Skip to content

පටුනට යන්න

පෘථිවිය විනාශ වෙයිද?

පෘථිවිය විනාශ වෙයිද?

පෘථිවිය විනාශ වෙයිද?

“ලෝක විනාශය ගැන අද බොහෝදෙනා උනන්දු වෙනවා. ඒ නිසා මේ විෂය අලළා නිෂ්පාදනය වූ ඉතා ජනප්‍රිය චිත්‍රපටි පවා තිබෙනවා.” එසේ පැවසුවේ ජෝන් ස්කාල්සි නම් වාර්තාකරුවායි. ඇත්තටම එවැනි චිත්‍රපටි ජනප්‍රිය වී තිබෙන්නේ ඇයි? ඊට හේතුව ඔහු මෙසේ විස්තර කළා. “ලෝක විනාශයට බොහෝදෙනා භය නිසා ඒ ගැන දැනගන්න ඔවුන් කැමතියි.” ඇත්තටම ලෝක විනාශයක් පැමිණෙයි කියා අපි බිය විය යුතුද?

ලොව පුරා සිදු වන ස්වභාවික විපත් සහ විනාශයන් ගැන සිත සලිත කරවන පුවත් අපට දිනපතා අසන්න ලැබෙනවා. මෙවැනි විපත් දැක්වෙන දර්ශන රූපවාහිනියෙන් සහ අන්තර්ජාලයෙන්ද ඕනෑ තරම් දැකගත හැකියි. මිනිස් ජීවිත විනාශ වී යන ආකාරය පෙන්වන මෙවැනි දර්ශන නරඹන විට ලෝක විනාශයක් පැමිණීමට තිබෙන ඉඩකඩ වැඩියි කියා බොහෝදෙනා සිතනවා. එවැනි අයට ලෝක විනාශය කියන්නේ චිත්‍රපටිවලට පමණක් සීමා වූ දෙයක් නොවෙයි.

ඔවුන්ගේ ඒ බිය තවත් වැඩි කරමින් පෘථිවිය විනාශ වෙන ආකාරය සම්බන්ධයෙන් විද්‍යාඥයන්ද මත පළ කර තිබෙනවා. එමෙන්ම තවත් සමහර අය එය සිදු වන කාලය ගැනත් මත පළ කරනවා. උදාහරණයකට තවත් වසර බිලියන 7.59කින් පමණ අපේ පෘථිවිය සූර්යයාට ළඟා වීම නිසා එය සම්පූර්ණයෙන්ම අළු වී යනවා කියා ගගනගාමීන් දෙදෙනෙක් පැවසූ බව 2008 මාර්තු මාසයේ පළ වූ එක් වාර්තාවක සඳහන් වුණා.—Monthly Notices of the Royal Astronomical Society.

ඇත්තටම අපේ පෘථිවිය විනාශ වී යයිද?

විනාශයට නියමිත දිනයක් තිබෙනවාද?

බයිබලයේ පෘථිවිය ගැන මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “පරම්පරාවක් පහව යයි. තවත් පරම්පරාවක් බිහි වෙයි. එහෙත් පොළොව සදහටම පවතියි.” (දේශනාකාරයා 1:4) එමෙන්ම තවදුරටත් එහි මෙසේද සඳහන් වෙනවා. යෙහෝවා දෙවි “පොළොව ස්ථිර ලෙස පිහිටෙව්වෙහිය. එය කිසිදා නොසෙල්වෙන අයුරින් සෑදුවෙහිය.” (ගීතාවලිය 104:5) පෘථිවිය ගැන බයිබලයේ සඳහන් ඒ දේ ඔබට විශ්වාස කළ හැකිද? එමෙන්ම පෘථිවිය විනාශ වන බවට විද්වතුන් මත පළ කර තිබුණත් එවැනි දෙයක් සිදු වෙන්නේ නැහැ කියා පැවසීමට තිබෙන හේතු මොනවාද?

උදාහරණයකට ඔබ යම් භාණ්ඩයක් මිල දී ගැනීමට වෙළෙඳසැලකට ගියායැයි සිතන්න. එහි තිබෙන ඇතැම් භාණ්ඩවල කල් ඉකුත් වීමේ දිනයක් සටහන් කර තිබෙනවා. ඇත්තටම ඒ දිනය නියම කළේ කවුද? වෙළෙඳසැලේ අයිතිකරුද? නැහැ. එසේ කළේ එහි නිෂ්පාදකයායි. ඊට හේතුව වෙන කිසිවෙකුටත් වඩා ඒ භාණ්ඩය පාවිච්චි කළ යුතු කාල සීමාව ඔහු දැන සිටීමයි. ඒ නිසා ඒ දිනය ඉතා නිවැරදියි කියා අප කවුරුත් පිළිගන්නවා. ඒ හා සමානව මේ පෘථිවියට සිදු වන්නේ කුමක්ද කියා පැවසීමට හැකියාව තිබෙන්නේ එය නිර්මාණය කළ තැනැත්තාට පමණයි. ඔහු පවසන්නේ “පොළොව කිසිදා නොසෙල්වන ලෙස ස්ථිරව පිහිටෙව්වෙහිය” කියායි. ඉන් පැහැදිලි වන්නේ අපේ පෘථිවියට කල් ඉකුත්වීමේ දිනයක් නැති බවයි.—ගීතාවලිය 119:90.

එසේනම් නොසැලකිලිමත් මිනිසුන්ගේ ක්‍රියා නිසා අපේ පෘථිවිය විනාශ වී යයිද? නැහැ. පෘථිවියේ “නිර්මාතෘ” හැටියට යෙහෝවා දෙවිට ‘ඕනෑම දෙයක් කිරීමේ හැකියාව තිබෙනවා.’ (යෝබ් 42:2; ගීතාවලිය 95:6) එමනිසා ‘මාගේ මුවින් නික්මෙන මාගේ වචනය කිසිවිටෙකත් නිෂ්ඵල වී මා වෙතට හැරී එන්නේ නැත’ කියා ඔහු පවසා ඇති දේ විශ්වාස කිරීමට අපට හැකියි. (යෙසායා 55:11) යෙහෝවා දෙවි යම් දෙයක් පැවසුවොත් ඔහු එය අනිවාර්යයෙන්ම ඉටු කරනවා. ඒ නිසා මේ පොළොව සම්බන්ධයෙන් ඇති ඔහුගේ අරමුණට බාධා කිරීමට කිසිවෙකුට හෝ කිසිවකට බැහැ. නමුත් පෘථිවිය සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ කුමක්ද? ඔහු එය ඉටු කරන්නේ කෙසේද?

දෙවිගේ අරමුණ ඉටු කරන රාජ්‍යයක්

පොළොව කිසිදාක විනාශ නොවන බවත් එය “මිනිසුන්ගේ වාසය සඳහා” නිර්මාණය කර ඇති බවත් බයිබලයේ සඳහන් වෙනවා. (යෙසායා 45:18) වසර දහස් ගණනක් තිස්සේ මිනිසුන් පොළොවේ වාසය කර තිබුණත් දෙවිගේ එම අරමුණ සම්පූර්ණයෙන්ම ඉටු නැහැ. එසේ පවසන්නේ ඇයි කියා සලකා බලමු.

යෙහෝවා දෙවි “ප්‍රීතිමත්” මෙන්ම ‘යුක්තියට ප්‍රිය කෙනෙකු’ බව බයිබලයේ සඳහන් වෙනවා. (1 තිමෝති 1:11; ගීතාවලිය 37:28) එමනිසා දෙවිගේ අරමුණ වන්නේ මිනිස් වර්ගයා යුක්තියෙන් පිරි ලොවක ප්‍රීතියෙන් ජීවත් වෙනවා දැකීමයි. එය ඉටු කිරීම සඳහා ඔහු දැනටමත් ස්වර්ගයේ රාජ්‍යයක් පිහිටුවා තිබෙනවා. ඒ රාජ්‍යය මුළු පොළොවම පාලනය කිරීමට නියමිතයි. (දානියෙල් 2:44) යේසුස් මේ පොළොවේ සිටි කාලයේදී එම රාජ්‍යය ගැන බොහෝ දේවල් ඉගැන්වුවා. එම රාජ්‍යය මාර්ගයෙන් පොළොවේ ජීවත් වෙන මිනිසුන් පුදුමාකාර ආශීර්වාද අද්දකින බව යේසුස් දැන සිටි නිසා ඒ වෙනුවෙන් යාච්ඤා කරන්න කියා ඔහු තම අනුගාමිකයන්ටද දිරිගැන්වූවා. (මතෙව් 6:9, 10; 24:14) ඒ ආශීර්වාද කිහිපයක් මතු දැක්වෙනවා.

▪ ලොව පුරා සිදු වන යුද්ධවලට නිමාවක්.—ගීතාවලිය 46:9.

▪ සියලුදෙනාටම ඇති තරම් ආහාර ලැබෙයි.—ගීතාවලිය 72:16.

▪ කිසිවෙක් ලෙඩ රෝගවලින් දුක් විඳින්නේ නැහැ.—යෙසායා 33:24.

▪ මරණය සදහටම නැති කර දමන නිසා කිසි කෙනෙක් වැලපෙන්නේ නැහැ.—එළිදරව් 21:4.

▪ නිවාස ප්‍රශ්න තවත් නැති අතර සියලුදෙනාම සුරක්ෂිතව සන්තෝෂයෙන් ජීවත් වෙනවා.—යෙසායා 65:17-24.

ඉහත සඳහන් ආශීර්වාද භුක්ති විඳින්න ඔබත් කැමතිද? ඒ සියලුම ආශීර්වාද මිනිසුන්ට ලබා දීමට යෙහෝවා දෙවි මහත් ආශාවෙන් සිටිනවා. (යෙසායා 9:6, 7) නමුත් දෙවි මේ පොරොන්දු දී වසර දහස් ගණනක් ගත වී තිබුණත් ඒවා තවමත් ඉටු වී නැත්තේ ඇයි කියා ඔබ කල්පනා කරනවා ඇති. එසේනම් ඊට හේතුව දැන් අපි සලකා බලමු.

දෙවිගේ ඉවසීම අපගේ ගැලවීමට මඟ පාදයි

යෙහෝවා දෙවි ඔහුගේ පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාද වෙන්නේ නැහැ කියා බයිබලයේ සඳහන් වෙනවා. ඔහු මෙතෙක් කල් ඉවසීමෙන් බලා සිටින්නේ අප නිසයි. ඒ නිසා ඔහුගේ ඉවසීම අපගේ ගැලවීමට දායක වී තිබෙනවා. (2 පේතෘස් 3:9, 15) එසේ පවසන්නේ ඇයි?

මේ පොළොව යහපත් මිනිසුන්ට වාසය කිරීමට උචිත ස්ථානයක් කිරීමට පෙර “පොළොව විනාශ කර දමන අයව විනාශ කර” දැමීමට දෙවි පියවර ගන්නවා. (එළිදරව් 11:18) නමුත් යෙහෝවා දෙවි ප්‍රේමණීය කෙනෙක් නිසා දුෂ්ට කෙනෙක් වුවත් විනාශ වෙනවාට ඔහු කැමති නැහැ. ඒ නිසා දුෂ්ට ක්‍රියා කරන අයට ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට දෙවි අවස්ථාව දී තිබෙනවා. ඔහු එය කරන්නේ රාජ්‍යය පිළිබඳ පුවත සියලු මනුෂ්‍යයන්ට දැනගැනීමට සැලැස්වීමෙනුයි. * (එසකියෙල් 3:17, 18) කෙනෙක් එම ශුභාරංචිය පිළිගෙන දෙවිගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙනවා නම් ඔහුට ගැලවීම ලබාගෙන පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ අවස්ථාව හිමි වෙනවා.

දෙවි වෙතට පැමිණ ගැලවීම ලබාගන්න

අප සියලුදෙනාටම ප්‍රීතිමත් “ශුභාරංචියක්” බයිබලයේ සඳහන් වෙනවා. (මතෙව් 24:14) අපේ පෘථිවිය කිසිදාක විනාශ නොවන බවට දෙවි දී තිබෙන පොරොන්දුවද ඊට අයත්. එමෙන්ම ‘තව කෙටි කාලයකින් දුෂ්ටයා නැති වී යන බවත් නිහතමානී අය පොළොව උරුම කරගෙන දසත පැතිරී තිබෙන සාමය නිසා මහත් සේ ප්‍රීති වෙන’ බවත් එහි සඳහන් වෙනවා. (ගීතාවලිය 37:9-11, 29; මතෙව් 5:5; එළිදරව් 21:3, 4) එය සිදු වන තෙක් දෙවි ‘පොළොවේ සතර දිශාවේ සිටින සියල්ලන්ට’ ඇරයුම් කරන්නේ “මා වෙතට පැමිණ ගැලවීම ලබාගන්න” කියායි. (යෙසායා 45:22) ඔබ ඒ ආරාධනාවට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

බයිබලයේ අපට මෙසේ උනන්දු කරනවා. “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ඔහුගේ මාවතේ දිගටම ගමන් කරන්න. එවිට ඔහු ඔබව උසස් කර ඔබට පොළොව උරුම කර දෙන්නේය.” (ගීතාවලිය 37:34) පොළොව සඳහා යෙහෝවා දෙවිගේ අරමුණ කුමක්ද කියාත් පාරාදීස පොළොවක සන්තෝෂයෙන් ජීවත් වීමට ඔබ කළ යුත්තේ කුමක්ද කියාත් පහදා දීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සිටින්නේ ඉතා ආශාවෙන්. ඒ නිසා ඔවුන් සමඟ බයිබලය ගැන ඉගෙනගන්න ඔබ කැමති නැද්ද?

[පාදසටහන]

^ 21 ඡේ. මතෙව් 28:19, 20හි යේසුස් දුන් ආඥාවට එකඟව රටවල් 236ක සිටින මිලියන හතකට අධික යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සෑම වර්ෂයකම පැය බිලියන 1.5ක් පමණ වැය කරමින් පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද කියා උගන්වනවා.

[22වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

NASA photo