචල්ගේ අද්දැකීම බලමු. ඇය දෙවිව ගෞරවයට පත් කරන අයුරින් අනාගතය ගොඩනඟමු යන වීඩියෝ පටය නැරඹීමෙන් ලොකු සතුටක් ලැබුවා. ඇය 1995දී යෙහෝවා දෙවිට සේවය කිරීම ආරම්භ කළ අවස්ථාවේදී ඇයට ඒ ගැන හැඟුණු ආකාරය ගැන මෙසේ පැවසුවා. “මම හිතාගෙන හිටියේ මම සත්‍යය මගේම කරගෙන කියලයි. නමුත් මම අවුරුදු ගණනාවක් තිස්සේ කරලා තියෙන්නේ ගෙයින් ගෙට සේවය හා රැස්වීම්වලට සහභාගි වෙන එක වගේ මූලික දේවල් විතරයි. ඒත් සත්‍යය මගේම කරගන්න නම් පෞද්ගලික පාඩම සහ දේවසේවය ගැන මීට වඩා උනන්දු වෙන්න ඕනේ කියලා මම තේරුම්ගත්තා.” තමා දෙවිට උද්‍යෝගයෙන් සේවය කරනවා කියලා ඇයට දැන් දැනෙනවා. එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ කුමක්ද? ඇය ඒ ගැන මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවිත් එක්ක තියෙන මගේ මිත්‍රත්වය දැන් තවත් ශක්තිමත් වෙලා. ඒක මගේ යාච්ඤාවලින් දැන් මට තේරෙනවා. මම දැන් බයිබලයේ ගැඹුරු කාරණා අධ්‍යයනය කරනවා වගේම ඒකෙන් මට ලොකු තෘප්තියක්ද දැනෙනවා. ඒ වගේම බයිබල් චරිත සැබෑ ඒවා කියලා මට දැන් දැනෙනවා. දෙවිගේ වචනය ජනයාට සහනයක් වෙන ආකාරය දකිද්දී මම දේවසේවයෙන් ලොකු තෘප්තියක් ලබනවා.”

13 යෞවන අය අසති—මගේ ජීවිතයේ ඉලක්ක මොනවාද? යන වීඩියෝ පටය නැරඹීමෙන් ලූක් නමැති යෞවනයා විශාල දිරිගැන්වීමක් ලැබුවා. ඉන්පසු ඔහු ඒ ගැන මෙසේ ලිව්වා. “මගේ ජීවිතය ගත කරන ආකාරය ගැන නැවත සිතා බලන්න මට පෙලඹීමක් ඇති වුණා. ක්‍රිස්තියානියෙකු ලෙස මගේ වගකීම් ඉටු කරන්න කලින් මගේ අනාගතය සුරක්ෂිත කරගන්න මුලින්ම උසස් අධ්‍යාපනය ලබන්න කියා මට සමහරුන්ගෙන් ලොකු පීඩනයක් එල්ල වුණා. එවැනි පෙලඹීමක් දෙවි එක්ක ඇති මගේ මිත්‍රත්ව ශක්තිමත් කරනවා වෙනුවට එය තව තවත් දුර්වල කරනවා.” යෞවන සහෝදර සහෝදරයෙනි, හන්නා මෙන් ඔබත් පාසැලෙන් ලබාගත් දැනුම දේවසේවයේදී යොදාගත හැකි ආකාරය ගැන කල්පනා කර බැලීම හොඳ දෙයක් නොවෙයිද? රේචල්ගේ ආදර්ශය අනුකරණය කරමින් දෙවිව ගෞරවයට පත් කරන ඉලක්ක අත් කරගැනීමට උද්‍යෝගයෙන් ක්‍රියා කරන්න. ලූක් මෙන් ඔබත් බොහෝ යෞවනයන් ඉදිරියේ ඇති උගුල් මඟහරින්න ක්‍රියා කරන්න.

අනතුරු ඇඟවීම්වලට නොපමාව ප්‍රතිචාරය දක්වන්න

14. යෙහෝවා දෙවි පිළිගන්නේ කුමනාකාරයේ නමස්කාරයක්ද? ඒ සඳහා දැඩි වෑයමක් දැරිය යුත්තේ ඇයි?

14 දෙවි පිළිගන්නේ පවිත්‍ර නමස්කාරයක්. යෙසායා පැවසූ මේ දෙයින් ඒ බව පැහැදිලියි. “දැන් පිටතට එන්න! එම ස්ථානයේ තවත් රැඳී නොසිටින්න. කිසිම අපවිත්‍ර දෙයකට අත නොගසන්න. යෙහෝවා දෙවිගේ භාණ්ඩ දරන සියල්ලෙනි, ඇගෙන් [බැබිලෝනියෙන්] ඉවත් වී පවිත්‍රව සිටින්න.” (යෙසා. 52:11NW) යෙසායා ඒ වචන ලියන්න වසර ගණනාවකට පෙර, ආසා රජ යූදාහි තිබූ අනාචාර ක්‍රියා නැති කර දමන්න විශාල ව්‍යාපෘතියක් ආරම්භ කරමින් උද්‍යෝගයෙන් ක්‍රියා කළා. (1 රාජාවලිය 15:11-13 කියවන්න.) ඊට ශතවර්ෂ ගණනාවකට පසු පාවුල් පැවසුවේ, යේසුස් ජීවිතය පූජා කළේ තම අනුගාමිකයන් “යහපත් ක්‍රියා ගැන උද්‍යෝගිමත් වූ, තමන්ට පමණක් අයත්” පවිත්‍ර සෙනඟක් කිරීම සඳහා බවයි. (තීත. 2:14) නමුත් අනාචාර ක්‍රියා බහුල මේ ලෝකය තුළ පවිත්‍රව සිටීම විශේෂයෙන් යෞවනයන්ට පහසු දෙයක් නොවෙයි. වෙළඳ ප්‍රචාරණ පුවරුවල, චිත්‍රපටවල මෙන්ම රූපවාහිනියේ හා අන්තර් ජාලයේ කාමුක දේවල් ඇතුළත් දර්ශන බහුලව දකින්න සලස්වා තිබෙනවා. එමනිසා යෞවනයන් හා වැඩිහිටියන් ඇතුළු දෙවිගේ සියලුම සේවකයන් ඒවා නැරඹීමෙන් වැළකී සිටීමට දැඩි වෑයමක් දැරිය යුතුයි.

15. වැරදි දේවලට වෛර කරන්න අපට උපකාර කරන්නේ කුමක්ද?

15 අප උද්‍යෝගයෙන් යුතුව දෙවි ලබා දෙන අනතුරු ඇඟවීම් පිළිගන්නවා නම් වැරදි දේවලට වෛර කිරීමට එය අපට උපකාර කරනවා. (ගීතා. 97:10; රෝම 12:9) අපි, කාමුක දර්ශන ඇතුළත් දේවල් නැරඹීමෙන් හෝ කියවීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීම අවශ්‍යයි. ඒ සඳහා දැඩි වෑයමක් දැරිය යුතුයි. එය හරියට එකට ඇලී තිබෙන කාන්දම් කෑලි දෙකක් ගලවනවා හා සමානයි. ඉන් පැහැදිලි වන්නේ කාමුක දේවල් නැරඹීමට හෝ කියවීමට ඇති වන දැඩි ආශාව මර්දනය කිරීමට සාමාන්‍යට වඩා වැඩි වෑයමක් අවශ්‍ය බවයි. එමෙන්ම කාමුක දේවල් නැරඹීමෙන් සිදු වන හානිය තේරුම්ගැනීමද ඊට වෛර කිරීමට අපට උපකාරයක්. අන්තර්ජාලයෙන් කාමුක දර්ශන නැරඹීමට පුරුදුව සිටි සහෝදරයෙකුට ඉන් වැළකීමට දැඩි පියවරක් ගැනීමට සිදු වුණා. ඔහු ඒ සඳහා තමාගේ පරිගණකය පවුලේ සියලුදෙනාටම පෙනෙන තැනක තැබුවා. එමෙන්ම ඔහු යහපත් ක්‍රියාවල වැඩි වැඩියෙන් යෙදෙන්නත් පවිත්‍රව සිටින්නත් අදිටන් කරගත්තා. ඔහුගේ රැකියාව නිසා ඔහුට නිතර අන්තර්ජාලය භාවිත කරන්න සිදු වුවත් ඔහු එය භාවිත කළේ ඔහුගේ බිරිඳ ඔහු අසල සිටින විටදී පමණයි.

යහපත් හැසිරීමේ ඇති ප්‍රයෝජන

16, 17. ඔබේ යහපත් හැසිරීම මගින් අන් අයට ඇති කරන බලපෑම කුමක්ද? උදාහරණයක් දෙන්න.

16 වර්තමානයේ සිටින යෞවන යෞවනියන් දෙවිට සේවය කරන්නේ මොන තරම් උද්‍යෝගයකින්ද! අන් අය අප ගැන දරන වැරදි ආකල්ප වෙනස් කිරීමටද එය හේතු වී තිබෙනවා. (1 පේතෘස් 2:12 කියවන්න.) මේ උදාහරණය බලන්න. ලන්ඩන් නුවර පිහිටි බෙතෙල් නිවසේ මුද්‍රණ යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීමට පැමිණි පුද්ගලයෙක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන ඔහුට තිබූ වැරදි ආකල්පය වෙනස් කරගත්තා. සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරමින් සිටි ඔහුගේ භාර්යාවට තම ස්වාමිපුරුෂයාගේ වෙනස තේරුණා. තම නිවසට සාක්ෂිකරුවන් පැමිණෙනවාට ඔහු මුලින් කැමති වුණේ නැහැ. නමුත් බෙතෙල් නිවසේ වැඩ කිරීමෙන් පසු ඔහු තම භාර්යාවට පැවසුවේ එහි සිටි අය තමන්ට ඉතා හොඳින් සැලකූ බවයි. ඒ වගේම ඒ අය නරක වචන කතා නොකළ බවත් ඔවුන් ඉතා ඉවසීමෙන් කටයුතු කරන බවත් එහි ඉතා සාමකාමී වතාවරණයක් ඇති බවත් ඇයට පැවසුවා. විශේෂයෙන්ම ඔහුගේ සිත්ගත්තේ වැටුපක් නොලබා යෞවන යෞවනියන් උද්‍යෝගයෙන් වැඩ කරන ආකාරයයි. ඔවුන් සිය කැමැත්තෙන්ම තම කාලය හා ශක්තිය ශුභාරංචිය ප්‍රකාශ කිරීම වෙනුවෙන් යොදවන ආකාරයත් ඔහු දුටුවා.

17 ඒ හා සමානව රැකියාවල නිරත වන සහෝදර සහෝදරියන්ද රැකියා ස්ථානයේ තමන්ට දී ඇති කාර්යයන් ඉතා හොඳින් ඉටු කරනවා. (කොලො. 3:23, 24) ඒ නිසා රැකියා ආයතනවල ස්වාමිවරුන් ඔවුන්ගේ වැඩ ඉතා අගය කරන අතර ඔවුන්ව දිගටම එහි තබාගැනීමට ඔවුන් ආශා කරනවා.

18. අපට “යහපත් ක්‍රියා ගැන උද්‍යෝගිමත් වූ” සෙනඟක් වීමට හැක්කේ කෙසේද?

18 දෙවිගේ නමස්කාරය සඳහා අපට ඇති උද්‍යෝගය පෙන්විය හැකි ක්‍රම කිහිපයක් අපි ඉගෙනගත්තා. ඒවා නම් දෙවි කෙරෙහි අප විශ්වාසය තබන බව පෙන්වීම, ඔහුගේ උපදෙස්වලට කීකරු වීම හා අප නමස්කාර කරන ස්ථාන හොඳ තත්වයෙන් පවත්වාගෙන යෑමයි. එමෙන්ම ශුභාරංචිය ප්‍රකාශ කිරීම හා යේසුස්ගේ අනුගාමිකයන් වීමට අන් අයට උපකාර කිරීමද ඊට අයත්. අප යෞවන වුණත් මහලු වුණත් දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව ඔහුට නමස්කාර කරනවා නම් අපට මහත් ප්‍රයෝජන අත් කරගත හැකි වෙනවා නොඅනුමානයි. ඒ තුළින් අපිට “යහපත් ක්‍රියා ගැන උද්‍යෝගිමත් වූ” සෙනඟක් ලෙස දිගටම සිටීමටද හැකියි.—තීත. 2:14.

[පාදසටහන]

^ 4 ඡේ. ආසා රජ ඉවත් කළේ බොරු නමස්කාරය සඳහා භාවිත කළ පූජනීය ස්ථාන විය හැකියි. නමුත් ඔහු විනාශ නොකළේ ජනයා, යෙහෝවා දෙවිට පූජා ඔප්පු කිරීමට යොදාගත් ස්ථාන විය හැකියි. ඔහුට පසු ඔහුගේ පුත් යෙහෝෂපාට්ද පූජනීය ස්ථාන විනාශ කළ බව සඳහන් වෙනවා. ඔහු එසේ කළේ ආසා රජගේ පාලනය අවසාන කාලයේදී සමහරුන් යළි ඉදි කරන ලද පූජනීය ස්ථාන විය හැකියි.—1 රාජා. 15:14; 2 ලේක. 15:17.

අතීත ආදර්ශ මෙන්ම වර්තමාන ආදර්ශවලට අනුව

• දේශනා කිරීමේදී හා ඉගැන්වීමේදී ඔබගේ උද්‍යෝගය පෙන්විය හැක්කේ කෙසේද?

• යෞවන අයට “යහපත් ක්‍රියා ගැන උද්‍යෝගිමත්” විය හැක්කේ කෙසේද?

• වැරදි ක්‍රියාවලින් වැළකී සිටීමට අපට හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූරය]

ඔබ නිතරම දේවසේවයේදී බයිබලය භාවිත කරනවාද?

[15වන පිටුවේ පින්තූරය]

පාසැල් යන අතරතුර වෙනත් භාෂාවක් ඉගෙනගැනීමෙන් ඔබේ දේවසේවය පුළුල් කරගන්න ඔබට හැකියි