Skip to content

පටුනට යන්න

උද්‍යෝගයෙන් දෙවිට සේවය කිරීමෙන් ප්‍රීතිය ලබන්න

උද්‍යෝගයෙන් දෙවිට සේවය කිරීමෙන් ප්‍රීතිය ලබන්න

උද්‍යෝගයෙන් දෙවිට සේවය කිරීමෙන් ප්‍රීතිය ලබන්න

ඔබ ප්‍රීතියෙන් සිටිනවාට යෙහෝවා දෙවි කැමතියි. (ගීතා. 100:2) නමුත් දෙවිට සේවය කිරීම ආරම්භ කළ කාලයට වඩා දැන් සභාවේ වගකීම් හා වෙනත් වගකීම් නිසා ඔබ කාර්යබහුල ජීවිතයක් ගත කරනවා විය හැකියි. එසේත් නැත්නම් සැලසුම් කළ ආකාරයට දේවල් කිරීමට නොහැකි වූ නිසා ඔබ කලකිරීමෙන් සිටිනවා වෙන්න පුළුවන්. එවැනි තත්වයකදී අත්‍යවශ්‍ය දේවලට මුල් තැන දීමටත් “යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය” දිගටම පවත්වාගැනීමටත් ඔබට පුළුවන් කොහොමද?—නෙහෙ. 8:10 නව ලොව පරිවර්තනය, NW.

ඔබ අන්තිම කාලයේ ජීවත් වන නිසා විවිධ අභියෝගවලට මුහුණ දෙන්න ඔබට සිදු වෙනවා. ඒ නිසා දේවල් හොඳින් සැලසුම් කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් පාවුල් දුන් මෙම උපදෙස ඔබට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වෙයි. “ඔබ අඥානයන් මෙන් නොව, ප්‍රඥාවන්තයන් මෙන් ගමන් කිරීමට ඉතා සැලකිලිමත් වන්න. දවස් නපුරු බැවින්, ඔබට ඇති සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.”—එෆී. 5:15, 16.

පාවුල්ගේ එම උපදෙසට අනුව පෞද්ගලික අධ්‍යයනය, පවුලේ අයව රැකබලා ගැනීම, දේවසේවය, රැකියාව හා අනිකුත් අත්‍යවශ්‍ය වැඩකටයුතු සඳහා සමබරව කාලය වෙන් කරන්න උපරිම වෑයමක් දරන්න අවශ්‍යයි.

දෙවිට කැප වී බව්තීස්ම වූ අවස්ථාවේ ඔබ ලැබූ ප්‍රීතිය ඔබට මතකද? එසේ ප්‍රීති වීමට හැකි වුණේ ඔබ යෙහෝවා දෙවි හා ඔහුගේ අරමුණ ගැන දැනුම ලබාගත් නිසයි. ඒ සඳහා ඔබට මාස ගණනාවක් වෙහෙසෙන්න සිදු වුණා විය හැකියි. නමුත් ඔබ දැරූ ඒ වෑයම බොහෝ සෙයින් වටිනවා.

ඔබේ ප්‍රීතිය දිගටම පවත්වාගැනීමට නම් ඔබ දිගටම දෙවි ගැන දැනුම ලබාගත යුතුයි. ඒ සඳහා බයිබලය කියවන්නත් ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්නත් කාලය සොයාගන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් ඔබේ කාල සටහනේ යම් වෙනස්කම් කිරීමට ඔබට සිදු විය හැකියි. විනාඩි කිහිපයකට හෝ ඔබ බයිබලය අධ්‍යයනය කරනවා නම් යෙහෝවා දෙවිට වඩාත් ළං වෙන්න ඔබට හැකියි. ඉන් ඔබේ ප්‍රීතියද තවත් වැඩි වෙනවා.

අත්‍යවශ්‍ය නොවන දේවලට යොදවන කාලය අඩු කිරීමෙන් අත්‍යවශ්‍ය දේවලට කාලය සොයාගත හැකියි. ඒ සම්බන්ධයෙන් ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘වෙනත් සඟරා හෝ පුවත්පත් කියවන්න, රූපවාහිනිය නරඹන්න, සංගීතයට සවන් දෙන්න හෝ වෙනත් විනෝදාංශවල යෙදෙන්න මම කොපමණ කාලයක් වැය කරනවාද?’ ඒවායෙන් නියම සතුටක් ලැබිය හැක්කේ ඒවා පාලනයක් ඇතුව කළොත් පමණයි.—1 තිමෝ. 4:8.

ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් වන ඇඩම් එලෙස කටයුතු කළා. ඔහු ස්වාමිපුරුෂයෙක් හා දරුවන් තිදෙනෙකුගේ පියෙක්. ඔහු පවසන්නේ මෙවැනි දෙයක්. “මම සරල ජීවිතයක් ගත කරන්න වෑයම් කරනවා. කාලය නාස්ති කරන දේවල් ගැනීමෙන් හා එවැනි විනෝදාංශවල යෙදීමෙන් මම වැළකිලා ඉන්නවා. ඒ කියන්නේ මම තපස් ජීවිතයක් ගත කරනවා කියන එක නෙමෙයි. ඒ වෙනුවට මම විනෝදාංශ හැටියට තෝරාගන්නේ ඉතා සරල දේවලුයි.”

ඒ වගේම ඔබ ගත් තීරණ නිසා ලැබී ඇති හොඳ ප්‍රතිඵල ගැන කල්පනා කිරීමෙන්ද ඔබේ ප්‍රීතිය වැඩි කරගන්නත් අනාගතය ගැන බලාපොරොත්තු තබාගන්නත් ඔබට හැකියි. උදාහරණයකට දරුවන් තිදෙනෙක් සිටින වැඩිමහල්ලෙක් වන මායූෂ්ගේ මෙම අද්දැකීම සලකා බලන්න. “මම නිතරම අධෛර්යයට පත් වෙනවා. නමුත් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තට පස්සේ මට තිබුණ ඒ ගැටලුව විසඳගන්න පුළුවන් වුණා. දැනුත් ඉඳලා හිටලා කලින් තිබුණු හැඟීම් ඇති නොවෙනවාම නෙමෙයි. ඒවා වැඩි හරියක් දන්නේ යෙහෝවා දෙවි විතරයි. නමුත් ඔහුගේ උපකාරය ඇතුව මට අනාගතය දෙස ප්‍රීතියෙන් බලන්න පුළුවන් වෙලා තියෙනවා.”

ජීවිතය ගැන ශුභවාදීව කල්පනා කිරීමෙන් සෑම කනස්සල්ලකින්ම මිදෙන්න හැකි බව ඉන් අදහස් කරන්නේ නැහැ. නමුත් ඉන් ඔබට යම් සහනයක් ලබාගැනීමටත් අභියෝගවලට හොදින් මුහුණ දීමටත් හැකියි. බයිබලයේ ඒ ගැන මෙසේ පවසනවා. “නිතරම සිත්තැවුලෙන් සිටින්නාට සෑම දවසක්ම නරකය. එහෙත් සතුටු සිතින් සිටින්නාට සෑම දවසක්ම උත්සව දවසක් මෙනි.” (හිතෝ. 15:15NW) දෙවි ඔබට ප්‍රේමය පෙන්වා ඇති ආකාරය ගැන කල්පනා කරන්න. එවිට දෙවි කෙරෙහි ඇති ඔබේ ප්‍රේමය තවත් වැඩි වන අතර ඔබේ ප්‍රීතියද වැඩි කරගන්න පුළුවන්.—මතෙ. 22:37.

යෙහෝවා දෙවිට කරන නමස්කාරයට මුල් තැන දීමෙන් පවුලේ සියලුදෙනාටම ප්‍රීතිය වැඩි කරගන්න පුළුවන්. එමෙන්ම ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරගැනීමෙන් එකඟ නොවීම් අඩු කරගන්නත් පවුලේ සාමාජිකයන් අතර ඇති බැඳීම ශක්තිමත් කරගන්නත් හැකි වෙනවා. එමගින් මුළු පවුලටම සාමයෙන් හා එකමුතුව ජීවත් විය හැකියි.—ගීතා. 133:1.

පවුලක් හැටියට ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල හවුල් වීමෙන්ද ප්‍රීතිය වැඩි කරගන්න පුළුවන්. කලින් අදහස් දැක්වූ මායූෂ් ඒ ගැන මෙසේ පවසනවා. “පවුලක් හැටියට එකට ගත කරන කාලය මට ගොඩක් වටිනවා. මම දේවසේවයේ යද්දී, සමුළු තියෙන ක්‍රීඩාංගනයක් පිරිසිදු කරද්දී මගේ බිරිඳ ඒවාට හවුල් වෙනවා. මම ප්‍රසිද්ධ කථා දෙන්න වෙනත් සභාවලට යද්දී එයා මාත් එක්ක එනවා. ඒකෙන් මම ලොකු ප්‍රීතියක් ලබනවා.”

පවුලේ අයට අවශ්‍ය දේවල් ලබා දෙන ලෙස බයිබලයේ ක්‍රිස්තියානීන්ට ආඥා කර ඇති බව ඇත්තයි. (1 තිමෝ. 5:8) නමුත් ඔබගේ රැකියාවට ඔබ වැඩි කාලයක් හා ශක්තියක් වැය කළොත් දෙවිගේ සේවයෙන් ඔබට ලැබෙන ප්‍රීතිය නැති වී යා හැකියි. ඔබට එසේ හැඟෙනවා නම් ඒ ගැන යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න. (ගීතා. 55:22) එසේ කිරීමෙන් පසු තම රැකියාවන් වෙනස් කරගත යුතු බව සමහරුන්ට වැටහී තිබෙනවා. එමගින් ඔවුන්ට ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල වැඩියෙන් හවුල් වීමට හැකි වී තිබෙනවා. වැඩි කාලයක් හා ශක්තියක් රැකියාවට වැය වුණත් ඉන් ලැබෙන ආර්ථික වාසිය ගැන සලකා, ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් අඩු කිරීමට දෙවිගේ සේවකයන් කිසිම විටෙක ඉඩ නොදිය යුතුයි.—හිතෝ. 22:3.

ඔබ දැන් කරමින් සිටින හෝ ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන රැකියාවෙන් ලැබෙන වාසි හා අවාසි ගැන සටහන් කරගැනීම ඔබට ප්‍රයෝජනවත් වෙයි. හොඳ වැටුපක් හා සතුටක් ලැබිය හැකි රැකියාවක් කරන්න කවුරුත් කැමතියි. නමුත් ඔබ දැන් කරමින් සිටින රැකියාව ඔබට ඔබේ පවුලේ අය සමඟ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල යෙදීමට කාලය ලබා දෙනවාද? ඒ දේවල් සලකා බැලීමෙන් පසු දෙවි සමඟ ඇති ඔබේ මිත්‍රත්වය වඩාත් ශක්තිමත් කළ හැකි තීරණයක් ගන්න ඔබට හැකියි.

ඔබගේ රැකියාව නිසා ඔබට දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමට නොහැකි නම් ඒ රැකියාව වෙනස් කිරීමට පියවර ගන්න. ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වලට මුල් තැන දීම සඳහා බොහෝ ක්‍රිස්තියානීන් එවැනි බැරෑරුම් තීරණ ගෙන තිබෙනවා. පෝලන්තයේ සිටින එක් සහෝදරයෙක් ඔහු කළ වෙනස්කම් ගැන මෙසේ පවසනවා. “මට නමස්කාරයේ කටයුතු හා පවුලේ කටයුතු වෙනුවෙන් යොදන්න කාලයක් තිබුණේ නැහැ. මොකද ව්‍යාපාර කටයුතු සඳහා නිතරම ගමන් බිමන්වල යෙදෙන්න මට සිද්ධ වුණා. ඒ නිසා මට ගන්න තිබුණේ එක තීරණයයි. ඒ තමයි මගේ රැකියාවෙන් අස් වෙන එක.” දැන් ඔහු නමස්කාර කටයුතු වෙනුවෙනුත් පවුලේ අය වෙනුවෙනුත් කාලය ලබාගත හැකි වෙනත් රැකියාවක නිරත වෙනවා.

අන් අයට උපකාර කිරීමෙන් ප්‍රීතියක් ලබන්න

“ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ” කියා යේසුස් පැවසුවා. (ක්‍රියා 20:35) ත්‍යාගශීලීවන්ත වීමට ක්‍රිස්තියානීන්ට බොහෝ අවස්ථා උදා වෙනවා. සමහරවිට සුහද සිනහවක් පෑම, අතට අත දීම, හොඳින් සූදානම් වී පැවරුමක් ඉටු කළ කෙනෙකුව අගය කිරීම වැනි දෙයක් පමණක් ඒ සඳහා ප්‍රමාණවත් විය හැකියි. එමගින් දෙපාර්ශවයටම ප්‍රීතියක් ලැබිය හැකියි.

‘අධෛර්යයට පත්ව සිටින අයට සැනසීම ගෙන දෙන ආකාරයෙන් කතා කරන ලෙසද දුර්වලයන්ට උපකාර කරන ලෙසද’ පාවුල් ක්‍රිස්තියානීන්ගෙන් ඉල්ලා සිටියා. (1 තෙස. 5:14) තමාගේම හැකියාවෙන් ගැටලුවක් විසඳාගන්න බැරි බව අධෛර්යයට පත්ව සිටින කෙනෙකුට හැඟෙන්න පුළුවන්. එවැනි කෙනෙකුට දිරිගැන්වීමක් ලබා දෙමින් උපකාර කරන්න ඔබට පුළුවන්. එසේ කිරීමෙන් ඔබේ ප්‍රීතියද වැඩි වෙනවා. සමහර ගැටලු විසඳන්න කිසිම මිනිසෙකුට නොහැකි බව තේරුම්ගැනීමද වැදගත්. කොහොමවුණත් සහෝදරයන් කෙරෙහි අවංක සැලකිල්ලක් දක්වන්නත් දෙවි කෙරෙහි සම්පූර්ණ විශ්වාසයක් තැබීමට ඔවුන්ට උපකාර කරන්නත් ඔබට පුළුවන්. මන්ද තමා කෙරෙහි විශ්වාසය තබන අයව දෙවි කිසිදිනක අත් හරින්නේ නැහැ.—ගීතා. 27:10; යෙසා. 59:1.

අධෛර්යයට පත්ව ඇති කෙනෙකුට උපකාර කළ හැකි තවත් ආකාරයක් වන්නේ ඔබ සමඟ දේවසේවයේ යෑමට ඔහුට ආරාධනා කිරීමයි. යේසුස් තම ගෝලයන් 70දෙනාව සේවය සඳහා පිටත් කර හැරියේ ‘දෙදෙනා බැගිනුයි.’ (ලූක් 10:1) එලෙස සේවයේ හවුල් වීමෙන් එකිනෙකාව දිරිගැන්වීමට අවස්ථාව ලැබුණා. ප්‍රීතිය අහිමි කරගෙන සිටින කෙනෙකුට උපකාර කිරීමට එම ක්‍රමය යොදාගන්න ඔබට හැකිද?

පාවුල් අපට මෙසේ උනන්දු කරනවා. “ස්වාමීන් තුළ නිතරම ප්‍රීති වන්න. ප්‍රීති වන්න! කියා නැවතත් කියමි.” (ෆිලි. 4:4) ඔබ දෙවිට ප්‍රේම කරන නිසාත් ඔහුගේ ආඥා පවත්වන නිසාත් උද්‍යෝගයෙන් දේවසේවයේ හවුල් වන නිසාත් ඔබේ ජීවිතයට බලාපොරොත්තුවක් තිබෙනවා. ප්‍රීතියෙන් සිටීමට එය ඔබට හොඳ හේතුවක්. ඔබට ඇති වන ගැටලු හා අභියෝගවලට මුහුණ දෙන්න අවශ්‍ය උපකාර යෙහෝවා දෙවි ලබා දෙන බව දැන සිටීමෙන්ද ඔබට ප්‍රීති විය හැකියි.—රෝම 2:6, 7.

යෙහෝවි දෙවි පොරොන්දු වී ඇති ආකාරයට ඉතා ළඟදීම මේ පොළොව පාරාදීසයක් බවට පත් වෙනවා. එදාට අපට ප්‍රීති වෙන්න බොහෝ හේතු තියෙයි. (ගීතා. 37:34) දෙවි ලබා දී ඇති ආශීර්වාද ගැන අදත් අපට ප්‍රීති විය හැකියි. ඒ නිසා “සතුටින් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න” අපට පුළුවන්.—ගීතා. 100:2NW.

[8වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

ප්‍රීතියෙන් සිටීමට නම් ඔබ කාලය වැය කරන දේවල් ගැන සැලකිලිමත් විය යුතුයි

විනෝදාංශ

පවුලේ අයව රැකබලා ගැනීම

රැකියාව

රැස්වීම්

පෞද්ගලික අධ්‍යයනය

දේවසේවය

[10වන පිටුවේ පින්තූර]

ප්‍රීතිය අහිමි වූ අයට උපකාර කරන්න ඔබට හැකිද?