Skip to content

පටුනට යන්න

ඔබ දෙවිව විශ්වාස කරනවාද?

ඔබ දෙවිව විශ්වාස කරනවාද?

ඔබ දෙවිව විශ්වාස කරනවාද?

“අපිව නිර්මාණය කරන්න දෙවි කෙනෙක් හිටියාද කියලා හිතනකොටත් මට කේන්ති යනවා. දෙවි කෙනෙක් ඉන්නවා නම් අද මිනිසුන්ට මේ තරම් දුක් වේදනා විඳින්න දීලා බලාගෙන ඉන්නේ ඇයි?” එසේ පැවසුවේ දෙවි කෙනෙකුව විශ්වාස නොකළ කෙනෙක්. ඔහුගේ පවුලේ සාමාජිකයන් හිට්ලර් දියත් කළ සමූල ඝාතනවලින් මිය ගොස් සිටියා. ඔහු ඉහත පැවසූ දේට අද සිටින බොහෝදෙනෙක්ද එකඟ වෙනවා.

ජීවිතයේ යම් කටුක අද්දැකීම්වලට මුහුණ දුන් බොහෝ අයට දෙවි කෙරෙහි විශ්වාසයක් ඇති කරගැනීම අපහසු වී තිබෙනවා. ඒ නිසා ඔවුන් තම වේදනාව දරාගන්නේ දෙවි කෙනෙක් නැහැ කියා නිගමනය කිරීමෙනුයි. ඇතැම් අය දෙවි කෙනෙකුව විශ්වාස නොකිරීමට බලපා තිබෙන හේතු මොනවාද? දෙවි කෙනෙක් හෝ ආගමක් අදහන්නේ නැතුව මිනිසුන්ට සාර්ථක ජීවිතයක් ගත කළ හැකිද? දෙවිව විශ්වාස නොකරන අයට ප්‍රේමණීය දෙවි කෙරෙහි විශ්වාසයක් ඇති කරගත හැකිද?

ආගම්වල බලපෑම

දෙවි කෙනෙකු නැහැ කියා සිතීමට මිනිසුන් පෙලඹී තිබෙන්නේ ආගමේ නාමයෙන් බොහෝ අය කර තිබෙන වැරදි දේවල් නිසයි. ඒ ගැන එක් ඉතිහාසඥයෙකු වන ඇලස්ට මග්‍රාත් මෙසේ පැවසුවා. “මිනිසුන් දෙවි කෙරෙහි විශ්වාස නොකරන්නේ ආගම්වල තිබෙන නරක පිළිවෙත් හා ඔවුන් කර තිබෙන නරක දේවල් නිසයි.” බොහෝවිට යුද්ධ සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට උල්පන්දම් දී තිබෙන්නේ ආගමයි. දෙවි කෙනෙකුව විශ්වාස නොකරන දාර්ශනිකයෙකු වූ මිෂෙල් ඕෆ්‍රේට මෙවැනි ප්‍රශ්නයක් මතු වුණා. “බයිබලය පිළිගන්නා එක් පිරිසක් ශාන්තුවරුන් ලෙසත් අනික් පිරිස ත්‍රස්තවාදීන් ලෙසත් හැසිරෙන්නේ කොහොමද?”

ආගම්වලින් සිදු කර තිබෙන නරක දේවල් දැකීමෙන් බොහෝ අය කලකිරීමට පත් වී තිබෙනවා. උදාහරණයකට යුද්ධය සාධාරණීකරනය කිරීමට පූජකයෙක් පැවසූ දෙයක් හමුදා සෙබළෙකු වන බර්ටිල් මෙසේ සිහිපත් කළා. ‘කඩු ගන්නෝ කඩුවෙන්ම නසිති කියා යේසුස් පැවසූ දේ ඉටු වීමට නම් කඩු ගන්නා අයව නැසීමට කවුරු හරි කඩු අතට ගත යුතුයි. හමුදා සෙබළුන් කරන්නේ ඒ දෙයයි. ඒ නිසා ඔවුන්ව දෙවිගේ සේවකයන් ලෙස හැඳින්විය හැකියි.’—මතෙව් 26:52. *

දෙවිගේ පැවැත්ම ගැන සැක කළ බර්නාඩෙට්ගේ අද්දැකීමද සලකා බලන්න. දෙවන ලෝක මහා යුද්ධයෙන් ඇගේ පියා මිය ගියා. ඉන් කලකට පසු තුන්වන වියේ පසු වූ ඇගේ ඥාති සහෝදරියද මිය ගියා. ඒ අවස්ථාවේදී පූජකයෙක් පැවසුවේ “මේ දරුවාව දෙවි දේවදූතයෙක් විදිහට තෝරගෙන” කියායි. ඒ වදන් ඇසුණු විට ඇයට මහත් වේදනාවක් මෙන්ම දෙවි සමඟ කෝපයක්ද ඇති වුණා. ඉන් ටික කලකට පසු බර්නාඩෙට්ට ආබාධිත දරුවෙක් ලැබුණා. ඒ අවස්ථාවේදීත් ඇයට පල්ලියෙන් කිසිම සහනයක් ලැබුණේ නැහැ.

උතුරු අයර්ලන්තයේ නොසන්සුන් වතාවරණයක හැදී වැඩුණු කිරන්ගේ අද්දැකීම සලකා බලන්න. අපායක වධ වේදනා විඳීම යන ඉගැන්වීම ඔහු තරයේම හෙළාදැක්කා. ඒ නිසා ‘එවැනි කෲර දෙවි කෙනෙක් සිටිනවා නම්, පුළුවන් නම් මාව මරන්න’ කියා ඔහු දෙවිට අභියෝග කළා. කිරන් මෙන් බොහෝදෙනා පල්ලිවලින් උගන්වන අපාය වැනි ඉගැන්වීම් හෙළාදකිනවා. සමහරවිට පරිණාමය නමැති ඉගැන්වීම ඇති වීමට බලපාන්න ඇත්තේද අපායක් පවතින බවට වූ විශ්වාසය විය හැකියි. ඇලස්ට මග්‍රාත් පැවසූ ආකාරයට චාල්ස් ඩාවින් දෙවි කෙනෙක් සිටින බවට සැක කළේ පරිණාමය නමැති ඉගැන්වීම නිසා නොවේ. ඒ වෙනුවට මිය ගිය අය අපායක දුක් විඳිනවා යන ඉගැන්වීම නිසයි. ඒ කාලයේදී ඩාවින් තම දියණියගේ වියෝව ගැන මහත් ශෝකයෙන් සිටි බව මග්‍රාත් තවදුරටත් පැවසුවා.

ආගමක් අදහන එක මෝඩ දෙයක් කියා සමහර අය සිතනවා. කම්මැලි දේවමෙහෙයන් සහ කටපාඩමින් කරන අර්ථයක් නැති යාච්ඤා නිසා ආගම එපා වුණ අයිරිනා මෙසේ පැවසුවා. “ආගම දහමට ළැදි අය හොයන්නේ බලන්නේ නැතුව ආගමෙන් උගන්වන ඕනෙම දෙයක් පිළිගන්නවා.” ආගමික අන්තවාදීන් කර තිබෙන කුරිරු ක්‍රියා නිසා ආගම එපා වූ ලුවී පැවසූ දේ සලකා බලන්න. “මම මෙච්චර කල් දැකලා තිබුණේ කම්මැලි දේවමෙහෙයන් විතරයි. ඒත් ආගම්වලින් මොන තරම් නරක දේවල් කරලා තියෙනවාද කියලත් මට දැන් තේරෙනවා. ඒ නිසා මට ආගම් තිත්ත වුණා.”

දෙවි නැතුව සාර්ථක විය හැකිද?

මිනිසුන්ගේ දියුණුවට සහ සාමයට ආගම බාධාවක් කියා බොහෝ අය සිතනවා. ඒ නිසා ආගමක් අදහන්නේ නැතුව හෝ දෙවි කෙනෙක් කෙරෙහි විශ්වාස නොකර මිනිසුන්ට සාර්ථක විය නොහැකිද කියා ඇතැමුන් කල්පනා කරනවා. කොහොමවුණත් එලෙස සිතීමෙන් සිදු වී තිබෙන්නේ කුමක්ද?

දහඅටවන සියවසේ සිටි දාර්ශනිකයෙක් වූ වෝල්ටෙයර් පල්ලිවල සිදු වූ නරක දේවල් හෙළාදැක්කා. ඒ නිසා හරි වැරැද්ද කුමක්ද කියා මිනිසුන්ට පෙන්වා දීමට මිනිසුන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් සිටිය යුතුයි කියා ඔහු පැවසුවා. පසු කාලයකදී ජර්මානු දාර්ශනිකයෙකු වූ ෆ්‍රෙඩ්රික් නීචර් පැවසුවේ දෙවි මිය ගොස් ඇති බවයි. නමුත් දෙවි කෙනෙක් නැහැ කියා මිනිසුන් සිතන්න පටන්ගතහොත් නරක දේවල් තව තවත් වැඩිවෙයිද කියා ඔහු තුළ බියක් ඇති වුණා. ඇත්තටම ඔහුට ඇති වූ එම බිය සාධාරණද? ඔව්. ඊට හේතුව සලකා බලන්න.

නූතන මිනිස් සමාජය දෙවිගේ මඟ පෙන්වීම් නොසලකා හරිමින් කටයුතු කිරීම නිසා මිලේච්ඡ කුරිරු ක්‍රියා තව තවත් වැඩි වූ බව කීත් වෝඩ් නම් ලේඛකයා පැවසුවා. එමෙන්ම දෙවි කෙනෙකු නැහැ කියා සිතීමෙන් සමාජයේ සිදු වූ දූෂණ භීෂණ හා අපරාධ තව තවත් ඉහළ ගියා. ඒ නිසා දෙවි කෙනෙකුව විශ්වාස නොකළ අය ඇතුළු තවත් බොහෝ අය දෙවි කෙරෙහි විශ්වාසය තැබීමේ ඇති වටිනාකම තේරුම්ගත්තා.

දෙවි කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීමෙහි ඇති වැදගත්කම ගැන තවදුරටත් කීත් වෝඩ් මෙසේ පැවසුවා. “සාමාන්‍යයෙන් දෙවි කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන අය පොළොව ඇතුළු දෙවි නිර්මාණය කර තිබෙන දේවල් වගකීමේ හැඟීමකින් යුතුව බලාගන්නවා.” එවැනි අය පරාර්ථකාමී ලෙස කටයුතු කරන නිසා ඔවුන් ගත කරන්නේ තෘප්තිමත් ජීවිතයක්. ඉන් අපට පැහැදිලි වන්නේ “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ” කියා යේසුස් පැවසූ වදන්වල ඇති සත්‍යයතාවයයි.—ක්‍රියා 20:35.

කෙනෙකු ගත කරන ජීවිතය වෙනස් කිරීමට බයිබලයට ඇති හැකියාව ගැන එක් පුද්ගලයෙක් පුදුම වුණා. ඔහු දෙවි කෙනෙකුව විශ්වාස නොකළත් සමාජ සේවයට ඉතා ළැදි කෙනෙක්. ඔහු පැවසූ දේ සලකා බලන්න. “මිනිසුන්ව යහමඟට ගන්න මම අවුරුදු ගාණක් තිස්සේ උත්සාහ කළත් ඒකෙන් ලැබුණ ප්‍රයෝජන හරිම සීමිතයි. ඒත් බයිබලයේ ඇති ප්‍රතිපත්ති අදාළ කරගෙන මිනිස්සු යහමඟට ඇවිත් තියෙන විදිහ දැක්කම මට පුදුම හිතෙනවා.”

කොහොමවුණත් දෙවිව විශ්වාස නොකරන අය තරයේම කියා සිටින්නේ දෙවි කෙරෙහි විශ්වාසය තැබීමෙන් යහපතක් සිදු නොවෙන බවයි. එමෙන්ම සමූල ඝාතන සහ ගැටුම්වලට මඟ පාදන්නේද එම විශ්වාසයම බවත් ඔවුන් කියා සිටිනවා. දෙවි කෙරෙහි විශ්වාසය තැබීමෙන් ඇතැම් අය ප්‍රයෝජන ලබන බව ඔවුන් වටහාගත්තත් ඔවුන් කිසිදාක දෙවි කෙරෙහි විශ්වාසය තබන්නේ නැහැ. ඒ ඇයි?

දෙවිව විශ්වාස නොකිරීමට තවත් හේතු

බොහෝදෙනෙකුට උගන්වා තිබෙන්නේ පරිණාමය සත්‍යයක් කියායි. උදාහරණයකට අනිලා පැවසූ දේ සලකා බලන්න. “පාසැලේදී අපිට උගන්වා තිබුණේ දෙවිව විශ්වාස කිරීමෙන් කිසිම ඵලක් නැහැ කියලයි. ශාක ලෝකය සහ සත්ව ලෝකය ගැන විශ්මිත තොරතුරු හුඟක් මම පාසැලේදී ඉගෙනගත්තා. මම හිතුවේ ඒ හැම දෙයක්ම පරිණාමයෙන් ඇති වුණා කියලයි. පරිණාමය ගැන කියලා දෙනකොට ඒ ගැන කිසිම ප්‍රශ්නයක් අහන්න අපිට ඉඩ දුන්නේ නැහැ.”

එමෙන්ම ආගම්වලින් කර තිබෙන කුරිරු දේවල් නිසා සමහර අය දෙවි කෙනෙකුව විශ්වාස කරන්නේ නැහැ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලයේ සඳහන් ප්‍රීතිමත් බලාපොරොත්තුව ගැන දේශනා කිරීමට ගෙයින් ගෙට යන අවස්ථාවලදී ඔවුන්ට එවැනි බොහෝ අයව මුණගැසෙනවා. කලින් සඳහන් කළ බර්ටිල් එවැනි කෙනෙක්. දිනක් තරුණ සාක්ෂිකරුවෙක් ඔහුගේ නිවසට පැමිණියා. ඒ අවස්ථාවේදී ඔහුට සිතුණු දේ ඔහු මෙසේ සිහිපත් කරනවා. ‘මේ ළමයා ඇවිත් තියෙන්නේ වැරදි ගෙදරටනේ!’ ඉන්පසු සිදු වූ දෙය ඔහු මෙසේ විස්තර කළා. “මම එයාට ගෙට ආරාධනා කරලා කෙළින්ම කිව්වා, බයිබලයේ තියෙන්නේ බොරු, දෙවි කෙනෙක් නැහැ කියලා.”

ස්කොට්ලන්තයේ වෙසෙන ගර්ස් අසාධාරණකම් නිසා කලකිරීමට පත් වූ කෙනෙක්. ඒ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවලදී දෙවි කෙනෙකු සිටිනවා නම් මේ තරම් අසාධාරණ දේවල් සිදු වන්නේ කොහොමද කියමින් ඔහු ඔවුන් සමඟ වාද කළා. ඔහු ඔවුන්ගෙන් ඇසූ ප්‍රශ්න අතීතයේ සිටි දෙවිගේ සේවකයෙකු වූ හබක්කුක් දෙවිගෙන් ඇසූ ප්‍රශ්නවලට සමානයි. ‘ඔබ මේ නපුරුකම් දෙස බලා සිටින්නේ කෙසේද? මගේ දෑසින් මේ දුෂ්ට දේවල් දකින්න ඔබ මට ඉඩහරින්නේ ඇයි?’—හබක්කුක් 1:3, නව ලොව පරිවර්තනය, NW.

දෙවි දුෂ්ටකම්වලට ඉඩහැර තිබෙන හේතුව අතීතයේ සිටම මිනිසුන්ට ප්‍රශ්නයක් වී තිබෙනවා. (ගීතාවලිය 73:2, 3) ප්‍රංශ ජාතික ලේඛිකාවක් වූ සීමෝන් ද බෝව්වාර් මෙසේ පැවසුවා. “දෙවි කෙනෙක් මේ දුෂ්ටකම්වලට ඉඩහැරලා තියෙනවා කියලා හිතනවාට වඩා දෙවි කෙනෙක් නැහැ කියලා හිතන එක වඩාත් ලේසියි.”

දුක් වේදනා පැවතීමට දෙවි ඉඩහැර තිබෙන හේතුව බොහෝ ආගම්වලින් උගන්වන්නේ නැහැ. ඉන් අදහස් වන්නේ ඊට පිළිතුරක් නැති බවද? නැහැ. එම ප්‍රශ්නයට පිළිතුර සොයාගැනීමට ගර්ස්ට හැකි වූ අතර ඔහු ඒ ගැන මෙසේ පවසනවා. “දුක් වේදනා නැති කරන්න දෙවිට බලය තිබුණත් යම් කාලයකට දෙවි දුක් වේදනා පැවතීමට ඉඩහැරලා තියෙන හේතුව මම දැනගත්තා. ඒකෙන් මගේ ජීවිතයේ ලොකු වෙනසක් වුණා.” *

සමහරවිට දෙවි කෙනෙක් නැහැ කියා සිතන අයට වුණත් පරිණාමය ගැන සැක තිබිය හැකියි. ඒ වගේම දෙවි කෙනෙකුගේ මඟ පෙන්වීම ලබාගැනීමේ අවශ්‍යතාවක්ද දැනෙන්න පුළුවන්. එමෙන්ම ඔවුන් දෙවිට යාච්ඤා කිරීමට පවා පෙලඹිය හැකියි. දෙවි කෙනෙක් නැහැ කියා සිතූ අය සහ දෙවි කෙනෙක් සිටිනවාද කියා ප්‍රශ්න කළ අය පවා දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගෙන තිබෙනවා. එයට හේතුව කුමක්ද?

හේතුව කුමක්ද?

කලින් සඳහන් කළ බර්ටිල්ගේ නිවසට පැමිණි තරුණ සාක්ෂිකරුවා සැබෑ ක්‍රිස්තියානීන් සහ ක්‍රිස්තියානීන්යැයි කියාගන්නා අය අතර වෙනස ඔහුට පහදා දුන්නා. ඒ ගැන ඔහුට හැඟුණු ආකාරය ගැන බර්ටිල් මෙසේ පැවසුවා. “මම මගේම මතය හරියි කියලා ඔප්පු කරන්න උත්සාහ කළත් එයා හරිම ඉවසීමෙන් මාත් එක්ක කතා කළා. ඒක මගේ හිතට තදින්ම කාවැදුණා. ඒ වගේම එයා මට ප්‍රයෝජනවත් ප්‍රකාශන කිහිපයකුත් දුන්නා. එයා මේ දේවල් කරන්නේ හොඳ අවබෝධයකින් කියලා මට වැටහුණා.” *

කොමියුනිස්ට්වාදියෙක් මෙන්ම පරිණාමය විශ්වාස කළ ස්වයෙට්ලානා දැනගෙන සිටියේ දුර්වලයා නැති වී බලවතා දිගටම පවතිනවා යන පරිණාමවාදී න්‍යායයි. නමුත් එය අසාධාරණ නපුරු දෙයක් නිසා ඇය කලකිරුණා. කොහොමවුණත් එම ඉගැන්වීම වෛද්‍ය පීඨයේ ඇය ඉගෙනගත් දේවලට එකඟ වුණේ නැහැ. ඒ ගැන ඇය මෙසේ පැවසුවා. “පරිණාමය ගැන උගන්වන පාඩමේදී අපට ඉගැන්වුවේ දුර්වලයා නැති වී බලවත් ජීවියා පවතිනවා කියලයි. ඒත් වෛද්‍ය පීඨයේදී අපට ඉගැන්වුවේ දුර්වල අයට උදව් කරන්න කියලයි.” ඇය මේ ආකාරයටත් කල්පනා කළා. වානරයින් කිසිම ප්‍රශ්න ගැටලුවකට මුහුණ නොදී ජීවත් වන අතරේ වානරයා දියුණු වීමෙන් බිහි වූ මිනිසා ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්නේ ඇයි? එම ප්‍රශ්නයට නොසිතූ ආකාරයෙන් ඇයට පිළිතුරක් ලැබුණා. ඒ ගැන ඇය පැවසූ දෙය සලකා බලන්න. “මිනිසුන් දුක් විඳින්නේ ඔවුන් පාපය උරුම කරගෙන තිබෙන නිසා කියලා මගේ ආච්චි මට පැහැදිලි කළා.” ඒ ගැන වැඩිදුරටත් බයිබලයේ සඳහන් වෙන්නේ කුමක්ද කියා දැනගැනීමට ස්වයෙට්ලානාට ආශාවක් ඇති වුණා.

ස්කැන්ඩිනේවියාවේ වෙසෙන ලේෆ් පරිණාමය විශ්වාස කළ කෙනෙක්. ඔහු බයිබලය සැලකුවේ සුරංගනා කතා ඇතුළත් පොතක් ලෙසයි. කොහොමවුණත් දිනක් ඔහුගේ මිතුරෙක් මෙසේ ඇසුවා. “ඔයා ඔය කියන්නේ අනික් අය කිව්ව දේවල්නේ, ඒත් බයිබලයේ ඇත්තටම තියෙන්නේ මොනවාද කියලා ඔයා දන්නවාද?” ඒ වදන් ලේෆ්ට තදින්ම කාවැදුණා. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “මම පරිණාමය පිළි අරන් තියෙන්නේ කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව කියලා මට තේරුණා. ඇත්තෙන්ම කියනවා නම් දෙවි කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්න බයිබලයේ සඳහන් අනාවැකි සහ ඒවා ඉටු වෙලා තියෙන ආකාරය සොයා බැලීම හොඳටම ප්‍රමාණවත්.”—යෙසායා 42:5, 9.

කලින් සඳහන් කළ කිරන් අවුරුදු ගණනාවක් පුරා දේශපාලන කටයුතුවල නියැලීමෙන් කලකිරී සිටියා. ඒ නිසා ඔහු මෙවැනි නිගමනයකට පැමිණියා. අපේ ප්‍රශ්න ගැටලුවලට නිමාවක් ගෙනෙන්න පුළුවන් ප්‍රේමණීය දෙවි කෙනෙකුට විතරයි. ‘ඒත් ඒ වගේ කෙනෙක් ඇත්තටම ඉන්නවාද’ කියා ඔහු තමාගෙන්ම ප්‍රශ්න කළා. කලකිරීමට පත් වී සිටි ඔහු මෙසේ යාච්ඤා කළා. “ඇත්තටම ඔබට මාව ඇහෙනවා නම් අපි අද්දකින ප්‍රශ්න ගැටලුවලට විසඳුම මොකක්ද කියලා මට කියන්න.” ඉන් දවස් කිහිපයකට පසු සාක්ෂිකරුවෙක් ඔහුගේ නිවසට පැමිණියා. මිනිස් ආණ්ඩු පිටුපස සිටින බලවේගය කුමක්ද කියා ඔහු කිරන්ට පහදා දුන්නා. (එෆීස 6:12) ඔහු පහදා දුන් දේවල් සැබෑ බව කිරන් ඔහුගේ ජීවිතයෙන්ම දැක තිබූ දේවලින් පැහැදිලි වුණා. ඔහු වැඩිදුරටත් බයිබලය ගැන අධ්‍යයනය කළ නිසා ප්‍රේමණීය දෙවි කෙරෙහි ඔහු තුළ විශ්වාසයක් ඇති වුණා.

දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීම

ආගම් සිදු කර තිබෙන කුරිරු ක්‍රියා, පරිණාමය වැනි ඉගැන්වීම් සහ අද සිදු වන දුෂ්ටකම් නිසා දෙවි කෙනෙක් සිටිනවාද කියා බොහෝදෙනෙක් ප්‍රශ්න කරනවා. කොහොමවුණත් එවැනි ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු බයිබලයෙන් සොයාගත හැකියි. එමෙන්ම “සාමයෙන් පිරුණු ප්‍රීතිමත් ජීවිතයක් ගැන” දෙවි ලබා දී තිබෙන බලාපොරොත්තුවත් එහි සඳහන් වෙනවා. (යෙරෙමියා 29:11NW) කලින් සඳහන් කළ ආබාධිත දරුවෙක් සිටි මෙන්ම දෙවිගේ පැවැත්ම සැක කළ බර්නාඩෙට්ව ඔබට මතකද? සාමයෙන් පිරුණු ප්‍රීතිමත් ජීවිතයක් ගැන දෙවි දී තිබෙන පොරොන්දුවෙන් ඇය පුදුමාකාර දිරිගැන්වීමක් ලැබුවා. ඇගේ වේදනාව දරාගැනීමට එය මහත් අස්වැසිල්ලක් වුණා.

කලින් දෙවිව විශ්වාස නොකළ අය දුක් වේදනා පැවතීමට දෙවි ඉඩහැර තිබෙන හේතුව බයිබලයෙන් දැනගැනීම නිසා දෙවිව විශ්වාස කිරීමට පෙලඹී තිබෙනවා. එවැනි වැදගත් ප්‍රශ්නවලට බයිබලයෙන් පිළිතුරු ලබාගැනීමට ඔබ කාලය වැය කළොත් ඇත්තටම දෙවි කෙනෙක් සිටින බව ඔබට දැනගත හැකි වෙයි. එමෙන්ම ඔහු “අප එකිනෙකාට නුදුරුව” සිටින බවත් ඔබ වටහාගනියි.—ක්‍රියා 17:27.

[පාදසටහන්වල]

^ 6 ඡේ. සැබෑ ක්‍රිස්තියානීන් යුද්ධවලට හවුල් වීම සුදුසුද කියා දැනගැනීමට 29 සිට 31 දක්වා පිටුවල ඇති “ක්‍රිස්තියානීන්ට යුද්ධවලට හවුල් විය හැකිද” යන ලිපිය බලන්න.

^ 22 ඡේ. දෙවි දුක් වේදනාවලට ඉඩහැර තිබෙන හේතුව දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 106-114 දක්වා පිටු බලන්න.

^ 25 ඡේ. නිර්මාණකරුවෙක් සිටිනවාද කියා දැනගැනීමට “සියල්ලේ නිර්මාතෘ කවුද?” යන මාතෘකාවෙන් යුත් 2006 සැප්තැම්බර් පිබිදෙව්! කලාපය බලන්න. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[13වන පිටුවේ කොටුව]

පරිණාමයෙන් පිළිතුරු දිය හැකිද?

• අජීවී දෙයකින් ජීවයක් බිහි වන්නේ කෙසේද?—ගීතාවලිය 36:9.

• සතුන්ගෙන් හා ශාකවලින් ඒ ඒ වර්ග පමණක් බිහි වන්නේ ඇයි?—උත්පත්ති 1:11, 21, 24-28.

• මිනිසුන් බිහි වුණේ වානරයින්ගෙන් නම් වානරයින් සිටියත් වානරයා හා මිනිසා අතර අතරමැදියෙක් ඉතුරු නොවුණේ ඇයි?—ගීතාවලිය 8:5, 6.

• පරිණාමයට අනුව බලවතා ඉතුරු වී දුර්වලයා නැති වී යනවා නම් අසරණ අයට පිහිට වන්න මිනිසුන් පෙලඹෙන්නේ ඇයි?—රෝම 2:14, 15.

• මිනිසුන්ගේ අනාගතය කුමක්ද?—ගීතාවලිය 37:29.

[12, 13වන පිටුවේ පින්තූර]

ප්‍රේමණීය දෙවි කෙනෙක් දරුවන් දුක් වේදනා විඳින ලොවක් බිහි කරයිද?

ආගම්වලින් සිදු කර තිබෙන දුෂ්ටකම් නිසා බොහෝදෙනෙකුට දෙවි ගැන සැක මතු වී තිබෙනවා