Skip to content

පටුනට යන්න

දෙවිගේ සිත සතුටු කරන යාච්ඤා

දෙවිගේ සිත සතුටු කරන යාච්ඤා

දෙවිගේ සිත සතුටු කරන යාච්ඤා

“යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයා වන මාගේ යාච්ඤාවට සවන් දෙන්න.”—නෙහෙ. 1:11 නව ලොව පරිවර්තනය, NW.

1, 2. බයිබලයේ වාර්තා කර ඇති යාච්ඤා ගැන සලකා බැලීම ප්‍රයෝජනවත් වන්නේ ඇයි?

යාච්ඤාව හා බයිබලය අධ්‍යයනය කිරීම සැබෑ නමස්කාරයේ වැදගත් අංගයන් දෙකක්. (1 තෙස. 5:17; 2 තිමෝ. 3:16, 17) බයිබලය යාච්ඤා පොතක් නොවුණත් එහි බොහෝ යාච්ඤා සඳහන් කර තිබෙනවා. ගීතාවලිය පොත ඊට හොඳ උදාහරණයක්.

2 ඔබ බයිබලය කියවන විට හා අධ්‍යයනය කරන විට ඔබට මුහුණ දීමට සිදු වන තත්වයන්ට සමාන තත්වයන්ට මුහුණ දුන් අයගේ යාච්ඤා ඔබට සොයාගන්න පුළුවන්. ඒවායේ ඇති අදහස් ඔබගේ යාච්ඤාවලට ඇතුළත් කරගන්නා විට දෙවිගේ සිත සතුටු කරන ආකාරයෙන් යාච්ඤා කරන්න ඔබට පුළුවන්. දැන් අපි එවැනි යාච්ඤා ඉදිරිපත් කළ අය ගැන හා ඒවායෙහි ඇතුළත් වුණු දේවල් ගැන සලකා බලමු.

දෙවිගේ මඟ පෙන්වීම් සොයා ඒවා පිළිපදින්න

3, 4. ආබ්‍රහම්ගේ සේවකයාට පැවරුණු කාර්යය කුමක්ද? දෙවි ඔහුට උපකාර කළ ආකාරයෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

3 ඔබ නිතරම මඟ පෙන්වීම් ඉල්ලා යාච්ඤා කළ යුතු බව බයිබලය අධ්‍යයනය කිරීම තුළින් ඔබට වැටහේවි. ඒ සම්බන්ධයෙන් මේ සිද්ධිය සලකා බලන්න. දෙවිට ගරුබිය දක්වන භාර්යාවක් තම පුත්‍රයාට සොයා දීමට ආබ්‍රහම්, ඔහුගේ වැඩිමහල්ම සේවකයාව මෙසපොතේමියාවට පිටත් කර හැරියා. ඔහු එලියේසර් විය හැකියි. ඔහු එහි ගොස් ළිඳක් අසල සිටි තරුණියන්ව දැක දෙවිට මෙසේ යාච්ඤා කළා. ‘යෙහෝවා දෙවියනි, මම එක් තරුණියකගෙන්, ඔබේ කළය ඇල කර මට වතුර ටිකක් බොන්න දෙන්න පුළුවන්ද කියා අහන්නම්. ඇයද, බොන්න. මම ඔබේ ඔටුවන්ටත් වතුර ඇද දෙන්නම් කියා පැවසුවොත්, ඔබේ සේවකයා වන ඊසාක්ට ඔබ තෝරා දෙන තැනැත්තිය ඇයයි. ඔබ මේ විදිහට වෙන්න සැලැස්සුවොත් මගේ ස්වාමියාට ඔබ බොහෝ සෙයින් ප්‍රේම කරන බව මම දැනගන්නවා.’—උත්. 24:12-14NW.

4 ඉන්පසු එක් තරුණියක් ඔහුටත් ඔහුගේ ඔටුවන්ටත් වතුර ලබා දුන් විට ඔහුගේ යාච්ඤාවට පිළිතුරු ලැබුණු බව ඔහු දැනගත්තා. ඇගේ නම රෙබෙකායි. පසුව ඔහු සමඟ ඇය කානාන්වලට ගොස් එහිදී ඊසාක් සමඟ විවාහ වුණා. ඒ අවස්ථාවේදී සිදු වුණා හා සමාන විශේෂ දෙයක් සමහරවිට අද ඔබට බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් ඔබ යෙහෝවා දෙවි ලබා දෙන මඟ පෙන්වීම්වලට කීකරු වීමට සූදානමින් සිට යාච්ඤා කරනවා නම් ඔහු ඔබට අනිවාර්යයෙන්ම උපකාර කරනවා.—ගලා. 5:18.

කනස්සල්ල අඩු කරගැනීමට යාච්ඤාව උපකාරයක්

5, 6. යාකොබ් කළ යාච්ඤාවේ ඇති වැදගත්කම කුමක්ද?

5 කනස්සල්ල අඩු කරගැනීමට යාච්ඤාව බොහෝ සෙයින් උපකාරවත් වෙනවා. ඒ ගැන මේ උදාහරණය සලකා බලන්න. තම නිවුන් සහෝදරයා වන ඒසව්ගෙන් තමන්ට අනතුරක් වෙයි කියා සිතූ යාකොබ් මෙසේ යාච්ඤා කළා. ‘දෙවි වන යෙහෝවා, ඔබේ සේවකයා වන මට ඔබ පෙන්වූ ප්‍රේමය හා විශ්වාසවන්තකම මොන තරම්ද! නමුත් මම ඒ කිසිම දෙයක් ලබන්න තරම් වටින පුද්ගලයෙක් නෙවෙයි. අනේ, මගේ සහෝදරයා වන ඒසව්ගේ අතින් මාව ගලවාගන්න. ඔහු ඇවිත් මටත් මගේ දරුවන්ටත් ඔවුන්ගේ මව්වරුන්ටත් පහර දෙයි කියා මට ලොකු භයක් දැනෙනවා. මම ස්ථිරවම ඔබට ආශීර්වාද කර ඔබෙන් පැවතෙන්නන්ව මුහුදේ වැලි මෙන් ගණන් කළ නොහැකි තරමට වැඩි කරන්නෙමි කියා ඔබ මට පොරොන්දු වූ බව සිහි කරන මෙන් මම ඔබෙන් ඉල්ලනවා.’—උත්. 32:9-12NW.

6 ආරවුලක් සිදු වීම වළක්වාගන්න යාකොබ් යම් ක්‍රියාමාර්ගයක් ගත්තත් ඒසව් සමඟ නැවත මිත්‍ර වෙන්න සැලැස්වීමෙන් දෙවි ඔහුගේ යාච්ඤාවට පිළිතුරු දුන්නා. (උත්. 33:1-4) ඔබත් යාකොබ් කළ යාච්ඤාව ඉතා පරෙස්සමෙන් කියවනවා නම් ඔහු නිකම්ම උපකාරය පමණක් නොඉල්ලූ බව ඔබට වැටහේවි. ඒ වෙනුවට ඔහු පොරොන්දු වූ තැනැත්තා ගැන දෙවි පැවසූ දේවල් විශ්වාස කළ බවත් ඔහුගේ මහත් කරුණාව අගය කරන බවත් දෙවිට පැවසුවා. ඔබත් යාකොබ් මෙන් ‘ඇතුළතින් ඇති බිය’ නිසා සිටින්නේ කනස්සල්ලෙන්ද? (2 කොරි. 7:5) එසේනම් කනස්සල්ල අඩු කරගන්න යාච්ඤාව ඔබට උපකාරවත් වේවි. නමුත් යාච්ඤාවට ඇතුළත් කළ යුත්තේ ඉල්ලීම් පමණක් නෙවෙයි. ඔබට දෙවි කෙරෙහි ශක්තිමත් විශ්වාසයක් ඇති බවත් යාච්ඤාවේදී සඳහන් කළ යුතුයි.

ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කරන්න

7. දෙවිගේ මාර්ග ගැන අවබෝධය ලබා දෙන්න කියා මෝසෙස් යාච්ඤා කළේ ඇයි?

7 ඔබ ප්‍රඥාව ඉල්ලාද යාච්ඤා කළ යුතුයි. ඉන් ඔබ පෙන්වන්නේ දෙවිගේ කැමැත්ත කරන්න ඔබ තුළ ආශාවක් ඇති බවයි. මෝසෙස්ද දෙවිගේ මාර්ග ගැන අවබෝධයක් ලබා දෙන්න කියා මෙසේ ඉල්ලා සිටියා. ‘මේ සෙනඟව [ඊජිප්තුවෙන්] රැගෙන යන්න’ කියා [යෙහෝවා දෙවි වන] ඔබ මට පවසනවා. මම ඔබට ප්‍රසන්න කෙනෙක් නම් ඔබේ මාර්ග මට කියා දෙන්න. එවිට හැමදාමත් ඔබට ප්‍රසන්න කෙනෙක් ලෙස ජීවත් වීමට මට හැකි වෙයි.’ (නික්. 33:12, 13NW) ඊට පිළිතුරක් ලෙස දෙවි ඔහුගේ අවබෝධය තවත් වැඩි කළා. සෙනඟට මඟ පෙන්වීමට එය ඔහුට අත්‍යවශ්‍ය දෙයක් වුණා.

8. පළමුවන රාජාවලිය 3:7-14හි ඇති තොරතුරු ගැන කල්පනා කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

8 “යෙහෝවා දෙවියනි, ඔබේ මාර්ග දැනගැනීමට මට උපකාර කරන්න” කියා දාවිත්ද යාච්ඤා කළා. (ගීතා. 25:4NW) ඔහුගේ පුත්‍රයා වූ සලමොන්ද ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කරන්න අවශ්‍ය ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කළා. සලමොන් කළ යාච්ඤාව ගැන යෙහෝවා දෙවි සතුටු වූ අතර ඔහුට ප්‍රඥාව පමණක් නොව ධනය හා ගෞරවයද ලබා දුන්නා. (1 රාජාවලිය 3:7-14 කියවන්න.) සභාවෙන් ලැබෙන අමතර වගකීමක් ඉටු කරන්න අමාරුයි කියා ඔබට සිතෙනවා නම් ඒ ගැන යාච්ඤා කරන්න. ඉන් පසු ඔබ ඔහුගේ මඟ පෙන්වීම් සොයා ඊට යටත් වෙනවා නම් ඔබට එම වගකීම් නිසි ලෙස හා ප්‍රේමණීය ආකාරයකින් ඉටු කිරීමට අවශ්‍ය ප්‍රඥාව දෙවි ලබා දෙන බව නිසැකයි.

මුළු හදවතින්ම යාච්ඤා කරන්න

9, 10. ඔබගේ සිත්ගත්තේ සලමොන් කළ යාච්ඤාවේ කුමන වැදගත් තොරතුරුද?

9 ඔබගේ යාච්ඤාවලට දෙවි ඇහුම්කන් දෙන්නේ එය ඔබ මුළු හදවතින්ම කරනවා නම් පමණයි. සලමොන් රජ කළ එවැනි යාච්ඤාවක් පළමුවන රාජාවලිය අටවන පරිච්ඡේදයේ සඳහන් වී තිබෙනවා. ඔහු එය කළේ ක්‍රිස්තු පූර්ව 1026 දේවමාලිගාව කැප කළ අවස්ථාවේදී රැස්ව සිටි සෙනඟ ඉදිරියේයි. ඒ වගේම ගිවිසුම් පෙට්ටිය අති ශුද්ධස්ථානයේ තැබීමෙන් පසුව, යෙහෝවා දෙවිගේ පැමිණ සිටීම සංකේතවත් කරමින් වලාකුළකින් දේවමාලිගාව පිරුණු අවස්ථාවේදීද සලමොන් රජ දෙවිට ප්‍රශංසා කළා.

10 ඔහු කළ එම යාච්ඤාව ඔබත් අධ්‍යයනය කරන්න. පුද්ගලයෙකුගේ සිතේ ඇති දේ දන්නේ යෙහෝවා දෙවි පමණක් බව සලමොන් රජ එහිදී පැවසුවා. (1 රාජා. 8:38, 39) එමෙන්ම පව්කාරයෙකු “මුළු හදවතින්ම” දෙවි වෙතට හැරුණොත් ඔහුට බලාපොරොත්තුවක් තිබෙන බවත් සලමොන් පැවසුවා. එයින් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවිගේ සෙනඟ මුළු හදවතින්ම ඔහුට විශ්වාසවන්තව සිටිනවා නම් ඔවුන්ට පීඩා පැමිණෙන විට ඔවුන් කරන යාච්ඤාවලට දෙවි ඇහුම්කන් දෙන බවයි. (1 රාජා. 8:48, 58, 61) එසේනම් ඔබගේ මුළු හදවතින්ම යාච්ඤා කිරීම කොයි තරම් වැදගත්ද!

ගීතිකාවලින් ඔබට ඉගෙනගත හැකි දේ

11, 12. ලෙවීවරයාගේ ගීතිකාවෙන් ඔබ ඉගෙනගන්නේ කුමක්ද?

11 බයිබලයේ සඳහන් ගීතිකා අධ්‍යයනය කිරීමෙන් ඔබගේ යාච්ඤා අර්ථවත් කරගන්න පුළුවන්. එමෙන්ම යාච්ඤාවකට පිළිතුරු ලැබෙන තෙක් බලා සිටීමටත් ඒවා ඔබට උපකාර කරයි. පිටුවහල් කරනු ලැබූ ලෙවීවරයෙකුගේ ඉවසීම ගැන සඳහන් මේ සිද්ධිය සලකා බලන්න. දේවමාලිගාවේ සේවය කිරීමට ඔහුට බොහෝ කාලයක් බලා සිටීමට සිදු වුණා. ඒ වුණත් ඔහු මෙසේ ගායනා කළා. “මම තවදුරටත් හදවතින් වේදනා විඳින්නේ මන්ද? මම තවදුරටත් නොසන්සුන්ව සිටින්නේ මන්ද? දෙවි ක්‍රියා කරන තෙක් මම ඉවසීමෙන් බලා සිටින්නෙමි. ඉදිරියේදී ඔහු මට ගැලවීම සලසා දෙනු ඇත. එබැවින් මාගේ ශ්‍රේෂ්ඨ ගැලවුම්කරුද මාගේ දෙවිද වන ඔහුට මම ප්‍රශංසා කරන්නෙමි.”—ගීතා. 42:5, 11; 43:5NW.

12 ලෙවීවරයාගෙන් ඔබට ඉගෙනගන්න පුළුවන් මොනවාද? දෙවිට දක්වන විශ්වාසවන්තකම නිසා ඔබට සිරගත වීමට සිදු වුණොත් සහෝදරයන් සමඟ එකතු වී දෙවිට නමස්කාර කරන්න යම් කලකට ඔබට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එවැනි අවස්ථාවක දෙවි ඔබ වෙනුවෙන් ක්‍රියා කරන තුරු ඉවසිලිවන්තව බලා සිටින්න. (ගීතා. 37:5) ඒ වගේම දිගටම විශ්වාසවන්තව සිටීමටද ඔහුගෙන් උපකාර ඉල්ලන්න. සහෝදරයන් සමඟ ගත කළ ප්‍රීතිමත් කාලය ගැන කල්පනා කිරීමද ඔබට ප්‍රයෝජනවත් වෙයි.

විශ්වාසයකින් යුතුව යාච්ඤා කරන්න

13. යාකොබ් 1:5-8ට අනුව ඔබ ස්ථිර විශ්වාසයකින් දෙවිට යාච්ඤා කළ යුත්තේ ඇයි?

13 ඔබ දෙවිට දක්වන විශ්වාසවන්තකමට අභියෝග ඇති විය හැකියි. ඒවා ජය ගැනීමට අවශ්‍ය ප්‍රඥාව දෙවි ලබා දෙන බවට වූ විශ්වාසය ඇතුව ඔහුට යාච්ඤා කරන්න. (යාකොබ් 1:5-8 කියවන්න.) ඔබේ සිතට වධ දෙන දේවල් ගැන දෙවිට හොඳ අවබෝධයක් තිබෙනවා. එමෙන්ම ඔහුගේ බලය තුළින් ඔබට සහනය හා අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙන්නද ඔහුට හැකියි. ඒ නිසා ‘කිසිසේත් සැක නොකර’ ඔබට හැඟෙන සියල්ල දෙවිට පවසන්න. ඒ වගේම ඔහුගේ බලය තුළින් හා ඔහුගේ වචනය තුළින් ලබා දෙන මඟ පෙන්වීම්ද පිළිගන්න.

14, 15. හන්නා යාච්ඤා කළේ සහ ක්‍රියා කළේ දෙවි කෙරෙහි ස්ථිර විශ්වාසයක් ඇතුව බව පවසන්න පුළුවන් කොහොමද?

14 එල්කානාගේ භාර්යාවක් වන හන්නා විශ්වාසයකින් යුතුව දෙවිට යාච්ඤා කළා. ඇයට දරුවන් නොසිටි නිසා ඇය නිතරම දරුවන් සිටි ඔහුගේ අනික් භාර්යාව වන පෙනින්නාගේ සරදමට ලක් වුණා. කෙසේවෙතත් තමාට පුත්‍රයෙක් ලැබුණොත් ඔහුව දෙවිගේ සේවය සඳහා කැප කරන බව හන්නා දෙවිට පොරොන්දු වුණා. ඇය ඒ ගැන යාච්ඤා කරන විට ඇගේ තොල් පමණක් සෙලවෙන බව දුටු උත්තම පූජක ඒලී සිතුවේ ඇය බීමත්ව සිටිනවා කියායි. නමුත් ඇය සිටි සැබෑ තත්වය තේරුම්ගත් පසු ඔහු ඇයට මෙසේ පැවසුවා. “ඊශ්‍රායෙල්හි දෙවි ඔබේ ඉල්ලීම ඉටු කර දෙනු ලැබේවා!” තම යාච්ඤාවට මොන වගේ පිළිතුරක් ලැබෙයිද කියා හන්නා නොදැන සිටියත් ඇගේ යාච්ඤාවට අනිවාර්යෙන්ම පිළිතුරක් ලැබෙන බවට ඇය තුළ විශ්වාසයක් තිබුණා. ඒ නිසා තවදුරටත් ‘ඇගේ මුහුණ මලානිකව තිබුණේ නැහැ.’—1 සාමු. 1:9-18NW.

15 පසුව හන්නාට සාමුවෙල් නම් පුතෙක් ලැබුණා. ඔහු කිරි වැරූ පසු හන්නා ඔහුව දෙවිගේ ගෘහයේ සේවය කිරීම සඳහා ලබා දුන්නා. (1 සාමු. 1:19-28) ඇය කළ යාච්ඤාව ගැන කල්පනා කරනවා නම් අර්ථවත් ලෙස යාච්ඤා ඉදිරිපත් කරන්න ඔබටත් පුළුවන්. ඉතා අමාරු අවස්ථාවලදී පවා ස්ථිර විශ්වාසයක් ඇතුව යාච්ඤා කිරීමෙන් දුක දරාගත හැකි බව ඉන් ඔබට ඉගෙනගත හැකියි. එවැනි යාච්ඤාවලට දෙවි පිළිතුරු දෙන බව ස්ථිරයි.—1 සාමු. 2:1-10.

16, 17. නෙහෙමියා දෙවි කෙරෙහි මහත් විශ්වාසයකින් යාච්ඤා කළ නිසා සිදු වුණේ කුමක්ද?

16 දෙවිගේ සේවකයෙක් වන නෙහෙමියාද විශ්වාසයක් ඇතුව දෙවිට යාච්ඤා කළා. අර්තක්ෂස්තා රජගේ කුසලාන දරන්නෙක් ලෙස සේවය කළ ඔහු එක් අවස්ථාවක මෙසේ අයැද සිටියා. “යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයා වන මාගේ යාච්ඤාවට සවන් දෙන්න. ඔබේ නාමයට ගරුබිය දැක්වීමෙන් මහත් ප්‍රීතියක් ලබන ඔබේ අනික් සේවකයන්ගේ යාච්ඤාවලටත් ඇහුම්කන් දෙන්න. ඔබේ සෙනඟ වෙනුවෙන් ඔබේ සේවකයා වන මා ගන්නා පියවරවලට ආශීර්වාද කරන්න. එසේම රජුගෙන් කරුණාව ලබන්නත් මට උදව් කරන්න කියා මා ඔබෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා.”—නෙහෙ. 1:11NW.

17 බැබිලෝනියේ වහල්භාවයෙන් මිදී ආ යුදෙව්වන් ‘අවට සිටින සියලුදෙනාගේ නින්දා අපහාසවලට ලක් වන බවත් යෙරුසලමේ පවුරු කඩා දමා’ ඇති බවත් දැනගත් විට දින කිහිපයක් ඔහු ඒ ආකාරයට යාච්ඤා කළා. (නෙහෙ. 1:3, 4NW) අර්තක්ෂස්තා රජ යෙරුසලමේ තාප්ප නැවත ගොඩනඟන්න නෙහෙමියාට අවසර දුන් විට ඔහු බලාපොරොත්තු නොවුණු ආකාරයෙන් ඔහුගේ යාච්ඤාවලට පිළිතුරු ලැබුණා. (නෙහෙ. 2:1-8) වැඩිකල් යෑමට පෙර එහි තාප්ප නැවත ගොඩනඟා අවසන් කළා. නෙහෙමියා සැබෑ නමස්කාරයට මුල් තැන දුන් නිසාත් විශ්වාසයක් ඇතුව යාච්ඤා කළ නිසාත් ඔහුගේ යාච්ඤාවලට පිළිතුරු ලැබුණා. ඔබත් යාච්ඤා කරන්නේ එවැනි විශ්වාසයක් ඇතුවද?

ස්තුතියත් ප්‍රශංසාවත් දෙන්න

18, 19. යෙහෝවා දෙවිගේ සේවකයන් ඔහුට ස්තුති ප්‍රශංසා කළ යුත්තේ කුමන හේතු නිසාද?

18 යෙහෝවා දෙවිට යාච්ඤා කරන විට ඔහුට ස්තුති කරන්නත් ප්‍රශංසා කරන්නත් අමතක කරන්න එපා. එසේ කිරීමට ඔබට බොහෝ හේතු තිබෙනවා. දාවිත් මහත් ආශාවකින් දෙවිගේ රජකම ගැන නිතරම දෙවිට ප්‍රශංසා කළා. (ගීතාවලිය 145:10-13 කියවන්න.) ඒ වගේම ඔබත් යාච්ඤාව තුළින් දෙවිගේ රාජ්‍ය ගැන අන් අයට ප්‍රකාශ කිරීමට ඔබට ලැබී තිබෙන වරප්‍රසාදය අගය කරන බව පෙන්වනවාද? බයිබලයේ සඳහන් යාච්ඤාවලින් ඔබට ඉගෙනගත හැකි තවත් වැදගත් දෙයක් වන්නේ රැස්වීම්, එක්රැස්වීම් හා සමුළු ලබා දීම වෙනුවෙන් ඔබගේ අගය යෙහෝවා දෙවිට ප්‍රකාශ කිරීමයි.—ගීතා. 27:4; 122:1.

19 දෙවි සමඟ ඇති ඔබගේ මිත්‍රත්වය ඔබ බොහෝ සෙයින් අගය කරනවා නම් මෙලෙස යාච්ඤා කිරීමට ඔබ පෙලඹෙනවා. “යෙහෝවා දෙවියනි, මම සෙනඟ අතරේ ඔබට ප්‍රශංසා කරන්නෙමි. ජාතීන් අතරේ ඔබට ප්‍රශංසා ගී ගයන්නෙමි. මන්ද ඔබ පෙන්වන මහත් ප්‍රේමය ස්වර්ගය දක්වාම නැඟ තිබේ. ඔබේ විශ්වාසවන්තකම අහසේ වලාකුළු දක්වාම විහිදී තිබේ. දෙවියනි, ඔබට ලැබෙන ගෞරවය ස්වර්ගයටත් ඉහළින් පැතිරේවා! ඔබේ තේජස පොළොව පුරාම පැතිරේවා!” (ගීතා. 57:9-11NW) එවැනි උණුසුම් හෘදයාංගම ප්‍රශංසාවක් ඔබගේ යාච්ඤා වඩාත් අර්ථවත් කරගන්න ඔබට උපකාරයක් වන්නේ නැද්ද!

ගෞරවාන්විත යාච්ඤා

20. තමාට දෙවි කෙරෙහි ඇති ගෞරවය මරියා ප්‍රකාශ කළේ කොහොමද?

20 ඔබ දෙවිට ගෞරව කරන බව ඔබගේ යාච්ඤා තුළින් හෙළි විය යුතුයි. පැමිණීමට නියමිත ක්‍රිස්තුස්ගේ මව තමා බව දැනගත් පසු මරියා පැවසූ ගෞරවාන්විත වචන, දෙවිගේ ගෘහයේ සේවය සඳහා සාමුවෙල්ව ඉදිරිපත් කරන විට හන්නා පැවසූ වචනවලට සමානයි. මරියා පැවසුවේ මෙසේයි. ‘මම කැමතියි යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න. මගේ ගැලවුම්කරු වන දෙවි නිසා මගේ හිතට දැනෙන ප්‍රීතියට සීමාවක් නැති තරම්.’ (ලූක් 1:46, 47) දෙවිට ගරුබිය ඇති මරියාව යේසුස්ගේ මව වීමට තෝරාගැනීම මොන තරම් උචිතද කියා ඉන් පැහැදිලියි. ඔබටත් එලෙස ගෞරවාන්විත වචන භාවිත කරමින් දෙවිට යාච්ඤා කළ හැකිද?

21. දෙවි කෙරෙහි ගෞරවයක් හා විශ්වාසයක් ඇති බව යේසුස්ගේ යාච්ඤා තුළින් හෙළි වුණේ කොහොමද?

21 යේසුස්ද දෙවිට සම්පූර්ණ ගෞරවයක් ලබා දෙමින් හා ස්ථිර විශ්වාසයක් ඇතුව යාච්ඤා කළා. උදාහරණයකට ලාසරුස්ව නැවත නැඟිටුවීමට පෙර ‘යේසුස් ස්වර්ගය දෙස බලා, පියාණෙනි ඔබ දැන් මගේ ඉල්ලීම ඉටු කළ නිසා මම ඔබට ස්තුති කරන්න කැමතියි. ඔබ මගේ ඉල්ලීම් කිසිදාක ප්‍රතික්ෂේප නොකරන බව මට ස්ථිරයි’ කියා පැවසුවා. (යොහ. 11:41, 42) ඔබ යාච්ඤා කරන්නෙත් ඊට දෙවි පිළිතුරු දෙයි යන ස්ථිර විශ්වාසය ඇතුව හා ඔහුට ගෞරවයක් ලබා දෙමින්ද? ඒ සඳහා ඔබට යේසුස්ගේ ආදර්ශ යාච්ඤාව අධ්‍යයනය කරන්න පුළුවන්. එහි ප්‍රධාන තැනක් ගෙන තිබෙන්නේ දෙවිගේ නාමය ගෞරවයට පත් කිරීම, දෙවිගේ රාජ්‍ය පැමිණීම සහ ඔහුගේ කැමැත්ත ඉටු කිරීමයි. (මතෙ. 6:9, 10) දැන්, ඔබගේ යාච්ඤා ගැන සිතන්න. දෙවිගේ රාජ්‍යය, ඔහුගේ කැමැත්ත කිරීම හා ඔහුගේ නාමයට සිදු වී තිබෙන නින්දාව ඉවත් කිරීම වැනි කරුණු ගැන ඔබ උනන්දු වන බව ඔබගේ යාච්ඤා තුළින් පෙන්වනවාද?

22. ශුභාරංචිය ප්‍රකාශ කරන්න දෙවි ඔබට ශක්තිය ලබා දෙයි කියා ස්ථිර වෙන්න පුළුවන් ඇයි?

22 පීඩා හා ප්‍රශ්න පැමිණෙන විට දෙවිගේ සේවය ප්‍රීතියෙන් කිරීමට අවශ්‍ය ශක්තිය ඉල්ලා යාච්ඤා කරන්න ඔබට පුළුවන්. ඒ ගැන මේ උදාහරණය සලකා බලන්න. ‘කොතැනකවත් යේසුස් ගැන කිසිවක් කතා කරන්නවත් ඔහු ගැන උගන්වන්නවත් එපා’ කියා පේතෘස් හා යොහන්ට යුදෙව්වන්ගේ නායකයන් අණ කළ විට ඔවුන් එය නිර්භීතව ප්‍රතික්ෂේප කළා. (ක්‍රියා 4:18-20) පසුව ඔවුන් තමන්ට සිදු වූ දේ සෙසු ක්‍රිස්තියානීන්ටද පැවසුවා. ඉන්පසු එතැන සිටි සියලුදෙනාම දෙවිගේ වචනය නිර්භීතව කතා කරන්න උපකාර ඉල්ලා යාච්ඤා කළා. එවිට ඔවුන් තුළ ‘දෙවිගේ බලය ඉතා ප්‍රබල ලෙස ක්‍රියාත්මක වී ඔවුන් දෙවිගේ වචනය නිර්භීතව කතා කරන්න’ පටන්ගත්තා. එසේ දෙවි ඔවුන්ගේ යාච්ඤාවලට පිළිතුරු දුන් විට ඔවුන්ට කොතරම් සතුටක් දැනෙන්න ඇද්ද! (ක්‍රියා 4:24-31 කියවන්න.) එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝදෙනෙක් දෙවිගේ නමස්කාරකයන් වුණා. එලෙස නිර්භීතව ශුභාරංචිය ප්‍රකාශ කරන්න ඔබවත් ශක්තිමත් කරන්න ඔබගේ යාච්ඤාවලට පුළුවන්.

දිගටම අර්ථවත් ලෙස යාච්ඤා කරන්න

23, 24. (අ) බයිබලය අධ්‍යයනය කිරීම ඔබේ යාච්ඤාවලට බලපාන ආකාරය පෙන්වන උදාහරණ දෙන්න. (ආ) වඩාත් අර්ථවත්ව යාච්ඤා කිරීම සඳහා ඔබ කරන්නේ කුමක්ද?

23 අර්ථවත් ලෙස යාච්ඤා කිරීමට බයිබලය කියවීම හා අධ්‍යයනය කිරීම ඔබට උපකාරවත් වෙනවා. ඒ ගැන තවත් ආදර්ශ බොහෝමයක් බයිබලයේ වාර්තා කර තිබෙනවා. යෝනා ඉන් එක් කෙනෙක්. “ගැලවීම ලබා දෙන්නේ යෙහෝවා දෙවි” පමණක් බව යෝනා පිළිගත්තා. ඔහු මෙන් ඔබත් එය පිළිගන්නා බව ඔබේ යාච්ඤා තුළින් පෙන්වන්න. (යෝනා 2:1-10NW) ඔබ බරපතළ පාපයක් කර ඒ සම්බන්ධයෙන් වැඩිමහල්ලන්ගෙන් උපකාර ඉල්ලා තිබෙනවා නම් දාවිත් කළ යාච්ඤාව ප්‍රයෝජනයට ගනිමින් ඔබේ පසුතැවිල්ල දෙවිට පැවසීමට ඔබට හැකියි. (ගීතා. 51:1-12) එමෙන්ම යෙරෙමියා මෙන් දෙවිට ප්‍රශංසා කරන්නත් ඔබට පුළුවන්. (යෙරෙ. 32:16-19) ඔබ විවාහ වීමට කෙනෙකු සොයනවා නම් එස්රා නවවන පරිච්ඡේදයේ ඇති යාච්ඤාව ගැන අධ්‍යයනය කිරීම ඔබට ප්‍රයෝජනවත් වෙයි. එම යාච්ඤාව උපකාරයට ගෙන ඔබේ කන්නලව්ව දෙවිට පවසන්න. එවිට ‘ස්වාමීන් තුළ පමණක්’ විවාහ වීමට වූ ඔබගේ අධිෂ්ඨානය ශක්තිමත් වෙයි.—1 කොරි. 7:39; එස්රා 9:6, 10-15.

24 දිගටම බයිබලය කියවා එය හොඳින් අධ්‍යයනය කරන්න. ඔබගේ යාච්ඤාවලට ඇතුළත් කරගත හැකි තොරතුරු බයිබලය තුළින් සොයාගන්න. බයිබලය අධ්‍යයනය කිරීමෙන් ඔබගේ යාච්ඤා වඩාත් අර්ථවත්ව යෙහෝවා දෙවිට ඉදිරිපත් කරන විට වෙන කවරදාටත් වඩා ඔබ ඔහුට ළං වන බව නිසැකයි.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

• අප දෙවිගේ මඟ පෙන්වීම් සොයා ඒවා පිළිපැදිය යුත්තේ ඇයි?

• ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කරන්න අපව පොලඹවන්නේ කුමක්ද?

• අර්ථවත් ලෙස යාච්ඤා කරන්න බයිබලයේ සඳහන් ගීතිකා ප්‍රයෝජනවත් වන්නේ කොහොමද?

• අපගේ යාච්ඤා විශ්වාසයෙන් හා ගෞරවයෙන් ඉදිරිපත් කළ යුත්තේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[8වන පිටුවේ පින්තූරය]

ආබ්‍රහම්ගේ සේවකයා මෙන් ඔබත් දෙවිගේ මඟ පෙන්වීම් ඉල්ලා යාච්ඤා කරනවාද?

[10වන පිටුවේ පින්තූරය]

පවුලේ පාඩම ඔබේ යාච්ඤා වඩාත් අර්ථවත් කරන්න ඔබට උපකාර වෙනවා