Skip to content

පටුනට යන්න

“දෙවිගේ ප්‍රේමයෙහි පවතින්න”

“දෙවිගේ ප්‍රේමයෙහි පවතින්න”

“දෙවිගේ ප්‍රේමයෙහි පවතින්න”

“සදාකාල ජීවනය ලැබෙන පිණිස අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දයාව බලා සිටිමින් දෙවිගේ ප්‍රේමයෙහි පවතින්න.”—යූද් 21.

1, 2. දෙවි තම ප්‍රේමය අප වෙනුවෙන් පෙන්වා තිබෙන්නේ කෙසේද? එමෙන්ම දෙවිගේ ප්‍රේමය ලැබීමට අප යමක් කළ යුතු බව අප දන්නේ කෙසේද?

අප කෙරෙහි වූ යෙහෝවා දෙවිගේ ප්‍රේමය මොන තරම්ද! තම ප්‍රේමණීය පුත්‍රයාව අප වෙනුවෙන් මිය යෑම සඳහා පොළොවට එවීමෙන් මුළු මිනිස් වර්ගයා කෙරෙහිම දෙවිට ඇති ප්‍රේමය ඉතා විශිෂ්ට ලෙස ප්‍රකාශ වුණා. (යොහ. 3:16) ඔහු එසේ කළේ අප සදාකාලයටම ජීවත් වෙනවා දැකීම හා සදාකාලයටම ඔහුගේ ප්‍රේමය ලබනවා දැකීම ඔහුගේ ආශාව වූ නිසයි.

2 නමුත් අපි කුමක් කළත් අපිට දෙවිගේ ප්‍රේමය ලබන්න පුළුවන් බව ඉන් අදහස් කරනවාද? නැහැ. යූද් 21වන පදයෙහි පවසන දෙය බලන්න. “සදාකාල ජීවනය ලැබෙන පිණිස අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දයාව බලා සිටිමින් දෙවිගේ ප්‍රේමයෙහි පවතින්න.” එහි සඳහන් වන ලෙස “දෙවිගේ ප්‍රේමයෙහි පවතින්න” නම් අප යම් දෙයක් කළ යුතු බව ඉන් අදහස් කරනවා. ඒ කුමක්ද?

දෙවිගේ ප්‍රේමය ලැබීමට නම්

3. තම පියාගේ ප්‍රේමය ලැබීම සඳහා තමන් කුමක් කළ යුතු බව යේසුස්ට හැඟුණාද?

3 දෙවිගේ ප්‍රේමය ලබන්න අප කළ යුතු දේ ගැන යේසුස්ගේ මෙම වචනවලින් ඉගෙනගත හැකියි. “මා පියාණන්ගේ ආඥා පවත්වා ඔහුගේ ප්‍රේමයෙහි පවතින්නා සේම, ඔබ මාගේ ආඥා පවත්වනවා නම්, ඔබත් මාගේ ප්‍රේමයෙහි පවතිනවා ඇත.” (යොහ. 15:10) තම පියා සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමට නම් ඔහුගේ ආඥා පැවැත්වීම අත්‍යවශ්‍ය දෙයක් බව යේසුස්ට හැඟුණා. පරිපූර්ණ පුද්ගලයෙක් වූ දෙවිගේ පුත්‍රයා එය තේරුම්ගත්තා නම් අපත් එසේම කළ යුතු නොවේද!

4, 5. (අ) දෙවිට අපගේ ප්‍රේමය පෙන්විය හැකි ප්‍රධාන ක්‍රමය කුමක්ද? (ආ) දෙවිගේ ආඥාවලට කීකරු වීම අපහසු දෙයක් නොවන්නේ ඇයි?

4 දෙවිට කීකරු වීම ඔහු කෙරෙහි ඇති අපගේ ප්‍රේමය පෙන්වන ප්‍රධාන ක්‍රමයයි. යොහන් එය පැවසුවේ මෙලෙසයි. “දෙවිට ප්‍රේම කිරීම යනු, අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය. ඔහුගේ ආඥා බරක් නොවේ.” (1 යොහ. 5:3) කෙනෙකුට කීකරු වීම අද සිටින බොහෝදෙනාට අපහසු දෙයක්. නමුත් දෙවි අපගෙන් ඉල්ලා සිටින්නේ අපට කළ නොහැකි දේවල් නොවන නිසා ඔහුට කීකරු වීම අපට පහසුයි. එමෙන්ම ‘ඔහුගේ ආඥා පැවැත්වීම බරක්ද නොවෙයි.’

5 අපට එය මෙසේ නිදර්ශනය කළ හැකියි. උසුලන්න අමාරුයි කියා ඔබ දන්නා දෙයක් උසුලාගෙන යන්න කියා කවදා හෝ ඔබ ඔබගේ මිත්‍රයෙකුගෙන් ඉල්ලයිද? කොහෙත්ම නැහැ. යෙහෝවා දෙවිත් එසේමයි. ඔහු අපට වඩා බොහෝ සෙයින් කරුණාවන්ත, සැලකිලිමත් හා අපගේ සීමාවන් දන්නා කෙනෙක්. ‘අපව සාදා තිබෙන්නේ දූවිල්ලෙන් බවත් ඔහු සිහි කරනවා.’ (ගීතා. 103:14, නව ලොව පරිවර්තනය, NW) දෙවි කෙදිනකවත් අපට කළ නොහැකි දෙයක් අපෙන් ඉල්ලා සිටින්නේ නැති බව අප දන්නා නිසා ඔහුගේ ආඥාවලට අප කීකරු වන්නේ කැමැත්තෙන්මයි. එය අප සලකන්නේ අපගේ ස්වර්ගික පියාට ප්‍රේමය පෙන්විය හැකි විශිෂ්ට ක්‍රමයක් ලෙසයි. එමෙන්ම ඉන් අප පෙන්වන්නේ දෙවිගේ ප්‍රේමය ලැබීමටද අප ආශා කරන බවයි.

දෙවිගෙන් ලද විශේෂ ත්‍යාගයක්

6, 7. (අ) හෘදය සාක්ෂිය මගින් සිදු වන කාර්යය කුමක්ද? (ආ) දෙවිගේ ප්‍රේමය ලැබීමට හෘදය සාක්ෂිය අපට උපකාර කරන ආකාරය නිදර්ශනය කරන්න.

6 අපට එදිනෙදා ජීවිතයේ විවිධ තීරණ ගැනීමට සිදු වන අතර අප දෙවිට කීකරුද නැද්ද කියා ඒවායින් පිළිබිඹු වෙනවා. එසේනම් දෙවිගේ කැමැත්තට එකඟව තීරණ ගැනීමට අපට හැක්කේ කෙසේද? ඒ සඳහා දෙවි අපට විශේෂ ත්‍යාගයක් දී තිබෙනවා. එය නම් අපගේ හෘදය සාක්ෂියයි. අපගේ ක්‍රියා, ආකල්ප හා තේරීම් හොඳින් සෝදිසි කිරීමට එය අපට උපකාර කරනවා. අප තුළ සිටින විනිශ්චයකරුවෙක් මෙන් ක්‍රියා කරන අපගේ හෘදය සාක්ෂිය අප ගන්නා තීරණ හෝ අප දැනටමත් ගෙන ඇති තීරණ හරිද වැරදිද කියා නිශ්චය කරගැනීමට අපට උපකාර කරනවා.—රෝම 2:14, 15 කියවන්න.

7 අප එය මෙම උදාහරණයෙන් තේරුම්ගනිමු. කිසිම අඩි පාරක්වත් මඟ සලකුණක්වත් නැති ඝන වනාන්තරයක ගමන් කරන සංචාරකයෙක් ගැන සිතන්න. ඔහු තමා බලාපොරොත්තු වූ තැනටම යනවා. ඒ සඳහා ඔහුට උපකාරවත් වුණේ ඔහු සතු මාලිමා යන්ත්‍රයයි. එහි ප්‍රධාන දිශා හතර සඳහන් කර තිබෙන අතර එහි කටුව නිතරම යොමු වී තිබෙන්නේ උතුරු දිශාවටයි. මාලිමා යන්ත්‍රය නොතිබෙන්න ඔහු අනිවාර්යයෙන්ම අතරමං වෙනවා. එලෙසම මිනිසුන්ටද හෘදය සාක්ෂිය නොතිබෙන්න ජීවිතයට බලපාන වැදගත් තීරණ නිවැරදිව ගැනීමට හැකි වන්නේ නැහැ.

8, 9. (අ) අපගේ හෘදය සාක්ෂිය ගැන අප දැන සිටිය යුත්තේ කුමක්ද? (ආ) හෘදය සාක්ෂියෙන් ප්‍රයෝජනවත් මඟ පෙන්වීම් ලබාගැනීමට නම් අප කුමක් කළ යුතුද?

8 මාලිමා යන්ත්‍රය සංචාරකයාට ප්‍රයෝජනදායක වුණත් ඔහු ඒ අසල කාන්දම් කැබැල්ලක් තැබුවොත් උතුරු දිශාවට යොමු වී තිබෙන කටුව කාන්දම තිබෙන දිශාවට යොමු වෙනවා. එය ඔහුව නොමඟ යවයි. එලෙසම අපත් අපගේ ආශාවන්ට මුල් තැන දී කටයුතු කළොත් කුමක් සිදු විය හැකිද? ඒ තුළින් අපගේ හෘදය සාක්ෂිය දූෂ්‍ය වී එය අපව නොමඟ යවයි. “සියල්ලටම වඩා මිනිසාගේ සිත රැවටිලිකාරය. එබැවින් ඔහු උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ආශාව ඉටු කරගැනීමටය” කියා බයිබලයේ අනතුරු අඟවන්නේ ඒ නිසයි. ( යෙර.යෙරෙ. 17:9NW; හිතෝ. 4:23) ඉහත කී සංචාරකයාට නිවැරදි සිතියමක් නොතිබුණා නම් මාලිමා යන්ත්‍රයෙන් ලැබෙන ප්‍රයෝජන ඉතා අල්පයි. එලෙසම අපත් නිවැරදි සිතියමක් බඳු දෙවිගේ වචනය වන බයිබලයේ මඟ පෙන්වීම් අනුගමනය නොකරනවා නම් අපගේ හෘදය සාක්ෂියෙන් පලක් නැහැ. (ගීතා 119:105) අද දින බොහෝදෙනා තම ආශාවන්ට මුල් තැන දෙමින් බයිබලයේ මඟ පෙන්වීම් ගණනකට නොගැනීම කනගාටුවට කරුණක්. (එෆීස 4:17-19 කියවන්න.) බොහෝදෙනෙකුට හෘදය සාක්ෂියක් තිබුණත් ඔවුන් ඉතාමත් නින්දිත ලෙස හැසිරෙන්නේ ඒ නිසයි.—1 තිමෝ. 4:2.

9 එවැනි තත්වයකට පත් නොවීමට අපි වගබලා ගත යුතුයි. ඒ සඳහා අපි නොකඩවා දෙවිගේ වචනයෙන් මඟ පෙන්වීම් ලබාගෙන අපගේ හෘදය සාක්ෂිය පුහුණු කරමු. අපගේ වැරදි ආශාවන්ට ඉඩදෙනවා වෙනුවට බයිබලයේ මඟ පෙන්වීම්වලින් පුහුණු කරන ලද හෘදය සාක්ෂියට ඇහුම්කන් දෙමු. එවිට එය අපට ප්‍රයෝජනවත් මඟ පෙන්වීම් සපයයි. ඒ වගේම අප ගන්නා සමහර තීරණ නිසා සෙසු සහෝදර සහෝදරියන් බාධාවට පත් විය හැකියි. ඒ නිසා ඔවුන්ගේ හෘදය සාක්ෂිය ගැනද සැලකිලිමත් වෙමින් එවැනි තීරණ ගැනීමෙන් වැළකී සිටිමු.—1 කොරි. 8:12; 2 කොරි. 4:2; 1 පේතෘ. 3:16.

10. කීකරුකම පෙන්වීම සම්බන්ධයෙන් අප සලකා බලන පැති තුන කුමක්ද?

10 අපගේ කීකරුකම තුළින් යෙහෝවා දෙවිට ඇති අපගේ ප්‍රේමය පෙන්විය හැකි ආකාර තුනක් ගැන මෙම ලිපියෙන් සාකච්ඡා කරනවා. ඒවා නම් (1) දෙවි ප්‍රේම කරන අයට ප්‍රේම කිරීම, (2) සභාවේ පෙරමුණ ගන්නා අයට ගරු කිරීම සහ (3) දෙවි ඉදිරියෙහි පවිත්‍රව සිටීමයි. එම අවස්ථා තුනේදීම නිවැරදි තීරණ ගැනීමට අපට උපකාර කරන්නේ අපගේ හෘදය සාක්ෂියයි.

දෙවි ප්‍රේම කරන අයට ප්‍රේම කිරීම

11. යෙහෝවා දෙවි ප්‍රේම කරන අයට අප ප්‍රේම කළ යුත්තේ ඇයි?

11 දෙවි ප්‍රේම කරන අයට අප ප්‍රේම කළ යුතුයි. අප ඇසුරු කරන අයව තෝරාගැනීමේදී එය අදාළ වන ආකාරය බලමු. ස්පොන්ජි කැබැල්ලක්, අවට තිබෙන ජලය උරාගන්නවා හා සමානව අප ඇසුරු කරන අයගේ ගති පැවතුම් අනුකරණය කරන්න අප පෙලඹෙන්නේ නිරායාසයෙන්මයි. එහි ඇති ප්‍රයෝජන හා අනතුරු ගැන දන්නා අපගේ නිර්මාණකරු මෙවැනි ඥානවන්ත මඟ පෙන්වීමක් දී තිබෙනවා. “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය. නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.” (හිතෝ. 13:20NW; 1 කොරි. 15:33) අප සෑම කෙනෙක්ම කැමති “ප්‍රඥාවන්ත” වීමට මිස “විපතට පත්” වෙන්න නොවෙයි. යෙහෝවා දෙවි තරම් ප්‍රඥාවන්ත කෙනෙක් තවත් නැහැ. එමෙන්ම ඔහුව නොමඟ යවන්නද කිසිවෙකුට බැහැ. ඒ වුණත් ආශ්‍රිතයන්ව තෝරාගැනීම සම්බන්ධයෙන් ඔහු සැලකිලිමත් වෙනවා. දෙවි තමාගේ මිතුරන් ලෙස තෝරාගෙන තිබෙන්නේ කවුරුන්වද කියා කල්පනා කිරීමෙන් ඒ බව තේරුම්ගත හැකියි.

12. දෙවි තමාගේ මිතුරන් කරගන්නේ කවුරුන්වද?

12 යෙහෝවා දෙවි, ආබ්‍රහම්ව “මාගේ මිතුරා” කියා ඇමතුවා. (යෙසා. 41:8NW) දෙවි එසේ කළේ ආබ්‍රහම් කැපීපෙනෙන විශ්වාසවන්තකමක් පෙන්වූ ධර්මිෂ්ඨ හා කීකරු පුද්ගලයෙක් වූ නිසයි. (යාකො. 2:21-23) ඉන් පැහැදිලි වන්නේ දෙවි තමාගේ මිතුරන් ලෙස තෝරාගන්නේ කුමනාකාර පුද්ගලයන්ද යන්නයි. අද දිනත් දෙවි තම මිතුරන් කරගන්නේ එවැනි අයවයි. යෙහෝවා දෙවි එසේ කටයුතු කරනවා නම් අපත් ප්‍රඥාවන්ත මිතුරන් තෝරාගෙන ප්‍රඥාවන්ත වීම මොන තරම් වැදගත්ද!

13. හොඳ මිතුරන් තෝරාගැනීමට අපට හැක්කේ කෙසේද?

13 හොඳ මිතුරන් තෝරාගැනීමට අපට හැක්කේ කෙසේද? බයිබලයේ සඳහන් මිත්‍රත්වයන් පිළිබඳ ආදර්ශ අධ්‍යයනය කිරීම ඒ සඳහා උපකාරයක්. රූත් සහ නායොමි, දාවිත් සහ යොනාතාන් මෙන්ම පාවුල් සහ තිමෝති වැනි අය හොඳ මිත්‍රත්වයක් භුක්ති වින්දා. (රූත් 1:16, 17; 1 සාමු. 23:16-18; ෆිලි. 2:19-22) එවැනි මිත්‍රත්වයන් සාර්ථක වීමට ප්‍රධාන හේතුව වුණේ ඔවුන් සියලුදෙනාම යෙහෝවා දෙවිට ප්‍රේම කිරීමයි. එවැනි මිතුරන් ඔබට සොයාගත හැක්කේ කොහෙන්ද? ක්‍රිස්තියානි සභාව තුළ එවැනි අය ඕනෑ තරම් සිටිනවා. දෙවිව අසතුටු කරන දේවල් කිරීමට ඔවුන් කෙදිනකවත් ඔබව පොලඹවන්නේ නැහැ. ඒ වෙනුවට දෙවිට කීකරු වීමට හා ඔහුට වඩාත් ළං වීමට ඔවුන් ඔබට උපකාර කරයි. (ගලාති 6:7, 8 කියවන්න.) එමෙන්ම දෙවිගේ ප්‍රේමය ලැබීමටද ඔවුන් ඔබට උපකාර කරයි.

සභාවේ පෙරමුණ ගන්නා අයට ගෞරව කිරීම

14. පෙරමුණ ගන්නා අයට ගෞරව කිරීම සමහරවිට දුෂ්කර ඇයි?

14 අපි සභාවේ පෙරමුණ ගන්නා අයට ගෞරව කළ යුතුයි. එය දෙවිට අපගේ ප්‍රේමය පෙන්විය හැකි දෙවන ක්‍රමයයි. සමහර අවස්ථාවලදී ඔවුන්ට ගෞරව කිරීම දුෂ්කර ඇයි? එක් හේතුවක් නම් ඔවුන් අතින් අඩුපාඩුකම් සිදු වීමයි. ඊට අමතරව අප අතින්ද අඩුපාඩුකම් සිදු වීම හා කැරලිගැසීමට අප තුළ ඇති නැඹුරුවාවද තවත් හේතුවක්.

15, 16. (අ) දෙවි අධිකාරිය පවරා ඇති අයට අප ගෞරව කළ යුත්තේ ඇයි? (ආ) මෝසෙස්ට විරුද්ධව කැරලිගැසු අයව දෙවි සැලකූ ආකාරයෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

15 ‘පෙරමුණ ගන්නා අයට ගෞරව කිරීම එතරම් දුෂ්කර දෙයක් නම් අපි ඒ සඳහා වෙහෙසෙන්න ඕන ඇයි’ කියා ඔබ කල්පනා කළ හැකියි. අප එය කළ යුත්තේ දෙවිගේ පාලනය අපි පිළිගන්නා බවට එය සාක්ෂියක් වන නිසයි. එමෙන්ම දෙවි එය අපෙන් බලාපොරොත්තු වෙනවා. අපි දෙවිගේ පාලනය පිළිගන්නවා නම් ඔහුගේ අධිකාරියට ගෞරව කරනවා. යෙහෝවා දෙවි තම අධිකාරිය විශ්වාසයෙන් යුතුව පව්කාර මිනිසුන්ට දී තිබෙන අතර ඔහු එසේ කරන්නේ තම සෙනඟව රැකබලා ගැනීම සඳහායි. නමුත් අපි ඔවුන්ට විරුද්ධව කැරලි ගසනවා නම් අපි දෙවිගේ පාලනය පිළිගන්නා බව පවසන්න පුළුවන්ද? —1 තෙසලෝනික 5:12, 13 කියවන්න.

16 එදා ඊශ්‍රායෙල්වරු මෝසෙස්ට විරුද්ධව මැසිවිලි නඟා කැරලිගැසූ අවස්ථාවේදී යෙහෝවා දෙවි එය සැලකුවේ තමන්ට විරුද්ධව කළ දෙයක් ලෙසයි. (ගණන්. 14:26, 27) අද දිනත් පෙරමුණ ගන්නා අයට විරුද්ධව කැරලිගැසීම දෙවි සලකන්නේ තමන්ට විරුද්ධව කරන කැරලිගැසීමක් ලෙසයි.

17. පෙරමුණ ගන්නා අය කෙරෙහි අපට තිබිය යුතු ආකල්පය කුමක්ද?

17 ක්‍රිස්තියානි සභාව තුළ වගකීම් දරන අයව අප සැලකිය යුතු ආකාරය ගැන පාවුල් මෙසේ සඳහන් කරනවා. “ඔබ අතරේ පෙරමුණ ගන්නාවූ අයට කීකරුව සිටින්න. යටත්ව සිටින්න. මන්ද ඔවුහු ඔබ ගැන ගණන් දිය යුතු අය හැටියට ඔබව රැකබලා ගන්නෝය. එවිට ඔවුන්ට එය සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් කිරීමට හැකි වන්නේය. මන්ද, ඔවුන් එය සුසුම්ලමින් කළොත් ඔබට හානිදායක වන්නේය.” (හෙබ්‍රෙ. 13:17) ඔවුන්ට කීකරුව යටත් වෙන්න නම් අපි ඒ සඳහා දැඩි වෑයමක් දැරිය යුතුයි. අප එසේ වෑයම් කිරීමෙන් දෙවිගේ ප්‍රේමය ලබන්න අපට හැකියි. ඇත්තටම එය කොතරම් වටිනවාද!

දෙවි ඉදිරියෙහි පවිත්‍රව සිටිය යුතුයි

18. අප පවිත්‍රව සිටිනවාට දෙවි කැමති ඇයි?

18 දෙවි කෙරෙහි ඇති අපගේ ප්‍රේමය පෙන්විය හැකි තුන්වන ක්‍රමය දෙවි ඉදිරියෙහි පවිත්‍රව සිටීමයි. එහි වැදගත්කම තේරුම්ගැනීමට අපි මේ උදාහරණය සලකා බලමු. පිරිසිදුව සිටීම සෞඛ්‍ය සම්පන්න හා සන්තෝෂවත් ජීවිතයකට දායක වන බව දන්නා දෙමාපියන් තම දරුවන්ගේ පිරිසිදුකම ගැන බොහෝ සේ සැලකිලිමත් වෙනවා. එමෙන්ම දෙමාපියන්ට දරුවන් කෙරෙහි ඇති සැලකිල්ල හා ප්‍රේමයද ඒ තුළින් පිළිබිඹු වෙනවා. යෙහෝවා දෙවිද අප පවිත්‍ර ජීවිතයක් ගත කරනවාට කැමතියි. පවිත්‍රකම අපගේ සන්තෝෂයට හේතු වන බවද ඔහු දන්නවා. එමගින් ඔහුට ගෞරවයක්ද ගෙන දෙනවා. මෙම දූෂිත ලෝකයේ සිටින අයට වඩා අපි මොන තරම් වෙනස්ද කියා මිනිසුන් දකින විට දෙවි ගැන ඉගෙනගන්න ඔවුන් පෙලඹෙනවා. එමනිසා අපි පවිත්‍රව සිටීම කොතරම් වැදගත්ද!

19. අප ශාරීරිකව පිරිසිදුව සිටිය යුත්තේ ඇයි?

19 අප ජීවිතයේ සෑම පැත්තකදීම පවිත්‍රව සිටිය යුතුයි. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ගෙන්ද එය බලාපොරොත්තු වුණා. (ලෙවී. 15:31) දෙවි, මෝසෙස්ට ලබා දුන් නීතියේ කැළිකසළ ඉවත් කිරීම, භාණ්ඩ පිරිසිදු කිරීම, අත් පා හා ඇඳුම් පිරිසිදුව තබාගැනීම සම්බන්ධයෙන් සඳහන් වුණා. (නික්. 30:17-21; ලෙවී. 11:32; ගණන්. 19:17-20; ද්වි. 23:13, 14) තමන් ශුද්ධ දෙවි කෙනෙක් බව ඔහු ඊශ්‍රායෙල්වරුන්ට නිතර නිතර මතක් කර දුන්නා. එවන් ශුද්ධ දෙවි කෙනෙකුගේ සේවකයන්ද ශුද්ධව සිටිය යුතුයි.—ලෙවී කතාව 11:44, 45 කියවන්න.

20. අප පවිත්‍රව සිටිය යුතු තවත් පැත්තක් කුමක්ද?

20 අප පිටාතරයෙන් පමණක් නොව ඇතුළතින්ද එනම්, අපගේ සිතුවිලිවලින් පවා පවිත්‍ර විය යුතුයි. අප අවට ලෝකයේ අනාචාරය කොතරම් බහුලව තිබුණත් සදාචාරය පිළිබඳ දෙවිගේ නීති අප කිසිවිටෙකත් සුළු කොට නොතැකිය යුතුයි. දෙවි ගැන අසත්‍ය උගන්වන ආගම්වලින් කිසි ලෙසකින්වත් දූෂ්‍ය නොවීමට අප විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ඒ සඳහා යෙසායා 52:11හි [NW] සඳහන් මෙම අනතුරු ඇඟවීම නිතරම මතක තබාගනිමු. “දැන් පිටතට එන්න! එම ස්ථානයේ තවත් රැඳී නොසිටින්න. කිසිම අපවිත්‍ර දෙයකට අත නොගසන්න. යෙහෝවා දෙවිගේ භාණ්ඩ දරන සියල්ලෙනි, ඇගෙන් ඉවත් වී පවිත්‍රව සිටින්න.” අපේ ස්වර්ගික පියාණන් අපවිත්‍රයයි කියා සලකන කිසිම දෙයකින් අපගේ සැබෑ නමස්කාරය දූෂ්‍ය නොකිරීමට අපි වගබලා ගැනීම අවශ්‍යයි. අප අසත්‍ය ආගමික උත්සව හා ආගමික නිවාඩු දින සැමරීමෙන් වැළකී සිටිය යුත්තේ ඒ නිසයි. මේ ලෝකයෙහි පවිත්‍රව සිටීම අභියෝගයක් බව ඇත්තයි. ඒ වුණත් දෙවිගේ සෙනඟ ඒ සඳහා දැඩි සේ වෑයම් කරන්නේ ඒ තුළින් දෙවිගේ ප්‍රේමය ලබන්න ඔවුන්ට හැකි නිසයි.

21. දිගටම දෙවිගේ ප්‍රේමය ලබන්න අප කුමක් කළ යුතුද?

21 අප සදාකාලයටම දෙවිගේ ප්‍රේමය ලබනවාට ඔහු කැමතියි. නමුත් අපි එක් එක් කෙනා ඒ සඳහා අපගේ උපරිමයෙන් වෑයම් කළ යුතුයි. යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීම හා දෙවිගේ ආඥාවලට කීකරු වීම ඒ සඳහා අපට උපකාරයක්. අප එසේ කරනවා නම් “ක්‍රිස්තුස් යේසුස් තුළ තිබෙන දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන්” කරන්න කිසිවෙකුට හා කිසිවකට හැකි වන්නේ නැහැ.—රෝම 8:38, 39.

ඔබට මතකද?

• දෙවිගේ ප්‍රේමය ලබන්න හෘදය සාක්ෂිය අපට උපකාර කරන්නේ කෙසේද?

• දෙවි ප්‍රේම කරන අයට අප ප්‍රේම කළ යුත්තේ ඇයි?

• පෙරමුණ ගන්නා අයට අප ගරු කළ යුත්තේ ඇයි?

• අප පවිත්‍රව සිටීම වැදගත් ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[20වන පිටුවේ කොටුව\පින්තූරය]

යහපත් හැසිරීමට දිරි දෙන කදිම පොතක්!

වර්ෂ 2008/2009 දිස්ත්‍රික් සමුළු වැඩ සටහනේදී “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න” යන පිටු 224කින් යුත් පොත ඉංග්‍රීසි භාෂාවෙන් මුදාහැරියා. එහි ප්‍රධාන අරමුණ කුමක්ද? එය සකස් කර තිබෙන්නේ අපට යෙහෝවා දෙවිගේ ප්‍රතිපත්ති හොඳින් අවබෝධ කරගැනීමට සහ ඒවා කෙරෙහි ඇල්මක් ඇති කරගෙන ඒ තුළින් අපගේ හැසිරීම වඩාත් යහපත් තත්වයකට ගෙන ඒමටයි. අපගේ ජීවිතය ගත කළ හැකි හොඳම ආකාරය වන්නේ දෙවිගේ ප්‍රමිතිවලට එකඟව කටයුතු කිරීමයි. එමෙන්ම එය සදාකාල ජීවනයටද මඟ පාදනවා. ඒ ගැන අපට තිබෙන විශ්වාසය එම පොත මගින් තව තවත් තහවුරු කරනවා.

යෙහෝවා දෙවිට කීකරු වීම අපට බරක් නොවන බවත් ඒ වෙනුවට ඔහුට කීකරු වීම ඔහු කෙරෙහි ඇති අපගේ ප්‍රේමය පෙන්වීමක් බවත් තේරුම්ගැනීමද මේ පොත අපට උපකාර කරනවා. ‘මම යෙහෝවා දෙවිට ප්‍රේම කරන්නේ ඇයි’ යන ප්‍රශ්නය ගැන අපගෙන්ම අසාගැනීමට මේ පොත අපව පොලඹවනවා.

සමහරුන් දෙවිව අත්හැර යෑමට තීරණය කිරීම කනගාටුවට කරුණක්. ඊට හේතු වී ඇත්තේ බයිබල් ඉගැන්වීම් තේරුම්ගැනීමට ඔවුන් අපොහොසත් වීම නොවෙයි. ඒ වෙනුවට බයිබල් ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමට අසමත් වීමයි. ඒ නිසා දෙවි කෙරෙහි ඇති අපගේ ප්‍රේමයත් අපට මඟ පෙන්වන ඔහුගේ නීති හා ප්‍රතිපත්ති කෙරෙහි අගයත් තව තවත් වැඩි කරගැනීම මොන තරම් වැදගත්ද! දෙවිගේ සියලුම සේවකයන්ට හරි දේ කිරීමටත් සාතන් බොරුකාරයෙක් බව ඔප්පු කිරීමටත් මෙම පොත ඉමහත් ශක්තියක්. ඒ සියල්ලට වඩා දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමටද එය අපට උපකාර කරයි.—යූද් 21.

[18වන පිටුවේ පින්තූරය]

“මා පියාණන්ගේ ආඥා පවත්වා ඔහුගේ ප්‍රේමයෙහි පවතින්නා සේම, ඔබ මාගේ ආඥා පවත්වනවා නම්, ඔබත් මාගේ ප්‍රේමයෙහි පවතිනවා ඇත”