Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි ඔවුන්ට දයාව පෙන්වා තිබෙනවා

යෙහෝවා දෙවි ඔවුන්ට දයාව පෙන්වා තිබෙනවා

යෙහෝවා දෙවි ඔවුන්ට දයාව පෙන්වා තිබෙනවා

අප සෑම කෙනෙකුගේම මුහුණේ මාංස පේශි 30කට අධික ප්‍රමාණයක් තිබෙනවා. සිනාසීමේදී ඉන් පේශි 14ක් ක්‍රියාත්මක වන බව ඔබ දැන සිටියාද? එවන් මාංස පේශි නිසා අප කතාබහ කරන විට අපගේ මුහුණට ප්‍රසන්න පෙනුමක් ලබා දෙනවා. නමුත් බිහිරි පුද්ගලයෙකුට නම් ඒවායින් ඊටත් වඩා කාර්යයක් ඉටු වෙනවා. ඔවුන් අදහස් හුවමාරු කරන්නේ සංඥා භාෂාව යොදාගෙනයි. ඔවුන් ඒ සඳහා අංග චලනය භාවිත කරන අතර ඔවුන්ගේ මුහුණේ ඉරියව්වලින්ද විශාල කාර්යයක් ඉටු කෙරෙනවා. එම භාෂාව මගින් ඉතා සරල මෙන්ම සංකීර්ණ අදහස්ද ඉදිරිපත් කිරීමට ඔවුන්ට හැකියි. ඔවුන් එසේ අදහස් හුවමාරු කරන ආකාරය ගැන බොහෝදෙනා පුදුමයට පත් වෙනවා.

මෑත කාලයේදී ලොව පුරාම සිටින බිහිරි අයට යෙහෝවා දෙවිගේ උපකාර විශේෂාකාරයෙන් ලැබී තිබෙනවා. පුරාණ ඊශ්‍රායෙලයේ සිටි එවැනි අයටද දෙවි තම කරුණාව පෙන්නුවා. (ලෙවී. 19:14) දෙවිගේ ‘කැමැත්ත නම්, සියලු ආකාර මිනිසුන් ගැලවීම ලැබීම හා සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමයි.’ (1 තිමෝ. 2:4) එමනිසා බිහිරි අයටත් යෙහෝවා දෙවි උපකාර කර තිබෙනවා. වචන භාවිත කරමින් අදහස් හුවමාරු කරගැනීමේ හැකියාව ඔවුන්ට නැහැ. එසේනම් දෙවි ගැන සත්‍යය ඉගෙනගන්න ඔවුන්ට හැකි වී තිබෙන්නේ කෙසේද? ඊට පිළිතුර දැනගැනීමට පෙර බිහිරි පුද්ගලයෙකුට සංඥා භාෂාව කොතරම් වැදගත්ද කියා අපි බලමු.

ඔවුන් අවබෝධ කරගන්නේ දැකීමෙනුයි

බිහිරි පුද්ගලයන් හා සංඥා භාෂාව සම්බන්ධයෙන් වැරදි මත බොහොමයක් තිබෙනවා. ඔවුන්ට වාහන පැදවීමට නොහැකි බව සමහරුන් සිතනවා. එය වැරදියි. කතා කරන කෙනෙකුගේ තොල් දෙස බලා, කියන දේ පහසුවෙන් තේරුම්ගන්න ඔවුන්ට හැකියි කියා තවත් අය සිතුවත් එයද වැරදියි. සංඥා භාෂාව බ්‍රේල්වලට සමාන බවත් එය නිකම්ම නිහඬ රංගනයක් පමණක් බව සිතීමත් වැරදි අදහසක්. සෑම සංඥා භාෂාවක්ම එක සමානයි යන වැරදි මතයද පවතිනවා. සමහර රටවල ප්‍රදේශයෙන් ප්‍රදේශයට පවා සංඥා භාෂාවේ සුළු සුළු වෙනස්කම් තිබෙනවා.

බිහිරි අයට පොත් පත් කියවන්න පුළුවන්ද? ඔවුන්ගෙන් සමහරුන්ට එය ඉතා හොඳින් කළ හැකි වුණත් බොහෝදෙනෙකුට නම් එය ඉතා දුෂ්කර කාර්යයක්. ඊට හේතුව දැන් අපි බලමු. සාමාන්‍යයෙන් පොත් පත්වල මුද්‍රණය කර තිබෙන්නේ එම භාෂාවේ එදිනෙදා ව්‍යවහාර වන වචනයි. ඇසීමේ හැකියාව සතු දරුවෙක් භාෂාවක් කතා කිරීමට හා කියවීමට ඉක්මනින්ම ඉගෙනගන්නවා. ඊට හේතුව ඔහු උපත ලැබූ අවස්ථාවේ පටන් ඔහු අවට සිටින අය කතා කරන භාෂාව ඔහුට ඇසෙන නිසයි. ඒ නිසා කෙටි කාලයක් තුළදී වචන එකතු කරමින් වාක්‍ය තනන්න ඔහු ඉගෙනගන්නවා. ඒ අනුව ඇසීමේ හැකියාව ඇති දරුවන් කියවීමට ඉගෙනගන්නේ ඔවුන් ඒ වන විටත් දන්නා වචන හා ශබ්ද පොත් පත්වල ඇති වචනවලට සම්බන්ධ කරගැනීමෙනුයි.

පොත් පත් කියවීම බිහිරි කෙනෙකුට කොතරම් දුෂ්කරද යන්න අපි තවදුරටත් මෙසේ තේරුම්ගනිමු. ඔබ දැන් සිටින්නේ විදේශ රටක, අවටින් කිසිම ශබ්දයක් නොඇසෙන වීදුරු කාමරයක කියා සිතන්න. ඔබ එම රටේ භාෂාව කෙදිනකවත් අසා නැහැ. සෑම දවසකම ඒ රටේ මිනිසුන් කිහිපදෙනෙක් පැමිණ ඔබ සිටින කාමරයෙන් පිටත සිට ඔබට යමක් පවසනවා. ඔබට පෙනෙන්නේ ඔවුන්ගේ තොල් සෙලවෙන ආකාරය පමණයි. ඔවුන් පවසන කිසිම දෙයක් ඔබට ඇසෙන්නේ නැහැ. ඔබට පැවසූ දේ නොතේරෙන බව තේරුම්ගත් ඔවුන් එය කොළයක ලියා ඔබට පෙන්වයි. ඔවුන් සිතන්නේ ඔබ එය තේරුම්ගනියි කියායි. නමුත් එය ඔබට තේරෙයිද? කොහෙත්ම නැහැ. ඊට හේතුව ඔවුන් ඔබට ලියා පෙන්නුවේ ඔබ කෙදිනකවත් අසා නැති වචනයි. බිහිරි අයගෙන් වැඩිදෙනෙක් අද්දකින්නේද එවන් තත්වයක්.

අදහස් හුවමාරු කරගැනීම සඳහා සංඥා භාෂාව ඔවුන්ට කදිම මාර්ගයක්. යම් අදහසක් පළ කිරීම සඳහා ඔවුන් තම මුහුණේ ඉරියව් සමඟ අත්, හිස මෙන්ම ශරීරය චලනය කරයි. ඔවුන් එසේ කරන්නේ සංඥා භාෂාවේ ඇති රීතිවලට අනුවයි. ඒ දෙස බලා සිටින අනික් තැනැත්තාටද ඔහු ඉදිරිපත් කරන පණිවිඩය ඉතා පහසුවෙන් තේරුම්ගත හැකියි.

බිහිරි පුද්ගලයෙක් තම දෑත්වලින්, ශරීරයෙන් සහ මුහුණෙන් කරනු ලබන සෑම චලනයකම යම් අදහසක් ගැබ් වී තිබෙනවා. ඔවුන් මුහුණේ ඉරියව් විදහා පෙන්වන්නේ අන් අයගේ අවධානය ඇදගැනීමට නොවෙයි. ඒවා සංඥා භාෂාවේ ඇති ව්‍යාකරණවල වැදගත් කොටසක්. උදාහරණයකට ඇහිබැමි උඩට ඔසවමින් ප්‍රශ්නයක් ඇසීමෙන් අඟවන්නේ කුමක්ද? සමහරවිට එය අනික් තැනැත්තාව සිතන්න පොලඹවන ආකාරයේ ප්‍රශ්නයක් විය හැකියි. එසේත් නැතිනම් එය ‘ඔව්’ හෝ ‘නැහැ’ යන පිළිතුර බලාපොරොත්තුවෙන් අසන ප්‍රශ්නයක් විය හැකියි. අනික් අතට ඇහිබැමි පහතට කිරීමෙන් “කවුද?,” “මොකක්ද?,” “කොහේද?,” “කවදාද?,” “ඇයි?,” හෝ “කොහොමද?” යන ප්‍රශ්න අඟවනවා විය හැකියි. එමෙන්ම මුඛයේ විවිධ ඉරියව්වලින් යම් දෙයක ප්‍රමාණය හෝ යම් ක්‍රියාවක බරපතළකම පෙන්විය හැකියි. හිස හා උරහිස් චලනය කරන ආකාරයෙන් හා ඇසිපිල්ලන් ගසන ආකාරයෙන් ඇතුළු මුහුණේ සෑම ඉරියව්වකින්ම ඔවුන් යම් වැදගත් අදහසක් ඉදිරිපත් කරයි.

මෙසේ මුහුණේ ඉරියව් සමඟ අංග චලනය එකට මුසු කරන විට රසවත් ලෙස තම අදහස ඉදිරිපත් කිරීමට බිහිරි පුද්ගලයෙකුට හැකි වෙයි. සංඥා භාෂාව ඉතා හොඳින් ප්‍රගුණ කළ කෙනෙකුට පල කළ නොහැකි අදහසක් නැති තරම්. හාස්‍ය මුසු දෙයක්, ආදර හැඟීමක්, කාව්‍යමය අදහසක් පමණක් නොව ඉතා සියුම් අදහසක් පවා විස්තර කිරීමට තරම් ඔවුන් දක්ෂයි.

සංඥා භාෂාවෙන් ඇති ප්‍රකාශන

සංඥා භාෂාව නිසා බිහිරි අයටත් ශුභාරංචියට ‘ඇහුම්කන්’ දීමට අවස්ථාව ලැබී තිබෙනවා. එමගින් යෙහෝවා දෙවිව හඳුනාගෙන ඔහු කෙරෙහි විශ්වාසය තැබීමටත් ඔවුන්ට හැකි වී තිබෙනවා. එමනිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලොව පුරාම සිටින බිහිරි අයට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට හා ඔවුන්ට අවශ්‍ය ප්‍රකාශන ලබා දීමට මහත් වෑයමක් දරා තිබෙනවා. (රෝම 10:14) ඒ සඳහා මේ වන විට ලොව පුරා සංඥා භාෂා පරිවර්තන කණ්ඩායම් 58ක් ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම සංඥා භාෂා 40කට පරිවර්තනය කරන ලද අපගේ ප්‍රකාශන DVD තැටි මගින් දැන් ලබාගත හැකියි. ඉන් ප්‍රතිඵල ලැබී තිබෙනවාද?

ජෙරමි බිහිරි දෙමාපියන් සිටින යෞවනයෙක්. ඔහු තම පියා ගැන මෙසේ පවසනවා. “මගේ තාත්තා පැය ගානක් කාමරයට වෙලා මුරටැඹ ලිපියක ඡේද කීපයක් තේරුම්ගන්න මොන තරම් උත්සාහයක් දැරුවද කියලා මට තාම මතකයි. තාත්තා එක පාරටම දුවගෙන ඇවිල්ලා සංඥා භාෂාවෙන් මට මෙහෙම කිව්වා. ‘මට තේරුණා! මට තේරුණා!’ ඊට පස්සේ තාත්තා ඒ ලිපියෙන් තේරුම්ගත්ත දේ මට විස්තර කෙරුවා. ඒ වෙනකොට මට වයස අවුරුදු 12යි. මම ඒ ඡේද ඉක්මනින් කියෙව්වා. ‘තාත්තේ මම හිතන්නේ අදහස ඒක නෙවෙයි. ඇත්තටම ඒකෙන් කියන්නේ මේකයි’ කියලා මම කියන්න හදන කොටම තාත්තා මාව නවත්තලා කාමරයට ගියා. තාත්තා එහෙම ගියේ ඒක තනියෙන්ම කියවලා තේරුම්ගන්නයි. ඒ වෙලාවේ තාත්තාගේ මුහුණ දැකලා මට හරියට දුක හිතුණා. නමුත් දැන් සංඥා භාෂාවෙන් DVD තැටි තියෙන නිසා අපේ ප්‍රකාශනවල තියෙන තොරතුරු වඩා හොඳින් තේරුම්ගන්න තාත්තට පුළුවන්. දැන් තාත්තට යෙහෝවා දෙවි ගැන හැඟෙන ආකාරය ප්‍රකාශ කරද්දී එයාගේ මුහුණ සතුටෙන් පිරෙනවා. දැන් ඒ වගේ ප්‍රකාශන තියෙන එක කොයි තරම් දෙයක්ද!”

චිලී රටේ සිටින හෙසෙන්යා නමැති යෞවනියට සාක්ෂිකාර යුවළක් මුණගැසුණා. ඇය බිහිරි කෙනෙක් නිසා සංඥා භාෂාවෙන් තිබෙන මගේ බයිබල් කතන්දර පොත නමැති DVD තැටිය ඇයට පෙන්වීමට ඔවුන් ඇගේ මවගෙන් අවසර ගත්තා. එය නරඹන විට සිදු වූ දේ ගැන ඒ යුවළ මෙසේ පවසනවා. “හෙසෙන්යා ඒක බලද්දී හිනාවෙන්න පටන්ගත්තා. ඊටපස්සේ අඬන්න පටන්ගත්තා. හෙසෙන්යා අඬන්නේ ඇයි කියලා එයාගේ අම්මා ඇහුවා. එතකොට හෙසෙන්යා කිව්වා එයා ඒකට හරිම ආසයි කියලා. ඒකෙන් එයාගේ අම්මා තේරුම්ගත්තා එයා බලපු දේ එයාට හොඳටම තේරුණා කියලා.”

වෙනිසුවෙලාහි ජීවත් වන බිහිරි කාන්තාවකගේ අද්දැකීමද සලකා බලන්න. එතරම් වත්කමක් නොතිබූ ඇයට එක් දරුවෙක් සිටි අතර තවත් දරුවෙක් ලැබෙන්න සිටියා. නමුත් එම දරුවාව හදා වඩා ගැනීමට තරම් වත්කමක් නැහැයි කියා සිතූ ඇයත් ඇගේ ස්වාමිපුරුෂයාත් දරුවාව ගබ්සා කිරීමට තීරණය කළා. දිනක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔවුන්ව හමු වීමට පැමිණියා. එම යුවළ ගෙන තිබූ තීරණය ගැන කිසිවක් නොදැන සිටි සාක්ෂිකරුවන් ඔවුන්ට සංඥා භාෂාවෙන් ඇති දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන DVD තැටියේ 12වන පාඩම පෙන්නුවා. එහි පැහැදිලි කර තිබුණේ මිනී මැරීම හා ගබ්සාව පිළිබඳ යෙහෝවා දෙවි දරන ආකල්පයයි. පසුව එම බිරිඳ පැවසුවේ ඇය ඉගෙනගත් තොරතුරු හුඟක් වටිනා බවයි. එමෙන්ම තමන් ගබ්සාවක් කිරීමට තීරණය කර තිබූ බවත් DVD තැටිය නැරඹීමෙන් පසුව එය වෙනස් කරගත් බවත් ඇය පැවසුවා. සංඥා භාෂාවෙන් DVD තැටියක් නිපදවීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ජීවිතයක් බේරුණා!

ලරේන් නමැති සහෝදරියටත් සංඥා භාෂාවෙන් ඇති ප්‍රකාශන බොහෝ සේ ප්‍රයෝජනවත් වී තිබෙනවා. ඒ ගැන ඇය මෙසේ විස්තර කරනවා. “මට නොතේරුණ ගොඩක් දේවල් බයිබලයේ තිබුණා. හැබැයි දැන් සංඥා භාෂාවෙන් අපගේ ප්‍රකාශන තියෙන නිසා ඒවා තේරුම්ගන්න මට පුළුවන් වෙලා තියෙනවා.” අවුරුදු 38ක් පුරා සාක්ෂිකරුවෙකු ලෙස සේවය කරන ජෝර්ජ්ද සංඥා භාෂාවෙන් ඇති ප්‍රකාශනවලින් ප්‍රයෝජන ගත් කෙනෙක්. ඔහු තම අගය පළ කරන්නේ මෙසේයි. “කෙනෙකුට යම් කාරණයක් තනිවම තේරුම්ගැනීමට හැකි වන විට ඉන් ඔහුට තමා ගැන හොඳ හැඟීමක් හා විශ්වාසයක් ඇති වෙනවා. සංඥා භාෂාවෙන් තියෙන DVD නිසා යෙහෝවා දෙවිට වඩාත් ළං වෙන්න මට හැකි වෙලා තියෙනවා.”

‘මගේම භාෂාවෙන් රැස්වීමක්’

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සංඥා භාෂාවෙන් රැස්වීම්ද සූදානම් කර තිබෙනවා. මේ වන විට ලොව පුරා එවන් සභාවන් 1,100කට වඩා තිබෙනවා. එම රැස්වීම්වල බයිබල් සත්‍යයන් උගන්වන්නේ ඔවුන් සිතන ආකාරය, ඔවුන්ගේ පසුබිම හා ඔවුන් ලබන අද්දැකීම් සැලකිල්ලට ගෙනයි.

සංඥා භාෂාව භාවිත කරන සභාවන් කොතරම් ප්‍රයෝජනවත් වී තිබෙනවාද කියා අපි බලමු. වර්ෂ 1955දී බව්තීස්ම වූ බිහිරි සහොදරයෙක් වන සිරිල්ගේ අද්දැකීම බලන්න. ඔහු අවුරුදු ගණනාවක් තිස්සේ බයිබලය මත පදනම් මුද්‍රිත පොත් පත් ඔහුට හැකි උපරිමයෙන් අධ්‍යයනය කරමින් නොකඩවා රැස්වීම්වලට සහභාගි වුණා. සමහර දවස්වල රැස්වීම්වල කොටස් ඔහු වෙනුවෙන් සංඥා භාෂාවට පරිවර්තනය කළා. එසේ කිරීමට කෙනෙක් නොසිටි අවස්ථාවලදී ප්‍රේමණීය සහෝදරයෙක් හෝ සහෝදරියක් රැස්වීමේදී සාකච්ඡා කරන තොරතුරු ඒ අවස්ථාවේදීම ලියා ඔහුට පෙන්නුවා. අවුරුදු 34ක් පුරා ඔහු රැස්වීම්වලින් ඉගෙනගත්තේ ඒ ආකාරයටයි. නමුත් 1989දී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් යෝක් නුවර පළමු සංඥා භාෂා සභාව පිහිටෙවූ විට තත්වය වෙනස් වුණා. ඒ සභාවේ සාමාජිකයෙක් වීම ගැන සිරිල්ට හැඟුණේ කෙසේද? “ඒක හරියට ඝන අඳුරෙන් එළියට ආව වගෙයි. මගේම භාෂාවෙන් තියෙන රැස්වීමකට සහභාගි වෙන්න ලැබීම කොයි තරම් දෙයක්ද” කියා ඔහු පැවසුවා.

එවන් සභාවන් දෙවි ගැන ඉගෙනගැනීමටත් ඔහුට නමස්කාර කිරීමටත් බිහිරි අයට කදිම ස්ථානයක්. එමෙන්ම අන් අයව ගොඩනැංවීමටත් දිරිගැන්වීම් ලබාගැනීමටත් එමගින් අවස්ථාව ලැබෙයි. අන් අය මෙන් ඔවුන්ට වචනවලින් අදහස් හුවමාරු කරගැනීමට නොහැකි නිසා ඔවුන් සමාජයේ තනි වෙන්න පුළුවන්. නමුත් අදහස් හුවමාරු කරගැනීමට හා හොඳ ඇසුරක් භුක්ති විඳීමට සංඥා භාෂාව භාවිත කරන සභා ඔවුන්ට කදිම ස්ථානයක්. දෙවිට කරන සේවයේ විවිධ පැතිවලින් දියුණුවක් ලැබීමටද එය ඔවුන්ට උපකාරයක්. ඉන් ප්‍රයෝජන ගෙන ඇති බොහෝදෙනෙක් පූර්ණ කාලීන දේවසේවකයන් බවට පත් වී තිබෙනවා. තවත් අය වෙනත් රටවලට ගොස් එහි සිටින බිහිරි අයට දෙවි ගැන ඉගෙනගන්න උපකාර කරනවා. බිහිරි අය අතර සිටින සහෝදරයන් දක්ෂ ගුරුවරුන්, සංවිධානය කරන්නන් හා සභාවන් රැකබලා ගන්නන් බවට පත් වීමට ඉගෙනගෙන තිබෙනවා. ඒ නිසා සමහරුන්ට සභාවල විවිධ කාර්යයන් හා වගකීම් දැරීමට හැකි වී තිබෙනවා.

එක්සත් ජනපදයේ සංඥා භාෂාව භාවිත කරන සභා 100කට වැඩි සංඛ්‍යාවක් හා කණ්ඩායම් 80ක් පමණ තිබෙනවා. බ්‍රසීලයේ එවැනි සභා 300ක් හා කණ්ඩායම් 400කට වැඩි ප්‍රමාණයක් තිබෙන අතර මෙක්සිකෝවේ සභා 300කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. එමෙන්ම රුසියාවේ සංඥා භාෂාව භාවිත කරන සභා 30කට වැඩි ප්‍රමාණයක් හා කණ්ඩායම් 113ක් තිබෙනවා. ඒ වගේම ලොව පුරා වෙනත් රටවලත් එවැනිම වර්ධනයක් දැකගත හැකියි. *

ඊට අමතරව සංඥා භාෂාවෙන් එක්රැස්වීම් හා සමුළුද පවත්වනවා. පසුගිය වසරේ ලොව වටා එවන් සමුළු 120ක් පැවැත්වුවා. තමන් ලෝක ව්‍යාප්ත සහෝදර සංගමයකට අයත් සාමාජිකයන් බවත් අන් සහෝදර සහෝදරියන්ට මෙන් නියම වේලාවට තමන්ටද පෝෂණය ලැබෙන බවත් ඒ තුළින් බිහිරි සහෝදර සහෝදරියන් තේරුම්ගෙන තිබෙනවා.

එවන් පෝෂණයක් නිසා සමහරුන්ට ඔවුන්ගේ යම් ආකල්ප නිවැරදි කරගැනීමට හැකි වී තිබෙනවා. අවුරුදු 25ක් පුරා යෙහෝවා දෙවිට කැප වී සේවය කරන සහෝදර ලෙනාඩ්ගේ අද්දැකීම බලන්න. “යෙහෝවා එකම සැබෑ දෙවි කියලා මම දන්නවා. ඒ වුණත් මිනිසුන්ට දුක් විඳින්න ඔහු ඉඩ දීලා තියෙන්නේ ඇයි කියලා මට හරි අවබෝධයක් තිබුණේ නැහැ. ඒ නිසා මට සමහර අවස්ථාවලදී දෙවි සමඟ තරහත් ගියා. සංඥා භාෂාවෙන් පැවැත්වූ දිස්ත්‍රික් සමුළුවකදී ඉදිරිපත් කළ කතාවකින් මට තිබූ ප්‍රශ්නයට හරි පිළිතුරක් ලැබුණා. ඒ කතාව ඉවර වුණාට පස්සේ මගේ බිරිඳ මගෙන් මෙහෙම ඇහුවා. ‘දැන් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් හම්බ වුණා නේද?’ ඇත්තටම ඔව්! මිනිසුන් දුක් විඳීම ගැන මට තිබුණු ප්‍රශ්නය නිසා යෙහෝවා දෙවිගෙන් ඈත් නොවීම ගැන මම දැන් සතුටු වෙනවා. දෙවි කෙරෙහි මට ලොකු ප්‍රේමයක් තිබුණත් මම ඔහුව හරියට අඳුනගෙන හිටියේ නැහැ. නමුත් අවුරුදු 25කට පස්සේ මට ඒක කරන්න පුළුවන් වුණා.”

මුළු හදින්ම ස්තුතිවන්ත වෙමින්

බිහිරි අයට යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න ලැබී තිබෙන ප්‍රස්තාව මොන තරම් අනර්ඝද! ඔහුගේ ප්‍රේමය, අනුකම්පාව, යුක්තිය, විශ්වාසවන්තකම ඇතුළු ඔහුගේ පෞද්ගලිකත්වයේ විවිධ පැති පැහැදිලිව දකින්න ඔවුන්ට හැකි වී තිබෙනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර සිටින සියලුම බිහිරි අයට ඉදිරියේදී දෙවිව වඩාත් හොඳින් හඳුනාගැනීමට අවස්ථාව ලැබෙයි. යෙහෝවා දෙවි බිහිරි අය දෙසද ‘දයාවෙන් බලා’ ඔවුන්ට ප්‍රේමය පෙන්වා තිබෙනවා. (ගණන්. 6:25, නව ලොව පරිවර්තනය) ඒ ගැන ඔවුන් දෙවිට මොන තරම් ස්තුතිවන්ත වෙනවාද!

[පාදසටහන]

^ 21 ඡේ. ශ්‍රී ලංකාවේ සංඥා භාෂාව භාවිත කරන කණ්ඩායමක් තිබෙනවා.

[24, 25වන පිටුවේ පින්තූර]

ලොව පුරා සංඥා භාෂාව භාවිත කරන සභාවන් 1,100ක් තිබෙනවා

[26වන පිටුවේ පින්තූර]

බිහිරි අය යෙහෝවා දෙවිගෙන් විශේෂ උපකාර ලබා තිබෙනවා