Skip to content

පටුනට යන්න

මිල කළ නොහැකි පැරණි අත්පිටපතක්

මිල කළ නොහැකි පැරණි අත්පිටපතක්

මිල කළ නොහැකි පැරණි අත්පිටපතක්

සමහරවිට ඔබ වතිකානුව ගැන අසා ඇති. වටිනා බිතුසිතුවම්, මූර්ති සහ අලංකාර ගෘහ නිර්මාණ ශිල්පය නිසා වතිකානුව ඉතා ප්‍රසිද්ධයි. නමුත් ඒ සියල්ලටම වඩා වටිනා දෙයක් වසර සිය ගණනාවක් පුරා වතිකානු පුස්තකාලයේ සඟවා තබනු ලැබුවා. එය ඉතා පැරණි අත්පිටපතක්. එය හඳුන්වන්නේ වතිකානු කෝඩෙක්ස් අත්පිටපත ලෙසයි. * එය බයිබලයේ තිබෙන තොරතුරු වඩාත් හොඳින් තේරුම්ගැනීමට මහෝපකාරී වී තිබෙනවා.

වතිකානු කෝඩෙක්ස් අත්පිටපත හා සමාන වටිනාකමකින් යුත් තවත් පැරණි අත්පිටපත් දෙකක් ලෙස කෝඩෙක්ස් ඇලෙක්සැන්ඩ්‍රිනස් සහ කෝඩෙක්ස් සයිනයිටිකස් හඳුන්වනු ලබනවා. මෙම අත්පිටපත් දෙක සොයාගත් ආකාරය සහ ඒවා ආරක්ෂා වී ඇති ආකාරය ගැන බොහෝ තොරතුරු තිබුණත් වතිකානු කෝඩෙක්ස් අත්පිටපත සම්බන්ධයෙන් නම් එවැනි තොරතුරු කිසිවක් නැහැ.

සඟවා තැබුණු පිටපත

වතිකානු කෝඩෙක්ස් අත්පිටපතේ ආරම්භය කුමක්ද? මේ පිටපත වතිකානු පුස්තකාලයේ ඇති නාමාවලියට ඇතුළත් කර තිබෙන්නේ 15වන සියවසේදීයි. එම අත්පිටපත ගැන ඇති පැරණිම සඳහන එයයි. එම අත්පිටපත ඊජිප්තුවේ, රෝමයේ හෝ සිසේරියේ කරන ලද්දක් බව විශාරදයන්ගේ අදහසයි. කෙසේවෙතත් මහාචාර්ය ජේ. නෙවිල් බර්ඩ්සෝල් මෙවැනි දෙයක් පැවසුවා. “වතිකානු කෝඩෙක්ස් අත්පිටපත සකසන ලද රටවත් දිනයවත් අපි දන්නේ නැහැ. ඒ වගේම 15වන සියවසට පෙර මෙම අත්පිටපත ගැන සඳහන් තොරතුරු කිසිවක්ද සොයාගෙන නැහැ.” කෙසේවෙතත් මෙය ඉතා වටිනා අත්පිටපතක් ලෙස සැලකෙනවා. ඊට හේතුව කුමක්ද?

සියවස් ගණනාවක් පුරා බයිබල් පිටපත්කරුවන් අතින් සිදු වූ වැරදි නිසා නිවැරදි අත්පිටපතක් සොයාගැනීම බයිබල් පරිවර්තකයන්ට පහසු වුණේ නැහැ. එමනිසා හතරවන සියවසේදී ග්‍රීක බසින් සකසන ලද වතිකානු කෝඩෙක්ස් අත්පිටපත සොයාගැනීම ගැන විශාරදයන් සතුටු වුණා. එම පිටපත සකස් කර තිබෙන්නේ බයිබලය සම්පූර්ණයෙන්ම ලියා අවසන් වී වසර 300ක් ඇතුළතයි. මෙම අත්පිටපතට පැරණි ගිවිසුම සහ අලුත් ගිවිසුම ඇතුළත් වී තිබෙනවා. නමුත් ඇතැම් පිටු කාලයත් සමඟ නැති වී යෑම නිසා සමහර පොත්වල කොටස් එහි දැකගන්න නැහැ.

කොහොමවුණත් කාලයක් යන තුරු එම අත් පිටපත බැලීමට වතිකානු බලධාරීන් බයිබල් පරිවර්තකයන්ට අවසර දුන්නේ නැහැ. භාෂා විශාරදයෙක් වන ශ්‍රීමත් ෆ්‍රෙඩ්රික් කෙන්යන් ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසුවා. “වර්ෂ 1843දී බයිබල් විශාරදයෙක් වන කොන්ස්ටන්ටින් වොන් ටිෂෙන්ඩෝෆ් මෙම අත්පිටපත බැලීම සඳහා බලධාරීන්ගෙන් අවසර ඉල්ලුවා. මාස ගණනාවකට පසුව පැය හයකට පමණක් එය බලන්න ඔහුට අවසර ලැබුණා. ඒ වගේම වර්ෂ 1845දී ඉංග්‍රීසි ජාතික විශාරදයෙක් වන ට්‍රෙගේලස්ටද එය බැලීමට අවසර ලැබුණා. ඒත් ඉන් වචනයක්වත් පිටපත් කිරීමට අවසර ලැබුණේ නැහැ. ටික කාලෙකට පස්සේ ටිෂෙන්ඩෝෆ් එය බැලීමට නැවතත් අවසර ඉල්ලුවා. නමුත් කලින් ඔහු පිටු 20ක් පිටපත් කරගෙන තිබුණ නිසා මේ වතාවේදී ඔහුට අවසර ලැබුණේ නැහැ. කොහොමවුණත් අවසානයේදී දවසකට පැය තුන බැගින් දවස් 14ක් එය බැලීමට ඔහුට අවසර ලැබුණා. ඔහු ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන 1867දී වතිකානු කෝඩෙක්ස් අත්පිටපතේ හොඳම සංස්කරණය එළිදැක්වූවා.” පසු කාලයේදී ඊටත් වඩා සාර්ථක සංස්කරණයක් එළිදක්වන්න වතිකානුවට හැකි වුණා.

“නිවැරදි පිටපතක්”

වතිකානු කෝඩෙක්ස් අත්පිටපත ගැන එක් කෘතියක මෙලෙස සඳහන් වුණා. “මෙම අත්පිටපතේ ව්‍යාකරණ සහ පිටපත් කර තිබෙන ආකාරය ඉතා නිවැරදියි. ඒ නිසා මෙය කර තිබෙන්නේ පළපුරුදු පිරිසක් විසින් කියා සිතිය හැකියි.”—The Oxford Illustrated History of the Bible.

වතිකානු කෝඩෙක්ස් අත්පිටපත බෙහෙවින් අගය කළ විශාරදයන් දෙදෙනෙක් ලෙස බී. එෆ්. වෙස්කොට් සහ එෆ්. ජේ. ඒ හෝට් හැඳින්විය හැකියි. වර්ෂ 1881දී ඔවුන් දෙදෙනා වතිකානු කෝඩෙක්ස් අත්පිටපත සහ සයිනයිටිකස් අත්පිටපත් ඇසුරින් බයිබලයේ නව ගිවිසුම එළිදැක්වූවා. එය නිව් ටෙස්ටමන්ට් ඉන් දි ඔරිජිනල් ග්‍රීක් ලෙස හඳුන්වනවා. අද තිබෙන බොහෝ බයිබල් පරිවර්තනවල අලුත් ගිවිසුමට පදනම සපයා තිබෙන්නේ එම පරිවර්තනයයි. ඊට උදාහරණ ලෙස නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් පරිවර්තනය සහ ජේ. බී. රොදර්හැම් විසින් කරන ලද දි එම්ෆසයිස්ඩ් බයිබල් පරිවර්තනය හැඳින්විය හැකියි.

වෙස්කොට් සහ හෝට් වතිකානු කෝඩෙක්ස් අත්පිටපත පිළිගත්තද ඇතැම් විවේචකයන් කියා සිටියේ එය නිවැරදි අත්පිටපතක් නොවන බවයි. ඇත්තෙන්ම බයිබලයේ මුල් පිටපත්වල තිබුණු අදහස් ඒ ආකාරයෙන්ම වතිකානු අත්පිටපතේ තිබෙනවාද? වර්ෂ 1956 සිට 1961 අතරතුර කාලයේදී බොඩ්මර් පැපිරස් පිටපත් එකතුව එළිදැක්වූවා. තුන්වන සියවසේදී පිටපත් කරන ලද ලූක් සහ යොහන් පොත්වල කොටස්ද එහි තිබුණා. ඒ ගැන බොහෝ විශාරදයන් සතුටු වුණා. නමුත් බොඩ්මර් පැපිරස් පිටපත් එකතුව ඇසුරින් වතිකානු කෝඩෙක්ස් අත්පිටපතේ නිරවද්‍යතාව සනාථ කළ හැකිද?

නෝවූම් ටෙස්ටාමෙන්ටම් නම් කෘතියේ, ෆිලිප් බී. පෙයින් සහ පෝල් කානාට් මෙවැනි අදහසක් පවසා තිබුණා. “බොඩ්මර් පැපිරස් පිටපත්වල ඇති තොරතුරු සහ වතිකානු කෝඩෙක්ස් පිටපතේ ඇති තොරතුරු අතර සමානත්වයක් තිබෙනවා. සමහරවිට වතිකානු කෝඩෙක්ස් අත්පිටපත පිටපත් කළ පුද්ගලයා බොඩ්මර් පැපිරස් පිටපතේ තිබෙන තොරතුරුවලට සමාන තොරතුරු තිබෙන පිටපතක් ඇසුරින් තොරතුරු පිටපත් කළා විය හැකියි. එසේත් නැත්නම් පැරණි අත්පිටපතක් ඇසුරින් වතිකානු කෝඩෙක්ස් අත්පිටපත පිටපත් කරන්න ඇති.” මහාචාර්ය බර්ඩ්සෝල්ද මෙවැනි දෙයක් පැවසුවා. “බොඩ්මර් පැපිරස් පිටපත් සහ වතිකානු කෝඩෙක්ස් අත්පිටපත අතර සමානකමක් තිබෙනවා. වතිකානු කෝඩෙක්ස් අත්පිටපත සකස් කිරීමට භාවිත කළ පිටපතේ තොරතුරු ඒ ආකාරයෙන්ම මෙහි නිවැරදි ලෙස පිටපත් කර තිබෙනවා. ඒ නිසා වතිකානු කෝඩෙක්ස් අත්පිටපත ඉතා නිවැරදියි.”

පරිවර්තකයන්ට දායාදයක්

යම් අත්පිටපතක් පැරණි වූ පමණින් එය නිවැරදියි කියා නිගමනය කරන්න බැහැ. නමුත් වතිකානු කෝඩෙක්ස් අත්පිටපත වෙනත් අත්පිටපත් හා සැසඳීමෙන් බොහෝ තොරතුරු අනාවරණය කරගැනීමට විශාරදයන්ට හැකි වී තිබෙනවා. උදාහරණයකට හතරවන සියවසේ කරන ලද සයිනයිටිකස් අත්පිටපතේ උත්පත්ති පොතේ සිට 1 ලේකම් දක්වා පොත් කිසිවක් නැහැ. නමුත් වතිකානු අත්පිටපතේ එම පොත් කිහිපය තිබෙනවා. ඒ නිසා එම පොත් බයිබලයට අයත් පොත් ලෙස සැලකිය හැකියි.

“කාලයක් පුරා යේසුස් ගැන සඳහන් වූ ඇතැම් බයිබල් පද සහ ත්‍රිත්වයට අනුබල දෙනවා යැයි සැලකූ බයිබල් පද” ගැන විශාරදයන් අතර මත ගැටීම් ඇති වුණා කියා එක් පොතක සඳහන් වුණා. ඒවා නිරාකරණය කරගැනීමට වතිකානු කෝඩෙක්ස් අත්පිටපත බෙහෙවින් දායක වී තිබෙනවා. ඒ කෙසේද?—එම පොත The Oxford Illustrated History of the Bible.

යොහන් 3:13හි යේසුස් පැවසූ වදන් ඇතැම් බයිබල් පරිවර්තනවල සඳහන් වී තිබෙන්නේ මෙලෙසයි. “ස්වර්ගයෙන් බැස්සාවූ, ස්වර්ගයෙහි සිටින්නාවූ මනුෂ්‍ය පුත්‍රයා මිස වෙන කිසිවෙක් ස්වර්ගයට නොනැංගේය.” (පැරණි අනුවාදය) “ස්වර්ගයෙන් බැස්සාවූ ස්වර්ගයෙහි සිටින්නාවූ” තැනැත්තා ලෙස යේසුස්ව විස්තර කිරීමෙන් ඔහු එකම අවස්ථාවේ ස්වර්ගයේ හා පොළොවෙහි සිටියා යන අදහස ලබා දෙනවා. එය ත්‍රිත්වය නමැති ඉගැන්වීමට අනුබල දීමක්. එම අදහස පස්වන සහ දහවන සියවස්වල කරන ලද අත්පිටපත්වලද දැකිය හැකියි. ඒ වුණත් හතරවන සියවසේ කරන ලද වතිකානු සහ සයිනයිටිකස් යන අත්පිටපත්වල යේසුස් පැවසූ දෙය ඒ ආකාරයට සඳහන් වී නැහැ. ඒ නිසා නවීන දින සිටින බොහෝ බයිබල් පරිවර්තකයන් යොහන් 3:13හි අදහස ත්‍රිත්වයට අනුබල නොදෙන ආකාරයෙන් පරිවර්තනය කිරීමට වගබලා ගන්නවා. එමෙන්ම යේසුස් කිසිවිටක එකම අවස්ථාවේ ස්වර්ගයේ සහ පොළොවේ සිටියා කියා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට බයිබලයේ සඳහන් වෙන්නේ යේසුස් ස්වර්ගයේ සිට පොළොවට පැමිණ නැවත ස්වර්ගයට ගිය බවයි.—යොහන් 20:17.

තවත් උදාහරණයක් සලකා බලන්න. අනාගතයේදී සිදු වීමට නියමිත දෙයක් ගැන බයිබල් ලේඛකයෙකු වූ පේතෘස් පැවසූ දේ ඇතැම් බයිබල් පරිවර්තනවල මෙසේ කියවීමට තිබෙනවා. “පොළොව ද එහි ඇති සියල්ල ද දැවී විනාශ වී යන්නේය.” (2 පේතෘස් 3:10, නව අනුවාදය) මෙම අදහස පස්වන සියවසට අයත් ඇලෙක්සැන්ඩ්‍රිනස් අත්පිටපතේ සහ පසු කාලයේදී කරන ලද අත්පිටපත්වලත් දැකිය හැකියි. ඒ නිසා දෙවි අපේ පෘථිවිය විනාශ කර දමනවා කියා බොහෝ අය සිතනවා.

කොහොමවුණත් ඇලෙක්සැන්ඩ්‍රිනස් අත්පිටපතට සියවසකට පමණ පෙර පිළියෙල කළ වතිකානු කෝඩෙක්ස් අත්පිටපතේ සහ සයිනයිටිකස් අත්පිටපතේ පේතෘස්ගේ වදන් සඳහන් වන්නේ මේ ආකාරයටයි. “පොළොවද එහි ක්‍රියාද පැහැදිලිව දිස් වන්නේය.” දෙවි පොළොව විනාශ කරනවා යන අදහස එම අත්පිටපතේ නැහැ. නමුත් බයිබලයේ සඳහන් වෙන්නේ යෙහෝවා දෙවි පොළොව “කිසිදා නොසෙල්වෙන අයුරින් සෑදුවෙහිය” කියායි. (ගීතාවලිය 104:5, නව ලොව පරිවර්තනය, NW) බයිබලයේ බොහෝ අවස්ථාවල “පොළොව” කියා සඳහන් කරන විට එය යොමු දක්වන්නේ පොළොවේ වෙසෙන මනුෂ්‍යයන්ටයි. (උත්පත්ති 11:1; 1 ලේකම් 16:31) ඒ අනුව දෙවි විනාශ කරන්නේ දුෂ්ට මිනිසුන්ව මිස මේ පොළොව නොවේ. එය දැන සිටීම මොන තරම් සහනයක්ද!

“දෙවිගේ වචනය සදහටම පවතියි”

සියවස් ගණනාවක් පුරා වතිකානු කෝඩෙක්ස් අත්පිටපත සඟවා තැබූ නිසා ඇතැම් බයිබල් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගන්න මිනිසුන්ට බැරි වුණා. කොහොමවුණත් වතිකානු කෝඩෙක්ස් අත්පිටපත එළිදැක්වීමෙන් පසුව සහ නිවැරදි බයිබල් පරිවර්තන ඇසුරින් බයිබලයේ ඇති ඉගැන්වීම් හරියාකාරව තේරුම්ගැනීමට බොහෝ අයට හැකි වී තිබෙනවා.

අතීතයේ සිටි බොහෝ පිටපත්කරුවන් ඔවුන් කළ අත්පිටපත්වල මෙවැනි දෙයක් සඳහන් කළා. “මේ අත්පිටපත්වල පිටපත්කරුවන් නැසී යයි. නමුත් පිටපත් කළ දෙය දිගටම පවතියි.” ඇත්තෙන්ම අතීතයේ සිටි පිටපත්කරුවන් කළ අනගි මෙහෙවර අප සියලුදෙනා බොහෝ සෙයින් අගය කළ යුතුයි. කොහොමවුණත් බයිබලය අපගේ කාලය දක්වා සුරැකිව පැවතවිත් තිබෙන්නේ එහි කර්තෘ වන යෙහෝවා දෙවි නිසයි. ඒ නිසා ඒ වෙනුවෙන් සම්පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ ඔහුටයි. යෙහෝවා දෙවිගේ ප්‍රකාශයන් ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “තණකොළ වියළී යයි. මල පරවී යයි. නමුත් අපේ දෙවිගේ වචනය සදහටම පවතියි.”—යෙසායා 40:8NW.

[පාදසටහන]

^ 2 ඡේ. වතිකානු කෝඩෙක්ස් අත්පිටපත, වතිකානු කෝඩෙක්ස් අංක 1209 ලෙසත් කෝඩෙක්ස් වැටිකනස් ලෙසත් හඳුන්වනු ලබනවා. මේ පිටපත හැඳින්වීමට සංකේතයක් ලෙස යොදාගැනෙන්නේ “B” අක්ෂරයයි. කෝඩෙක්ස් ක්‍රමය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 2007 ජූනි 1 මුරටැඹ කලාපයේ “බයිබලය අකුළන ලියවිල්ලේ සිට පොත දක්වා ආ ගමන” නමැති ලිපිය බලන්න.

[20වන පිටුවේ කොටුව]

අත්පිටපත්වල කාලය අනුමාන කිරීම

යම් පිටපතක් නිම කළ පසු එම දිනය එහි සඳහන් කිරීමට පිටපත්කරුවන් වගබලා ගත්තා. නමුත් බොහෝ ග්‍රීක අත්පිටපත්වල එසේ සඳහන් වෙන්නේ නැහැ. එසේනම් විශාරදයන් එවැනි පිටපත්වල කාලය අනුමාන කරන්නේ කෙසේද? සාමාන්‍යයෙන් භාෂාවක් පරම්පරාවෙන් පරම්පරාවට වෙනස්වන බව අප දන්නවා. ඒ හා සමානව අත්අකුරු රටාද කාලයෙන් කාලයට වෙනස් වෙනවා. උදාහරණයකට හතරවන සියවසේදී ග්‍රීක භාෂාවේ අත්අකුරු රටාව වූයේ නොබැඳි ලොකු අකුරු ක්‍රමයයි. ඒ ක්‍රමය වසර සිය ගණනාවක් පුරා පැවතුණා. එමනිසා නොබැඳි ලොකු අකුරු ක්‍රමයෙන් පිටපත් කළ දින සහිත ලියවිලි ගෙන ඒවා නොබැඳි ලොකු අකුරු ක්‍රමයෙන් පිටපත් කළ දින නැති ලියවිලි සමඟ සැසඳීමෙන් විශාරදයන් අත්පිටපත්වල කාලය ගැන යම් නිගමනයකට පැමිණෙනවා.

නමුත් මේ ක්‍රමයෙන් සියයට සියයක්ම නිවැරදි දිනය දැනගැනීමට බැහැ. සෙමනේරියක උපදේශකයෙක් වන බෲස් මෙට්ස්ගර් මෙවැනි දෙයක් පැවසුවා. ‘සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුගේ අත්අකුරු ජීවිත කාලයටම වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා යම් අත්පිටපතක පිටපත්කරු කවුද කියා හඳුනාගත්තත් එය පිටපත් කළ දිනය නිශ්චිතවම දැනගන්න බැහැ. ඒත් එය ලියැවුණු කාල වකවානුව ගැන යම් නිගමනයකට එන්න පුළුවන්.’ මෙවැනි කරුණු කාරණා සැලකිල්ලට ගැනීමෙන් වතිකානු කෝඩෙක්ස් අත්පිටපත හතරවන සියවසේදී කරන ලද්දක් බවට විශාරදයන් අතර විශ්වාසයක් තිබෙනවා.