Skip to content

පටුනට යන්න

දෙවි අප ගැන සැලකිලිමත්ද?

දෙවි අප ගැන සැලකිලිමත්ද?

දෙවි අප ගැන සැලකිලිමත්ද?

දෙවි මිනිස් වර්ගයාට ප්‍රේම කරනවා නම් අද මෙතරම් දුක් වේදනා පවතින්නේ ඇයි? සියවස් ගණනාවක් පුරා මිනිසුන් ඒ ගැන කල්පනා කරනවා. සාමාන්‍යයෙන් කෙනෙක් දුක් විඳිනවා දකින්න අප කවුරුත් කැමති නැහැ. එමෙන්ම එවැනි කෙනෙකුට උපකාර කිරීමට අප පෙලඹෙන්නේ නිතැතින්මයි. නමුත් මිනිසුන් දුක් විඳින විට දෙවි ඒ වෙනුවෙන් කිසි දෙයක් නොකරන්නේ ඇයි? ඉන් අදහස් වන්නේ ඔහු අපට ප්‍රේම නොකරන බවද? නැහැ. දෙවි අපට කොතරම් ප්‍රේම කරනවාද කියා තේරුම්ගැනීමට අපි සාක්ෂි කිහිපයක් සලකා බලමු.

දෙවිගේ නිර්මාණ තුළින් ලැබෙන සාක්ෂි

“අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් සෑදුවේ” යෙහෝවා දෙවියි. (ක්‍රියා 4:24) ඒ නිසා දෙවි අප වෙනුවෙන් නිර්මාණය කර තිබෙන දේවල් ගැන කල්පනා කර බලන්න. එසේ කිරීමෙන් දෙවි අපට මොන තරම් ප්‍රේම කරනවාද කියා දැනගත හැකියි. ඔබ කෑමට ප්‍රිය කරන දේවල් ගැන සිතන්න. විවිධ ආහාර බොහොමයක් තිබෙන නිසා ඔබ කැමති ආහාරයක් තෝරාගැනීමට ඔබට හැකියි. නමුත් අපට ජීවත් වීමට එක ආහාරයක් පමණක් නිර්මාණය කිරීමට දෙවිට අවස්ථාව තිබුණා. නමුත් දෙවි එසේ නොකර අපගේ රස නහර පිනා යන ආහාර වර්ග රාශියක් නිර්මාණය කර තිබෙනවා. එමෙන්ම විවිධ ශාක වර්ග විසිතුරු මල් සහ සුන්දර ස්ථානත් ඔහු නිර්මාණය කළා. එසේ කළේ අප සතුටින් ජීවත් වෙනවා දකින්න ඔහු කැමති නිසයි.

දෙවි අපව නිර්මාණය කර තිබෙන ආකාරය ගැනද සිතන්න. හාස්‍යය මුසු දේවලින් සතුටක් ලබන්නත් සංගීතය රස විඳින්නත් අලංකාර දේවල් අගය කරන්නත් දෙවි අපට හැකියාව දී තිබෙනවා. ඊට අමතරව මිතුරන් සමඟ ඇසුරු කිරීමෙන් ඔබ මොන තරම් සතුටක් ලබනවාද කියාත් සිතා බලන්න. එවන් හැකියාවන් නොමැතිව වුවත් අපට ජීවත් විය හැකියි. නමුත් එසේ වූවා නම් අපට සන්තෝෂයෙන් ජීවත් විය නොහැකියි. එමෙන්ම එකිනෙකාට ප්‍රේම කිරීමට අපට ඇති හැකියාවද අද්විතීයයි. එම හැකියාව ඇතුව දෙවි අපව නිර්මාණය කර තිබෙන්නේ දෙවි ප්‍රේමයේ උල්පත නිසයි.

බයිබලය තුළින් ලැබෙන සාක්ෂි

දෙවි ප්‍රේමයේ උල්පත බව බයිබලයේ සඳහන් වෙනවා. (1 යොහන් 4:8) දෙවි මිනිස් වර්ගයාට මොන තරම් ප්‍රේම කරනවාද කියා බයිබලය තුළින් දැනගත හැකියි. උදාහරණයකට බයිබලය තුළින් දෙවි අපට වටිනා මඟ පෙන්වීම් රාශියක් ලබා දී තිබෙනවා. ඒවා පිළිපැදීමෙන් යහපත් සෞඛ්‍යයක් භුක්ති විඳීමට අපට හැකියි. එමෙන්ම සෑම කාරණයකදීම අපි අපිවම පාලනය කරගත යුතු බවත් බීමත්කම සහ කෑදරකම වැනි නරක පුරුදුවලින් වළකින ලෙසත් දෙවි අපට උපදෙස් දී තිබෙනවා. දෙවි මේ සියලු මඟ පෙන්වීම් බයිබලය තුළ වාර්තා කර තිබෙන්නේ ඔහු අපට ප්‍රේම කරන නිසයි.—1 කොරින්ති 6:9, 10.

සියලුදෙනාටම ප්‍රේම කරන්න කියාත් එකිනෙකාට ගෞරවය කරමින් කරුණාවන්තව කටයුතු කරන්න කියාත් බයිබලයේ සඳහන් වෙනවා. එසේ කිරීමෙන් අන් අය සමඟ සමාදානයෙන් සිටීමට අපට හැකියි. (මතෙව් 7:12) අන් අයව වේදනාවට පත් කරන තණ්හාව, ඕපාදූප පැතිරවීම, ඊර්ෂ්‍යාව, අනාචාරය සහ මිනී මැරීම වැනි දේවල් බයිබලයේ හෙළාදැක තිබෙනවා. එම මඟ පෙන්වීම්වලට එකඟව මිනිසුන් ජීවත් වෙනවා නම් අද පොළොවේ පවතින දුක් වේදනා කොතරම් අඩු වෙයිද කියා සිතා බලන්න.

යෙහෝවා දෙවි මිනිසුන් කෙරෙහි ඇති ප්‍රේමය විශිෂ්ට ආකාරයෙන් පෙන්නුම් කළේ අපව පාපයෙන් සහ මරණයෙන් ගලවාගන්න ඔහුගේ පුත්‍රයාව පොළොවට එවීමෙනුයි. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.’ (යොහන් 3:16) මින් පැහැදිලි වන්නේ මිනිසුන්ගේ දුක් වේදනා සදහටම නැති කිරීමට මේ වන විටත් දෙවි පියවර ගෙන ඇති බවයි.—1 යොහන් 3:8.

අප මෙතෙක් සලකා බැලූ තොරතුරුවලින් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවි අපට ප්‍රේම කරන බවයි. ඒ නිසා අපි දුක් විඳිනවාට දෙවි කොහෙත්ම කැමති නැහැ. ඒ නිසා ඔහු අද පවතින සියලුම දුක් වේදනා තුරන් කරන බව ස්ථිරයි. ඔහු එය කරන ආකාරය ගැනද බයිබලය තුළින් අපට පෙන්වා දී තිබෙනවා.

[4වන පිටුවේ පින්තූරය]

එකිනෙකාට ප්‍රේම කිරීමේ හැකියාව අපට ලැබී තිබෙන්නේ ප්‍රේමයේ උල්පත වන යෙහෝවා දෙවිගෙනුයි