Skip to content

පටුනට යන්න

සැබෑ ආගම හරි වැරැද්ද අතර වෙනස පෙන්වා දෙයි

සැබෑ ආගම හරි වැරැද්ද අතර වෙනස පෙන්වා දෙයි

යහපත් දේවලට මනස යොමු කරමින් හොඳ හැසිරීමක් පවත්වාගැනීමට කළ යුතු දේ කුමක්ද කියා සැබෑ ආගම මිනිසුන්ට උගන්වනවා. එමෙන්ම වැරදි කිරීමට පෙලඹවීමක් ඇති වන විට ඒවා පාලනය කරගනිමින් නිවැරදි දේ කරන්නේ කෙසේද කියාත් උගන්වනවා. ඊට කදිම උදාහරණයක් සලකා බලමු.

අතීතයේ කොරින්ති නගරයේ විසූ ක්‍රිස්තියානීන්ට දෙවිගේ සේවකයෙක් වූ පාවුල් මෙවැනි දෙයක් පැවසුවා. “අධර්මිෂ්ඨයන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නේ නැති බව ඔබ දන්නේ නැද්ද? නොරැවටෙන්න. අනාචාරකම් කරන්නෝවත්, ලෝභයෝවත්, බේබද්දෝවත්, නින්දා කරන්නෝවත්, ගසා කන්නෝවත් දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කර නොගන්නෝය. තවද ඔබ අතරෙන් සමහරෙක් එවැන්නෝ වූහ. එහෙත් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ නාමයෙන්ද අපගේ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් [දෙවිගේ බලය] මගින්ද ඔබ සෝදනු ලැබුවහුය. ශුද්ධ කරනු ලැබුවහුය. ධර්මිෂ්ඨ කරනු ලැබුවහුය.” (1 කොරින්ති 6:9-11, පැරණි අනුවාදය) ඉහත බයිබල් පදවල පෙන්නුම් කරන ආකාරයට නරක ජීවිත ගත කළ අයට තම ජීවිත වෙනස් කරගෙන දෙවිගේ සේවකයන් ලෙස පෙනී සිටීමට උපකාර කළේ සැබෑ ආගමයි.

කොහොමවුණත් “සාරධර්ම නොතකා තමන් රිසි රිසි දෙය ඇසීමේ ආශාවෙන් ගුරුවරුන් රැස් කරගන්නා කාලයක් පැමිණෙන” බව බයිබලයේ සඳහන් වුණා.—2 තිමෝති 4:3, නව අනුවාදය.

ඉහත බයිබල් පදය අද තිබෙන දහසකුත් ආගම්වලට අදාළ වන්නේ කෙසේද? ඔබෙන්ම මෙසේ අසාගන්න. අද තිබෙන ආගම් හරි වැරැද්ද ගැන බයිබලයේ පවසා තිබෙන දේවල් පිළිපදිනවාද? එසේත් නැත්නම් ඔවුන් උගන්වන්නේ බයිබල් ප්‍රතිපත්ති බාල කරමින් මිනිසුන් ප්‍රිය කරන දේවල්ද?

සැබෑ ආගම හඳුනාගත හැකි ලක්ෂණ මොනවාද කියා පහත සඳහන් වෙනවා. ඒත් සමඟ තිබෙන ප්‍රශ්න ගැනත් හොඳින් සිතා බලන්න.

විෂය: විවාහය.

බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?

“විවාහය සියල්ලන් අතර ගෞරවනීයවද විවාහ බැම්ම නොකැළැල්වද පවතීවා. මන්ද අවකල් ක්‍රියා කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දේවවිනිශ්චයට ලක් වනු ඇත.”—හෙබ්‍රෙව් 13:4, න.අ.

මේ ගැන සිතන්න:

දෙදෙනෙක් එකට ජීවත් විය යුත්තේ නිත්‍යානුකූල විවාහයකින් පසුව බව උගන්වන්නේ කුමන ආගමේද?

විෂය: දික්කසාදය.

බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?

“වේශ්‍යාකම නිසා මිස තම භාර්යාව දික්කසාද කොට වෙන ස්ත්‍රියක සරණ පාවාගන්නා කවරෙක් නමුත් කාමමිථ්‍යාචාරය කරන්නේය” කියා යේසුස් පැවසුවා.—මතෙව් 19:9, න.අ.

මේ ගැන සිතන්න:

දික්කසාදය සඳහා තිබෙන එකම පදනම වේශ්‍යාකම කියා උගන්වන්නේ කුමන ආගමේද?

විෂය: අනාචාරය.

බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?

“අනාචාරයෙන් පලා යන්න. අන් හැම පාපයක්ම මිනිසා කරන්නේ ශරීරයෙන් බැහැරය. එහෙත් අනාචාරය කරන්නා තමාගේම ශරීරයට විරුද්ධව පව් කරයි.”—1 කොරින්ති 6:18, න.අ.

“දෙවියන් වහන්සේ ඔවුන් නින්දිත කාම තෘෂ්ණාවලට පාවා දුන් සේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වාභාවික පුරුෂ සේවනය වෙනුවට තම තමන් අතර අස්වාභාවික ස්ත්‍රී සේවනයෙහිම යෙදුණාහ. එසේම පුරුෂයෝද ස්වාභාවික ස්ත්‍රී සේවනය වෙනුවට තම තමන් අතර කාම තෘෂ්ණාවෙන් දැවුණෝය. පුරුෂයන් සමඟ නින්දිත ක්‍රියාවල යෙදී තමන්ගේ දුරාචාරයට සුදුසු දඬුවම් ලැබූහ.”—රෝම 1:26, 27, න.අ.

මේ ගැන සිතන්න:

අනාචාරය හා සමලිංගික සේවනය වැරදි බව උගන්වන්නේ කුමන ආගමේද?

විෂය: ආගමේ සාමාජිකයෙක් දිගින් දිගටම වැරදි කළ විට.

බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?

“සහෝදරයෙකැයි කියන ලද කෙනෙක් වේශ්‍යාකම් කරන්නෙක්වත් ලෝභයෙක්වත් රූප වඳින්නෙක්වත් නින්දාකරන්නෙක්වත් බේබද්දෙක්වත් කොල්ලකාරයෙක්වත් වේ නම් එබන්දෙකු සමඟ සමාගම් නොපවත්වන්නටද කෑමවත් නොකන්ටද දැන් නුඹලාට ලියමි.” (1 කොරින්ති 5:11, පැ.අ.) නමුත් කෙනෙක් ක්‍රිස්තියානියෙක් ලෙස පෙනී සිටිමින් දිගින් දිගටම පසුතැවිලි නොවී පව් කරනවා නම් එවැනි කෙනෙක් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ගය කුමක්ද? ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔබ අතරින් ඒ දුෂ්ටයා පහ කරන්න.”—1 කොරින්ති 5:13, න.අ.

මේ ගැන සිතන්න:

පසුතැවිලි නොවී දිගින් දිගටම වැරදි කරන අයව ආගමේ සාමාජිකත්වයෙන් ඉවත් කරන්නේ කුමන ආගමේද?

 

හරි වැරැද්ද සම්බන්ධයෙන් බයිබලයේ තිබෙන උපදෙස් උගන්වන්නේ කුමන ආගමේද?