Skip to content

පටුනට යන්න

යේසුස් මෙන් කීකරුව හා ධෛර්යවන්තව කටයුතු කරන්න

යේසුස් මෙන් කීකරුව හා ධෛර්යවන්තව කටයුතු කරන්න

යේසුස් මෙන් කීකරුව හා ධෛර්යවන්තව කටයුතු කරන්න

“ධෛර්යවත් වන්න! මම ලෝකයෙන් ජයගත්තෙමි.”—යොහ. 16:33.

1. යේසුස්, දෙවිට කොතරම් දුරකට කීකරු වුණාද?

යේසුස් තම ජීවිත කාලය පුරාම දෙවිට කීකරුව සිටි අතර ඔහුට අකීකරු වීමේ සිතුවිල්ලක්වත් යේසුස් තුළ ඇති වුණේ නැහැ. (යොහ. 4:34; හෙබ්‍රෙ. 7:26) නමුත් මේ පොළොවේදී ඔහු මුහුණ දුන් දේවල් නිසා දෙවිට කීකරු වීම පහසු දෙයක් වුණේ නැහැ. සාතන් හා ඔහුගේ පැත්ත ගත් මිනිසුන් දෙවිට අකීකරු වීමට යේසුස්ව පොලඹවන්න උත්සාහ කළා. ඒ සඳහා ඔවුන් කූට ක්‍රම භාවිත කළා. (මතෙ. 4:1-11; ලූක් 20:20-25) එය යේසුස්ට දැඩි මානසික හා ශාරීරික වේදනාවක් ගෙන දුන්නා. කෙසේනමුත් අවසානයේදී ඔහුව වද කණුවක එල්ලා මරා දමන්න ඔවුන් සමත් වුණා. (මතෙ. 26:37, 38; ලූක් 22:44; යොහ. 19:1, 17, 18) යේසුස් මුහුණ දුන් දේවල් කොතරම් වේදනාකාරී වුණත් ඔහු ‘මරණය දක්වාම දෙවිට යටහත් වී කීකරු වුණා.’—ෆිලිප්පි 2:8 කියවන්න.

2, 3. දැඩි දුෂ්කරතා හමුවේ පවා යේසුස් පෙන්වූ කීකරුකමෙන් අපට ඉගෙනගන්න පුළුවන් කුමක්ද?

2 යේසුස් අසංඛ්‍යාත අවුරුදු ගණනාවක් “ප්‍රධාන සේවකයා” ලෙස දෙවි සමඟ කිට්ටු ඇසුරක් භුක්ති වින්දා. (හිතෝ. 8:30, නව ලොව පරිවර්තනය, NW) ඒ නිසා දෙවිට කීකරුව සිටින ආකාරය ගැන අලුතින් යමක් ඉගෙනගන්න යේසුස්ට අවශ්‍ය නැති බව කෙනෙකු සිතන්න පුළුවන්. ඒ වුණත් දැඩි දුෂ්කරතා හමුවේ දෙවිට කීකරුව සිටින්නේ කෙසේද කියා යේසුස් ඉගෙනගත්තේ පොළොවට පැමිණි පසුවයි. (හෙබ්‍රෙ. 5:8) ඒ අනුව මිනිසෙකු ලෙස විඳි සියලුම පීඩාවලට සාර්ථකව මුහුණ දීමෙන් යේසුස්, දෙවිට සම්පුර්ණ කීකරුකම පෙන්නුවා. එමගින් දෙවි සමඟ තිබූ ඔහුගේ බැඳීම තවත් ශක්තිමත් වුණා. ඔහු මුහුණ දුන් දේවලින් අපට ඉගෙනගන්න පුළුවන් කුමක්ද කියා දැන් අපි බලමු.

3 යේසුස් පරිපූර්ණ පුද්ගලයෙක් වුණත් දෙවිට කීකරු වීම තමාගේම ශක්තියෙන් කළ හැකි දෙයක් බව ඔහු සිතුවේ නැහැ. ඒ වෙනුවට ඔහු ඒ සඳහා දෙවිගේ උපකාර ඉල්ලා යාච්ඤා කළා. (හෙබ්‍රෙව් 5:7 කියවන්න.) අපත් දෙවිට කීකරුව සිටීමට නම් යේසුස් මෙන් යටහත්පහත්ව දෙවිගේ උපකාර ඉල්ලීම අවශ්‍යයි. පාවුල් ක්‍රිස්තියානීන්ට මෙවැනි උපදෙසක් දුන්නේ ඒ නිසයි. ‘මරණය දක්වාම යටහත් වී කීකරු වූ ක්‍රිස්තුස් යේසුස් තුළ තිබුණාවූ මේ මානසික ආකල්පයම ඔබ තුළත් තබාගන්න.’ (ෆිලි. 2:5-8) දුෂ්ට සමාජයක් තුළ පවා දෙවිට කීකරු වීමට හැකි බව යේසුස් තම ආදර්ශයෙන් ඔප්පු කර පෙන්නුවා. ඔහු එසේ කළේ පරිපූර්ණ පුද්ගලයෙක් ලෙසයි. පව්කාර තත්වයක සිටින අපටත් එසේ කළ හැකිද?

පව්කාර තත්වයක සිටියත් කීකරු විය හැකියි

4. තීරණ ගැනීමේ නිදහසට අයත් වන්නේ කුමක්ද?

4 යෙහෝවා දෙවි, ඉතා බුද්ධිමත් මෙන්ම තීරණ ගැනීමේ නිදහස ඇතුව ආදම් සහ ඒවව නිර්මාණය කළා. අද දින අපටත් හරි හෝ වැරදි තීරණයක් ගැනීමේ නිදහස තිබෙන්නේ ඒ නිසයි. ඒ අනුව දෙවිට කීකරු වීමට හෝ අකීකරු වීමට අපට නිදහස තිබෙනවා. කෙසේනමුත් ඒ නිදහස භාවිත කරන ආකාරය සම්බන්ධයෙන් අප වග කිව යුතු බවද අමතක නොකළ යුතුයි. එමෙන්ම අප ගන්නා තීරණ අනුව අපට ජීවනය හෝ මරණය හිමි වන බවත් එම තීරණ අන් අයට බලපාන බවත් අප තේරුම්ගත යුතුයි.

5. අප සියලුදෙනාම වෑයමක් දැරිය යුත්තේ කුමක් කිරීමටද? එයින් සාර්ථක ප්‍රතිඵල අත් කරගැනීමට අප කළ යුත්තේ කුමක්ද?

5 වැරදි කිරීමට අප තුළ ඇති නැඹුරුවාව නිසා දෙවිගේ නීති ප්‍රතිපත්තිවලට කීකරු වීමට අප ස්වභාවයෙන්ම පෙලඹෙන්නේ නැහැ. ඒ සඳහා දැඩි වෑයමක් දැරිය යුතුයි. පාවුල්ද එය පිළිගනිමින් පැවසුවේ “මගේ මනසෙහි ඇති ඒ නීතියට විරුද්ධව යුද්ධ කරන වෙනත් නීතියක් මගේ අවයවයන් තුළ තිබෙන බව මට පෙනේ. මෙය මාව මගේ අවයවයන් තුළ තිබෙන පාපයේ නීතියට වහලෙකු මෙන් ගෙන යන්නේය” කියායි. (රෝම 7:23) අභියෝග හෝ දුෂ්කරතාවන් නැති විට දෙවිට කීකරු වීම පහසුයි. නමුත් දෙවිට කීකරු වීමට අප දක්වන ආශාවත් ‘මාංසයේ හා ඇස්වල ආශාවත්’ අතර ගට්ටනයක් ඇති වන විට අප කරන්නේ කුමක්ද? එවන් වැරදි ආශාවන් අප තුළ ඇති වන්නේ අපගේම පව්කාර ස්වභාවය හා ලෝකයේ සිටින අයගේ බලපෑම නිසයි. (1 යොහ. 2:16; 1 කොරි. 2:12) ඒ නිසා ඉදිරියේදී ඇති විය හැකි එවන් තත්වයන්ට සාර්ථකව මුහුණ දිය හැකි ආකාරය ගැන දැන් සිටම කල්පනා කර බැලීම ප්‍රයෝජනවත්. සැමවිටම දෙවිට කීකරු වීමට අප ගෙන ඇති අධිෂ්ඨානය එමගින් තව තවත් ශක්තිමත් කරගත හැකියි. (ගීතා. 78:8) පුරාණයේ සිටි දෙවිගේ සේවකයන් බොහෝදෙනෙක්ද එසේ කර තිබූ නිසා නොකඩවා දෙවිට කීකරු වීමට ඔවුන්ට හැකි වුණා.—එස්.එස්රා 7:10; දානි. 1:8.

6, 7. ඥානවන්ත තීරණ ගැනීමට පෞද්ගලික පාඩම අපට උපකාරවත් වන ආකාරය නිදර්ශනය කරන්න.

6 වැරදි ආශාවන්ට විරුද්ධ වීම සඳහා ගත හැකි එක් පියවරක් නම් බයිබලය හා ඒ මත පදනම් ප්‍රකාශන ගැඹුරින් අධ්‍යයනය කිරීමයි. එය උපකාරවත් වන ආකාරය බලන්න. දැන් ඔබ පෞද්ගලික අධ්‍යයනයේ යෙදෙමින් සිටිනවා කියා සිතන්න. ඉගෙනගන්නා තොරතුරු අදාළ කරගන්න උපකාර කරන්න කියා අධ්‍යයනය ආරම්භයේදීම ඔබ දෙවිගේ බලය ඉල්ලා යාච්ඤා කළා. පසු දින සවස නිවසේ සිට චිත්‍රපටයක් නරඹන්නත් ඔබ සැලසුම් කර තිබෙනවා. බොහෝදෙනා ඒ චිත්‍රපටය ගැන වර්ණනා කළත් එහි අනාචාරය හා සැහැසියාව ඇතුළත් බව ඔබ දන්නවා.

7 දැන් ඔබ එෆීස 5:3හි සඳහන් පාවුල්ගේ මෙම උපදෙස ගැන කල්පනා කරනවා. “වේශ්‍යාකමද සියලු ආකාරයේ අපවිත්‍රකම හෝ ගිජුකම හෝ ඔබ අතරේ සඳහන්වත් නොකරන්න. ඒවා ශුද්ධ තැනැත්තන්ට සුදුසු නැත.” එමෙන්ම ෆිලිප්පි 4:8හි (කියවන්න.) සඳහන් පාවුල්ගේ උපදෙසද ඔබ සලකා බලනවා. ඉන්පසු ඒ ගැන ඔබ මෙසේ සිතනවා. ‘ඒ වගේ චිත්‍රපටවල ඇති අදහස් මගේ මනසට ඇතුල් වීමට මම ඉඩ හරිනවා නම්, යේසුස් මෙන් සෑම කාරණයකදීම දෙවිට කීකරු වීමට මම දැඩි අධිෂ්ඨානයක් ගෙන තිබෙන බව කියන්න පුළුවන්ද?’ දැන් ඔබ කරන්නේ කුමක්ද? ඔබ ඒ චිත්‍රපටය නරඹනවාද?

8. සාතන්ගේ උපායන්ට හසු නොවී සිටීමට අප දැඩි උත්සාහයක් දැරිය යුත්තේ ඇයි?

8 අනාචාරය හා සැහැසියාව අඩංගු දේවල් නැරඹුවත් තමන් ශක්තිමත් නිසා තමන් අතින් දෙවිගේ ප්‍රතිපත්ති කැඩෙන්නේ නැහැයි කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. එය යෙහෝවා දෙවිගේ ප්‍රමිති සැහැල්ලුවට ගැනීමක් මෙන්ම තමාවම රවටා ගැනීමක්. ඒ වෙනුවට අපි අපව හා අපගේ දරුවන්ව මේ ලෝකයේ දූෂිත බලපෑමෙන් ආරක්ෂා කරගැනීමට අපට හැකි සියල්ල කළ යුතුයි. ගොවියෙක් තම වගාව දිලීර හා පලිබෝධ වැනි උවදුරුවලින් ආරක්ෂා කරගැනීමට නොගන්නා උත්සාහයක් නැහැ. ඊට හේතුව ඉන් මුළු වගාවම විනාශ විය හැකි නිසයි. ඉන් තමාටත් පවුලේ සියලුදෙනාටත් විශාල පාඩුවක් සිදු විය හැකි බව ඔහු දන්නවා. අපත් සාතන්ගේ කපටි ‘උපායන්වලට’ හසු නොවී සිටීම සඳහා ඊටත් වඩා කොපමණ වැඩියෙන් උත්සාහ කළ යුතුද!—එෆී. 6:11.

9. අප සෑම දිනකම දෙවිට කීකරු වීමට අධිෂ්ඨාන කරගත යුත්තේ ඇයි?

9 අප කරන්නේ යෙහෝවා දෙවිගේ කැමැත්තද නැද්ද කියා තේරීමක් කිරීමට සිදු වන අවස්ථා බොහෝමයක් සෑම දිනකම පාහේ උදා වෙනවා. කෙසේනමුත් අප ගැලවීම ලැබීමට නම් දෙවිට කීකරුව ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමට තීරණය කළ යුතුයි. යේසුස් මෙන් අපත් “මරණය දක්වාම” දෙවිට කීකරුව සිටීමෙන් ඇත්තටම දෙවි කෙරෙහි සම්පූර්ණ විශ්වාසයක් ඇති බව අපට පෙන්විය හැකියි. ඒ සියල්ලට යෙහෝවා දෙවි අපට ආශීර්වාද කරන බව ස්ථිරයි. “ගලවාගනු ලබන්නේ අවසානය දක්වා විඳදරාගන්නා තැනැත්තාවය” කියා පැවසීමෙන් යේසුස් අපට ඒ ගැන පොරොන්දුවක් දුන්නා. (මතෙ. 24:13) නමුත් එසේ විඳදරාගැනීමට නම් අපට යේසුස්ට තිබුණා හා සමාන ධෛර්යයක් අවශ්‍යයි.—ගීතා. 31:24.

හොඳම ආදර්ශය

10. දෙවිගෙන් අපව ඈත් කිරීමට එල්ල වන පීඩන මොනවාද? ඊට අපි ප්‍රතිචාරය දැක්විය යුත්තේ කොහොමද?

10 අප වට වී සිටින්නේ දෙවිගේ ප්‍රමිතිවලට පටහැනිව කටයුතු කරන මිනිසුන්ගෙනුයි. ඔවුන්ගේ ක්‍රියා සහ ආකල්පවලින් දූෂ්‍ය නොවීමට නම් අපට ධෛර්යය අවශ්‍යයි. සමාජයෙන් එල්ල වන විවිධ පීඩනයන් හා ආර්ථික ගැටලු නිසා අප යෙහෝවා දෙවිගෙන් ඈත් විය හැකියි. එමෙන්ම පාසැල්වල උගන්වන පරිණාමවාදය හා පොදුවේ පවතින දෙවි කෙනෙක් නැත යන ජනප්‍රිය ආකල්පද ඊට හේතු විය හැකියි. අපට එහි බලපෑම කොහෙත්ම ගණන් නොගෙන සිටිය නොහැකියි. ඒ නිසා ඊට විරුද්ධව සිටීමට හා ඉන් ආරක්ෂා වීමට අපි දැඩි පියවර ගත යුතුයි. එය කරන ආකාරය ගැන අපි යේසුස්ගේ ආදර්ශයෙන් ඉගෙනගනිමු.

11. යේසුස්ගේ ආදර්ශය ගැන අධ්‍යයනය කිරීමෙන් අපට ධෛර්යය ලබාගන්න පුළුවන් කොහොමද?

11 “ලෝකයෙහි ඔබට පීඩා තිබේ. නමුත් ධෛර්යවත් වන්න! මම ලෝකයෙන් ජයගත්තෙමි” කියා යේසුස් තම අනුගාමිකයන්ට පැවසූ දේ සැලකිල්ලට ගන්න. (යොහ. 16:33) ඔහු කෙදිනකවත් තමාව වෙනස් කිරීමට එදා සමාජයේ තිබූ ආකල්පවලට සහ ක්‍රියාවලට ඉඩ දුන්නේ නැහැ. එමෙන්ම ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය නතර කිරීමටවත් දෙවිගේ ප්‍රමිති බාල කිරීමටවත් තම යහපත් හැසිරීම වෙනස් කිරීමටවත් ඔහු කිසිම කෙනෙකුට හෝ කිසිම දෙයකට ඉඩ දුන්නේ නැහැ. අප කළ යුත්තේද ඒ දෙයමයි. වරක් ඔහු තම අනුගාමිකයන් ගැන දෙවිට මෙසේ පැවසුවා. “මා ලෝකයේ කොටසක් නොවන්නා සේම ඔවුහුද ලෝකයේ කොටසක් නොවෙති.” (යොහ. 17:16) යේසුස් ධෛර්යය පෙන්වූ ආකාරය ගැන අපි අධ්‍යයනය කර ඒ ගැන හොඳින් සිතා බලමු. එවිට මේ ලෝකයේ බලපෑම්වලට එරෙහි වීමට අවශ්‍ය ධෛර්යය අපට ලැබෙයි.

ධෛර්යවන්තකම ගැන යේසුස්ගෙන් ඉගෙනගනිමු

12-14. යේසුස් ධෛර්යවන්තව ක්‍රියා කළ ආකාරය ගැන උදාහරණ දෙන්න.

12 තම දේවසේවය තුළ යේසුස් කැපී පෙනෙන ධෛර්යයක් පෙන්නුවා. දෙවිගේ පුත්‍රයා ලෙස තමා සතු අධිකාරිය නිසි සේ ක්‍රියාත්මක කරමින් ධෛර්යය පෙන්වූ අවස්ථාවක් බලන්න. දිනක් ඔහු “දේවමාලිගාවට ඇතුල් වී, එහි විකුණමින්ද මිල දී ගනිමින්ද සිටි සියල්ලන්ව එතැනින් පිටතට එළවා දමා, මුදල් මාරු කරන්නන්ගේ මේසද පරෙවියන් විකුණමින් සිටි අයගේ බංකුද පෙරළා” දැමුවා. (මතෙ. 21:12) ඔහුව අත් අඩංගුවට ගැනීමට සොල්දාදුවන් පැමිණි අවස්ථාවේදීත් ඉතා නිර්භීතව ඔවුන් ඉදිරියට ගිය යේසුස් තම අනුගාමිකයන්ව ආරක්ෂා කරමින් ඔවුන්ට මෙසේ පැවසුවා. “ඔබ සොයන්නේ මාව නම්, මොවුන්ට යන්න හරින්න.” (යොහ. 18:8) ඒ සමඟම සිදු වූ දෙයක් නිසා කඩුව කොපුවේ දමාගන්න කියා පේතෘස්ට පැවසීමට යේසුස්ට සිදු වුණා. ඔහු ඉන් පෙන්නුවේ ඔහු විශ්වාසය තබන්නේ යෙහෝවා දෙවි කෙරෙහි මිස මිනිසුන්ගේ ආයුධ කෙරෙහි නොවන බවයි.—යොහ. 18:11.

13 යේසුස් එදා සිටි අකරුණාවන්ත ආගමික නායකයන්ගේ වැරදි ඉගැන්වීම් ගැන එළිපිට කතා කළා. “ලියන්නෙනි, පරිසිවරුනි, කුහක වූ ඔබට දුක් වේ! මන්ද ඔබ මිනිසුන් ඉදිරියෙහි ඇති ස්වර්ග රාජ්‍යය වසන්නහුය” කියා ඔවුන්ව ප්‍රසිද්ධියේම හෙළා දැක්කා. ‘නීතියේ වඩා බැරෑරුම් කාරණා ඔබ නොසලකාහැර තිබේ. ඔබ කුසලානයත් දීසියත් පිටතින් පවිත්‍ර කරන නමුත් එහි ඇතුළත කොල්ල කෑමෙනුත් සංයමයක් නැති හැසිරීම්වලිනුත් පිරී තිබේ’ කියාද යේසුස් නිර්භීතව පැවසුවා. (මතෙ. 23:13, 23, 25) යේසුස් මෙන් ඔහුගේ අනුගාමිකයන්ටද විශාල ධෛර්යයක් අවශ්‍ය වුණා. ඊට හේතුව ඔවුන් ආගමික නායකයන් අතින් පීඩාවන්ට ලක් වීමට හා සමහරුන් මරණයට පත් වීමට නියමිතව තිබීමයි.—මතෙ. 23:34; 24:9.

14 යේසුස් මිනිසුන් ඉදිරියෙහි පමණක් නොව භූතයන් ඉදිරියෙහිත් ධෛර්යවන්තව කටයුතු කළා. එක් අවස්ථාවකදී දම්වැලකින් බැඳ තැබිය නොහැකි, භූතයන් අවේශ වූ මිනිසෙක්ව යේසුස්ට මුණගැසුණා. නමුත් ඔහු ඉතා නිර්භීතව ඒ මිනිසාට වැහී සිටි සියලුම භූතයන්ව එළවා දැමුවා. (මාක් 5:1-13) අපට එවන් ආශ්චර්යයන් කිරීමේ බලයක් දෙවි ලබා දී නැහැ. ඒ වුණත් “නොඇදහිලිකරුවන්ගේ මනස් අන්ධ කර” ඇති සාතන්ට විරුද්ධව අප යුද්ධ කළ යුතුයි. අප එය කරන්නේ ශුභාරංචිය දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කාර්යය මගිනුයි. (2 කොරි. 4:4) නමුත් යේසුස් මෙන් අප කරන යුද්ධයේදීත් භාවිත කරන “ආයුධ මාංසික ඒවා නොව, බලකොටු බිඳ හෙළීමට තරම් දෙවි නිසා බලවත් වූ” ඒවායි. ඔව්, ඒවා බලකොටු වැනි මුල් බැසගත් අසත්‍ය ආගමික ඉගැන්වීම් බිඳ හෙළීමට තරම් බලවත්! (2 කොරි. 10:4) එම ආයුධ හසුරුවන ආකාරය ගැනද අපට යේසුස්ගෙන් ඉගෙනගත හැකියි.

15. යේසුස්ගේ ධෛර්යයට මූලික හේතුව වුණේ කුමක්ද?

15 යේසුස් තුළ එතරම්ම ධෛර්යයක් තිබීමට මූලික හේතුව දෙවි කෙරෙහි තිබූ දැඩි විශ්වාසය මිස ඔහුගේම හැකියාවන් මත විශ්වාස කිරීම නොවෙයි. (මාක් 4:40) අපත් එවන් විශ්වාසයක් ගොඩනඟා ගැනීමට නම් යේසුස්ගේ ආදර්ශය සලකා බැලීම වටිනවා. ඔහුට ශුද්ධ ලියවිලි ගැන මනා අවබෝධයක් තිබූ අතර එහි ඇති දේවල් ගැන කිසිම සැකයක් තිබුණේ නැහැ. ඔහු කළ සටනේදී ආයුධය ලෙස භාවිත කළේ දේවවචනය නමැති කඩුවයි. තමා ඉගැන්වූ දේවල් නිවැරදි බව ඔප්පු කිරීමට ඔහු නිතර නිතර දේවවචනය යොදාගත්තා. එහි “ලියා තිබේ” කියා පවසමින් යේසුස් බොහෝවිට දේවවචනයට අවධානය යොමු කළා. *

16. දෙවි කෙරෙහි අපට ඇති විශ්වාසය තවත් ස්ථිර කරගන්න පුළුවන් කොහොමද?

16 යේසුස්ගේ සෑම අනුගාමිකයෙකුටම පරීක්ෂාවන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ලබාගැනීමට නම් අප දිනපතා බයිබලය කියවා අධ්‍යයනය කිරීමත් රැස්වීම්වලට සහභාගි වීමත් බයිබල් සත්‍යයන් කෙරෙහි හොඳ අවධානයක් යොමු කිරීමත් අවශ්‍යයි. දෙවි කෙරෙහි අප තුළ ඇති විශ්වාසය තවත් ස්ථිර වන්නේ එවිටයි. (රෝම 10:17) එමෙන්ම අප ඉගෙනගන්නා දේ ගැන ගැඹුරින් කල්පනා කර එම තොරතුරු අපගේ හදවතට කිදා බැසීමට සැලැස්විය යුතුයි. ධෛර්යවත්ව කටයුතු කිරීමට අපව පොලඹවන්නේ දෙවි කෙරෙහි අපට ඇති ස්ථිර විශ්වාසයයි. (යාකො. 2:17) එය දෙවිගේ බලය ක්‍රියාත්මක වීමෙන් හටගන්නා ගුණාංගයක් නිසා අප එය ඉල්ලා දෙවිට යාච්ඤා කළ යුතුයි.—ගලා. 5:22.

17, 18. එක් සහෝදරියක් පාසැලේදී ධෛර්යවත්ව සාක්ෂි දැරුවේ කොහොමද?

17 කිටී නමැති යෞවන සහෝදරිය ධෛර්යය සම්බන්ධයෙන් කදිම ආදර්ශයක්. තමන් “ශුභාරංචිය ගැන ලජ්ජා” නොවිය යුතු බව ඇය කුඩා කල සිටම දැන සිටියා. ඒ නිසා ඇගේ පන්තියේ ළමයින්ට හොඳ සාක්ෂියක් දරන්න ඇයට ලොකු ආශාවක් තිබුණා. (රෝම 1:16) ඇය ඒ සඳහා සෑම වසරකම උත්සාහ දැරුවත් ඇයට ධෛර්යය නොතිබුණු නිසා එය හුඟක් අමාරු වුණා. පසුව ඇයට වෙනත් පාසැලකට යෑමට සිදු වුණා. “මේ පාර නම් මම සාක්ෂි දරන්න කොහොමහරි අවස්ථාව හොයා ගන්නවා” කියා ඇය පැවසුවා. යේසුස් මෙන් ධෛර්යවත්ව හා නුවණැතිව කටයුතු කරන්නත් සාක්ෂි දරන්න සුදුසු අවස්ථාවක් ලබා දෙන ලෙසත් ඇය දෙවිට යාච්ඤා කළා.

18 පාසැලට ගිය මුල්ම දිනයේදී එක් එක් ශිෂ්‍යයාට ඔවුන්ව හඳුන්වා දීමට අවස්ථාව ලැබුණා. කිහිපදෙනෙක් ඔවුන්ගේ ආගම ගැන සඳහන් කළත් ඔවුන් ඊට එතරම් ලැදියාවක් නැති බව පැවසුවා. ඇයට මේ අවස්ථාව උදා වුණේ ඇගේ යාච්ඤාවට පිළිතුරක් ලෙස කියා කිටී තේරුම්ගත්තා. ඇයට අවස්ථාව පැමිණි විට දැඩි විශ්වාසයෙන් යුතුව ඇය මෙසේ පැවසුවා. “මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්. මගේ ජීවිතයේ හැම කාරණයකදීම මම මඟ පෙන්වීම් ලබාගන්නේ බයිබලයෙනුයි.” ඇය කතා කරන අතරතුරේදී සමහර ශිෂ්‍යයන් සමච්චලයට මෙන් ඇය දෙස බැලුවා. නමුත් සමහරුන් හොඳින් ඇහුම්කන් දුන් අතර පසුව ඒ ගැන ඇගෙන් තවත් තොරතුරු විමසුවා. තමාගේ ආගම වෙනුවෙන් නොබියව කතා කරන කෙනෙකු ලෙස ඇය හොඳ ආදර්ශයක් බව ගුරුවරිය පැවසුවා. යේසුස්ගේ ආදර්ශය නිසා ධෛර්යයෙන් සාක්ෂි දැරීමට හැකි වීම ගැන කිටී හුඟක් සතුටු වෙනවා.

යේසුස් මෙන් දැඩි විශ්වාසයක් හා ධෛර්යයක් පෙන්වන්න

19. (අ) දෙවි කෙරෙහි විශ්වාසයක් ඇති කරගැනීමට අයත් වන්නේ කුමක්ද? (ආ) දෙවිගේ සිත සතුටු කරන්න අපට පුළුවන් කොහොමද?

19 තමන්ට ධෛර්යයෙන් යුතුව කටයුතු කිරීමට නම් දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබිය යුතු බව යේසුස්ගේ අනුගාමිකයන් තේරුම්ගත්තා. ඒ නිසා “අපේ ඇදහිල්ල [විශ්වාසය] තවත් වැඩි කරන්න” කියා ඔවුන් යේසුස්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියා. (ලූක් 17:5, 6 කියවන්න.) එවන් විශ්වාසයක් ඇති වීමට නම් දෙවි සිටින බවට නිකම්ම විශ්වාස කිරීම පමණක් මදි. ඒ සඳහා ඔහු සමඟ ඉතා කිට්ටු බැඳීමක් ඇති කරගැනීම අවශ්‍යයි. එය හරියට කුඩා දරුවෙක් තම ප්‍රේමණීය පියා සමඟ ඇති කරගන්නා බැඳීමකට සමානයි. එවැනි බැඳීමක් ගැන යෙහෝවා දෙවිට හැඟෙන ආකාරය සලමොන් මෙසේ වාර්තා කළා. “මාගේ පුත්‍රය, ඔබ ප්‍රඥාවන්තව සිතන්නේ නම් මාගේ සිත ප්‍රීති වන්නේය. ඔබ ඔබේ වචන නිවැරදිව හසුරුවන්නේ නම් මම මුළු හදවතින්ම සතුටු වන්නෙමි.” (හිතෝ. 23:15, 16NW) ඊට අමතරව අපි ධෛර්යවත්ව දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකීමට පියවර ගන්නා විට දෙවිගේ සිතට එය ප්‍රීතියක් ගෙන දෙයි. එය තේරුම්ගැනීම මගින් අපගේ ධෛර්යය තවත් වැඩි වෙයි. එමනිසා සෑම අවස්ථාවකදීම යේසුස්ව ආදර්ශයට ගනිමින් ධර්මිෂ්ඨකම වෙනුවෙන් ධෛර්යවත්ව ක්‍රියා කිරීමට අදිටන් කරගනිමු.

[පාදසටහන]

ඔබට මතකද?

• අප පව්කාර තත්වයක සිටියත් දෙවිට දිගටම කීකරු වීමට අපට උපකාර කරන්නේ කුමක්ද?

• දෙවි කෙරෙහි ස්ථිර විශ්වාසයක් ගොඩනඟා ගන්න අපට පුළුවන් කොහොමද? ධෛර්යවත්ව සිටීමට එය අපට උපකාර කරන්නේ කොහොමද?

• යේසුස් මෙන් දෙවිට කීකරු වීමෙන් හා ධෛර්යවත්ව කටයුතු කිරීමෙන් ඇති වන ප්‍රතිඵලය කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූරය]

වැරදි කිරීමට ඇති වන පෙලඹවීම්වලට එරෙහි වීමට ඔබ දැඩි අධිෂ්ඨානයක් ගෙන තිබෙනවාද?

[15වන පිටුවේ පින්තූරය]

යේසුස් මෙන් දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් ඇතුව සිටීමෙන් ධෛර්යය පෙන්විය හැකියි