Skip to content

පටුනට යන්න

දෙවි අපට ගැලවීම ලබා දෙන මාර්ගය

දෙවි අපට ගැලවීම ලබා දෙන මාර්ගය

දෙවි අපට ගැලවීම ලබා දෙන මාර්ගය

‘ආදම් නිසා සියලුදෙනාම මිය යති. නමුත් ක්‍රිස්තුස් නිසා සියලුදෙනාටම ජීවනය ලැබේ.’—1 කොරි. 15:22.

1, 2. (අ) යේසුස්ව හමු වූ පසු අන්දෘ සහ ෆිලිප් පැවසුවේ කුමක්ද? (ආ) පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන්ට වඩා අපට ගැලවුම්කරු පිළිබඳ සාක්ෂි තිබෙන බව පවසන්න පුළුවන් ඇයි?

‘අපට මෙසියස්ව [ගැලවුම්කරුව] හමු වුණා’ කියා අන්දෘ, පේතෘස්ට පැවසුවා. ඉන් අදහස් කරන්නේ දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා වන්නේ නාසරෙත් නුවරේ උපත ලැබූ යේසුස් බව ඔහු අවබෝධ කරගෙන තිබූ බවයි. ෆිලිප්ද නතානියෙල්ට මෙසේ පැවසීමට පෙලඹුණා. ‘අපිට නාසරෙත් නුවරින් පැමිණි යේසුස් නම් කෙනෙක්ව හමු වුණා. ඔහුගේ පියා යෝසෙප්. මෝසෙස්ට දෙන ලද නීතියෙත් අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලත් සඳහන් තැනැත්තා ඔහුයි.’—යොහ. 1:40, 41, 45.

2 දෙවි, ‘ගැලවීම ලබා දීමට පත් කළ තැනැත්තා’ වන්නේ යේසුස්ම බව ඔබට විශ්වාසද? (හෙබ්‍රෙ. 2:10) එය විශ්වාස කිරීමට පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන්ට තිබූ සාක්ෂිවලට වඩා සාක්ෂි අද අපට තිබෙනවා. අපට ශුද්ධ ලියවිල්ල තිබෙන නිසා යේසුස්ගේ උපතේ සිට නැවත නැඟිටීම දක්වා තොරතුරු ඉන් සොයාගත හැකියි. යේසුස් ගැලවුම්කරු බවට වූ නිශ්චිත සාක්ෂි එම තොරතුරුවල ඇතුළත් වෙනවා. (යොහන් 20:30, 31 කියවන්න.) ඒ වගේම යේසුස් ස්වර්ගයට ගිය පසුත් ගැලවුම්කරු ලෙස ක්‍රියා කරන බව ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙනවා. (යොහ. 6:40; 1 කොරින්ති 15:22 කියවන්න.) ඔබ බයිබලයෙන් ඉගෙනගෙන ඇති දේවල් නිසා ඔබටද ‘ගැලවුම්කරුව හමු වුණා’ කියා පැවසිය හැකියි. යේසුස් ගැලවුම්කරු බව පළමු ශතවර්ෂයේ සිටි ඔහුගේ අනුගාමිකයන් නිවැරදිව තේරුම්ගත්තේ කොහොමද කියා දැන් අපි සලකා බලමු.

ගැලවුම්කරු පිළිබඳ “පරිශුද්ධ රහස” හෙළි වෙයි

3, 4. (අ) පළමු ශතවර්ෂයේ සිටි යේසුස්ගේ අනුගාමිකයන් ගැලවුම්කරු යේසුස් බව දැනගත්තේ කොහොමද? (ආ) ගැලවුම්කරු පිළිබඳ වූ අනාවැකි ඉටු වුණේ යේසුස්ගේ ජීවිතයෙන් පමණක් බව ඔබ පවසන්නේ ඇයි?

3 පළමු ශතවර්ෂයේ සිටි යේසුස්ගේ අනුගාමිකයන් ගැලවුම්කරු යේසුස් බව ස්ථිර ලෙස දැනගත්තේ කොහොමද? ගැලවුම්කරුව හඳුනාගන්නා ආකාරය ගැන තොරතුරු අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් යෙහෝවා දෙවි ක්‍රමානුකූලව හෙළි කර තිබුණා. එක් බයිබල් විශාරදයෙක් එය මෙලෙස උදාහරණයකින් පැහැදිලි කළා. කෙදිනකවත් හමු වී නැති කිහිපදෙනෙක් රූපයක කොටස් රැගෙන එක තැනකට පැමිණෙනවා කියා සිතන්න. ඒ කොටස් එකට එකතු කළ විට ලස්සන රූපයක් සෑදෙනවා නම් ඉන් ඔබ තේරුම්ගන්නේ කවුරුන් හෝ එම රූපයේ කොටස් අදාළ පුද්ගලයන්ට යවා ඇති බවයි. ඒ රූපයේ කොටස් හා සමානව ගැලවුම්කරු සම්බන්ධයෙන් තිබෙන සෑම අනාවැකියකම ඔහුව පැහැදිලිව හඳුනාගත හැකි වැදගත් තොරතුරු සඳහන් වෙනවා.

4 ගැලවුම්කරු ගැන පවසා ඇති සෑම අනාවැකියක්ම අහම්බෙන් එක පුද්ගලයෙකුගේ ජීවිතය තුළින් ඉටු විය හැකිද? කිසිම දිනක එවැනි දෙයක් අහම්බෙන් සිදු විය නොහැකි බව තවත් බයිබල් විශාරදයෙක් පැවසුවා. ඔහු තවදුරටත් පැවසුවේ ඒ සියලු අනාවැකි ඉටු වුණේ යේසුස්ගේ ජීවිතයෙන් පමණක් බවයි.

5, 6. (අ) සාතන්ව විනාශ කරන්නේ කෙසේද? (ආ) ස්ත්‍රියගෙන් පැවතෙන තැනැත්තා පිළිබඳව යෙහෝවා දෙවි ක්‍රමානුකූලව හෙළි කළේ කුමක්ද?

5 ගැලවුම්කරු ගැන පවසා තිබූ අනාවැකි බොහෝ කාලයක් පුරා ‘පරිශුද්ධ රහසක්ව’ පැවතුණා. එම අනාවැකිය එදා සිටි අය තේරුම්ගත්තේ නැහැ. නමුත් එහි ස්වර්ගයේ හා පොළොවේ සිටින සියලුදෙනාටම බලපාන වැදගත් තොරතුරු රැසක් ඇතුළත් වුණා. (උත්. 3:15; කොලො. 1:26, 27) මුළු මනුෂ්‍ය වර්ගයාවම පාපයට ඇද දැමූ ‘මුල් සර්පයා’ වන සාතන්ට ලැබෙන විනිශ්චය ගැන තෙරතුරුද ඊට ඇතුළත් වුණා. (එළි. 12:9) යෙහෝවා දෙවි පැවසුවේ එම විනිශ්චය ප්‍රකාශ කරන විට ‘ස්ත්‍රියගෙන් පැවත එන තැනැත්තා’ සාතන්ගේ හිස පොඩි කරන බවයි. ඒ තුළින් ඔහු අසනීප හා මරණයට හේතු වූ පුද්ගලයාව නැති කර දමනවා. කෙසේවෙතත් ඊට පෙර සංකේතාත්මක ආකාරයෙන් ‘ස්ත්‍රියගෙන් පැවත එන තැනැත්තාගේ’ විලුඹ පොඩි කිරීමට දෙවි සාතන්ට ඉඩහරිනවා.

6 ‘ස්ත්‍රියගෙන් පැවත එන තැනැත්තා’ කවුද කියා යෙහෝවා දෙවි ක්‍රමානුකූලව හෙළි කළා. උදාහරණයකට දෙවි ආබ්‍රහම්ට මෙසේ සහතික කළා. “ඔබෙන් පැවත එන තැනැත්තා මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය.” (උත්. 22:18 නව ලොව පරිවර්තනය, NW) එමෙන්ම මෝසෙස්ද ඔහු ‘අනාගතවතෘවරයෙක්’ බව පැවසුවා. (ද්වි. 18:18, 19) ඇත්තෙන්ම ඔහු මෝසෙස්ට වඩා ශ්‍රේෂ්ඨ ‘අනාගතවක්තෘවරයෙක්.’ දෙවි දාවිත්ටද, ගැලවුම්කරු ඔහුගේ පෙළපතින් පැමිණෙන බවත් ඔහුගේ සිංහාසනය සදහටම උරුම කරගන්න බවත් පැවසුවා. පසුව අනාගතවක්තෘවරුන්ද ඒ පිළිබඳ තවත් තොරතුරු සැපයුවා.—2 සාමු. 7:12, 16; යෙරෙ. 23:5, 6.

යේසුස් ගැලවුම්කරු බවට වූ සාක්ෂි

7. යේසුස් ‘ස්ත්‍රියගෙන් පැවත එන තැනැත්තා’ වුණේ කොහොමද?

7 ස්වර්ගික සංවිධානය සංකේතවත් කරන ස්ත්‍රියගෙන් ‘පැවත එන තැනැත්තා’ ලෙස යෙහෝවා දෙවි තම එකම පුත්‍රයා වන යේසුස්ව පොළොවට එව්වා. (යොහ. 1:14) ඒ සඳහා ස්වර්ගයේ ‘ඔහු සතු සියල්ල අත්හැර’ පරිපූර්ණ මිනිසෙක් ලෙස පොළොවට පැමිණීමට යේසුස්ට සිදු වුණා. (ෆිලි. 2:5-7) මරියා යේසුස්ව පිළිසිඳ ගත්තේ දෙවිගේ බලය ඇය තුළ ක්‍රියාත්මක වීමෙන් නිසා ඔහු ‘ශුද්ධ කෙනෙක් හා දෙවිගේ පුත්‍රයා’ බව ඔප්පු වුණා.—ලූක් 1:35.

8. යේසුස් බව්තීස්ම වූ අවස්ථාවේ ඉටු වූ අනාවැකිය කුමක්ද?

8 ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකිවල ඔහු ඉපදෙන්නේ කොහේද, කවදාද කියා සඳහන් වුණා. ඒ අනුව යේසුස් බෙත්ලෙහෙමේ ඉපදුණා. (මීකා 5:2) ඒ කාලයේ සිටි යුදෙව්වන් ගැලවුම්කරු ගැන බලා සිටියේ මහත් අපේක්ෂාවකිනුයි. ඔවුන් යොහන් බව්තීස්ත ගැන ඇසූ මේ දෙයින් ඒ බව පැහැදිලියි. ඔහු “ක්‍රිස්තුස් වෙන්න බැරිද?” නමුත් යොහන් ඔවුන්ට මෙසේ පැවසුවා. “මට වඩා බලවත් කෙනෙක් පැමිණෙනවා.” (ලූක් 3:15, 16) යේසුස් තමාට අවුරුදු 30ක් වන විට එනම්, ක්‍රිස්තු වර්ෂ 29දී යොහන්ගෙන් බව්තීස්ම වීමට පැමිණීමෙන් තවත් අනාවැකියක් ඉටු කළා. එනම් ගැලවුම්කරු පැමිණෙන බවට අනාවැකියේ සඳහන් නියමිත කාලයේදී ඔහු බව්තීස්ම වීමයි. (දානි. 9:25) පසුව ඔහු තම දේවසේවය ආරම්භ කරමින් මෙසේ පැවසුවා. ‘නියමිත කාලය දැන් සම්පූර්ණයි. දෙවිගේ රාජ්‍යය ළඟයි.’—මාක් 1:14, 15.

9. යේසුස්ගේ නියෝජිතයන්ට තිබූ නිසැකකම කුමක්ද?

9 පළමු ශතවර්ෂයේ සිටි ජනයා යේසුස්ව රජ ලෙස පිළිගත්තත් ඔහු පාලනය කරන්නේ ස්වර්ගයේ සිට බවත් එය සිදු වන්නේ අනාගතයේ බවත් ඔවුන් සම්පූර්ණයෙන්ම වටහාගෙන තිබුණේ නැහැ. (යොහ. 12:12-16; 16:12, 13; ක්‍රියා 2:32-36) නමුත් යේසුස් ගැලවුම්කරු බව ඔහුගේ නියෝජිතයන් නම් හොඳින්ම වටහාගෙන සිටියා. ‘ඔබ හිතන්නේ මා කවුරුන් කියාද’ කියා යේසුස් ඇසූ විට පේතෘස් කිසිම සැකයකින් තොරව දුන් මේ පිළිතුරෙන් ඒ බව පැහැදිලියි. ‘ඔබ ක්‍රිස්තුස්. ජීවමාන දෙවිගේ පුත්‍රයා ඔබයි.’ (මතෙ. 16:13-16) යේසුස් ඉගැන්වූ දෙයක් නිසා බොහෝදෙනෙක් ඔහුව අත්හැර ගිය අවස්ථාවේදීත් පේතෘස් එවැනිම දෙයක් පැවසුවා.යොහන් 6:68, 69 කියවන්න.

ගැලවුම්කරුට සවන් දෙන්න

10. තම පුත්‍රයාට සවන් දීම වැදගත් බව යෙහෝවා දෙවි පැවසුවේ ඇයි?

10 ස්වර්ගයේදී යේසුස්ට සියලු දේවදූතයන්ට වඩා උසස් තත්වයක් තිබුණා. පොළොවේ සිටියදී ඔහු ‘පියාණන්ගේ නියෝජිතයා’ ලෙස ක්‍රියා කළා. (යොහ. 16:27, 28) ‘මා උගන්වන්නේ මගේ අදහස් නොව මාව එවූ තැනැත්තාගේ අදහස්’ කියා පැවසීමෙන් ඔහු ඒ බව තහවුරු කළා. (යොහ. 7:16) යෙහෝවා දෙවිම යේසුස් ගැලවුම්කරු බව ස්ථිර කරමින් ‘මොහුට සවන් දෙන්න’ කියා පැවසුවා. (ලූක් 9:35) ඒ නිසා අප සියලුදෙනාම දෙවි තෝරාගත් ඒ තැනැත්තා වන යේසුස්ට කීකරු විය යුතුයි. ඒ සඳහා ඔහු කෙරෙහි විශ්වාසය තැබීමත් යහපත් ක්‍රියා කිරීමත් අත්‍යවශ්‍යයි. අප එසේ කරනවා නම් දෙවිව සතුටු කිරීමටත් සදාකාල ජීවනය ලබාගැනීමටත් අපට හැකියි.—යොහ. 3:16, 35, 36.

11, 12. (අ) පළමු ශතවර්ෂයේ සිටි සමහර යුදෙව්වන් යේසුස්ව ප්‍රතික්ෂේප කළේ කුමන හේතු නිසාද? (ආ) යේසුස් කෙරෙහි විශ්වාසය තැබුවේ කවුද?

11 යේසුස් ගැලවුම්කරු බවට පැහැදිලි සාක්ෂි තිබියදීත් පළමු ශතවර්ෂයේ සිටි යුදෙව්වන් වැඩිදෙනෙක් ඔහුව ප්‍රතික්ෂේප කළා. ඊට හේතුව ගැලවුම්කරු කුමනාකාර කෙනෙක් වෙයිද කියා ඔවුන් විසින්ම සාදාගත් මත ඔවුන්ට තිබීමයි. ගැලවුම්කරු තමන්ගේ නායකයා වී තමන්ව රෝමයේ පීඩාවලින් ගලවාගනියි කියා ඔවුන් සිතුවා. (යොහන් 12:34 කියවන්න.) ඒ නිසා මිනිසුන් විසින් ගැලවුම්කරුව සුළු කොට එපා කරනු ලබන බවටත් ඔහු ලෙඩ රෝග ඇති අය සමඟ සිටින බවටත් වේදනා සහිත මරණයක් අද්දකින බවටත් වූ අනාවැකි පිළිගන්න ඔවුන් කැමති වුණේ නැහැ. (යෙසා. 53:3, 5) යේසුස්ගේ විශ්වාසවන්ත අනුගාමිකයන් සමහර දෙනෙක්ද යේසුස් තමන්ව රෝම පාලනයෙන් ගලවාගනියි කියා බලාපොරොත්තුවෙන් සිටියා. ඔහු එසේ නොකළ නිසා ඔවුන් අධෛර්යයට පත් වුණත් දිගටම යේසුස්ට විශ්වාසවන්තව සිටියා. ඒ නිසා කාලයත් සමඟම ඔවුන්ට ඒ ගැන නිවැරදි අවබෝධයක් ලැබුණා.—ලූක් 24:21.

12 ගැලවුම්කරු ලෙස ජනයා යේසුස්ව ප්‍රතික්ෂේප කිරීමට තවත් හේතුවක් වුණේ ඔහුගේ ඉගැන්වීම් පිළිගැනීමට ඔවුන්ට අමාරු වීමයි. උදාහරණයකට දේවරාජ්‍යයට ඇතුල් වීමට නම් කෙනෙක් ‘ඔහුගේ ජීවිතය දෙවි වෙනුවෙන් කැප කරන්න’ අවශ්‍ය බවත් යේසුස්ගේ ‘ශරීරය කෑමට ගන්න හා රුධිරය බොන්න’ අවශ්‍ය බවත් යේසුස් ඉගැන්නුවා. එමෙන්ම ඒ සඳහා ‘අලුත් උපතක්’ ලැබිය යුතු බවත් ‘මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිය’ යුතු බවත් ඔහු ඉගැන්නුවා. (මාක් 8:34; යොහ. 3:3; 6:53; 17:14, 16) එදා සිටි ධනවත්, උඩඟු, කුහක පුද්ගලයන් සිතුවේ යේසුස් පැවසූ එවැනි දේවලට අනුව ජීවත් වීම හුඟක් අමාරු බවයි. නමුත් යටහත්පහත් යුදෙව්වන් යේසුස්ව ගැලවුම්කරු ලෙස පිළිගත්තා. ඒ වගේම සමහර සමරිතානුවන්ද ‘මේ මිනිසා ලෝකයේ ගැලවුම්කරු බව අපට දැන් හොඳටම විශ්වාසයි’ කියා ඔහු ගැන පැවසුවා. —යොහ. 4:25, 26, 41, 42; 7:31.

13. විලුඹ පොඩි කිරීම ගැන සඳහන් අනාවැකිය යේසුස් තුළින් ඉටු වුණේ කොහොමද?

13 නායක පූජකයන් තමන්ව ප්‍රතික්ෂේප කරන බවත් යුදෙව්වන් නොවන වෙනත් ජාතීන් තමන්ව මරණයට පත් කරන බවත් තුන්වන දින තමන් නැවත නැඟිටින බවත් යේසුස් පැවසුවා. (මතෙ. 20:17-19) තමා ‘දෙවිගේ පුත්‍රයා වන ක්‍රිස්තුස්’ බව සැන්හෙඩ්‍රිනයේදී යේසුස් පැවසූ දෙයින් පැහැදිලි වූ නිසා ඔහු දෙවිට අපහාස කරන්නෙක් බව පැවසීමෙන් උත්තම පූජකයා ඔහුව ප්‍රතික්ෂේප කළා. (මතෙ. 26:63-66) නමුත් යේසුස් ‘මරණ දඬුවම ලබන්න තරම් කිසිම දෙයක් කර’ නැති බව පිලාත් තේරුම්ගත්තා. ඒ වුණත් යේසුස් ආණ්ඩුවට විරුද්ධව කැරලිගසන බවට යුදෙව්වන් චෝදනා කළ නිසා පිලාත්, ‘යේසුස්ව ඔවුන්ගේ කැමැත්තට එකඟව මරා දැමීමට භාර දුන්නා.’ (ලූක් 23:13-15, 25) ඒ ආකාරයට ඔවුන් ‘ජීවනය ලබා දීමට පත් කර ඇති ප්‍රධාන තැනැත්තාව ප්‍රතික්ෂේප කර’ ඔහුව මරණයට පත් කිරීමට කුමන්ත්‍රණය කළා. (ක්‍රියා 3:13-15) අවසානයේ ක්‍රි.ව. 33 පාස්කු දවසේදී ඔවුන් ගැලවුම්කරුව වධකණුවක එල්ලා ‘මරා දැමුවා.’ (දානි. 9:26, 27NW; ක්‍රියා 2:22, 23) උත්පත්ති 3:15හි සඳහන් “විලුඹ” පොඩි කිරීම පිළිබඳ අනාවැකිය ඒ කුරිරු මරණය තුළින් ඉටු වුණා.

ගැලවුම්කරුට මිය යෑමට දෙවි ඉඩහැරීමට හේතුව

14, 15. (අ) යෙහෝවා දෙවි යේසුස්ට මිය යෑමට ඉඩහැරිය හේතු දෙක කුමක්ද? (ආ) නැවත නැඟිටීමෙන් පසු යේසුස් කළේ කුමක්ද?

14 යේසුස්ට මිය යෑමට යෙහෝවා දෙවි ඉඩහැරීමට ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. පළමු එක වන්නේ යේසුස් මරණය දක්වා දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් ‘පරිශුද්ධ රහසේ’ වැදගත් අංගයක් ඉටු වීමයි. එය නම් සාතන්ගේ දරුණු පීඩා හමුවේ වුණත් පරිපූර්ණ මිනිසෙකුට ‘දෙවිට භක්තිවන්තව’ හා ඔහුගේ පාලනයට පක්ෂව සිටීමට හැකි බවයි. (1 තිමෝ. 3:16) දෙවන හේතුව යේසුස්ම මෙසේ පැහැදිලි කළා. ‘මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි.’ (මතෙ. 20:28) ඒ ජීවිත පූජාව හෙවත් ‘නියමිත වන්දිය’ තුළින් ආදම්ගෙන් උරුම වූ පාපය නැති කර දැමුවා. ඒ වගේම දෙවි ගැලවීම ලබා දෙන්නේ යේසුස් තුළින් බව පිළිගන්නා අයට සදාකාල ජීවනය ලබා දීමටද එමගින් හැකි වුණා.—1 තිමෝ. 2:5, 6.

15 නැවත නැඟිටීමෙන් පසු යේසුස්, දින 40ක් පුරා විටින් විට තම ගෝලයන් ඉදිරියේ පෙනී සිටිමින් තමා ජීවත්ව සිටින බව ඔප්පු කළා. ඔහු ඔවුන්ට උපදෙස්ද ලබා දුන්නා. (ක්‍රියා 1:3-5) ඉන්පසු යේසුස් ස්වර්ගයට ගොස් තම අනර්ඝ ජීවිත පූජාවේ වටිනාකම දෙවිට ඉදිරිපත් කළා. එතැන් සිට දේවරාජ්‍යයේ රජ ලෙස තම පාලනය ආරම්භ කිරීමට කාලය එන තුරු ඔහු බලා සිටියා.

ගැලවුම්කරු ලෙස තම කාර්යය නිම කිරීම

16, 17. ස්වර්ගයට ගිය පසු යේසුස් ගැලවුම්කරු ලෙස ක්‍රියා කළේ කොහොමද?

16 යේසුස් නැවත නැඟිටීමෙන් පසු මේ දක්වා අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත සභාවේ රජ ලෙස එහි කටයුතු අධීක්ෂණය කරමින් සිටිනවා. (කොලො. 1:13) එමෙන්ම 1914දී ඔහු දේවරාජ්‍යයේ රජ බවටද පත් වුණා. ‘පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය’ ආරම්භ වුණේද එම වසරේදීයි. ඒ බව බයිබල් අනාවැකිවලින් හා ලෝකයේ සිදු වූ දේවලින් පැහැදිලි වෙනවා. (මතෙ. 24:3; එළි. 11:15) ඒ කාලයේදීම වගේ ඔහු දේවදූතයන් සමඟ එකතු වී සාතන්ව හා ඔහුගේ භූතයන්ව ස්වර්ගයෙන් නෙරපා දැමුවා.—එළි. 12:7-10.

17 ක්‍රිස්තු වර්ෂ 29දී යේසුස් ආරම්භ කළ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ හා ඉගැන්වීමේ කාර්යය දැන් එහි අවසන් අදියරයට පැමිණ තිබෙනවා. තමන්ව ගැලවුම්කරු ලෙස පිළිගන්නා බැටළුවන් වැනි අයට ඔහු ළඟදීම මෙසේ පවසනවා. ‘පොළොවේ දරුවන් බිහි වූ දා සිට ඔබට සූදානම් කර තිබෙන රාජ්‍යය උරුමයක් වශයෙන් ලබාගන්න.’ (මතෙ. 25:31-34, 41) නමුත් තමන්ව ගැලවුම්කරු ලෙස ප්‍රතික්ෂේප කරන අයව ඔහු තම දේවදූත හමුදාව සමඟ පැමිණ විනාශ කර දමනවා. ඉන්පසු යේසුස් සාතන්වත් ඔහුගේ භූතයන්වත් බැඳ ‘අගාධයට’ හෙළනු ලබනවා.—එළි. 19:11-14; 20:1-3.

18, 19. යේසුස් ගැලවුම්කරු ලෙස තම කාර්යය සම්පූර්ණ කරන්නේ කොහොමද? කීකරු මිනිසුන්ට ඉන් ලැබෙන ආශීර්වාද මොනවාද?

18 දහස් අවුරුදු පාලන කාලය තුළදී යේසුස් “උතුම් උපදේශකයාණන්, බලවත් දෙවි, සදාකාල පියාණන් සහ සමාදානයේ කුමාරයා” යන පදවි නාමවලින් අදහස් කරන කාර්යයන් සම්පූර්ණයෙන්ම ඉටු කරනවා. (යෙසා. 9:6, 7NW) ඒ කාලයේදී නැවත නැඟිටින අය ඇතුළු සියලුදෙනාවම යේසුස් පරිපූර්ණත්වයට ගෙනෙනවා. (යොහ. 5:26-29) ඉන්පසු ගැලවුම්කරු, ජනයාව සදාකාල ජීවනය ලබාගැනීමට හැකි වන පිණිස ‘ජීවන වතුර ඇති උල්පත්වලට’ මඟ පෙන්වනවා. එවිට ඔවුන්ට යෙහෝවා දෙවි සමඟ කිට්ටු බැඳීමක් භුක්ති විඳිය හැකියි. (එළිදරව් 7:16, 17 කියවන්න.) අවසන් පරීක්ෂණයෙන් පසු යේසුස්, සියලුම කැරලිකරුවන් සමඟ සාතන්වත් ඔහුගේ භූතයන්වත් ‘ගින්නෙන් දැවෙන විලට හෙළනවා.’ ඒ ආකාරයට ‘සර්පයාගේ’ හිස පොඩි කිරීම ගැන පවසා ඇති අනාවැකිය ඉටු වෙනවා.—එළි. 20:10.

19 ගැලවුම්කරු ලෙස යේසුස් තම කාර්යය සම්පූර්ණයෙන් ඉටු කරන ආකාරය මොන තරම් පුදුමාකාරද! ඒ කාලයේදී පාපයෙන් නිදහස් වූ ජනයාගෙන් මුළු පොළොවම පිරී යනවා. ඔවුන් සදහටම පාරාදීස පොළොවක පරිපූර්ණ සෞඛ්‍ය හා සන්තෝෂය භුක්ති විඳිනවා. එවිට යෙහෝවා දෙවිගේ ශුද්ධ නාමයට සිදු වී තිබෙන කැළල සම්පූර්ණයෙන් ඉවත් වෙයි. මුළු විශ්වයම පාලනය කිරීමට ඔහුට අයිතියක් තිබෙන බවද එදාට පැහැදිලිව ඔප්පු වෙනවා. ගැලවුම්කරුට කීකරුව සිටින අයට ලැබීමට නියමිතව තිබෙන්නේ මොන තරම් වටිනා ත්‍යාගයක්ද!

ඔබට ගැලවුම්කරුව හමු වී තිබෙනවාද?

20, 21. ගැලවුම්කරු ගැන අන් අයට පවසන්න ඔබ පෙලඹෙන්නේ ඇයි?

20 අප ජීවත් වන්නේ 1914දී ආරම්භ වූ යේසුස්ගේ පැමිණ සිටීමේ (ග්‍රීක බසින් පරූසියා) කාලයේයි. ඔහු දෙවිගේ රාජ්‍යයේ රජ වී ඇති බව අපගේ ඇස්වලින් දැකගත නොහැකි වුණත් ඒ ගැන පවසා ඇති අනාවැකිවල ඉටුවීම්වලින් එය අපට තේරුම්ගත හැකියි. (එළි. 6:2-8) නමුත් පළමු ශතවර්ෂයේ සිටි යුදෙව්වන් ගැලවුම්කරු පිළිබඳ සාක්ෂි ප්‍රතික්ෂේප කළා හා සමානව අද සිටින බොහෝදෙනාද යේසුස් රජ වී ඇති බවට තිබෙන සාක්ෂි ප්‍රතික්ෂේප කරනවා. ඔවුන්ට අවශ්‍ය වන්නෙත් දේශපාලන නායකයෙක් හෝ දේශපාලනය යොදාගෙන තම ගැටලු විසඳාගත හැකි කෙනෙකුවයි. නමුත් ඔබ, යේසුස් දැන් දේවරාජ්‍යයේ රජ ලෙස පාලනය කරමින් සිටින බව දන්න නිසා ඒ ගැන සතුටු වන්නේ නැද්ද? පළමු ශතවර්ෂයේ සිටි යේසුස්ගේ ගෝලයන් මෙන් ඔබත් මෙසේ පවසන බවට නිසැකයි. ‘අපට ගැලවුම්කරුව හමු වුණා.’

21 ඔබ ශුභාරංචිය ප්‍රකාශ කරන විට ගැලවුම්කරු ලෙස යේසුස්ගේ කාර්යය ගැන කතා කරනවාද? එසේ කිරීමෙන් ඔහු ඔබ වෙනුවෙන් කර ඇති, කරමින් සිටින සහ ඉදිරියේදී කිරීමට යන දේවල් සඳහා ඔබගේ අගය තවත් වැඩි කරගන්න ඔබට පුළුවන්. යේසුස්ගේ නියෝජිතයන් වූ අන්දෘ සහ ෆිලිප් මෙන් ඔබත් ගැලවුම්කරු ගැන ඔබගේ නෑදෑ හිතමිතුරන්ට පවසා ඇති. මෙතෙක් ඉගෙනගත් තොරතුරු යොදාගෙන ගැලවුම්කරු ලෙස යෙහෝවා දෙවි යොදාගන්නේ යේසුස් බව මහත් උද්‍යෝගයකින් ඔවුන්ට පවසන්න ඔබ පෙලඹෙන්නේ නැද්ද!

ඔබට පැහැදිලි කළ හැකිද?

• පළමු ශතවර්ෂයේ සිටි යේසුස්ගේ ගෝලයන් ගැලවුම්කරුව හඳුනාගත්තේ කොහොමද?

• ගැලවුම්කරුට මිය යෑමට යෙහෝවා දෙවි ඉඩහැරිය හේතු දෙක කුමක්ද?

• ගැලවුම්කරු ලෙස යේසුස් ඉදිරියේදී කරන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූර]

පළමු ශතවර්ෂයේ සිටි ජනයා, යේසුස් ගැලවුම්කරු බව තේරුම්ගත්තේ කොහොමද?

[23වන පිටුවේ පින්තූරය]

ඔබ ශුභාරංචිය ප්‍රකාශ කරන විට ගැලවුම්කරු ලෙස යේසුස්ගේ කාර්යය ගැන කතා කරනවාද?