Skip to content

පටුනට යන්න

ආදම් සහ ඒව සැබෑ පුද්ගලයන්ද?

ආදම් සහ ඒව සැබෑ පුද්ගලයන්ද?

ආදම් සහ ඒව සැබෑ පුද්ගලයන්ද?

බයිබලයේ උත්පත්ති පොතේ සඳහන් ආදම් සහ ඒව පිළිබඳ වාර්තාව බොහෝ අයට රසබර කතා පුවතක් පමණයි. ටයිම් සඟරාවේ කර්තෘට ලැබුණ ලිපියක මෙවැනි දෙයක් සඳහන් වී තිබුණා. “ආදම් සහ ඒව ගැන උත්පත්ති වාර්තාවේ සඳහන් දේවල් ක්‍රිස්තියානි ආගම්වලට අයත් අය විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් එය සලකන්නේ ගෙතූ කතන්දරයක් ලෙස පමණයි.” කතෝලික, රෙපරමාදු සහ යුදෙව් විශාරදයන් දරන්නේද එම අදහසමයි. ඒ වගේම එම වාර්තාව ඉතිහාසයට සහ විද්‍යාවට පටහැනි බවත් ඔවුන් පවසනවා.

නමුත් ඒ ගැන ඔබ සිතන්නේ කුමක්ද? ආදම් සහ ඒව කියා යුවළක් ඇත්තටම අතීතයේ ජීවත් වුණා කියා ඔබ විශ්වාස කරනවාද? එය ඔප්පු කිරීමට සාක්ෂි තිබෙනවාද? එමෙන්ම ආදම් සහ ඒව ගැන සඳහන් වාර්තාව පිළිගැනීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?

විද්‍යාවෙන් ඔප්පු කළ හැකිද?

ආදම්ව නිර්මාණය කළ ආකාරය ගැන බයිබලයේ සඳහන් දෙය සලකා බලන්න. “යෙහෝවා දෙවි භූමියේ දූවිල්ලෙන් මිනිසාව සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළුවේය. එවිට මිනිසා ජීවමාන පුද්ගලයෙක් විය.” (උත්පත්ති 2:7, නව ලොව පරිවර්තනය, NW) මෙහි සඳහන් වන ආකාරයට ආදම්ව නිර්මාණය කර තිබෙන්නේ “භූමියේ දූවිල්ලෙන්.” එය විද්‍යාවට එකඟද?

අපේ ශරීරය සැකසී තිබෙන්නේ රසායනික මූලද්‍රව්‍යයන් 41ක් එකතු වීමෙන් බව එක් විද්‍යා අත්පොතක සඳහන් වෙනවා. ඒවා අතර කාබන්, යකඩ, ඔක්සිජන් සහ තවත් මූලද්‍රව්‍ය තිබෙනවා. මේ මූලද්‍රව්‍යයන් ‘භූමියේ දූවිල්ලෙත්’ තිබෙනවා. එමනිසා මිනිසාව “භූමියේ දූවිල්ලෙන්” සෑදූ බවට උත්පත්ති පොතේ සඳහන් වාර්තාව නිවැරදියි කියා පැවසිය හැකියි.—එම පොත Nanomedicine.

මෙම මූලද්‍රව්‍යයන් එකතු වී මිනිස් ශරීරයක් බිහි වුණේ කෙසේද? ඊට පිළිතුර දැනගැනීම සඳහා මෙම උදාහරණය සලකා බලමු. මිහිපිට තිබෙන ඉතා සංකීර්ණ නිර්මාණ ලෙස නාසා ආයතනය සතු අභ්‍යවකාශ යානා හැඳින්විය හැකියි. එවැනි යානයක් තුළ උපාංග මිලියන 2.5ක් තිබෙනවා. එම කොටස් එකතු කර එවැනි යානයක් නිර්මාණය කිරීමට ඉංජිනේරුවන් විශාල පිරිසකගේ දායකත්වයක් අවශ්‍ය වන අතර ඒ සඳහා වසර ගණනාවක්ද ගත වෙනවා. එසේනම් ඊටත් වඩා සංකීර්ණ මිනිස් ශරීරය ගැන කුමක් කිව හැකිද? මිනිස් ශරීරයක පරමාණු ඔක්ටිලියන 7ක්, සෛල ට්‍රිලියන 100ක්, ඉන්ද්‍රියන් විශාල සංඛ්‍යාවක් සහ අඩුම තරමින් මූලික පද්ධති 9ක්වත් තිබෙනවා. * මේ සියල්ල එකතු වීමෙන් සැකසුණ සංකීර්ණ මිනිස් ශරීරය අහම්බෙන් ඇති වුණා කියා සිතිය හැකිද? එසේත් නැත්නම් එය පිටුපස බුද්ධිමත් නිර්මාණකරුවෙක් සිටිනවාද?

මේ ගැනත් කල්පනා කර බලන්න. සංකීර්ණ මිනිස් ශරීරයට ජීවය ලැබුණේ කෙසේද? එම ප්‍රශ්නයට පිළිතුරු දීමට තමන්ට හැකියාවක් නැති බව විද්‍යාඥයන් පිළිගන්නවා. එපමණක්ද නොව ජීවය නිර්වචනය කිරීමටවත් ඔවුන්ට හැකි වී නැහැ. නමුත් නිර්මාණකරුවෙකු විශ්වාස කරන අයට නම් ඉහත සඳහන් ප්‍රශ්නය ගැටලුවක් නොවෙයි. ඊට හේතුව මිනිස් ශරීරයට ජීවය ලැබුණේ දෙවිගෙන් බව ඔවුන් දැන සිටීමයි. *

උත්පත්ති වාර්තාවේ පෙන්වන ආකාරයට දෙවි ඒව නිර්මාණය කළේ ආදම්ගෙන් ගත් ඉළ ඇටයකින්. (උත්පත්ති 2:21-23) ඇත්තටම එය විශ්වාස කළ හැකිද? ඒ ගැන යම් නිගමනයකට පැමිණීමට පෙර අප මේ ගැන සලකා බලමු. වර්ෂ 2008 ජනවාරි මාසයේදී එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ සිටි ජාන ඉංජිනේරුවන් ලොව ප්‍රථම වතාවට මිනිස් චර්ම සෛල යොදාගෙන ක්ලෝනීකරණය තුළින් කළලයක් බිහි කිරීමට සමත් වුණා. ඊට අමතරව මේ වන විට ක්ලෝනීකරණය තුළින් සතුන් 20ක් පමණ බිහි කර තිබෙනවා. ඒ අතරින් 1996දී මෙලොව එළිය දුටු ඩොලී නම් බැටළු පැටවා හැඳින්විය හැකියි. *

එවැනි අත්හදා බැලීම්වල අවසාන ප්‍රතිඵල මොන වගේ වේවිද කියා අප දන්නේ නැහැ. නමුත් වැදගත් දෙය මෙයයි. විද්‍යාඥයන්ට ජීවී සෛලයක් යොදාගනිමින් එවැනිම ජීවියෙක් බිහි කළ හැකි නම් ජීවය නිර්මාණය කළ තැනැත්තාට ඉළ ඇටයකින් තවත් පුද්ගලයෙකුව නිර්මාණය කළ නොහැකිද? සාමාන්‍යයෙන් ඉළ ඇටයක් ගැලෙව්වොත් ඊට නැවතත් වැඩීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා සමහර සැත්කම් සඳහා වෛද්‍යවරුන් ඉළ ඇට භාවිත කරනවා.

බයිබලයේ සපයන සාක්ෂි

ආදම් සහ ඒව ගැන සඳහන් වෙන්නේ උත්පත්ති පොතේ පමණක් නොවෙයි. බයිබලයේ වෙනත් පොත්වලත් ඔවුන් ගැන සඳහන් වෙනවා. සමහර අය මේ ගැන දැනගැනීමෙන් පුදුම වෙනවා. කෙසේවෙතත් ඔවුන් දෙදෙනා සැබෑ පුද්ගලයන් බව සනාථ කිරීමට එයින් ලැබෙන සාක්ෂි මොනවාද?

බයිබලයේ සඳහන් වී තිබෙන යුදෙව් පෙළපත් වාර්තා දෙකක් සලකා බලමු. ඉන් පළමු පෙළපත් වාර්තාව තිබෙන්නේ පළමුවන ලේකම් පොතේ 1 සිට 9 දක්වා පරිච්ඡේදවලයි. එම වාර්තාව සකස් කර තිබෙන්නේ ඊශ්‍රායෙල්වරුන්ගේ පූජකයන් හා රජවරුන් ලෙස සේවය කරන අයගේ පෙළපත් පෙන්වීමටයි. එහි පරම්පරා 48ක් ගැන සඳහන් වෙනවා. දෙවන පෙළපත් වාර්තාව තිබෙන්නේ ලූක් පොතේ 3වන පරිච්ඡේදය තුළයි. එහි යේසුස් පැමිණෙන පෙළපත කුමක්ද කියා පෙන්නුම් කර තිබෙන අතර එහි පරම්පරා 75ක් ගැන සඳහන් වෙනවා. එම පෙළපත් වාර්තා දෙක තුළම මේ පොළොව මත ජීවත් වූ සලමොන්, දාවිත්, යාකොබ්, ඊසාක්, ආබ්‍රහම්, නෝවා ගැන සඳහන් වෙනවා. නමුත් එම වාර්තාවල ආරම්භකයා ලෙස සිටින්නේ ආදම්. ඒ අනුව එම පෙළපත්වල සියලුදෙනාම සැබෑ පුද්ගලයන් වූවා නම් ඒ පෙළපත්වල ආරම්භකයා වන ආදම් මනඃකල්පිත පුද්ගලයෙක් විය හැකිද?

බයිබලයේ ආදම් සහ ඒව ගැන විස්තර කර තිබෙන්නේ සැබෑ පුද්ගලයන් ලෙසයි. ඊට උදාහරණ කිහිපයක් සලකා බලමු.

• දෙවි “එක මිනිසෙකුගෙන් මුළු මිනිස් වර්ගයාවම සෑදුවේය.”—ක්‍රියා 17:26.

• “එක් මිනිසෙකුගෙන් ලොවට පාපයත්, පාපය නිසා මරණයත් ඇතුල් වුණා.”—රෝම 5:12.

• ‘ආදම්ගේ සිට මෝසෙස් දක්වා මරණය රජකම් කළේය.’—රෝම 5:14.

• “පළමුවන මිනිසා වූ ආදම් ජීවමාන පුද්ගලයෙක් බවට පත් වුණේය.”—1 කොරින්ති 15:45.

• “පළමුවෙන් සාදන ලද්දේ ආදම්වය. ඉන්පසු ඒවවය.”—1 තිමෝති 2:13.

• ‘ආදම් පටන් සත්වෙනියා වූ ඒනොක් මොවුන් ගැනත් අනාවැකි කීවේය.’—යූද් 14.

ආදම් සහ ඒව සැබෑ පුද්ගලයන් බවට ප්‍රබලම සාක්ෂිය සපයන්නේ යේසුස්. එක් අවස්ථාවකදී දික්කසාදය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විට යේසුස් දුන් පිළිතුරෙන් ඒ බව පැහැදිලි වෙනවා. ‘මැවිල්ලේ පටන්ගැන්මේ සිට, දෙවි ඔවුන්ව පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් මැව්වේය. ඒ නිසා මිනිසෙකු තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, ඒ දෙදෙනා එක මාංසයක් වන්නෝය. එහෙයින් දෙවි එක් කළ දෙය කිසිවෙක් වෙන් නොකෙරේවා.’ (මාක් 10:6-9) ආදම් සහ ඒව මනඃකල්පිත දෙදෙනෙක් නම් ඉතා වැදගත් කාරණයක් ඒත්තුගැන්වීම සඳහා යේසුස් ඔවුන් දෙදෙනා ගැන සඳහන් කරයිද?

“ආදම් සහ ඒව ගැන උත්පත්ති පොතේ සඳහන් වාර්තාව සත්‍යයක් කියා අලුත් ගිවිසුමෙන් සනාථ වෙනවා” කියා එක් බයිබල් ශබ්දකෝෂයක සඳහන් වෙනවා.—The New Bible Dictionary.

බයිබල් ඉගැන්වීම්වලට පදනමක්

ආදම් සහ ඒව ගැන අපි දරන මතය එතරම් වැදගත් නැහැ කියා ක්‍රිස්තියානියැයි කියාගන්නා සමහර අය පවසනවා. නමුත් ඒ ගැන ගැඹුරින් සොයා බලන විට ඔවුන් දෙදෙනා ගැන අපි දරන අදහස ඉතා වැදගත් බව පෙනී යනවා. එසේ පැවසීමට හේතුව දැන් අපි සලකා බලමු.

යේසුස්ව පිළිගන්නා බොහෝදෙනෙකුට ඔහුගේ ජීවිත පූජාව ගැන මහත් අගයක් තිබෙනවා. බයිබලයේ පෙන්නුම් කරන ආකාරයට යේසුස් තම ජීවිතය පූජා කළේ මිනිස් වර්ගයාව පාපයෙන් මුදවාගැනීමටයි. (මතෙව් 20:28; යොහන් 3:16) මිනිසුන්ට පාපය උරුම වුණේ ආදම්ගෙන්. (රෝම 5:12) ආදම්ගෙන් උරුම වූ ඒ පාපයෙන් මිනිසුන්ව ගලවාගැනීමට නම් ආදම්ගේ ජීවිතයට සමාන ජීවිතයක් හෙවත් අනුරූපී ජීවිතයක් ඒ වෙනුවෙන් වන්දියක් ලෙස ගෙවිය යුතු වුණා. (1 තිමෝති 2:6) එම වන්දිය ගෙවිය හැකි වුණේ යේසුස්ට පමණයි. එමනිසා යේසුස් තම පරිපූර්ණ ජීවිතය මිනිස් වර්ගයාව ගලවාගැනීමට ගෙවන මිලක් හැටියට පූජා කළා. එහි ප්‍රතිඵලයක් ලෙස “ක්‍රිස්තුස් තුළ සියල්ලෝ ජීවත් කරනු ලබන්නෝය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 කොරින්ති 15:22) මේ ගැනත් සිතන්න. ආදම් කියා කෙනෙක් නොසිටියා නම් යේසුස්ගේ ජීවිත පූජාව අවශ්‍ය වුණේ ඇයි?

කෙනෙක් ආදම් සහ ඒවගේ පැවැත්ම පිළි නොගන්නවා නම් ඔහුට බයිබලයේ තිබෙන වෙනත් මූලික ඉගැන්වීම් පවා විශ්වාස කිරීම අභියෝගයක්. * එවැනි කෙනෙකුට දෙවි කෙරෙහි විශ්වාසයක් තිබුණත් එය ගොඩනැඟී තිබෙන්නේ ස්ථිර පදනමක් මත කියා පවසන්න බැහැ.—හෙබ්‍රෙව් 11:1.

ජීවිතයේ අර්ථය

දැන් අපි මේ ප්‍රශ්නය ගැන සලකා බලමු. ආදම් සහ ඒවගේ පැවැත්ම විශ්වාස කරන්නේ නැත්නම් ජීවිතයේ අර්ථය කුමක්ද කියා තේරුම්ගන්නේ කෙසේද? පරිණාමවාදියෙක් මෙන්ම අදේවවාදියෙක් වන රිචඩ් ඩෝකන්ස් මෙසේ පැවසුවා. අපේ විශ්වය “කිසිම අරමුණක් නැතුව අහම්බෙන් ඇති වුණ දෙයක්. ඒ නිසා හොඳ නරක කියා දෙයක්වත් අරමුණක්වත් විශ්වයට නැහැ.” ජීවිතයේ අරමුණ සොයන අයට ඔහුගේ එම අදහස මොන තරම් අධෛර්යය කරවන්නක්ද!

නමුත් බයිබලයේ සඳහන් වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. මිනිසුන්ට ඇති වන වැදගත් ප්‍රශ්නවලට එහි පිළිතුරු සපයනවා. ඉන් කිහිපයක් මෙසේ සඳහන් කළ හැකියි. මිනිස් වර්ගයා බිහි වූයේ කෙසේද? ජීවිතේ අරමුණ කුමක්ද? මේ තරම් දුක් වේදනා පවතින්නේ ඇයි? දුෂ්ටකම්වලට අවසානයක් තිබෙනවාද? ඊට අමතරව තවත් මෙවැනිම ප්‍රශ්න රාශියකට එහි පිළිතුරු සපයා තිබෙනවා. එමෙන්ම ආදම් සහ ඒව ජීවත් වූ ඒ ලස්සන පාරාදීසය හා සමාන පාරාදීසයක අනාගතයේදී ජීවත් වීමට මිනිසුන්ට අවස්ථාව තිබෙන බවත් බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 37:29; එළිදරව් 21:3-5) එය මොන තරම් ප්‍රීතිමත් බලාපොරොත්තුවක්ද! මිනිසුන්ට එම අවස්ථාව ලැබී තිබෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව නිසයි. *

ආදම් සහ ඒව ගැන උත්පත්ති පොතේ සඳහන් තොරතුරු පරිණාමවාදයට පටහැනි වුණත් එය විද්‍යාවට එකඟයි. ඊට අමතරව ඔවුන් දෙදෙනා ගැන සඳහන් විස්තරය බයිබලයේ අනික් පොත්වල සඳහන් තොරතුරුවලටත් එකඟයි.

ජීවිතයේ අරමුණ ගැන පැහැදිලි තොරතුරු හෙළි කරන්නේ බයිබලයේ පමණයි. ඒ නිසා බයිබලය අධ්‍යයනය කිරීමෙන් ඒ පිළිබඳව තවදුරටත් සොයා බලන්න ඔබ සතුටු නැද්ද! ඒ සඳහා ඔබට උපකාර කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

[පාදසටහන්වල]

^ 7 ඡේ. ඔක්ටිලියන 7ක් යනු හතට බින්දු 27ක් එකතු වීමෙන් සෑදෙන සංඛ්‍යාවකි. ට්‍රිලියන 100ක් යනු 100ට බින්දු 12ක් එකතු වීමෙන් සෑදෙන සංඛ්‍යාවකි.

^ 8 ඡේ. තවත් තොරතුරු දැනගැනීම සඳහා ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? සහ Life—How Did It Get Here? By Evolution or by Creation? යන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් මුද්‍රණය කර ඇති ප්‍රකාශන බලන්න.

^ 9 ඡේ. විද්‍යාඥයන් පවතින ජීවියෙකුගෙන් ගත් සෛලයකින් ජීවියෙක් බිහි කරනවා මිස අලුත් ජීවයක් නිර්මාණය කරන්නේ නැහැ.

^ 26 ඡේ. එම මූලික ඉගැන්වීම්වලට විශ්වය පාලනය කිරීමට දෙවිට තිබෙන අයිතිය, මිනිසුන් දෙවිට දක්වන පක්ෂපාතකම, හොඳ සහ නරක, නිදහස් කැමැත්ත, මිය ගිය අයගේ තත්වය, විවාහය, ගැලවුම්කරු, පාරාදීස පොළොව, දේවරාජ්‍ය ඇතුළු තවත් බොහෝ දේවල් අයත් වෙනවා.

^ 29 ඡේ. වැඩි විස්තර දැනගැනීම සඳහා සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශනය කරන ලද බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ “පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද” යන 3වන පරිච්ඡේදයත් “දෙවි මිනිසුන්ට දුන් වටිනාම තෑග්ග” යන 5වන පරිච්ඡේදයත් බලන්න.

[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ආදම් කියා කෙනෙක් නොසිටියා නම් යේසුස්ගේ ජීවිත පූජාව අවශ්‍ය වුණේ ඇයි?

[13වන පිටුවේ පින්තූර]

අභ්‍යවකාශ යානයක් නිර්මාණය කිරීමට කෙනෙක් අවශ්‍ය වුණා නම් සංකීර්ණ මිනිස් ශරීරය නිර්මාණය කිරීමට කෙනෙක් අවශ්‍ය වුණේ නැද්ද?

[15වන පිටුවේ පින්තූරය]

ආදම් සහ ඒව සැබෑ පුද්ගලයන් බවට යේසුස් සාක්ෂි සැපයුවා