Skip to content

පටුනට යන්න

මම යෙහෝවා දෙවිට කොහොම ස්තුති කරන්නද?

මම යෙහෝවා දෙවිට කොහොම ස්තුති කරන්නද?

මම යෙහෝවා දෙවිට කොහොම ස්තුති කරන්නද?

රූත් ඩනේ

හිට්ලර් බලයට පත් වුණේ 1933දීයි. පාප්වරයා ශුද්ධ වසරක් කියා නම් කෙරුවේත් ඒ අවුරුද්දමයි. ඒ විතරක් නෙමෙයි මම ඉපදුණේත් ඒ අවුරුද්දෙයි. ඒ නිසා ලෝකයේ භයානකම දේවල් සිද්ධ වුණු අවුරුද්ද ඒකයි කියලා අපේ අම්මා නිතරම වාගේ විහිළුවට කියනවා.

මගේ අම්මයි තාත්තායි ජීවත් වුණේ ප්‍රංශයේ ඓතිහාසික ප්‍රදේශයක් වන ලොරේන්වල පිහිටි යුට්ස් කියන නගරයේයි. ඒක තියෙන්නේ ජර්මනියේ දේශ සීමාව ආසන්නයේයි. කතෝලික ආගමට ළැදි කාන්තාවක් වන මගේ අම්මා සහ රෙපරමාදු භක්තිකයෙක් වන මගේ තාත්තා විවාහ වුණේ 1921දීයි. මගේ අක්කා, හෙලන් ඉපදුණේ 1922දීයි. මගේ දෙමාපියන් ඇයව බිලිඳු අවදියේම කතෝලික පල්ලියෙන් බව්තීස්ම කළා.

වර්ෂ 1925 එක් දිනකදී මගේ තාත්තාට ද හාප් ඔෆ් ගෝඩ් යන පොත ලැබුණා. ඒක කියෙව්වාට පස්සේ සත්‍යය මොකක්ද කියලා තාත්තා තේරුම්ගත්තා. ඒ නිසා ඔහු ඒ පොතේ ප්‍රකාශකයන්ට ලිව්වා. ඊටපස්සේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව ඔහුට මුණගස්සන්න ඔවුන් සැලසුම් යෙදුවා. තාත්තා සත්‍යය ඉගෙනගත්ත ගමන්ම අන් අයටත් ඒවා කියන්න පටන්ගත්තා. නමුත් අම්මා නම් ඒකට කැමති වුණේ නැහැ. ඒ නිසා ඇය මෙහෙම කිව්වා. “ඔයාට ඕන දෙයක් කරන්න. හැබැයි ඔය බයිබල්කාරයෝ එක්ක විතරක් යන්න එපා!” නමුත් තාත්තා නම් එයාගේ තීරණය වෙනස් කළේ නැහැ. ඔහු 1927දී බව්තීස්ම වුණා.

ඒ නිසා තාත්තාව දික්කසාද කරන්න කියලා මගේ අම්මාගේ අම්මා ඇයට බල කළා. දවසක් පල්ලියේ පූජාවේදී පූජකයා මෙහෙම දෙයක් කියලා තිබුණා. “බොරු අනාගතවක්තෘ ඩැනර්ගෙන් ඈත් වෙලා ඉන්න.” එදා ඒක අහලා ආපු අපේ ආච්චි අපේ ගෙදර උඩ තට්ටුවේ ඉඳලා ලොකු මල් පෝච්චියක් තාත්තාගේ ඔළුවට අත ඇරියා. ඒ වුණත් ඒක වැටුණේ තාත්තාගේ උරහිසටයි. එදා තාත්තාගේ ඔළුව බේරුණේ අනූනවයෙන්. මේ සිද්ධිය අම්මාට තදින්ම බලපෑවා. ඒ නිසා ඇය මෙහෙම කල්පනා කෙරුවා. ‘මිනිසුන්ව මරන්න පොලඹවන ආගමක්, හරි ආගමක් වෙන්න බැහැ.’ ඊට පස්සේ අම්මා සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන කියවන්න පටන්ගත්තා. ඒ වගේම වැඩිකල් යන්න ඉස්සරවෙලා සත්‍යය මොකක්ද කියලත් තේරුම්ගත්තා. පසුව 1929දී ඇයත් බව්තීස්ම වුණා.

යෙහෝවා දෙවි සැබෑ පුද්ගලයෙක් බව මටයි අක්කාටයි ඒත්තුගන්වන්න අම්මයි තාත්තයි කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. අපිට බයිබල් කතන්දර කියලා දුන්නා. ඒ චරිතවල සිටින පුද්ගලයන් ඒ ඒ විදිහට ක්‍රියා කළේ ඇයි කියලා එයාලා අපෙන් ඇහැව්වා. තාත්තා කරපු රැකියාවේ හවස හා රෑ වැඩමුරය නතර කෙරුවා. ඒ නිසා අපිට මුදල්හදල් අතින් අමාරුකම් තිබුණා. ඒ වුණත් තාත්තා ඒ තීරණය ගත්තේ රැස්වීම්, දේවසේවය හා අපිත් එක්ක බයිබලය පාඩම් කරන්න වෙලාව හොයාගන්නයි.

කටුක අද්දැකීම්

මගේ දෙමාපියන් නිතරම සංචාරක අවේක්ෂකයන්ට, ස්විට්සර්ලන්තයෙන් හා ප්‍රංශයෙන් පැමිණි බෙතෙල් සේවකයන්ට ආගන්තුක සත්කාර කළා. අපේ ගෙවල්වලට කිලෝමීටර් කිහිපයක් එහායින් තිබෙන ජර්මනියේ, අපේ සහෝදරයන් මුහුණ දෙන පීඩා ගැනත් ඔවුන් අපිට කිව්වා. නාට්සි පාලකයන් සාක්ෂිකරුවන්ව ගාල් කඳවුරුවලට පිටත් කරන බවත් සාක්ෂිකරුවන්ගේ දරුවන්ව ඔවුන්ගේ දෙමාපියන්ගෙන් වෙන් කරන බවත් අපිට දැනගන්න ලැබුණා.

ඉස්සරහට අපිට මුහුණ දෙන්න තිබෙන කටුක තත්වයන්වලට අම්මයි තාත්තායි අපිව හොඳින් සූදානම් කළා. විවිධ අවස්ථාවලදී අදාළ වන බයිබල් පද මතක තියාගන්න ඔවුන් අපිට උදව් කළා. උදාහරණයකට “ඔයාලා මුහුණ දෙන තත්වයේදී කරන්න ඕනේ මොනවාද කියලා දන්නේ නැත්නම් හිතෝපදේශ 3:5, 6හි කියන දේ මතක් කරගන්න. ඔයාලා ඉස්කෝලෙදී මුහුණ දෙන පරීක්ෂා ගැන භයක් දැනෙන කොට 1 කොරින්ති 10:13 මතක් කරගන්න. ඔයාලාව අපෙන් කවදාහරි වෙන් කෙරුවොත් හිතෝපදේශ 18:10 මතක් කරගන්න” කියලා අපිට කිව්වා. බයිබලයේ ගීතා. 23වන සහ ගීතා. 91වන ගීතිකා මතකයෙන් කියන්නත් මම පුරුදු වුණා. ඒ වගේම යෙහෝවා දෙවි මාව නිතරම ආරක්ෂා කරනවා කියන විශ්වාසයත් මම ඇති කරගත්තා.

වර්ෂ 1940දී ජර්මනියේ නාට්සි හමුදාව අපි හිටපු නගරයත් අල්ලාගත්තා. එහේ ඉන්න සියලුම වැඩිහිටියන් හිට්ලර්ට සහය වෙන්න ඕනේ කියලා ඔවුන් කිව්වා. තාත්තා ඒක ප්‍රතික්ෂේප කරපු නිසා හිට්ලර්ගේ රහස් පොලිසිය තාත්තාව අත්අඩංගුවට ගන්නවා කියලා තර්ජනය කළා. ඒ වගේම අම්මාත් ඔවුන්ගේ නිලඇඳුම් මැසීම ප්‍රතික්ෂේප කරපු නිසා ඔවුන් ඇයටත් තර්ජනය කළා.

මේ තත්වය නිසා මටත් පාසැලෙන් ගොඩක් පීඩා ආවා. හැම දවසකම අපේ පාසැල පටන්ගත්තේ හිට්ලර් වෙනුවෙන් කරපු යාච්ඤාවකිනුයි. ඒ වගේම ‘හිට්ලර්ට ජය වේවා’ කියා ආචාර කිරීම, දකුණත ඉදිරියට දිගු කර ජාතික ගීය ගැයීමද ඒ අතර වුණා. හිට්ලර්ට ආචාර කරන්න එපා කියලා කියනවා වෙනුවට මගේ හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කරන්න අම්මයි තාත්තයි මට උදව් කළා. ඉතින් ආචාර නොකරන්න මමම තීරණය කළා. ඒ නිසා ගුරුවරුන් මගේ කම්මුලට ගහලා මාව පාසැලෙන් අස් කරනවා කියලත් තර්ජනය කෙරුවා. මට අවුරුදු හතක් විතර වෙද්දී ගුරුවරුන් 12දෙනෙක් ඉස්සරහ පෙනී ඉන්න සිද්ද වුණා. එදා ඔවුන්, හිට්ලර්ට ආචාර කරන්න කියලා මට බල කෙරුවා. ඒ වුණත් දෙවිගේ උපකාරයෙන් ස්ථිරව ඉන්න මට පුළුවන් වුණා.

එක ගුරුවරියක් හරිම චාටුවෙන් මාව නම්මගන්න උත්සාහ කළා. මම හරිම හොඳ ශිෂ්‍යාවක් බවත් ඇය මට ගොඩක් ආදරේ බවත් මාව පාසැලෙන් අස් කරනවාට ඇය අකමැති බවත් පවසා මෙහෙම කිව්වා. “ඔයා සම්පූර්ණයෙන්ම අත උස්සන්න ඕනේ නැහැ. චුට්ටක් උස්සන්න. අනික, ‘හිට්ලර්ට ජය වේවා’ කියලා කියන්න ඕනෙත් නැහැ. නිකං තොල් විතරක් හොල්ලන්න.”

ඒ ගැන මම අම්මාට කිව්වාම ඇය මට හෙබ්‍රෙව් යෞවනයන් තුන්දෙනා බැබිලෝනියේ රජ ඉදිරියෙහි කටයුතු කරපු විදිහ මතක් කරලා මෙහෙම ඇහැව්වා. “ඔවුන්ට කරන්න කිව්වේ මොකක්ද?” “ වැඳ වැටී නමස්කාර කරන්න” කියලා මම කිව්වා. එතකොට ඇය මෙහෙම ඇහැව්වා. “ඒ වෙලාවේ ඒ අය සපත්තුවල පටි තද කරගන්න පහතට නැමුණා නම් ඒක හරිද? ඒ ගැන හොඳට හිතන්න. ඊටපස්සේ කරන්න ඕනෙ මොනවද කියලා ඔයාම තීරණය කරන්න.” ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ මෙන් දෙවිට පමණක් පූර්ණ නමස්කාරය දීමට මම තීරණය කළා.—දානි. 3:1, 13-18.

ඒ නිසා මාව කිහිප වතාවක්ම පාසැලෙන් එළියට දැම්මා විතරක් නෙවෙයි මාව මගේ දෙමාපියන්ගෙන් වෙන් කරන බවටත් තර්ජනය කළා. ඒ ගැන මම හිටියේ හරිම දුකෙන්. නමුත් මගේ අම්මයි තාත්තයි මාව ගොඩක් ශක්තිමත් කළා. මම පාසැල් යන්න කලින් අම්මා මාත් එක්ක යාච්ඤා කරලා මාව ආරක්ෂා කරන්න කියලා යෙහෝවා දෙවිට කිව්වා. දෙවි මාව ශක්තිමත් කර ස්ථිරව සිටින්න අවශ්‍ය උපකාර දෙන බව මම හොඳින් දැනගෙන හිටියා. (2 කොරි. 4:7) මට පාසැලෙන් දරාගන්න බැරි පීඩනයක් එන ඕනෙම වෙලාවක ගෙදර එන්න භය වෙන්න එපා කියලා තාත්තා මට කිව්වා. “දුවේ අපි ඔයාට ආදරෙයි, ඔයා හැමදාමත් අපේ දුව තමයි. දැන් ඔයා මුහුණ දෙන්නේ ඔයා දෙවිට විශ්වාසවන්තව සිටිනවාද නැද්ද යන ප්‍රශ්නයටයි.” තාත්තාගේ ඒ වචන නිසා දෙවිට දිගටම විශ්වාසවන්තව ඉන්න මගේ අධිෂ්ඨානය තවත් ශක්තිමත් වුණා.—යෝබ් 27:5.

හිට්ලර්ගේ රහස් පොලිසිය නිතරම වගේ අපේ ගෙදරට ඇවිත් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන තියෙනවාද කියලා හොයලා බැලුවා. මගේ දෙමාපියන්ගෙනුත් ප්‍රශ්න කළා. ඔවුන් මගේ අම්මව අරන් ගිහිල්ලා පැය ගානක් තිස්සේ ප්‍රශ්න කළා. ඒ වගේම මගේ තාත්තයි අක්කයි වැඩ කරන තැන්වලට ගිහිල්ලා එතනින් ඔවුන්ව අරගෙන ඔවුගෙනුත් ප්‍රශ්න කෙරුවා. ඒ නිසා මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දී අම්මා ගෙදර ඉඳියිද නැද්ද කියන එක ගැන මට කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ. සමහර දවස්වලට අල්ලපු ගෙදර අය මෙහෙම කියනවා. “ඒ අය අදත් අම්මව අරන් ගියා.” ඊට පස්සේ මම ගේ ඇතුළට ගිහින් හැංගිලා මෙහෙම කල්පනා කරනවා. ‘ඒ අය අම්මට ගහනවාවත්ද? අම්මා ආයෙත් ගෙදර එයිද?’

පිටුවහල් කිරීම

වර්ෂ 1943 ජනවාරි 28වනදා පාන්දර තුනහමාරට විතර හිට්ලර්ගේ රහස් පොලිසියෙන් ඇවිත් අපිව අවදි කළා. අම්මයි තාත්තයි අක්කයි මමයි, හිට්ලර්ට සහය දැක්වුවොත් අපිව පිටුවහල් නොකරන බව ඔවුන් පැවසුවා. නමුත් අපි අපේ තීරණය වෙනස් කෙරුවේ නැති නිසා ඔවුන් අපිව පිටුවහල් කිරීමට තීරණය කළා. ඒ සඳහා සූදානම් වෙන්න අපිට පැය තුනක් ලබා දුන්නා. මේ වගේ තත්වයක් මුල ඉඳලම බලාපොරොත්තුවෙන් සිටි මගේ අම්මා බයිබලයක් සහ අවශ්‍යම දේවල් ටික කලින් ලෑස්ති කරලා තිබුණා. ඒ නිසා අපට ලැබුණ කාලය යාච්ඤා කිරීමටත් එකිනෙකාව දිරිගැන්වීමටත් යොදාගත්තා. ‘කිසිම දෙයකට දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කළ නොහැකි බව’ තාත්තා අපිට මතක් කෙරුවා.—රෝම 8:35-39.

හිට්ලර්ගේ රහස් පොලිසිය පැය තුනකට පස්සේ ආයෙත් ආවා. එදා අපි පිට වෙලා යනකොට ආන්ග්ලාඩ් කියන මහලු සහෝදරිය ඇස්වල කඳුළු පුරෝගෙන අපිට අත වනපු විදිහ මට තාම මතකයි. මේ අය අපිව මෙට්ස් දුම්රියපොළට අරගෙන ගියා. දවස් තුනකට පස්සේ අපි පෝලන්තයේ කොච්ලොවිස් කියන ප්‍රදේශයට ළඟා වුණා. ඉන් මාස දෙකකට පසු අපිව ග්ලිවිස් කියන ප්‍රදේශයේ තිබූ වැඩ කඳවුරකට මාරු කළා. ඒක කලින් කන්‍යාරාමයක්. එදත් ඔවුන් කිව්වේ අපි අපේ විශ්වාසය අත්හරිනවා කියලා අත්සන් කෙරුවොත් අපිට ගෙදර යන්න පුළුවන් කියලයි. අම්මයි තාත්තයි ඒක ප්‍රතික්ෂේප කරපු නිසා ඔවුන් අපිට මෙහෙම කිව්වා. “එහෙනම් ඔහේලට කවදාවත් ගෙදර යන්න නම් ලැබෙන්නේ නැහැ.”

ජූනි මාසයේදී අපිව ස්වියෙට්ඔක්ලොවීස්වලට මාරු කෙරුවා. එහේ ගියාට පස්සේ මට හිසරදයක් හැදුණා. ඒක තාමත් හරියටම හොඳ වෙලා නැහැ. ඒ වගේම මගේ අතේ ඇඟිලිවල තුවාලත් දැම්මා. ඒ නිසා නියපොතු කිහිපයක්ම ගලවන්න සිද්ධ වුණා. එහෙම කෙරුවේ සිහිය නැති කරලත් නෙවෙයි. සොල්දාදුවන්ට අවශ්‍ය සමහර දේවල් ගේන්න මාව කඩේට යවනවා. ඒ අතර නිතරම වගේ බේකරියටත් යන්න මට සිද්ධ වෙනවා. එහෙම ගියාම එතන ඉන්න කාන්තාවක් මට කන්න මොනවාහරි දෙනවා. හොඳකට කියලා තිබුණේ එච්චරයි.

වර්ෂ 1943 ඔක්තෝබර් මාසය වෙනකම් අපි හතරදෙනා හිටියේ එකටයි. ඊටපස්සේ අපිව සබ්කොවීස්වල තිබූ කඳවුරට යැව්වා. එහේ අපිට නිදාගන්න තිබුණේ තට්ටු ඇඳවල්වලයි. අපිත් එක්ක ගැහැණු, පිරිමි හා ළමයි ඇතුළු 60ක් විතර සිරකරුවන් හිටියා. හමුදා භටයන් හිතාමතාම අපිට දුන්නේ හරිම අපිරිසිදු, කටේවත් තියන්න බැරි කෑමයි.

අපි මොනතරම් කටුක දේවල්වලට මුහුණ දුන්නත් බලාපොරොත්තු අත්හැර ගත්තේ නැහැ. යුද්ධයෙන් පස්සේ දැවැන්ත සාක්ෂි දැරීමේ කාර්යයක් ආරම්භ කිරීමට නියමිත බව අපි මුරටැඹ සඟරාවකින් කියවලා තිබුණා. ඒ නිසා අපි මුහුණ දෙන තත්වය ඉතා ඉක්මනින් අවසන් වන බව අපි තේරුම්ගත්තා.

ඊට ටික කලකට පස්සේ නාට්සි හමුදාව පරාජය ලබන බව අපිට දැන ගන්න ලැබුණා. ඒ නිසා 1945 මුලදී අපි හිටපු කඳවුර අතහැර පලා යන්න ඔවුන් තීරණය කළා. ඒ වගේම පෙබරවාරි 19වෙනිදා කිලෝමීටර් 240ක දුරක් ඇවිදගෙන එන්න කියලා ඔවුන් අපිට බල කළා. ඒ ගමන පටන්ගෙන සති හතරකට පස්සේ අපි ජර්මනියේ ස්ටේන්ෆෙල්ස්වලට ආවා. ඊට පස්සේ හමුදා භටයන් අපිට පතලකට යන්න කියා අණ කළා. හුඟක් අය හිතුවේ ඔවුන් අපිව මරයි කියලයි. නමුත් එදාම මිත්‍රපාක්ෂික හමුදාව ආපු නිසා නාට්සි භටයින් අපිව අත්හැර පලා ගියා. එදායින් පස්සේ අපේ දුෂ්කර කාලය නිමා වුණා.

මගේ ඉලක්ක අත් කරගැනීම

ඊටපස්සේ, 1945 මැයි පස්වනදා ඒ කියන්නේ අවුරුදු දෙකහමාරකට පස්සේ අපි ආයෙත් යුට්ස්වල අපේ ගෙදරට ආවා. අපි ඇඳගෙන හිටිය ඇඳුම් හොඳටම කිලුටු වෙලා. ඒ මදිවට අපේ ඔළුවේ උකුණන් වැහි වැහැලා හිටියා. අපි පෙබරවාරි මාසයේ ඉඳලා ගෙදර එනකන් ඇඳගෙන හිටියේ එකම ඇඳුමයි. ඒ නිසා අපි ඒවා පුච්චන්න තීරණය කළා. එදා අම්මා මෙහෙම කියනවා මට මතකයි. “අද තමයි අපේ ජීවිතයේ ලස්සනම දවස. අපි ගාව කිසිම දෙයක් නැහැ. අපි ඇඳන් ඉන්න ඇඳුම්වත් අපේ ඒවා නෙවෙයි. ඒ වුණත් අපි හතරදෙනාම දෙවිට විශ්වාසවන්තව හිටියා. අපි ඒක නැති කරගත්තේ නැහැ.”

ගොඩක් දුර්වල වෙලා හිටිය මම ස්විට්සර්ලන්තයේ මාස තුනක් ගත කළාට පස්සේ සුවය ලබලා ආයෙත් පාසැල් යන්න පටන්ගත්තා. මාව පාසැලෙන් එළියට දායි කියල ඉන්පස්සේ මට භයක් දැනුණේ නැහැ. ඒ වගේම අපිට සහෝදර සහෝදරියන්ව නිදහසේ හමු වෙන්නත් ශුභාරංචිය ප්‍රකාශ කරන්නත් බාධාවක් තිබුණේ නැහැ. මම ගොඩක් කාලෙකට ඉස්සර වෙලා දෙවිට කැප වෙලා තිබුණත් මම බව්තීස්ම වුණේ 1947 අගෝස්තු 28වෙනිදායි. එතකොට මට වයස අවුරුදු 13යි. එදා මාව මොසෙල්ලේ කියන ගඟේ බව්තීස්ම කළේ මගේ තාත්තයි. ඒත් එක්කම පුරෝගාමී සේවය පටන්ගන්න මට ඕනෙ වුණත් ඊට කලින් වෘත්තියක් ඉගෙනගන්න කියලා තාත්තා මට උනන්දු කළා. ඒ නිසා මම ඇඳුම් මහන්න ඉගෙනගත්තා. පසුව 1951දී, ඒ කියන්නේ මට වයස අවුරුදු 17දී තියොන්විලේ කියන ප්‍රදේශයේ පුරෝගාමියෙක් ලෙස මාව පත් කළා.

ඒ අවුරුද්දේම පැරීසියේ පැවැත්වූ සමුළුවකට මම සහභාගි වුණා. ඒ වගේම මම මිෂනාරි සේවය සඳහා ඉල්ලුම් පත්‍රයකුත් පිරෙව්වා. නමුත් ඒ සඳහා මම සුදුසු වයසක හිටියේ නැති නිසා මගේ ඉල්ලුම් පත්‍රය වයස සම්පූර්ණ වන තෙක් තබාගන්න බව සහෝදර නෙදන්නොර් කිව්වා. පසුව 1952 ජූනි මාසයේදී ඇමරිකාවේ නිව් යෝක් නගරයේ දකුණු ලැන්සිංවල පැවැත්වෙන 21වෙනි ගිලියද් පාසැලට මට ඇරයුම් ලැබුණා.

ගිලියද් පාසැලෙන් පසු

මගේම භාෂාවෙන් පවා අන් අය ඉදිරියේ කතා කරන එකත් මට හරිම අමාරු දෙයක්. නමුත් මට ඉංග්‍රීසි භාෂාවෙනුත් කතා කරන්න සිද්ධ වුණා. ඒක හරි පුදුමාකාර අද්දැකීමක්! ඒ වුණත් පාසැලේ උපදේශකයන් හරිම ප්‍රේමණීය ලෙස මට උපකාර කළා. මට ටිකක් ලජ්ජා හිතෙද්දී මගේ මූණේ හිනාවක් මතු වෙනවා. ඒ නිසා එක් සහෝදරයෙක් මට නමකුත් දැම්මා.

පසුව ගිලියද් පාසැලේ පැවරුම් ලබා දෙන දිනය පැමිණියා. එය පැවැත්වුණේ 1953 ජූලි 19වෙනි දින යැංකි ක්‍රීඩාංගනයේදීයි. මටයි ඉඩා න්ඩුසෝ නමැති සහෝදරියටයි පැවරුම් ලැබුණේ පැරීසියට. එහි සිටි පොහොසත් අයට දේශනා කරන්න මට භයක් දැනුණත් නිහතමානී අය සමඟ බයිබල් පාඩම් පවත්වන්න මට හැකි වුණා. පසුව 1956දී සහෝදරී ඉඩා විවාහ වී අප්‍රිකාවට ගියා. මම පැරීසියේම හිටියා.

වර්ෂ 1960දී මම බෙතෙල් සේවකයෙක් සමඟ විවාහ වී චව්මොන්ට් සහ විචී කියන ප්‍රදේශවල විශේෂ පුරෝගාමීන් ලෙස සේවය කළා. ඊට අවුරුදු පහකට විතර පස්සේ මට ක්ෂය රෝගය වැලඳුන නිසා පුරෝගාමී සේවය නතර කරන්න සිදු වුණා. පොඩි කාලේ ඉඳලා මගේ එකම බලාපොරොත්තුව වුණේ පූර්ණකාලීන සේවය පටන්ගෙන දිගටම එහි රැඳී සිටින්නයි. ඒ නිසා ඒ ගැන මට ලොකු කනගාටුවක් දැනුණා. ඊට ටික කලකට පස්සේ මගේ ස්වාමිපුරුෂයා මාව දාලා ගිහිල්ලා වෙනත් ස්ත්‍රියක් සමඟ ජීවත් වෙන්න පටන්ගත්තා. නමුත් සභාවේ සහෝදර සහෝදරියන්ගේ උපකාරය ඇතුව ඒ අඳුරු යුගයටත් සාර්ථකව මුහුණ දෙන්න මට හැකි වුණා. යෙහෝවා දෙවි තවමත් මගේ බර උසුලමින් ඉන්නවා.—ගීතා 68:19.

මම දැන් ඉන්නේ ප්‍රංශයේ ශාඛා කාර්යාලයට යාබදව තිබෙන නෝමැන්ඩේවල තිබෙන ලූවෙයස් කියන ප්‍රදේශයේයි. මට අසනීප තිබුණත් යෙහෝවා දෙවි මට උපකාර කරන ආකාරය දැකීම ලොකු සතුටක්. මගේ දෙමාපියන්ගෙන් මට ලැබුණු පුහුණුව නිසා ජීවිතයේ විවිධ තත්වයන්වලදී හරි ආකල්පයක් ඇතුව කටයුතු කිරීමට මට හැකි වෙලා තියෙනවා. යෙහෝවා දෙවි කියන්නේ, මට ප්‍රේම කරන්න, කතා කරන්න පුළුවන් කෙනෙක් වගේම මගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන කෙනෙක් කියලත් අම්මයි තාත්තයි මට ඉගැන්නුවා. ඇත්තටම “යෙහෝවා දෙවි මා වෙනුවෙන් කළ සියලු යහපත් දේවලට මම කෙසේ ඔහුට ස්තුති කරන්නද?”—ගීතා 116:12.

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“යෙහෝවා දෙවි මට උපකාර කරන ආකාරය දැකීම ලොකු සතුටක්”

[5වන පිටුවේ පින්තූරය]

මට වයස අවුරුදු හයේදී

[5වන පිටුවේ පින්තූරය]

මට වයස අවුරුදු 16දී මිෂනාරිවරුන් සහ පුරෝගාමීන් සමඟ ලක්සම්බර්ග්වල දේශනා කිරීමේ විශේෂ ව්‍යාපෘතියකදී

[5වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1953දී මගේ අම්මා සහ තාත්තා සමඟ සමුළුවකදී