Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ රෙපරමාදු ආගමක්ද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ රෙපරමාදු ආගමක්ද?

පාඨකයන් අසයි

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ රෙපරමාදු ආගමක්ද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රෙපරමාදු ආගමක් නොවේ. එසේ පැවසීමට හේතුව කුමක්ද?

රෙපරමාදු ආගම ඇති වුණේ රෝමානු කතෝලික සභාවේ තිබූ ඉගැන්වීම් වෙනස් කර එය නඟා සිටුවීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. එය සිදු වූයේ 16වන සියවසේදීයි. ඊට මුල් වූ තැනැත්තා ලෙස මාර්ටින් ලූතර්ව හැඳින්විය හැකියි. රෙපරමාදු ආගමටම ආවේණික වූ ලක්ෂණ කිහිපයක් ගැන එක් ශබ්දකෝෂයක සඳහන් වෙනවා. ඒවා අතර පාප්වරයාගේ පාලනය ප්‍රතික්ෂේප කිරීම, ගැලවීම රඳා පවතින්නේ දෙවි කෙරෙහි විශ්වාස කිරීමෙන් බව පිළිගැනීම, ඕනෑම භක්තිවන්තයෙකුට පූජකයෙකු සේ කටයුතු කිරීමට අයිතිය ඇති බව විශ්වාස කිරීම සහ සත්‍යය අවබෝධ කරගැනීමට බයිබලය මත රඳා සිටිය යුතු බව විශ්වාස කිරීම සඳහන් කළ හැකියි. එම කරුණු සියල්ල පිළිගන්නා රෝමානු කතෝලික සභාවට අයිති නැති සියලුම ක්‍රිස්තියානි ආගම් හඳුන්වන්නේ රෙපරමාදු ආගම් ලෙසයි.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද පාප්වරුන්ගේ පාලනය පිළි නොගන්නා අතර සත්‍යය දැනගැනීමට බයිබලය මත රඳා සිටිනවා. නමුත් සාක්ෂිකරුවන් රෙපරමාදු ආගම්වලට වඩා වෙනස්. ආගම් පිළිබඳ ශබ්දකෝෂයක සාක්ෂිකරුවන්ව හඳුන්වා තිබුණේ “අසමසම” ආගමක් ලෙසයි. රෙපරමාදු ආගම්වලට වඩා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙනස් වන ආකාර තුනක් අපි සලකා බලමු.—එම ශබ්දකෝෂය The Encyclopedia of Religion.

1. රෙපරමාදු ආගම් කතෝලික සභාවේ ඇතැම් ඉගැන්වීම් ප්‍රතික්ෂේප කළද ත්‍රිත්වය, නරකාදිය සහ අමරණීය ආත්මය වැනි ඉගැන්වීම් පිළිගන්නවා. නමුත් එම ඉගැන්වීම් සාක්ෂිකරුවන් පිළිගන්නේ නැහැ. එවැනි ඉගැන්වීම්වලින් දෙවිගේ නාමය අපකීර්තියට පත් වන අතර ඒවා බයිබලයට පටහැනි බවද ඔවුන් පිළිගන්නවා.—මේ සඟරාවේ 4 සිට 7 දක්වා පිටු බලන්න.

2. රෙපරමාදු ආගම් බිහි වුණේ කතෝලික ආගමේ ඉගැන්වීම්වලට විරුද්ධ වීමේ අරමුණ පෙරදැරි කරගෙනයි. නමුත් සාක්ෂිකරුවන්ගේ අරමුණ එය නොවේ. ඔවුන් බයිබලයේ ඇති මෙම උපදෙස හොඳින් සිතට ගෙන තිබෙනවා. “ස්වාමීන්ගේ දාසයෙකුට දබර කිරීමට අවශ්‍ය නැත. ඒ වෙනුවට ඔහු සියල්ලන් කෙරෙහි මෘදු ලෙස කටයුතු කිරීම අවශ්‍යය. එමෙන්ම, ඔහු ඉගැන්වීමට සුදුසුකම් ඇතිව සිටින්නත්, නපුර ඉවසා දරාගෙන සිටින්නත්, කැමැත්තක් නොදක්වන අයට මෘදුකමින් යුක්තව උගන්වන්නත් අවශ්‍යය.” (2 තිමෝති 2:24, 25) ඇතැම් අවස්ථාවලදී ආගම්වලින් උගන්වා තිබෙන බයිබලයට පටහැනි ඉගැන්වීම් මොනවාද කියා සාක්ෂිකරුවන් ප්‍රකාශ කරනවා. නමුත් ඔවුන් එසේ කරන්නේ එම ඉගැන්වීම් වෙනස් කර එවැනි ආගම් නඟා සිටු වීම සඳහා නොවෙයි. ඒ වෙනුවට ඔවුන් එසේ කරන්නේ දෙවි ගැනත් බයිබලය ගැනත් ඉගෙනගැනීමට කැමැත්තෙන් සිටින අයට උපකාර කිරීම සඳහායි. (කොලොස්සි 1:9, 10) සාක්ෂිකරුවන්ගේ ආගමික විශ්වාසයන් අන් අය පිළි නොගත්තත් ඔවුන් වාද විවාදවලට පැටලෙන්නේ නැහැ.—2 තිමෝති 2:23.

3. රෙපරමාදු ආගම් විවිධ නිකායන් සිය ගණනකට බෙදී තිබෙනවා. ඒත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විවිධ නිකායන්වලට බෙදී නැහැ. ඔවුන් රටවල් 230කට වඩා වැඩි ගණනක ව්‍යාප්තව සිටියත් ඔවුන් කටයුතු කරන්නේ එකම සහෝදර කැලක් ලෙසයි. ‘එකඟතාවෙන් යුතුව කතා කරන්න’ කියා බයිබලයේ දී ඇති උපදෙස ඔවුන් සිතට ගන්නා නිසා බයිබලයේ ඇති ඉගැන්වීම් ගැන ඔවුන් අතර එකිනෙකට පටහැනි අදහස් නැහැ. එමෙන්ම බයිබලයේ දී ඇති ඉගැන්වීම් ගැන ඔවුන් එක හා සමාන ආකල්පයක් දරන අතර එම ඉගැන්වීම් ගැන කල්පනා කරන ආකාරයද එකිනෙකාට සමානයි. (1 කොරින්ති 1:10) දෙවිගේ උපකාරය ඇතුව ඔවුන් එක්සත්ව සමාදානයෙන් සිටිනවා.—එෆීස 4:3.