Skip to content

පටුනට යන්න

විශ්වාසවන්ත සේවකයා හා පාලක මණ්ඩලය හඳුනාගනිමු

විශ්වාසවන්ත සේවකයා හා පාලක මණ්ඩලය හඳුනාගනිමු

විශ්වාසවන්ත සේවකයා හා පාලක මණ්ඩලය හඳුනාගනිමු

“ස්වාමියා විසින් තම සේවක පිරිසට නියම වේලාවට නොකඩවා ආහාර කොටස දීමට ඔවුන් කෙරෙහි පත් කරන නුවණ ඇති විශ්වාසවන්ත සේවකයා කවුද?”—ලූක් 12:42.

1, 2. අන්තිම දවස් පිළිබඳ පවසද්දී යේසුස් ඇසූ වැදගත් ප්‍රශ්නය කුමක්ද?

“ස්වාමියා විසින් තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර දෙන පිණිස, ඔවුන් කෙරෙහි පත් කළ විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද?” යේසුස් එම ප්‍රශ්නය ඇසුවේ අවසාන කාලය හඳුනාගැනීම සඳහා ලකුණක් දුන් අවස්ථාවේදීයි. එම දාසයාගේ විශ්වාසවන්තකම නිසා ඔහුව ස්වාමියා සන්තක සියල්ල කෙරෙහි පත් කරනු ලබන බවද යේසුස් පැවසුවා.—මතෙ. 24:45-47.

2 ඒ හා සමාන ප්‍රශ්නයක් යේසුස් මීට පෙරද ඇසුවා. (ලූක් 12:42-44 කියවන්න.) එහිදී ඔහු එම දාසයාව හැඳින්වූයේ යම් වගකීම් දරන ‘සේවකයෙකු’ ලෙසයි. යේසුස් පැවසූ දාසයා හෝ සේවකයා කවුද? අප මෙම ලිපියෙන් ඒ පිළිබඳව සලකා බලමු.

3. (අ) සමහරුන් පවසන්නේ ‘දාසයාගෙන්’ නියෝජනය කරන්නේ කවුරුන් කියාද? (ආ) “දාසයා” හෝ “සේවකයා” කියන්නේ කාටද? එමෙන්ම “සේවක පිරිස” යන්න භාවිත කර තිබෙන්නේ ඇයි?

3 සමහරුන් පවසන්නේ ‘දාසයාගෙන්’ නියෝජනය වන්නේ පල්ලිවල සිටින නායකයන් බවයි. ඒ අදහස වැරදියි. දාසයන් බොහෝදෙනෙක් සිටින බව හෝ ඔවුන් විවිධ නිකායන්වල විසිරී සිටින බව යේසුස් පැවසුවේ නැහැ. ඒ වෙනුවට ඔහු පැවසුවේ, සිටින්නේ එකම එක ‘සේවකයෙක්’ හෝ ‘දාසයෙක්’ පමණක් බවයි. ඒ දාසයා එක් පුද්ගලයෙක් නොව කණ්ඩායමක්. ඒ කණ්ඩායම නම් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත ‘කුඩා රැළයි.’ (ලූක් 12:32) එම දාසයාට අයත් එක් එක් සාමාජිකයන්ව “සේවක පිරිස” ලෙසත් හඳුන්වා තිබෙනවා. ඉන් පැහැදිලි වන්නේ ඔවුන් එක් එක් කෙනාට පෞද්ගලිකව යම් වගකීමක් පැවරී ඇති බවයි. නමුත් නියමිත වේලාවට ආහාර ලබා දීමේ කාර්යයට දාසයාට අයත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සියලුදෙනාම හවුල් වෙනවාද? ඊට පිළිතුරු දැන් අපි සලකා බලමු.

එදා සිටි දෙවිගේ සේවකයා

4. දෙවි ඊශ්‍රායෙල් ජාතියව ඇමතුවේ කෙසේද? එමෙන්ම එම ජාතියට ඉගැන්වීමේ වගකීම දෙවි පැවරුවේ කාටද?

4 ඊශ්‍රායෙල් ජාතිය අමතමින් දෙවි මෙසේ පැවසුවා. “ඔබ මාගේ සාක්ෂිකරුවෝය. මාගේ සේවකයා වශයෙන්ද මම ඔබව තෝරාගතිමි.” (යෙසා. 43:10, නවලොව පරිවර්තනය, NW) ඉහත වචනවලට අනුව ඊශ්‍රායෙල් ජාතියේ සිටි සියලුම සාමාජිකයන්ව දෙවි හැඳින්වූයේ එක් සේවකයෙකු ලෙසයි. නමුත් ඔවුන්ට ඉගැන්වීමේ වගකීම දෙවි භාර දී තිබුණේ එම ජාතියේම සුළු පිරිසකට එනම් පූජකයන්ට හා ලෙවීවරුන්ට පමණයි.—2 ලේක. 35:3; මලා. 2:7.

5. යේසුස් පැවසූ ලෙස සිදු වීමට නියමිතව තිබුණේ කුමක්ද?

5 එසේනම් යේසුස් පැවසූ දාසයා වූයේ ඊශ්‍රායෙල් ජාතියද? නැහැ. යේසුස් ඔවුන්ට කී මේ දෙයින් ඒ බව පැහැදිලියි. “දෙවිගේ රාජ්‍යය ඔබෙන් ගෙන, එම රාජ්‍යයෙහි පල උපදවන ජාතියකට දෙනු ලැබේ.” (මතෙ. 21:43) ඉන් අදහස් කළේ දෙවි අලුත් ජාතියක් තෝරාගැනීමට නියමිත බවයි. නමුත් ඊශ්‍රායෙල් ජාතියට ඉගැන්වීමේ වගකීම භාර දී තිබුණු ආකාරය හා මෙම අලුත් ජාතියට එය භාර දී තිබෙන ආකාරය අතර සමානකමක් තිබෙනවා.

විශ්වාසවන්ත දාසයාගේ ආරම්භය

6. ක්‍රිස්තු වර්ෂ 33දී බිහි වූ අලුත් ජාතිය කුමක්ද? එමෙන්ම එහි සාමාජිකයන් කවුරුන්ද?

6 මෙම අලුත් ජාතිය හඳුන්වන්නේ “දෙවිගේ ඊශ්‍රායෙල්” ලෙසයි. එහි සාමාජිකයන් වන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්. (ගලා. 6:16; රෝම 2:28, 29; 9:6) එම අලුත් ජාතිය බිහි වුණේ ක්‍රිස්තු වර්ෂ 33දී ඔවුන්ට දෙවිගේ බලය ලැබීමත් සමඟයි. යේසුස් පත් කළ දාසයා වන්නේ එම අලුත් ජාතියයි. එහි සෑම සාමාජිකයෙකුටම පෞද්ගලික වගකීමක් තිබෙනවා. එය නම් ශුභාරංචිය ප්‍රකාශ කිරීමයි. (මතෙ. 28:19, 20) ඒ වුණත් නියමිත වේලාවට ආහාර ලබා දීමේදී එම දාසයාට අයත් සියලුම සාමාජිකයන් ඊට හවුල් වෙනවාද? නැහැ. ඊට හේතුව අපි බයිබලයෙන්ම සලකා බලමු.

7. යේසුස්ගේ මුල් අනුගාමිකයන්ට මුලින්ම පැවරුණු ප්‍රධාන වගකීම කුමක්ද? ඉන්පසුව ඔවුන්ට ලැබුණු අමතර වගකීම කුමක්ද?

7 යේසුස්ගේ මුල්ම අනුගාමිකයන් 12දෙනාට මුලින්ම පැවරුණු වගකීම වූයේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමයි. (මාක් 3:13-15 කියවන්න.) නමුත් ක්‍රිස්තියානි සභාව පිහිටුවීමට ආසන්න කාලය වන විටදී ඔවුන්ගේ වගකීමට අමතරව තවත් වගකීමක් ලැබුණා. එය නම් අලුතෙන් පිහිටුවනු ලබන සභාව රැකබලා ගැනීමයි.—ක්‍රියා 1:20-26.

8, 9. (අ) මුල් අනුගාමිකයන් 12දෙනාගේ ප්‍රධාන වගකීම වූයේ කුමක්ද? (ආ) වගකීම් දැරීම සඳහා පසුව පත් කළේ තව කවුරුන්වද?

8 එම අමතර වගකීම ගැන පැහැදිලි වන සිද්ධියක් අපි සලකා බලමු. පෙන්තකෝස්ත දිනයට පසුව වැන්දඹුවන්ට කෑම බෙදා දීම සම්බන්ධයෙන් යම් ගැටලුවක් පැනනැඟුණා. එවිට එම 12දෙනා අනිකුත් අනුගාමිකයන්ව කැඳවා ඔවුන්ට මෙසේ පැවසුවා. “මේසවලට කෑම බෙදා දෙන පිණිස, අප දෙවිගේ වචනය අතපසු කිරීම සුදුසු නැත.” (ක්‍රියා 6:1-6 කියවන්න.) එමනිසා එම 12දෙනා සුදුසුකම් ඇති සහෝදරයන් කිහිපදෙනෙකුව ඉහත කී “කාර්යය” සඳහා පත් කළා. එසේ කළේ ‘වචනය ඉගැන්වීමේ සේවයේ’ වැඩියෙන් යෙදීමට එම 12දෙනාට හැකි වීම සඳහායි. එම සැලැස්මට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ලැබුණු නිසා ඔහුගේ ‘වචනය දිගටම වැඩි වර්ධනය වී යෙරුසලමේ ගෝලයන්ගේ ගණනද බොහෝ සේ වැඩි වුණා.’ (ක්‍රියා 6:7) එම සිද්ධියෙන් පැහැදිලි වන්නේ දෙවිගේ වචනයෙන් අන් අයව පෝෂණය කිරීමේ ප්‍රධාන වගකීම පැවරුණේ යේසුස්ගේ මුල් අනුගාමිකයන් 12දෙනාට බවයි.—ක්‍රියා 2:42.

9 පසුව දෙවිගේ මඟ පෙන්වීම යටතේ වෙනත් අයටද බරපතළ වගකීම් දැරීමට අවස්ථාව ලැබුණා. පාවුල් සහ බානබස් ඊට එක් උදාහරණයක්. අන්තියෝකියේ සභාවේ සිටි ඔවුන්, දෙවිගේ මඟ පෙන්වීම යටතේ මිෂනාරිවරුන් ලෙස වෙනත් ප්‍රදේශවලට ගිය අතර මුල් අනුගාමිකයන් 12දෙනා හා සමාන වගකීම්ද උසුලන්න පටන්ගත්තා. (ක්‍රියා 13:1-3; 14:14; ගලා. 1:19) පසුව යෙරුසලමේ පිහිටි පාලක මණ්ඩලය විසින්ද ඔවුන්ව අනුමත කළා. (ගලා. 2:7-10) ඉන්පසුව තමාට ලැබුණු එම ප්‍රධාන වගකීමේ අංගයක් ලෙස පාවුල් දෙවිගේ මඟ පෙන්වීම යටතේ තම පළමු ලිපිය ලිව්වා.

10. සෙසු ක්‍රිස්තියානීන්ට අවශ්‍ය පෝෂණය සැපයීමට එදා සිටි සියලුම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් හවුල් වුණාද? පැහැදිලි කරන්න.

10 සෙසු ක්‍රිස්තියානීන්ව පෝෂණය කිරීම සඳහා එදා සිටි සියලුම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් හවුල් වුණේ නැති බව ඉන් අපට පැහැදිලියි. පාවුල්ගේ වදන්වලින්ද ඒ බව තහවුරු වෙනවා. “සියල්ලෝම ප්‍රේරිතයෝද? සියල්ලෝම අනාගතවක්තෘවරුද? සියල්ලෝම ගුරුවරුද? සියල්ලෝම බලවත් ක්‍රියා කරන්නෝද?” (1 කොරි. 12:29) එමෙන්ම ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ ඇති පොත් 27 ලිවීම සඳහා යොදාගත්තේද ඔවුන්ගෙන් අටදෙනෙකුව පමණයි. කෙසේනමුත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සියලුදෙනාටම ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ වගකීම තිබුණා.

අද සිටින විශ්වාසවන්ත නුවණ ඇති දාසයා

11. දාසයාට භාර දීඇති යේසුස් ‘සන්තක සියල්ලට’ අයත් වන්නේ මොනවාද?

11 යේසුස් විශ්වාසවන්ත නුවණ ඇති දාසයා ගැන සඳහන් කළේ අවසාන කාලය ගැන ලකුණ සඳහන් කළ අවස්ථාවේදීයි. ඉන් පැහැදිලි වන්නේ එම දාසයා අද දිනත් සිටින බවයි. (මතෙව් 24:45) ඔවුන්ව එළිදරව් 12:17හි හඳුන්වා ඇත්තේ ස්ත්‍රියගේ පෙළපතට අයත් “ඉතිරි අය” ලෙසයි. යේසුස් ‘සන්තක සියල්ල’ භාර දී තිබෙන්නේ ඔවුන්ටයි. ඔහු ‘සන්තක සියල්ලට’ වෙනත් බැටළුවන් හා ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා සංවිධානය මගින් යොදාගනු ලබන සියලුම දේවල් අයත් වෙනවා.

12, 13. තමන්ව අභිෂේක ලත් ක්‍රිස්තියානියෙක් ලෙස තෝරාගෙන ඇති බව කෙනෙක් දැනගන්නේ කෙසේද?

12 අභිෂේක ලත් ක්‍රිස්තියානියෙක් ලෙස තමන්ව තෝරාගෙන ඇති බව කෙනෙක් දැනගන්නේ කෙසේද? එය සිදු වන ආකාරය රෝම 8:14-17හි පාවුල් පැවසූ දෙයින් පැහැදිලි වෙනවා. දෙවිගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වන නිසා ඔවුන් දෙවිගේ දරුවන් බව ඔවුන්ගේ සිත්වලට නිසැකවම දැනෙනවා. එමෙන්ම ඔවුන් දෙවිගේ දරුවන් වන නිසා උරුමක්කාරයන් බවටද පත් වෙනවා.

13 සරලවම පැවසුවොත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව තෝරාගන්නේ දෙවිගේ බලය මාර්ගයෙනුයි. එම “කැඳවීම” දෙවි විසින් එක් එක් කෙනාට කරන පෞද්ගලික ආරාධනයක්. (හෙබ්‍රෙ. 3:1) දෙවිගේ දරුවන් බවට පත් වීමේ එම ආරාධනය ඔවුන් පිළිගන්නේ කිසිම සැකයකින් හෝ බියකින් තොරවයි. (1 යොහන් 2:20, 21 කියවන්න.) එය දෙවිගේම තේරීමක් බව පැහැදිලියි.—2 කොරි. 1:21, 22; 1 පේතෘ. 1:3, 4.

නිහතමානී පිරිසක්

14. අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට ඔවුන්ගේ කැඳවීම ගැන ඇති ආකල්පය කුමක්ද?

14 තමන්ට ලැබී ඇති ආරාධනය සම්බන්ධයෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට තිබිය යුතු ආකල්පය කුමක්ද? එය විශේෂ ආරාධනයක් බව ඔවුන් වටහාගන්නා නමුත් එහි ආශීර්වාද භුක්ති විඳීමට නම් තමන් මරණය දක්වා දෙවිට විශ්වාසවන්තව සිටිය යුතු බව ඔවුන් තේරුම්ගන්නවා. එමෙන්ම ඔවුන් ඉතා නිහතමානී ලෙස පාවුල් පැවසූ මේ දෙයට එකඟ වෙනවා. “සහෝදරයෙනි, මම තවමත් එය අත් කරගෙන ඇතැයි නොසිතමි. එහෙත් ඊට අදාළ එක් දෙයක් තිබේ. පසුපස තිබෙන දේවල් අමතක කර, ඉදිරියේ තිබෙන දේවල් අල්ලාගැනීමට මහත් සේ වෙර දරමින්, ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවිගේ ස්වර්ගික කැඳවීම නමැති තෑග්ග ලබන පිණිස ඉලක්කය ලුහුබඳිමි.” (ෆිලි. 3:13, 14) තවදුරටත් ඔවුන් “භයෙන් සහ වෙවුලමින්” ‘ඔවුන් ලැබූ කැඳවීමට ඔබින ලෙස ගමන් කිරීමටත් සෑම ආකාරයෙන්ම යටහත්පහත් වූ මනසක්’ ඇතුව සිටීමටත් උපරිමයෙන් උත්සාහ කළ යුතුයි.—එෆී. 4:1, 2; ෆිලි. 2:12; 1 තෙස. 2:12.

15. ස්වර්ගික කැඳවීමක් තමන්ට ලැබී ඇති බව පවසන අය ගැන සෙසු අය දැරිය යුතු ආකල්පය කුමක්ද? එමෙන්ම ඔවුන් තමන් ගැන දරන ආකල්පය කුමක්ද?

15 ස්වර්ගික කැඳවීමක් තමන්ට ලැබී ඇති බව පවසන අය ගැන සභාවේ සෙසු අය දැරිය යුතු ආකල්පය කුමක්ද? එය යෙහෝවා දෙවි සහ ඒ පුද්ගලයා අතර සිදු වන දෙයක් නිසා ඔහුව හෝ ඇයව අන් අය විනිශ්චය නොකළ යුතුයි. (රෝම 14:12) එසේම දෙවිගෙන් අභිෂේක ලැබූ ක්‍රිස්තියානියෙක් තමාට විශේෂ අවධානයක් ලබාගැනීමට උත්සාහ කරන්නේ නැහැ. ‘මහත් සමූහයට’ අයත් අද්දැකීම් ලත් සාමාජිකයන්ට වඩා තමන්ට විශේෂ ප්‍රඥාවක් තිබෙනවා කියාවත් දෙවිගේ බලය තමන්ට වැඩියෙන් ලැබෙනවා කියාවත් ඔවුන් සිතන්නේ නැහැ. (එළි. 7:9; යොහ. 10:16) එලෙසම ඔවුන් අන් අයගෙන් විශේෂ සැලකිල්ලක් බලාපොරොත්තු වන්නේද නැහැ. එමෙන්ම සභාවේ වැඩිමහල්ලන්ට වඩා තමන් උසස් කියාද ඔවුන් සිතන්නේ නැහැ.

16-18. (අ) දාසයාට අයත් සෑම සාමාජිකයෙක්ම අලුත් දේවල් අවබෝධ කර දීමේ කාර්යයට හවුල් වෙනවාද? උදාහරණයක් දෙන්න. (ආ) අභිෂේක ලත් සියලු සාමාජිකයන්ගෙන් තොරතුරු විමසීමට පාලක මණ්ඩලයට අවශ්‍ය නොවන්නේ ඇයි?

16 මෙම දාසයාට අයත් සෑම සාමාජිකයෙක්ම අලුත් දේවල් අවබෝධ කර දීමේ කාර්යයට හවුල් වෙනවාද? නැහැ. (1 කොරින්ති 12:14-18 කියවන්න.) අපි කලින් ඡේදවල ඉගෙනගත් ලෙස ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයට එදා සිටි අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සියලුදෙනාම හවුල් වුණා. නමුත් බයිබලයේ පොත් ලිවීම හා ක්‍රිස්තියානි සභාවේ වැඩ කටයුතු අධීක්ෂණය කිරීමේ වගකීම තිබුණේ ඔවුන්ගෙන් කිහිපදෙනෙකුට පමණයි.

17 මේ උදාහරණය බලන්න. ක්‍රිස්තියානියෙක් බරපතළ වැරැද්දක් කළොත් ඒ සම්බන්ධයෙන් “සභාව” පියවර ගන්නවා කියා බයිබලයේ සඳහන් වෙනවා. (මතෙ. 18:17) ඉන් ඇත්තටම අදහස් කරන්නේ එවන් පියවරක් ගන්නේ සභාවේ සියලුම සාමාජිකයන් නොව ඔවුන්ව නියෝජනය කරන වැඩිමහල්ලන් විසින් බවයි. ඒ සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට පෙර ඔවුන් සභාවේ සියලුම සාමාජිකයන්ගෙන් අදහස් විමසන්නේද නැහැ. ඒ වෙනුවට ඔවුන් මුළු සභාවම නියෝජනය කරමින් දෙවිගෙන් තමන්ට පැවරී තිබෙන කාර්යය ඉටු කරනවා.

18 විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සියලුදෙනා ඇතුළත් වුණත් යම් විශේෂ වගකීම් දැරීමට පත් කර තිබෙන්නේ ඔවුන්ගෙන් කිහිපදෙනෙකුව පමණයි. පාලක මණ්ඩලය සමන්විත වන්නේ ඔවුන්ගෙනුයි. ලොව පුරා සිදු කෙරෙන ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය හා සෙසු නමස්කාරකයන්ට අවශ්‍ය පෝෂණය ලබා දීමේ වැඩ කටයුතු අධීක්ෂණය කරන්නේ මෙම පාලක මණ්ඩලය විසිනුයි. පළමු සියවසේ සිටි පාලක මණ්ඩලය යම් තීරණ ගන්නා විට එදා සිටි සියලුම අභිෂේක ලත් ක්‍රිස්තියනීන්ගේ අදහස් විමසුවේ නැහැ. ඒ හා සමානව වර්තමානයේදීත් යම් තීරණ ගැනීමේදී පාලක මණ්ඩලය, විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට අයත් සෙසු සාමාජිකයන් සියලුදෙනාගෙන්ම අදහස් විමසන්නේ නැහැ. (ක්‍රියා 16:4, 5 කියවන්න.) කෙසේනමුත් විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට අයත් සියලුම සාමාජිකයන් එනම් සියලුම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ශුභාරංචිය ප්‍රකාශ කිරීම නමැති අතිවැදගත් කාර්යයෙහි ඉතා කඩිසරව හවුල් වෙනවා. මේ අනුව “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” එක් කණ්ඩායමක් වුවත් ඔවුන් එක් එක් කෙනා සතු වගකීම් විවිධයි.—1 කොරි. 12:19-26.

19, 20. විශ්වාසවන්ත නුවණ ඇති දාසයා හා ඔවුන්ව නියෝජනය කරන පාලක මණ්ඩලය ගැන මහත් සමූහයට තිබිය යුතු ආකල්පය කුමක්ද?

19 ඉහත සඳහන් කරුණු මහත් සමූහයට අයත් සාමාජිකයන්ට බලපෑ යුත්තේ කෙසේද? යේසුස් ‘සන්තක සියල්ලට’ අයත් වන ඔවුන්, ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව’ නියෝජනය කරන පාලක මණ්ඩලයේ මඟ පෙන්වීම්වලට හා සැලසුම්වලට පූර්ණ සහයෝගය ලබා දෙන්නේ ඉතා සතුටින්. එමෙන්ම පාලක මණ්ඩලයේ මඟපෙන්වීම යටතේ ලබා දෙන පෝෂණය ඔවුන් ඉතා අගය කරනවා. නමුත් ඔවුන් දාසයාට අයත් කිසිම සාමාජිකයෙකුට අනවශ්‍ය ගෞරවයක් ලබා දෙමින් ඔවුන්ව උසස් කොට සලකන්නේ නැහැ. එසේම දෙවිගේ බලයෙන් අභිෂේක ලත් කෙනෙක් එවැනි සැලකිල්ලක් බලාපොරොත්තු වන්නෙත් නැහැ.—ක්‍රියා 10:25, 26; 14:14, 15.

20 අපි, අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට අයත් වුවත් මහත් සමූහයට අයත් වුවත් විශ්වාසවන්ත නුවණ ඇති දාසයාටත් ඔවුන්ව නියෝජනය කරන පාලක මණ්ඩලයටත් අපේ පූර්ණ සහයෝගය ලබා දෙන්න අධිෂ්ඨාන කරගනිමු. එමෙන්ම අපි සියලුදෙනාම “සෝදිසියෙන්” සිටිමින් අවසානය දක්වා දෙවිට විශ්වාසවන්තව සිටිමු.—මතෙ. 24:13, 42.

ඔබට මතකද?

• “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ලෙස හඳුන්වන්නේ කවුරුන්වද? එමෙන්ම ‘සේවක පිරිස’ ලෙස හඳුන්වන්නේ කවුරුන්වද?

• අභිෂේක ලත් ක්‍රිස්තියානියෙක් ලෙස තමන්ව තෝරාගෙන ඇති බව කෙනෙක් දැනගන්නේ කෙසේද?

• අලුත් තොරතුරු අවබෝධ කර දීමේ ප්‍රධාන වගකීම තිබෙන්නේ කාටද?

• අභිෂේක ලත් කෙනෙකුට තමන් ගැන තිබිය යුතු ආකල්පය කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

අද දින විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව නියෝජනය කරන්නේ පාලක මණ්ඩලයයි. පළමු ශතවර්ෂයේද එවැනිම සැලැස්මක් ක්‍රියාත්මක වුණා