Skip to content

පටුනට යන්න

කොපමණ මුදලක් පරිත්‍යාග කළ යුතුද?

කොපමණ මුදලක් පරිත්‍යාග කළ යුතුද?

පාඨකයන් අසයි

කොපමණ මුදලක් පරිත්‍යාග කළ යුතුද?

“සතුටින් දෙන්නාට දෙවි ප්‍රේම කරන්නේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (2 කොරින්ති 9:7) නමුත් ඇතැම් අය තමන් ආගමික කටයුතු වෙනුවෙන් කරන පරිත්‍යාග ගැන සෑහීමට පත් වෙන්නේ නැහැ. තවත් ආගම්වල යම් නිශ්චිත මුදල් ප්‍රමාණයක් පරිත්‍යාග කළ යුතුයි කියා නියම කර තිබෙනවා. උදාහරණයකට ක්‍රිස්තියානියැයි කියාගන්නා ආගම්වල දසයෙන් කොටසක් පල්ලියට ලබා දීම අනිවාර්යයි. කෙසේවෙතත් යම් නිශ්චිත මුදලක් පරිත්‍යාග කළ යුතුයි කියා බයිබලයේ සඳහන් වෙනවාද?

අතීතයේදී කළ පරිත්‍යාග

ඊශ්‍රායෙල්වරුන් පරිත්‍යාග කළ යුතු ප්‍රමාණය ගැන දෙවි පැහැදිලිව සඳහන් කර තිබුණා. (ලෙවී කතාව 27:30-32; ගණන් කතාව 18:21, 24; ද්විතීය කතාව 12:4-7, 11, 17, 18; 14:22-27) නමුත් එම මඟ පෙන්වීම් ඊශ්‍රායෙල්වරුන්ට බරක් වුණේ නැහැ. ඊට හේතුව ඔවුන් දෙවිගේ ආඥාවලට කීකරු වෙනවා නම් ඔවුන්ට ‘නොමදව ආශීර්වාද’ කරන බවට දෙවි පොරොන්දු වී තිබීමයි.—ද්විතීය කතාව 28:1, 2, 11, 12.

තවත් සමහර අවස්ථාවලදී තමන්ට කැමති ලෙස පරිත්‍යාග කිරීමට ඔවුන්ට නිදහස තිබුණා. උදාහරණයකට පුරාණයේ සිටි දාවිත් රජ දේවමාලිගාව ඉදි කිරීමට සැලසුම් කළ අතර ඒ වෙනුවෙන් “රන් තලෙන්ත පන්දහසක්” පරිත්‍යාග කළ බව බයිබලයේ සඳහන් වෙනවා. * (1 ලේකම් 29:7, නව ලොව පරිවර්තනය, NW) ඊට අමතරව යේසුස්ගේ කාලයේදී “දිලිඳු වැන්දඹුවක් ඇවිත් ඉතා සුළු වටිනාකමක් ඇති කුඩා කාසි දෙකක්” දේවමාලිගාවට පරිත්‍යාග කළා. එහි වටිනාකම එවකට සිටි සේවකයෙකුට දිනකට ලැබුණ වැටුපෙන් 1/64කට සමානයි. නමුත් යේසුස් එය බෙහෙවින් අගය කළා.—ලූක් 21:1-4.

ක්‍රිස්තියානීන් කොපමණ මුදලක් පරිත්‍යාග කළ යුතුද?

යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතිය පිළිපැදීමට අද සිටින ක්‍රිස්තියානීන් බැඳී නැහැ. ඒ නිසා එහි සඳහන් වූ ආකාරයට නිශ්චිත ප්‍රමාණයක් පරිත්‍යාග කිරීම අවශ්‍ය නැහැ. කෙසේවෙතත් දෙවි වෙනුවෙන් යම් දෙයක් පරිත්‍යාග කිරීමෙන් ප්‍රීතිය අද්දැකිය හැකියි. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි.—ක්‍රියා 20:35.

ලෝක ව්‍යාප්තව සිදු කෙරෙන දේශනා සේවයට සහයෝගය දීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මුදල් පරිත්‍යාග කරනවා. එම මුදල් යොදාගනු ලබන්නේ මෙවැනි සඟරා ඇතුළු තවත් ප්‍රකාශන මුද්‍රණය කිරීමට සහ සාක්ෂිකරුවන් නමස්කාරය සඳහා රැස්වෙන ශාලාවන් ඉදි කර ඒවා නඩත්තු කිරීමටයි. කිසිම අවස්ථාවක එම සම්මාදම් වැටුප් ගෙවීම සඳහා යොදාගැනෙන්නේ නැහැ. සාක්ෂිකරුවන් අතරින් සමහර අය පූර්ණකාලීනව දේවසේවයේ හවුල් වෙනවා. ඔවුන්ගේ වියහියදම් සඳහා යම් මුදල් ප්‍රමාණයක් ලබා දුන්නද එය වැටුපක් නොවේ. එය පවා තමන්ට අනිවාර්යයෙන්ම දිය යුතුයි කියා ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් සෑම සාක්ෂිකරුවෙකුටම එලෙස මුදල් ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ වියදම් පියවාගැනීම සඳහා ඔවුන්ට රැකියාවල නිරත වීමට සිදු වෙනවා. අතීතයේ සිටි යේසුස්ගේ අනුගාමිකයෙක් වූ පාවුල්ද එසේ කළා. ඔහු දේවසේවයේ යෙදෙන අතරතුර තම වියදම් පියවාගැනීම සඳහා කූඩාරම් මැසීමේ නිරත වුණා.—2 කොරින්ති 11:9; 1 තෙසලෝනික 2:9.

සාක්ෂිකරුවන් ලෝක ව්‍යාප්තව කරන සේවය සඳහා කෙනෙක් යම් පරිත්‍යාගයක් කිරීමට කැමති නම් ඔහු කොපමණ ප්‍රමාණයක් පරිත්‍යාග කළ යුතුද? ඒ සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් වී තිබෙන්නේ මෙයයි. “එක් එක් කෙනා, අකමැත්තෙන්වත් බල කිරීම නිසාවත් නොව, තම සිතින් තීරණය කරගත් ලෙස දිය යුතුය. මන්ද, සතුටින් දෙන්නාට දෙවි ප්‍රේම කරන්නේය.”—2 කොරින්ති 8:12; 9:7.

[පාදසටහන]

^ 6 ඡේ. දාවිත් පරිත්‍යාග කළ රත්තරන් ප්‍රමාණයේ වටිනාකම වර්තමාන මුදලින් රුපියල් 4,79,48,55,00,000ක් පමණ වෙනවා.