Skip to content

පටුනට යන්න

කිසිවකින් බාධාවට පත් නොවී ශුභාරංචිය ප්‍රකාශ කරමු

කිසිවකින් බාධාවට පත් නොවී ශුභාරංචිය ප්‍රකාශ කරමු

කිසිවකින් බාධාවට පත් නොවී ශුභාරංචිය ප්‍රකාශ කරමු

සමාරිය නගරයේ දොරටු අසල ලාදුරු රෝගීන් හතරදෙනෙක් සිටින ආකාරය සිතින් මවාගන්න. කිසිවෙක් ඔවුන්ට කෑමට යමක් දෙන්නේ නැහැ. සිරියානුවන් විසින් සමාරිය වටලා තිබෙන නිසා එහි පවතින්නේ දරුණු සාගතයක්. එය කොතරම් දරුණුද කිවහොත් ඔවුන් මිනී මස් කන්න පවා පටන් අරගෙන. නගරයට ඇතුල් වීමෙන් තේරුමක් නැති බව එම ලාදුරු රෝගීන්ට වැටහෙනවා.—2 රාජා. 6:24-29.

ඔවුන් කතා වුණේ ‘අපි දැන් සිරියානු හමුදාවේ කඳවුරට යමු. ඔවුන් අපිව මැරුවත් කරන්න දෙයක් නැහැ’ කියායි. අඳුර වැටීගෙන එද්දී ඔවුන් කඳවුර බලා ගිය අතර එහි පැවතියේ දැඩි නිහඬතාවක්. ඔවුන් කඳවුර අසලටම ගියත් එක සොල්දාදුවෙක්වත් ඔවුන් දුටුවේ නැහැ. එහි සිටියේ අශ්වයන් සහ බූරුවන් පමණයි. කූඩාරමකට එබී බැලුවත් ඔවුන්ට කිසිවෙක් දකින්න ලැබුණේ නැහැ. නමුත් කන බොන දේවල් නම් ඕන තරම් තිබුණා. එයින් තම කුසගින්න නිවාගත් ඔවුන් එහි තිබූ රන්, රිදී, වස්ත්‍ර ඇතුළු තවත් වටිනා දේවල් රැගෙන ගොස් ඒවා සඟවා තබා නැවත පැමිණියා. ඇත්තටම කූඩාරම්වල සිටි සොල්දාදුවන්ට සිදු වී තිබුණේ කුමක්ද? යෙහෝවා දෙවි ආශ්චර්යවත් ලෙස සිරියානුවන්ට විශාල හමුදාවක ශබ්දය ඇසෙන්න සලස්වා ඔවුන්ව භීතියට පත් කළා. ඒ නිසා ඔවුන් සියල්ල අත්හැර පලා ගියා.

ඒ ලාදුරු රෝගීන් නැවතත් කූඩාරම්වල තිබූ වටිනා දේවල් එකතු කරමින් සිටින විට ඔවුන්ගේ සිත ඔවුන්ට වද දෙන්න පටන්ගත්තා. ඊට හේතුව සමාරියේ වැසියන් හාමතේ සිටිනවා ඔවුන්ට මතක් වූ නිසයි. ඒ නිසා ඔවුන් මෙසේ කතා කරගත්තා. “අපි කරන මේ දේ හරි නැහැ. අපි අනික් අයටත් මේ ගැන කියන්න ඕනේ.” ඉන්පසු ඔවුන් ළහි ළහියේම සමාරියට ගොස් එම සුබ ආරංචිය දැනුම් දුන්නා.—2 රාජා. 7:1-11, නව ලොව පරිවර්තනය.

අපටත් මේ කාලයේදී අන් අයට දැනුම් දීමට සුබ ආරංචියක් තිබෙනවා. මෙම දුෂ්ට සමාජයේ ‘අවසාන කාල පරිච්ඡේදයට ලකුණ’ ලබා දුන් අවස්ථාවේදී යේසුස් ඒ ගැන මෙසේ සඳහන් කළා. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය.” (මතෙ. 24:3, 14) එම ආරංචිය ප්‍රකාශ කිරීම ගැන අපට තිබිය යුතු ආකල්පය කුමක්ද?

අප ගැන පමණක් සිතීම බාධාවක්

ලාදුරු රෝගීන්ට ලැබුණු දේවලට ඔවුන්ගේ සිත කොතරම් ඇදී ගියාද කිවහොත් ඔවුන්ට සමාරියේ ජනයාව කෙටි වේලාවකට හෝ අමතක වුණා. සමහරවිට එවැනි දෙයක් අපටත් සිදු විය හැකියි. උදාහරණයකට අවසාන කාලය පිළිබඳව ලකුණ ලබා දෙන විට “ආහාර හිඟකම්” ඇති වන බවද යේසුස් පැවසුවා. (ලූක් 21:7, 11) ඔහු තම අනුගාමිකයන්ට මෙවැනි අවවාදයක් දුන්නේ ඒ නිසයි. “අධික කෑමෙනුත් බීමෙනුත් ජීවිතයේ කරදරවලිනුත් ඔබේ සිත් කිසි කලෙක බර නොවන පිණිස ඔබ ගැන හොඳ අවධානයකින් සිටින්න.” (ලූක් 21:34) එමනිසා අපි අපගේ ජීවිතයේ එදිනෙදා කටයුතු ගැන ඕනෑවට වඩා කනස්සලු නොවීමට වගබලා ගත යුතුයි. අපි එසේ නොකළොත් මේ කාලයේ ප්‍රකාශ කිරීමට තිබෙන “ශුභාරංචිය” අපට අතපසු විය හැකියි.

ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මුල් තැන දීම සම්බන්ධයෙන් බ්ලෙසින් නමැති සහෝදරිය කදිම ආදර්ශයක්. තම ඉගෙනීම් කටයුතු අවසන් කළ ඇය පුරෝගාමියෙක් ලෙස සේවය කළා. පසුව ඇය බෙනින් රටේ බෙතෙල් සාමාජිකයෙක් සමඟ විවාහ වූ අතර දැන් ඔවුන් එහි සේවය කරමින් සිටිනවා. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “මම බෙතෙල් එකේ කරන්නේ කාමර පිරිසිදු කරන එකයි. මම ඒකෙන් ලොකු සතුටක් ලබනවා.” ඇය මේ දක්වා අවුරුදු 12ක් පුරා පූර්ණකාලීන සේවයේ හවුල් වී තිබෙනවා. “ශුභාරංචිය” ප්‍රකාශ කිරීමේ හදිසිතාවක් ඇති මේ කාලයේදී ඇයට එවන් සේවයක් කිරීමට හැකි වීම ගැන ඇය හුඟක් සතුටු වෙනවා.

කාලය කා දමන දේවලින් පරෙස්සම් වන්න

තම ගෝලයන් 70දෙනාව පිටත් කළ අවස්ථාවේ යේසුස් මෙසේ පැවසුවා. “සැබවින්ම අස්වැන්න නම් බොහෝය. නමුත් වැඩ කරන්නෝ ස්වල්පදෙනෙක්ය. එහෙයින් තම අස්වැන්න නෙළීමට වැඩ කරන්නන් එවන ලෙස අස්වැන්නේ ස්වාමියාගෙන් බැගෑපත්ව ඉල්ලන්න.” (ලූක් 10:2) සාමාන්‍යයෙන් අස්වැන්න නෙළන කාලය ප්‍රමාද වුණොත් එය විනාශ විය හැකියි. එලෙසම මේ කාලයේ ශුභාරංචිය ප්‍රකාශ කිරීම අතපසු කළොත් බොහෝදෙනෙකුගේ ජීවිත විනාශ විය හැකියි. එමනිසා එහි ඇති හදිසිතාව අවධාරණය කිරීමට යේසුස් මෙසේද පැවසුවා. “මඟදී ආචාර කිරීමට කිසිවෙකුව වැලඳ නොගන්න.” (ලූක් 10:4) එහි “ආචාර කිරීම” යන්නෙන් අදහස් කරන්නේ කෙනෙකු හමු වූ විට “කොහොමද” හෝ “සුබ දවසක්” කියා පැවසීම පමණක් නොවෙයි. පෙනෙන විදිහට ඊට මිත්‍රයෙකුව වැලඳගැනීම හා ඔහු සමඟ බොහෝ වේලාවක් ආ ගිය තොරතුරු කතා කිරීමද ඇතුළත්. එයින් යේසුස් අවධාරණය කළේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට බාධා විය හැකි දේවල් මඟ හැර, කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමේ වැදගත්කමයි. ඊට හේතුව අප ප්‍රකාශ කරන පණිවිඩය එතරම්ම හදිසි එකක් වීමයි.

අද දින බොහෝදෙනාගේ කාලය නාස්ති කරන දේවල් ගැන මදක් සිතන්න. එහි ඉදිරියෙන්ම තිබෙන්නේ රූපවාහිනියයි. ජංගම දුරකථන හා පරිගණකද ඊට දෙවැනි නැහැ. වැඩිහිටියන් 1,000ක් යොදාගෙන බ්‍රිතාන්‍යයේ කරන ලද සමීක්ෂණයකින් හෙළි වුණේ “ඔවුන්ගෙන් වැඩි පිරිසක් රැහැන් සහිත දුරකථන භාවිතය සඳහා දිනකට විනාඩි 88ක්ද ජංගම දුරකථන සඳහා විනාඩි 62ක්ද ඊමේල් පණිවිඩ යැවීම සඳහා විනාඩි 53ක්ද කෙටි පණිවිඩ යැවීම සඳහා විනාඩි 22ක්ද යොදවන” බවයි. එහි මුළු එකතුව උපකාරික පුරෝගාමියෙක් දිනකට සේවය සඳහා වැය කරන කාලය මෙන් දෙගුණයකටත් වඩා වැඩියි. ඔබ අදහස් හුවමාරු කරගැනීම සඳහා වැය කරන කාලය ගැන කුමක් කිව හැකිද?

එර්නස්ට් හා හිල්දගාට් සෙලීගර් යන ක්‍රිස්තියානි යුවළ තම කාලය යොදවන ආකාරය ගැන බොහෝ සේ සැලකිලිමත් වුණා. ඔවුන් දෙදෙනාම නාට්සි කඳවුරුවල ගත කළ මුළු කාලය අවුරුදු 40ක්. අභිෂේක ලත් ක්‍රිස්තියනීන් වන ඔවුන් නිදහස ලබා පැමිණ මිය යන තුරුම පුරෝගාමීන් ලෙස සේවය කළා.

බොහෝදෙනෙක් ඔවුන්ට ලිපි ලිව්වා. ඒවා කියවීමට හා පිළිතුරු ලිවීමට ඔවුන් යම් කාලයක් ගත කරන්න ඇති. ඒ වුණත් එය තම දේවසේවයට බාධාවක් වන තරමටම ඔවුන් එහි නිරත වුණේ නැහැ.

අප ආදරය කරන අය සමඟ අදහස් හුවමාරු කරගැනීමේ වරදක් නැහැ. අපගේ ජීවිතයට විවිධත්වයක් ගෙන දෙන දේවල නියැලීම ප්‍රයෝජනදායකයි. ඒ වුණත් ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ හදිසිතාවක් ඇති මේ කාලයේ අපගේ කාලය සොරා ගන්නා දේවල් හඳුනාගෙන ඒවා පාලනය කිරීම ඥානවන්තයි.

ශුභාරංචිය ගැන හොඳ සාක්ෂියක් දරන්න

ශුභාරංචිය ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍ය දෙයක් වන මේ කාලයේ ජීවත් වීමට ලැබීම අපට ආශීර්වාදයක්. ඉහත සඳහන් කළ ලාදුරු රෝගීන් මුලින් ක්‍රියා කළ ආකාරය ‘හරි නැහැයි’ කියා ඔවුන්ට හැඟුණා. ඒ හා සමානව දේවසේවයෙහි පූර්ණ ලෙස හවුල් වීමෙන් අපව වළක්වන හා අපගේ කාලය කා දමන දේවලට ඉඩහැරීම හරි නැති බව අපත් තේරුම්ගනිමු.

ඒ සම්බන්ධයෙන් පාවුල් අපට කදිම ආදර්ශයක්. ඔහු කළ දේවසේවයේ මුල් අවුරුදු 20 ගැන සඳහන් කරමින් ඔහු පැවසුවේ ‘මම ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය සම්පූර්ණයෙන්ම දේශනා කළෙමි’ කියායි. (රෝම 15:19) දේවසේවය සඳහා ඔහු තුළ තිබූ උද්‍යෝගය හීන කිරීමට ඔහු කිසිවකට ඉඩ දුන්නේ නැහැ. අපත් පාවුල් හා සමානව දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහි උද්‍යෝගයෙන් හවුල් වෙමු.

[28වන පිටුවේ පින්තූරය]

තම පූර්ණකාලීන සේවයට බාධා වීමට සහෝදරී බ්ලෙසින් ජීවිතයේ කනස්සලු වීම්වලට ඉඩ දුන්නේ නැහැ

[29වන පිටුවේ පින්තූරය]

සෙලීගර් යුවළ තම කාලය යොදවන ආකාරය ගැන හරිම සැලකිලිමත්