Skip to content

පටුනට යන්න

සතුටු සිතින් දෙන්න, ලැබෙන දෙයට ස්තුතිවන්ත වන්න

සතුටු සිතින් දෙන්න, ලැබෙන දෙයට ස්තුතිවන්ත වන්න

සතුටු සිතින් දෙන්න, ලැබෙන දෙයට ස්තුතිවන්ත වන්න

ප්‍රේමණීය දෙවි යෙහෝවා අප ගැන බොහෝ සේ සැලකිලිමත් වන බව බයිබලයේ පවසනවා. (1 පේතෘ. 5:7) ඒ නිසා ඔහුට විශ්වාසවන්තව සේවය කිරීමට ඔහු අපට විවිධාකාරයෙන් උපකාර කරනවා. (යෙසා. 48:17) ඒ නිසා අප යම් ගැටලුවකට මුහුණ දී සිටින විටදී ඔහු ලබා දී ඇති උපකාරවලින් ප්‍රයෝජන ගන්නවා දකින්න ඔහු කැමතියි. දෙවි මෝසෙස්ට ලබා දුන් නිතීයේද ඒ බව පැහැදිලිව සඳහන් කර තිබුණා.

දෙවි, මෝසෙස්ට ලබා දුන් නීතියේ අනාථ, වැන්දඹු හා විදේශිකයන් වැනි “පීඩාවට පත්ව සිටින” අයට උපකාර කිරීමේ සැලැස්මක් තිබුණා. (ලෙවී. 19:9, 10, නව ලොව පරිවර්තනය, NW; ද්වි. 14:29) එලෙසම අද දිනත් තමන්ට නමස්කාර කරන අයට සෙසු නමස්කාරකයන්ගෙන් උපකාර අවශ්‍යය වන බව දෙවි දන්නවා. (යාකො. 1:27) ඒ නිසා අපට උපකාර කිරීමට දෙවි, සෙසු නමස්කාරකයෙකුව පෙලඹවිය හැකියි. ඒ උපකාර ලබාගැනීමට අපි අකමැති නොවිය යුතුයි. අනෙක් අතට අපට උපකාර ලැබෙන විට අපි ඊට ස්තුතිවන්ත විය යුතුයි.

උපකාර ලබාගැනීමට පමණක් නොව උපකාර කිරීමටද අපට අවස්ථාවන් උදා වෙනවා. එවැනි අවස්ථාවක් උදා කරගත් “දිලිඳු වැන්දඹුවක්” ගැන යේසුස් සඳහන් කළා. (ලූක් 21:1-4) දෙවිගේ නීතිය තුළින් වැන්දඹුවන්ට ලබා දුන් යම් යම් සහනවලින් ඇය ප්‍රයෝජන ගන්න ඇති. නමුත් ඇය ගැන සඳහන් කරද්දී අපට මතක් වන්නේ ඇය යම් දේවල් ලබාගැනීමට වඩා ලබා දීමට කැමති වූ කෙනෙක් ලෙසයි. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ” යන යේසුස්ගේ වචනවලට එකඟව ඇය ක්‍රිය කළ නිසා ඉන් සතුටක් ලැබූ බවට කිසිම සැකයක් නැහැ. (ක්‍රියා 20:35) එලෙසම ඔබටත් ‘දීමේ පුරුද්දක්’ ඇති කරගත හැක්කේ කෙසේද? එමෙන්ම ඉන් සතුටක් ලැබිය හැක්කේ කෙසේද?—ලූක් 6:38.

මම කෙසේ යෙහෝවා දෙවිට ස්තුති කරන්නද?’

දෙවි තමාට ලබා දුන් දේවල් ගැන ගීතිකාකරු මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවි මා වෙනුවෙන් කළ සියලු යහපත් දේවලට මම කෙසේ ඔහුට ස්තුති කරන්නද?” (ගීතා. 116:12NW) ගීතිකාකරු වෙනුවෙන් දෙවි කළේ කුමක්ද? ඔහු ‘දුක් කරදරවලට’ මුහුණ දුන් අවස්ථාවන්වලදී දෙවි ඔහුට අවශ්‍ය උපකාර ලබා දුන්නා. ඒ වගේම දෙවි ඔහුගේ ‘ජීවිතය මරණයෙන් බේරාගෙන’ තිබුණා. ඒ වෙනුවෙන් දෙවිට ස්තුතිවන්ත වන්න ඔහුට අවශ්‍ය වුණා. ඒ සඳහා ඔහු කළේ කුමක්ද? “මම යෙහෝවා දෙවිට දුන් පොරොන්දු ඉටු කරන්නෙමි” කියා ඔහු පැවසුවා. (ගීතා. 116:3, 4, 8, 10-14NW) දෙවිට ස්තුති කිරීමක් ලෙස ඔහු, දෙවිට කර තිබූ සියලු පොරොන්දු ඉටු කිරීමටත් දෙවි ඔහුගෙන් බලාපොරොත්තු වන දේ කිරීමටත් අදිටන් කරගත්තා.

ඔව්, සැමවිටම දෙවිගේ නීති ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීමෙන් ඔබටත් ගීතිකාකරු මෙන් දෙවිට ස්තුතිවන්ත විය හැකියි. ඔබ කරන සෑම දෙයක්ම දෙවිගේ බලයේ මඟ පෙන්වීම්වලට අනුවම කිරීමට වගබලා ගන්න. ඒ වගේම ඔහුට කරන නමස්කාරය ඔබගේ ජීවිතයේ වැදගත්ම දේ කරගන්න. (දේශ. 12:13; ගලා. 5:16-18) එමෙන්ම දෙවි ඔබ වෙනුවෙන් කර ඇති සියල්ලට සරිලන ආකාරයෙන් යමක් දෙවිට දෙන්න ඔබට නොහැකි බවද මතක තබාගන්න. ඒ කෙසේවෙතත් මුළු හදවතින්ම දෙවිට සේවය කිරීම මගින් ඔහුගේ “සිත සතුටු කරන්න” ඔබට පුළුවන්. (හිතෝ. 27:11NW) ඒ ආකාරයෙන් දෙවිගේ සිත සතුටු කරන්න ලැබීම මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද!

සභාවේ යහපත වෙනුවෙන් වැඩ කරන්න

ක්‍රිස්තියානි සභාවෙන් ඔබ බොහෝ උපකාර ලබා ඇති බවට කිසිම සැකයක් නැහැ. අසත්‍ය ඉගැන්වීම්වලින් නිදහස් වී දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට ඉන් ඔබට හැකි වී තිබෙනවා. (යොහ. 8:32) එමෙන්ම විශ්වාසවන්ත නුවණ ඇති දාසයා මගින් ලබා දෙන සභා රැස්වීම්, එක්රැස්වීම් හා සමුළු තුළින් දෙවි අපට දැනුම ලබා දෙන අතර එමගින් අපට දුක් වේදනාවෙන් තොර පාරාදීස පොළොවක සදාකාල් ජීවත් වීමේ අවස්ථාව උදා කරගත හැකියි. (මතෙ. 24:45-47) ක්‍රිස්තියානි සභාවෙන් දැනටමත් ඔබට මොන තරම් ආශීර්වාද ලැබී තිබෙනවාද? එමෙන්ම ඉදිරියේදී ලැබීමට නියමිත ආශීර්වාද මොන තරම්ද? මේ සියල්ලට ස්තුති කිරීමට ඔබට හැක්කේ කෙසේද?

ඒ සඳහා අපට කළ හැකි දේ ගැන ප්‍රේරිත පාවුල් මෙසේ පවසනවා. “මුළු ශරීරයම ඒකාබද්ධ කරනු ලැබ සහයෝගයෙන් ක්‍රියා කිරීමට සලස්වා තිබේ. එසේ වන්නේ සෑම සන්ධියක්ම අවශ්‍ය කාර්යය ඉටු කිරීමෙනුත් එක් එක් අවයවය යුතු ලෙස ක්‍රියා කිරීමෙනුත්ය. මෙසේ ශරීරය ප්‍රේමයෙන් යුක්තව ගොඩනැඟෙන පිණිස මුළු ශරීරයම එහි වර්ධනය උදෙසා ක්‍රියා කරන්නේය.” (එෆී. 4:15, 16) පාවුල් මෙහි කතා කරන්නේ අභිෂේක ලත් අය ගැන වුණත් එය අද සිටින සෙසු ක්‍රිස්තියානීන්ටත් අදාළ වෙනවා. ඔව්, සභාවේ සිටින සියලුම සාමාජිකයන්ට එහි වර්ධනය හා යහපත වෙනුවෙන් ක්‍රියා කළ හැකියි. ඒ කෙසේද?

සෙසු නමස්කාරකයන් දෙවිට කරන සේවය ගැන ඔවුන්ව අගය කිරීමෙන් හා ඔවුන්ව දිරිගැන්වීමෙන් එය කළ හැකියි. (රෝම 14:19) එමෙන්ම අපි ඔවුන් සමඟ කටයුතු කරද්දී ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරගතහොත් ‘මුළු ශරීරයේම වර්ධනය උදෙසා ක්‍රියා’ කරන්න අපට හැකියි. (ගලා. 5:22, 23) ඊට අමතරව “ප්‍රස්තාව තිබෙන තාක් කල් සියල්ලන්ටම, විශේෂයෙන්ම අපේ ඇදහිල්ලේ පවුලට අයත් අයට යහපත්කම්” කිරීමට හැකි ක්‍රම ගැන සොයා බලන්නද අපට පුළුවන්. (ගලා. 6:10; හෙබ්‍රෙ. 13:16) ඒ අනුව සභාවේ සිටින බාල, මහලු සියලුම සහෝදර සහෝදරියන්ට ‘ශරීරය වන සභාව ප්‍රේමයෙන් යුක්තව ගොඩනඟන්න’ උපකාර කරන්න පුළුවන්.

ඊට අමතරව අපට අපේ ශක්තිය, හැකියාවන් හා අප සතු දේවල් ශුභාරංචිය ව්‍යාප්ත කිරීම සඳහා යෙදවිය හැකියි. ඒ ගැන යේසුස් පැවසුවේ “ඔබට නොමිලේ ලැබුණේය, නොමිලේ දෙන්න” කියායි. (මතෙ. 10:8) ඒ නිසා ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ හා යේසුස්ගේ අනුගාමිකයන් වීමට අන් අයට උපකාර කිරීමේ කාර්යයෙහි අපගේ උපරිමයෙන් හවුල් වෙමු. (මතෙ. 24:14; 28:19, 20) ඔබට මේ සඳහා දායක විය හැක්කේ සීමිත ප්‍රමාණයකින්ද? එසේනම් යේසුස් පැවසූ දිලිඳු වැන්දඹුව ගැන කල්පනා කර බලන්න. ඇය කළේ ඇයට හැකි උපරිමයයි. ඇය ලබා දුන්නේ ඉතා සුළු වටිනාකමක් ඇති කාසි දෙකක් වුණත් ඇය අන් සියලුදෙනාටම වඩා වැඩියෙන් දැමූ බව යේසුස් පැවසුවා.—2 කොරි. 8:1-5, 12.

ස්තුතිවන්ත වන්න

ඔබ අන් අයට උපකාර කරන කෙනෙක් වුණත් ඔබටත් සභාවෙන් උපකාර අවශ්‍ය වන අවස්ථා උදා විය හැකියි. මේ දුෂ්ට ලෝකයෙන් එල්ල වන පීඩනවලින් ගොඩ ඒමට ඔබ උත්සාහ දරන විට සභාවෙන් ලැබෙන උපකාර පිළිගන්න පසුබට වන්න එපා. “සභාව එඬේරෙකු මෙන් රැකබලා ගැනීමට” යෙහෝවා දෙවි සුදුසුකම් ඇති ප්‍රේමණීය වැඩිමහල්ලන්ව පත් කර තිබෙනවා. අප යම් පීඩාවකට හෝ ගැටලුවකට මුහුණ දෙන විට අපට උපකාර කිරීමට ඒ අය නිතරම සූදානම්. (ක්‍රියා 20:28) සභාවේ සිටින වැඩිමහල්ලන් හා සෙසු සාමාජිකයන්ට අවශ්‍ය වන්නේ ඔබ යම් දුෂ්කර තත්වයකට මුහුණ දෙන විට ඔබට අවශ්‍ය උපකාර, ආරක්ෂාව හා සැනසීම ලබා දීමටයි.—ගලා. 6:2; 1 තෙස. 5:14.

ඔබට යම් උපකාරයක් ලැබෙන විට ඒ සඳහා ස්තුතිවන්ත වන්න. නිතරම ඔබට ලැබෙන උපකාරයට ඔබේ අගය පෙන්වන්න. එවැනි උපකාරයන් දෙවිගේ මහත් කරුණාවේ ප්‍රකාශයක් ලෙස සලකන්න. (1 පේතෘ. 4:10) අප එසේ කළ යුත්තේ ඇයි? කිසි දෙයක් අගය නොකරන, දෙවි ගැන අවබෝධයක් නැති මිනිසුන් මෙන් ක්‍රියා කිරීමට අපි කමැති නැති නිසයි.

සමබර මෙන්ම සාධාරණ වන්න

ෆිලිප්පි සභාවට ලියන විට පාවුල් තිමෝති ගැන මෙසේ පැවසුවා. “ඔබේ කාරණා ගැන ඔහු මෙන් අවංක සැලකිල්ලක් දක්වන අන් කිසිවෙකු මට නැත. මන්ද, අන් සියලුදෙනාම තම තමන්ගේ කාරණා මිස, ක්‍රිස්තුස් යේසුස්ගේ කාරණා සොයන්නේ නැත.” (ෆිලි. 2:20, 21) පාවුල් පැවසූ ලෙස අපිට ‘අපේම කාරණා’ ගැන පමණක් අවධානය යොමු කිරීමෙන් වැළකී සිටිය හැක්කේ කෙසේද?

අපට ඇති ගැටලුවක් විසඳා ගැනීමට අප සෙසු ක්‍රිස්තියානියෙකුගෙන් උපකාර පතනවා කියා සිතමු. එහිදී ඔහුගේ කාලය හා අවධානය සම්පූර්ණයෙන්ම ඒ සඳහා ඉල්ලීම සාධාරණ නැහැ. ඒ ඇයි? මේ ගැන සිතන්න. අපගේ හදිසි අවශ්‍යතාවකදී සහෝදරයෙක් යම් උපකාරයක් කළොත් අපි එය ඉතා අගය කරනවා. නමුත් අපි එවැනි උපකාරයක් ලබා දෙන්න කියා බල කරන්නේ නැහැ. ඔව්, අපට උපකාර කිරීමට අපගේ ප්‍රේමණීය සහෝදර සහෝදරියන් නිතරම සූදානම් බව අප දන්නවා. ඒ වුණත් අප ඔවුන්ගෙන් උපකාර ඉල්ලා සිටින විට ඔවුන්ට අප වෙනුවෙන් ලබා දිය හැකි කාලය ගැන අප සමබර මෙන්ම සාධරණ විය යුතුයි. එවිට අපට සතුටින් උපකාර කරන්න ඔවුනුත් කැමති වෙයි.

අපට උපකාර කිරීමට අපගේ සහෝදරයන් නිතරම සූදානම්. නමුත් එසේ උපකාර කිරීමට අපහසු අවස්ථාද ඔවුන්ට තිබෙන බවත් මතක තබාගනිමු. ඔබ එවැනි අවස්ථාවකට මුහුණ දෙන විට යෙහෝවා දෙවි දාවිත්ට උපකාර කළාක් මෙන් ඔබටත් උපකාර කරන බව ස්ථිරයි.—ගීතා. 116:1, 2; ෆිලි. 4:10-13.

යෙහෝවා දෙවි අපට විවිධ ආකාරවලින් උපකාර ලබා දෙනවා. විශේෂයෙන්ම අප ගැටලු හා පීඩාවලට මුහුණ දෙන විට ඔහු අපට උපකාර සපයනවා. අප කිසිවිටෙකත් ඒවා ලබාගන්න අදිමදි නොකළ යුතුයි. (ගීතා. 55:22) දෙවිට අවශ්‍ය ඔහු ලබා දෙන උපකාර අපි ලබාගන්නවා දකින්නයි. ඒ වගේම අපිත් අන් අයට “සතුටින්” උපකාර කරනවා දකින්න ඔහු කැමතියි. ඒ නිසා ඔබගේ තත්වය ඉඩදෙන ආකාරයට ඔබේ “සිතින් තීරණය කරගත් ලෙස” සැබෑ නමස්කාරයේ දියුණුවට උපකාර කරන්න. (2 කොරි. 9:6, 7) ඒ ආකාරයෙන් ඔබට ලැබෙන උපකාර අගය කිරීමකින් යුතුව භාර ගන්නත් සතුටු සිතින් අන් අයට උපකාර පිරිනමන්නත් ඔබට හැකියි.

[31වන පිටුවේ කොටුව/පින්තූරය]

“යෙහෝවා දෙවි මා වෙනුවෙන් කළ සියලු යහපත් දේවලට මම කෙසේ ඔහුට ස්තුති කරන්නද?”—ගීතා. 116:12NW

▪ ‘සියල්ලන්ටම යහපත්කම්’ කළ හැකි ක්‍රම සොයන්න

▪ සෙසු නමස්කාරකයන්ව අගය කරන්න, ඔවුන්ව දිරිගන්වන්න

▪ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ හා යේසුස්ගේ අනුගාමිකයන් වීමට අන් අයට උපකාර කිරීමේ කාර්යයෙහි උපරිමයෙන් හවුල් වන්න