Skip to content

පටුනට යන්න

නැවතත් සේවය කරන්න ඔබ කැමතිද?

නැවතත් සේවය කරන්න ඔබ කැමතිද?

නැවතත් සේවය කරන්න ඔබ කැමතිද?

ඔබ මීට පෙර වැඩිමහල්ලෙක් ලෙස හෝ සභා සේවකයෙක් ලෙස සේවය කර තිබෙනවාද? නැත්නම් පූර්ණකාලීන සේවයේ නිරත වී තිබෙනවාද? එසේනම් ඔබ ඉන් ඉමහත් ප්‍රීතියක් හා තෘප්තියක් ලැබූ බව නිසැකයි. නමුත් යම් හේතුවක් නිසා දැන් ඔබ එසේ සේවය නොකරනවා විය හැකියි.

ඔබට වගකීම් අත්හැරීමට සිදු වුණේ පවුලේ අයට වැඩි අවධානයක් දීමට සිදු වූ නිසා විය හැකියි. නැත්නම් මහලු වයස හෝ දුර්වල සෞඛ්‍යය වැනි සාධාරණ හේතු නිසා විය හැකියි. (1 තිමෝ. 5:8) පළමු සියවසේ සිටි මිෂනාරි සේවයේ හවුල් වූ ෆිලිප්ද එවැනි තීරණයක් ගත්තා. තම පවුලේ අයට වැඩි අවධානයක් දීම සඳහා ඔහු සිසේරියේ පදිංචියට ගියා. (ක්‍රියා 21:8, 9) දාවිත්ද මහලු වයය නිසා ඔහුගේ රජකම ඔහුගේ පුත් සලමොන්ට භාර දුන්නා. (1 රාජා. 1:1, 32-35) යම් හේතු නිසා ඔවුන් දෙදෙනාට තම වගකීම් අත්හැරීමට සිදු වුණත් යෙහෝවා දෙවිගේ අනුමැතිය ඔවුන්ට අහිමි වුණේ නැහැ. අපත් ඔවුන්ව සිහි කරන්නේ ඉමහත් ගෞරවයකිනුයි.

අනික් අතට ඔබ අතින් සිදු වූ නුසුදුසු ක්‍රියාවක් නිසා හෝ ඔබගේ පවුලේ ප්‍රශ්නයක් නිසා ඔබ දැරූ වගකීම් ඔබෙන් ඉවත් කළා විය හැකියි. (1 තිමෝ. 3:2, 4, 10, 12) සමහරවිට එම තීරණයට ඔබ එකඟ නොවූ නිසා ඒ ගැන තවමත් අමනාපයෙන් පසු වෙනවා ඇති.

නැවතත් වගකීම් දරන්න ඔබට හැකියි

තමන්ට අහිමි වූ වගකීම් නැවත අත් කරගන්න බැහැයි කියා සිතන්න එපා. බොහෝවිට ඒවා නැවත අත් කරගත හැකියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ වෑයමයි. (1 තිමෝ. 3:1) එමෙන්ම ඒවා අත් කරගැනීමට ඔබව පෙලඹවිය යුත්තේ කුමක්ද? දෙවිට කැපවීමට ඔබව පෙලඹවූ හේතුවමයි. එනම් දෙවිටත් සෙසු සහෝදරයන්ටත් ඔබ තුළ ඇති ප්‍රේමයයි. එලෙස ඔබ වෑයම් කරද්දී ඔබ සතු වටිනා අද්දැකීම් ප්‍රයෝජනයට ගෙන නැවතත් අන් අයට සේවය කරන්න ඔබව යොදාගැනීමට දෙවිට හැකියි.

එය තහවුරු කරන මේ උදාහරණය බලන්න. ඊශ්‍රායෙල්වරුන්ගේ වැරදි ක්‍රියාමාර්ගය නිසා ඔවුන්ට තිබූ වරප්‍රසාද අහිමි වුණා. නමුත් ඔවුන්ව සම්පූර්ණයෙන්ම අත් නොහරින බවට දෙවි ඔවුන්ට මෙවන් සහතිකයක් දුන්නා. “මා යෙහෝවා දෙවිය. මම කිසිදාක වෙනස් නොවෙමි. ඔබ යාකොබ්ගේ පුත්‍රයන්ය. මා ඔබව විනාශ නොකළේ ඒ නිසාය.” (මලා. 3:6, නව ලොව පරිවර්තනය, NW) දෙවි ඔවුන්ට ප්‍රේම කළ නිසා ඔවුන්ව ඉදිරියටත් තම සේවකයන් ලෙස යොදාගන්න දෙවි කැමති වුණා. එලෙසම ඔබ නැවතත් වගකීම් දරනවා දකින්න දෙවි කැමතියි. දෙවිට සේවය කිරීමේදී අපේ දක්ෂතා හා හැකියාවන්ට වඩා වැදගත් වන්නේ ශුද්ධ ලියවිලි සුදුසුකම් අත් කරගැනීම හා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමයි. එමනිසා ඔබට සභාවේ අමතර වගකීම් නැති මේ කාලයේදී දෙවි සමඟ ඇති ඔබගේ මිත්‍රත්වය තව තවත් ශක්තිමත් කරගැනීමට හා ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය වර්ධනය කරගැනීමට පියවර ගන්න.

දෙවි කෙරෙහි ඇති ඔබේ විශ්වාසය “ශක්තිමත්” කරගැනීමට නම් ඔබ ‘යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතිය’ යුතු අතර ‘ඔහුගෙන් ශක්තිය’ ලබාගැනීමද අවශ්‍යයි. (1 කොරි. 16:13; ගීතා 105:4NW) යාච්ඤාව ඒ සඳහා උපකාරයක්. ඒ තුළින් ඔබ සිටින තත්වය හා ඔබගේ හැඟීම් දෙවිට ප්‍රකාශ කළ හැකියි. එමෙන්ම දෙවිගේ බලයේ උපකාරයද පතන්න. එමගින් ඔබ දෙවිට වඩාත් ළං වන අතර දෙවිගෙන් ශක්තිය ලබන්නද ඔබට හැකි වෙයි. (ගීතා 62:8; ෆිලි. 4:6, 13) පුරුද්දක් ලෙස දේවවචනය අධ්‍යයනය කිරීමද ඒ සඳහා තවත් උපකාරයක්. සමහරවිට කලින් ඔබට පෞද්ගලික පාඩම හා පවුලේ පාඩම සැලැස්මකට අනුව කිරීම අභියෝගයක් වන්න ඇති. නමුත් සභාවේ අමතර වගකීම් නොදරන මේ කාලය තුළ ඊට වැඩි අවධානයක් දීමට ඔබට හැකියි.

ඔබ දැන් සභාවේ අමතර වගකීම් නොදැරුවත් ඔබ තවමත් යෙහෝවා දෙවි වෙනුවෙන් සාක්ෂි දරන ඔහුගේ සේවකයෙක් බව අමතක නොකරන්න. (යෙසා. 43:10-12) අප සියලුදෙනාටම තිබෙන උතුම්ම වරප්‍රසාදය වන්නේ ‘දෙවි සමඟ හවුල් වැඩකරුවන්’ ලෙස සේවය කිරීමයි. (1 කොරි. 3:9) එමනිසා ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයෙහි වැඩියෙන් හවුල් වීමෙන් දෙවි සමඟ ඇති ඔබේ මිත්‍රත්වය තවත් ශක්තිමත් කරගැනීමටත් ඒ සඳහා සෙසු ක්‍රිස්තියානීන්ට උපකාර කිරීමටත් ඔබට හැකියි.

කලකිරීමෙන් ගොඩ ඒම

වගකීම් අහිමි වීමට තරම් වරදක් ඔබ කළේ නැහැයි කියා ඔබට සිතෙන්න පුළුවන්. ඔබ ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණුද ඉදිරිපත් කළ හැකියි. එමෙන්ම ඔබ නිවැරදි බව එම කාරණය හසුරුවන සහෝදරයන්ට පැහැදිලි කළත් අවසානයේදී ඔබගේ වගකීම් ඉවත් කිරීමට ඔවුන් තීරණය කළා විය හැකියි. ඒ නිසා ඔබ ලැජ්ජාව, දුක හෝ කලකිරීමේ හැඟීම් සමඟ පොරබදනවා ඇති. ඉදිරියේදී වගකීම් දැරීමට ඔබ ගන්නා වෑයම්වලට එම හැඟීම් බාධාවක් වෙන්න පුළුවන්. එමෙන්ම ඔබ මුහුණ දුන් තත්වයෙන් යමක් ඉගෙනගැනීමෙන්ද එය ඔබව වළක්වයි. එසේනම් එවන් හැඟීම්වලින් ගොඩ එන්න ඔබට හැක්කේ කෙසේද? ඒ සඳහා දැන් අපි යෝබ්, මනස්සේ හා යෝසෙප්ගේ ආදර්ශ සලකා බලමු.

යෝබ් ඔහු ජීවත් වූ ප්‍රදේශයේ සියලුදෙනාගේම ඉමහත් ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙක්. ඔහු එදා යෙහෝවා දෙවිව නියෝජනය කරමින් විනිශ්චයකරුවෙකු හා වැඩිමහල්ලෙකු ලෙස විශාල කාර්යයක් ඉටු කළා. (යෝබ් 1:5; 29:7-17, 21-25) නමුත් පසුව ඔහුට ඔහුගේ දරුවන් හා ඔහු සතු ධනය අහිමි වුණා. එමෙන්ම තවත් කටුක අද්දැකීම්වලට මුහුණ දෙන්නද ඔහුට සිදු වුණා. ඔහුගේ සෞඛ්‍යය තත්වය පිරිහුණු අතර අන් අය ඔහුට අගෞරව කිරීමටත් පටන්ගත්තා. “දැන් මට වඩා වයසින් බාල අය මට සිනාසෙති” කියා ඔහු පැවසුවේ ඒ නිසයි.—යෝබ් 30:1NW.

තමා නිර්දෝෂයි කියා ඔප්පු කිරීමට ඔහුට අවශ්‍ය වුණා. (යෝබ් 13:15) නමුත් ඒ සඳහා දෙවිගේ නියමිත කාලය එන තෙක් ඔහු බලා සිටි අතර ඉන් හොඳ ප්‍රතිඵල ලැබුවා. මුහුණ දුන් තත්වයට දැක්වූ ප්‍රතිචාරයේ යම් වරදක් ඇති බව තේරුම්ගත් යෝබ් දෙවි ඔහුව නිවැරදි කරන විට එය පිළිගන්න කැමති වුණා. (යෝබ් 40:6-8; 42:3, 6) ඔහු පෙන්වූ යටහත්පහත්කම නිසා අවසානයේදී ඔහුට තිබුණාටත් වඩා දේවල් ලැබුණා.—යෝබ් 42:10-13.

ඔබ දැරූ වගකීම් හෝ වරප්‍රසාද අහිමි වුණේ ඔබ කළ වරදක් නිසා නම් ඊට යෙහෝවා දෙවි හා සෙසු සහෝදර සහෝදරියන් සමාව දෙයිද කියා ඔබ දෙගිඩියාවෙන් පසු වෙනවා විය හැකියි. එවැනි හැඟීමකින් ගොඩ ඒමට මනස්සේ රජගේ අද්දැකීම ඔබට උපකාරවත් වෙයි. ‘ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් බොහොමයක් කර දෙවිව උදහස් කළා.’ (2 රාජා. 21:6NW) නමුත් පසුව දෙවි ඔහුව පිළිගත් අතර ඔහුගේ රජකමද නැවත ඔහුට ලැබුණා. ඒ කෙසේද කියා අපි බලමු.

මුලදී ඔහු දෙවිගෙන් ලද අවවාද නොසලකාහැරිය නිසා දෙවි ඔහුව අෂූරියවරුන් අතට පාවා දුන්නා. ඔවුන් ඔහුව බැඳ බැබිලෝනියට ගෙන ගියා. ‘තමාට සිදු වූ දෙයින් දැඩි සේ කම්පාවට පත් වූ මනස්සේ රජ තම මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඉදිරියේ යටහත් වී නොකඩවා දෙවිට යාච්ඤා කළා.’ ඔහුට සමාව ලැබුණේ ඔහු පසුතැවිලි වී තම වැරදි නිවැරදි කරගත් නිසයි.—2 ලේක. 33:12, 13NW.

ඔබට අහිමි වූ වගකීම් හෝ වරප්‍රසාද සියල්ල එකවර ලැබෙයි කියා සිතන්න බැහැ. කාලයත් සමඟම යම් වගකීම් ඔබට ලැබෙන්න පුළුවන්. ඒවා කැමැත්තෙන්ම භාරගෙන ඔබගේ උපරිමයෙන්ම ඒවා ඉටු කරන්න. එවිට ඔබට තවත් වගකීම් ලැබෙන්න පුළුවන්. නමුත් ඔබ සිතන ආකාරයෙන්ම දේවල් සිදු නොවිය හැකියි. මේ අතරතුර ඔබ අධෛර්යයට පත් වීමටද ඉඩ තිබෙනවා. ඕනෑම වගකීමක් භාරගැනීමට කැමැත්තෙන් සිටීම හා නොකඩවා ඉවසීමෙන් යුතුව බලා සිටීම අවසානයේදී හොඳ ප්‍රතිඵල ගෙන දෙයි.

ඒ ගැන යෝසෙප්ගේ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැකියි. වයස අවුරුදු 17දී ඔහුගේ සහෝදරයන් ඔහුට ඉතා අකාරුණික ලෙස සලකා ඔහුව වහලෙක් ලෙස විකුණුවා. (උත්. 37:2, 26-28) එවැනි දෙයක් ඔහු තම සහෝදරයන්ගෙන් කෙදිනකවත් බලාපොරොත්තු වුණේ නැහැ. කෙසේනමුත් ඔහු ඒ තත්වයට මුහුණ දුන්නා. එමෙන්ම දෙවිගේ ආශීර්වාදය නිසා ඔහු සේවය කළ “ස්වාමියාගේ නිවසේ යම් වගකීම්ද ඔහුට භාර” දුන්නා. (උත්. 39:2NW) නමුත් පසුව ඔහුට ඒ සියල්ල අහිමි වූ අතර සිරගෙයි සිටීමටද සිදු වුණා. එහිදීත් ඔහුගේ විශ්වාසවන්තකම හා දෙවිගේ උපකාරය නිසා යම් වගකීම් ඔහුට ලැබුණා.—උත්. 39:21-23.

තමා මුහුණ දුන් දේවලින් විශේෂ අරමුණක් ඉටු වීමට නියමිත බව යෝසෙප් දැන සිටියේ නැහැ. නමුත් ඒ ඒ අවස්ථාවලදී ඔහුට කළ හැකි දේ ඔහු උපරිමයෙන් කළා. ඒ නිසා පොරොන්දු කළ තැනැත්තා පැමිණෙන පෙළපත ආරක්ෂා කිරීමට ඔහුව යොදාගන්න දෙවිට හැකි වුණා. (උත්. 3:15; 45:5-8) එම සිද්ධියෙන් පැහැදිලි වන්නේ දෙවිගේ සේවකයන්ට යම් වරප්‍රසාද හෝ වගකීම් ලැබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීමෙන් බවයි. යෝසෙප් මෙන් අපත් දෙවි කැමති ආකාරයට ඔහුගේ සේවය තුළ අපව යොදාගන්න අපි ඔහුට ඉඩ හරිමු.

අද්දැකීම්වලින් ඉගෙනගත හැකි දේ

යෝබ්, මනස්සේ හා යෝසෙප් ඉතා වේදනාකාරී තත්වයන්ට මුහුණ දුන්නා. දෙවි ඔවුන්ට අද්දකින්න ඉඩහැරිය දේවලට ඔවුන් යටත් වුණා. ඉන් ඔවුන් වටිනා පාඩම් ඉගෙනගත්තා. එයින් ඔබටත් යමක් ඉගෙනගත හැකියි.

දෙවි ඔබට උගන්වන දේ තේරුම්ගන්න උත්සාහ කරන්න. යෝබ් සිටියේ ඉතා වේදනාකාරී තත්වයක නිසා යෙහෝවා දෙවි තමාට යම් දේවලට මුහුණ දීමට ඉඩ දුන් හේතුව ඔහුට අමතක වුණා. ඒ නිසා ඔහු සිතුවේ තමන් ගැන පමණයි. නමුත් දෙවි ප්‍රේමණීයව ඔහුව නිවැරදි කළ අතර “හරි දැනුමක් නොමැතිව මම කතා කළෙමි” කියා පසුව ඔහු තම වරද පිළිගත්තා. (යෝබ් 42:3NW) වගකීම් අහිමි වීම නිසා ඔබත් යම් වේදනාවකින් පසු වෙනවා නම් ‘ඔබ ගැන පමණට වඩා ඉහළින් නොසිතා, හොඳ සිහිකල්පනාවෙන්’ කටයුතු කරන්න උත්සාහ කරන්න. (රෝම 12:3) සමහරවිට ඔබ නොදන්නා ආකාරයකින් දෙවි ඔබව සකස් කරනවා විය හැකියි.

හික්මවීම් පිළිගන්න. තමා කළ වරදට මේතරම් බරපතළ දඬුවමක් ලැබෙයි කියා මනස්සේ රජ නොසිතන්න ඇති. නමුත් ලැබුණු හික්මවීම පිළිගෙන පසුතැවිලි වී හරිදේ කරන්න ඔහු පියවර ගත්තා. එලෙසම ඔබට ලැබුණේද ඔබ නොසිතූ ආකාරයේ හික්මවීමක් විය හැකියි. ඒ වුණත් ‘යෙහෝවා දෙවිගේ ඇස් ඉදිරියෙහි යටහත්පහත් වී’ එය පිළිගන්න. ‘එවිට ඔහු ඔබව උසස් කරයි.’—1 පේතෘ. 5:6; යාකො. 4:10

ඉවසිලිවන්තව දෙවිගෙන් ලැබෙන පුහුණුව පිළිගන්න. තම සහෝදරයන්ට වෛර කරන්න යෝසෙප්ට ඕනෑ තරම් හේතු තිබුණා. නමුත් ඒ වෙනුවට ඔහු ප්‍රඥාවන්තව ක්‍රියා කර ඔවුන්ට දායාව පෙන්නුවා. (උත්. 50:15-21) ඔබත් කලකිරීමට පත් වී ඇත්නම් ඉවසිලිවන්තව කටයුතු කරන්න. එමෙන්ම දෙවි ලබා දෙන පුහුණුව පිළිගැනීමට කැමැත්තෙන් සිටින්න.

ඔබ මීට පෙර සභාවේ වගකීම් දැරූ කෙනෙක් නම් නැවතත් ඒවා ඔබට ලබා දීම සඳහා යෙහෝවා දෙවිට ඉඩ හරින්න. ඔහු සමග ඇති ඔබේ මිත්‍රත්වය ශක්තිමත් කරගන්න. කලකිරවන හැඟීම් ඇති වන විට ඉවසිලිවන්තකම හා යටහත්පහත්කම මගින් ඒවා පාලනය කරගන්න. ඔබට ලැබෙන ඕනෑම වගකීමක් භාරගන්න කැමැත්තෙන් සිටින්න. එමෙන්ම යෙහෝවා දෙවි ‘නිර්දෝෂ අයට සෑම යහපත් දෙයක්ම ලබා දෙන’ බව මතක තබාගන්න.—ගීතා 84:11.

[30වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

යාච්ඤාව තුළින් දෙවි කෙරෙහි ඇති ඔබේ විශ්වාසය “ශක්තිමත්” කරගන්න

[31වන පිටුවේ පින්තූරය]

ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහි වැඩියෙන් හවුල් වීම දෙවි සමඟ ඇති ඔබගේ මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමට මඟක්

[32වන පිටුවේ පින්තූරය]

ඔබට වගකීම් ලබා දීම සඳහා යෙහෝවා දෙවිට ඉඩහරින්න