Skip to content

පටුනට යන්න

පොළොව මත සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව

පොළොව මත සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව

පොළොව මත සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව

‘මැවිල්ල නිෂ්ඵලභාවයට යටත් කරනු ලැබුවේ බලාපොරොත්තුව පදනම් කරගෙනයි.’—රෝම 8:20.

1, 2. (අ) සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව අපට වැදගත් වන්නේ ඇයි? (ආ) ඒ බලාපොරොත්තුව ගැන බොහෝදෙනාට එතරම් විශ්වාසයක් නැත්තේ ඇයි?

අසනීප, මහලු විය හා මරණය නැති කාලයක පොළොව මත සදහටම ජීවත් වීමට හැකි බව ඔබ මුල් වතාවට දැනගත් විට මොන තරම් සතුටට පත් වුණාද! (යොහ. 17:3; එළි. 21:3, 4) එම ආරංචිය අන් අයටත් පැවසීමෙන්ද ඔබ ඉමහත් සතුටක් ලැබූ බවද ස්ථිරයි. සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව අප ප්‍රකාශ කරන පණිවිඩයේ ප්‍රධාන අංගයක්. එය අපගේ මුළු ජීවිතයටම බලපාන බලාපොරොත්තුවක්!

2 නමුත් පොළොව මත සදාකාල ජීවිතය නමැති බලාපොරොත්තුව ගැන පල්ලිවල මෙන්ම වෙනත් ආගම්වල උගන්වන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් උගන්වන්නේ කෙනෙකු මිය යන විට නොනැසී පවතින යමක් ඔහුගේ ශරීරයෙන් පිට වී වෙනත් ස්ථානයක ජීවත් වන බවයි. නමුත් බයිබලයේ පවසන්නේ පුද්ගලයෙක් මිය යන විට ඔහුගේ පැවැත්ම සම්පූර්ණයෙන්ම අවසන් වන බවයි. (දේශ. 9:5) අද සිටින බොහෝදෙනාටද පොළොව මත සදාකාල ජීවිතයක් ගැන එතරම් විශ්වාසයක් නැත්තේ ඒ නිසයි. ඇත්තෙන්ම සදාකාල ජීවිතයක් ගැන බයිබලයේ සඳහන් වෙනවාද? එසේනම් දෙවි ඒ ගැන මුලින්ම මිනිසාට හෙළි කළේ කවදාද? ඒ ගැන අපි මෙම ලිපියෙන් සලකා බලමු.

නිෂ්ඵලභාවයට යටත් කරනු ලැබුවේ බලාපොරොත්තුව පදනම් කරගෙනයි’

3. මිනිසුන්ට සදාකාල ජීවිතයක් ලබා දීම දෙවිගේ අරමුණ වූ බව අප දන්නේ කෙසේද?

3 තමාට කීකරු වුණොත් සදාකාලයටම ජීවත් විය හැකි බව දෙවි ආදම්ට පැවසුවා. (උත්. 2:9, 17; 3:22) ඉන් පැහැදිලි වුණේ මිනිසා සම්බන්ධයෙන් දෙවිගේ මුල් අරමුණයි. නමුත් ආදම් සහ ඒව දෙවිට අකීකරු වූ නිසා සියල්ල වෙනස් වූ බව ඔහුට පසුව සිටි අය තේරුම්ගත් බව නිසැකයි. පාරාදීස උයනට ඇතුල් වීම ඔවුන්ට තහනම් කර තිබූ බවත් මිනිසුන් මහලු වී මිය යන ආකාරයත් ඔවුන් දුටුවා. (උත්. 3:23, 24) එමෙන්ම ඔවුන්ගේ ආයු කාලයද ක්‍රමානුකූලව අඩු වුණා. ආදම් අවුරුදු 930ක් ජීවත් වුණත් ෂෙම් ජීවත් වුණේ අවුරුදු 600යි. ඔහුගේ පුත්‍රයා වූ ආර්පක්සද් ජීවත් වුණේ අවුරුදු 438යි. ටේරා අවුරුදු 205ක් ජීවත් වුණත් ඔහුගේ පුත්‍රයා වූ ආබ්‍රහම් ජීවත් වුණේ අවුරුදු 175යි. එමෙන්ම ඔහුගේ පුත් ඊසාක් අවුරුදු 180ක් ජීවත් වූ අතර යාකොබ් ජීවත් වුණේ අවුරුදු 147ක් පමණයි. (උත්. 5:5; 11:10-13, 32; 25:7; 35:28; 47:28) එයින් ඔවුන් තේරුම්ගත්තේ කුමක්ද? සදාකල් ජීවත් වීම හා පරිපූර්ණත්වය තමන්ට අහිමි වී ඇති බවයි. නමුත් එය නැවත ලැබෙයි කියා ඔවුන්ට බලාපොරොත්තුවක් තිබුණාද? අප ඒ ගැන බයිබලයෙන් සලකා බලමු.

4. මිනිසාට අහිමි වූ තත්වය දෙවි නැවත ලබා දෙන බව විශ්වාස කිරීමට පුරාණයේ සිටි දෙවිගේ සේවකයන්ට තිබූ හේතුව කුමක්ද?

4 ‘මැවිල්ල [එනම් මිනිස් වර්ගයාව] නිෂ්ඵලභාවයට යටත් කරනු ලැබුවේ, බලාපොරොත්තුව පදනම් කරගෙනයි’ යන ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඔවුන්ට බලාපොරොත්තුවක් තිබූ බවයි. (රෝම 8:20) ඒ බව ඔවුන් තේරුම්ගත්තේ ඒදන් උයනේදී දෙවි පැවසූ මුල්ම අනාවැකියෙනුයි. ‘සර්පයාගේ හිස පොඩි කරන’ ස්ත්‍රියගෙන් පැවත එන තැනැත්තෙක් පිළිබඳව දෙවි පැවසුවා. (උත්පත්ති 3:1-5, 15 කියවන්න.) මනුෂ්‍ය වර්ගයා සඳහා වූ දෙවිගේ මුල් අරමුණ ඔහු අත්හැර දමා නැති බව ආබෙල්, නෝවා වැනි දෙවිගේ සේවකයන් ඉන් තේරුම්ගත්තා. ඒ වගේම සර්පයා, ස්ත්‍රියගෙන් පැවත එන තැනැත්තාගේ විලුඹ පොඩි කරන බවද එම අනාවැකියේ සඳහන් වූ නිසා ඊට ලේ වැගිරීමක් සිදු විය යුතු බව සමහරවිට ඔවුන් තේරුම්ගන්න ඇති.—උත්. 4:4; 8:20; හෙබ්‍රෙ. 11:4.

5. නැවත නැඟිටීම ගැන විශ්වාස කිරීමට ආබ්‍රහම්ට තිබූ හේතු මොනවාද?

5 දැන් අපි ආබ්‍රහම් ගැන සලකා බලමු. ඔහුට නැවත නැඟිටීම ගැන බලාපොරොත්තුවක් තිබුණා. ඒ බව ඔහු ‘තම එකම පුත්‍රයා වූ ඊසාක්ව ඔප්පු කිරීමට’ සූදානම් වූ සිද්ධියෙන් පැහැදිලි වෙනවා. (හෙබ්‍රෙ. 11:17) ඔහු එසේ කිරීමට කැමති වුණේ ඇයි? (හෙබ්‍රෙව් 11:19 කියවන්න.) නැවත නැඟිටීම කෙරෙහි ඔහුට දැඩි විශ්වාසයක් තිබූ නිසයි. එමෙන්ම ඔහුට ඒ සඳහා හොඳ පදනමක්ද තිබුණා. ඔහුත් සාරාත් දරුවන් බිහි කිරීමේ වයස පසු කර සිටි අවස්ථාවේදී පවා දරුවෙකු බිහි කිරීමේ හැකියාව දෙවි ඔවුන්ට නැවත ලබා දීම ඊට එක් හේතුවක්. (උත්. 18:10-14; 21:1-3; රෝම 4:19-21) එමෙන්ම “ඔබට පොරොන්දු වූ තැනැත්තා පැවත එන්නේ ඊසාක්ගෙන්ය” යන පොරොන්දුවත් යෙහෝවා දෙවි ආබ්‍රහම්ට දී තිබුණා. (උත්. 21:12, නව ලොව පරිවර්තනය, NW) ඒ අනුව ඊසාක්ව නැවත නැඟිටුවන්න දෙවිට හැකි බව විශ්වාස කිරීමට ආබ්‍රහම්ට හොඳ හේතු තිබුණා.

6, 7. (අ) ආබ්‍රහම් සමඟ දෙවි කළ ගිවිසුම කුමක්ද? (ආ) එම ගිවිසුමට අනුව පොළොවේ සියලු ජාතීන් ලැබීමට නියමිත කුමක්ද?

6 ආබ්‍රහම්ට තිබූ දැඩි විශ්වාසය නිසා දෙවි ඔහු සමඟ ගිවිසුමක් ඇති කළා. ඒ ගිවිසුම නම් ඔහුගෙන් විශේෂ තැනැත්තෙක් පැවත එන බවයි. (උත්පත්ති 22:18 කියවන්න.) එම තැනැත්තා යේසුස් ක්‍රිස්තුස් බව පසුව හෙළි වුණා. (ගලා. 3:16) එමෙන්ම ‘අහසේ තාරකා මෙන් හා මුහුදු වෙරළේ වැලි මෙන්’ වූ පිරිසක්ද ඔහුගෙන් ‘පැවත එන’ බව දෙවි පැවසුවා. එම පිරිසට කීදෙනෙක් අයත්ද කියා ආබ්‍රහම් දැන සිටියේ නැහැ. (උත්. 22:17NW) නමුත් එම පිරිසට 1,44,000ක් අයත් බව පසුව හෙළි වුණා. ඔවුන් යේසුස් සමඟ දේවරාජ්‍යයේ හවුල් පාලකයන් වීමට නියමිතයි. (ගලා. 3:29; එළි. 7:4; 14:1) දෙවි ආබ්‍රහම් සමඟ කළ ගිවිසුමට අනුව දේවරාජ්‍යය මගින් ‘පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලැබීමට’ නියමිතයි.

7 යෙහෝවා දෙවි තමා සමඟ කළ ගිවිසුම ක්‍රියාත්මක වන ආකාරය ආබ්‍රහම් සම්පූර්ණයෙන්ම තේරුම් නොගත්තා විය හැකියි. ඒ වුණත් “ඔහු සැබෑ අත්තිවාරම් ඇති නුවර ගැන බලා” සිටි බව බයිබලයේ පවසනවා. (හෙබ්‍රෙ. 11:10) එම නුවර නම් දේවරාජ්‍යයයි. එහි පාලනය යටතේ සදාකාල ජීවිතය භුක්ති විඳීමට නම් ඔහු නැවත නැඟිටිය යුතුයි. එසේ ආබ්‍රහම් මෙන් නැවත නැඟිටින අයත් හර්–මගෙදොන් යුද්ධයෙන් බේරී ජීවත් වන අයත් සදාකාල ජීවනය ලැබීමට නියමිතයි.—එළි. 7:9, 14; 20:12-14.

‘දෙවිගේ බලය මා තුළ ක්‍රියාත්මක වෙයි’

8, 9. යෝබ් පොතේ අඩංගු වන්නේ කුමන වැදගත් තොරතුරුද?

8 ආබ්‍රහම්ට පසුව ජීවත් වූ විශ්වාසවන්ත සේවකයෙක් වූ යෝබ්ටද එවැනි බලාපොරොත්තුවක් තිබුණා. ඔහු ජීවත් වුණේ යෝසෙප් හා මෝසෙස් ජීවත් වූ කාලය අතරතුරයි. පෙනෙන විදිහට යෝබ් පොත ලිව්වේ මෝසෙස් විසිනුයි. එහි සාතන් කළ චෝදනාව ගැනත් යෝබ් මුහුණ දුන් පීඩාවලට හේතුව ගැනත් අවසානයේදී ඔහුට ලැබුණු ආශීර්වාද ගැනත් සඳහන් වෙනවා. එමෙන්ම සාතන්ගේ චෝදනාවට මිනිසුන් හා දේවදූතයන් යන සියලුදෙනාම සම්බන්ධ බවත් ඉන් අපට තේරුම්ගත හැකියි. එපමණක්ද නොව දෙවිගේ පාලනය ධර්මිෂ්ඨ බව තේරුම්ගැනීමටද යෝබ් පොත අපට උපකාර කරනවා. එමෙන්ම ඒදන් උයනේ ඇති වූ ප්‍රශ්නයට පොළොවේ සිටින දෙවිගේ සියලුම සේවකයන්ගේ විශ්වාසවන්තකම හා ඔවුන්ගේ අනාගත බලාපොරොත්තුව සම්බන්ධ බව අවබෝධ කරගැනීමටද එය අපට උපකාරයක්. නමුත් යෝබ් එම තොරතුරු තේරුම් නොගත්තත් ඔහු දෙවිට දැක්වූ විශ්වාසවන්තකම බිඳගත්තේ නැහැ. (යෝබ් 27:5) දෙවිට විශ්වාසවන්තව සිටීමට හා ඔහුගේ පාලනයට පක්ෂපාත වීමට අපටත් හැකි බව තේරුම්ගැනීම අපට ඉමහත් ශක්තියක්.

9 යෝබ්ව සැනසීමට පැමිණි අය අතර සිටි එලිහු, ‘දෙවිගේ බලයේ’ පෙලඹවීම මගින් යෝබ්ට බලාපොරොත්තුවක් ගෙන දෙන යමක් පැවසුවා. (යෝබ් 32:5, 6, 18) එලිහු පැවසූ දේවල් ඉටු වුණේ යෝබ්ගේ පීඩා අවසන් වී ඔහු සමෘද්ධිමත් තත්වයට පැමිණි විටයි. නමුත් ඔහු යෝබ්ට පැවසූ දේ දෙවිට විශ්වාසවන්ත සියලුදෙනාටත් බලාපොරොත්තුවක් ලබා දෙනවා. ඉන් පැහැදිලි වන්නේ සමහර අවස්ථාවලදී දෙවි එක් පුද්ගලයෙකුට පවසන දෙයක් පොදුවේ මුළු මිනිස් වර්ගයාටම අදාළ වන අවස්ථා තිබෙන බවයි. එය තේරුම්ගැනීමට දැන් අපි තවත් සිද්ධියක් සලකා බලමු.

10. දෙවි එක් පුද්ගලයෙකුට පවසන දෙයකට සමහර අවස්ථාවලදී පුළුල් අර්ථයක් තිබෙන බව පෙන්වන උදාහරණයක් දෙන්න.

10 විශාල ගසක් කපා දැමීම පිළිබඳ සිහිනයක් නෙබුකද්නෙෂර් රජ දුටුවා. (දානි. 4:10-27) එම සිහිනය ඉටු වුණේ නෙබුකද්නෙෂර් රජ සම්බන්ධයෙන් වුණත් ඊට තවත් පුළුල් ඉටු වීමක්ද තිබුණා. ඒ කුමක්ද? දෙවිව නියෝජනය කරමින් දාවිත්ගේ පෙළපතින් පැමිණි රජවරුන් කළ පාලනය ක්‍රිස්තු පූර්ව 607දී අවසන් වුණා. ඉන් වසර 2,520කට පසු එනම්, 1914දී යෙහෝවා දෙවි යේසුස්ව ස්වර්ගයේ රජ ලෙස පත් කළා. * ඉන් පැහැදිලි වුණේ දෙවි පත් කළ රජ කෙනෙක් නැවතත් පොළොව පාලනය කිරීමට නියමිත බවයි. එම පාලනය මගින් කීකරු මිනිසුන්ගේ සියලු බලාපොරොත්තු ඉටු කරනවා.

“මිනී වළෙන් ඔහුව බේරාගන්න”

11. එලිහුගේ වචනවලින් අදහස් කළේ කුමක්ද?

11 දැන් අපි එලිහු යෝබ්ට පැවසූ දේ බලමු. ‘නිවැරදි දේ කුමක්ද කියා ඔහුට කියා දීමට පණිවිඩකරුවෙකු සිටින්නේ නම් එසේය, දහසක් අතරින් ඔහුව නියෝජනය කිරීමට තැනැත්තෙකු සිටන්නේ නම් එම පණිවිඩකරු ඔහුට අනුමැතිය ලබා දෙන මෙන් දෙවිගෙන් අයැදින්නේය. ඒ තැනැත්තා ඔහුට අනුකම්පා කොට මෙසේ කියනු ඇත. “මිනී වළෙන් ඔහුව බේරාගන්න. මන්ද ඔහු වෙනුවෙන් මම වන්දියක් ගෙවා ඇත. එවිට ඔහුගේ සම දරුවෙකුගේ සමට වඩා මෘදු වන්නේය. යළි ඔහු තරුණ වියට පැමිණෙන්නේය.”’ (යෝබ් 33:23-26 NW) එම වචනවලින් අදහස් කළේ පසුතැවිලි වන මිනිසුන් වෙනුවෙන් යම් වන්දියක් හෝ පූජාවක් පිළිගන්න දෙවි කැමති බවයි.—යෝබ් 33:24.

12. එලිහුගේ වචනවලින් මිනිස් වර්ගයාට ලබා දෙන බලාපොරොත්තුව කුමක්ද?

12 අනාගතවක්තෘවරුන් මෙන් එලිහුද ‘වන්දියක්’ පිළිබඳ ඔහු පැවසූ දේ සම්පූර්ණයෙන්ම වටහාගෙන තිබුණේ නැහැ. (දානි. 12:8; 1 පේතෘ. 1:10-12) ඒ වුණත් ඔහුගේ එම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ මිනිස් වර්ගයාව පාපයෙන් සහ මරණයෙන් ගලවාගැනීම සඳහා දෙවි වන්දියක් හෝ පූජාවක් පිළිගන්න කැමැත්තෙන් සිටින බවයි. එමෙන්ම සදාකාල ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවද එලිහුගේ වචනවල අන්තර්ගතයි. ඊට අමතරව නැවත නැඟිටීමක් සිදු වීමට නියමිත බවද යෝබ් පොතේ සඳහන් වෙනවා.—යෝබ් 14:14, 15.

13. එලිහු පැවසූ වචන ක්‍රිස්තියානීන්ට අදාළ වන්නේ කෙසේද?

13 මෙම දුෂ්ට සමාජයේ විනාශයෙන් බේරී ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින මිලියන ගණන් ක්‍රිස්තියානීන්ටද එලිහුගේ වචන විශාල සහනයක්. ඒ අය අතර සිටින මහලු අය නැවතත් තරුණ වියට පත් වීමට නියමිතයි. (එළි. 7:9, 10, 14-17) එමෙන්ම නැවත නැඟිටීම ලබන මහලු අයද තරුණ වියට පත් වෙද්දී එය ඔවුන්ගේද සතුටට හේතුවක්. එලිහු පැවසූ දේට අනුව දෙවි වන්දියක් පිළිගත් නිසා අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට ස්වර්ගයේ අමරණීය ජීවිතයක් හා ‘වෙනත් බැටළුවන්ට’ පොළොව මත සදාකාල ජීවිතයක් හිමි වෙනවා. නමුත් ඒ සඳහා මේ දෙපිරිසම යේසුස් තම ජීවිත පූජාවෙන් ගෙවූ වන්දිය කෙරෙහි විශ්වාසය තැබීම අනිවාර්යය දෙයක්.—යොහ. 10:16; රෝම 6:23.

මරණයට නිමාවක්

14. ඊශ්‍රායෙල්වරුන් සිටි පව්කාර තත්වයෙන් මිදීමට දෙවි මෝසෙස්ට දුන් නීතියට වඩා යමක් අවශ්‍ය බව පැහැදිලි වුණේ කුමකින්ද?

14 දෙවි ආබ්‍රහම්ගෙන් පැවත ආ ජාතිය සමඟ ගිවිසුමක් කළා. ඒ අවස්ථාවේදී දෙවි ඔවුන්ට මෙසේ පැවසුවා. “ඔබ මාගේ තීන්දුවලට සහ මාගේ පනත්වලට කීකරු විය යුතුයි. යමෙකු ඒවා පිළිපදින්නේ නම් ඔහුගේ ජීවිතය රැකෙනු ඇත.” (ලෙවී. 18:5NW) නමුත් දෙවි එම ජාතියට ලබා දුන් නීතියේ ඇති උසස් ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමට ඔවුන්ට නොහැකි වුණා. එම නීතිය මගින් සිදු වුණේ ඔවුන් සිටි පව්කාර තත්වය ඔවුන්ට පෙන්වා දීමයි. ඒ නිසා එම පව්කාර තත්වයෙන් මිදීමට ඔවුන්ට මඟක් අවශ්‍ය වුණා.—ගලා. 3:13.

15. දාවිත් රජ සඳහන් කරන්නේ අනාගතයේ ලැබෙන කුමන ආශීර්වාදය ගැනද?

15 මෝසෙස්ට පසුව සිටි බයිබල් ලේඛකයන්ට සදාකාල ජීවනයේ බලාපොරොත්තුව ගැන සඳහන් කරන්න දෙවි මඟ පෙන්නුවා. (ගීතා 21:4; 37:29) දාවිත් ඉන් එක් අයෙක්. දේවරාජ්‍යය යටතේ දෙවිගේ නමස්කාරකයන්ගේ එක්සත්කම ගැන ලියූ ගීතිකාවක් ඔහු අවසන් කළේ මෙසේයි. “යෙහෝවා දෙවි සදාකල් ජීවනය නමැති ආශීර්වාදය සියොන් මතට වගුරුවා ඇත.”—ගීතා 133:3NW.

16. දෙවි, යෙසායා තුළින් දුන් පොරොන්දුව කුමක්ද?

16 සදාකාල ජීවනයේ බලාපොරොත්තුව ගැන සඳහන් කළ තවත් කෙනෙක් වන්නේ යෙසායායි. (යෙසායා 25:7, 8 කියවන්න.) ඔහු පාපය හා මරණය මනුෂ්‍යයන්ව වෙළාගෙන සිටින ‘අඳුරු වලාවකට’ හෝ වැස්මකට සමාන කළා. නමුත් යෙහෝවා දෙවි ‘මුළු පොළොවෙන්ම’ පාපය හා මරණය සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවට සහතිකයක් දෙනවා.

17. සදාකාල ජීවනය ලබා දීම සඳහා ගැලවුම්කරු ඉටු කරන දේ ගැන අනාවැකියකින් පවසා තිබුණේ කුමක්ද?

17 යෙසායා පැවසූ තවත් අනාවැකියක් දැන් අපි සලකා බලමු. එමගින් මෝසෙස්ට දුන් නීතියේ තිබූ අෂාෂෙල්ට නියම වූ එළුවාගෙන් ඉටු වූ කාර්යය ගැන වඩා හොඳ අවබෝධයක් ලබාගන්න අපට හැකියි. වාර්ෂිකව පැවැත්වූ සමගි කිරීමේ දවසේදී උත්තම පූජකයා ඔහුගේ ‘අත් දෙකම එළුවාගේ හිස මත තබා ඊශ්‍රායෙල් සෙනඟ කළ සියලු අයුතුකම්ද ඔවුන්ගේ සියලු පාපද හෙළි කළා. මෙසේ ඔවුන්ගේ පව් සියල්ල එළුවා මත පටවා ඌව පාළුකරයට යැව්වා.’ (ලෙවී. 16:7-10, NW, 21, 22) පැමිණීමට නියමිත ගැලවුම්කරුද ඒ හා සමාන කාර්යයක් ඉටු කරන බව යෙසායා පැහැදිලි කළා. එම ගැලවුම්කරු බොහෝදෙනෙකුගේ ලෙඩ රෝග, දුක් වේදනා හා පාප උසුලාගෙන යන බව ඔහු පැවසුවා. ඒ තුළින් සදාකාල ජීවනය සඳහා මාර්ගය විවෘත වීමට නියමිතව තිබුණා.යෙසායා 53:4-6, 12 කියවන්න.

18, 19. යෙසායා 26:19 හා දානියෙල් 12:13හි සඳහන් කරන්නේ කුමන බලාපොරොත්තුව ගැනද?

18 යෙසායා මගින් දෙවි තම සෙනඟට මෙවැනි දෙයක්ද පැවසුවා. “මරණ නින්දෙහි සැතපී සිටින ඔබේ සෙනඟ යළි නැඟිටින්නෝය. මාගේ දේශයේ මිය ගිය අය නැවත ජීවත් වනු ඇත. දූවිල්ලෙහි සැතපී සිටින ජනයෙනි, අවදි වී ප්‍රීති ඝෝෂා නඟන්න! මන්ද ගස් වැල් මත පිනි බිඳු වැටෙන්නාක් මෙන් ඔබත් පින්නෙන් නැහැවී යන්නහුය. දරුවන් බිහි කරන්නාක් මෙන් පොළොව එහි මිය ගිය අයව පිටතට දමනු ඇත.” (යෙසා. 26:19NW) වයස අවුරුදු 100ක් පමණ වූ දානියෙල්ටද දෙවි මෙවැනි විශ්වාසවන්ත පොරොන්දුවක් ලබා දුන්නා. “ඔබ සැතපී සිටිනු ඇත. එහෙත් ඔබට වෙන් කළ කොටස ලබාගැනීම සඳහා ඔබ ආපසු නැඟිටිනු ඇත.” (දානි. 12:13NW) මෙතෙක් අප සලකා බැලූ සියල්ලෙන් පැහැදිලි වන්නේ නැවත නැඟිටීම හා සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව ගැන හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ ඉතා පැහැදිලිව සඳහන් කර ඇති බවයි.

19 පළමු සියවසේ සිටි අයද නැවත නැඟිටීම විශ්වාස කළා. ඒ බව මාර්තා, යේසුස්ට පැවසූ මේ දෙයින් පැහැදිලියි. “අන්තිම දවසේ නැවත නැඟිටීමේදී ඔහු නැඟිටින බව මම දනිමි.” (යොහ. 11:24) නමුත් යේසුස් හා ඔහුගේ අනුගාමිකයනුත් එම බලාපොරොත්තුව ගැන ඉගැන්නුවාද? එය අදටත් වලංගුද? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[පාදසටහන]

^ 10 ඡේ. දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! යන පොතේ 6වන පරිච්ඡේදය බලන්න.

ඔබට මතකද?

• මිනිසුන්ව ‘නිෂ්ඵලභාවයට යටත් කරනු ලැබුවේ’ කුමන බලාපොරොත්තුව ඇතුවද?

• ආබ්‍රහම්ට නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන විශ්වාසයක් තිබූ බව පැහැදිලි වන්නේ කුමකින්ද?

• එලිහු, යෝබ්ට පැවසූ දෙයින් මිනිස් වර්ගයාට ලබා දෙන බලාපොරොත්තුව කුමක්ද?

• නැවත නැඟිටීමේ හා සදාකාල ජීවනයේ බලාපොරොත්තුව ගැන හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලෙහි අවධාරණය කර ඇත්තේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[5වන පිටුවේ පින්තූරය]

එලිහු යෝබ්ට පැවසූ දෙයින් මහලු විය හා මරණයෙන් මිදීම ගැන අපට බලාපොරොත්තුවක් ලබා දෙනවා

[6වන පිටුවේ පින්තූරය]

දානියෙල්ට ‘වෙන් කළ කොටස ලබාගැනීම සඳහා ඔහු ආපසු නැඟිටින’ බව දෙවි ඔහුට පැවසුවා