Skip to content

පටුනට යන්න

ඔබේ අසල්වාසියා සමඟ ඇත්ත කතා කරන්න

ඔබේ අසල්වාසියා සමඟ ඇත්ත කතා කරන්න

ඔබේ අසල්වාසියා සමඟ ඇත්ත කතා කරන්න

ඔබ දැන් බොරු කීම අත්හැර දමා තිබෙන හෙයින්, ඔබ එකිනෙකා තම තමාගේ අසල්වාසියා සමඟ සත්‍යය කතා කරන්න.—එෆී. 4:25.

1, 2. බොහෝදෙනා ඇත්ත කතා කිරීම ගැන දරන ආකල්පය කුමක්ද?

‘කෙනෙක් ඇත්ත කතා කරන්නේ වයින් ටිකක් බිව්වාට පස්සෙයි.’ එවැනි අදහසක් සඳහන් වන්නේ අතීතයේ තිබූ ග්‍රීක කවියකයි. ඉන් අදහස් කරන්නේ කෙනෙක් ඇත්ත කතා කරන්න පෙලඹෙන්නේ වෙරි වුණාට පසුව බවයි. එමෙන්ම පළමු ශතවර්ෂයේ සිටි රෝමානු පාලකයෙක් වන පොන්තියුස් පිලාත් “සත්‍යය කියන්නේ කුමක්ද” කියා යේසුස්ගෙන් ඇසුවා. ඉන් පැහැදිලි වන්නේ ඔහුට ‘ඇත්ත’ හෝ සත්‍යය කියන්නේ කුමක්ද යන්න ගැන පැහැදිලි අදහසක් නොතිබූ බවයි. (යොහ. 18:38) ඔව්, සත්‍යය කතා කිරීම බොහෝ කාලයක් පුරා මතභේදයට ලක් වූ කරුණක් වී තිබෙනවා.

2 බොහෝදෙනා සිතන්නේ ඇත්ත කතා කිරීම හෝ “සත්‍යවාදී වීම” පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් බවයි. තවත් අය ඇත්ත කතා කරන්නේ තමන්ට වාසියක් වෙනවා නම් පමණයි. එමෙන්ම යම් ප්‍රශ්නයකින් හෝ ගැටලුවකින් බේරෙන්න හොඳම ක්‍රමය ඇත්ත කතා කිරීම නම් බොහෝදෙනා එසේ කරනවා. එක් පොතක ඒ ගැන සඳහන් වන්නේ මෙසේයි. ‘ඇත්ත කතා කිරීම හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඒත්, ජීවත් වීම සඳහා මිනිසුන් කරන සටනට එයින් ලැබෙන්නේ ඉතා සුළු උපකාරයක් පමණයි. ජීවත් වෙන්න නම් බොරු කියන්නම ඕනේ.’

3. ඇත්ත කතා කිරීම සම්බන්ධයෙන් යේසුස් කදිම ආදර්ශයක් වන්නේ ඇයි?

3 නමුත් ඇත්ත කතා කිරීම ගැන යේසුස්ට තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් ආකල්පයක්. එමෙන්ම ඔහු නිතරම අන් අය සමඟ ඇත්ත කතා කළා. ඔහුගේ සතුරන් පවා එය දැන සිටි අතර ඒ ගැන ඔවුන් පැවසුවේ “ගුරුතුමෙනි, ඔබ සත්‍යය කතා කරන බවත් සත්‍යයට අනුව දෙවිගේ මාර්ගය උගන්වන බවත් අපි දනිමු” කියායි. (මතෙ. 22:16) එලෙසම අද සිටින ක්‍රිස්තියානීන්ද යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරමින් ඇත්ත කතා කරනවා. ඔවුන් ඒ සඳහා බිය වන්නේ නැහැ. පාවුල් දුන් මෙම උපදෙසට ඔවුන් මුළු හදවතින්ම කීකරු වෙනවා. “ඔබ දැන් බොරු කීම අත්හැර දමා තිබෙන හෙයින්, ඔබ එකිනෙකා තම තමාගේ අසල්වාසියා සමඟ සත්‍යය කතා කරන්න.” (එෆී. 4:25) දැන් අපි එම වදන් සැලකිල්ලට ගෙන ප්‍රශ්න තුනකට පිළිතුරු සොයා බලමු. ඒවා නම් අපගේ අසල්වාසියා කවුද? ඇත්ත කතා කිරීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? අපට එය කළ හැක්කේ කෙසේද?

අපගේ අසල්වාසියා කවුද?

4. යුදෙව් ආගමික නායකයන්ට වෙනස්ව අපගේ අසල්වාසියා කවුද යන්න ගැන යේසුස් පැවසුවේ කුමක්ද?

4 පළමු ශතවර්ෂයේ සිටි යුදෙව් ආගමික නායකයන් ඉගැන්වූයේ තම “අසල්වාසියා” ලෙස සැලකිය යුත්තේ තම ජාතියේම අයව හෝ තමා ළඟින් ඇසුරු කරන මිත්‍රයන්ව පමණක් බවයි. නමුත් ඒ ගැන යේසුස්ට තිබුණේ ඔහුගේ පියාට තිබූ ආකල්පයයි. (යොහ. 14:9) ඒ අනුව ඔහු තම අනුගාමිකයන්ට පැවසුවේ දෙවි, පුද්ගලයෙකුට සලකන්නේ ඔහුගේ ජාතිය හා වර්ගයට අනුව නොවන බවයි. (යොහ. 4:5-26) එමෙන්ම පේතෘස්ද ඒ ගැන මෙසේ පැවසුවා. “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට ස්ථිරවම වැටහේ. මන්ද සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇති, ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාව ඔහු පිළිගන්නේය.” (ක්‍රියා 10:28, 34, 35) ඒ නිසා අපි, අපට විරුද්ධවාදීකම් කරන අය ඇතුළු සියලු මිනිසුන්ව අපගේ අසල්වාසීන් ලෙස සැලකිය යුතුයි.—මතෙ. 5:43-45.

5. අසල්වාසීන් සමඟ ඇත්ත කතා කරනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

5 අසල්වාසීන් සමඟ ඇත්ත කතා කරන්න කියා පැවසීමෙන් පාවුල් අදහස් කළේ කුමක්ද? අසත්‍ය තොරතුරු නොපවසා සත්‍යය පමණක් අන් අය සමඟ කතා කිරීමයි. සැබෑ ක්‍රිස්තියානීන් අන් අයව නොමඟ යවන ලෙස තොරතුරු විකෘති කර කතා කරන්නේ නැහැ. ඊට හේතුව ඔවුන් ‘දුෂ්ට දේට ද්වේෂ කර, යහපත් දේට ඇලුම් කරන’ නිසයි. (රෝම 12:9) “සත්‍යතාවේ දෙවි” වන යෙහෝවාව අනුකරණය කරමින් අපි කරන කියන සියලු දේවලදී අවංකව හා ස්ථිරව කටයුතු කළ යුතුයි. (ගීතා 15:1, 2; 31:5, නව ලොව පරිවර්තනය, NW) ඔබට, කෙනෙකු සමඟ යම් විශේෂ කාරණයක් ගැන කතා කරන්න සිදු වෙනවා කියා සිතත්ත. ඒ ගැන ඔහුට පැවසීම ලෙහෙසි පහසු දෙයක් නොවිය හැකියි. එවැනි අවස්ථාවකදී වුණත් හොඳින් සිතා බලා වචන භාවිත කළොත් බොරු නොකියා එම තත්වය හොඳින් හැසිරවිය හැකියි.—කොලොස්සි 3:9, 10 කියවන්න.

6, 7. (අ) අපෙන් ප්‍රශ්න අසන සැමදෙනාටම අප දන්නා සියලුම තොරතුරු පැවසිය යුතුද? විස්තර කරන්න. (ආ) අප සියලු තොරතුරු හෙළි කිරීමේදී සැලකිලිමත් විය යුත්තේ කුමක් ගැනද?

6 අපි අසල්වාසීන් සමඟ නිතරම සත්‍යය කතා කළ යුතු බව ඇත්තයි. නමුත් අපෙන් ප්‍රශ්න අසන ඕනෑම කෙනෙකුට අප දන්නා සියලුම තොරතුරු හෙළි කළ යුතුද? නැහැ. එය තවදුරටත් තේරුම්ගැනීමට මේ උදාහරණය බලන්න. යේසුස් ආශ්චර්යයවත් ක්‍රියා කරන්නේ කුමන අධිකාරියකින්ද කියා කුහක ආගමික නායකයන් ඇසූ විට ඔහු මෙසේ පිළිතුරු දුන්නා. “මමත් ඔබෙන් ප්‍රශ්නයක් අසමි. ඔබ මට ඊට පිළිතුරු දෙන්න. එවිට මේ දේවල් කරන්නේ කුමන අධිකාරියකින්ද කියා මමත් ඔබට කියමි.” නමුත් ඔවුන් ඊට පිළිතුරු නොදුන් නිසා යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවා. “මා මේ දේවල් කරන්නේ කුමන අධිකාරියකින්ද කියා මමත් ඔබට නොකියමි.” (මාක් 11:27-33) ඔවුන්ගේ දුෂ්ට ක්‍රියා නිසාත් දෙවි කෙරෙහි ඔවුන් තුළ තිබූ විශ්වාසයේ අඩුකම නිසාත් එම ප්‍රශ්නයට පිළිතුරු දෙන්න තමන් බැඳී නැති බව යේසුස් තේරුම්ගත්තා. (මතෙ. 12:10-13; 23:27, 28) ඒ හා සමානව දෙවිට නමස්කාර කිරීම අත්හැර ගොස් ඇති අය හා තම දුෂ්ට අරමුණු ඉටු කරගැනීමට කපටි ලෙස උත්සාහ කරන අය ප්‍රශ්න අසන විට දෙවිගේ සේවකයන් පිළිතුරු දීමේදී ප්‍රවේසම් විය යුතුයි.—මතෙ. 10:16; එෆී. 4:14.

7 අප සියලුම තොරතුරු හෙළි නොකළ යුතු අය ගැන පාවුල්ද සඳහන් කළා. ඔවුන් නම්, ‘කතා නොකළ යුතු දේ ගැන කතා කරන, ඕපාදූප කියන හා අනුන්ගේ කාරණාවලට ඇඟිලි ගසන අයයි.’ (1 තිමෝ. 5:13) අනුන්ගේ කාරණාවලට අනවශ්‍ය ලෙස මැදිහත් වන හෝ විශ්වාසය තබා යමක් පැවසිය නොහැකි අයට, තමන්ගේ පෞද්ගලික තොරතුරු පවසන්න බොහෝදෙනා කැමැති නැහැ. ඒ බව ඔවුන්ද දන්නවා. එමනිසා ඔවුන් පාවුල්ගේ මෙම උපදෙස සිතට ගැනීම කොතරම් හොඳද! ‘සන්සුන් ජීවිතයක් ගත කරන්නත් තමාගේම කාරණා බලාගන්නත් ඉලක්ක කරගන්න.’ (1 තෙස. 4:11) නමුත් ක්‍රිස්තියානි වැඩිමහල්ලන් අත්‍යවශ්‍ය කාරණයක් සඳහා අපගෙන් යම් තොරතුරු විමසන විට, අප දන්නා සියලු තොරතුරු පැවසීමෙන් ඔවුන්ට සහයෝගය දැක්විය හැකියි.—1 පේතෘ. 5:2.

පවුලේ සාමාජිකයන් සමඟ

8. පවුල් සාමාජිකයන් අතර බැඳීම ශක්තිමත් කරගැනීමට ඇත්ත කතා කිරීම උපකාරවත් වන්නේ කෙසේද?

8 සාමාන්‍යයෙන් අපි කිට්ටු බැඳීමක් ඇති කරගන්නේ අපේ පවුලේ සාමාජිකයන් සමඟයි. එම බැඳීම තවත් ශක්තිමත් කරගැනීමට නම් එකිනෙකා සමඟ ඇත්ත කතා කළ යුතුයි. එමෙන්ම විවෘතව, අවංකව හා කාරුණිකව අදහස් හුවමාරු කරගැනීම මගින් බොහෝ ගැටලු හා වරදවා වටහාගැනීම් අවම කරගත හැකියි. නැත්නම් ඒවා සම්පූර්ණයෙන් ඉවත් කරගත හැකියි. මේ ගැන සලකා බලන්න. අප අතින් අපගේ සහකරු හෝ සහකාරියට, දරුවන්ට හෝ පවුලේ කිට්ටු සමාජිකයෙකුට වරදක් සිදු වුණොත් ඔවුන් ඉදිරියෙහි එය පිළිගන්න අපි අදිමදි කරනවාද? එසේ කරනවා වෙනුවට අවංකව ඒ ගැන සමාව ඉල්ලීම මගින් පවුලේ සාමය හා එක්සත්කම තවත් වැඩි කරගත හැකියි.—1 පේතෘස් 3:8-10 කියවන්න.

9. අප පවසන්නේ ඇත්ත වුණත් එය රළු ලෙස නොපැවසිය යුත්තේ ඇයි?

9 අප පවසන්නේ ඇත්ත වුණත් එය අකාරුණික ලෙස හෝ රළු ලෙස පැවසීම සුදුසු නැහැ. එසේ පැවසුවා කියා ඉන් කිසි ප්‍රයෝජනයක් අත් වන්නේවත් එය අසන තැනැත්තා එය අගය කරන්නේවත් නැහැ. පාවුල් මෙවැනි දෙයක් පැවසුවේ ඒ නිසයි. “සියලු ආකාර වෛරසහගත හැඟීම්, කෝපය, උදහස, කෑගැසීම්, නිග්‍රහ කිරීම් මෙන්ම සියලු අයහපතද ඔබෙන් ඉවත් කර දමන්න. ඒ වෙනුවට, එකිනෙකාට කරුණාවද ගැඹුරු දයානුකම්පාවද පෙන්වන්න. දෙවි ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔබට මුළු හදවතින්ම කමා කළාක් මෙන් ඔබත් එකිනෙකාට මුළු හදවතින්ම කමා කරන්න.” (එෆී. 4:31, 32) අපි ගෞරවනීයව හා නිහතමානීව කතා කරන විට අපි පවසන දේවල වටිනාකම වැඩි වන අතර එමඟින් අප අන් අයට ගෞරව කරන බවද පෙන්විය හැකියි.—මතෙ. 23:12.

සභාවේදී

10. නිතරම ඇත්ත කතා කිරීම සම්බන්ධයෙන් යේසුස්ගේ කදිම ආදර්ශයෙන් වැඩිමහල්ලන්ට ඉගෙනගත හැක්කේ කුමක්ද?

10 යේසුස් තම අනුගාමිකයන්ට කතා කළේ ඔවුන්ට තේරුම්ගත හැකි ආකාරයටයි. එමෙන්ම කිව යුතු දේ ඔහු ඔවුන්ට කෙළින්ම පැවසුවා. නමුත් ඔහු එසේ කළේ ඉතා ප්‍රේමණීය ලෙසයි. අනික් අතට තම අනුගාමිකයන් අපහසුතාවට පත් වෙයි කියා ඔහු ඇත්ත කීමෙන් වැළකී සිටියේද නැහැ. (යොහ. 15:9-12) උදාහරණයකට, ඔහුගේ අනුගාමිකයන් තමන් අතරේ උතුම් තැනැත්තා කවුද කියා වාද කල විට, ඔහු ඉතා කාරුණිකව මෙන්ම ඉවසීමෙන් යුතුව කරුණු පහදා දී යටහත්පහත්කමේ වැදගත්කම ගැන ඔවුන්ට තේරුම් කර දුන්නා. (මාක් 9:33-37; ලූක් 9:46-48; 22:24-27; යොහ. 13:14) ඒ හා සමානව නිතරම හරි දේ කිරීමට උත්සාහ කරන වැඩිමහල්ලන් දෙවිගේ රැළ කෙරෙහි තම අණසක පතුරුවන්නේ නැහැ. (මාක් 10:42-44) ඒ වෙනුවට ඔවුන් “එකිනෙකාට කරුණාව” සහ “ගැඹුරු දයානුකම්පාව” පෙන්වනවා.

11. අප සහෝදරයන්ට ප්‍රේම කරනවා නම් අපි අපේ දිව පාවිච්චි කරන්නේ කෙසේද?

11 යම් කාරණයක් ගැන අපිට හැඟෙන ආකාරය කෝප නොවී, සෘජුව හා කාරුණිකව පවසන්න පුළුවන්. නමුත් “දැලි පිහියක් මෙන් මුවහත්” සිත් රිදවන වචන භාවිත කිරීමෙන් අපගේ සහෝදරයන්ට වේදනාවක් ගෙන දෙන්න අපි කොහෙත්ම කැමති නැහැ. (ගීතා 52:2NW; හිතෝ. 12:18) අපි අපේ ‘දිව නපුරු කතාවෙන් හා අපගේ තොල් වංචා දේ පැවසීමෙන් වළක්වාගන්නේ’ අපේ සහෝදරයන් කෙරෙහි තිබෙන ප්‍රේමය නිසයි. (ගීතා 34:13NW) අප මෙසේ කටයුතු කිරීමෙන් දෙවිට ගෞරවය ලැබෙන අතර සභාවේ සමගියද වැඩි වෙනවා.

12. බොරු කීම සම්බන්ධයෙන් විනිශ්චය කමිටුවක් පත් කරන්නේ කුමන අවස්ථාවේදීද? විස්තර කරන්න.

12 දුෂ්ට අරමුණක් ඇතුව බොරු කියන්නන්ගෙන් සභාව ආරක්ෂා කිරීමට වැඩිමහල්ලන් උනන්දු වෙනවා. (යාකොබ් 3:14-16 කියවන්න.) එවැනි කෙනෙක් බොරු කියන්නේ තව කෙනෙකුට හානි කිරීමේ හෝ වේදනාවට පත් කිරීමේ අරමුණ ඇතුවයි. කුමනාකාරයෙන් හෝ බොරු කීම වැරදියි. නමුත් කෙනෙක් පවසන සෑම බොරුවකටම විනිශ්චය කමිටුවක් පත් කරන්නේ නැහැ. වැඩි දුර හිතන්නේ නැතුව කෙනෙක් යම් දෙයක් වැඩි කර පැවසිය හැකියි. එය දුෂ්ට අරමුණක් ඇතුව පවසන බොරුවකට වඩා වෙනස්. ඒ නිසා වැඩිමහල්ලන් සමබර, සාධාරණ මෙන්ම හොඳ විනිශ්චයක් කිරීම වැදගත්. එනම් පවසන ලද බොරුව විනිශ්චය කමිටුවක් පත් කිරීමට තරම් බරපතළ, දුෂ්ට අරමුණක් ඇතුව පුරුද්දක් ලෙස කරන ලද එකක්ද නැත්නම් ඔහුට ශුද්ධ ලියවිල්ලෙන් යම් සෘජු හා ප්‍රේමණීය උපදෙස් ලබා දීම පමණක් ප්‍රමාණවත්ද යන්නයි.

ව්‍යාපාර කටයුතුවලදී

13, 14. (අ) සමහර අය රැකියාව සම්බන්ධයෙන් වංක ලෙස කටයුතු කරන්නේ කෙසේද? (ආ) අවංක වීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

13 අප ජීවත් වන්නේ වංක මිනිසුන්ගෙන් ගහන වූ ලෝකයකයි. ඒ නිසා නිතරම ඇත්ත කතා කිරීම විශාල අභියෝගයක් විය හැකියි. බොහෝදෙනා රැකියාවක් සඳහා ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරන විට ඊට ඇතුළත් කරන්නේ බොරු තොරතුරුයි. උදාහරණයකට, ඔවුන් වැඩි වැටුපක් ලබාගැනීමේ අරමුණින් තමන්ට ඇති අධ්‍යාපන සුදුසුකම් හෝ තමන් සතු පළපුරුද්ද වැඩි කර පෙන්වනවා. අනික් අතට බොහෝ සේවකයන් තමන්ට පැවරී ඇති කාර්යය ඉටු කරන බව පෙන්වුවත් ඔවුන් ඇත්තටම නිරත වන්නේ ඔවුන්ගේ පෞද්ගලික කටයුතුවලයි. ඊට පොත් පත් කියවීම, පෞද්ගලික දුරකථන ඇමතුම් ලබාගැනීම, ඊ-මේල් පණිවිඩ යැවීම හෝ අන්තර්ජාලය භාවිත කිරීම අයත් විය හැකියි.

14 නමුත් සැබෑ ක්‍රිස්තියානීන් නම් සෑමවිටම අවංකව කටයුතු කරන අතර නිතරම ඇත්ත කතා කරනවා. (හිතෝපදේශ 6:16-19 කියවන්න.) පාවුල්ද ඒ ගැන පැවසුවේ ‘සියල්ලේදී අවංක ලෙස හැසිරෙන්න අප කැමතියි’ කියායි. (හෙබ්‍රෙ. 13:18) ඒ නිසා ක්‍රිස්තියානීන් තමන්ට ලැබෙන වැටුපට සරිලන සේවයක් ලබා දෙනවා. (එෆී. 6:5-8) එලෙස වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් දෙවිට ගෞරවයක්ද ගෙන දිය හැකියි. (1 පේතෘ. 2:12) ඒ බව ස්පාඤ්ඤයේ සිටින සහෝදර රොබෙටෝගේ අද්දැකීමෙන් පැහැදිලියි. ඔහු අවංකව හා වගකීමෙන් යුතුව වැඩ කිරීම ගැන ආයතනයේ අයිතිකරු ඔහුට ප්‍රශංසා කළා. ඔහුගේ හොඳ හැසිරීමේ ප්‍රතිඵලයක් ලෙස තව සාක්ෂිකරුවන්ට එම ආයතනයේ රැකියා ලබාගැනීමටද හැකි වුණා. ඔවුනුත් ඔවුන්ගේ සේවය හොඳින් ඉටු කළා. ඒ නිසා ගත වූ වසර කිහිපය තුළදී රොබෙටෝට, බව්තීස්ම ලත් සහෝදරයන් 23දෙනෙකුට හා බයිබලය පාඩම් කරන අටදෙනෙකුට එම ආයතනය තුළ රැකියා සොයා දෙන්න හැකි වුණා.

15. ව්‍යාපාරයක් කරන ක්‍රිස්තියානියෙකුට තමන් සත්‍යවාදී කෙනෙකු බව පෙන්විය හැක්කේ කෙසේද?

15 අප ව්‍යාපාරයක් කරනවා නම් එහි සෑම ගනු දෙනුවකදීම අප කටයුතු කරන්නේ සත්‍යවාදී ලෙසද? නැත්නම් සමහර අවස්ථාවලදී බොරු කියනවාද? ව්‍යාපාරයක නිරත වන ක්‍රිස්තියානියෙක් තම ආයතනයේ නිපදවන භාණ්ඩයක් හෝ සේවාවක් ඉක්මනින් අළෙවි කරගැනීම සඳහා ඒ ගැන බොරු තොරතුර ඉදිරිපත් නොකළ යුතුයි. එමෙන්ම ඔහු තම ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් අල්ලස් ලබාගැනීම හෝ ලබා දීමද නොකළ යුතුයි. එමෙන්ම අපි නිතරම අන් අයට සැලකිය යුත්තේ ඔවුන් අපට සලකනවාට අපි කැමති ආකාරයටයි.—හිතෝ. 11:1; ලූක් 6:31.

ආණ්ඩු බලධාරීන් සමඟ

16. ක්‍රිස්තියානීන් (අ) බලධාරීන්ට (ආ) යෙහෝවා දෙවිට, දිය යුතු දේවල් මොනවාද?

16 “සීසර්ගේ දේ සීසර්ටද දෙවිගේ දේ දෙවිටද දෙන්න” කියා යේසුස් පැවසුවා. (මතෙ. 22:21) ඔහු එසේ පැවසුවේ බදු ගෙවීම ගැන නැගූ ප්‍රශ්නයකදීයි. අප සීසර්ට එනම්, ආණ්ඩු බලධාරීන්ට ලබා දිය යුතු ‘දේවල්’ මොනවාද? අප ඔවුන් පනවා ඇති නීතිවලට කීකරු වීම සහ බදු ගෙවීමද ඊට අයත්. එවිට දෙවි සහ මිනිසුන් ඉදිරියේ හොඳ හෘදය සාක්ෂියක් ඇතුව සිටීමට අපට හැකියි. (රෝම 13:5, 6) අප එසේ ඔවුන්ට කීකරු වුණත් අපගේ මුළු හදවතින්, ජීවිතයෙන්, මනසෙන් හා ශක්තියෙන් අප කීකරු වී සේවය කරන්නේ ශ්‍රේෂ්ඨ බලය හිමි එකම සැබෑ දෙවි වන යෙහෝවාට පමණයි. (මාක් 12:30; එළි. 4:11) එමෙන්ම අප කොන්දේසි විරහිතව එසේ කරන බවට පොරොන්දු වී තිබෙනවා.—ගීතාවලිය 86:11, 12 කියවන්න.

17. ආණ්ඩුවලින් සපයන උපකාර ලබාගැනීමේදී ක්‍රිස්තියානීන් කටයුතු කරන්නේ කෙසේද?

17 රටවල් බොහෝමයක ආණ්ඩු විසින් එහි සිටින අවශ්‍යතාව ඇති අයට යම් උපකාර සපයනවා. ක්‍රිස්තියානීන්ද එවැනි උපකාර ලබාගැනීමේ කිසිම වරදක් නැහැ. නමුත් අපි සැමවිටම ඇත්ත කතා කරන අය නිසා එවැනි උපකාර ලබාගැනීම සඳහා ආණ්ඩු බලධාරීන්ට බොරු තොරතුරු ඉදිරිපත් කරන්නේ නැහැ.

ඉන් ලැබෙන ආශීර්වාද

18-20. ඇත්ත කතා කිරීමෙන් ලැබෙන ආශීර්වාද මොනවාද?

18 නිතරම ඇත්ත කතා කිරීමෙන් ලැබෙන ආශීර්වාද බොහෝමයි. ඉන් අපට නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටින්න හැකි වෙනවා. මනසේ සාමයට එය දායක වෙනවා. (හිතෝ. 14:30; ෆිලි. 4:6, 7) එවැනි අයව දෙවිට ඉතා අනර්ඝයි. එමෙන්ම අපි සෑමවිටම ඇත්ත කතා කරනවා නම් බිය වීමට කිසිම හේතුවක් නැහැ.—1 තිමෝ. 5:24.

19 ‘සත්‍යය කතා කිරීම තුළින් දෙවිගේ සේවකයෝ බව සෑම ආකාරයකින්ම ඔප්පු කරන්න’ අපිට හැකි බව පාවුල් පැවසුවා. (2 කොරි. 6:4, 7) එය, ඇත්ත කතා කිරීමෙන් ලැබෙන තවත් ආශීර්වාදයක්. ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ජීවත් වන සහෝදරයෙකුගේ අද්දැකීම බලන්න. ඔහු තම මෝටර් රථය විකුණන්න තීරණය කළා. එය මිල දී ගැනීමට පැමිණි පුද්ගලයාට රථය පිළිබඳව විස්තර කරද්දී එහි ඇති නොපෙනෙන අඩුපාඩුකම් සහ දෝෂ ගැනද ඔහු නොසඟවා පැවසුවා. ඊටපසු මේ පුද්ගලයා එම රථය පරීක්ෂා කිරීම සඳහා මේ සහෝදරයා සමඟ යම් දුරක් එය ධාවනය කළා. පසුව ‘ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්ද’ කියා ඔහු මේ සහෝදරයාගෙන් ඇසුවා. ඊට හේතුව වූයේ මේ සහෝදරයාගේ අවංකකම හා ඔහු පිළිවෙළකට ඇඳ පැළඳ සිටි ආකාරය ඔහුගේ අවධානයට ලක් වීමයි. ඔහුට කදිම සාක්ෂියක් දැරීමට ඒ සහෝදරයාට ප්‍රස්තාවක් උදා වුණා.

20 ඒ හා සමානව අපිත් නිතරම අවංකව කටයුතු කිරීමෙන් හා ඇත්ත කතා කිරීමෙන් දෙවිට ප්‍රශංසාව ගෙන දෙනවාද? ඔව්, අපි ‘ලජ්ජා විය යුතු හොර රහසේ කරන දේවල් හෙළාදකින නිසා කපටිකමින් හැසිරෙන්නේ නැහැ.’ (2 කොරි. 4:2) එමනිසා අපි අසල්වාසීන් සමඟ නිතරම ඇත්ත කතා කිරීමට වීර්යය කරමු. එසේ කිරීමෙන් යෙහෝවා දෙවිට මෙන්ම ඔහුගේ සෙනඟටත් ප්‍රශංසාව ගෙන දීමට අපට හැකි වෙනවා නිසැකයි.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• අපගේ අසල්වාසියා කවුද?

• අපගේ අසල්වාසියා සමඟ ඇත්ත කතා කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

• අප ඇත්ත කතා කරන විට ඉන් දෙවිට ප්‍රශංසාව ලැබෙන්නේ කෙසේද?

• ඇත්ත කතා කිරීමෙන් ලැබෙන ආශීර්වාද මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[17වන පිටුවේ පින්තූරය]

ඔබ අතින් සිදු වන සුළු සුළු අඩුපාඩුකම් පවා පිළිගන්න ඔබ කැමතිද?

[18වන පිටුවේ පින්තූරය]

රැකියාවක් සඳහා ඉල්ලුම් කරන විට ඔබ ඉදිරිපත් කරන්නේ සත්‍යය තොරතුරුද?