Skip to content

පටුනට යන්න

අරුම පුදුම මුද්‍රණාලයක විස්කම්!

අරුම පුදුම මුද්‍රණාලයක විස්කම්!

අරුම පුදුම මුද්‍රණාලයක විස්කම්!

ඔබ කියවන මේ මුරටැඹ සඟරාවේ කලාපයක් සමහරවිට ඔබ මීට කලිනුත් කියවලා ඇති. බොහෝවිට ඔබට මුරටැඹ සඟරා හෝ ඊට සමගාමීව බෙදාහැරෙන පිබිදෙව්! සඟරා ලැබෙන්න ඇත්තේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔබේ නිවසට පැමිණ මේ සඟරා බෙදාහැරිය අවස්ථාවක විය හැකියි. නැත්නම් ප්‍රසිද්ධ ස්ථානයකදී ඔවුන් මේ සඟරා බෙදාහැරිය අවස්ථාවක ඔබට ඒවා ලැබෙන්න ඇති. ඔවුන් මෙම සඟරා බෙදාහරින්නේ බයිබලයේ ඇති තොරතුරු ජනතාවට පැහැදිලිව තේරුම් කර දීම සඳහායි. මාසයක් තුළ මුරටැඹ සඟරාවේ පිටපත් ලක්ෂ 350කටත් වඩා මුද්‍රණය කෙරෙන අතර ලොව පුරා වැඩියෙන්ම බෙදාහැරෙන ආගමික සඟරාවත් එයයි.

මේ සඟරා මුද්‍රණය කරන්නේ කෙසේද, කොහේද කියා සමහරවිට ඔබ කල්පනා කරනවා ඇති. ඒ නිසා සාක්ෂිකරුවන්ගේ පොත් පත් මුද්‍රණය කෙරෙන ස්ථාන බොහොමයක් අතරින් එක් ස්ථානයක් ගැන අපි දැන් සලකා බලමු. එම මුද්‍රණාලය පිහිටා තිබෙන්නේ ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේ වොල්කිල්වලයි. මෙම මුද්‍රණාලය හැබැහින් දැකගන්න බොහෝදෙනෙකුට අවස්ථාවක් නැති නිසා මෙහි ඇති පින්තූර සහ විස්තර සලකා බැලීමෙන් එම මුද්‍රණාලය ගැන යම් අවබෝධයක් ලබාගත හැකියි.

නිව්යෝර්ක් නගරයේ බෘක්ලින්වල පිහිටි සාක්ෂිකරුවන්ගේ ලේඛන කමිටුව විසින් මුද්‍රණය කිරීමට නියමිත ලිපි විද්‍යුත් තැපෑලෙන් මුද්‍රණාගාරය වෙත යවනු ලබනවා. ඉන්පසු ලේසර් තාක්ෂණය යොදාගෙන මුද්‍රණය වීමට නියමිත ලිපිවල ඇති පින්තූර සහ අකුරු යන සියල්ල සියුම් තහඩුවල සටහන් කරනු ලබනවා. පසුව එම තහඩු විශාල මුද්‍රණ යන්ත්‍ර පහක් තුළට ඇතුළත් කරනවා. මාසයකට වොල්කිල් මුද්‍රණාලය වෙත මුද්‍රණය සඳහා අවශ්‍ය කොළ රෝල් 1,400ක් පමණ ගෙනෙනු ලබන අතර දිනකට කොළ ටොන් 80ත් 100ත් අතර ප්‍රමාණයක් භාවිත වෙනවා. සමහර කොළ රෝල් කිලෝග්‍රෑම් 1,300කටත් වඩා බරයි. මෙම කොළ මුද්‍රණ යන්ත්‍ර තුළට ඇතුළත් කිරීමත් සමඟම මුද්‍රණය සිදු වෙනවා. අවසානයේදී මෙම කොළ කපා පිටු 32කින් යුත් සඟරාවක් ලෙස සකස් කරනු ලබනවා. නමුත් පොත් පිළියෙල කරනු ලබන්නේ කෙසේද? මුලින්ම අවශ්‍ය පිටු කොටස් වශයෙන් ගෙන පසුව ඒ කොටස් එකට බඳිනු ලබනවා. එය කරනු ලබන්නේ යන්ත්‍ර උපයෝගි කරගෙනයි. ඒ සඳහා යොදාගන්නා එක් යන්ත්‍රයකින් දිනකට ගනකම් කවර සහිත පොත් 50,000ක් හා සැහැල්ලු කවර සහිත පොත් 75,000ක් පිළියෙල කළ හැකි අතර අනික් යන්ත්‍රයෙන් දිනකට සැහැල්ලු කවර සහිත පොත් 1,00,000ක් පමණ පිළියෙල කරගැනීමට හැකියාව තිබෙනවා.

වර්ෂ 2008දී වොල්කිල්හි පිහිටි මුද්‍රණාලයේ පොත් 2,80,00,000ක් මුද්‍රණය කරනු ලැබුවා. ඒවා අතර බයිබල් පිටපත් 26,00,000කටත් වඩා වැඩි ප්‍රමාණයක් තිබුණා. ඒ වසරේදීම සඟරා 24,33,17,564ක්ද මුද්‍රණය කරනු ලැබුවා. භාෂා 380කින් පමණ මුද්‍රණය කරනු ලබන එවැනි ප්‍රකාශන එම මුද්‍රණාලයේ ගබඩා කරනවා. ඉන්පසුව සිදු වන්නේ කුමක්ද?

එම ප්‍රකාශන එක්සත් ජනපදයේ පිහිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් 12,754ටත් කැරිබියන් දූපත් සහ හවායි දූපත්වල පිහිටි සභාවන් 1,369ටත් ලැබෙන්න සලස්වනවා. ඒවා ප්‍රවාහණය කරනු ලබන්නේ නැව්ගත කරන අංශය විසිනුයි. එලෙස සෑම මාසයකම පොත් පත් කිලෝග්‍රෑම් මිලියන 14ක් එක්සත් ජනපදයේ පිහිටි සභාවන්වලට ප්‍රවාහණය කරනු ලබනවා.

මේ මුද්‍රණාලයේ වටිනාකම රඳා පවතින්නේ එහි තිබෙන යන්ත්‍ර මත නොවෙයි. නමුත් එහි සේවය කරන අය මතයි. එහි අවුරුදු 19 සිට 92 දක්වා වයස් පරතරයක සිටින 300කට අධික පිරිසක් සේවය කරනවා. මේ කිසිම කෙනෙකුට ඔවුන්ගේ සේවය සඳහා ගෙවීමක් සිදු කරන්නේ නැහැ.

ඒ ස්වේච්ඡා සේවකයන් බලාපොරොත්තු වන්නේ මෙම ප්‍රකාශන කියවන අය බයිබලයේ ඇති ඉගැන්වීම් තේරුම්ගෙන ඒවා ජීවිතයට අදාළ කරගනියි කියායි. ඔබත් මේ සඟරා කියවීමෙන් යෙහෝවා දෙවි සහ යේසුස් ගැන දැනුම ලබාගෙන සදාකාල ජීවනය අත් කරගන්නවා දකින්න අපි ආසයි.—යොහන් 17:3.

[16වන පිටුවේ පින්තූර]

[17වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]