Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

යේසුස්ගේ කාලයේ සිටි ලියන්නන් කවුරුන්ද?

යෙරුසලමේ සහ වෙනත් කුඩා නගරවල හා ගම්වලත් පලස්තීනයෙන් පිට ජීවත් වූ යුදෙව්වන් අතරත් ලියන්නන් සිටියා. ඔවුන්ට, මෝසෙස් මාර්ගයෙන් දෙවි දුන් නීතිය ගැන හොඳ දැනුමක් තිබුණා. එමනිසා ඔවුන් නීතිය පිටපත් කරන්නන් හැටියටත් විනිශ්චයකරුවන් හැටියටත් කටයුතු කරන්න ඇති.—මාක් 2:6; 9:14; ලූක් 5:17-21.

යෙරුසලමේ සිටි ලියන්නන් යුදෙව් පාලන ක්‍රමයටද සහය දුන්නා. (මතෙව් 16:21) ඔවුන්ගේ කාර්යභාරය ගැන එක් ශබ්දකෝෂයක මෙසේ සඳහන් වෙනවා. “විනිශ්චමය කාරණාවලදී මෙන්ම යුදෙව් සම්ප්‍රදායන් සහ නීතිමය කාරණාවලදී ඔවුන් පූජකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න ඇති. එමෙන්ම සැන්හෙඩ්‍රිනයේ හෙවත් මහාධිකරණයේ ක්‍රියාකාරකම්වලටත් ඔවුන් හවුල් වුණා.” ඔවුන් නීතිය උගන්වන ගුරුවරුන් ලෙස කටයුතු කළ අතර ඔවුන්ගෙන් සමහරුන් යුදෙව් මහාධිකරණයේ සාමාජිකයන් ලෙසත් පෙනී සිටියා. එමෙන්ම ඔවුන් පරිසිවරුන් හා නායක පූජකයන් සමඟ එකතු වී වැඩ කළා.—එම ශබ්දකෝෂය The Anchor Bible Dictionary.

බොහෝ අවස්ථාවලදී ශුද්ධ ලියවිල්ලෙහි ලියන්නන්ව විස්තර කර තිබෙන්නේ යේසුස්ට විරුද්ධව සිටි අය ලෙසයි. නමුත් සෑම ලියන්නෙක්ම යේසුස්ට විරුද්ධ වුණේ නැහැ. උදාහරණයකට එක් ලියන්නෙක් “ආචාරිනි, ඔබ යන ඕනෑම තැනකට මම ඔබ සමඟ එන්නෙමි” කියා යේසුස්ට පැවසුවා. තවත් අවස්ථාවක “ඔබ දෙවිගේ රාජ්‍යයට නුදුරුව සිටින්නෙහිය” කියා යේසුස්ම ලියන්නෙකුට පැවසුවා.—මතෙව් 8:19; මාක් 12:28-34.

පුද්ගලයෙකුව අභිෂේක කිරීමෙන් අදහස් වන්නේ කුමක්ද?

අතීතයේදී මැදපෙරදිග විසූ අය පුද්ගලයෙකුව සාදරයෙන් පිළිගැනීමට හෝ ඔහුට තම අනුග්‍රහය ඇති බව පෙන්වීමට එම තැනැත්තාගේ හිසට තෙල් වත් කළා. හෙබ්‍රෙව් ජාතිකයන්ද කෙනෙකුව විශේෂ පැවරුමකට තෝරාගත් විට ඔහුගේ හිසට තෙල් වත් කර ඔහුව අභිෂේක කළා. උදාහරණයකට ආරොන්ව උත්තම පූජකයා ලෙස තෝරාගත් විට ඔහුගේ හිසට තෙල් වත් කර ඔහුව අභිෂේක කළ බව බයිබලයේ සඳහන් වෙනවා. (ලෙවී කතාව 8:12) එමෙන්ම දාවිත්ව රජකමට තෝරාගත් විට ඔහුව අභිෂේක කළ ආකාරය ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙයයි. ‘සාමුවෙල් තෙල් භාජනය ගෙන, ඔහුව අභිෂේක කළේය. ඒ මොහොතේ සිට යෙහෝවා දෙවිගේ බලය දාවිත් තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය.’—1 සාමුවෙල් 16:13, නව ලොව පරිවර්තනය, NW.

අභිෂේක කිරීම විස්තර කිරීම සඳහා හෙබ්‍රෙව් භාෂාවෙන් යොදාගැනුණේ මාෂාක් යන වචනයයි. මෙසියස් යන වචනයට තිබෙන්නේද එම අදහසමයි. අභිෂේක කිරීම විස්තර කිරීමට ග්‍රීක භාෂාවෙන් යොදාගැනුණේ ක්‍රිඕ යන වචනයයි. ක්‍රිස්තුස් යන වචනයට තිබෙන්නේද එම අදහසමයි. ඒ අනුව ආරොන් සහ දාවිත් යන දෙදෙනාවම මෙසියස් හෙවත් අභිෂේක ලත් තැනැත්තන් ලෙස හැඳින්විය හැකියි. එමෙන්ම දෙවි තම නියෝජිතයා හැටියට සේවය කිරීමට මෝසෙස්ව තෝරාගත් නිසා ඔහුවද අභිෂේක ලත් තැනැත්තෙක් ලෙස හැඳින්විය හැකියි.—හෙබ්‍රෙව් 11:24-26.

යෙහෝවා දෙවි විසින් යේසුස්ව විශේෂ කාර්යයක් සඳහා තෝරාගනු ලැබුවා. ඒ සඳහා ඔහුව අභිෂේක කළේ තෙල්වලින් නොව දෙවිගේ බලය මාර්ගයෙනුයි. (මතෙව් 3:16) ඒ නිසා අභිෂේක ලත් තැනැත්තා යන අර්ථය ඇති මෙසියස් හා ක්‍රිස්තුස් යන යෙදුම්වලින් යේසුස්ව හඳුන්වනු ලබනවා.—ලූක් 4:18.