Skip to content

පටුනට යන්න

මුල් ක්‍රිස්තියානීන්ට තිබූ පොළොව මත සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව

මුල් ක්‍රිස්තියානීන්ට තිබූ පොළොව මත සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව

මුල් ක්‍රිස්තියානීන්ට තිබූ පොළොව මත සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව

“ඔහු [දෙවි] ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය, මරණයද තවත් නොවන්නේය.”—එළි. 21:4.

1, 2. පළමු සියවසේ සිටි යුදෙව්වන් පොළොව මත සදාකාල ජීවනය පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටි බවට තිබෙන සාක්ෂි මොනවාද?

ධනවත් තරුණයෙක් යේසුස්ගේ දෙපා ළඟ වැටී මෙසේ අයැද සිටියා. ‘යහපත් ගුරුතුමෙනි, සදාකාල ජීවනය උරුම කරගැනීමට නම් මා කුමක් කළ යුතුද?’ (මාක් 10:17) ඔහුට අවශ්‍ය වුණේ කොතැන සදාකල් ජීවත් වෙන්නද? ඒ ගැන දැන් අපි සලකා බලමු. අපි කලින් ලිපියෙන් ඉගෙනගත් ලෙස සියවස් ගණනාවක් පුරා යුදෙව්වන්ගේ බලාපොරොත්තුව වුණේ නැවත නැඟිටීම තුළින් සදාකාල ජීවනය ලබාගැනීමයි. පළමු සියවසේ සිටි යුදෙව්වන් බොහෝදෙනෙකුටත් තිබුණේ එම බලාපොරොත්තුවමයි.

2 “අන්තිම දවසේ නැවත නැඟිටීමේදී ඔහු නැඟිටින බව මම දනිමි” කියා මාර්තා, යේසුස්ට පැවසූ වදන්වලින්ද පැහැදිලි වන්නේ නැවත නැඟිටීම ගැන ඇය විශ්වාස කළ බවයි. (යොහ. 11:24) නමුත් ඒ කාලයේ සිටි සද්දුසිවරු නම් එය විශ්වාස කළේ නැහැ. (මාක් 12:18) කෙසේනමුත් පළමු සියවසේ යුදෙව් ආගම ගැන ලියැවුණු පොතක මෙසේ සඳහන් වුණා. ‘ක්‍රිස්තු පූර්ව දෙවන හෝ පළමුවන සියවස්වල ලියූ ලියවිලිවලින් තහවුරු වන්නේ මිය ගිය අය යම් නිශ්චිත කාලපරිච්ඡේදයකදී නැවත නැඟිටින බවට වූ විශ්වාසය බොහෝදෙනා අතර තිබූ බවයි.’ එම තොරතුරුවලින්ද පැහැදිලි වන්නේ ඉහත කී ධනවත් තරුණයාට අවශ්‍ය වුණේ පොළොව මත සදාකාල ජීවනය ලබන්නයි.—Judaism in the First Centuries of the Christian Era.

3. මෙම ලිපියෙන් සලකා බලන්නේ කුමන ප්‍රශ්න ගැනද?

3 බොහෝ විශාරදයන් මෙන්ම බොහෝ ආගම්වලද පවසන්නේ සදාකාල ජීවිතයක් පිළිබඳව යේසුස් ඉගැන්නුවේ නැති බවයි. එමෙන්ම බොහෝදෙනා විශ්වාස කරන්නේ කෙනෙක් මිය යෑමෙන් පසු ඔහු කිසිවෙකුට නොපෙනෙන ආකාරයෙන් ජීවත් වන බවයි. එවැනි අදහස් නිසා ග්‍රීක ශුද්ධ ලියවිලි කියවන බොහෝදෙනා සිතන්නේ එහි සඳහන් “සදාකාල ජීවනය” යන ප්‍රකාශය අදාළ වන්නේ ස්වර්ගයේ ලැබීමට නියමිත ජීවිතයට පමණක් කියායි. සදාකාල ජීවනය ගැන පවසද්දී යේසුස්ට තිබුණේ එම අදහසමද? ඔහුගේ අනුගාමිකයන් විශ්වාස කළේ කුමක්ද? පොළොව මත සදාකල් ජීවිතයක් ගැන ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ සඳහන් වී තිබෙනවාද?

‘සියල්ල අලුත් කරන කාලයේදී’ ලැබෙන සදාකාල ජීවිතය

4. ‘සියල්ල අලුත් කරන කාලයේදී’ සිදු වීමට නියමිත දේවල් මොනවාද?

4 ස්වර්ගයට ගොස් පොළොව පාලනය කිරීමට නැවත නැඟිටින පිරිසක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. (ලූක් 12:32; එළි. 5:9, 10; 14:1-3) නමුත් සදාකාල ජීවිතය පිළිබඳ යේසුස් කතා කළ සෑම අවස්ථාවකදීම ඔහු අදහස් කළේ ස්වර්ගයේ ජීවිතය ගැන පමණක් නොවෙයි. පොළොවෙහි සදාකල් ජීවත් වන පිරිසක් ගැනත් ඔහු කතා කළා. ධනවත් තරුණයා තම ආරාධනය ප්‍රතික්ෂේප කළාට පසු යේසුස් තම අනුගාමිකයන්ට පැවසූ දෙයින් ඒ බව තේරුම්ගත හැකියි. (මතෙව් 19:28, 29 කියවන්න.) යේසුස් තම අනුගාමිකයන්ට පැවසුවේ ඔවුන් “ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොස” කෙරෙහි රජවරුන් හා විනිශ්චයකරුවන් ලෙස ස්වර්ගයේ සිට පාලනය කිරීමට නියමිත බවයි. එම ගෝත්‍ර දොළහෙන් නියෝජනය කළේ පොළොව මත ජීවත් වීමට නියමිත සියලුදෙනාවයි. (1 කොරි. 6:2) එමෙන්ම තමන්ව අනුගමනය කරන ‘සියල්ලන්ට’ ලැබෙන ආශීර්වාද ගැනද ඔහු සඳහන් කළා. ඔවුන්ට “සදාකාල ජීවනය” හිමි වීමටද නියමිතයි. යේසුස් පැවසූ ලෙස ඒ සියල්ල සිදු වන්නේ ‘සියල්ල අලුත් කරන කාලයේදීයි.’

5. ‘සියල්ල අලුත් කරන කාලය’ කියන්නේ කුමක්ද?

5 ‘සියල්ල අලුත් කරන කාලය’ කීමෙන් යේසුස් අදහස් කළේ කුමක්ද? ඒ කාලය ගැන යේසුස් සඳහන් කළත් ඒ ගැන පැහැදිලි කිරීමක් කළේ නැහැ. ඒ ඇයි? ඊට බොහෝදුරට හේතු වන්න ඇත්තේ යුදෙව්වන් වසර සිය ගණනක් පුරා ‘සියල්ල අලුත් කරන කාලය’ ගැන බලාපොරොත්තුවෙන් සිටීමයි. ‘සියල්ල අලුත් කරන කාලය’ කීමෙන් යේසුස් අදහස් කළේ ආදම් සහ ඒව පව් කිරීමට පෙර තිබූ තත්වය නැවත ඇති කිරීමයි. ‘අලුත් අහස සහ අලුත් පොළොව’ ගැන දෙවි දී තිබූ පොරොන්දුව එවිට ඉටු වනු ඇත.—යෙසා. 65:17, නව ලොව පරිවර්තනය, NW.

6. පොළොව මත සදාකාල ජීවනයක් තිබෙන බව යේසුස් සඳහන් කළ නිදර්ශනයෙන් තහවුරු වන්නේ කෙසේද?

6 වර්තමාන දුෂ්ට සමාජයේ අවසානය ගැන කතා කළ අවස්ථාවේදීත් යේසුස් සදාකාල ජීවනය ගැන සඳහන් කළා. (මතෙ. 24:1-3) ඒ අවස්ථාවේදී ඔහු මෙවැනි දෙයක්ද පැවසුවා. “මනුෂ්‍ය පුත්‍රයා තම තේජසින් සියලු දේවදූතයන් සමඟ එන කල ඔහු තම තේජවත් සිංහාසනයේ ඉඳගන්නේය. සියලු ජාතීන් ඔහු ඉදිරියෙහි රැස් කරනු ලැබේ. එඬේරෙකු එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නාක් මෙන් ඔහුද මිනිසුන්ව වෙන් කරන්නේය.” එහිදී බරපතළ විනිශ්චයක් ලබන අය “සදහටම කපාහැරීමටද ධර්මිෂ්ඨයෝ සදාකාල ජීවනයටද පිටත්ව” යන බව ඔහු පැවසුවා. යේසුස් පැවසූ ලෙස සදාකාල ජීවනය හිමි ‘ධර්මිෂ්ඨයන්’ වන්නේ යේසුස්ගේ අභිෂේක ලත් ‘සහෝදරයන්ට’ උපකාර කළ අයයි. (මතෙ. 25:31-34, 40, 41, 45, 46) අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව තෝරාගන්නේ ස්වර්ග රාජ්‍යයෙහි පාලකයන් වීම සඳහා නිසා ඉහත සඳහන් ‘ධර්මිෂ්ඨයන්’ විය යුත්තේ ඒ රාජ්‍යය යටතේ සිටින මේ පොළොවේ වැසියනුයි. ඒ කාලය ගැන බයිබලයේ කලින්ම මෙසේ පවසා තිබුණා. “මුහුදෙන් මුහුදටද මහ ගංගාවේ සිට පොළොවේ සියලු සීමා දක්වාද ඔහුගේ [යෙහෝවා දෙවි පත් කළ රජුගේ] පාලනය විහිදී යන්නේය.” (ගීතා. 72:8NW) මෙසේ දේවරාජ්‍යයේ පාලනය යටතේ පොළොවේ සීමා දක්වා විසිරී සිටින සියලුදෙනාම සදාකාල ජීවිතය භුක්ති විඳීමට නියමිතයි.

යොහන් ඒ ගැන පවසන දේ

7, 8. නිකදේමස් සමඟ කළ සාකච්ඡාවේදී යේසුස් සඳහන් කළ බලාපොරොත්තු දෙක කුමක්ද?

7 “සදාකාල ජීවනය” සම්බන්ධයෙන් යේසුස් කතා කළ බව අපි මතෙව්, මාක් සහ ලූක් යන පොත්වලින් සලකා බැලුවා. එමෙන්ම “සදාකාල ජීවනය” ගැන යේසුස් කතා කළ අවස්ථා 17ක් යොහන්ගේ වාර්තාවේද සඳහන් වෙනවා. දැන් අපි ඉන් කිහිපයක් ගැන සලකා බලමු. එයින් අපට පොළොව මත සදාකාල ජීවනය ගැන යේසුස් පැවසුවේ කුමක්ද කියා තේරුම්ගත හැකියි.

8 යොහන්ගේ වාර්තාවේ සදාකාල ජීවනය ගැන මුලින්ම සඳහන් වන්නේ යේසුස් යෙරුසලමේදී නිකදේමස්ට කතා කළ අවස්ථාවේදීයි. එහිදී යේසුස් ඔහුට පැවසුවේ කෙනෙක් මුලින්ම වතුරෙන් බව්තීස්ම වී දෙවිගේ බලය ලබාගෙන අලුත් ජීවිතයක් ඇරඹුවේ නැත්නම් ඔහුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් විය නොහැකි බවයි. ඊට ඇතුළු වීමට නම් කෙනෙක් අලුත් උපතක් ලැබිය යුතුයි. (යොහ. 3:3-5) එපමණක්ද නොව ඒ අවස්ථාවේදී සියලුදෙනාටම තිබෙන බලාපොරොත්තුවක් ගැනද ඔහු සඳහන් කළා. (යොහන් 3:16 කියවන්න.) ඒ අනුව යේසුස්, නිකදේමස් සමඟ කළ සාකච්ඡාවෙන් තහවුරු වන්නේ අභිෂේක ලත් අයට ස්වර්ගයේත් තවත් පිරිසකට පොළොවේත් සදාකාල ජීවිතයක් පිළිබඳ බලාපොරොත්තුවක් තිබෙන බවයි.

9. සමරිතානු ස්ත්‍රිය සමඟ යේසුස් කතා කළේ කුමන බලාපොරොත්තුව ගැනද?

9 නිකදේමස් සමඟ කළ සාකච්ඡාවෙන් පසු යේසුස් ගලීලය බලා යන අතරේ ඔහුට ළිඳක් අසල සමරිතානු ස්ත්‍රියක්ව මුණගැසුණා. ඔහු ඇයට මෙසේ පැවසුවා. “මා දෙන වතුර බොන කිසිවෙකුට කිසි කලක පිපාසය ඇති නොවන්නේය. නමුත් මා ඔහුට දෙන වතුර සදාකාල ජීවනය දෙන පිණිස, ඔහු තුළ වතුර උනන දිය උල්පතක් වන්නේය.” (යොහ. 4:5, 6, 14) මනුෂ්‍ය වර්ගයාට සදාකාල ජීවිතය ලබා දීම සඳහා දෙවි දී ඇති සැපයුම් එම ජලයෙන් නියෝජනය කළා. පොළොව මත සදාකල් ජීවත් වන අයද එම සැපයුම්වලින් ප්‍රයෝජන ලබනවා. ඒ හා සමාන අදහසක් එළිදරව් පොතේද මෙසේ සඳහන් වෙනවා. “පිපාසය ඇති තැනැත්තාට මම ජීවන වතුර ඇති උල්පතෙන් නොමිලේ දෙන්නෙමි.” (එළි. 21:5, 6; 22:17) ඒ අනුව යේසුස් සමරිතානු ස්ත්‍රියට පැවසූදෙයින් තහවුරු වන්නේ කුමක්ද? සදාකාල ජීවිතයක් ගැන බලාපොරොත්තුව තිබෙන්නේ ස්වර්ගයට යෑමට නියමිත අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට පමණක් නොව තවත් පිරිසකට පොළොව මතද එවන් ජීවිතයක් හිමි වීමට නියමිත බවයි.

10. සදාකාල ජීවනය ගැන යේසුස් තම විරුද්ධවාදීන්ට පැවසුවේ කුමක්ද?

10 ඊළඟ අවුරුද්දේ නැවතත් යේසුස් යෙරුසලමට පැමිණි අතර එහිදී මිනිසෙකුව සුව කළා. එය විවේචනය කළ යුදෙව්වන්ට ඔහු මෙසේ පැවසුවා. “සැබවින්ම මම ඔබට කියමි, පියාණන් යමක් කරනවා දැක ඒ දේ කරනවා මිස, තමාගේම අදහසට අනුව පුත්‍රයාට කිසිවක් කළ නොහැක.” එමෙන්ම දෙවි “විනිශ්චය කිරීම සම්පූර්ණයෙන්ම පුත්‍රයාට පවරා තිබේ” කියා පැවසීමෙන් පසු යේසුස් තවදුරටත් මෙසේ සඳහන් කළා. “මාගේ වචනය අසා මාව එවූ තැනැත්තාව අදහන්නාට සදාකාල ජීවනය ඇත.” එමෙන්ම “සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට [මනුෂ්‍ය පුත්‍රයාගේ] හඬ ඇසෙන පැය පැමිණෙන්නේය. එවිට යහපත් දේ කළ අය ජීවනය සඳහා නැවත නැඟිටීමකටද පිළිකුල් දේ කළ අය විනිශ්චය සඳහා නැවත නැඟිටීමකටද පිටතට එන්නෝය” කියාද ඔහු පැවසුවා. (යොහ. 5:1-9, 19, 22, 24-29) තම විරුද්ධවාදීන්ට යේසුස් පැවසුවේ යුදෙව්න්ගේ බලාපොරොත්තුව වන පොළොව මත සදාකාල ජීවනය ලබා දීමට දෙවි පත් කර තිබෙන්නේ තමාව බවයි. එමෙන්ම මළවුන්ව නැවත නැඟිටුවීමෙන් තමා එය කරන බවත් ඔහු පැවසුවා.

11. පොළොව මත සදාකාල ජීවිතයක් තිබෙන බව යොහන් 6:48-51හි සඳහන් දෙයින් පැහැදිලි වන්නේ කෙසේද?

11 යේසුස් නැවත ගලීලයට පැමිණි අවස්ථාවේදී ඔහු විශාල පිරිසකට ආශ්චර්යවත් ලෙස ආහාර ලබා දුන්නා. පසුව යේසුස් ඔවුන්ට “ජීවනයේ ආහාරය” කියා වෙනත් ආකාරයක ආහාරයක් ගැන පැවසුවා. (යොහන් 6:40, 48-51 කියවන්න.) ඒ ගැන ඔහු පැවසුවේ, ‘මා දෙන ආහාරය නම් මාගේ මාංසය’ කියායි. ඔව්, එම ආහාරය වන තම ජීවිතය යේසුස් ලබා දුන්නේ ඔහු සමඟ ස්වර්ගයේ පාලනය කිරීමට හවුල් වන අය වෙනුවෙන් පමණක් නොවෙයි. “ලෝකයේ ජීවනය උදෙසා” එනම් මුළු මිනිස් වර්ගයා වෙනුවෙන් ඔහු තම ජීවිතය ලබා දුන්නා. “යමෙක් මේ ආහාරයෙන් කන්නේ නම් ඔහු සදහටම ජීවත් වන්නේය” කියා යේසුස් පැවසූ වචනද සැලකිල්ලට ගන්න. ඉන් අදහස් කළේ යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තබන ඕනෑම කෙනෙකුට සදාකාල ජීවනය ලබාගත හැකි බවයි.

12. “මම ඔවුන්ට සදාකාල ජීවනය දෙන්නෙමි” කියා පවසද්දී යේසුස් කතා කළේ කවුරුන් ගැනද?

12 යේසුස් යෙරුසලමේ කැප කිරීමේ මංගල්‍යයට පැමිණි අවස්ථාවේදීත් සදාකාල ජීවනය ගැන කතා කළා. එහිදී ඔහු තමන්ට විරුද්ධ වූ අයට මෙවැනි දෙයක් පැවසුවා. “ඔබ මාගේ බැටළුවන් නොවන බැවින් විශ්වාස කරන්නේ නැත. මාගේ බැටළුවෝ මාගේ හඬට ඇහුම්කන් දෙති. මම ඔවුන්ව හඳුනමි. ඔවුහුද මා පසුපස එන්නෝය. මම ඔවුන්ට සදාකාල ජීවනය දෙන්නෙමි.” (යොහ. 10:26-28) එහිදී යේසුස් කතා කළේ ස්වර්ගයෙහි සදාකාල ජීවිතයක් ගැන පමණද? නැහැ. ඔහු එහිදී දෙපිරිසක් ගැන කතා කළා. මීට පෙර අවස්ථාවකදී යේසුස් මෙවන් දෙයක් පැවසුවා. “කුඩා රැළ, බිය නොවන්න. මන්ද ඔබට රාජ්‍යය දීමට ඔබේ පියාණන් අනුමැතිය දී තිබේ.” ඉන් අදහස් කළේ ස්වර්ගයේ සදාකාල ජීවිතයක් ලබන අය ගැනයි. (ලූක් 12:32) මෙම කැප කිරීමේ උත්සවයේදී “මේ ගාලට අයිති නැති වෙනත් බැටළුවන්ද මට සිටියි. මා උන්වද ගෙන ආ යුතුය” කියා පැවසීමෙන් යේසුස් අදහස් කළේ පොළොව මත සදාකාල ජීවිතය ලබන අය ගැනයි. (යොහ. 10:16) ඒ අනුව “මම ඔවුන්ට සදාකාල ජීවනය දෙන්නෙමි” කියා පැවසීමෙන් යේසුස් අදහස් කළේ ස්වර්ගයෙහි ජීවිතය ලබන “කුඩා රැළ” හා පොළොව මත ජීවිතය ලබන “වෙනත් බැටළුවන්” යන දෙපිරිසම ගැන බව පැහැදිලියි.

ඔවුන් හොඳින් දැන සිටි බලාපොරොත්තුවක්

13. යේසුස් අපරාධකරුට පැවසූ වචනවලින් පැහැදිලි වුණේ කුමක්ද?

13 පාරාදීස පොළොවක සදාකාල ජීවනය ගැන යේසුස්ගේ කාලයේ සිටි යුදෙව්වන් හොඳින් දැන සිටි බව අපි සාකච්ඡා කළා. යේසුස් වධ කණුවේ සිටි විට පැවසූ දෙයකින් එය තවත් පැහැදිලි වෙනවා. ඔහුගේ එක් පසෙකින් සිටි අපරාධකරුවෙක් ඔහුගෙන් මෙසේ ඉල්ලා සිටියා. “යේසුස්, ඔබේ රාජ්‍යයට ඔබ ඇතුල් වූ විට මාව සිහි කරන්න.” එවිට යේසුස් ඔහුට මෙවැනි පොරොන්දුවක් දුන්නා. “සැබවින්ම මම අද ඔබට කියමි, ඔබ මා සමඟ පාරාදීසයේ සිටින්නෙහිය.” (ලූක් 23:42, 43) බොහෝවිට ඔහු යුදෙව්වෙක් වූ නිසා යේසුස් ඒ ගැන වැඩි විස්තර සැපයුවේ නැහැ. මන්ද ඔහු පොළොව මත සදාකාල ජීවිතයක් ලැබෙන බව හොඳින් දැන සිටියා.

14. (අ) යේසුස්ගේ අනුගාමිකයන්ට ස්වර්ගයේ ජීවත් වීම පිළිබඳ බලාපොරොත්තුව තේරුම්ගැනීම අපහසු දෙයක් වූ බව පැහැදිලි වන්නේ කුමකින්ද? (ආ) ඒ ගැන ඔවුන්ට පැහැදිලි අවබෝධයක් ලැබුණේ කවදාද?

14 යුදෙව්වන් පාරාදීස පොළොවක ජීවිතයක් ගැන බලාපොරොත්තුවෙන් සිටියත් ස්වර්ගයේ ජීවිතයක් ගැන ඔවුන් දැන සිටියේ නැහැ. තම අනුගාමිකයන්ට ස්ථානයක් සූදානම් කිරීමට තමා ස්වර්ගයට යන බව යේසුස් ඔවුන්ට පැවසූ විට ඔවුන්ට එය තේරුම්ගැනීම අපහසු වුණේ ඒ නිසයි. ඒ ගැන ඔවුන්ට පහදා දීමට යේසුස්ට සිදු වුණා. (යොහන් 14:2-5 කියවන්න.) නමුත් යේසුස් ඔවුන්ට පැවසුවේ, කියන්න තව බොහෝ දේ තිබුණත් ඒවා දරන්න දැන් ඔවුන්ට නොහැකි බවයි. කෙසේවෙතත්, සත්‍යය එළිදරව් කරන දෙවිගේ බලය ඔවුන්ට ලැබෙන විට සත්‍යය ගැන වඩාත් පූර්ණ අවබෝධයක් ලබාගැනීමට මඟ පෙන්වීම් ලැබෙන බව යේසුස් ඔවුන්ට පැවසුවා. (යොහ. 16:12, 13) ඒ අනුව යේසුස්ගේ අනුගාමිකයන් තමන්ගේ බලාපොරොත්තුව ස්වර්ගයේ ජීවත් වීම බව තේරුම්ගත්තේ ක්‍රිස්තු වර්ෂ 33 ඔවුන්ට දෙවිගේ බලය ලැබීමෙන් පසුවයි. (1 කොරි. 15:49; කොලො. 1:5; 1 පේතෘ. 1:3, 4) ස්වර්ගයේ ජීවත් වීමේ බලාපොරොත්තුව ඔවුන්ට අලුත් දෙයක් වුණා. එමනිසා ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ අඩංගු සුවිශේෂ හතර හැර අනිකුත් ලිපිවල වැඩි පුර අවධානයක් ඊට දී තිබෙනවා. එම ලිපිවල පොළොව මත සදාකාල ජීවිතයක් පිළිබඳවත් සඳහන් වී තිබෙනවාද?

ලිපිවල පවසන දේ

15, 16. පාවුල් සහ පේතෘස් පැවසූ දේවලින් පොළොව මත සදාකාල ජීවනය පිළිබඳ බලාපොරොත්තුව අවධාරණය වන්නේ කෙසේද?

15 හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ලියමින් පාවුල් ඔවුන්ව ඇමතුවේ “ස්වර්ගීය කැඳවීමට පංගුකාරයන් වන ශුද්ධ සහෝදරයෙනි” කියායි. ඒ වගේම “පැමිණෙන්නට තිබෙන ජනාවාස පොළොව” දෙවි විසින් යේසුස්ට භාර දී ඇති බවද ඔහු පැවසුවා. (හෙබ්‍රෙ. 2:3, 5; 3:1) ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ “ජනාවාස පොළොව” කීමෙන් අදහස් කරන්නේ මිනිසුන්ගෙන් ගහන පොළොවකටයි. එමනිසා “පැමිණෙන්නට තිබෙන ජනාවාස පොළොව” කීමෙන් පාවුල් අදහස් කළේ යේසුස්ගේ පාලනය යටතේ මේ පොළොවේ සිටින මිනිස් සමාජයටයි. ඒ කාලයේදී යේසුස්, දෙවිගේ මෙම පොරොන්දුව ඉටු කිරීමට නියමිතයි. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතා 37:29NW.

16 මිනිසාගේ අනාගත බලාපොරොත්තුව ගැන පේතෘස්ද මෙසේ සඳහන් කළා. “අහසත් පොළොවත්, ගින්නෙන් දවාලීම සඳහාත් විනිශ්චයේ හා අභක්තික මිනිසුන්ගේ විනාශයේ දවස සඳහාත් තබා තිබේ.” (2 පේතෘ. 3:7) ඔහු සඳහන් කරන ‘අහස’ එනම්, මේ ලෝකයේ පාලන ක්‍රම හා ‘පොළොව’ එනම්, දුෂ්ට මිනිස් සමාජය වෙනුවට ඇති වන්නේ කුමක්ද? (2 පේතෘස් 3:13 කියවන්න.) එය නම් “අලුත් අහස” නියෝජනය කරන දේවරාජ්‍යය හා “අලුත් පොළොව” නියෝජනය කරන සැබෑ නමස්කාරකයන්ගෙන් යුත් ධර්මිෂ්ඨ මිනිස් සමාජයයි.

17. මනුෂ්‍යයන්ට තිබෙන බලාපොරොත්තුව ගැන එළිදරව් 21: 1-4හි විස්තර කර තිබෙන්නේ කෙසේද?

17 මුළු මිනිස් වර්ගයාවම නැවතත් පරිපූර්ණත්වය කරා ගෙන එන කාලය පිළිබඳ සතුට ගෙන දෙන වාර්තාවක් බයිබලයේ අවසාන පොතෙහිද සඳහන් වෙනවා. (එළිදරව් 21:1-4 කියවන්න.) ඒදන් උයනේදී පරිපූර්ණ ජීවිතය අහිමි වූ දා සිට කීකරු මිනිසුන්ගේ බලාපොරොත්තුව වී තිබෙන්නේ එයයි. එම බලාපොරොත්තුව ඉටු වන කාලයේදී ධර්මිෂ්ඨයන් පාරාදීස පොළොව තුළ සදාකාලයටම ජීවත් වීමට නියමිතයි. හෙබ්‍රෙව් හා ග්‍රීක ශුද්ධ ලියවිලිවල එම බලාපොරොත්තුව ගැන පැහැදිලිව සඳහන් කර තිබෙනවා. එමෙන්ම ඒ බලාපොරොත්තුව යෙහෝවා දෙවිගේ සියලුම සේවකයන්ව මේ දක්වා ශක්තිමත් කර තිබෙනවා.—එළි. 22:1, 2.

ඔබට මතකද?

• ‘සියල්ල අලුත් කරන කාලය’ යන්නෙන් යේසුස් අදහස් කළේ කුමක්ද?

• යේසුස්, නිකදේමස්ට පැවසුවේ කුමක් ගැනද?

• යේසුස්, අපරාධකරුට දුන් පොරොන්දුව කුමක්ද?

• පාවුල් සහ පේතෘස් පැවසූ දේවලින් පොළොව මත සදාකාල ජීවනය පිළිබඳ බලාපොරොත්තුව පැහැදිලි වන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[8වන පිටුවේ පින්තූරය]

බැටළු ගුණැති අය පොළොව මත සදාකාලයටම ජීවත් වීමට නියමිතයි

[10වන පිටුවේ පින්තූරය]

යේසුස් සදාකාල ජීවනය ගැන අන් අය සමඟ කතා කළා