Skip to content

පටුනට යන්න

අසාධාරණයට විසඳුම පළිගැනීමද?

අසාධාරණයට විසඳුම පළිගැනීමද?

අසාධාරණයට විසඳුම පළිගැනීමද?

යම් කෙනෙක් ඔබට පහර දුන්නොත් නැත්නම් බැණවැඳුණොත් එසේත් නැත්නම් ඔබට නින්දා කළොත් හෝ ඔබ සතු දෙයක් සොරකම් කළොත් ඔබට ඒ ගැන කෙසේ හැඟෙයිද? බොහෝ අය පවසන්නේ “මට කළ දේට මමත් එයාට හොඳ වැඩක් කරන්නම්” කියායි.

තමන්ට යම් අයුක්තියකට මුහුණ දීමට සිදු වූ විට ඒ වෙනුවෙන් පළිගැනීමෙන් යම් මානසික සහනයක් ලබාගත හැකියි කියා බොහෝදෙනා සිතනවා. අපි කවුරුත් අයුක්තිය සහ අසාධාරණය හෙළාදකින නිසා ඒ වෙනුවෙන් නැඟී සිටින්න පෙලඹීම සාමාන්‍යයි. නමුත් ඒ සඳහා අපි ගන්නා ක්‍රියාමාර්ගයන් නිවැරදිද?

එක්සත් ජනපදයේ ප්‍රාථමික පාසැල්වල ඉගෙනගන්නා බොහෝ සිසුන් තමන්ට දඬුවම් කළ ගුරුවරුන්ගෙන් පළිගැනීම සඳහා ගුරුවරුන් ගැන බොරු තොරතුරු පතුරවනවා. එයින් සිදු වන හානිය ගැන ගුරු සමිතියක සභාපති ධූරය දරන බ්‍රෙන්ඩා මිචෙල් මෙසේ පැවසුවා. “ගුරුවරුන් සම්බන්ධයෙන් ප්‍රචාරය වන බොරු තොරතුරු නිසා ගුරුවරුන්ගේ චරිතයට ඇති වෙන්නේ විශාල කැළලක්.” මේ ප්‍රචාරයන් බොරු බව ඔප්පු වුණත් ඒවායින් ඇති වන නරක බලපෑමෙන් සම්පූර්ණයෙන්ම ගැලවෙන්න එම ගුරුවරුන්ට හැකි වෙන්නේ නැහැ.

රැකියා ස්ථානයේ ප්‍රධානීන් සමඟ කෝපයෙන් සිටින සේවකයන්ද විවිධාකාර ක්‍රමවලින් පළිගැනීමට තැත් කරනවා. ඔවුන් රැකියා ස්ථානයේ පරිගණකවල තිබෙන අත්‍යවශ්‍ය තොරතුරු මකා දමන අතර සමහර අවස්ථාවලදී රැකියා ස්ථානයේ ව්‍යාපාරික තොරතුරු වෙනත් අයට හොර රහසේ ලබා දෙනවා. එක් පුවත්පතක පෙන්නුම් කළ ආකාරයට ‘සමහර සේවකයන් තමන්ගේ රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගෙන් පළිගැනීම සඳහා රැකියා ස්ථානයේ බඩු භාණ්ඩ සොරකම් කරනවා.’ මෙවැනි වාතාවරණයක් තිබෙන නිසා සේවකයෙකුව රැකියා ස්ථානයෙන් ඉවත් කළ පසු ඔහු එතැනින් පිටව යන තෙක් ඔහු ගැන සෝදිසියෙන් සිටීමට ආරක්ෂක නිලධාරීන්ව පත් කිරීමටත් සිදු වී තිබෙනවා.—එම පුවත්පත The New York Times.

බොහෝ අවස්ථාවලදී පළිගැනීම වැඩියෙන්ම සිදු වන්නේ පවුලේ සාමාජිකයන් සහ මිතුරන් වැනි කිට්ටු අය අතරයි. එවැනි කෙනෙක් සිත රිදෙන දෙයක් පැවසුවොත් හෝ කළොත් ඒ ආකාරයටම ප්‍රතිචාර දක්වමින් ඔහුගෙන් හෝ ඇගෙන් පළිගැනීමට කෙනෙක් පෙලඹිය හැකියි. ඔබේ මිතුරෙක් කේන්තියෙන් ඔබට කතා කළොත් ඔබත් කේන්තියෙන්ම ඔහුට බණිනවාද? එසේත් නැත්නම් ඔබේ පවුලේ කෙනෙක් ඔබේ සිත රිදෙන දෙයක් කළොත් ඔබත් ඔහුගේ සිත රිදවනවාද? අපි වැඩියෙන්ම පළිගැනීමට පෙලඹෙන්නේ අපට හිතවත් අය අතින් අපි වේදනාවට පත් වූ අවස්ථාවලදීයි.

පළිගැනීමෙන් ඇති වන හානි

බොහෝවිට අසාධාරණයකට මුහුණ දුන් කෙනෙක් ඒ වේදනාවෙන් යම් සහනයක් ලබාගැනීම සඳහා පළිගැනීමට පෙලඹෙනවා. උදාහරණයකට අතීතයේ සිටි දෙවිගේ සේවකයෙකු වූ යාකොබ්ගේ පවුලේ සිදු වූ දෙයක් සලකා බලන්න. දිනක් යාකොබ්ගේ දියණිය වූ දීනාව කානානීවරයෙකු වූ ෂීකෙම් දූෂණය කළා. එම පුවත ආරංචි වූ විට දීනාගේ සහෝදරයන් “කම්පා වී අතිශයින් කෝප වුණා” කියා බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 34:1-7, නව ලොව පරිවර්තනය, NW) ඒ වෙනුවෙන් පළිගෙන තම කෝපය සන්සිඳවා ගැනීමට යාකොබ්ගේ පුත්‍රයන් උපායක් යෙදුවා. එය සාර්ථක වූ අතර අවසානයේදී සිමියොන් සහ ලෙවී කානාන් නගරයට ගොස් ෂීකෙම් ඇතුළු සියලුම පිරිමින්ව ඝාතනය කළා.—උත්පත්ති 34:13-27.

ඔවුන් ක්‍රියා කළ ආකාරයෙන් එම ප්‍රශ්නය විසඳුනාද? නැහැ. එයින් සිදු වූයේ තවත් ප්‍රශ්න වැඩි වීමයි. එය යාකොබ් තම පුතුන්ට පැවසූ මේ දෙයින් පැහැදිලි වෙනවා. “ඔබ කළ මේ දේ නිසා” මේ දේශයේ ජීවත් වන අය ‘මාව පිළිකුල් කරයි. ඒ නිසා ඔවුන් දැන් එකතු වී මට පහර දී මාව මේ දේශයෙන් පන්නා දමයි. මාත් මගේ පවුලේ සියලුදෙනාත් එකට විනාශ වී යයි.’ (උත්පත්ති 34:30NW) සිමියොන් සහ ලෙවීගේ පළිගැනීම හේතුවෙන් යාකොබ් ඇතුළු ඔහුගේ පවුලේ සියලුදෙනාම අවට ජාතීන්ගේ ප්‍රහාරයකට ලක් වීමේ අවදානමකට මුහුණ දුන්නා. එම දේශය අතහැර බෙතෙල් නගරයට යන්න කියා යෙහෝවා දෙවි යාකොබ්ට උපදෙස් දුන්නේ එම අවදානමෙන් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමටයි.—උත්පත්ති 35:1, 5.

පළිගැනීම මොන තරම් අඥාන දෙයක්ද කියා දීනාගේ සිද්ධියෙන් පැහැදිලි වෙනවා. පළිගැනීමකින් සිදු වන්නේ තවත් පළිගැනීමකට මඟ විවර කිරීම පමණයි. ඒ අනුව ‘වෛරයෙන් වෛරය නොසන්සිඳේ’ යන කියමනේ ඇති සත්‍යයතාව මනාවට පැහැදිලි වෙනවා.

පළිගැනීමට අවසානයක් තිබේද?

අපව වේදනාවට පත් කළ කෙනෙකුගෙන් පළිගන්නා ආකාරය ගැන සිතසිතා සිටීමෙන් අප කරගන්නේ අපිටම හානියක්. ඒ ගැන එක් පොතක මෙසේ සඳහන් වුණා. “අපට සිදු වූ අසාධාරණය ගැන සිතමින් ඊට වග කිව යුතු පුද්ගලයන්ගෙන් පළිගන්නේ කෙසේද කියා සිතසිතා සිටීමෙන් සිදු වන්නේ අපේ ශක්තිය සහ කාලය නාස්ති වීමයි.” එවැනි නරක සිතුවිලිවලින් අපට සිදු විය හැකි හානි ගැන බයිබලයේ හිතෝපදේශ 14:30හි [NW] මෙසේ සඳහන් වෙනවා. “ඊර්ෂ්‍යාසහගත සිතුවිලි නිසා ඇටකටු දිරා යයි.”—එම පොත Forgiveness—How to Make Peace With Your Past and Get On With Your Life.

මේ ගැන සිතන්න. පළිගැනීම වැනි නරක සිතුවිලිවලින් දැවෙමින් සිටින කෙනෙක් සතුටින් සිටිනවා කියා පැවසිය හැකිද? එක් විචාරකයෙක් මෙවැනි දෙයක් පැවසුවා. “පළිගැනීමෙන් තරහා සන්සිඳුවා ගෙන සහනයක් අද්දකින්න පුළුවන් කියා ඔබ සිතනවාද? එසේනම් වසර ගණනාවක් පුරා ඒ ක්‍රමය අනුගමනය කර තිබෙන අය දෙස බලන්න. ඔවුන් ඇත්තටම සතුටින් ඉන්නවද කියලා ඔබට දැකගන්න පුළුවන් වෙයි.”

ජාතිය හා ආගම නිසා මිනිසුන් එකිනෙකා ඇනකොටා ගැනීම බහුලව සිදු වන දෙයක්. මෙවන් අපරාධවලට අවසානයක් නැත්තේ තමන්ට සිදු වූ අසාධාරණයට අනික් කෙනාගෙන් පළිගන්න මිනිසුන් උත්සාහ කරන නිසයි. මේ නිසා නිරපරාදේ මිනිස් ජීවිත විශාල වශයෙන් විනාශ වී යනවා. උදාහරණයකට ත්‍රස්ථවාදී ප්‍රහාරයකින් තරුණයන් 18දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අවස්ථාවේ එක් කාන්තාවක් හඬා වැලපෙමින් මෙසේ කෑගැසුවා. “අපට මේ අපරාදේ කළ අයගෙන් දහස් වතාවක් පළිගන්න ඕනේ.” එවැනි ක්‍රියාමාර්ග ගැනීමෙන් සිදු වන්නේ වෛරය සහ ක්‍රෝධය තවත් වැඩි වීමයි. එමෙන්ම මිනිසුන් තව තවත් අපරාධ කිරීමටද පෙලඹෙනවා.

“ඇසකට ඇසක්”

පළිගැනීම සාධාරණීකරණය කිරීම සඳහා සමහර අය බයිබලයේ ඇති තොරතුරු යොදාගන්නවා. උදාහරණයකට “ඇසකට ඇසක් සහ දතකට දතක්” දිය යුතුයි කියා බයිබලයේ සඳහන් වෙනවා. ඒ නිසා සමහර අය තර්ක කරන්නේ පළිගැනීමේ කිසිම වරදක් නැහැ කියායි. (ලෙවී කතාව 24:20NW) බැලූ බැල්මට එම ප්‍රතිපත්තිය ගැන සිතන කෙනෙකුට එලෙස හැඟෙන්න පුළුවන්. නමුත් එම ප්‍රතිපත්තිය නිසා අතීතයේ සිටි ඊශ්‍රායෙල්වරුන් පළිගැනීමෙන් වැළකී සිටියා. එසේ සිදු වූයේ කෙසේද?

ඊශ්‍රායෙලිතයෙක් තවත් ඊශ්‍රායෙලිතයෙකුට පහර දී ඔහුගේ ඇසට හානි කළොත් එම වරදට දඬුවම් කළ යුතු බව නීතියේ සඳහන් වුණා. නමුත් එම දඬුවම දිය යුතුව තිබුණේ අපරාධයට ලක් වූ තැනැත්තාවත් ඔහුගේ පවුලේ ඥාතියෙක්වත් නොවෙයි. දෙවි ඔවුන්ට දුන් නීතියේ පැහැදිලිව පෙන්නුම් කර තිබුණේ පත් කරන ලද විනිශ්චයකරුවන් වරදකරු සම්බන්ධයෙන් පියවර ගත යුතු බවයි. ඒ අනුව තමන් හිතාමතාම වෙනත් කෙනෙකුට හිංසා කළොත් තමන්ටත් ඒ හා සමාන දඬුවමක් අත්විඳින්න වෙයි කියා සෑම කෙනෙක්ම හොඳින් දැන සිටියා. ඒ නිසා ඔවුන් කිසිවෙකුගෙන් පළිගැනීමට පෙලඹුණේ නැහැ. නමුත් එම නීතිය තුළ තවත් දෙයක් තිබුණා. ඒ කුමක්ද?

“ඇසකට ඇසක් සහ දතකට දතක්” යන ප්‍රතිපත්තියෙන් ඇත්තටම අදහස් කළේ කුමක්ද කියා තේරුම්ගැනීමට යේසුස් පැවසූ දෙයක් සලකා බලමු. ඔහු පැවසුවේ “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු මනසින්ද ප්‍රේම කරන්න” කියායි. එමෙන්ම “ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේම කරන්න” කියාත් ඔහු පැවසුවා. (මතෙව් 22:37-40) ඉන් පැහැදිලි වන්නේ ඇසකට ඇසක් සහ දතකට දතක් යන ප්‍රතිපත්තිය ඇතුළු මුළු නීති මාලාවම පදනම් වී තිබෙන්නේ ප්‍රේමය මත බවයි. එමෙන්ම ‘ඔබේ සිතින් ඔබේ සහෝදරයාට වෛර නොකරන්න. පළි නොගන්න. ඔබේ සහෝදරයා සමඟ අමනාප වී නොසිටින්න’ යන ආඥාවද යෙහෝවා දෙවි නීතියට ඇතුළත් කර තිබුණා. (ලෙවී කතාව 19:17, 18NW) ඒ අනුව “ඇසකට ඇසක් සහ දතකට දතක්” යන ආඥාවෙන් අදහස් කළේ පළිගැනීම නොවන බව පැහැදිලියි.

සමාදානය ලුහුබඳින්න

බයිබලයේ යෙහෝවා දෙවිව හඳුන්වා තිබෙන්නේ “සමාදානයේ දෙවි” ලෙසයි. ඒ නිසා ඔහුට නමස්කාර කරන අයත් ‘සමාදානය සොයා, එය ලුහුබැඳිය’ යුතු බව එහි සඳහන් වෙනවා. (හෙබ්‍රෙව් 13:20; 1 පේතෘස් 3:11) නමුත් සාමකාමීව ක්‍රියා කිරීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?

යේසුස් පොළොවේ සිටි කාලයේදී අයුක්තියට මුහුණ දුන්නා. සමහර අය ඔහුගේ මුහුණට කෙළ ගැසුවා. තවත් අය ඔහුට නින්දා කරමින් පහර දුන්නා. ඔහුගේම ගෝලයෙක් ඔහුව පාවා දුන්නා. එමෙන්ම ඔහු සමඟ සිටි ඇතැම් ගෝලයන් ඔහුව අතහැර ගියා. (මතෙව් 26:48-50; 27:27-31) ඒත් යේසුස් ඔවුන්ගෙන් පළිගැනීමට උත්සාහ කළාද? නැහැ. ඒ වෙනුවට ඔහු කළ දේ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔහුට නිග්‍රහ කරද්දී, ඔහු නිග්‍රහ කළේ නැත. ඔහු වධ විඳිද්දී, තර්ජනය නොකර, ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන තැනැත්තාට තමන්වම භාර දුන්නේය.”—1 පේතෘස් 2:23.

“ක්‍රිස්තුස් ඔබ උදෙසා දුක් විඳ, ඔබ ඔහුගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය කරන පිණිස, ඔබට ආදර්ශයක් දුන්නේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 පේතෘස් 2:21) එසේනම් දෙවිට නමස්කාර කරන සෑම කෙනෙක්ම අයුක්තිය හා අසාධාරණය හමුවේ යේසුස්ගේ ආදර්ශය අනුගමනය කළ යුතුයි. යේසුස්ගේ කන්ද උඩ දේශනයේදී ඔහු මෙවැනි දෙයක් පැවසුවා. “ඔබේ සතුරන්ට නොකඩවා ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න. ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයන් බව ඔප්පු කරන පිණිස මෙසේ කරන්න.”—මතෙව් 5:44, 45.

අන් අයට ප්‍රේම කරන කෙනෙක් අසාධාරණයකට මුහුණ දුන් විට යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන්නේ කෙසේද? එවැනි අවස්ථාවකදී අදාළ කරගත හැකි කදිම බයිබල් ප්‍රතිපත්තියක් වන්නේ මෙයයි. “වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසෙකුට ඉක්මනින් කේන්ති නොයයි. වරද අමතක කර දැමීම ඔහු සතු අලංකාර ගුණාංගයකි.” (හිතෝපදේශ 19:11NW) එමෙන්ම “නපුරෙන් පරාජය නොවී, දිගටම යහපතෙන් නපුර පරාජය කරන්න” යන උපදෙසද එවැනි අවස්ථාවලදී ඔවුන් අදාළ කරගන්නවා. (රෝම 12:21) ඇත්තෙන්ම පළිගැනීමට දිරි දෙන මේ සමාජයේ ඇති ප්‍රතිපත්තිවලට වඩා බයිබලයේ දී තිබෙන මඟ පෙන්වීම් කොතරම් උසස්ද! යේසුස් මෙන් අන් අයට ප්‍රේම කරන කෙනෙක් අසාධාරණයකට ලක් වුණත් කිසිදාක “අමනාපයක් සිතේ තබාගන්නේ නැහැ.” (1 කොරින්ති 13:5) ඒ නිසා එවැනි කෙනෙකුට වරද අමතක කර දැමීම අසීරු කාර්යයක් නොවෙයි.

ඉන් අදහස් වෙන්නේ දෙවිට නමස්කාර කරන කෙනෙක් ඕනෑම ආකාරයක අයුක්තියකට හෝ අසාධාරණයකට මුහුණ දෙන විට ඒ සම්බන්ධයෙන් කිසිම පියවරක් නොගත යුතු බවද? නැහැ. “නපුරෙන් පරාජය නොවී, දිගටම යහපතෙන් නපුර පරාජය කරන්න” කියා බයිබලයේ සඳහන් උපදෙසින් අදහස් වෙන්නේ අසාධාරණයන් හමුවේ අප නිශ්ශබ්දව සිටිය යුතු බව නොවෙයි. එවැනි තත්වයකට මුහුණ දෙන විට අපේ ආරක්ෂාව වෙනුවෙන් අදාළ පියවර ගැනීමට අපට අයිතිය තිබෙනවා. උදාහරණයකට ඔබේ ජීවිතයට හෝ ඔබේ දේපළවලට කෙනෙක් හානි කරනවා නම් ඒ බව පොලිසියට දැනුම් දීමට ඔබ තීරණය කළ හැකියි. එසේත් නැත්නම් රැකියා ස්ථානයේ හෝ පාසැලේ ඔබට යම් අසාධාරණයක් සිදු වුණොත් ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට දැනුම් දිය හැකියි.—රෝම 13:3, 4.

නමුත් මේ සමාජයේ යුක්තිය අකුරටම ඉටු වෙයි කියා අපිට බලාපොරොත්තු විය හැකිද? බැහැ. සමහරු තමන්ට සිදු වූ අසාධාරණය වෙනුවෙන් යුක්තිය ඉටු වෙනවා දකින්න ජීවිත කාලයම කැප කළත් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු වී නැහැ. ඒ නිසා ඔවුන් තව තවත් කලකිරීමට සහ කෝපයට පත් වී තිබෙනවා.

පළිගැනීම සහ වෛරය වැනි දේවල් නිසා මිනිසුන් එකිනෙකා අතර භේද ඇති වෙනවා දැකීමෙන් දෙවිගේ සතුරා වන යක්ෂයා අපමණ සතුටක් ලබනවා. (1 යොහන් 3:7, 8) ඒ නිසා අපට සිදු වන අසාධාරණයන් වෙනුවෙන් පළිගැනීමෙන් අප වැළකී සිටිය යුතුයි. ඒ සෑම කාරණයක්ම යෙහෝවා දෙවිට භාර දී ඔහු යුක්තිය ඉටු කරන තුරු බලා සිටීම වැදගත්. (රෝම 12:19; හිතෝපදේශ 3:3-6) එසේ කිරීමෙන් අනවශ්‍ය ප්‍රශ්නවලින් සහ වෛරයෙන් මිදෙන්න අපට හැකි වෙනවා.

[22වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු මනසින්ද ප්‍රේම කරන්න.” එමෙන්ම “ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේම කරන්න”

[23වන පිටුවේ පින්තූර]

ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් “අමනාපයක් සිතේ තබාගන්නේ නැත.”—1 කොරින්ති 13:5