Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්!

ජීවිත වෙනස් කළ පොතක්!

ජීවිත වෙනස් කළ පොතක්!

ආගම ගැන තිබුණු විශ්වාසය නැති කරගත් කාන්තාවක් දෙවි ගැන අන් අයට කියා දීමට පෙලඹුණේ ඇයි? දරුණු ක්‍රීඩාවල නිරත වූ පුද්ගලයෙක් දැන් සාමකාමී ජීවිතයක් ගත කිරීමට හේතුව කුමක්ද? මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිත කරමින් රණ්ඩු දබර කළ පුද්ගලයෙක් ජීවිතය වෙනස් කරගත්තේ කෙසේද? මේ සම්බන්ධයෙන් ඔවුන් පැවසූ දේ සලකා බලමු.

තොරතුරු

නම: පෙනේලෝප් ටෝප්ලිචෙස්කූ

වයස: 40

රට: ඕස්ට්‍රේලියාව

අතීතයේදී: ආගම ගැන විශ්වාසයක් තිබුණේ නැහැ

මගේ අතීතය: මම ඉපදුණේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නිවල. මට වයස අවුරුදු දෙකේදී අපේ පවුලම පැපුවා නිව් ගිනියාවේ පදිංචියට ගියා. එහේදී අපි රාබවුල්වල අවුරුදු දෙකකුත් බෝගෙයින්විල්වල අවුරුදු අටකුත් ජීවත් වුණා. ඒ දවස්වල නිව් ගිනියාවේ රූපවාහිනී තිබුණේ නැහැ. ඒ නිසා මමයි මල්ලියි හුඟක් වෙලාවට විනෝද වුණේ පිහිනීම සහ සෙල්ලම් ගෙවල්වල සෙල්ලම් කිරීමෙනුයි.

වයස අවුරුදු දහයේදී විතර මම ආගම ගැන උනන්දුවක් දක්වන්න පටන්ගත්තා. මගේ අම්මා කතෝලික භක්තිකයෙක්. ඒ නිසා අපේ පළාතේ හිටිය කන්‍යා සොහොයුරියක් එක්ක බයිබල් පන්ති යන්න අම්මා මාව දිරිගැන්නුවා. මමත් ඒ විදිහටම කළා. වයස අවුරුදු දහයේදී මම බව්තීස්ම වුණා.

මගේ යෞවන වයසේදී අපි නැවත ඕස්ට්‍රේලියාවට ගියා. ඒ කාලයේදී මට ආගම ගැන හුඟක් ප්‍රශ්න තිබුණා. මම උසස් අධ්‍යාපනය හැදෑරුව කාලයේදී විෂයක් හැටියට ඉතිහාසය තෝරාගත්තා. ඒ වගේම ආගම්වල මූලාරම්භය ගැනත් අපිට විශ්වාස කරන්න අමාරු සමහර බයිබල් සිද්ධීන් ගැනත් මමයි තාත්තයි හුඟක් වෙලාවට කතා කරලා තියෙනවා. කාලයක් යද්දී මට කතෝලික ආගම එපා වුණා.

මට වසය අවුරුදු 16දී මගේ අම්මයි තාත්තයි වෙන් වුණා. අපේ අම්මට ඒක දරාගන්න ලේසි වුණේ නැහැ. මම හිටියේ තාත්තත් එක්ක. අම්මයි මල්ලියි වෙන ප්‍රදේශයක පදිංචියට ගිය නිසා මට අවුරුදු දෙකක් තිස්සේ අම්මව දකින්නවත් ලැබුණේ නැහැ. ඒ දවස්වල මට ලොකු තනිකමක් දැනුණා. මම පාසැලෙන් අස් වෙලා රැකියාවක් කරන්න පටන්ගත්තට පස්සේ මත්පැන්වලටත් මත්ද්‍රව්‍යවලටත් සාදවලට යන්නත් පුරුදු වුණා. මේ විදිහට මගේ තරුණ කාලේ නාස්ති වුණා.

වයස අවුරුදු 25දී විතර මම නැවත බයිබලයේ තිබුණු දේවල් ගැන හිතන්න පටන්ගත්තා. ඒ කාලයේදී මට අලුත් රැකියාවක් ලැබුණා. එතන ලිනෑ කියලා හරිම කරුණාවන්ත ගෑනු ළමයෙක් හිටියා. සමහර වෙලාවට රැකියා ස්ථානයේ ප්‍රධානියා එයාට හරිම සැරෙන් බණිනවා. ඒත් ලිනෑ නම් කවදාවත් එයාට ඒ විදිහට කතා කළේ නැහැ. දවසක් මම එයාගෙන් ඇහුවා ඇයි ඔයා එයාට බණින්නේ නැත්තේ කියලා. එතකොට ලිනෑ කිව්වා එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය ඉගෙනගන්න නිසා එහෙම කරන්න බැහැ කියලා. ඊටපස්සේ එයා මගෙන් ඇහුවා ඔයත් බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න කැමතිද කියලා. හැබැයි එයා කිව්ව විදිහට මම හිතුවේ එක පැයකින් එයා දන්න හැම දෙයක්ම මට ඉගෙනගන්න පුළුවන් වෙයි කියලයි. ඒත් මට තිබුණ ප්‍රශ්න සාකච්ඡා කරන්න එදා රෑ අපිට පැය තුනක් ගත වුණා. එයා බයිබලය පාවිච්චි කරලා මට දුන්න පිළිතුරු ගැන මම පුදුම වුණා.

මට තාමත් මතකයි එදා ඒ සාකච්ඡාවෙන් පස්සේ මම ගෙදර ගියේ දෙවිත් එක්ක හරිම කේන්තියෙන්. මම කල්පනා කළා මීට කලින් දෙවි ගැන ඉගෙනගන්න ඔහු මට අවස්ථාව නොදුන්නේ ඇයි කියලා. සාක්ෂිකරුවන් බයිබල් ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න උත්සාහ කරන සෙනඟක් කියලා මට තේරුණා. ඒත් මගේ ජීවිතේ අවශ්‍ය වෙනස්කම් කරන්න දැන් පරක්කු වැඩියි කියලයි මට හිතුණේ. ඒ වගේම සාක්ෂිකරුවන් කරනවා වගේ ගෙවල්වලට ගිහින් ශුභාරංචිය ගැන මිනිසුන්ට කියලා දෙන්න මට පුළුවන් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. ඒ නිසා සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම්වල වරදක් හොයාගෙන ඒ අයව ආශ්‍රය කරන එක නතර කරන්න මම තීරණය කළා. ඒත් මට පස්සේ තේරුණා කවදාවත් මට ඒගොල්ලන්ගේ ඉගැන්වීම්වල වරදක් හොයාගන්න ලැබෙන්නේ නැහැ කියලා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: බයිබලයේ සඳහන් ප්‍රමිති ගැන තව තවත් ඉගෙනගනිද්දී මම ජීවිතය ගෙවන ආකාරය ගැන මගේ හිත වධ දෙන්න පටන්ගත්තා. ඒ නිසා මත්ද්‍රව්‍ය ගන්න එක මම නතර කළා. ඒත් මම වෙන රටක පදිංචියට ගිය නිසා ආයෙත් මගේ පරණ ජීවිත රටාවට හුරු වුණා. මම බයිබල් ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න කොච්චර උත්සාහ කළත් මගේ අතින් නැවත නැවතත් කෙරුණේ ඒ පරණ දේවල්මයි. ඒ නිසා මම යෙහෝවා දෙවිට යාච්ඤා කළේ ලොකු ලැජ්ජාවකින්.

පුරාණයේ සිටි දාවිත් රජ බැත්-ෂෙබා නම් කාන්තාව සමඟ අනාචාරයේ යෙදෙමින් පව් කළත් යෙහෝවා දෙවි ඔවුන්ට දයාව පෙන්වූ ආකාරය මගේ හිතට තදින්ම කාවැදුණා. තමන් කළ වරද ගැන දාවිත් රජට දැඩි උපදෙස් ලැබෙද්දී ඔහු නිදහසට කරුණු කිව්වේ නැහැ. ඒ වගේම ඔහුට ලැබුණු හික්මවීම්ද ඔහු පිළිගත්තා. (2 සාමුවෙල් 12:1-13) මගේ අතින් වරදක් වුණ හැම මොහොතකදීම දෙවිගෙන් සමාව ඉල්ලන්න ඒ සිද්ධිය මට උදව් වුණා. ඒ වගේම වරදක් කළාට පස්සේ දෙවිගෙන් සමාව ඉල්ලනවා වෙනුවට වරදක් කරන්න පෙලඹීමක් ඇති වෙද්දිම දෙවිට යාච්ඤා කරලා උපකාර ඉල්ලන්න මම තීරණය කළා. ඒක හුඟක් සාර්ථකයි.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: මට හරි ඉක්මනට තරහා යනවා. කොහොමවුණත් බයිබලයේ එෆීස 4:29-31 දක්වා සඳහන් වන ආකාරයට “සියලු ආකාර වෛරසහගත හැඟීම්, කෝපය, උදහස” වැනි නරක පුරුදු අත්හරින එක කොච්චර වැදගත්ද කියලා මම තේරුම්ගත්තා. මම කේන්තිය පාලනය කරගන්න ඉගෙනගනිද්දී කතා කරන වචන ගැනත් පරෙස්සම් වුණා. ඒ වගේම සමහර කාරණාවලදී හිතහිතා ඉන්නේ නැතුව හරි තීරණයක් ගන්නත් මම ඉගෙනගත්තා. ඒ සඳහා මට උපකාරවත් වුණේ “එසේය” කියා කිව යුතු අවස්ථාවලදී “එසේය කියා” පැවසීම ප්‍රමාණවත් කියා යේසුස් දුන් උපදෙසයි.—මතෙව් 5:37.

මම සාක්ෂිකරුවන්ව ආශ්‍රය කරනවාට මගේ අම්මා කැමති වුණේ නැහැ. ඒත් කාලයක් ගියාට පස්සේ අම්මා කිව්වා මං ගැන අම්මා හුඟක් ආඩම්බර වෙනවා කියලා. ඒ වගේම අම්මා මට මෙහෙම දේකුත් කිව්වා, “ඔයා දැන් හොඳ කෙනෙක් වෙලා තියෙන්නේ ඔයාව හදා වඩා ගත්ත විදිහ නිසා නෙවෙයි, ඔයා යෙහෝවා දෙවි ගැන ඉගෙනගත්ත නිසයි” කියලා. ඒ වෙලාවේ මට ලොකු සතුටක් දැනුණා.

මගේ ජීවිතයට දැන් අරමුණක් තියෙනවා. ගෙවී ගිය වසර නවය පුරාම පූර්ණකාලීන සේවකයන් හැටියට මමත් මගේ ස්වාමිපුරුෂයාත් බයිබලයේ සඳහන් තොරතුරු අනික් අයට කියලා දෙන්න අපේ කාලය වැය කළා. ගෙයින් ගෙට ගිහින් මිනිසුන්ට ශුභාරංචිය දේශනා කිරීම තමයි මගේ ජීවිත කාලයටම මම කරලා තියෙන වැදගත්ම සේවය.

තොරතුරු

නම: ඩෙනිස් බූසිගන්

වයස: 30

රට: රුසියාව

අතීතයේදී: කරාටි ක්‍රීඩකයෙක්

මගේ අතීතය: මම හැදී වැඩුණේ රුසියාවේ ෆූර්මනෆ් කියන නගරයේ. ඒ නගරයේ මිනිසුන් 40,000ක් පමණ ජීවත් වෙනවා. ශරත් සෘතුවේදී ගස්වල කොළ කහ පාටට සහ රතු පාටට හැරෙන නිසා ඒ නගරය හරිම ලස්සනයි. අසූව සහ අනූව දශකවල එහේ හුඟක් ප්‍රචණ්ඩකාරී දේවල් සිද්ධ වුණා. අපි ගත කළේ හරිම සරල ජීවිතයක්. අම්මයි තාත්තයි මල්ලියි මමයි ජීවත් වුණේ පුංචි කාමරයක.

අවුරුදු හතේදී මම කරාටි ඉගෙනගන්න පටන්ගත්තා. මම ඒ ක්‍රීඩාවට හුඟක් කැමතියි. මට ඒකෙන් තොර ලෝකයක් තිබුණේ නැහැ. වෙලාවක් ලැබුණු ගමන් මම කරන්නේ ව්‍යායාම් කරන ස්ථානයට යන එකයි. මට හිටිය යාළුවනුත් ක්‍රීඩාවල නියැලුණා. වයස අවුරුදු 15දී මම කරාටි ක්‍රීඩාවෙන් රතු පටියත් අවුරුද්දකට පස්සේ දුඹුරු පටියත් හිමි කරගත්තා. රුසියාවේ පැවති තරඟවලටත් යුරෝපියානු සහ ආසියානු ශූරතාවලටත් මම සහභාගි වුණා. ඒත් වයස අවුරුදු 17දී මගේ මුළු ජීවිතයම වෙනස් වුණා.

මමයි මගේ යාළුවන් කිහිපදෙනෙකුයි කළ වරදක් නිසා මට අවුරුදු දෙකක සිර දඬුවම් නියම වුණා. හිරේදී මම ගත කළේ හරිම දුෂ්කර ජීවිතයක්. කොහොමවුණත් හිරේ ඉද්දී තමයි මම මුල්ම වතාවට බයිබලයක් දැක්කේ. එහේදී මම බයිබලයේ උත්පත්ති, ගීතාවලිය යන පොත් සහ අලුත් ගිවිසුමත් කියෙව්වා. ඒ වගේම මම හැමදාම රෑට නිදාගන්න කලින් බයිබලයේ සඳහන් ස්වාමීන්ගේ යාච්ඤාව කටපාඩමින් කියන්නත් පුරුදු වුණා. මම හිතුවා ඒකෙන් මට සහනයක් ලැබෙයි කියලා.

වර්ෂ 2000දී මම හිරෙන් නිදහස් වුණා. ඒ වෙද්දී මගේ ජීවිතයට කිසිම අරමුණක් තිබුණේ නැහැ. ඒ නිසා මම මත්ද්‍රව්‍ය ගන්න පටන්ගත්තා. ඒ කාලයේදීම මගේ අම්මාත් මිය ගියා. මගේ අම්මට මම හුඟක් ආදරේ කළ නිසා ඒක දරාගන්න මට ලෙහෙසි වුණේ නැහැ. කොහොමවුණත් මම මත්ද්‍රව්‍ය ගන්න එක නතර කරලා ආයෙත් ව්‍යායාම් කරන ස්ථානයට යන්න පටන්ගත්තා. මම අයිවනෝවෝ නගරයේ පදිංචියට ගිහින් කෑම කඩයක වැඩ කළා. ඒ කඩේ වැඩ බලාගත්ත කෙනා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්. බයිබලයේ මූලික ඉගැන්වීම් කිහිපයක් එයා මට පැහැදිලි කළා. ඊට පස්සේ බයිබලය ගැන තවදුරටත් ඉගෙනගන්න වෙන කෙනෙකුව එයා මට හඳුන්වලා දුන්නා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: බයිබලය ගැන ඉගෙනගනිද්දී යෙහෝවා දෙවි මේ මුළු පොළොවම පාරාදීසයක් කරන්න යනවා කියලා මම දැනගත්තා. ඒ පාරාදීස පොළොවේ ජීවත් වෙන්න නම් යෙහෝවා දෙවිගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වීම දෙවි අපෙන් බලාපොරොත්තු වෙන බව මම තේරුම්ගත්තා. ඒ වෙද්දී මම ගත කරමින් හිටියේ හරිම ආත්මාර්ථකාමී ජීවිතයක්. නමුත් යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපි අන් අය ගැන සිතමින් කාරුණිකව සහ සාමකාමීව ජීවත් වීම කියලත් මම ඉගෙනගත්තා.

යෙහෝවා දෙවි මං වෙනුවෙන් කොච්චර දේවල් කරලා තියෙනවාද කියලා මම කල්පනා කළා. ඔහුගේ එකම පුතාව පොළොවට එවලා මිය යන්න ඉඩහැරියෙත් මං වෙනුවෙන්. දෙවි මට පෙන්වලා තියෙන ප්‍රේමය නිසා මම මගේ ජීවිතය වෙනස් කරගන්න තීරණය කළා. බයිබලයේ ගීතාවලිය 11:5හි සඳහන් විදිහට යෙහෝවා දෙවි ප්‍රචණ්ඩත්වය හෙළාදකිනවා. ඒ නිසා රූපවාහිනියේ පෙන්වන ප්‍රචණ්ඩකාරී වැඩසටහන් බලන එක මම නතර කළා. ඒ විතරක් නෙවෙයි මම හුඟක් ආසාවෙන් කළ දරුණු ක්‍රීඩාවලටත් මම සමු දුන්නා. මම ඇසුරු කරන අය මගේ ජීවිතයට ලොකු බලපෑමක් ඇති කරනවා කියන එක තේරුම්ගන්න 1 කොරින්ති 15:33හි සඳහන් ප්‍රතිපත්තිය මට උපකාරවත් වුණා. ඒ බයිබල් ප්‍රතිපත්තිය කොච්චර සත්‍යයද කියන එක මම හිරේට ගිය දෙයින්ම පැහැදිලියි. මට එහෙම දේකට මුහුණ දෙන්න වුණේ මගේ යාළුවෝ නිසයි. ඒ නිසා ප්‍රචණ්ඩත්වයට කැමැත්තක් දක්වන අයව ඇසුරු කරන එක මම නතර කළා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව ඇසුරු කරමින් බයිබලය අධ්‍යයනය කළ නිසා මම දැන් අවංක කෙනෙක් ලෙස ජීවත් වෙනවා. බයිබලයේ හෙබ්‍රෙව් 13:5හි සඳහන් වෙන්නේ මුදලට ආශා කරන්න එපා කියලයි. මම ඒ උපදෙස ජීවිතයට අදාළ කරගත් නිසා සොරකම් කිරීමත් බොරු කීමත් නතර කළා.

හොඳ මිතුරන් ඇති කරගන්න මම කැමතියි. නමුත් ආත්මාර්ථකාමීකම නිසාත් වෙනත් හේතු නිසාත් මිත්‍රත්වයන් කැඩී යන ආකාරය මම හොඳට දැකලා තියෙනවා. ඒත් සාක්ෂිකරුවන් ඊට වඩා වෙනස්. ඔවුන් අතිනුත් සුළු සුළු අඩුපාඩුකම් සිද්ධ වෙනවා. ඒත් ඔවුන් අන් අයව ඇසුරු කරද්දී බයිබලයේ තියෙන උපදෙස් අදාළ කරගන්න ලොකු උත්සාහයක් දරනවා. ඒ නිසා මට පුළුවන් වෙලා තියෙනවා ඔවුන් අතරින් හොඳ මිතුරන් සොයාගන්න.

මම බයිබල් ප්‍රමිති මගේ ජීවිතයට අදාළ කරගත්තේ නැත්නම් මේ වෙද්දී මට මොනවා වෙලා ඇද්ද කියලා මට හිතාගන්නත් අමාරුයි. සමහරවිට මම හිරේ ඇති. නැත්නම් අනික් අයට ප්‍රශ්න ඇති කරමින් ජීවත් වෙනවත් ඇති. කොහොමවුණත් දැන් මමයි මගේ බිරිඳයි පුතාලා දෙන්නයි අන් අයට දෙවි ගැන කියා දෙමින් සතුටින් ජීවත් වෙනවා.

තොරතුරු

නම: සූසේ කාලෝස් පෙරෙයිරා ඩා සිල්වා

වයස: 31

රට: බ්‍රසීලය

අතීතයේදී: රණ්ඩු දබරවලට පැටලුණා

මගේ අතීතය: මම ජීවත් වුණේ සාඕ පවුලෝ නගරයේ තිබුණු මුඩුක්කු නිවාසයකයි. ඒ පළාත හරිම අපිරිසිදුයි. අපිට බොන්න පිරිසිදු වතුර තිබුණෙත් නැහැ. එහේ ජීවත් වුණේ අපරාධවලට හවුල් වුණු හරිම දරුණු මිනිස්සු.

ලොකු වුණාට පස්සේ මමත් රණ්ඩුවලට පැටලෙන්න පටන්ගත්තා. මම දරුණු කෙනෙක් බව මගේ ඇඳුම් පැළඳුම් සහ හැසිරීමෙන් පැහැදිලිව පෙනෙන්න තිබුණා. අපේ ගමේ අය මට හරිම භයයි. මම හුඟක් මත්පැන් පානය කළා විතරක් නෙවෙයි මගේ අයියලා වගේ මත්ද්‍රව්‍යවලටත් පුරුදු වුණා. මත්ද්‍රව්‍ය වැඩිපුර ගත්ත නිසා මගේ අයියා කෙනෙකුත් මිය ගියා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: දෙවි ළඟදීම මේ පොළොව පාරාදීසයක් කරන්න යන බව සාක්ෂිකරුවන් මට බයිබලයෙන් පෙන්නුවා. (ලූක් 23:42, 43; එළිදරව් 21:3, 4) මිය ගිය අයට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ කියලත් දෙවි නරක අයව අපායකට දාලා දඬුවම් කරන්නේ නැහැ කියලත් මම දැනගත්තා. (දේශනාකාරයා 9:5, 6) ඒක මට ලොකු සහනයක් වුණා. මම දෙවි ගැන ඉගෙනගද්දී මගේ ජීවිතය වෙනස් කරගන්න මට අවශ්‍ය වුණත් ඒක එච්චර ලේසි වුණේ නැහැ.

බයිබලයේ 1 කොරින්ති 6:9-11 දක්වා සඳහන් වදන් මට ලොකු දිරිගැන්වීමක් වුණා. දෙවි ගැන දැනගැනීමට කලින් මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන්ද වැරදි කළ බව එහි සඳහන් වෙනවා. එමෙන්ම ‘ඔබෙන් සමහරෙක් කලින් එවැනි අය වූහ. නමුත් ඔබව සෝදා පවිත්‍ර කර ඇත. ඔබව විශුද්ධ කර ඇත. අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්ද අපේ දෙවිගේ බලය ලබාගැනීමෙන්ද ඔබව ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කර ඇත’ කියාත් එහි සඳහන් වෙනවා. අතීතයේ සිටි අය නරක පුරුදු අත්හැර ක්‍රිස්තියානීන් බවට පත් වුණා නම් මටත් ඒ දේම කරන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ ඇති වුණා.

මම සාක්ෂිකරුවන්ව ඇසුරු කරද්දී ඔවුන් බයිබල් ප්‍රමිති අදාළ කරගන්න උත්සාහ දරන සෙනඟක් බව මට තේරුණා. අතීතයේදී මම හුඟක් නරක දේවල් කළ බව ඔවුන් දැන සිටියත් ඔවුන් මාව ආදරයෙන් පිළිගත්තා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: මම බයිබල් ප්‍රමිති මගේ ජීවිතයට අදාළ කරගත්තේ නැත්නම් සමහරවිට මම මේ වෙද්දී ජීවතුන් අතර නැති වෙන්න තිබුණා. මම මගේ ජීවිතය වෙනස් කරගත්ත නිසා මගේ අයියා කෙනෙකුටත් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදෙන්න උපකාර කරන්න පුළුවන් වුණා. ඒ වගේම බයිබලය අධ්‍යයනය කරන්න කියලා මම මගේ නෑදෑයන්ටත් උනන්දු කළා. යෙහෝවා දෙවි අපි එක් එක් කෙනා ගැන ඉතා සැලකිලිමත්. එවැනි දෙවි කෙනෙකුට සේවය කරන්න මම මගේ ජීවිතය කැප කළ එක ගැන මම හුඟක් සතුටු වෙනවා.

[24වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“වරදක් කළාට පස්සේ දෙවිගෙන් සමාව ඉල්ලනවා වෙනුවට වරදක් කරන්න පෙලඹීමක් ඇති වන විටම දෙවිට යාච්ඤා කරලා උපකාර ඉල්ලන්න මම තීරණය කළා, ඒක සාර්ථකයි”