Skip to content

පටුනට යන්න

ක්‍රිස්තියානීන්ට යුද්ධවලට හවුල් විය හැකිද?

ක්‍රිස්තියානීන්ට යුද්ධවලට හවුල් විය හැකිද?

ක්‍රිස්තියානීන්ට යුද්ධවලට හවුල් විය හැකිද?

“යුද්ධ කිරීම වැරදියි කියලා තීරණය කරන්න තියෙන ප්‍රමිතිය මොකක්ද? ඒක ලොකු ප්‍රශ්නයක්.” —ක්‍රිස්තියානි ආචාරධර්ම පිළිබඳ මහාචාර්යවරයෙක් වන ඔලිව ඕ ඩෝනවන්.

යුද්ධය හා සම්බන්ධ දේවල් ප්‍රදර්ශනය කරන විශේෂ කෞතුකාගාරයක් කැනඩාවේ තිබෙනවා. එහි පළමුවන ලෝක මහා යුද්ධය ගැන කියැවෙන චිත්‍රයක්ද දැකගත හැකියි. මිය ගිය සොල්දාදුවන්, යුද්ධය නිසා අසරණ වූ මිනිසුන්, ගම්බිම් බලා යන ජනතාව එහි චිත්‍රයට නඟා තිබෙනවා. එමෙන්ම එම චිත්‍රයේ කුරුසයක් මත ඇණ ගැසූ යේසුස්වත් දැකගත හැකියි. එවැනි චිත්‍රයක “සමාදානයේ කුමාරයා” වන යේසුස්ව ඇඳ තිබීම ගැන සමහර අය පුදුම වෙනවා. (යෙසායා 9:6) අනික් අතට තම රට දැය වෙනුවෙන් දිවි පිදූ සොල්දාදුවන්ව අගය කරන අය එම චිත්‍රය බලා සිතන්නේ දෙවි සහ යේසුස් යුධ කිරීම අනුමත කරනවා කියායි.

සියවස් ගණනාවක් පුරා ආගමික නායකයන් යුද්ධයට පක්ෂව කතා කර තිබෙනවා. උදාහරණයකට ක්‍රිස්තු වර්ෂ 417දී කතෝලික සභාවේ නායකයෙක් වූ ඔගස්ටීන් පැවසූ දේ සලකා බලන්න. “අවි ආයුධ අරන් තම රට වෙනුවෙන් සටන් වදින සෙබළුන්ව දෙවි පිළිගන්නේ නැහැ කියා සිතන්න එපා. සටන් වදින සෙබළුන්ට උපකාර කරන්න කියලා යුද්ධයට සහභාගි නොවන බොහෝදෙනෙක් යාච්ඤා කරනවා.” එමෙන්ම දහතුන් වන සියවසේ සිටි තෝමස් ඇක්වයිනස් පැවසුවේ “දිලිඳු අය වෙනුවෙන් සහ අන් අයගේ යහපත වෙනුවෙන් සටන් වැදීම සාධාරණයි” කියායි.

රට වෙනුවෙන් හෝ යහපත් අරමුණක් වෙනුවෙන් කරන යුද්ධවලට දෙවිගේ අනුමැතිය තිබෙනවාද? යුද්ධය ගැන දෙවිට හැඟෙන ආකාරය දැනගත හැක්කේ කෙසේද?

යේසුස්ගේ ආදර්ශය

ඇත්තටම යුද්ධය ගැන දෙවිට හැඟෙන ආකාරය අපට දැනගත හැක්කේ කෙසේද? පුරාණයේ සිටි ක්‍රිස්තියානියෙකු වූ පාවුල් මෙසේ පැවසුවා. ‘යෙහෝවා දෙවිට උපදෙස් දෙන පිණිස, ඔහුගේ මනස දැනගත්තේ කවුද? එහෙත් ක්‍රිස්තුස්ගේ මනස අපට තිබේ.’ (1 කොරින්ති 2:16) දෙවි අප වෙනුවෙන් යේසුස්ව මේ පොළොවට එව්වා. යේසුස් කටයුතු කළේ දෙවි කටයුතු කරන ආකාරයටමයි. ඒ නිසා යේසුස් කළ කී දේවලින් යෙහෝවා දෙවි යම් කාරණා දෙස බලන ආකාරය අපට දැනගත හැකියි. එසේනම් යේසුස්, යුද්ධ කිරීම සම්බන්ධයෙන් පැවසුවේ කුමක්ද කියා සලකා බලමු.

යේසුස්ව අත්අඩංගුවට ගැනීමට අවි ගත් සතුරන් පැමිණි අවස්ථාවේදී සිදු දෙය සලකා බලන්න. එවැනි අවස්ථාවකදී යේසුස්ගේ ජීවිතය ආරක්ෂා කිරීම වෙනුවෙන් සටන් කිරීම සාධාරණයි කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. යේසුස්ගේ ගෝලයෙකු වූ පේතෘස්ටද හැඟුණේ එලෙසයි. ඒ නිසා ඔහු තම ‘කඩුව ඇද, උත්තම පූජකයාගේ දාසයාගේ කන කපා දැමුවා.’ නමුත් ඔහු කළ දේ යේසුස් අනුමත කළාද? නැහැ. ඒ වෙනුවට යේසුස් ඔහුට මෙසේ පැවසුවා. “ඔබේ කඩුව තිබුණ තැනට ආපසු දමන්න. මන්ද කඩු ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසින්නේය.”—මතෙව් 26:47-52.

යේසුස් එසේ පැවසීම ගැන අප පුදුම විය යුතු නැහැ. ඊට හේතුව එම සිද්ධිය සිදු වීමට අවුරුදු දෙකකට පෙර යේසුස් මෙවැනි දෙයක් පවසා තිබීමයි. “‘ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න’ කියාත් ‘ඔබේ සතුරාට වෛර කරන්න’ කියාත් කී බව ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි: ඔබේ සතුරන්ට නොකඩවා ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න. ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයන් බව ඔප්පු කරන පිණිස මෙසේ කරන්න. මන්ද ඔහු දුෂ්ටයන්ටත් යහපතුන්ටත් තම හිරු උදා කරවන්නේය. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වන්නේය.” (මතෙව් 5:43-45) ඒ අනුව ක්‍රිස්තියානීන් යුද්ධවලට හවුල් වෙනවා නම් ඔවුන් යේසුස්ගේ අණට එකඟව තම සතුරන්ට ප්‍රේම කරනවා හෝ සතුරන් වෙනුවෙන් යාච්ඤා කරනවා කියා හෝ පැවසිය හැකිද?

පුරාණයේ සිටි ක්‍රිස්තියානීන්ට බොහෝ සතුරන් සිටියා. උදාහරණයකට රෝම අධිරාජ්‍යා විසින් යේසුස්ව අත්අඩංගුවට ගෙන ඔහුව මරා දැමුවා. ඉන් වැඩි කල් යෑමට පෙර ක්‍රිස්තියානීන්ට පීඩා රැසකට මුහුණ දීමට සිදු වුණා. එවැනි තත්වයක් හමුවේ අවි ආයුධ අතට ගෙන රෝමයට විරුද්ධව යුධ කිරීමට ක්‍රිස්තියානීන්ට බලපෑම් ඇති වෙයි කියා යේසුස් දැන සිටියා. ඒ නිසා ඔහු තම අනුගාමිකයන් ගැන මෙසේ පැවසුවා. “මා ලෝකයේ කොටසක් නොවන්නා සේම ඔවුහුද ලෝකයේ කොටසක් නොවෙති.” (යොහන් 17:16) යේසුස්ගේ එම වදන් හිතට ගන්නා සැබෑ ක්‍රිස්තියානීන් දේශපාලන කටයුතුවලට හවුල් නොවන අතර තමන්ට මුහුණ දීමට සිදු වන අසාධාරණකම් නිසාවත් තම රට බේරාගැනීම වෙනුවෙන්වත් යුද්ධ කරන්නේ නැහැ.

ක්‍රිස්තියානීන් සහය දුන්නේ කුමකටද?

සැබෑ ක්‍රිස්තියානීන් යුද්ධවලට හවුල් වන්නේ නැහැ. ඒ බව තේරුම්ගැනීමට කුඩා ආසියාවේ පිහිටි නගරයක් වූ ඉකෝනියේ සිදු වූ දෙයක් ගැන සලකා බලන්න. ‘අන්‍යජාතිකයන් සහ යුදෙව්වරුන් තමුන්ගේ පාලකයන් සමඟ [පාවුල්ට සහ බානබස්ට] දරුණු ලෙස නිග්‍රහ කරන්නත් ගල් ගසන්නත් උත්සාහ කළ විට, ඔවුන්ට ඒ ගැන දැනගන්න ලැබී, ලිකෝනිය, ලිස්ත්‍රාව සහ දර්බය යන නගරවලටත් ඒ අවට පිහිටි ප්‍රදේශයටත් ඔවුහු පලා ගොස් එහි ශුභාරංචිය ප්‍රකාශ කරමින් සිටියා.’ (ක්‍රියා 14:5-7) ඉහත සඳහන් සිදු වීමට අනුව දරුණු පීඩාවලට මුහුණ දීමට සිදු වුණත් ඔවුන් ආයුධ අතට ගත්තේවත් සතුරන්ගෙන් පළිගත්තේවත් නැහැ. ඒ වෙනුවට ඔවුන් දිගටම “ශුභාරංචිය ප්‍රකාශ” කළා. ඔවුන් දේශනා කළ ශුභාරංචිය කුමක්ද?

සැබෑ ක්‍රිස්තියානීන් දේශනා කරන්නේ යේසුස් දේශනා කළ පණිවිඩයමයි. යේසුස් ඒ ගැන පැවසූ දෙය සලකා බලන්න. මා “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කළ යුතුය.” (ලූක් 4:43) යේසුස් සහ ඔහුගේ අනුගාමිකයන් දේවරාජ්‍යයට උපරිමයෙන් සහය වුණා. නමුත් ඔවුන් කිසිම දාක ඒ වෙනුවෙන් සටන් කළේ නැහැ. එයට හේතුව යේසුස් මෙසේ පැහැදිලි කළා. “මාගේ රාජ්‍යය මේ ලෝකයේ කොටසක් නොවේ. මාගේ රාජ්‍යය මේ ලෝකයේ කොටසක් වූවා නම්, මාව යුදෙව්වරුන් අතට පාවා දෙනු නොලබන පිණිස මා යටතේ සිටින්නන් සටන් කරනවා ඇත. නමුත් මාගේ රාජ්‍යය මේ ලෝකයෙන් නොවේ.—යොහන් 18:36.

“ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්”

“ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත” කියා යේසුස් පැවසුවා. (යොහන් 13:35) ඒ අනුව ‘යුද්ධවලට හවුල් නොවීම’ සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්නා ලකුණක් කියා පැවසිය හැකියි. යුද්ධවලට හවුල් නොවීම නිසා ඔවුන්ට දරුණු පීඩා, සිරගත කිරීම් හා මරණය පවා අද්දකින්න සිදු වී තිබෙනවා. ඒ වුණත් ඔවුන් කිසිදාක යුද්ධවලට හවුල් වන්නේ නැහැ. ඊට හේතුව ඔවුන් අන් අයට ප්‍රේම කිරීමයි. එවැනි පිරිසක් සිටීම ගැන අද මිලියන ගණන්දෙනා සතුටු වෙනවා.

නාට්සි හමුදාව යුරෝපය යටත් කරගත් අවස්ථාවේදී යුද්ධයට හවුල් නොවූ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 10,000දෙනෙකුව පමණ සිරගත කළා. ඔවුන් අතරින් 3,000දෙනෙකු පමණ ගාල් කඳවුරුවලට යවනු ලැබුවා. ඒ කාලයේදීම යුද්ධයට සහභාගි නොවීම නිසා ඇමරිකා එක්සත් ජනපදයේ සිටි සාක්ෂිකරුවන් 4,300කට වඩා වැඩි පිරිසක්ව සිරගත කළා. කොහොමවුණත් ජර්මනියේ හෝ ඇමරිකාවේ සිටි සාක්ෂිකරුවන් අවි ආයුධ අතට ගෙන එම රටවල සිටි තම ක්‍රිස්තියානි සහෝදරයන්ට විරුද්ධව හෝ සෙසු අයට විරුද්ධව යුද්ධ කිරීමට කැමති වුණේ නැහැ. ඔවුන් යුද්ධයට හවුල් වුණා නම් ඔවුන් එකිනෙකාට ප්‍රේම කරනවා කියා පැවසිය හැකිද?

ජීවිතය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් යුද්ධ කිරීම සාධාරණයි කියා ඇතැමුන් සිතනවා. කොහොමවුණත් පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන් දරුණු පීඩා හමුවේ වුණත් සතුරන්ට විරුද්ධව යුද්ධ කළේ නැහැ. ඒත් ඔවුන්ගේ ජීවිත බේරුණා. ඔවුන්ව සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට රෝම අධිරාජ්‍යයාටවත් හැකි වුණේ නැහැ. අද සිටින සැබෑ ක්‍රිස්තියානීන්ද යම් අසාධාරණකම්වලට මුහුණ දෙන විට ඊට විරුද්ධව යුධ කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කුමන තත්වයකට මුහුණ දුන්නත් ඉතා ඕනෑකමින් යෙහෝවා දෙවිගේ උපකාරය සහ මඟ පෙන්වීම් පතනවා. ඔවුන් එසේ කරන්නේ යුක්තිය ඉටු කරමින් දඬුවම් කිරීමේ අයිතිය තිබෙන්නේ යෙහෝවා දෙවිට පමණක් බව ඔවුන් පිළිගන්නා නිසයි.—රෝම 12:19.

[30වන පිටුවේ කොටුව]

දෙවි අනුමත කළ යුද්ධ

යෙහෝවා දෙවි පුරාණයේ සිටි ඊශ්‍රායෙල්වරුන්ව විශේෂ ජාතියක් ලෙස තෝරාගත්තා. ඒ කාලයේදී ඊශ්‍රායෙල් සෙනඟ අතර සිටි යුධ සෙබළුන් තම සතුරන්ට විරුද්ධව සටන් කළේ දෙවිගේ අනුමැතිය ඇතුවයි. උදාහරණයකට කානාන් දේශයට ඇතුල් වීමට පෙර යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පැවසූ දේ මෝසෙස් මෙසේ සිහිපත් කළා. යෙහෝවා දෙවි ‘ජාතීන් හතම ඔබේ ඇස් පනාපිටම ඉවත් කර ඔබට ඒ දේශය උරුම කර දෙයි. දෙවි ඒ ජාතීන්ව නිසැකවම ඔබේ අතට හසු කර දෙන නිසා ඔවුන්ව පරාජය කරන්න ඔබට පුළුවන් වෙයි. ඔබ ඔවුන්ව සහමුලින්ම විනාශ කළ යුතුයි. ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගන්නවත් ඔවුන්ට කිසි අනුකම්පාවක් පෙන්වන්නවත් එපා.’ (ද්විතීය කතාව 7:1, 2, නව ලොව පරිවර්තනය, NW) එමනිසා “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා අණ කළ ලෙස” යොෂුවා ඇතුළු ඔහු යටතේ සිටි ඊශ්‍රායෙල් හමුදාව ඒ සතුරු ජාතීන්ව විනාශ කළා.—යොෂුවා 10:40NW.

ඔවුන් සටන් කළේ වෙනත් ජාතීන් සතු දේවල් ලබාගැනීමටද? නැහැ. ඒ ජාතීන් අතර රූප නමස්කාරය, මිනි මැරීම් සහ අනාචාරය වැනි දෙවි හෙළාදුටු ක්‍රියා බහුලව දක්නට තිබුණා. එමෙන්ම ඔවුන් දරුවන්ව පවා ගින්නට දමා පූජා කළා. (ගණන් කතාව 33:52; යෙරෙමියා 7:31) දෙවි ශුද්ධ කෙනෙක් නිසාත් යුක්තිසහගත කෙනෙක් නිසාත් තම සෙනඟව එවැනි නරක දේවලින් ආරක්ෂා කරගැනීම සඳහාත් ඒ ජාතීන්ව සම්පූර්ණයෙන්ම නැති කර දමන්න කියා පැවසුවා. නමුත් ඒ සෙනඟ අතර සිටි අවංක හදවත් තිබූ අයව දෙවි ගලවාගත්තා. යෙහෝවා දෙවිට එසේ කිරීමට හැකි වුණේ ඔහුට මිනිසුන්ගේ හදවත් කියවීමට හැකියාව තිබෙන නිසයි. අද සිටින යුධ සේනාධිපතියෙකුට එලෙස මිනිසුන්ගේ හදවත් කියවා යහපත් අයව බේරාගැනීමට හැකියාව තිබෙනවාද?

[31වන පිටුවේ පින්තූරය]

ඔහු වෙනුවෙන් හෝ සෙසු ක්‍රිස්තියානීන් වෙනුවෙන් සටන් කරන්න කියා යේසුස් ඉගැන්වුවාද?

[31වන පිටුවේ පින්තූරය]

1945දී බුකන්වෝල්ඩ් ගාල් කඳවුරෙන් නිදහස ලැබූ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පිරිසක්