Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

‘දේවමාලිගාවේ සිටි අධීක්ෂකයාගේ’ වගකීම් මොනවාද?

පේතෘස් සහ යොහන් දේශනා කරමින් සිටි අවස්ථාවේ, ඔවුන්ව අත්අඩංගුවට ගත් යුදෙව් නායක පූජකයන් අතර “දේවමාලිගාවේ අධීක්ෂකයාද” සිටියා. (ක්‍රියා 4:1-3) නමුත් ඔහුගේ වගකීම් මොනවාද කියා බයිබලයේ සඳහන් වී නැහැ. ඒත් ඓතිහාසික වාර්තාවලින් ඔහුගේ වගකීම් ගැන යමක් දැනගත හැකියි.

යේසුස් පොළොවේ සිටි කාලයේදී දේවමාලිගාවේ අධීක්ෂණ කටයුතු කළේ පූජකයෙක් බව පෙනෙන්න තිබෙනවා. උත්තම පූජකයා හැරුණුකොට වැඩි බලතල ප්‍රමාණයක් හිමි වූයේ දේවමාලිගාවේ අධීක්ෂකයාටයි. ඔහු යෙරුසලමේ තිබූ දේවමාලිගාවේ සහ එහි අවට වැඩකටයුතු අධීක්ෂණය කළා. එමෙන්ම දේවමාලිගාවේ සිදු වූ නමස්කාර කටයුතු සහ දේවමාලිගාව ආරක්ෂා කිරීමට පත් කර තිබූ මුරකරුවන්ගේ කාර්යයන්ද ඔහු අධීක්ෂණනය කළා. ඔහු යටතේ වැඩ බලන නිලධාරීන් පිරිසක්ද සිටියා. දේවමාලිගාවේ දොරටු ඇරීම සහ වැසීම, මිනිසුන්ට ඇතුල්වීමට තහනම් කර තිබූ ස්ථානවලට යෑමෙන් මිනිසුන්ව වැළැක්වීම සහ දේවමාලිගාවේ භාණ්ඩාගාරය ආරක්ෂා කිරීම වැනි කාර්යයන් නිසි ආකාරයෙන් සිදු වෙනවාද කියා අධීක්ෂණය කළේ එම නිලධාරී පිරිසයි.

දේවමාලිගාවේ සේවය කළ පූජකයන්ව සහ ලෙවීවරුන්ව කාණ්ඩ 24කට වෙන් කර තිබුණා. ඒ නිසා ඒ එක් එක් කාණ්ඩවල සිටි අයට වසරකට දෙවතාවක් එහි සේවය කිරීමට අවස්ථාව ලැබුණා. ඒ සෑම කාණ්ඩයකටම අධීක්ෂකයෙක් පත් කර තිබූ බව පෙනෙන්න තිබෙනවා.—1 ලේකම් 24:1-18.

යේසුස්ව අත්අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණය කළ නායක පූජකයන් අතර එම අධීක්ෂකයන් සිටි බව බයිබලයේ සඳහන් වෙනවා. එමෙන්ම යේසුස්ව අත්අඩංගුවට ගන්න කියා තමන් යටතේ සිටි අයට ඔවුන් අණ කළ බවත් එහි සඳහන් වෙනවා. මෙයින් පැහැදිලි වන්නේ මෙම අධීක්ෂකයන්ට බලයක් තිබුණු බවයි.—ලූක් 22:4, 52.

යොහන් “පළඟැටියන් හා වන මී” ආහාරයට ගත් බව මතෙව් 3:4හි සඳහන් වෙනවා. ඒ අනුව අතීතයේදී ඇත්තටම පළඟැටියන්ව ආහාරයට ගැනුණාද?

මිනිසුන්ව බව්තීස්ම කළ යොහන්, ඇත්තටම පළඟැටියන්ව ආහාරයට ගත්තාද කියා සමහරු ප්‍රශ්න කරනවා. මතෙව් සඳහන් කරන පළඟැටියන්, කෙරටෝනියා ගසේ කරල් හෝ යම් පලතුරු වර්ගයක් හෝ මසුන් විශේෂයක් විය හැකියි කියා ඔවුන් පවසනවා. කොහොමවුණත් මතෙව් යොදාගෙන තිබෙන ග්‍රීක වචනය යොමු දැක්වූයේ පළඟැටි විශේෂයකටයි. අතීතයේ සිටි ඊශ්‍රායෙලිතයන් හොඳින්ම දැන සිටියේ රංචු පිටින් පැමිණ වගාවන් විනාශ කර දමන කාන්තාර පළඟැටියන්වයි.—යෝවෙල් 1:4, 7; නාහුම් 3:15.

පුරාණයේ සිටි ඇසිරියානු ජාතිකයන් හා ඉතියෝපියානු ජාතිකයන් පළඟැටියන්ව සැලකුවේ ප්‍රණීත ආහාරයක් ලෙසයි. එමෙන්ම අදටත් බෙඩුවින් ගෝත්‍රිකයන් හා ඇතැම් යුදෙව්වන් පළඟැටියන්ව ආහාරයට ගන්නවා. අතීතයේ සිටි ඊශ්‍රායෙලිතයන් අතරින් පළඟැටියන්ව ආහාරයට ගනු ලැබුවේ දිලිඳු අයයි. උන්ගේ හිස, කකුල් හා පිහාටු වැනි කොටස් ඉවත් කර කඳ කොටස වියළාගැනීමෙන්, බැදගැනීමෙන් හෝ අමුවෙන් ආහාරයට ගනු ලැබුවා. එමෙන්ම පළඟැටියන්ව ලුණු, විනාකිරි හෝ මී පැණිවල දැමීමෙන් පසුද ආහාරයට ගත්තා. එක් ඉතිහාසඥයෙක් වන හෙන්රි ඩැනියෙල්-රොප්ස් පැවසුවේ පළඟැටියන් කූනිස්සන්ගේ රසට සමාන බවයි.

යොහන් පාළුකරයේ සිටියදී ඔහු පහසුවෙන්ම පළඟැටියන්ව සොයාගන්න ඇති. (මාක් 1:4) පළඟැටියන් තුළ ප්‍රෝටීන් සියයට 75ක් පමණ අඩංගු වන නිසා උන්ව මී පැණි සමඟ ආහාරයට ගැනීමෙන් හොඳ පෝෂණයක් ලබාගත හැකි වුණා.

[28වන පිටුවේ පින්තූරය]

ඇසිරියානුවන් දෙළුම් හා පළඟැටියන් රැගෙන යන ආකාරය

[හිමිකම් විස්තර]

From the book Discoveries Among the Ruins of Nineveh and Babylon (1853)