Skip to content

පටුනට යන්න

බිය සැක දුරු කරගන්න වෙර දැරූ කෙනෙක්

බිය සැක දුරු කරගන්න වෙර දැරූ කෙනෙක්

ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරමු

බිය සැක දුරු කරගන්න වෙර දැරූ කෙනෙක්

එදින රාත්‍රියේ ගලීල මුහුදේ ස්වභාවය වෙනදාට වඩා ටිකක් වෙනස්. ඒ බව ඔරුවේ සිටි ගෝලයන්ට සහ පේතෘස්ට දැනුණා. මොහොතකට පෙර හැමූ මද සුළඟ දැන් සැඩ සුළඟක් බවට පත් වන ලකුණු පහළ වුණා. රළ පහරත් එන්න එන්නම රළු වෙනවා. ඔරුවේ ගැටෙන රළ පහර නිසා ඉහළට විසි වෙන සීතල හිරිකඩවලින් ඔවුන්ගේ ඇඳුම් තෙත් වෙලා. මේ සියලු බාධක හමුවේ ඔවුන් ඔරුව පැදගෙන ඉදිරියටම යනවා.

ඒ අවස්ථාවේදී යේසුස් ඔවුන් සමඟ සිටියේ නැහැ. එදින යේසුස් ආශ්චර්යවත් ලෙස රොටී කිහිපයකින් සහ මසුන් කිහිපදෙනෙකුගෙන් සිය දහස් ගණනකට ආහාර සැපයූ ආකාරය ගෝලයන් දුටුවා. එම සිදුවීමෙන් පසු යේසුස්ව රජෙකු කරන්න මිනිසුන් උත්සාහ කළා. නමුත් දේශපාලන කටයුතුවලට සම්බන්ධ වෙන්න යේසුස්ට අවශ්‍ය වුණේ නැහැ. ඒ වගේම තම ගෝලයන්ද දේශපාලන කටයුතුවලින් ඉවත්ව සිටියි කියා යේසුස් ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණා. මේ නිසා මෙම සෙනඟව පිටත් කර ගෝලයන්ටද ඔරුවෙන් එගොඩට යන්න කියා යේසුස් උපදෙස් දුන්නා. ඉන්පසු ඔහුද යෙහෝවා දෙවිට යාච්ඤා කිරීමට කන්දට ගියා.—මාක් 6:35-45; යොහන් 6:14, 15.

එදා පුරසඳ පායා තිබුණ රාත්‍රියක්. ගෝලයන් වෙහෙස දරමින් වෙරළ කරා ඔරුව පදවන්න උත්සාහ කළත් සැඩ සුළඟ ඔවුන්ට ඒ සඳහා ඉඩ දෙන්නේ නැහැ. සැඩ සුළඟේ සහ රළ පහරේ හඬ නිසා ඔවුන් කතා කළ කිසිම දෙයක් එකිනෙකාට ඇසෙන්න නැතුව ඇති. මේ සියල්ල සිදු වන අතරේ පේතෘස් කල්පනාවක සිරවී සිටිනවා විය හැකියි.

පේතෘස් වසර දෙකකට වැඩි කාලයක් පුරා යේසුස්ව කිට්ටුවෙන් ආශ්‍රය කළා. ඒ නිසා මේ අවස්ථාවේදී ඔහු යේසුස් කළ කී දේවල් ගැන සිතනවා විය හැකියි. ඔහු යේසුස්ගෙන් බොහෝ දේවල් ඉගෙනගෙන තිබුණත් බිය සහ සැකය ඔහුට තවමත් විශාල ගැටලුවක්. නමුත් ඔහු ඉන් ජය ගත්තේ කෙසේද කියා අපි බලමු. එය සලකා බැලීමෙන් අප සියලුදෙනාටම ප්‍රයෝජන ගත හැකියි.

“අපට මෙසියස් සම්බ විය”

“අපට මෙසියස් සම්බ විය” යන ප්‍රීතිමත් පුවත පේතෘස්ට දැනුම් දුන්නේ ඔහුගේ සහෝදරයා වූ අන්දෘයි. ඉන්පසු අන්දෘ සහ පේතෘස් යේසුස්ව හමු වීමට ගියා. යේසුස්ව මුල් වතාවට හමු වූ ඒ දවස ඔහුට කිසිදාක අමතක නොවෙන්න ඇති. එදා සිට පේතෘස්ගේ ජීවිතය වෙනස් මඟකට යොමු වුණා.—යොහන් 1:41.

පේතෘස් ජීවත් වුණේ කපර්ණවුම කියන නගරයේ. එය පිහිටා තිබුණේ ගලීල මුහුදට යාබදවයි. පේතෘස් සහ අන්දෘ, ධීවර කර්මාන්තයේ යෙදුණේ සෙබදීගේ පුත්‍රයන් වූ යොහන් සහ යාකොබ් සමඟයි. පේතෘස් ඔහුගේ බිරිඳ, ඔහුගේ නැන්දම්මා සහ අන්දෘ යන මේ සියලුදෙනාම ජීවත් වුණේ එකම නිවසකයි. මේ සෑම කෙනෙක්ගේම අවශ්‍යතා සපුරාලීමට පේතෘස් වෙහෙස මහන්සි වී ධීවර කර්මාන්තයේ නියැලුණා. රාත්‍රී කාලයේදී ඔරුවලින් ගොස් දැල් දමා මසුන් අල්ලාගෙන ඒ දැල් වෙරළට අදින්න මේ ධීවරයින් සෑහෙන වෙහෙසක් දරන්න ඇති. දහවල් කාලයේදීද ඔවුන්ට ඒ තරම් විවේකයක් ලැබුණේ නැහැ. ඊට හේතුව අල්ලාගත් මසුන් වෙන් කිරීම, උන්ව අලෙවි කිරීම සහ දැල්වල ඉරුම් මැසීම වැනි දේවල් ඔවුන්ට කරන්න සිදු වීමයි.

අන්දෘ මිනිසුන්ව බව්තීස්ම කළ යොහන්ගේ ගෝලයෙක්. ඒ නිසා යොහන් ඉගැන්වූ දේවල් අන්දෘ පවසන විට පේතෘස් ඉතා උනන්දුවෙන් ඊට සවන් දෙන්න ඇති. දිනක් යොහන් යේසුස්ව අමතමින් “අන්න, දෙවිගේ බැටළු පැටවා” කියා පැවසුවා. ඒ අවස්ථාවේ සිට අන්දෘ යේසුස්ගේ අනුගාමිකයෙක් බවට පත් වුණා. ඉන්පසු අන්දෘ, පේතෘස් වෙතට ගොස් අපට ගැලවුම්කරුව හමු වුණා කියා පැවසුවා. (යොහන් 1:35-40) ගැලවුම්කරුවෙකුව එවන බවට දෙවි පොරොන්දු වුණේ මුල් මිනිස් යුවළ වූ ආදම් සහ ඒව දෙවිට අකීකරු අවස්ථාවේදීයි. ඒ වන විට එම පොරොන්දුව දී අවුරුදු 4,000ක් පමණ ගත වී තිබුණා. (උත්පත්ති 3:15) අන්දෘට මුණගැසී තිබුණේ දෙවි පොරොන්දු වූ එම ගැලවුම්කරුවයි. ඒ නිසා යේසුස්ව හමු වීමට පේතෘස් ඉක්මනින්ම ගියා.

පේතෘස්ට යේසුස්ව හමු වූ විට යේසුස් ඔහුට මෙසේ පැවසුවා. “ඔබ යොහන්ගේ පුත් සීමොන්ය. ඔබට සීෆස්යයි කියනු ලබන්නේය.” ග්‍රීක බසින් සීෆස් කියන්නේ පේතෘස්ටයි. (යොහන් 1:42) “සීෆස්” යන නමේ අර්ථය “පර්වතය” යන්නයි. යේසුස් ඔහුට එවැනි අර්ථයක් ඇති නමක් දැමුවේ හොඳ හේතුවක් ඇතුවයි. එනම් යම් දිනක පේතෘස් පර්වතයක් මෙන් යේසුස්ගේ අනුගාමිකයන්ට උදව් කරන ශක්තිමත් නොසැලෙන විශ්වාසවන්ත පුද්ගලයෙක් වන බව යේසුස් දැන සිටියා. එහෙත් තමාට එවැනි පුද්ගලයෙක් විය හැකි බව පේතෘස් විශ්වාස කළාද කියා සිතන්න අමාරුයි. බයිබලය කියවන ඇතැම් අය පේතෘස්ව දකින්නේ නොසැලෙන පර්වතයක් මෙන් නොව නිතරම වෙනස් වන අස්ථිර කෙනෙක් ලෙසයි.

පේතෘස් තුළ යම් යම් අඩුපාඩු තිබුණු බව යේසුස්ද දැන සිටියා. ඒ වුණත් යේසුස් තම පියා වන යෙහෝවා දෙවි මෙන් මිනිසුන්ගේ අඩුපාඩුවලට වඩා අවධානය දෙන්නේ ඔවුන් තුළ තිබෙන හොඳ ගුණාංගවලටයි. පේතෘස් තුළත් එවැනි හොඳ ගතිගුණ තිබුණ නිසා ඒවා දියුණු කරගැනීමට යේසුස් ඔහුට උදව් කළා. අද දිනත් යෙහෝවා දෙවි සහ යේසුස් අප තුළ තිබෙන හොඳ ගුණාංගවලට අවධානය දෙනවා. සමහරවිට අප තුළ එතරම් හොඳ ගුණාංග නැහැ කියා අපට සිතෙන්න පුළුවන්. නමුත් යෙහෝවා දෙවි සහ යේසුස් අප තුළ තිබෙන හොඳ ගුණාංග දකිනවා නම් අප තුළ හොඳ ගුණාංග නැහැ කියා අප සිතන්නේ කෙසේද? පේතෘස් මෙන් අපිත් අප තුළ ඇති හොඳ ගුණාංග වැඩි වර්ධනය කිරීමට යෙහෝවා දෙවිට සහ යේසුස්ට ඉඩ දිය යුතුයි.—1 යොහන් 3:19, 20.

“භය නොවන්න”

සමහරවිට යේසුස් ශුභාරංචිය දේශනා කිරීම ආරම්භ කළ කාලයේදී පේතෘස්ද ඔහු සමඟ සිටින්න ඇති. එසේවූවා නම් කානා නුවර විවාහ උත්සවයේදී වතුර වයින් බවට පත් කරමින් යේසුස් කළ මුල්ම ප්‍රාතිහාර්යයත් ඔහු දකින්න ඇති. යේසුස් දේවරාජ්‍ය ගැන පැවසූ ප්‍රීතිමත් පණිවිඩය ගැන පේතෘස් දැන සිටියා. එතරම් පුදුම දනවන දේවල් දැකීමට සහ ඇසීමට ලැබුණත් පේතෘස් ටික කාලයකින් නැවතත් ඔහුගේ ධීවර කටයුතුවලටම හැරී ගියා. නමුත් මාස කිහිපයකට පසුව පේතෘස්ට නැවත වතාවක් යේසුස්ව මුණගැසුණා. මේ වතාවේ යේසුස් තම අනුගාමිකයා වීමට පේතෘස්ට ආරාධනා කළා.

යේසුස්ට පේතෘස්ව හමු වන විට පේතෘස් වෙහෙසට පත් සිටින්න ඇති. මුළු රාත්‍රිය පුරාම ඔවුන් මසුන් ඇල්ලීමට මහත් වෙහෙසක් දරා තිබුණත් ඉන් කිසිම පලක් ලැබී තිබුණේ නැහැ. වෙනත් ධීවරයින් මෙන් පේතෘස්ද මසුන් රාශියක් අල්ලාගැනීමට සිහින මවන්න ඇති. ඒත් එදින ඒ සිහින සියල්ලම බොඳ වී ගොස් තිබුණා. ඒ නිසා මුහුදේ කිමිදී මසුන් සිටින තැන් සොයා ගොස් උන්ව අල්ලාගන්න ඇත්නම් කියා සමහරවිට ඔහුට සිතෙන්න ඇති. ඇත්තටම පේතෘස්ගේ මේ රැකියාවෙන් බොහෝදෙනෙක් ප්‍රයෝජන ලබනවා. කොහොමවුණත් එදා හිස් අතින් වෙරළට පැමිණි පේතෘස් ඇතුළු ධීවරයින්ට සිදු වුණේ තමන්ගේ දැල් පිරිසිදු කිරීම පමණයි.

යේසුස් පේතෘස්ව හමු වීමට පැමිණි අවස්ථාවේදී යේසුස්ට සවන් දීමට කැමති විශාල පිරිසක්ද ඔහු සමඟ පැමිණ සිටියා. ඒ නිසා යේසුස් පේතෘස්ගේ ඔරුවට ගොඩ වී එය වෙරළෙන් තරමක් ඈතට ගෙන යන්න කියා පැවසුවා. ඉන්පසු ඔහු ඔරුවේ වාඩි වී ගොඩබිමේ සිටි අයට උගන්වන්න පටන්ගත්තා. ගොඩබිම දෙසට හැමූ සුළඟ නිසා ඔහු පැවසූ දේවල් සියලුදෙනාට ඉතා පැහැදිලිව ඇසුණා. පේතෘස්ද ඉතා ආශාවෙන් යේසුස් ඉගැන්වූ දේවලට සවන් දුන්නා. යේසුස් ඉගැන්වූ දේවලට සවන් දෙන එක ඔහුට කිසි දිනක නිරස දෙයක් වුණේ නැහැ. යේසුස් සමඟ හවුල් වී දේවරාජ්‍යය ගැන ප්‍රීතිමත් ආරංචිය ප්‍රකාශ කිරීමට ඔහුට අවස්ථාව ලැබුණා නම් එය මොන තරම් වටිනා වරප්‍රසාදයක්ද කියා සිතා බලන්න. ඒත් ඔවුන් තම ධීවර කර්මාන්තය අතහැර මේ කාර්යයේ යෙදුණොත් ඔවුන් ජීවත් වෙන්නේ කෙසේද?—ලූක් 5:1-3.

මිනිසුන්ට උගන්වා අවසන් වූ පසු යේසුස් පේතෘස්ට මෙසේ පැවසුවා. “දියඹට ගොස් මසුන් ඇල්ලීමට දැල් හෙළන්න.” එවිට පේතෘස් යේසුස්ට පැවසුවේ “ගුරුතුමෙනි, මුළු රැයක්ම වෙහෙස වූ නමුත් අප කිසිවක් අල්ලාගත්තේ නැත. ඒත් ඔබ කියන නිසා මම දැල් හෙළමි” කියායි. එය මසුන් ඇල්ලීමට කොහෙත්ම සුදුසු වේලාවක් නොවන බව පේතෘස් දැන සිටියා. ඒ වුණත් යේසුස් පැවසූ නිසා අනික් බෝට්ටුවේ සිටි හවුල්කරුවන්ටත් ඔවුන්ගේ බෝට්ටුවෙන් තමන් සමඟ දියඹට පැමිණෙන ලෙස ඔහු සංඥා කරන්න ඇති.—ලූක් 5:4, 5.

දැල මුහුදට හෙළා එය අදින්න පටන්ගත් විට දැල ඉතාමත් බර බව ඔවුන්ට දැනුණා. ඉන්පසු ගණන් කළ නොහැකි විශාල මසුන් ප්‍රමාණයක් ඔවුන්ගේ දැලට හසු වී ඇති බව ඔවුන් දැක්කා. මේ මසුන් එක බෝට්ටුවකට දරන්න බැරි නිසා ඔවුන් බෝට්ටු දෙකටම මසුන් පටවාගත්තා. මසුන් කොතරම් ප්‍රමාණයක් අසු වී සිටියාද කියනවා නම් බෝට්ටු දෙකම ගිලෙන්න පටන්ගත්තා. මින් පෙර යේසුස් ආශ්චර්යවත් ක්‍රියා කරනවා පේතෘස් දැක තිබුණත් මේ වතාවේදී ඔහු කළ දේ පේතෘස්ට තදින්ම කාවැදුණා. ඔහුට පමණක් නොව ඔහුගේ පවුලේ අයටත් එම ක්‍රියාව මහත් බලපෑමක් ඇති කළා. ඒ අවස්ථාවේදී පේතෘස්ට යේසුස් කෙරෙහි මහත් ගෞරවයක් ඇති වී ඔහු යේසුස්ගෙන් මෙසේ ඉල්ලා සිටියා. “ස්වාමිනි, මා වෙතින් ඉවත්ව යන්න. මම පව්කාර මිනිසෙක්.” දෙවිගේ බලය පුදුමාකාර ලෙස විදහා පෙන්වූ කෙනෙකුව ඇසුරු කිරීමට තරම් තමන් වටිනා පුද්ගලයෙක් කියා සිතීමට පේතෘස්ට කවදා හෝ හැකි වෙයිද?—ලූක් 5:6-9.

යේසුස් ඉතාමත් කරුණාවෙන් ඔහුට මෙසේ පැවසුවා. “භය නොවන්න. මෙතැන් පටන් ඔබ මිනිසුන්ව පණ පිටින් අල්ලන්නෙහිය.” (ලූක් 5:10, 11) මෙය සැකයක් හෝ බියක් ඇති කරගැනීමටවත් තමන්ගේ අඩුපාඩුකම් ගැන සිතමින් කනස්සලු වීමටවත් කාලය නොවෙයි. තමන් තුළ තිබෙන දුර්වලකම් සහ අඩුපාඩුකම් ගැන පේතෘස්ට හැඟුණු ආකාරයට කිසිම පදනමක් තිබුණේ නැහැ. යේසුස් පොළොවට පැමිණියේ මුළු මිනිස් වර්ගයාගේම අනාගතයට බලපාන කාර්යයක් කිරීමටයි. ඔහු සේවය කරන්නෙත් ‘මුළු හදින්ම සමාව’ දීමට සූදානම්ව සිටින දෙවිටයි. (යෙසායා 55:7) යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබුවොත් ඔහු ඔවුන්ගේ සියලුම අවශ්‍යතා සපුරාලනවා.—මතෙව් 6:33.

පේතෘස්, යාකොබ් සහ යොහන් යේසුස්ගේ ආරාධනාව පිළිගෙන ඉක්මනින්ම ඔහුගේ ගෝලයන් බවට පත් වුණා. ඒ බව බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “ඔවුහු නැවත ඔරු ගොඩට ඇද, සියල්ලම අත්හැර ඔහු අනුව ගියහ.” (ලූක් 5:11) පේතෘස් ඒ අවස්ථාවේදී ගනු ලැබුවේ ඔහුට ගත හැකි හොඳම තීරණයයි. එවැනි තීරණයක් ගැනීමෙන් තමන්ට යේසුස් සහ දෙවි කෙරෙහි කොතරම් විශ්වාසයක් තිබෙනවාද කියා ඔහු පෙන්නුම් කළා. ඔහුට එවැනි තීරණයක් ගැනීමට හැකි වුණේ මේ වන විට ඔහු තමාගේ බියෙන් සහ සැකයෙන් යම් තාක් දුරකට ජය ගෙන තිබූ නිසයි. අද දිනත් බිය සහ සැක දුරු කරගනිමින් දෙවිට සේවය කිරීමට තීරණය කරන අය පෙන්වන්නේද තමන්ට දෙවි කෙරෙහි කොතරම් විශ්වාසයක් තිබෙනවාද යන්නයි. එවැනි අයව යෙහෝවා දෙවි කිසිදාක අමතක කරන්නේ නැහැ.—ගීතාවලිය 22:4, 5.

“ඔබ තුළ සැකයක් ඇති වීමට ඉඩ දුන්නේ මන්ද?”

මේ ලිපියේ මුලින්ම සඳහන් වූ සිදුවීම ඔබට මතකද? එය සිදු වුණේ පේතෘස්ට යේසුස්ව හමු වී වසර දෙකකට පමණ පසුවයි. එදා ගලීල මුහුදේ සැඩ සුළං හමුවේ යාත්‍රා කරන විට පේතෘස්ගේ මනසේ කුමක් තිබුණාද කියා අපි හරියටම දන්නේ නැහැ. කොහොමවුණත් ඔහුට යේසුස් කළ කී දේවල් බොහොමයක් මතක් වෙන්න ඇති. තම නැන්දම්මාව යේසුස් සුව කළ ආකාරය, කන්ද උඩ දේශනයේ තිබූ ප්‍රබල ඉගැන්වීම් ඒ අවස්ථාවේදී ඔහුට මතක් වෙන්න ඇති. ඒත් කාලයත් සමඟ බිය සහ සැකය පේතෘස්ගේ සිතට බලපෑම් කිරීමට පටන්ගෙන තිබුණා. පේතෘස්, යේසුස් තෝරාගත් ගෝලයන් 12දෙනාගෙන් කෙනෙකු වුණත් ඔහුට තවමත් ඒ ගැටලුව තිබෙනවා. ඊළඟට සිදු වූ දෙයින් ඒ බව ඔහු තේරුම්ගන්න ඇති.

හිටිහැටියේම ගලීල මුහුදේ සිටි ගෝලයන් අරුම පුදුම දෙයක් දකිනවා. ඒ වන විට වේලාව අලුයම තුනත් හයත් අතර විය හැකියි. එය දුටු විට පේතෘස් හබල් ගැසීම නතර කර ඒ දෙස පුදුමයෙන් මෙන් බලා සිටිනවා. මිනිසෙකුගේ පෙනුමට සමාන දෙයක් ඔරුව දෙසට ඇදී එන ආකාරය ඔහු දකිනවා. ඔවුන් මේ දකින්නේ රළ පහර එකිනෙක ගැටී ඉහළ නඟින හිරිකඩවලට සඳ එළිය වැටීම නිසා පෙනෙන ඡායාවක්ද? ඒත් ටිකෙන් ටික ඒ ඡායාව වඩාත් පැහැදිලිව දිස් වෙන්න පටන්ගන්නවා. එය දුටු ගෝලයන් බියට පත් වන අතර එය අවතාරයක්යැයි සිතමින් කෑගසනවා. නමුත් ඇත්තෙන්ම මේ ඔවුන් දකින්නේ අවතාරයක්ද? නැහැ. ඔවුන් මේ දකින්නේ ජලය මත ඇවිදිමින් පැමිණෙන යේසුස්වයි. ගෝලයන් බියට පත් වූ බව තේරුම්ගන්නා යේසුස් ඔවුන්ට මෙසේ පවසනවා. “ධෛර්යවත් වන්න, මේ මමය. භය නොවන්න.”—මතෙව් 14:25-27.

එවිට පේතෘස් නිර්භීතව මෙසේ පවසනවා. “ස්වාමිනි, ඒ ඔබ නම්, වතුර මත ඔබ වෙතට එන්න මට අණ කරන්න.” (මතෙව් 14:28) යේසුස් මෙන් වතුර මත ඇවිදිමින් තමාගේ විශ්වාසය තවත් ස්ථිර කරගන්න පේතෘස්ට අවශ්‍ය වූ බව පැහැදිලියි. ඒ නිසා යේසුස් ඔහුට එන්න කියා පවසනවා. පේතෘස් ඔරුවෙන් මුහුදට පය තබා යේසුස් මෙන් මුහුද මත ඇවිදින්න පටන්ගත්තා. ඒ වෙලාවේදී ඔහුට ඇති වූ හැඟීම ඔබට සිතාගත හැකිද! සමහරවිට ඔහුට එය අදහාගත නොහැකි වෙන්න ඇති. නමුත් ඔහුගේ ඒ විශ්වාසය බිඳ දැමීමට බිය සහ සැකයට වැඩි වේලාවක් ගියේ නැහැ.—මතෙව් 14:29.

යෙහෝවා දෙවිගේ බලයෙන් ජලය මත ඇවිදීමට ඔහුට උපකාර කරන්නේ යේසුස්. ඒ නිසා ඔහු සම්පූර්ණ අවදානය දිය යුතුව තිබුණේ යේසුස් වෙතටයි. එසේ ඇවිදීමට යේසුස් ඔහුට බලය දුන්නේ ඔහු තුළ තිබුණ විශ්වාසය යේසුස් දුටු නිසයි. නමුත් හිටිහැටියේම පේතෘස්ගේ අවදානය වෙනතකට යොමු වෙනවා. එය බයිබලයේ විස්තර කරන්නේ මෙසේයි. “ඔහු කුණාටුව දැක භය වුණේය.” සැඩ රළ පහර ඔරුවට වේගයෙන් වදින ආකාරය ඔහු දකිනවා. සමහරවිට එවැනි රළකට හසු වී තමාව ගිලෙන ආකාරය ඔහුගේ මනසේ මැවෙන්න ඇති. ඒ නිසා ඔහුගේ විශ්වාසය යට කරමින් බිය ඉහළ නැඟුණා. ඒ නිසා පර්වතයක් මෙන් ස්ථිරව සිටිය යුතු පේතෘස්, පර්වතයක් මෙන් මුහුදේ ගිලෙන්න පටන්ගත්තා. පේතෘස් දක්ෂ පිහිණුම්කරුවෙක් වුණත් ගිලෙන අවස්ථාවේ ඔහු “ස්වාමිනි, මාව ගලවාගන්න” කියා කෑගසනවා. එවිට යේසුස් ඉක්මනින්ම ඔහුව අතින් අල්ලා ඉහළට ඔසවාගන්නවා. ඒ මොහොතේදීම යේසුස් පේතෘස්ගේ දුර්වලකම පෙන්වීමට මෙවැනි ප්‍රශ්නයක් ඇසුවා. “ඇදහිල්ල [විශ්වාසය] හීන තැනැත්ත, ඔබ තුළ සැකයක් ඇති වීමට ඉඩ දුන්නේ මන්ද?”—මතෙව් 14:30, 31.

“සැකයක් ඇති වීමට ඉඩ දුන්නේ මන්ද” කියා යේසුස් ඇසූ ප්‍රශ්නය කොතරම් උචිතද! ඊට හේතුව සැකය ඉතා භයානක දෙයක් වීමයි. දෙවි කෙරෙහි තිබෙන අපගේ විශ්වාසය බිඳ දමා අපව දෙවිගෙන් ඈත් කිරීමට තරම් එය ප්‍රබලයි. එමනිසා සැකය අපගේ සිත් තුළට ඇතුල් වීම වැළැක්වීමට අප කළ යුත්තේ කුමක්ද? ඒ සඳහා අපේ අවදානය අනවශ්‍ය දේවලට යොමු කිරීමෙන් අපි වැළකී සිටිය යුතුයි. උදාහරණයකට අධෛර්යය කරවන දේවල් ගැන හෝ අපව වේදනාවට සහ කනස්සල්ලට පත් කරවන දේවල් ගැන සිතීමෙන් සැකය අප තුළ ඇති විය හැකියි. එසේ වුණොත් අප දෙවිගෙන් ඈත් වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා යෙහෝවා දෙවි සහ යේසුස් අපි වෙනුවෙන් කර තිබෙන දේවල්, කරමින් සිටින දේවල් සහ අනාගතයේදී කිරීමට නියමිත දේවල් ගැන නිතරම සිතමු. එසේ කිරීමෙන් සැකය අපේ සිත් තුළ ඇති වීම වළක්වාගන්න අපට හැකි වෙනවා.

පේතෘස්, යේසුස් සමඟ ඔරුවට ගොඩ වීමත් සමඟ කුණාටුව නතර වී මුළු ගලීල මුහුදම නිශ්චල වුණා. පුදුමයට පත් පේතෘස් සහ අනිකුත් ගෝලයන් මෙසේ පවසනවා. “සැබවින්ම ඔබ නම් දෙවිගේ පුත්‍රයාය.” (මතෙව් 14:33) මේ අවස්ථාවේදී පේතෘස්ගේ හදවතේ යේසුස් කෙරෙහි මහත් අගයක් මෙන්ම ගැඹුරු ගෞරවයක් ඇති වූ බවට කිසිම සැකයක් නැහැ. බිය සහ සැකය නිසා යෙහෝවා දෙවි සහ යේසුස් කෙරෙහි තිබෙන විශ්වාසය පලුදු කිරීමට ඉඩ දීම මොන තරම් අඥාන දෙයක්ද කියා ඔහුට වැටහෙන්න ඇති. පර්වතයක් මෙන් නොසැලී ස්ථිරව සිටින පුද්ගලයෙකු වීම සඳහා පේතෘස්ට ඔහුගේ ජීවිතයේ විශාල වෙනස්කම් කිරීමට තිබුණා. එවැනි පුද්ගලයෙකු වීම සඳහා තමාගේ පැත්තෙන් කළ යුතු දේ කිරීමට ඔහු කිසි දිනක පසුබට වූයේ නැහැ. ඔබත් ඒ වගේද? ඇත්තෙන්ම පේතෘස් අප සියලුදෙනාටම අනුකරණය කිරීමට වටිනා ආදර්ශයක්.

[22, 23වන පිටුවේ පින්තූරය]

පේතෘස් තුළ තිබූ හොඳ ගතිගුණ යේසුස් දුටුවා

[23වන පිටුවේ පින්තූරය]

‘ස්වාමිනි, මම පව්කාර මිනිසෙක්’

[24, 25වන පිටුවේ පින්තූරය]

‘ඔහු කුණාටුව දැක භය වුණා’