Skip to content

පටුනට යන්න

සැබෑ ආගම බයිබලයේ තිබෙන ප්‍රතිපත්ති පිළිපැදීමට උගන්වයි

සැබෑ ආගම බයිබලයේ තිබෙන ප්‍රතිපත්ති පිළිපැදීමට උගන්වයි

යේසුස් ශුද්ධ ලියවිල්ලේ තිබූ දේවල් ඒ ආකාරයෙන්ම අදාළ කරගත්තා. එක් අවස්ථාවකදී යක්ෂයා යේසුස්ව වරදට හසු කරගැනීමට උත්සාහ දෑරූ විට යේසුස් පැවසූ දේවලින් එය පැහැදිලි වෙනවා. (මතෙව් 4:4-11) යක්ෂයා යේසුස්ට පැවසුවේ ගල් රොටි බවට පත් කරන්න කියායි. නමුත් යේසුස් ද්විතීය කතාව 8:3හි සඳහන් වී තිබෙන වදන් උපුටා දක්වමින් එම යෝජනාව ප්‍රතික්ෂේප කළා. ඉන්පසුව යක්ෂයා යේසුස්ට පැවසුවේ ඔහු එක් වරක් තමාට නමස්කාර කළොත් ලෝකයේ තිබෙන සියලුම රාජ්‍යයන් ඔහුට ලබා දෙන බවයි. යේසුස් එම යෝජනාවට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ඔහු ද්විතීය කතාව 6:13හි සඳහන් වී තිබෙන වදන් උපුටා දක්වමින් එම යෝජනාවත් ප්‍රතික්ෂේප කළා.

යේසුස් දෙවිගේම පුත්‍රයා වුණත් ඔහු කිසිදාක තමාගේම අදහස් මිනිසුන්ට ඉගැන්වූයේ නැහැ. ඒ වෙනුවට ඔහු නිතරම ශුද්ධ ලියවිල්ලේ සඳහන් වී තිබෙන දේවල් ඉගැන්වූවා. එමෙන්ම මිනිසුන්ගේ සම්ප්‍රදායන් අනුගමනය කරමින් ශුද්ධ ලියවිල්ලේ සඳහන්ව තිබූ දේවලට පිටින් ගියෙත් නැහැ. (යොහන් 7:16-18) කොහොමවුණත් යේසුස්ගේ කාලයේ සිටි ආගමික නායකයන් ක්‍රියා කළේ ඒ ආකාරයෙන් නොවෙයි. ඔවුන් මිනිස් සම්ප්‍රදායන් පිළිපදිමින් ශුද්ධ ලියවිල්ල නොසලකාහැරියා. ඒ නිසා යේසුස් ඔවුන් ගැන මෙවැනි දෙයක් පැවසුවා. “නුඹලා නුඹලාගේ පරම්පරාගත නියෝග නිසා දෙවියන් වහන්සේගේ වචනය අවලංගු කළහුය. වංචාකාරයෙනි යෙසායා නුඹලා ගැන කතා කොට මේ සෙනග තොල්වලින් මට ගෞරව කරති. නමුත් ඔවුන්ගේ සිත මා කෙරෙන් දුරුව තිබේ. මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් [සම්ප්‍රදායන්] ගුරුකම් කොට උගන්වමින් ඔවුන් මට නමස්කාර කරන්නේ නිරර්ථකයේ යැයි අනාගත වචන මනාකොට කීයේයැයි කීසේක.”—මතෙව් 15:6-9, පැරණි අනුවාදය.

අද බොහෝ ආගමික භක්තිකයන් බයිබලයට ගරු කරන බව පවසනවා. නමුත් මිනිස් සම්ප්‍රදායන් පිළිපදිනවා වෙනුවට බයිබලයේ සඳහන් උපදෙස් පිළිපදින්න කියා දිරිගන්වන්නේ ඒ ආගම් අතරින් කුමන ආගමේද? එය පැහැදිලි කරගැනීමට කරුණු දෙකක් සලකා බලමු.

විෂය: ආගමික තනතුරු.

බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද? යේසුස්ගේ කාලයේ සිටි ඇතැම් ආගමික නායකයන් අන් අයගේ ගෞරවය ලබාගැනීම සඳහා උසස් තනතුරු ලබාගැනීමට මහත් කැමැත්තක් දැක්වුවා. ඒ ගැන යේසුස් මෙසේ පැවසුවා. “මංගල්‍යවලදී මූලාසනයටද සිනගෝගවලදී ප්‍රධාන අසුන්වලටද වෙළඳපොළවලදී ගෞරවාචාර ලැබීමටද මිනිසුන් විසින් ‘ගුරුදේව’ යැයි කියා අමතනු ලැබීමටද ප්‍රිය කරති.” ඉන්පසු යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙසේ උපදෙස් දුන්නා. “ඔබ ‘ගුරුදේව’ යැයි කියවා නොගන්න. ඔබගේ ගුරුදේවයාණෝ එක් කෙනෙක්මය. ඔබ කවුරුත් සහෝදරයෝය. මිහිපිට කිසිවෙකුට ‘පියාණෝය’යි නොකියන්න. ඔබට ඇත්තේ ස්වර්ගයේ වැඩ වසන එකම පියාණන් වහන්සේය.”—මතෙව් 23:1-10, නව අනුවාදය.

මේ ගැන සිතන්න: බයිබලයට අනුව ආගමික තනතුරු නැත්තේ කුමන ආගමේද?

විෂය: රූපවලට නමස්කාර කිරීම.

බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද? “කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසි දෙයක සමානත්වයක් හෝ සාදා නොගනුව. ඊට නමස්කාර නොකරව, සේවය නොකරව.”—නික්මයාම 20:4, 5, පැ.අ.

බයිබලයේ මෙවැනි ආඥාවක්ද දී තිබෙනවා. “මාගේ ප්‍රිය දරුවෙනි, දේවතා රූපවලින් දුරුව සිටපල්ලා.”—1 යොහන් 5:21, පැ.අ.

මේ ගැන සිතන්න: රූප නමස්කාරයෙන් වැළකී සිටිනලෙසට බයිබලයේ ඇති ආඥාව පිළිපදින්න කියා උගන්වන්නේ කුමන ආගමේද?

සැබෑ ආගම සොයා

දහසකුත් ආගම් අතරින් ජීවනයට මඟ පෙන්වන සැබෑ ආගම සොයාගැනීම දුෂ්කර කාර්යයක් නොවෙයි. ඊට හේතුව සැබෑ ආගම හඳුනාගත හැකි ලක්ෂණ බොහොමයක් තිබීමයි. (යාකොබ් 1:27) ඒ ලක්ෂණ මොනවාද කියා ඔබ මේ ලිපි පෙළ තුළින් හඳුනාගන්න ඇති.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වී මෙම ලිපිවල සඳහන් කර තිබූ ප්‍රශ්න ගැන වැඩිදුරටත් සාකච්ඡා කරන්න ඔබ කැමතිද? ඔවුන් ඒ සම්බන්ධයෙන් පවසන දේවලට හොඳින් සවන් දෙන අතරම අතීතයේ සිටි බෙරීයවරු මෙන් ක්‍රියා කරන්නත් උත්සාහ කරන්න. බෙරීයවරුන් සත්‍ය ඉගැන්වීම්වලට සවන් දෙනවාට අමතරව “දවස්පතා ලියවිලි සොයමින්” ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කළ බව බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 17:11, පැ.අ.) ඔබත් බෙරීයවරුන් මෙන් බයිබලය උනන්දුවෙන් අධ්‍යයනය කළොත් සදාකාල ජීවනයට මඟ පෙන්වන සැබෑ ආගම සොයාගැනීමට ඔබටත් හැකියි.

ඉගෙනගන්නා දේවල් බයිබලය සමඟ සන්සන්දනය කරන්න කියා දිරිගන්වන්නේ කුමන ආගමේද?