Skip to content

පටුනට යන්න

2. විවෘත මනසකින් කියවන්න

2. විවෘත මනසකින් කියවන්න

බයිබලය හොඳින් තේරුම්ගැනීමට

2. විවෘත මනසකින් කියවන්න

ඔබේ මිතුරෙක් තවත් කෙනෙකු ගැන වැරදි වැටහීමක් ඔබ තුළ ඇති කළා කියා සිතන්න. ඔහුව යම් දිනක ඔබට මුණගැසුණොත් ඔහු කොතරම් හොඳ පුද්ගලයෙක් වුණත් ඔබට මුලින්ම මතක් වෙන්නේ ඔබේ මිතුරා ඔහු ගැන පැවසූ දේවල් නොවෙයිද? බයිබලය කියවා තේරුම්ගැනීමේදීද ඒ හා සමාන දෙයක් සිදු විය හැකියි.

බයිබල් ලේඛකයෙකු වූ පාවුල් විවෘත මනසකින් බයිබලය කියවීමට සියලුදෙනාවම දිරිගැන්වූවා. එසේ නොකළ යුදෙව්වන් ගැන ඔහු මෙවැනි දෙයක් පැවසුවා. “දෙවි කෙරෙහි උද්‍යෝගයක් ඔවුන්ට ඇති බවට මම ඔවුන් ගැන සාක්ෂි දරමි. නමුත් එය නිවැරදි දැනුමට අනුව නොවේ.”—රෝම 10:2.

ගැලවුම්කරු ගැන ශුද්ධ ලියවිල්ලේ බොහෝ අනාවැකි සඳහන් වී තිබුණු අතර ඒ අනාවැකි සියල්ල යේසුස් තුළ ඉටු වුණා. නමුත් යුදෙව්වන් යේසුස්ව ගැලවුම්කරු ලෙස පිළිගත්තේ නැහැ. ඊට හේතුව ඒ කාලයේ සිටි ඇතැම් මිනිසුන් දැරූ වැරදි අදහස් ඔවුන් විශ්වාස කිරීමයි. ඒ නිසා ඔවුන්ට ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේවල් නිවැරදිව තේරුම්ගැනීමට හැකි වුණේ නැහැ.

එයින් අපට ගත හැකි පාඩම වන්නේ බයිබලය කියවන විට විවෘත මනසකින් එය කියවිය යුතු බවයි. බයිබලය ගැන අන් අය දරන වැරදි අදහස් සිතේ තබාගෙන එය කියෙව්වොත් කෙදිනකවත් එය තේරුම්ගැනීමට හැකි වන්නේ නැහැ.

එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාවල වෙසෙන ආගම පිළිබඳ අධ්‍යයනය කරන මහාචාර්යවරයෙක් බයිබලය ගැන මෙවැනි අදහසක් පළ කළා. “බයිබලයේ තියෙන්නේ මිනිසුන්ගේ අදහස්. ඒවා එකිනෙකට ගැළපෙන්නෙත් නැහැ. ඒ නිසා ජීවිතයට අවශ්‍ය හොඳ මඟ පෙන්වීම් ඒකේ තියෙනවා කියලා කියන්න බැහැ.” ඔහු මෙන් යම් කෙනෙක් “බයිබලයේ තියෙන්නේ මිනිසුන්ගේ අදහස්” කියා සිතුවොත් එහි සඳහන් ප්‍රතිපත්ති තම ජීවිතයට අදාළ කරගන්න ඔහු පෙලඹෙයිද?

බයිබලය උනන්දුවෙන් අධ්‍යයනය කළ අතීතයේ සිටි බෙරීය නගරයේ වැසියන් ගැන පාවුල් මෙසේ පැවසුවා. “ඔවුහු මහත් උනන්දුවකින් වචනය පිළිගෙන, මේ දේවල් සැබෑදැයි බලන පිණිස දිනපතා ශුද්ධ ලියවිල්ල හොඳින් පරීක්ෂා කළෝය.” (ක්‍රියා 17:11) බයිබලයේ තිබෙන දේවල් තේරුම්ගැනීමට නම් ඔබත් ඔවුන් මෙන් විවෘත මනසකින් එය කියවා අධ්‍යයනය කළ යුතුයි. ඉන් අදහස් වන්නේ අන් අය බයිබලය ගැන දරන විවේචනාත්මක අදහස් මනසින් ඉවත් කර එහි සඳහන් දේවල් තේරුම්ගැනීමේ අරමුණින් එය කියවිය යුතු බවයි.