Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යේසුස් ඊශ්‍රායෙල් දේශය පුරාම දේශනා කළා. ඒ නිසා යුදෙව් ජනයා හා ඔවුන්ගේ නායකයන් යේසුස් කවුද කියා හොඳින් දැන සිටියා. නමුත් යේසුස්ව ඝාතනය කරන්න කියා ඔවුන් ඉල්ලා සිටියදී ඔවුන් ‘ක්‍රියා කළේ නොදැනුවත්වයි’ කියා පේතෘස් පවසන්නේ ඇයි?—ක්‍රියා 3:17.

පේතෘස්, යුදෙව්වරුන් පිරිසක් ඇමතූ අවස්ථාවකදී ගැලවුම්කරු වන යේසුස්ගේ මරණයට ඔවුන්ද වග කිව යුතු බව මේ වචනවලින් පැහැදිලියි. “ඔබේ පාලකයන් මෙන් ඔබද නොදැනුවත්ව ක්‍රියා කළ බව මම දනිමි.” (ක්‍රියා 3:14-17) ඔවුන් එසේ කිරීමට හේතුව කුමක් විය හැකිද? සමහර යුදෙව්වන්ට යේසුස්ගේ ඉගැන්වීම් නිවැරදිව අවබෝධ කරගැනීමට නොහැකි වීම ඊට හේතු වුණා විය හැකියි. එමෙන්ම දෙවිව සතුටු කිරීමට සමහරුන්ට ආශාවක් නොතිබීමද යේසුස් කෙරෙහි ඊර්ෂ්‍යාවක් හා වෛරයක් තිබීම මෙන්ම ඔහුව පහත් කොට සැලකීම ඊට හේතු වුණා විය හැකියි.

ඔවුන් යේසුස්ගේ ඉගැන්වීම්වලට එතරම් උනන්දුවක් නොදැක්වූයේ දෙවිව සතුටු කිරීමට ඔවුන් තුළ ආශාවක් නොතිබූ නිසයි. යේසුස් නිතරම උපමා යොදාගෙන ජනයාට ඉගැන්වූ අතර ඔහුගේ ඉගැන්වීම් ගැන තව තවත් දැනගන්න ආශා කළ අයට ඔහු එම උපමාවල තේරුම කියා දුන්නා. නමුත් යේසුස්ගේ ඉගැන්වීම් ඇසූ සමහර අය ඒවා තේරුම්ගන්න උත්සාහ නොකළ නිසා එතනින් ඉවත්ව ගියා. එක් අවස්ථාවක යේසුස් ඉගැන්වූ එක් කරුණක් නිසා ඔහුගේ සමහර ගෝලයෝ පවා ඔහුව අත්හැර ගියා. (යොහ. 6:52-66) යේසුස් එවන් උපමා භාවිත කළේ ඇයි? තමන්ගේ සිතුවිලි හා ක්‍රියාවන් වෙනස් කරගන්න තමන් කැමතිද නැද්ද කියා සෝදිසි කර බැලීමට ඔවුන්ට අවස්ථාවක් දීමටයි. නමුත් ඔවුන් එය තේරුම්ගන්න අසමත් වුණා. (යෙසා. 6:9, 10; 44:18; මතෙ. 13:10-15) පොරොන්දු වූ ගැලවුම්කරු අන් අයට උගන්වන්න උපමා භාවිත කරන බවට සඳහන් කර තිබූ අනාවැකියද තේරුම්ගැනීමට ඔවුන් උනන්දු වුණේ නැහැ.—ගීතා. 78:2.

සමහරුන් යේසුස්ව පහත් කොට සැලකූ නිසා ඔහුගේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කළා. ඔහු තම උපන් ගම වන නාසරෙත්වල සිනගෝගයේ උගන්වද්දී ජනයා “මවිතයට පත්” වුණා. නමුත් ඔහුව ගැලවුම්කරු හැටියට පිළිගන්නවා වෙනුවට ඔවුන් යේසුස්ගේ පවුල් පසුබිම ගැන මෙසේ ප්‍රශ්න කළා. ‘මේ මිනිසාට මේ දේවල් කොහෙන්ද? මේ මරියාගේ පුත්‍රයා වූ වඩුවා නොවේද? මොහු යාකොබ්, යෝසෙප්, යූදස් සහ සීමොන්ගේ සහෝදරයා නොවේද? මොහුගේ සහෝදරියන්ද අප සමඟ මෙහි සිටිනවා නොවේද?’ (මාක් 6:1-3) ඔහු හැදී වැඩුණු ප්‍රදේශය වන නාසරෙත්වල ජනයාද ඔහුගේ ඉගැන්වීම් වටිනා ඒවා ලෙස සැලකුවේ නැහැ.

එදා සිටි ආගමික නායකයන් ගැන කිව හැක්කේ කුමක්ද? ඔවුන්ගෙන් වැඩිදෙනා යේසුස් ඉගැන්වූ දේවලට වැඩි අවධානයක් දුන්නේ නැහැ. (යොහ. 7:47-52) එමෙන්ම ජනයා යේසුස්ගේ ඉගැන්වීම් ගැන පැහැදී සිටි නිසා ආගමික නායකයන් ඔහුට ඊර්ෂ්‍යා කළා. (මාක් 15:10) සමහර ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ කුහකකම හා වංකකම ගැන යේසුස් එළිදරව් කළ නිසා ඔවුන් යේසුස් ගැන කෝපයෙන් සිටියා. (මතෙ. 23:13-36) ඔවුන් එසේ ක්‍රියා කළේ දැන දැනමයි. ඒ බව යේසුස් කී මේ දෙයින් පැහැදිලියි. “නීතිය ගැන මනා දැනුමක් ඇති තැනැත්තෙනි, ඔබට දුක් වේ. මන්ද, ඔබ දැනගැන්මේ යතුර පැහැරගත්තහුය. ඔබ [දෙවිගේ රාජ්‍යයට] ඇතුල් වුණේ නැත. ඇතුල් වෙමින් සිටි අයටද ඔබ බාධා කළහුය!”—ලූක් 11:37-52.

වසර තුනහමාරක්ම යේසුස් ඔවුන්ට දේශනා කළා. ඒ වගේම ඔහු තවත් විශාල පිරිසක්ව දේශනා සේවය සඳහා පුහුණු කළා. (ලූක් 9:1, 2; 10:1, 16, 17) යේසුස් සහ ඔහුගේ අනුගාමිකයන් ඉතා උද්‍යෝගයෙන් එම සේවයේ සහභාගි වෙමින් ඉන් සාර්ථක ප්‍රතිඵල ලැබූ නිසා පරිසිවරු මෙසේ පැවසුවා. “සියල්ල නිෂ්ඵල වූ හැටි බලන්න. මෙන්න! ලෝකය ඔහු පස්සේ ගොස් ඇත.” (යොහ. 12:19) ඒ අනුව බලද්දී යුදෙව්වන් කිසිවක් දැන සිටියේ නැහැ කියා කියන්න බැහැ. නමුත් ඔවුන් ක්‍රියා කළේ කිසිවක් ‘නොදන්නා’ අය ලෙසයි. ඔවුන්ට ගැලවුම්කරු ගැන තිබූ දැනුම හා ප්‍රේමය වැඩි කරගන්න හැකියාව තිබුණත් ඔවුන් එසේ කළේ නැහැ. ඒ වෙනුවට ඉන් කිහිපදෙනෙක් යේසුස්ව මරණයට පත් කරන්නත් හවුල් වුණා. ඒ නිසා පේතෘස් ඔවුන්ට මෙසේ උනන්දු කළා. “එබැවින් පසුතැවිලි වන්න. ඔබේ පව් මකා දමන පිණිස හැරෙන්න. එසේ කළ විට, ප්‍රාණවත් බවක් ගෙන දෙන කාලවල් යෙහෝවා දෙවිගෙන් පැමිණෙන අතර, ඔබ උදෙසා පත් කළ ක්‍රිස්තුස් නම් යේසුස්ව ඔහු එවන්නේය.” (ක්‍රියා 3:19, 20) පසුව යුදෙව්වන් දහස් ගණනක් හා “පූජකයන්ගෙන් මහත් සමූහයක්ද” යේසුස් ගැන විශ්වාසක් ඇති කරගත්තා. ඒ අය නම් තවදුරටත් කිසිවක් නොදන්නා අය හැටියට ක්‍රියා කළේ නැහැ. ඒ වෙනුවට ඔවුන් පසුතැවිලි වී යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ලබාගත්තා.—ක්‍රියා 2:41; 4:4; 5:14; 6:7.