Skip to content

පටුනට යන්න

තනිකඩව සිටියත් ප්‍රීතියෙන්

තනිකඩව සිටියත් ප්‍රීතියෙන්

තනිකඩව සිටියත් ප්‍රීතියෙන්

“ඊටපස්සේ ඒ දෙදෙනා විවාහ වෙලා සතුටින් කල් ගෙව්වා.” සුරංගනා කතා බොහෝමයක් අවසන් වන්නේ එලෙසයි. එමෙන්ම ආදරය පිළිබඳ නිර්මාණය වූ චිත්‍රපට හා නවකතාවලින්ද ලබා දෙන අවසන් පණිවිඩය නම් ප්‍රීතියට එකම මඟ විවාහ වීම බවයි. සුදුසු වයස පැමිණි විට යෞවන යෞවනියන්ට විවාහ වීම සඳහා විශාල පීඩනයක් එල්ල වෙනවා. විසිගණන්වල මැදභාගයේ පසු වන ඩෙබී නමැති තරුණිය මෙවැනි දෙයක් පැවසුවා. “බොහෝදෙනා පවසන්නේ තරුණියකට, ඇගේ ජීවිතයේ වැදගත්ම දේ විවාහය කියායි. ඒ වගේම ජීවිතය පටන්ගන්නේත් විවාහයෙන් කියලයි ඔවුන් කියන්නේ.”

කාරණා දෙස අවබෝධයෙන් බලන කෙනෙක් විවාහය සම්බන්ධයෙන් එවන් දැඩි මත දරන්නේ නැහැ. එදා සිටි ඊශ්‍රායෙල්වරුන්ගෙන් බොහෝදෙනෙක් විවාහකයන්. නමුත් තනිකඩව සිට දෙවිගෙන් ආශීර්වාද ලැබූ ස්ත්‍රීන් හා පුරුෂයන්ද සිටියා. අද දිනත් සමහර ක්‍රිස්තියානීන් තනිකඩව සිටීමට කැමැත්තෙන්ම තෝරාගන්නා අතර තවත් අය විවිධ හේතූන් නිසා තනිකඩව සිටිනවා. ඊට හේතුව කුමක් වුවත් මෙම ප්‍රශ්නය සලකා බැලීම වැදගත්. ක්‍රිස්තියානියෙකුට තනිකඩව සිටිමින් සාර්ථක ජීවිතයක් ගත කළ හැක්කේ කෙසේද?

යේසුස් විවාහ වුණේ නැහැ. සමහරවිට ඊට හේතු වන්න ඇත්තේ ඔහුට ලැබී තිබුණ පැවරුමයි. එක් අවස්ථාවකදී යේසුස් පැවසුවේ තමාව අනුගමනය කරන අයගෙන් සමහරුන්ද එසේ තනිකඩව සිටීම සඳහා ‘ඉඩ සලසාගන්නා’ බවයි. (මතෙ. 19:10-12) තනිකඩ ජීවිතයක් ගත කිරීමේදී සාර්ථක වීම සඳහා කෙනෙක් ඔහුගේ මනස ඊට අනුකූලව සකස් කරගැනීම අවශ්‍ය බව යේසුස්ගේ වචනවලින් පැහැදිලියි.

ඉහත උපදෙස අදාළ වන්නේ දෙවිට සේවය කිරීම වෙනුවෙන් තනිකඩව සිටීමට කැමැත්තෙන්ම තීරණය කළ අයට පමණක්ද? නැහැ. (1 කොරි. 7:34, 35) විවාහ වීමට ආශාවක් තිබුණත් දෙවිගේ නමස්කාරකයන් අතර සුදුසු සහකරුවෙකු සොයාගත නොහැකිව සිටින අයටත් එය අදාළයි. තිස්ගණන්වල පසු වන ඇනා නමැති සහෝදරියත් එවැනි කෙනෙක්. ඇය පවසන දේ බලන්න. “මගේ රැකියා ස්ථානයේ සිටින කෙනෙක් ළඟදී මට හදිසියේම විවාහ යෝජනාවක් ගෙනාවා. එදා මට එක පැත්තකින් ඒ ගැන සතුටක් ඇති වුණා. ඒ වුණත් මම ඒ හැඟීම ඉක්මනින්ම යටපත් කරගත්තා. මම එහෙම කළේ, මට විවාහ වෙන්න ඕනේ යෙහෝවා දෙවි එක්ක ඇති මගේ මිත්‍රත්වය ශක්තිමත් කරගන්න මට උපකාර කරන කෙනෙකුව නිසයි.”

ඇනා හා සමාන බොහෝ සහෝදරියන් ආශා කරන්නේ ‘ස්වාමීන් තුළ පමණක්’ විවාහ වීමටයි. සාක්ෂිකරුවන් නොවන කෙනෙකු සමඟ විවාහ වීමෙන් වැළකීමට එය ඔවුන්ට උපකාර වී තිබෙනවා. * (1 කොරි. 7:39; 2 කොරි. 6:14) දෙවිගේ උපදෙසට ගෞරව කරන ඔවුන්, යම් කලකට හෝ තනිකඩව සිටීමට තෝරාගෙන තිබෙනවා. එවැනි අයට සාර්ථක විය හැක්කේ කෙසේද?

එහි හොඳ පැත්ත ගැන සිතන්න

කෙනෙකු ජීවිතයේ මුහුණ දෙන්නේ ඔහු හෝ ඇය බලාපොරොත්තු වූ දෙයම නොවන්න පුළුවන්. නමුත් ඒ තත්වය සමඟ සාර්ථක විය හැක්කේ ඔහු හෝ ඇය ඒ දෙස බලන විදිහ අනුවයි. හතළිස් ගණන්වල පසු වන කාමන් නමැති තනිකඩ සහෝදරිය ඇගේ තත්වය ගැන මෙසේ පැවසුවා. “මට තියෙන දේවල් ගැන මම සන්තෝෂ වෙනවා. නමුත් මට නැති දේවල් ගැන මම සිහින මවන්නේ නැහැ.” තනිකඩව සිටින විට තනිකම හෝ කලකිරීම් ඇති විය හැකි බව ඇත්තයි. නමුත් ලොව පුරා සිටින සෙසු ක්‍රිස්තියානීන්ද එවන් තත්වයන්ට මුහුණ දෙන බව දැන සිටීම විඳදරාගෙන ඉදිරියට යෑමට උපකාරයක්. යෙහෝවා දෙවි, තනිකඩව සිටින බොහෝදෙනාට ඔවුන් මුහුණ දෙන විවිධ අභියෝග සමඟ සාර්ථක වන්න උපකාර කර තිබෙනවා.—1 පේතෘ. 5:9, 10.

තනිකඩව සිටීමේ ඇති ප්‍රයෝජන බොහෝ සහෝදර සහෝදරියන් අද්දැක තිබෙනවා. “මං හිතන්නේ සන්තෝෂයට රහස වන්නේ අපි මුහුණ දෙන තත්වය කුමක් වුණත් එහි ඇති හොඳ පැත්ත කල්පනා කිරීමයි” කියා 30 ගණන්වල පසු වන එස්තර් නමැති තනිකඩ සහෝදරිය පැවසුවා. කලින් සඳහන් කළ සහෝදරි කාමන් මෙසේද පැවසුවා. “මම විවාහ වුණත් නැතත් මම දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙනවා නම් දෙවි පොරොන්දු කරලා තියෙන දෙයින් කිසි දෙයක් අඩු නැතුව මට ලැබෙන බව ස්ථිරයි. මම හිතපු විදිහටම දේවල් නොවුණත්, මම ඉන්නේ සන්තෝෂයෙන්. ඉස්සරහටත් එහෙමමයි.”—ගීතා. 84:11.

එදා තනිකඩව සිටි අය

යෙප්තාගේ දියණිය ඉන් එක් කෙනෙක්. ඇය සැලසුම් කර තිබුණේ තනිකඩව සිටීමට නොවෙයි. නමුත් ඇගේ පියා දෙවිට කළ පොරොන්දුව නිසා ඇගේ තරුණ කාලයේ පටන් දේවමාලිගාවේ සේවය කරන්න ඇයට සිදු වුණා. ඇය බලාපොරොත්තු නොවූ ලෙස ලැබූ එම පැවරුම නිසා ඇගේ ඉදිරි සැලසුම් බොහොමයක් වෙනස් වූ බව නිසැකයි. විවාහ වී දරුවන් හදා වඩා ගැනීමට වූ ඇගේ ආශාව අත්හැරීමටද ඇයට සිදු වුණා. ඒ ගැන ඇය මාස දෙකක් පුරා වැලපුණා. නමුත් ඊළඟට ඇයට මුහුණ දීමට තිබූ තත්වයට ඇය හැඩගැසුණු අතර ජීවිතය පුරාම කැමැත්තෙන්ම දෙවිට සේවය කළා. ඒ නිසා ඇගේ එම පරිත්‍යාගශීලී ස්වභාවයට ප්‍රශංසා කිරීමට ඊශ්‍රායෙල් කාන්තාවන් අවුරුදු පතා පැමිණියා.—විනි. 11:36-40.

දැන් අපි තනිකඩව සිටි තවත් පිරිසක් ගැන සලකා බලමු. ඔවුන් නම් යෙසායාගේ කාලයේ සිටි නපුංසකයනුයි. ඔවුන් නපුංසකයන් වූ හේතුව ගැන බයිබලයේ සඳහන් වන්නේ නැහැ. සමහරවිට ඔවුන් සිටි තත්වය ගැන ඔවුන්ට යම් කලකිරීමක් ඇති වුණා විය හැකියි. ඔවුන්ට ඊශ්‍රයෙල් පුරුෂයන් මෙන් දෙවිට කළ නමස්කාරයේ සියලුම අංගවලට සහභාගි වීමට හැකි වුණේ නැහැ. එමෙන්ම ඔවුන්ට විවාහ වීමටවත් පියවරුන් වීමටවත් නොහැකි වුණා. (ද්වි. 23:1) ඒ වුණත් යෙහෝවා දෙවි ඔවුන්ගේ හැඟීම් තේරුම්ගත්තා. ඔවුන් දෙවිට මුළු හදින්ම කීකරු වූ නිසා ඔහු ඔවුන්ට ප්‍රශංසා කළා. එමෙන්ම ඔවුන් වෙනුවෙන් තම ගෘහය තුළ “ස්මාරකයක්” හා “කිසිදා නොමැකෙන නමක්” ලබා දෙන බව දෙවි පැවසුවා. එය තවත් ආකාරයකින් පැවසුවොත් එම විශ්වාසවන්ත අය යේසුස්ගේ පාලනය යටතේදී සදාකාල ජීවනය ලැබීමට නියමිතයි. දෙවි ඔවුන්ව කිසිදා අමතක කරන්නේ නැහැ.—යෙසා. 56:3-5, නව ලොව පරිවර්තනය, NW.

දැන් අපි යෙරෙමියා ගැන සලකා බලමු. ඔහු තනිකඩව සිටි හේතුව ඊට වඩා වෙනස්. ඔහුව අනාගතවක්තෘවරයෙකු ලෙස පත් කරමින් තනිකඩව සිටින්න කියා ඔහුට පැවසුවේ යෙහෝවා දෙවියි. ඊට හේතුව ඉදිරියේදී පැමිණීමට නියමිත භයානක විනාශය හා ඔහුගේ පැවරුමේ ස්වභාවය නිසයි. “ඔබ මේ දේශයේදී විවාහ නොවන්න. දරුදැරියන් හදා වඩා නොගන්න” කියා දෙවි පැවසුවා. (යෙරෙ. 16:1-4NW) දෙවි පැවසූ දේ ගැන යෙරෙමියාට හැඟුණු ආකාරය ගැන බයිබලයේ කිසිවක් පවසා නැහැ. නමුත් ඔහු දෙවිගේ වචනවලට ඉතා ඕනෑකමින් කීකරු වුණා. (යෙරෙ. 15:16) ඊට අවුරුදු කිහිපයකට පසු මාස 18ක් පුරා යෙරුසලම වටලා තිබූ ඒ දුෂ්කර කාලය දරාගැනීමට යෙරෙමියාටත් සිදු වුණා. විවාහ නොවන්න කියා දෙවි දුන් ආඥාවට කීකරු වීම මොන තරම් ප්‍රඥාවන්තද කියා ඔහු ඒ අවස්ථාවේදී තේරුම්ගත් බවට කිසිම සැකයක් නැහැ.—විලා. 4:4, 10.

ජීවිතය තෘප්තියෙන් ගත කිරීමට ක්‍රම

අප මෙතෙක් සාකච්ඡා කළේ එදා තනිකඩව සිටි නමුත් දෙවිගේ සේවය වෙනුවෙන් කැප වී කටයුතු කිරීම නිසා ආශීර්වාද ලැබූ අය ගැනයි. අද දිනත් දෙවිගේ සේවයේ විවිධ අංගවල හවුල් වීමෙන් ජීවිතයට තෘප්තියක් එක් කරගත හැකියි. ශුභාරංචිය ප්‍රකාශ කිරීම ඉන් එකක්. එම කාර්යයෙහි හවුල් වන ස්ත්‍රීන් මහත් හමුදාවක් ගැන බයිබලයේ කලින්ම සඳහන් කළා. (ගීතා. 68:11) ඒ අය අතර දහස්ගණන් තනිකඩ සහෝදරියන්ද සිටිනවා. ඔවුන් කරන සේවයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට ක්‍රිස්තියානි සභාව තුළ දූපුතුන් වැනි අය බොහෝදෙනෙක් සිටිනවා.—මාක් 10:29, 30; 1 තෙස. 2:7, 8.

අවුරුදු 14ක් පුරා පුරෝගාමි සේවයේ හවුල් වන සහෝදරී ලොලී පැවසූ දේ බලන්න. “පුරෝගාමි සේවය මගේ ජීවිතයට හොඳ අරමුණක් ලබා දෙනවා. මම තනිකඩ වුණත් හැමතිස්සෙම කාර්යබහුල ජීවිතයක් ගත කරන නිසා මට තනිකම දැනෙන්නේවත් නැති තරම්. මම කරන සේවයෙන් බොහෝදෙනා ප්‍රයෝජන ලබන විදිහ දකින කොට හැම දවසක් අවසානයේදීම මට ලොකු තෘප්තියක් හා සතුටක් දැනෙනවා.”

තම ප්‍රදේශයේ සිටින වෙනත් භාෂාවක් කතා කරන ජනයාට ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා බොහෝ සහෝදරියන් අලුත් භාෂාවක් ඉගෙනගෙන තිබෙනවා. කලින් සඳහන් කළ සහෝදරී ඇනාත් ප්‍රංශ භාෂාව ඉගෙනගෙන, ඇගේ ප්‍රදේශයේ සිටින ඒ භාෂාව කතා කරන ජනයාට ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙන් ලොකු තෘප්තියක් ලබනවා. ඒ ගැන ඇය මෙසේ පැවසුවා. “අපේ නගරයේ දහස් ගණනක් විදේශිකයන් ඉන්නවා. ඉතින් ඒ අයගෙන් වැඩි හරියක් එක්ක කතාබහ කරන්න පුළුවන් භාෂාවක් ඉගෙනගත් නිසා මගේ සේවය තවත් පුළුල් කරගන්න වගේම ඒක ආශාවෙන් කරන්නත් මට හැකි වෙලා තියෙනවා.”

බොහෝවිට තනිකඩ අයට පවුල් වගකීම් අඩුයි. ඒ නිසා ඉන් ප්‍රයෝජන ගෙන ඇති සමහරුන් අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට ගොස් සේවය කරනවා. තිස්ගණන්වල පසු වන සහෝදරී ලිඩියානාද වෙනත් රටවලට ගොස් සේවය කර තිබෙනවා. ඒ ගැන ඇය මෙහෙම කියනවා. “අපි දෙවිට වැඩි වැඩියෙන් සේවය කරද්දී කිට්ටු මිත්‍රයන් ඇති කරගන්නත් ආදරය ලබන්නත් අපිට පුළුවන් කියන එක ගැන මට හොඳටම විශ්වාසයි. මට ගොඩක් රටවල්වල යාළුවන් ඉන්නවා. ඒකත් මගේ ජීවිතයට ලොකු තෘප්තියක් ලබා දෙනවා.”

ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ප්‍රසිද්ධ කෙනෙක් වූ පළමු සියවසේ සිටි ෆිලිප්ටත් අවිවාහක දූවරුන් හතරදෙනෙක් සිටියා. ඔවුන්ට අනාවැකි කීමේ හැකියාවද තිබුණා. (ක්‍රියා 21:8, 9) ඔවුන්ද තම පියා මෙන් ඉමහත් උද්‍යෝගයකින් යුතුව දෙවිට සේවය කළ බව ස්ථිරයි. අනාවැකි කීමට ඔවුන්ට තිබූ හැකියාව සිසේරියේ සිටි සෙසු ක්‍රිස්තියානීන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් භාවිත කරන්න ඇති. (1 කොරි. 14:1, 3) එලෙසම අද සිටින තනිකඩ සහෝදරියනුත් නොකඩවා රැස්වීම්වලට පැමිණීමෙන් හා ඊට සහභාගි වීමෙන් අන් අයට විශාල දිරිගැන්වීමක් ලබා දෙනවා.

ෆිලිප්පියේ ජීවත් වූ ආගන්තුක සත්කාරයට ළැදි ක්‍රිස්තියානි ස්ත්‍රියක් වූ ලිදියා ගැනද බලන්න. ඇය කළ යහපත් ක්‍රියා ගැන බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 16:14, 15, 40) ඇය තනිකඩ හෝ වැන්දඹු ස්ත්‍රියක් වූවා විය හැකියි. ඇය ත්‍යාගශීලීවන්ත කෙනෙක් වූ නිසා පාවුල්, සීලස් සහ ලූක් වැනි සංචාරක අවේක්ෂකයන් සමඟ දිරිගන්වන සුළු ඇසුරක් භුක්ති විඳිමටද ඇයට හැකි වුණා. අද දිනත් එවැනිම ස්වභාවයක් විදහාපෙන්වීමෙන් තනිකඩ අයට බොහෝ ආශීර්වාද ලැබිය හැකියි.

ප්‍රේමය ලැබීමට මඟක්

ඉහත කී දේවල හවුල් වීමෙන් ජීවිතයට තෘප්තියක් ලබාගත හැකියි. එමෙන්ම ප්‍රේමය හා සෙනෙහස ලැබීමෙන්ද ජීවිතයට තෘප්තියක් එක් කරගත හැකියි. නමුත් තනිකඩ කෙනෙකුට එය කළ හැක්කේ කෙසේද? මුලින්ම අප තේරුම්ගත යුතු දෙයක් තිබෙනවා. එනම් අපට ප්‍රේම කිරීමට, අපව ශක්තිමත් කිරීමට හා සවන් දීමට නිතරම යෙහෝවා දෙවි අපි ළඟ සිටින බවයි. සමහර අවස්ථාවලදී දාවිත්ට ‘තනිකම දැනුණු අතර ඔහු පීඩාවලින් වේදනා වින්දා.’ නමුත් එවන් ඕනෑම අවස්ථාවකදී යෙහෝවා දෙවිගෙන් උපකාරය පතන්න තමාට හැකි බව ඔහු දැන සිටියා. (ගීතා. 25:16; 55:22NW) ඔහු මෙසේ පැවසුවේ ඒ නිසයි. “මාගේ පියා හෝ මව හෝ මාව අත්හැරියත් යෙහෝවා දෙවි වන ඔබ මාව භාරගනු ඇත.” (ගීතා. 27:10NW) තම සියලු සේවකයන්ට තමා සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගන්න කියා යෙහෝවා දෙවි ආරාධනා කරනවා.—ගීතා. 25:14; යාකො. 2:23; 4:8.

ඊට අමතරව ලොව පුරා සිටින අපගේ සහෝදර සංගමය තුළින්ද අපට ඇත්තටම ප්‍රේම කරන මව්වරුන්, පියවරුන්, සහෝදරයන් හා සහෝදරියන්ව සොයාගත හැකියි. (මතෙ. 19:29; 1 පේතෘ. 2:17) එමෙන්ම බයිබලයේ සඳහන් “යහපත් ක්‍රියා කිරීමේද දයාන්විත ලෙස පරිත්‍යාග කිරීමේද බොහෝ සේ නියැලී සිටි” දොර්කස්ව ආදර්ශයට ගැනීමෙන් තනිකඩ ක්‍රිස්තියානීන් විශාල තෘප්තියක් ලබනවා. (ක්‍රියා 9:36, 39) සහෝදරී ලොලී ප්‍රේමය ලැබීමට හා ප්‍රේමය පෙන්වීමට කරන දේ ගැන මෙසේ පැවසුවා. “මම කොහේ ගියත් මට ඇත්තටම ප්‍රේම කරන, දුකේදී මගේ ළඟින්ම ඉන්න යාළුවන්ව සභාව තුළින් හොයාගන්න මම උත්සාහ කරනවා. ඒ වගේම ඒ යාළුකම ශක්තිමත් කරගන්න මම ඔවුන්ට ප්‍රේමය පෙන්වනවා වගේම ඔවුන් ගැන අවංකව සැලකිලිමත් වෙනවා. මම දැනට සභා අටක සේවය කරලා තියෙනවා. ඒ හැම එකකම මට හොඳ යාළුවන් හමු වුණා. ඒ අය හැමෝම මගේම වයසේ සහෝදරියන් නොවෙයි. සමහර අය ආච්චිලා, තවත් අය මට වඩා ගොඩක් බාලයි.” ප්‍රේමය සහ සෙනෙහස ලබන්න ආශාවෙන් සිටින අය සෑම සභාවකම සිටිනවා. එවැනි අය කෙරෙහි අවංක සැලකිල්ලක් දැක්වීම මගින්, ප්‍රේමය පෙන්වීමට හා ප්‍රේමය ලැබීමට අප තුළ ඇති අවශ්‍යතාව ඉටු කරගත හැකියි.—ලූක් 6:38.

දෙවි ඔබව අමතක කරන්නේ නැහැ

මෙම දුෂ්කර කාලවලදී සියලුම ක්‍රිස්තියානීන් විවිධාකාරයේ පරිත්‍යාගයන් කළ යුතු බව බයිබලයේ සඳහන් වෙනවා. (1 කොරි. 7:29-31) ස්වාමීන් තුළ පමණක් විවාහ වෙන්න යන ආඥාවට කීකරු වීමට අධිෂ්ඨාන කරගෙන සිටින තනිකඩ ක්‍රිස්තියානීන් අපගේ විශේෂ ගෞරවය හා සැලකිල්ල ලැබීමට වටිනවා. (මතෙ. 19:12) ඔවුන් කර තිබෙන්නේ පරිත්‍යාගයක් නිසා ජීවිතයේ සැබෑ තෘප්තිය හා සතුට ලැබිය නොහැකියි කියා ඉන් කොහෙත්ම අදහස් කරන්නේ නැහැ.

සහෝදරී ලිදියානා ඒ ගැන මෙසේ පැවසුවා. “මම දැන් තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නේ මට යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් තිබෙන නිසා මෙන්ම මම ඔහුට සේවය කරන නිසයි. විවාහ වී සතුටින් සිටින මෙන්ම අසතුටින් සිටින අයවත් මම දන්නවා. ඒකෙන් මට තහවුරු වෙන්නේ මම සතුටින් සිටීද නැද්ද යන්න තීරණය වන්නේ මම විවාහ වෙනවාද නැද්ද කියන එක අනුව නොවෙයි.” යේසුස් පැහැදිලි කළ ලෙස සැබෑ සතුට ලැබෙන්නේ, අන් අය වෙනුවෙන් සේවය කිරීමෙනුයි. එය ඕනෑම ක්‍රිස්තියානියෙකුට කළ හැකි දෙයක්.—යොහ. 13:14-17; ක්‍රියා 20:35.

දෙවිගේ කැමැත්ත කිරීම වෙනුවෙන් අප කරන ඕනෑම පරිත්‍යාගයකට ඔහු ආශීර්වාද කරන බව අප දැන සිටීම අපට ඉමහත් ප්‍රීතියක්. ඒ ගැන බයිබලයේ දෙන සහතිකය මෙයයි. “මන්ද ඔබ කළ සේවයද, ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද අමතක කිරීමට දෙවි අධර්මිෂ්ඨ නැත.”—හෙබ්‍රෙ. 6:10.

[පාදසටහන]

^ 6 ඡේ. අප මෙහි සඳහන් කර ඇත්තේ සහෝදරියන් ගැන වුවත් එම ප්‍රතිපත්තියම සහෝදරයන්ටත් අදාළයි.

[25වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මට තියෙන දේවල් ගැන මම සන්තෝෂ වෙනවා. මට නැති දේවල් ගැන මම සිහින මවන්නේ නැහැ.”—කාමන්

[26වන පිටුවේ පින්තූරය]

අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කිරීමෙන් සහෝදරී ලොලී සහ ලිදියානා සතුටක් ලබනවා

[27වන පිටුවේ පින්තූරය]

තමා සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න කියා යෙහෝවා දෙවි ඔහුගේ සියලු සේවකයන්ට ආරාධනා කරනවා