Skip to content

පටුනට යන්න

දෙවිගෙන් ඉගෙනගන්න ලැබීම අනර්ඝ වරප්‍රසාදයක්

දෙවිගෙන් ඉගෙනගන්න ලැබීම අනර්ඝ වරප්‍රසාදයක්

දෙවිගෙන් ඉගෙනගන්න ලැබීම අනර්ඝ වරප්‍රසාදයක්

“ක්‍රිස්තුස් යේසුස් පිළිබඳ දැනුමෙහි ඇති මහත් වටිනාකම නිසා සියල්ල අවාසියක්යයි සලකමි.”—ෆිලි. 3:8.

1, 2. සමහර ක්‍රිස්තියානීන් ගෙන ඇති තීරණය කුමක්ද? ඒ ඇයි?

රොබට් කුඩා කල සිටම පාසැලේ විශිෂ්ට දක්ෂතා පෙන්වූ ශිෂ්‍යයෙක්. දිනක් ඔහුගේ පාසැලේ ගුරුවරියක් ඔහුගේ නිවසටම ගොස් ඔහුට බොහෝ දුර ගමනක් යා හැකි බව පැවසුවා. අනාගතයේදී රොබට්ට වෛද්‍යවරයෙකු වෙන්න තරම් හැකියාවක් තිබෙන බවත් ඇය පැවසුවා. ඒ වන විට ඔහුට වයස අවුරුදු අටක් සම්පූර්ණ වුණා විතරයි. පසුව ඔහු ඉදිරි අවුරුදුවල දැක්වූ දක්ෂතා නිසා ඒ රටේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලවලින් තමන් කැමති එකක අධ්‍යාපනය ලැබීමට ඔහුට අවස්ථාව ලැබුණා. නමුත් ‘ජීවිතයටම එක වරක් පමණක්’ හිමි වන බවට බොහෝදෙනා සිතන එම අවස්ථාව අත්හැර දමන්න රොබට් තීරණය කළා. ඔහු එසේ කළේ ස්ථාවර පුරෝගාමියෙක් ලෙස සේවය කිරීමේ ඉලක්කය අත් කරගැනීමටයි.

2 රොබට් හා සමානව බාල මහලු ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකුට අද සමාජයේ ඉහළ තැනකට යන්න ඕනෑ තරම් අවස්ථාව තිබෙනවා. නමුත් සමහරුන් දෙවිට වැඩි සේවයක් කරන්න තීරණය කර තිබෙනවා. (1 කොරි. 7:29-31) ඊට හේතුව යෙහෝවා දෙවි කෙරෙහි ඔවුන්ට ඇති ප්‍රේමයට අමතරව, ඔහුගෙන් ඉගෙනගන්න ලැබීම හා ඒ අවස්ථාව අන් අයටත් ලබා දීම මොන තරම් වටිනවාද කියා ඔවුන් හොඳින් තේරුම්ගෙන තිබීමයි. එවන් අධ්‍යාපනයක් නොලැබුණා නම් මේ වන විට ඔබේ ජීවිතය කුමන තත්වයක තිබේවිද කියා ඔබ කල්පනා කර තිබෙනවාද? එම අධ්‍යාපනය නිසා ඔබ අද්දකින ඉමහත් ආශීර්වාද ගැන හොඳින් කල්පනා කර බලන්න. එවිට ඔබ ඉගෙනගත් දේවල් අගය කිරීමටත් එය උද්‍යෝගයෙන් අන් අයට ප්‍රකාශ කිරීමටත් ඔබ තුළ පෙලඹීමක් ඇති වෙනවා නිසැකයි.

එය ඇත්තෙන්ම වරප්‍රසාදයක්

3. යෙහෝවා දෙවි පව්කාර මිනිසුන්ට පවා උගන්වන්න කැමති බව අප දන්නේ කෙසේද?

3 යෙහෝවා දෙවි මොන තරම් යහපත්ද කියනවා නම් පව්කාර මිනිසුන්ට පවා උගන්වන්න ඔහු කැමතියි. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් යෙසායා 54:13හි [නව ලොව පරිවර්තනය, NW] ඇති අනාවැකියක මෙසේ සඳහන් වෙනවා. “ඔබේ සියලු දරුවන්ට යෙහෝවා දෙවි වන මම උගන්වන්නෙමි. ඔවුහු නිමක් නැති සමාදානයක් භුක්ති විඳිනු ඇත.” නමුත් එම වචන ‘වෙනත් බැටළුවන්ටත්’ අදාළයි. (යොහ. 10:16) ඒ බව යෙසායා දුටු දර්ශනයකින් පැහැදිලි වෙනවා. එම දර්ශනයෙන් ඔහු දුටුවේ දෙවිගෙන් ඉගෙනගැනීමට හා ඔහුට නමස්කාර කිරීමට සියලු ජාතීන්ට අයත් ජනයා ඇදී එන ආකාරයයි. එසේ පැමිණෙන අය එකිනෙකා සමඟ කතා කරගන්නා ආකාරය ගැන ඔහු පැවසුවේ මෙසේයි. “අපි යෙහෝවා දෙවිගේ කන්දට නඟිමු. යාකොබ්ගේ දෙවිගේ ගෘහයට යමු. එහිදී දෙවි අපට ඔහුගේ මාර්ග ගැන උගන්වයි. අපිද ඔහුගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වෙමු.” (යෙසා. 2:1-3NW) ඒ අනාවැකිය ඉටු වන මේ කාලයේදී අපට දෙවිගෙන් ඉගෙනගන්න ලැබීම මොන තරම් වරප්‍රසාදයක්ද!

4. යෙහෝවා දෙවිගෙන් ඉගෙනගැනීමට නම් අපට තිබිය යුත්තේ කුමන ගුණාංගයද?

4 යෙහෝවා දෙවිගෙන් ඉගෙනගැනීමට නම් අපට තිබිය යුත්තේ කුමන ගුණාංගයද? යටහත්පහත්කමයි. දාවිත් ඒ ගැන පැවසුවේ මෙසේයි. ‘යෙහෝවා දෙවි යහපත්ය. අවංකය. ඔහු යටහත්පහත් අයට ඔහුගේ මාර්ගය ගැන උගන්වන්නේය.’ (ගීතා 25:8, 9NW) යේසුස්ද ඒ බව මෙසේ තහවුරු කළා. “ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් වන පියාණෙනි, ඔබ මේ දේවල් ප්‍රඥාවන්තයන්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් සඟවා, බිලිඳුන්ට හෙළි කර තිබෙන බැවින් මම ඔබට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරමි.” (ලූක් 10:21) එලෙස “යටහත් අයට මහත් කරුණාව” දක්වන දෙවි කෙනෙකු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න ඔබ ආශා කරන්නේ නැද්ද?—1 පේතෘ. 5:5.

5. අපට දෙවි පිළිබඳ සත්‍යය අවබෝධ කරගැනීමට හැකි වී තිබෙන්නේ කුමක් නිසාද?

5 දෙවි හා ඔහුගේ අරමුණු පිළිබඳ සත්‍යය අපි අවබෝධ කරගත්තේ අපේම හැකියාවෙන්ද? නැහැ. එය අපේම හැකියාවෙන් කෙදිනකවත් කළ නොහැකියි. “මාව එවූ පියාණන් විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස, වෙන කිසිවෙකුට මා වෙතට පැමිණිය නොහැක” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි. (යොහ. 6:44) යෙහෝවා දෙවි ‘ජාතීන්ගේ වටිනා වස්තු’ හෙවත් මොළොක් ගුණැති අයව අදිනු ලබන්නේ ශුභාරංචිය හා ඔහුගේ බලය මාර්ගයෙනුයි. (හග්. 2:7NW) එසේ දෙවි විසින් ඇදගත් කෙනෙකු වීම ගැන ඔබ තුළ ඉමහත් අගයක් ඇති වන්නේ නැද්ද?—යෙරෙමියා 9:23, 24 කියවන්න.

ජීවිත වෙනස් කිරීමේ බලය

6. ‘යෙහෝවා දෙවි ගැන ඉගෙනගැනීම’ නිසා මිනිසුන් තුළ සිදු වන පුදුමාකාර වෙනස්කම් මොනවාද?

6 මිනිසුන්ගේ ගුණාංගවල සිදු වන විශාල වෙනසක් පිළිබඳ කදිම චිත්‍රයක් යෙසායා පැවසූ අනාවැකියක් තුළ දැකගත හැකියි. කලින් දරුණු පුද්ගලයන් වූ අය දැන් සාමකාමී අය බවට පත් වී තිබෙනවා. (යෙසායා 11:6-9 කියවන්න.) ජාතිය, කුලය වැනි විවිධ පසුබිම් නිසා කලක් සතුරන්ව සිටි අය සාමකාමීව හා එක්සත්ව ජීවත් වීමට ඉගෙනගෙන තිබෙනවා. සංකේතාත්මක ලෙස ඔවුන් “තමුන්ගේ කඩුවලින් නගුල්” සාදාගෙන තිබෙනවා. (යෙසා. 2:4NW) ඔවුන් එසේ කර තිබෙන්නේ ඇයි? ‘යෙහෝවා දෙවි ගැන ඉගෙනගැනීමත්’ ඊට එකඟව ජීවත් වීමත් නිසයි. ඔවුන් අතින් අඩුපාඩුකම් සිදු වුණත් ඔවුන් නිතරම කටයුතු කරන්නේ එක්සත් සහෝදර කැලක් ලෙසයි. සැබෑ නමස්කාරය වෙත ඇදී එන ජනයාගෙන් සහ ඔවුන් තමන්ගේ ජීවිතවල කරගන්න වෙනස්කම්වලින් දෙවි ලබා දෙන අධ්‍යාපනය මොන තරම් වටිනවාද කියා පැහැදිලි වෙනවා. එවන් අනර්ඝ අධ්‍යාපනයක් වෙන කිසිම තැනකින් ලබාගන්න බැහැ.—මතෙ. 11:19.

7, 8. (අ) දෙවි ගැන ඉගෙනගැනීම නිසා මිනිසුන් නිදහස් වී ඇති, ‘බලකොටු තරම් බලවත්’ ඉගැන්වීම් මොනවාද? (ආ) දෙවිගෙන් ඉගෙනගන්නා අය ඔහුට ප්‍රශංසාව ගෙනෙන බවට පෙන්වන්නේ කුමකින්ද?

7 ශුභාරංචිය ප්‍රකාශ කිරීම, සාතන්ට විරුද්ධව කරන යුද්ධයකට සමාන කරමින් පාවුල් මෙසේ පැවසුවා. “අප කරන යුද්ධයේ ආයුධ මාංසික ඒවා නොව, බලකොටු බිඳ හෙළීමට තරම් දෙවි නිසා බලවත් වූ ඒවාය. මන්ද, දෙවි පිළිබඳ දැනුමට විරුද්ධව පැනනැඟුණු සියලු උඩඟු දේවල් හා තර්ක බිඳ හෙළන්නෙමු.” (2 කොරි. 10:4, 5) දෙවි ගැන ඉගෙනගැනීම නිසා මිනිසුන් නිදහස් වී ඇති, ‘බලකොටු තරම් බලවත්’ ඉගැන්වීම් මොනවාද? අසත්‍යය ඉගැන්වීම්, භුතයන්ගේ උපකාරය ඇතුව කරන විවිධ ක්‍රියා හා දර්ශනවාදී අදහස් ඒ අතරින් කිහිපයක්. (කොලො. 2:8) දෙවි ගැන දැනුම ලැබීම නිසා නරක පුරුදු අත්හැරීමටත් දෙවිව සතුටු කරවන ගුණාංග වර්ධනය කරගැනීමටත් බොහෝදෙනාට හැකි වී තිබෙනවා. (1 කොරි. 6:9-11) එමෙන්ම පවුල් ජීවිත සාර්ථක කරගැනීමටත් ජීවිතයට සැබෑ බලාපොරොත්තුවක් ලබාගැනීමටත් එමගින් හැකි වී තිබෙනවා. අද දින මිනිසුන්ට අවශ්‍ය වන්නේ එවැනි අධ්‍යාපනයක් නොවේද!

8 එලෙස දෙවිගෙන් ඉගෙනගන්න අය අවංකවද ක්‍රියා කරනවා. (හෙබ්‍රෙ. 13:18) එසේ ක්‍රියා කළ ඉන්දියානු කාන්තාවකගේ අද්දැකීමක් සලකා බලමු. මේ ස්ත්‍රිය බයිබලය ගැන ඉගෙනගන්න කැමැත්තක් දැක්වුවා. පසුව ඇය බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් වුණා. දවසක් ඇය රාජ්‍යශාලා ඉදිකිරීම් ව්‍යාපෘතියක සේවය කර ගෙදර එන අවස්ථාවේදී බස් නැවතුම් පළක් අසල රන් ආභරණයක් වැටී තිබෙනවා දුටුවා. එය ලංකාවේ මුදලින් රුපියල් 91,200ක් පමණ වටිනවා. ඇය දිලිඳු කෙනෙක් වුණත් එහි අයිතිකරු සොයා එය ලබා දෙන ලෙස ඇය පොලිසියට ගොස් පැවසුවා. පොලිස් නිලධාරියාට එය අදහාගන්න බැරුව ගියා. ටික වෙලාවකට පසුව තවත් නිලධාරියෙක් ඇගෙන් මෙසේ ඇසුවා. “ඔයා මේක පොලිසියට භාර දෙන්න තීරණය කළේ ඇයි?” ඇය ඊට මෙසේ පිළිතුරු දුන්නා. “බයිබලය ඉගෙනගත්ත නිසා මම වෙනස් කෙනෙක් වුණා. දැන් මම අවංකව වැඩ කරන්න උත්සාහ කරනවා.” ඉන් සන්තෝෂයට පත් වූ නිලධාරියා ඇය සමඟ පැමිණි වැඩිමහල්ලාට මෙසේ පැවසුවා. “මේ ප්‍රාන්තයේ මිනිස්සු මිලියන 38ක් ඉන්නවා. මේ ස්ත්‍රිය වගේ වෙන්න තව දහදෙනෙකුට උපකාර කරන්න ඔයගොල්ලන්ට පුළුවන් නම් ඒක ලොකු දෙයක්.” දෙවිගෙන් ඉගෙනගත් නිසා තමන්ගේ ජීවිත යහපත් කරගත් තවත් මිලියන ගණනක් දෙනා සිටිනවා. එය දෙවිට ප්‍රශංසා කිරීමට හේතුවක් නොවේද!

9. දෙවිගෙන් ඉගෙනගන්නා අයට තමන්ගේ ජීවිතවල අවශ්‍ය වෙනස්කම් කරගන්න හැකි වී තිබෙන්නේ කුමක් නිසාද?

9 දෙවිගෙන් ඉගෙනගන්නා අයට තම ජීවිත වෙනස් කරගන්න හැකි වී තිබෙන්නේ කුමක් නිසාද? දෙවි ඔහුගේ වචනය වන බයිබලය හා ඔහුගේ බලය මාර්යගෙන් උපකාර කරන නිසයි. (රෝම 12:2; ගලා. 5:22, 23) කොලොස්සි 3:10හි ඒ ගැන පවසන්නේ මෙසේයි. “අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න. එය මැවූ තැනැත්තාගේ ස්වරූපයට අනුව, නිවැරදි දැනුම මාර්ගයෙන් දිගටම එය අලුත් වන්නේය.” බයිබලයේ ඇති ඉගැන්වීම් මගින් තමන් කුමනාකාරයේ කෙනෙක්ද කියා පුද්ගලයෙකුට දැනගන්න පුළුවන්. එමෙන්ම තමන් සිතන ආකාරය හා තමන්ට හැඟෙන ආකාරය වෙනස් කරන්න ඔහුට උපකාර කරන්න ඊට හැකියි. (හෙබ්‍රෙව් 4:12 කියවන්න) කෙනෙක් බයිබලයේ ඇති නිවැරදි දැනුම ලබාගෙන එහි ඇති ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වන විට ඔහුට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න පුළුවන්. ඒ තුළින් ඔහුට සදාකාල ජීවිතයද ලබාගන්න පුළුවන්.

අනාගතය සඳහා සූදානම් කරයි

10. (අ) අනාගතයේ සිදු වන දේ අපට කියා දෙන්න හැකි එකම තැනැත්තා දෙවි වීමට හේතුව කුමක්ද? (ආ) ඉදිරියේදී සිදු වීමට නියමිත දේවල් මොනවාද?

10 අනාගතයේදී සිදු වීමට නියමිත දේවල් යෙහෝවා දෙවි හොඳින්ම දන්නවා. ඒ නිසා ඊට මුහුණ දීමට අපව සූදානම් කිරීමට හැකි එකම තැනැත්තා ඔහුයි. (යෙසා. 46:9, 10) බයිබලයේ මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “යෙහෝවා දෙවිගේ මහත් දවස ළං වී තිබේ.” (ශෙප. 1:14NW) ඒ කාලයේදී හිතෝපදේශ 11:4හි [NW] පවසා ඇති මේ දේ ඉටු වෙයි. “දෙවිගේ උදහස ප්‍රකාශ කරන දවසේදී වස්තුවෙන් කිසිදු ප්‍රයෝජනයක් නැත. මරණයෙන් ගැලවෙන්නේ ධර්මිෂ්ඨ ලෙස හැසිරෙන පුද්ගලයායි.” එමෙන්ම එසකියෙල් 7: 19හි [NW] පවසන්නේ “ඔවුහු තමන් සතු රිදී වීථියට විසි කරන්නෝය. රත්තරන් පවා ඔවුන්ට පිළිකුලක් වනු ඇත” කියායි. යෙහෝවා දෙවි සාතන්ගේ පාලනය යටතේ පවතින ලෝකයට විරුද්ධව විනිශ්චය ප්‍රකාශ කරන විට වඩාත් වැදගත් දේ වන්නේ වස්තුව නොව දෙවිගේ අනුමැතිය ලබාගැනීමයි. එවන් දේවල් දැන සිටීම නිවැරදි තීරණ ගැනීමට අපට ප්‍රයෝජනවත් වෙනවා.

11. දෙවි අපට පැහැදිලිව උගන්වා තිබෙන්නේ කුමක්ද?

11 අප ජීවිතයේ මුල් තැන දිය යුතු දේවල් මොනවාද කියා දෙවි පැහැදිලිව උගන්වා තිබෙනවා. ඒ නිසා ළඟදීම පැමිණෙන විනාශයෙන් ගැලවීමට කුමක් කළ යුතුද කියා අපි දන්නවා. පාවුල් තිමෝතිට ඒ ගැන මෙසේ පැවසුවා. ‘උඩඟු නොවී, අස්ථිර ධනය කෙරෙහි නොව, දෙවි කෙරෙහි ඔවුන්ගේ බලාපොරොත්තු තබන ලෙස, පවතින මේ සමාජයේ ධනය රැස් කරගෙන සිටින අයට අණ කරන්න.’ අප ධනවත් නොවුණත් දෙවි දී ඇති ඒ උපදෙසින් ප්‍රයෝජන ගන්න අපට පුළුවන්. ඒ කොහොමද? ධන සම්පත් එකතු කරන්න උත්සාහ කරනවා වෙනුවට “යහපත්කම් කිරීමටත් යහපත් ක්‍රියාවලින් පොහොසත්ව සිටීමටත්” අපි උත්සාහ කළ යුතුයි. දෙවිට කරන සේවය ජීවිතයේ මූලික දේ කරගැනීම තුළින් “අනාගතය සඳහා හොඳ අත්තිවාරමක්” දමාගන්න අපට හැකියි. (1 තිමෝ. 6:17-19) එසේ කටයුතු කිරීම ප්‍රඥාවන්තම ක්‍රියාමාර්ගයයි. එය තහවුරු කරමින් යේසුස් මෙසේ පැවසුවා. “මිනිසෙකු මුළු ලෝකයම ලබාගත්තත්, තම ජීවිතය අහිමි කරගන්නවා නම් ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද?” (මතෙ. 16:26, 27) දෙවි ගෙනෙන්න යන විනාශය දවසින් දවස ළං වන නිසා අපි මේ ප්‍රශ්නය ගැන ගැඹුරින් සිතා බලමු. ‘මම කාලය වැය කරන්නේ ධනය උපයන්නද නැත්නම් දෙවිට සේවය කරන්නද?’—මතෙ. 6:19, 20, 24.

12. සමහර අය අප කරන සේවයට සමච්චල් කළත් අප අධෛර්යය නොවිය යුත්තේ ඇයි?

12 ක්‍රිස්තියානීන් කළ යුතු වැදගත්ම ‘යහපත් ක්‍රියාව’ ලෙස බයිබලයේ සඳහන් වන්නේ ශුභාරංචිය අන් අයට ප්‍රකාශ කිරීම හා යේසුස්ගේ අනුගාමිකයන් වීමට අන් අයට උපකාර කිරීමයි. (මතෙ. 24:14; 28:19, 20) පළමු සියවසේදී මෙන් අද දිනත් එම කාර්යය සමච්චලයට ලක් කරන අය සිටිනවා. නමුත් අපි අධෛර්යය විය යුතු නැහැ. (1 කොරින්ති 1:18-21 කියවන්න.) එවන් ක්‍රියා නිසා අප ප්‍රකාශ කරන පණිවිඩයේ වටිනාකම අඩු වන්නේ නැහැ. එමෙන්ම ඉතුරුව ඇති මේ කෙටි කාලය තුළදී හැකි තාක් පිරිසකට ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාව වෙනස් වන්නේද නැහැ. මන්ද එය මිනිසුන්ගේ ජීවිත බේරාගන්න කාර්යයක්. (රෝම 10:13, 14) අප අන් අයටත් දෙවිගේ ඉගැන්වීම්වලින් ප්‍රයෝජන ලබන්න උපකාර කරන විට අපට බොහෝ ආශීර්වාද ලබාගත හැකියි.

පරිත්‍යාගයන් නිසා ආශීර්වාද

13. ශුභාරංචිය වෙනුවෙන් පාවුල් කළ පරිත්‍යාගයන් මොනවාද?

13 පාවුල් ක්‍රිස්තියනියෙක් වීමට පෙර යුදෙව් සමාජයේ ඉහළ තැනක් ලබාගැනීමට තම ජීවිතයම කැප කළා. ඔහුට වයස අවුරුදු 13ක් පමණ වන විට ඔහුගේ උපන් ගම වන ටාසස් සිට ඔහු යෙරුසලමට ගියා. ඒ, එහි සිටි සුප්‍රසිද්ධ නීති ගුරුවරයෙක් වූ ගමාලියෙල්ගෙන් ඉගෙනුම ලැබීමටයි. (ක්‍රියා 22:3) කාලයත් සමඟම පාවුල් දක්ෂයෙක් ලෙස කැපී පෙනෙන්න පටන්ගත්තා. ඔහු යුදෙව් ආගම තුළ ලබමින් සිටි ප්‍රගතිය තවත් ඉදිරියට ගෙන ගියා නම් ඔහුට ඉහළ තැනකට යන්න තිබුණා. (ගලා. 1:13, 14) නමුත් ඔහු ශුභාරංචිය පිළිගෙන එය අන් අයට ප්‍රකාශ කිරීමට පටන්ගත් විට ඒ සියල්ල අත්හැරීමට ඔහු කැමති වුණා. ඔහු තමන් ගත් තීරණය ගැන කනගාටු වුණාද? කොහෙත්ම නැහැ. ඔහු ඒ ගැන ලිව්වේ “මාගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් පිළිබඳ දැනුමෙහි ඇති මහත් වටිනාකම නිසා සියල්ල අවාසියක්යයි සලකමි. ඔහු නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව ඒවා කුණු ගොඩක්යයි සලකමි” කියායි.—ෆිලි. 3:8.

14, 15. දෙවි සමඟ ‘හවුල් වැඩකරුවන්’ ලෙස සේවය කිරීමෙන් අප අද්දකින ආශීර්වාද මොනවාද?

14 පාවුල් මෙන් අද සිටින ක්‍රිස්තියානීන්ද ශුභාරංචිය අන් අයට ප්‍රකාශ කිරීම සඳහා බොහෝ පරිත්‍යාගයන් කරනවා. (මාක් 10:29, 30) අප කර තිබෙන එවැනි පරිත්‍යාග නිසා අපට යමක් අහිමි වී ඇති බව හැඟෙනවාද? මුලින් සඳහන් කළ රොබට්ට ඒ ගැන මෙසේ හැඟුණා. “පූර්ණ කාලීන සේවය තුළින් මම ප්‍රීතියත් තෘප්තියත් අද්දැකලා තියෙනවා. ඒ නිසා මට පුළුවන් වුණා ‘යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න.’ දෙවිගේ සේවය වෙනුවෙන් මම කරලා තියෙන පරිත්‍යාගය මොකක් වුණත් යෙහෝවා දෙවි මට ඊට වඩා හුඟක් ආශීර්වාද කරලා තියෙනවා. ඒ නිසා මට කිසි දෙයක් අහිමි වෙලා නැහැ.” දෙවිගේ සේවය වෙනුවෙන් විවිධ කැප කිරීම් කළ බොහෝදෙනෙකුට හැඟෙන්නේද ඒ ආකාරයටයි.—ගීතා 34:8NW; හිතෝ. 10:22.

15 ඔබ කාලයක් පුරා ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ හා ඉගැන්වීමේ කාර්යයේ හවුල් වී ඇත්නම් යෙහෝවා දෙවිගේ යහපත්කම අද්දැක ඇති බවට කිසිම සැකයක් නැහැ. ශුභාරංචිය ප්‍රකාශ කිරීමේදී දෙවි තම බලය මාර්ගයෙන් ඔබට උපකාර කළ විශේෂ අවස්ථාවන් ඔබට මතකද? ශුභාරංචිය පිළිගැනීමට යෙහෝවා දෙවි කෙනෙකුගේ හදවත තුළ පෙලඹීමක් ඇති කරන විට ඔහුගේ මුහුණේ ඇති වන ප්‍රීතිය ඔබ දැක තිබෙනවාද? (ක්‍රියා 16:14) විවිධ අභියෝගවලින් ජය ගන්න දෙවි ඔබට උපකාර කර තිබෙනවාද? ඒ තුළින් ඔබේ සේවය තවත් පුළුල් කිරීමට ඔහු ඔබට ප්‍රස්තා උදා කර දී තිබෙනවාද? ඔබ මුහුණ දුන් ගැටලුවක් නිසා තවදුරටත් සේවය කිරීමට ශක්තිය නැහැයි කියා ඔබට හැඟුණු අවස්ථාවකදී දෙවි ඔබව ශක්තිමත් කළ ආකාරය ඔබට මතකද? (ෆිලි. 4:13) අප එසේ යෙහෝවා දෙවිගේ උපකාරය අද්දකින විට ඔහු ඇත්තටම අප වෙනුවෙන් ක්‍රියා කරන කෙනෙක් බව අපට හැඟෙන අතර අප ඔහුට තව තවත් ළං වෙනවා. (යෙසා. 41:10) දෙවි සමඟ ‘හවුල් වැඩකරුවන්’ ලෙස මේ ඉගැන්වීමේ කාර්යයෙහි හවුල් වීමට ලැබීම ආශීර්වාදයක් කියා ඔබ සිතන්නේ නැද්ද!—1 කොරි. 3:9.

16. දෙවි ගැන අන් අයට කියා දීම වෙනුවෙන් ඔබ කර ඇති කැප කිරීම් ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

16 මිනිසුන්ගේ මතකයේ රැඳෙන යමක් කිරීමට බොහෝදෙනා කැමතියි. නමුත් කල් යත්ම ඔවුන් කළ දේවල් මිනිසුන්ගේ මතකයෙන් මැකී යනවා. නමුත් තම නාමය ගෞරවයට පත් කිරීම සඳහා යෙහෝවා දෙවි ඉටු කරන දේවල් නම් කවදාවත් ඔහුගේ සෙනඟගේ මතකයෙන් මැකී යන්නේ නැහැ. (හිතෝ. 10:7; හෙබ්‍රෙ. 6:10) එම නිසා දෙවි ගැන අන් අයට ඉගැන්වීමේ කාර්යයට හවුල් වීමට අපට ලැබී ඇති අවස්ථාව උතුම් වරප්‍රසාදයක් ලෙස සලකමු.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

• යෙහෝවා දෙවිගෙන් ඉගෙනගැනීමට නම් අපට තිබිය යුත්තේ කුමන ගුණාංගයද?

• දෙවිගේ ඉගැන්වීම් නිසා මිනිසුන්ගේ ජීවිත වෙනස් වෙන්නේ කොහොමද?

• අන් අයට දෙවිගෙන් ඉගෙනගන්න උපකාර කිරීමෙන් අපට ලැබෙන ආශීර්වාද මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

දෙවිගෙන් ඉගෙනගන්නා අය ලෝක ව්‍යාප්ත සහෝදර සංගමයකට අයත් වෙනවා

[24වන පිටුවේ පින්තූරය]

දෙවි සමඟ ‘හවුල් වැඩකරුවන්’ ලෙස සේවය කිරීමට ලැබීම ආශීර්වාදයක්