Skip to content

පටුනට යන්න

ඉගැන්වීමේදී යේසුස් පෙන්වූ ප්‍රේමය අනුකරණය කරන්න

ඉගැන්වීමේදී යේසුස් පෙන්වූ ප්‍රේමය අනුකරණය කරන්න

ඉගැන්වීමේදී යේසුස් පෙන්වූ ප්‍රේමය අනුකරණය කරන්න

“කිසි කලක කිසිම මිනිසෙකු මේ වගේ නම් කතා කළේ නැත.”—යොහ. 7:46.

1. යේසුස් ඉගැන්වූ ආකාරය ගැන ජනයා ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

යේසුස්ගේ ඉගැන්වීම් අසා සිටි අය ඒ ගැන අතිශයින් පුදුම වුණා. ඔහු තම උපන් ගමේ උගන්වන විට එහි සිටි අය “ඔහුගේ මුවින් නික්මෙන ප්‍රියමනාප වදන් ගැන පුදුම” වුණා. එමෙන්ම යේසුස්ගේ කන්ද උඩ දේශනය අසා සිටි අය ඔහු “උගන්වන ආකාරය ගැන මවිත” වුණා. එපමණක් නොව යේසුස්ව අත්අඩංගුවට ගැනීමට පැමිණි නිලධාරීන් හිස් අතින්ම ආපසු හැරී ගොස් නායක පූජකයන්ට මෙසේ පැවසුවා. “කිසි කලක කිසිම මිනිසෙකු මේ වගේ නම් කතා කළේ නැත.”—ලූක් 4:22; මතෙ. 7:28; යොහ. 7:46.

2. යේසුස් ඉගැන්වීමේදී භාවිත කළ ක්‍රම මොනවාද?

2 එම නිලධාරීන් පැවසූ දේ ඇත්තෙන්ම නිවැරදියි. මෙතෙක් පොළොව මත ජීවත් වූ ශ්‍රේෂ්ඨතම ගුරුවරයා යේසුස් බවට විවාදයක් නැහැ. ඔහු නිතරම ඉගැන්වූයේ පැහැදිලි හා සරල ආකාරයටයි. ඔහුගේ තර්ක බිඳ හෙළිය නොහැකි ඒවායි. එමෙන්ම ඔහු ඉගැන්වීමේදී උපමා මෙන්ම ප්‍රශ්න ඉතා දක්ෂ ලෙස භාවිත කළා. තම අසන්නන් උසස් නිලතල හෙබවූ අය වුවත් සාමාන්‍ය ජනයා වුවත් ඔහු ඉගැන්වූයේ සැමටම තේරුම්ගත හැකි වන ලෙසයි. එමෙන්ම ඔහු ගැඹුරු සත්‍යයන් පවා පහසුවෙන් අවබෝධ කරගත හැකි ආකාරයට ඉගැන්වූවා. නමුත් ඔහු ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් වීමට දායක වූ තවත් දෙයක් තිබෙනවා.

ප්‍රධානතම දෙය නම් ප්‍රේමයයි

3. යේසුස් එදා සිටි ආගමික නායකයන්ට වඩා වෙනස් වූයේ කෙසේද?

3 එදා සිටි ලියන්නන් හා පරිසිවරුන්ගෙන් සමහර අය ඉතා බුද්ධිමත් මෙන්ම ඉගැන්වීමේ දක්ෂතා තිබූ අය බවට සැකයක් නැහැ. එසේනම් යේසුස්ගේ ඉගැන්වීම් ඔවුන්ට වඩා වෙනස් වූයේ කෙසේද? එම ආගමික නායකයන්ට සාමාන්‍ය ජනයා කෙරෙහි කිසිම ප්‍රේමයක් තිබුණේ නැහැ. ඔවුන් ඒ ජනයාව සැලකුවේ ‘ශාප ලත් සෙනඟක්’ ලෙසයි. (යොහ. 7:49) ඊට වෙනස්ව යේසුස් ජනයාව දුටුවේ “එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස්” සිටින පිරිසක් ලෙසයි. ඒ නිසා ඔහු ඔවුන්ට අනුකම්පා කර කාරුණික ලෙස සැලකුවා. (මතෙ. 9:36) නමුත් එදා සිටි ආගමික නායකයන්ට දෙවි සඳහා ප්‍රේමයක් තිබුණේ නැහැ. (යොහ. 5:42) එමෙන්ම ඔවුන් තමන්ට වාසි වන ආකාරයෙන් දෙවිගේ වචනය විකෘති කර ඉගැන්වූවා. නමුත් ඊට වෙනස්ව යේසුස් තම පියාට ප්‍රේම කළ අතර ඔහුගේ කැමැත්ත කිරීමටද ඉතා සතුටු වුණා. එමෙන්ම ඔහුට “දෙවිගේ වචනය” කෙරෙහි විශාල ඇල්මක් තිබූ අතර ඔහු ජනයාට එය උගන්වා පැහැදිලි කළා. එපමණක් නොව ඔහු ඊට පක්ෂව කතා කළ අතර එහි ඇති ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වුණා. (ලූක් 11:28) ඔව්, යේසුස් කළ කී සියල්ල එනම් ඔහු ඉගැන්වූ ආකාරය, ජනයාට සැලකූ ආකාරය හා ඔවුන්ට උපදෙස් ලබා දුන් ආකාරය පදනම් වූයේ ප්‍රේමය මතයි.

4, 5. (අ) ඉගැන්වීමේදී ප්‍රේමය වැදගත් වන්නේ ඇයි? (ආ) ඉගැන්වීමේදී දැනුම මෙන්ම හැකියාවද අවශ්‍ය ඇයි?

4 අපගේ දේවසේවය ඇතුළු ජීවිතයේ සෑම පැත්තකදීම යේසුස්ව අනුකරණය කරන්න අපි කැමතියි. (1 පේතෘ. 2:21) එමනිසා අප දේවසේවයේ හවුල් වන විට අපගේ අරමුණ වන්නේ බයිබලයේ අඩංගු තොරතුරු ජනයාට ලබා දීම පමණක් නොව ප්‍රේමය ඇතුළු දෙවිගේ අනිකුත් ගුණාංග ඔවුන්ට දැනෙන්න සැලැස්වීමයි. අපට ඇති දැනුම හා දක්ෂතා අඩු වැඩි විය හැකියි. නමුත් අප ශුභාරංචිය ප්‍රකාශ කරන විට හා උගන්වන විට යේසුස් මෙන් අන් අයට ප්‍රේමය පෙන්වනවා නම් ඉන් බොහෝ ප්‍රතිඵල ලැබිය හැකියි. ඔව්, යේසුස්ගේ අනුගාමිකයන් වන්න ජනයාට උපකාර කිරීමේදී යේසුස් මෙන් අපද ඔවුන්ට ප්‍රේමයෙන් යුතුව ඉගැන්විය යුතුයි.

5 දක්ෂ ගුරුවරයෙකු වීම සඳහා අප උගන්වන විෂය ගැන දැනුමක් මෙන්ම එය කාවදින ලෙස ඉගැන්වීම සඳහා හැකියාවක්ද වර්ධනය කරගත යුතු බව ඇත්තයි. යේසුස් තම අනුගාමිකයන්ට ඒ සඳහා හොඳ පුහුණුවක් ලබා දුන්නා. එලෙසම යෙහෝවා දෙවිද ඔහුගේ සංවිධානය මගින් අපවත් පුහුණු කරනවා. (යෙසායා 54:13; ලූක් 12:42 කියවන්න.) අප අන් අයට උගන්වන විට දැනුම, හැකියාව හා ප්‍රේමය එකට මුසු කරද්දී ඉන් ලැබෙන ප්‍රතිඵල ඉතා සතුටු දායකයි. එසේනම් අප උගන්වන විට ප්‍රේමය පෙන්විය හැක්කේ කුමන පැතිවලින්ද? යේසුස් සහ ඔහුගේ අනුගාමිකයන් එය කළේ කෙසේද? ඊට පිළිතුරු දැන් අපි බලමු.

යෙහෝවා දෙවි කෙරෙහි ප්‍රේමයක්

6. අපි බොහෝ සේ ප්‍රේම කරන කෙනෙක් ගැන කතා කරන්නේ කෙසේද?

6 අප ආශා කරන දේවල් ගැන කතා කරන විට ඉන් අප ලොකු ප්‍රීතියක් ලබනවා. එමෙන්ම ඒ ගැන කතා කරද්දී අපගේ මුහුණේ ඉරියව්වලින් හා හැසිරීමෙන් ඒ බව අන් අය දකිනවා. අප බොහෝ සේ ප්‍රේම කරන කෙනෙකු ගැන කතා කරන විටත් තත්වය එසේමයි. ඔහු ගැන දන්නා සියල්ල අප අන් අයට කියන්නේ හරිම ආශාවෙන්. අපි ඔහු ගැන වර්ණනා කරමින් ඔහුට ගෞරව කරමින් නිතරම ඔහුට පක්ෂව කතා කරනවා. අප ඒ සියල්ල කරන්නේ අන් අයද ඔහු ගැන දැනගෙන ඔහුට ප්‍රේම කරනවා දැකීමට අපට උවමනා නිසයි.

7. දෙවි කෙරෙහි තිබූ ප්‍රේමය නිසා යේසුස් පෙලඹුණේ කුමක් කිරිමටද?

7 අපි, අන් අය තුළ යෙහෝවා දෙවි කෙරෙහි ප්‍රේමයක් ඇති කිරීමට පෙර එය මුලින්ම අප තුළ ඇති කරගත යුතුයි. අප කරන නමස්කාරය පදනම් වන්නේ යෙහෝවා දෙවිට අපි දක්වන ප්‍රේමය මතයි. (මතෙ. 22:36-38) යේසුස් ඊට කදිම ආදර්ශයක්. ඔහු, දෙවිට මුළු හදවතින්, ජීවිතයෙන්, මනසින් හා ශක්තියෙන් ප්‍රේම කළා. පොළොවට පැමිණීමට පෙර ඔහු දෙවි සමඟ ගත කළ අසංඛ්‍යාත වසර ගණනාව තුළ දෙවිව හොඳින් හඳුනාගත්තා. ‘මා පියාණන්ට ප්‍රේම කරනවා’ කියා පැවසීමට යේසුස්ට හැකි වුණේ ඒ නිසයි. (යොහ. 14:31) එම ප්‍රේමය ඔහු කළ කී සෑම දෙයකින්ම පැහැදිලිව දිස් වුණා. ඒ නිසා ඔහු නිතරම කළේ දෙවිට ප්‍රසන්න දේවලුයි. (යොහ. 8:29) එමෙන්ම දෙවිව නියෝජනය කරනවා යයි පැවසූ කුහක ආගමික නායකයන්ව ඔහු හෙළා දැකීමට හේතුවත් එයයි. යෙහෝවා දෙවි ගැන අන් අයට කතා කිරීමටත් ඔහුට ප්‍රේම කිරීමට ඔවුන්ට උපකාර කිරීමටත් යේසුස් පෙලඹුණේ එම ප්‍රේමය නිසයි.

8. දෙවි කෙරෙහි තිබූ ප්‍රේමය නිසා යේසුස්ගේ අනුගාමිකයන් පෙලඹුණේ කුමක් කිරිමටද?

8 යේසුස් මෙන් ඔහුගේ අනුගාමිකයන්ද දෙවිට ප්‍රේම කළා. ඒ නිසා ඉතා උද්‍යෝගයෙන් හා නිර්භීතව ශුභාරංචිය ප්‍රකාශ කිරීමට එම ප්‍රේමය ඔවුන්ව පෙලඹෙව්වා. එදා සිටි ආගමික නායකයන්ගේ ප්‍රබල විරුද්ධවාදීකම් මැද පවා ඔවුන් මුළු යෙරුසලම පුරාම දෙවි ගැන ඉගැන්වූවා. ඔවුන් ඇසූ දුටු දේවල් නිසා ඔවුන්ට දෙවි ගැන කතා නොකර සිටීමට නොහැකි වුණා. (ක්‍රියා 4:20; 5:28) දෙවි තමන් සමඟ සිටිමින් තමන්ට ආශීර්වාද කරන බව ඔවුන් දැන සිටියා. ඔව්, දෙවි එසේ කළා! යේසුස්ගේ මරණයෙන් අවුරුදු 30ක් ගත වීමටත් පෙර ‘අහසින් යට මුළු මැවිල්ලේම’ ශුභාරංචිය ප්‍රකාශ කර තිබූ බව පැවසීමට පාවුල්ට හැකි වුණේ ඒ නිසයි.—කොලො. 1:23.

9. දෙවි කෙරෙහි අපට ඇති ප්‍රේමය වැඩි කරගත හැක්කේ කෙසේද?

9 අපත් දක්ෂ ගුරුවරුන් වීමට නම් දෙවි කෙරෙහි ඇති අපගේ ප්‍රේමය වැඩි කරගැනීමට නොකඩවා උත්සාහ කළ යුතුයි. එය කළ හැක්කේ කෙසේද? ඒ සඳහා නොකඩවා යාච්ඤා කිරීම අපට උපකාරයක්. බයිබලය අධ්‍යයනය කිරීමෙන්, එය මත පදනම් ප්‍රකාශන කියවීමෙන් හා රැස්වීම්වලට සහභාගි වීමෙන් දෙවි කෙරෙහි ඇති අපගේ ප්‍රේමය තවත් ශක්තිමත් කරගත හැකියි. මෙසේ අප දෙවි පිළිබඳ දැනුමෙන් වර්ධනය වෙද්දී අපගේ හදවත් ඔහු කෙරෙහි ප්‍රේමයෙන් පිරී යයි. එවිට අපගේ වචනයෙන් සහ ක්‍රියාවෙන් අපි දෙවිට ප්‍රේම කරන බව දකින අන් අයද දෙවිට ප්‍රේම කිරීමට පෙලඹිය හැකියි.ගීතාවලිය 104:33, 34 කියවන්න.

උගන්වන දේ කෙරෙහි අගයක් ඇතුව සිටින්න

10. දක්ෂ ගුරුවරයෙක් විශ්වාස කරන්නේ කුමක්ද?

10 දක්ෂ ගුරුවරයෙක් තමන් උගන්වන දේ සත්‍යය බවත්, එය ඉතා වැදගත් බවත්, වටිනාකමින් යුක්ත බවත් විශ්වාස කරනවා. එවැනි ගුරුවරයෙක් උගන්වන විට ඔහු තුළ ඇති උද්‍යෝගය ඔහුගෙන් ඉගෙනගන්න අයට පැහැදිලිව දැකගත හැකියි. එය ඔවුන්ට කදිම බලපෑමක්ද ඇති කරයි. නමුත් ගුරුවරයෙක් තමන් උගන්වන දේවල්වල වැදගත්කම හා වටිනාකම අගය නොකරනවා නම් තම ශිෂ්‍යයන් එය අගය කරයි කියා අපේක්ෂා කළ හැකිද? එමනිසා දෙවිගේ වචනය උගන්වන ගුරුවරයෙක් ලෙස ඔබ ආදර්ශවත් විය යුතු බව කිසිවිටෙක අමතක කරන්න එපා! “සම්පූර්ණයෙන්ම උගන්වනු ලැබූ සෑම කෙනෙකුම තම ගුරුතුමා මෙන් වන්නේය” කියා යේසුස් පැවසුවා.—ලූක් 6:40.

11. යේසුස්ට තමන් ඉගැන්වූ දේවල් කෙරෙහි අගයක් තිබුණේ ඇයි?

11 තමන් ඉගැන්වූ දේ ගැන යේසුස්ට ඉමහත් අගයක් තිබුණා. ඊට හේතුව අන් අය සමඟ බෙදාගැනීමට වටිනා යමක් තමන් සතු බව ඔහු දැන සිටීමයි. ඊට දෙවි පිළිබඳ සත්‍යය, “දෙවිගේ කියමන්” හා ‘සදාකාල ජීවනයේ වචන’ ඇතුළත්. (යොහ. 3:34; 6:68) ඉතා දීප්තිමත් ආලෝකයක් බඳු යේසුස්ගේ ඉගැන්වීම් තුළින් හරි දේ හා වැරදි දේ කුමක්ද යන්න හෙළි වුණා. එමෙන්ම ආගමික නායකයන් විසින් මුළා කළ හා සාතන්ගේ පීඩාවන්ට මැදි වී සිටි අයට එම ඉගැන්වීම් සැනසීම හා බලාපොරොත්තුව ගෙන දුන්නා. (ක්‍රියා 10:38) යේසුස් තමන් ඉගැන්වූ සත්‍යය කොතරම් අගය කළාද කියා ඔහු කළ කී සෑම දෙයකින්ම ඔප්පු වුණා.

12. පාවුල් ප්‍රකාශ කළ ශුභාරංචිය ඔහු අගය කළ බව පැහැදිලි වන්නේ කුමකින්ද?

12 යේසුස්ගේ අනුගාමිකයන්ද තමන් ඉගැන්වූ සත්‍යයන් සැලකුවේ ඉමහත් අගයකින් හා වටිනාකමින් යුතුවයි. ඒ නිසා ඒවා අන් අයට ඉගැන්වීමෙන් ඔවුන්ව වළක්වන්න ඔවුන්ගේ සතුරන්ට හැකි වුණේ නැහැ. පාවුල් එම ඉගැන්වීම් අගය කළ කෙනෙක්. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. ‘ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මට මහත් ඕනෑකමක් තිබේ. මන්ද, මම ශුභාරංචිය ගැන ලජ්ජා නොවෙමි. ඇත්තවශයෙන්ම එය, ඇදහිල්ල තිබෙන සියල්ලන්ට, ගැලවීම සලසන දෙවිගේ බලයයි.’ (රෝම 1:15, 16) එම වටිනා සත්‍යයන් ඉගැන්වීම පාවුල් සැලකුවේ උතුම් වරප්‍රසාදයක් ලෙසයි. ඔහු පැවසූ මේ දෙයින් ඒ බව පැහැදිලිය. ‘මට මේ මහත් කරුණාව දෙන ලද්දේ ක්‍රිස්තුස්ගේ සොයා දැනගත නොහැකි සම්පත ගැන ශුභාරංචිය මා අන්‍යජාතීන්ට ප්‍රකාශ කරන පිණිසයි.’ (එෆී. 3:8) පාවුල්, දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් අන් අයට උගන්වද්දී මොන තරම් උද්‍යෝගයකින් එසේ කළාද කියා අපට සිතා ගත හැකියි.

13. අප සතු ශුභාරංචිය අගය කිරීමට තිබෙන හේතු මොනවාද?

13 දෙවිව හොඳින් දැන හඳුනා ගෙන ඔහු සමඟ ප්‍රේමණීය බැඳීමක් ඇති කරගැනීම සඳහා බයිබලයේ සඳහන් ශුභාරංචිය අපට උපකාර කරනවා. ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු එහි අඩංගුයි. අපගේ ජීවිත වෙනස් කරගැනීමට, අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇති කරගැනීමට හා දුෂ්කර කාලවලදී ශක්තිමත්ව සිටීමට අවශ්‍ය උපකාර සපයන්න ඊට හැකියි. එමෙන්ම කිසිදා නිමා නොවන සතුටින් පිරි ජීවිතයකට මාර්ගයද ඉන් අපට ඉගෙනගත හැකියි. ඔව්, එම ශුභාරංචිය තරම් අනර්ඝ දෙයක් තවත් නැහැ. එය අපට සතුට ගෙන දෙන මිල කළ නොහැකි ත්‍යාගයක්. එමෙන්ම අප අන් අය සමඟ එය බෙදා ගන්නා විට අපගේ ප්‍රීතිය තව තවත් වැඩි වෙයි.—ක්‍රියා 20:35.

14. බයිබලයෙන් ඔබ ඉගෙනගත් දේවල් කෙරෙහි ඔබේ අගය තවත් වැඩි කරගත හැක්කේ කෙසේද?

14 බයිබලයෙන් ඔබ ඉගෙනගත් දේවල් කෙරෙහි ඔබේ අගය තවත් වැඩි කරගත හැක්කේ කෙසේද? ඒ සඳහා බයිබලය කියවන විට මදක් නැවතී ඔබ කියවූ දේ ගැන නැවත සිතන්න. උදාහරණයකට යේසුස්පොළොව මත සේවය කළ කාලයේදී ඔබත් ඔහු සමඟ සේවයේ හවුල් වන ආකාරය හෝ පාවුල් සමඟ විවිධ ප්‍රදේශවලට ගමන් කරන ආකාරය සිතින් මවාගන්න. එමෙන්ම ඔබ පාරාදීස පොළොවේ සිටින ආකාරයත් ඒ කාලයේදී ජීවිතය මොන තරම් වෙනස් එකක් වේවිද කියා මනසින් දකින්න උත්සාහ කරන්න. ශුභාරංචියට කීකරු වීම නිසා ඔබ මෙතෙක් ලබා ඇති ආශීර්වාද ගැන නැවත කල්පනා කර බලන්න. ඔබ උගන්වන දේවල් කෙරෙහි ඔබට ඉමහත් අගයක් තිබෙනවා නම් ඔබ උගන්වන අයටද එය පැහැදිලිව දැකගත හැකියි. අප ඉගෙනගත් දේවල් ගැන ගැඹුරින් කල්පනා කිරීමත් අප උගන්වන දේවල් ගැන නිරතුරුවම සැලකිලිමත් වීමත් මොන තරම් වැදගත්ද!—1 තිමෝති 4:15, 16 කියවන්න.

උගන්වන අය කෙරෙහි ප්‍රේමයක්

15. ගුරුවරයෙකුට තම ශිෂ්‍යයන් කෙරෙහි ප්‍රේමයක් තිබිය යුත්තේ ඇයි?

15 දක්ෂ මෙන්ම ප්‍රේමණීය ගුරුවරයෙක් උගන්වන විට ශිෂ්‍යන්ට පහසු බවක් දැනෙනවා. ඒ නිසා ඔවුන් ඉතා උනන්දුවෙන් ඉගෙනගැනීමට කැමති වන අතර ඔවුන්ගේ අදහස් පළ කිරීමට බිය වන්නේ නැහැ. ඔහු ශිෂ්‍යයන්ට දැනුම ලබා දෙන්නේ ඔහු ඔවුන් කෙරෙහි අවංක සැලකිල්ලක් දක්වන නිසයි. ඔහු උගන්වන විට නිතරම තම ශිෂ්‍යයන්ගේ අවශ්‍යතාවන් හා හැකියාවන්ට අනුව සකස් වෙනවා. එමෙන්ම ඔහු නිතරම ශිෂ්‍යයා ගැන අවධානයෙන් සිටිනවා. ගුරුවරයෙකුට තම ශිෂ්‍යයන් කෙරෙහි එවැනි ප්‍රේමයක් තිබෙන විට ඔවුන්ට එය දැනෙනවා. එවිට ඉගැන්වීමත් ඉගෙනගැනීමත් යන දෙකෙන්ම සතුටක් ලැබිය හැකියි.

16. යේසුස් ජනයාට ප්‍රේමය පෙන්වූයේ කෙසේද?

16 යේසුස් තම පරිපුර්ණ ජීවිතය අන් අයගේ ගැලවීම වෙනුවෙන් පරිත්‍යාග කිරීමෙන් ප්‍රේමය ශ්‍රේෂ්ඨතම ආකාරයෙන් විදහා පෙන්නුවා. (යොහ. 15:13) ඔහුගේ දේවසේවය අතරතුර ඔහු ජනයාගේ අවශ්‍යතාවන් ගැන සැලකිලිමත් වූ අතර විශේෂයෙන්ම දෙවි සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගැනීමට ඔවුන්ට උපකාර කළා. ජනයාව තමා වෙතට ගෙන්වා ගන්නවා වෙනුවට ඔහු ඔවුන්ව හමු වීම සඳහා ශුභාරංචිය රැගෙන කිලෝමීටර් සියගණනක් ඇවිද ගියා. (මතෙ. 4:23-25; ලූක් 8:1) ඔහු ඉතා ඉවසිලිවන්ත හා අන් අයව තේරුම්ගත් කෙනෙක්. තම අනුගාමිකයන්ව නිවැරදි කිරීමට අවශ්‍ය බව දැනුණ අවස්ථාවලදී ඔහු එසේ කළේ ඉතා ප්‍රේමණීයවයි. (මාක් 9:33-37) එමෙන්ම ඔවුන්ද දක්ෂ ගුරුවරුන් වන බවට යේසුස් තම විශ්වාසය පළ කරමින් ඔවුන්ව දිරිගැන්වූවා. මේ සියල්ල දෙස බලද්දී යේසුස් තරම් ප්‍රේමණීය මෙන්ම දක්ෂ ගුරුවරයෙක් තවත් නැහැ. යේසුස් පෙන්වූ ප්‍රේමය නිසා ඔහුගේ අනුගාමිකයන්ද ඔහුට ප්‍රේම කිරීමට හා ඔහුගේ ආඥා පැවැත්වීමට කැමැත්තෙන්ම පෙලඹුණා.යොහන් 14:15 කියවන්න.

17. යේසුස්ගේ අනුගාමිකයන් ජනයාට ප්‍රේමය පෙන්වූයේ කෙසේද?

17 යේසුස් මෙන් ඔහුගේ අනුගාමිකයන්ද තමන් ඉගැන්වූ අය කෙරෙහි ඉමහත් ප්‍රේමයක් හා සෙනෙහසක් පෙන්වූවා. පීඩා විඳදරාගනිමින් හා තම ජීවිත පවා අනතුරේ හෙළමින් ඔවුන් අන් අයට උපකාර කිරීමට හා ශුභාරංචිය ප්‍රකාශ කිරිමට ඉදිරිපත් වුණා. ශුභාරංචිය පිළිගත් අය ගැන ඔවුන්ට මොන තරම් ඇල්මක් තිබුණාද කියා පාවුල් පැවසූ මේ වචනවලින් අපට තේරුම්ගත හැකියි. “කිරි දෙන මවක් ඇගේ දරුවන්ව ආදරයෙන් රැකබලා ගන්නාක් මෙන්, අපි ඔබ අතරේ සිටියදී ඔබව මෘදු ලෙස බලාගත්තෙමු. මෙසේ ඔබ අපට ඉතා හිතවත් වූ හෙයින් ගැඹුරු සෙනෙහසකින් යුතුව, දෙවිගේ ශුභාරංචිය පමණක් නොව, අපේ ජීවිත පවා ඔබට දීමට අපි බොහෝ සේ සතුටු වුණෙමු.”—1 තෙස. 2:7, 8.

18, 19. (අ) ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා විවිධාකාර පරිත්‍යාග කිරීමට අපි කැමැත්තෙන් සිටිය යුත්තේ ඇයි? (ආ) අප පෙන්වන ප්‍රේමය අන් අයගේ අවධානයට ලක් වන බව පෙන්වන උදාහරණයක් දෙන්න.

18 එදා මෙන් අදත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙවිට සේවය කරන්න කැමති ජනයාව සෙවීමේ ලෝක ව්‍යාප්ත කාර්යයක යෙදී සිටිනවා. ඒ සඳහා ඔවුන් පසුගිය අවුරුදු 17 පුරා සෑම අවුරුද්දකම පැය බිලියනයකට වඩා වැඩියෙන් වැය කර තිබෙනවා. එමෙන්ම ඉදිරියටත් එම කාර්යය නොකඩවාම සිදු වෙනවා. ඒ සඳහා අපට අපගේ කාලය, ශක්තිය හා මිල මුදල් පරිත්‍යාග කරන්න සිදු වුණත් අප එහි හවුල් වන්නේ කැමැත්තෙන්මයි. ඊට හේතුව අපගේ ප්‍රේමණීය පියාණන් වන යෙහෝවා දෙවිගේ කැමැත්ත වන්නේ මිනිසුන් ඔහු ගැන දැනුම ලබාගෙන සදාකල් ජීවත් වෙනවා දැකීමයි. යේසුස් මෙන් අපද එය තේරුම්ගෙන තිබෙනවා. (යොහ. 17:3; 1 තිමෝ. 2:3, 4) යෙහෝවා දෙවිව දැන හඳුනා ගෙන ඔහුට ප්‍රේම කිරීම සඳහා අවංක හදවත් ඇති ජනයාට උපකාර කිරීමට අපව පොලඹවන්නේ ප්‍රේමයයි.

19 අප එසේ ප්‍රේමය පෙන්වන විට අන් අය එය හොඳින් දකිනවා. ඒ ගැන මේ අද්දැකීම බලන්න. එක්සත් ජනපදයේ ජීවත් වන පුරෝගාමි සහෝදරියක්, වියෝ දුකින් සිටින අයට ලිපි ලියනවා. එවැනි ලිපියක් ලැබුණු එක් තැනැත්තෙක් ඇයට මෙසේ පිළිතුරු එව්වා. “කිසිම දැන හැඳුනුම්කමක් නැති කෙනෙකුට ඔහුගේ දුක්බර අවස්ථාව දරාගන්න උපකාර කරන්න ඔබ දරපු වෑයම ගැන මට පුදුම හිතුණා. මේකෙන් මට තේරුම්ගන්න පුළුවන් දේ නම් ඔබට සෙසු මිනිසුන් ගැනත් ඔවුන්ට මඟ පෙන්වන ඔබේ දෙවි ගැනත් ඉමහත් ප්‍රේමයක් තිබෙන බවයි.”

20. ඉගැන්වීමේදී ප්‍රේමය මොන තරම් වැදගත්ද?

20 හැකියාව සමඟ ප්‍රේමය මුසු වූ විට එහි ප්‍රතිඵලය කදිම නිර්මාණයක් බව එක් පුද්ගලයෙක් පැවසුවා. එමනිසා අපත් උගන්වන විට ශිෂ්‍යයාට දෙවි ගැන නිවැරදි දැනුමක් ලබාගැනීමට මෙන්ම දෙවි කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් ඇති කරගැනීමටද උපකාර කිරීම අවශ්‍යයි. ඔව්, අප දක්ෂ ගුරුවරුන් වීමට නම් අපට දෙවි කෙරෙහි ප්‍රේමය, අප උගන්වන සත්‍යන් ගැන අගය හා උගන්වන අය කෙරෙහි ප්‍රේමයත් තිබීම අවශ්‍යයයි. අපි එවන් ප්‍රේමයක් හා අගයක් වර්ධනය කරගෙන එය අපගේ දේවසේවයේදී විදහා පෙන්වන විට විශාල ප්‍රීතියක් ලබන්න අපට හැකියි. එමෙන්ම අප යේසුස්ව අනුකරණය කරන බව හා දෙවිගේ සිත සතුටු කරන බව තේරුම්ගැනීමෙන් විශාල තෘප්තියක්ද ලැබිය හැකියි.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• අපි අන් අයට ශුභාරංචිය ප්‍රකාශ කරන විට හා උගන්වන විට

දෙවි කෙරෙහි ප්‍රේමයක් තිබිය යුත්තේ ඇයි?

උගන්වන දේ කෙරෙහි අගයක් තිබිය යුත්තේ ඇයි?

උගන්වන අය කෙරෙහි ප්‍රේමයක් තිබිය යුත්තේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

ලියන්නන් හා පරිසිවරුන්ට වඩා යේසුස් ඉගැන්වූ ආකාරය වෙනස් වුණේ ඇයි?

[18වන පිටුවේ පින්තූරය]

දක්ෂ ගුරුවරයෙකු වීම සඳහා දැනුම හා හැකියාවට අමතරව විශේෂයෙන්ම ප්‍රේමය පෙන්වීම අවශ්‍යයයි