Skip to content

පටුනට යන්න

ක්‍රිස්තියානීන් ජීවත් වූ නිවෙස්

ක්‍රිස්තියානීන් ජීවත් වූ නිවෙස්

පළමු සියවසෙන් බිඳක්

ක්‍රිස්තියානීන් ජීවත් වූ නිවෙස්

“මම ප්‍රසිද්ධියේ සහ ගෙයින් ගෙට ගොස් ඔබට දිගටම ඉගැන්නුවා”—ක්‍රියා 20:20.

පළමු සියවසේ නගරයක් දැක බලාගන්න ඔබ කැමතිද? ඒ සඳහා ඔබට විශාල දොරටුවකින් ඇතුල් වීමට සිදු වෙයි. බොහෝවිට එවැනි නගර පිහිටා තිබුණේ කඳුවලයි. ඔබ එම විශාල දොරටුවෙන් ඇතුල් වී ඉදිරියට යන විට දිලිඳු ජනයා ජීවත් වූ අඩු පහසුකම්වලින් යුත් කුඩා නිවෙස් මුලින්ම දැකගන්න ලැබෙයි. පෙට්ටියක හැඩය ගත් එවැනි කුඩා නිවෙස් ඉදි කර තිබුණේ එකිනෙකට යාබදවයි. ඔබ තවත් ඉදිරියට ගමන් කරන විට විවිධ හැඩයෙන් සහ ප්‍රමාණයෙන් යුත් ගලින් ඉදි කර ඇති මහල් කිහිපයකින් යුත් නිවෙස්ද දැකගන්න ලැබෙයි. ඒවායේ ජීවත් වුණේ මධ්‍යම පන්තියේ වෙළෙඳුන් හා වතුහිමියනුයි. එම නිවෙස් පසු කරමින් ඔබ කන්ද නඟින විට සුදු ආලේප කළ සුඛෝපභෝගී මන්දිර බොහොමයක් දැකගන්න ලැබෙයි. ඒවායේ ජීවත් වුණේ පොහොසත් අයයි. මෙම නිවෙස් කඳු මුදුනේ ඉදි කර තිබූ නිසා හිරු රැස් පතිත වන විට ඒවා අනික් නිවෙස්වලට වඩා කැපීපෙනුණා. එවැනි සමහර මන්දිර ඉදිරිපිට මිදුලක් තිබුණු අතර මුළු නිවසම තාප්පයකින් වට කර තිබුණා.

නගරයේ ජනාකීර්ණ මාර්ගය දිගේ ගමන් කරන විට ඔබට සතුන්ව සහ දුව පැන සෙල්ලම් කරන දරුවන්ව දැකගන්න ලැබෙයි. ඒ විතරක් නොව අවට නිවෙස්වල සිටින කාන්තාවන් පිසින කෑමවල සුවඳත් ඔබට දැනේවි. එමෙන්ම දුගඳ හමන ඝෝෂාකාරී වෙළෙඳ සැල් සහ ඒවායේ වැඩ කරන මිනිසුන්වද ඔබට දැකගන්න ලැබෙයි.

පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන් ජීවත් වුණේ එවැනි නිවෙස්වලයි. ඔවුන් සිය නමස්කාර කටයුතුවල යෙදුණේ එවැනි නිවෙස්වල ජීවත් වන අතරෙයි.

දිලිඳු අයගේ නිවෙස් අද දින හා සමානව පළමු සියවසේද නිවෙස් සාදා තිබුණේ අදාළ ප්‍රදේශවලට හා පවුලේ ආර්ථික තත්වයට ගැළපෙන ලෙසයි. (1) මුළු නිවසම එක කාමරයකට සීමා වූ ඉතා කුඩා නිවෙස්ද තිබුණා. මුළු පවුලටම ජීවත් වීමට සිදු වුණේ එම කාමරය තුළයි. එවැනි නිවෙස් සාදා තිබුණේ ගඩොල් හෝ ගල් යොදාගෙනයි. ඒ සෑම නිවසක්ම ගොඩනඟා තිබුණේ ගලින් තැනූ අත්තිවාරමක් මතයි.

එම නිවෙස්වල ඇතුළත බිත්ති මැටිවලින් කපරාරු කර තිබුණු අතර පොළොවද සකසා තිබුණේ මැටිවලිනුයි. ඒ නිසා ඒවා නිතරම අලුත්වැඩියා කිරීමට සිදු වුණා. එමෙන්ම බිත්තියේ හෝ වහලේ දුම් කවුළුවක්ද සාදා තිබුණා. එවැනි නිවෙස්වල ජීවත් වූ අයට තිබුණේ සීමිත බඩු භාණ්ඩ ප්‍රමාණයක් පමණයි.

එම නිවෙස්වල වහල සෑදීමට කෙළින් සිටුවන ලද කණු භාවිත කර තිබුණ අතර ඒ මත හරස් අතට බාල්ක දමා තිබුණා. එම බාල්ක මත පරාල තබා ඊට උඩින් පන් හෝ කොළ අතුරා ඒ මත මැටි තවරණු ලැබුවා. ඒ නිසා නිවස තුළට ජලය කාන්දු වීම බොහෝදුරට වැළකුණා. වහලට නැඟීම සඳහා පිටතින් ඉණිමඟක්ද සාදා තිබුණා.

එවැනි නිවෙස්වල සියලුම පහසුකම් නොතිබුණත් ඒවායේ ජීවත් වූ ක්‍රිස්තියානීන් තම නමස්කාර කටයුතුවල යෙදෙමින් සන්තෝෂයෙන් සිටියා.

මධ්‍යම පන්තියේ නිවාස (2) මහල් දෙකකින් යුත් මෙම නිවෙස් ගලින් නිමවා තිබූ අතර අමුත්තන් සඳහා වෙන් වූ කාමරයක්ද තිබුණා. (මාක් 14:13-16; ක්‍රියා 1:13, 14) ඉහළ මාලයේ තිබූ එම කාමරය විශාල නිසා රැස්වීමක් වුණත් පැවැත්විය හැකියි. එමෙන්ම උත්සව අවස්ථාවන් සඳහාද යොදාගත්තේ එම කාමරයයි. (ක්‍රියා 2:1-4) එවැනි නිවෙස්වල වෙළෙඳුන් හා වතුහිමියන් වැනි අය ජීවත් වුණා. ඒවා සාදා තිබුණේ හතරැස් ආකාරයට කපන ලද හුණු ගල් යොදාගෙනයි. (3) එමෙන්ම ඊටත් වඩා විශාල නිවෙස් තැනීමටද හුණු ගල් යොදාගෙන තිබුණා. එම ගල් යොදාගෙන බිත්ති බැඳීම සඳහා භාවිත කළේ හුණු යොදා සාදාගත් බදාමයි. ඇතුල් බිත්ති කපරාරු කර තිබුණු අතර පිටත බිත්තිවලට සුදු හුණු ආලේප කර තිබුණා.

එවැනි නිවෙස්වල වහල සාදා තිබුණේ පැතිලිව නිසා කෙනෙක් ඉන් බිමට වැටීමට ඉඩ තිබුණා. වහල වටා කුඩා තාප්පයක් සාදා තිබුණේ ඒ නිසයි. (ද්විතීය කතාව 22:8) එමෙන්ම උඩ තට්ටුවට හා වහලට නැඟීම සඳහා පඩිපෙළක් සාදා තිබුණා. ඒ වගේම වහල මත තාවකාලික පැලක් තිබුණ නිසා රස්නය වැඩි වේලාවට පාඩම් කිරීමට, ඉගෙනගත් දේවල් ගැන ගැඹුරින් කල්පනා කිරීමට, යාච්ඤා කිරීමට හා විවේක ගැනීමට හැකි වුණා.—ක්‍රියා 10:9.

එම නිවෙස්වල නිදන කාමර, විශාල මුළුතැන් ගෙයක් හා කෑම කාමරයක් තිබූ නිසා සාමාජිකයන් වැඩිදෙනෙක් සිටින පවුලකට වුණත් එහි ජීවත් වීමට හැකි වුණා.

සුඛෝපභෝගී නිවෙස් (4) රෝම ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සාදා ඇති මෙම නිවෙස්වල ප්‍රමාණය, හැඩය හා ගොඩනඟා තිබූ ආකාරය එකිනෙකට වෙනස්. ඒවායේ කාමර සාදා තිබුණේ විශාල කෑම කාමරයට මුහුණලායි. පවුලේ අය විශේෂ අවස්ථාවන් සඳහා යොදාගත්තේ එම කෑම කාමරයයි. (5) සමහර නිවෙස් තට්ටු දෙකකට හෝ තුනකට සාදා තිබූ අතර තාප්පවලින් වට වූ අලංකාර වත්තක් සහිත නිවෙස්ද තිබුණා.

වඩාත් සුඛෝපභෝගී නිවෙස්වල ඇත්දළ හා රන් යොදා කැටයම් කළ මිල අධික ගෘහ භාණ්ඩද තිබුණා විය හැකියි. එම නිවෙස්වලට ජල නළ හා නාන කාමර වැනි පහසුකම්ද තිබුණා. එහි පොළොව ලීවලින් හෝ විවිධ වර්ණවලින් යුත් ගල්වලින්ද බිත්ති දේවදාර ලීයෙන්ද අලංකාර කර තිබෙන්න ඇති. නිවසට අවශ්‍ය උණුසුම ලබාගැනීම සඳහා ගිනි දැල්වූ භාජනද යොදාගැනුණා. ආරක්ෂාව සඳහා ජනෙල් කවුළුවලට ලී පටි ගසා තිබූ අතර ඒවාට තිර රෙදිද යොදා තිබුණා. එමෙන්ම එහි ජනෙල් කණ්ඩිය සකසා තිබුණේ වාඩි විය හැකි ආකාරයටයි.—ක්‍රියා 20:9, 10.

මුල් සියවසේ ක්‍රිස්තියානීන් ඒ කුමනාකාරයේ නිවසක ජීවත් වුණත් ඔවුන් සියලුදෙනාම ආගන්තුක සත්කාරයට ඉතා ළැදි අයයි. ඒ නිසා සංචාරක සේවයේ යෙදුණු සහෝදරයන්ට නවාතැන් ගැනීමට නිවසක් සොයාගැනීම අපහසු වුණේ නැහැ.—මතෙව් 10:11; ක්‍රියා 16:14, 15.

“සීමොන් සහ අන්දෘගේ නිවස” ධීවරයින් දෙදෙනෙක් වූ “සීමොන් සහ අන්දෘ” ඔවුන්ගේ “නිවසට” යේසුස්ව සාදරයෙන් පිළිගත්තා. (මාක් 1:29-31) (6) ධීවරයින් විසූ මෙම කුඩා නිවෙස් ඉදි කර තිබුණේ එක් පොදු මිදුලක් වට කරගෙනයි.

එවැනි නිවෙස්වල දොරවල් හා ජනෙල් සාදා තිබුණේ එම පොදු මිදුලට මුහුණ ලා සිටින ආකාරයටයි. කෑම පිසීමට, ධාන්‍ය ඇඹරීමට, එකිනෙකා සමඟ ආශ්‍රය කිරීමට සහ ආහාර ගැනීමට මෙම පොදු මිදුල යොදාගැනුණා.

කපර්ණවුමේ පිහිටි නිවෙස් සාදා තිබුණේ ගන වූ ලාවා කැට යොදාගෙනයි. එම නිවෙස්වල වහලවල් සාදා තිබුණේද කුඩා නිවෙස්වල වහල සාදා තිබූ ආකාරයටමයි. නමුත් සමහර නිවෙස්වල වහලට උළු දමා තිබුණා. එම පැතිලි වහලට නැඟීම සඳහා පිටතින් පඩිපෙළක්ද සාදා තිබුණා. (මාක් 2:1-5) බොහෝවිට එවැනි නිවෙස්වල බිම ආවරණය කර තිබුණේ පැදුරු වැනි වියන ලද දෙයක් යොදාගෙනයි.

කපර්ණවුම නගරය පිහිටා තිබුණේ ගලීල මුහුද අසල නිසා එහි නිවෙස් තනා තිබුණේ වෙරළට ආසන්නවයි. කුඩා පාරවල් දෙපස එවැනි නිවෙස් එකිනෙකට යාබදව ඉදි කර තිබුණා. එහි ජීවත් වූ බොහෝදෙනාගේ රැකියාව වූයේ ධීවර කර්මාන්තයයි.

“ගෙයින් ගෙට” මෙතෙක් සලකා බැලූ තොරතුරුවලට අනුව පළමු සියවසේ සිටි ඇතැම් ක්‍රිස්තියානීන් කුඩා නිවෙස්වලත් තවත් අය සුඛෝපභෝගී නිවෙස්වලත් ජීවත් වූවා කියා සිතිය හැකියි.

එම නිවෙස් ක්‍රිස්තියානීන්ට සෙවණක් ලබා දුන්නා පමණක් නොව ඔවුන්ට එකට එකතු වී දෙවි ගැන ඉගෙනගැනීමටත් දෙවිට නමස්කාර කිරීමටත් අවස්ථාව ලබා දුන්නා. එමෙන්ම එවැනි නිවෙස්වල පවුල් කිහිපයක් එකට එකතු වී ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කිරීමෙන් සහ එකිනෙකාව ආශ්‍රය කිරීමෙන් සතුටු වෙන්න ඇති. ඒ වගේම ඔවුන් නිවසේදී ඉගෙනගත් දේවල් “ගෙයින් ගෙට ගොස්” අන් අයටත් ඉගැන්වූවා.—ක්‍රියා 20:20.