Skip to content

පටුනට යන්න

දෙවිගේ මහත් කරුණාව නිසා ලැබුණු ආශීර්වාදයක්

දෙවිගේ මහත් කරුණාව නිසා ලැබුණු ආශීර්වාදයක්

දෙවිගේ මහත් කරුණාව නිසා ලැබුණු ආශීර්වාදයක්

“අප අයිති වන්නේ යෙහෝවා දෙවිටයි.”—රෝම 14:8.

1, 2. (අ) අපට ලැබී තිබෙන වරප්‍රසාදය කුමක්ද? (ආ) අප සලකා බලන ප්‍රශ්න මොනවාද?

“සියලු ජාතීන් අතරින් මම ඔබව මාගේ විශේෂ සෙනඟ ලෙස තෝරාගන්නෙමි” කියා යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවා. තමන්ට අයිති සෙනඟක් කරගැනීමෙන් දෙවි ඔවුන්ට ලබා දුන්නේ මොන තරම් මහඟු වරප්‍රසාදයක්ද! (නික්. 19:5) අද දිනත් ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් එම වරප්‍රසාදය භුක්ති විඳිනවා. (1 පේතෘ. 2:9; එළි. 7:9, 14, 15) ඉන් සදාකාලයටම ප්‍රයෝජන ලැබිය හැකියි.

2 යෙහෝවා දෙවිට අයිතිව සිටීම වරප්‍රසාදයක් වගේම වගකීමක් ලෙසද සැලකිය යුතුයි. ඒ නිසා කෙනෙක් මෙසේ සිතන්න පුළුවන්. ‘දෙවි මගෙන් බලාපොරොත්තු වන දේවල් කරන්න මට පුළුවන් වෙයිද? මම බරපතළ වරදක් කළොත් දෙවි මාව ප්‍රතික්ෂේප කරයිද? දෙවිට කැප වීමෙන් මට මගේ නිදහස නැති වෙයිද?’ එවැනි ප්‍රශ්න ගැන සලකා බැලීම වැදගත්. නමුත් ඊට කලින් අප අවධානය යොමු කළ යුතු තවත් වැදගත් ප්‍රශ්නයක් තිබෙනවා. එය නම් දෙවිට අයත්ව සිටීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද යන්නයි.

දෙවිට අයිති වීමෙන් සන්තෝෂය ලැබෙයි

3. යෙහෝවා දෙවිට සේවය කිරීමට ගත් තීරණය නිසා රාහබ් ලැබූ ප්‍රයෝජන මොනවාද?

3 දෙවිට අයිති වීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඊට පිළිතුරු දැනගැනීම සඳහා යෙරිකෝවේ ජීවත් වූ ගණිකා ස්ත්‍රියක් වන රාහබ් ගැන සලකා බලන්න. ඇය කානානිය දෙවිවරුන්ට නමස්කාර කළ අය සමඟ හැදී වැඩුණු නිසා ඔවුන්ගේ අපවිත්‍ර නමස්කාරයට හවුල් වන්න ඇති. නමුත් ඇය යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට ලබා දුන් යුධ ජයග්‍රහන ගැන අසා තිබුණු අතර සැබෑ දෙවි වන්නේ යෙහෝවා බව තේරුම්ගෙන සිටියා. ඒ නිසා ඇය තම ජීවිතය අනතුරේ හෙළමින් දෙවිගේ තෝරාගත් සෙනඟව ආරක්ෂා කිරීමට ක්‍රියා කළා. ඉන් ඇය පෙන්නුවේ තම ජීවිතය ආරක්ෂා කිරීමට ඔවුන්ට හැකි බව තමා විශ්වාස කරන බවයි. බයිබලයේ ඒ ගැන මෙසේ පවසනවා. “රාහබ් නම් ගණිකාව පණිවිඩකරුවන්ව සාදරයෙන් පිළිගෙන ඔවුන්ව වෙනත් මඟකින් පිටත් කර යැවූ පසු ඇයව ධර්මිෂ්ඨ තැනැත්තියක ලෙස ප්‍රකාශ කරනු ලැබුවේ ඇගේ එම ක්‍රියාව නිසා නොවේද?” (යාකො. 2:25) දෙවිගේ නීතිය තුළින් ප්‍රේමය හා යුක්තිය පෙන්වන ආකාරය ඉගෙනගෙන තිබූ, පවිත්‍ර සෙනඟකට අයිතිව සිටීමෙන් ඇය ලැබූ ප්‍රයෝජන ගැන සිතා බලන්න. ඇය ගත කරමින් සිටි ජීවිතය වෙනස් කිරීමට හැකි වීම ගැන ඇය මොන තරම් සතුටු වන්න ඇද්ද! පසුව ඇය ඉශ්‍රායෙල්වරයෙකු සමඟ විවාහ වී බෝවස් නම් පුතෙකුව බිහි කළා. ඔහු කැපීපෙනෙන ගුණාංග විදහා පෙන්වූ දෙවිට විශ්වාසවන්ත පුද්ගලයෙක් වුණා.—යොෂු. 6:25; රූත් 2:4-12; මතෙ. 1:5, 6.

4. දෙවිට සේවය කිරීමට ගත් තීරණයෙන් රූත් ප්‍රයෝජන ලැබුවේ කොහොමද?

4 මෝවබ් ජාතික කාන්තාවක් වූ රූත්ද යෙහෝවා දෙවිට සේවය කිරීමට තීරණය කළා. ඇය කුඩා කාලයේ සිට කෙමොෂ් හා තවත් දෙවිවරුන්ට නමස්කාර කරන්න ඇති. නමුත් පසුව ඇයට යෙහෝවා දෙවි ගැන දැනගන්න ලැබුණා. ඊට පසු ඇය තම රටට පැමිණ සිටි ඊශ්‍රායෙල්වරයෙක් සමඟ විවාහ වුණා. (රූත් 1:1-6 කියවන්න.) කාලයක් ගත වූ පසු රූත්, ඕපා හා ඔවුන්ගේ නැන්දම්මා වන නායොමි බෙත්ලෙහෙම බලා පිටත් වුණා. නමුත් රූත් හා ඕපාට බෙත්ලෙහෙමේ ජීවත් වීම පහසු දෙයක් නොවන බව තේරුම්ගත් නායොමි අතරමඟදී නැවත ඔවුන්ගේ නිවෙස්වලට යන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව ඕපා “ඇගේ සෙනඟ වෙතටත් දෙවිවරුන් වෙතටත් ආපහු ගියා.” නමුත් රූත් නායොමි සමඟම සිටියා. තමාට තිබූ විශ්වාසයට අනුව ඇය ක්‍රියා කළා විතරක් නොවෙයි තමන් අයිති විය යුත්තේ කාටද කියාද ඇය දැන සිටියා. ඒ නිසා ඇය නායොමිට මෙසේ පැවසුවා. “ඔබව අත්හැර යන්න කියලා නම් මට කියන්න එපා. ඔබ යන ඕනෑම තැනකට මමත් යනවා. ඔබ නිදාගන්න තැනම මමත් නිදාගන්නවා. ඔබේ සෙනඟ මගෙත් සෙනඟයි. ඔබේ දෙවි මගෙත් දෙවියි.” (රූත් 1:15, 16) රූත් යෙහෝවා දෙවිට සේවය කිරීමට තෝරාගත් නිසා ඉඩකඩම් නොමැති, දුප්පත් හා වැන්ඳඹුවන්ට සහන ලබා දුන් දෙවිගේ නීතියෙන් ප්‍රයෝජන ලැබුවා. යෙහෝවා දෙවිට අයිති වීමෙන් ඇය දෙවි ලබා දෙන සන්තෝෂය, රැකවරණය හා ආරක්ෂාව අද්දැක්කා.

5. දෙවිට විශ්වාසවන්තව සේවය කරන සෙනඟ තුළ ඔබ දැක තිබෙන්නේ කුමක්ද?

5 දෙවිට කැප වී දශක ගණනාවක් ඔහුට විශ්වාසවන්තව සේවය කරන අයව ඔබ හඳුනනවා විය හැකියි. ඉන් ඔවුන් ලැබූ ප්‍රයෝජන ගැන ඔවුන්ගෙන් අසන්න ඔබට පුළුවන්. සියලුදෙනාටම ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීමට සිදු වන බව ඇත්තයි. නමුත් “සන්තෝෂවත් සෙනඟ වන්නේ යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි ලෙස පිළිගෙන සිටින සෙනඟය” කියා ඔවුන් පවසන බවට නම් කිසිම සැකයක් නැහැ.—ගීතා. 144:15.

දෙවි බලාපොරොත්තු වන්නේ කළ හැකි දේ පමණයි

6. දෙවි අපෙන් බලාපොරොත්තු වන දේ කිරීමට අපට නොහැකි වෙයි කියා අප නොසිතිය යුත්තේ ඇයි?

6 යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වන දේ කිරීමට ඔබට හැකිද කියා ඔබ කල්පනා කරනවා විය හැකියි. දෙවිට සේවය කරමින්, ඔහුගේ අණපනත් රකිමින්, ඔහු ගැන අන් අයට කතා කිරීම අමාරු දෙයක් කියා සිතීම පහසුයි. උදාහරණයකට ඊශ්‍රායෙල්වරුන්ට හා පාරාවෝට කතා කිරීමට මෝසෙස්ව යැවීමට සූදානම් වූ විට තමා කතා කිරීමට දක්ෂයෙක් නොවන බව මෝසෙස්ටද හැඟුණා. නමුත් දෙවි මෝසෙස්ගෙන් බලාපොරොත්තු වුණේ ඔහුට කිරීමට නොහැකි දෙයක් නොවෙයි. ඒ වගේම දෙවි ඔහුට “කළ යුතු දේ” කියා දෙමින් අවශ්‍ය උපකාරයද ලබා දුන්නා. (නික්මයාම 3:11; 4:1, 10, 13-15 කියවන්න.) මෝසෙස් එය පිළිගත් නිසා දෙවිගේ කැමැත්ත කිරීමෙන් ප්‍රීතියක් ලැබුවා. අපගේ පව්කාර ස්වභාවය තේරුම්ගන්නා දෙවි අපෙන් බලාපොරොත්තු වන්නේද අපට කළ හැකි දේ පමණයි. ඒ සඳහා අවශ්‍ය උපකාරයද ඔහු ලබා දෙනවා. (ගීතා. 103:14) යේසුස්ගේ අනුගාමිකයෙක් ලෙස දෙවිට සේවය කිරීම අපට අමාරු දෙයක් නොවෙයි. ඉන් අපට ඉමහත් සතුටක් ලබන්න පුළුවන්. මන්ද ඒ තුළින් අපට යෙහෝවා දෙවිගේ සිත සතුටු කිරීමටත් අන් අයට ප්‍රයෝජන ලබා දීමටත් හැකියි. යේසුස් ඒ ගැන පැවසුවේ, “මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි. මා මෘදු ගුණැති නිහතමානී කෙනෙකු වන නිසා මා ඔබ පිට තබන වියගහ පිළිගෙන මගෙන් ඉගෙනගන්න” කියායි.—මතෙ. 11:28, 29.

7. දෙවි ඔබෙන් බලාපොරොත්තු වන දේ කිරීමට ඔහු ඔබට උපකාර කරයි කියා ස්ථිර වෙන්න පුළුවන් ඇයි?

7 දෙවිගේ කැමැත්ත කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න ඔහුට හැකි බව අප විශ්වාස කරනවා නම් ඔහු එය අපට අනිවාර්යයෙන්ම ලබා දෙනවා. උදාහරණයකට යෙරෙමියා ගැන සලකා බලන්න. ඔහු සාමාන්‍යයෙන් කතා කිරීමට දක්ෂයෙක් නොවෙයි. දෙවි ඔහුව අනාගතවක්තෘවරයෙක් ලෙස තෝරාගත් අවස්ථාවේදී ඔහු මෙසේ පැවසුවා. “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, මම තවම තරුණයෙක්. අනික මම කතාවට දක්ෂ කෙනෙක් නෙවෙයි.” පසු අවස්ථාවක ඔහු මෙසේද පැවසුවා. “ඔහුගේ නාමයෙන් මම කිසි දෙයක් ප්‍රකාශ කරන්නෙත් නැහැ.” (යෙරෙ. 1:6; 20:9) නමුත් දෙවි ඔහුට අවශ්‍ය ශක්තිය ලබා දුන් නිසා මිනිසුන් අකමැති පණිවිඩයක් වසර 40ක් පුරා ප්‍රකාශ කිරීමට ඔහුට හැකි වුණා. ඒ කාලය අතරතුර දෙවි නැවත නැවත යෙරෙමියාව මෙලෙස දිරිගැන්නුවා. “ඔබව ආරක්ෂා කරන්නත් ඔබව ගලවාගන්නත් මම ඔබ සමඟ සැමදා සිටිමි.”—යෙරෙ. 1:8, 19; 15:20.

8. අපට දෙවි කෙරෙහි විශ්වාසයක් තිබෙන බව පෙන්වන්න පුළුවන් කොහොමද?

8 දෙවි තම කැමැත්ත ඉටු කිරීමට මෝසෙස් හා යෙරෙමියාට උපකාර කළා හා සමානව අපටත් උපකාර කරනවා. එය ලබාගැනීමට නම් අපට උපකාර කිරීමට දෙවිට හැකි බව අප විශ්වාස කළ යුතුයි. බයිබලයේ ඒ ගැන මෙසේ පවසනවා. “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. ඔබේ ජීවන ගමනේදී ඔබ තබන සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න. එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත.” (හිතෝ. 3:5, 6) ක්‍රිස්තියානි සභාව හා බයිබලය තුළින් දෙවි ලබා දෙන උපකාරය අප ප්‍රයෝජනයට ගන්නවා නම් දෙවි කෙරෙහි විශ්වාසයක් තිබෙන බව පෙන්වන්න අපට පුළුවන්. ඒ ආකාරයට උපකාර කිරීමට අප දෙවිට ඉඩහරිනවා නම් ඔහු කෙරෙහි අපට ඇති විශ්වාසය නැති කර දැමීමට කිසිම දෙයකට හැකි වන්නේ නැහැ.

දෙවි ඔහුගේ සෑම සේවකයෙක් ගැනම සැලකිලිමත්

9, 10. අනූඑක්වන ගීතිකාවෙන් පොරොන්දු වන්නේ කුමනාකාරයේ ආරක්ෂාවක් පිළිබඳවද?

9 තමන් දෙවිට කැප විය යුතුද නැද්ද කියා තීරණය කිරීමට පෙර පුද්ගලයෙක් මෙසේ කල්පනා කිරීමට ඉඩ තිබෙනවා. ‘මං අතින් බරපතළ වරදක් සිදු වුණොත් දෙවිට සේවය කරන්න මම වටින්නේ නැහැයි කියා හිතලා දෙවි මාව ප්‍රතික්ෂේප කරයිද?’ දෙවි සමඟ ඇති අපගේ වටිනා මිත්‍රත්වය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය සියල්ල ඔහු අපට ලබා දී තිබෙන නිසා එසේ සිතිය යුතු නැහැ. ඒ පිළිබඳව 91වන ගීතිකාව සලකා බැලීම අපට ප්‍රයෝජනවත්.

10 එම ගීතිකාව ආරම්භ වන්නේ මෙසේයි. “මහෝත්තම දෙවිගේ රහස් ස්ථානයේ සිටින්නාට සියලු බලැති තැනැත්තාණන්ගේ සෙවණෙහි වාසය කිරීමට හැකි වන්නේය. මම යෙහෝවා දෙවිට මෙසේ කියන්නෙමි. ‘ඔබ මාගේ රැකවරණයය. මාගේ බලකොටුවය. මා විශ්වාසය තබන මාගේ දෙවිය.’ ඔහු කුරුලු දඩයක්කරුගේ උගුලෙන් ඔබව ගලවාගන්නේය.” (ගීතා. 91:1-3) දෙවිට ප්‍රේම කරමින් ඔහුව විශ්වාස කරන අයව ආරක්ෂා කරන බවට දෙවි පොරොන්දු වී තිබෙනවා. (ගීතාවලිය 91:9, 14 කියවන්න.) දෙවි ලබා දෙන්නේ කුමනාකාරයේ ආරක්ෂාවක්ද? දෙවි ඔහුගේ පුරාණ සේවකයන් කිහිපදෙනෙකුගේ ජීවිත ආරක්ෂා කර තිබෙනවා. සමහර අවස්ථාවලදී ඔහු එසේ කළේ ගැලවුම්කරු පැමිණෙන පරම්පරාව ආරක්ෂා කිරීමට අවශ්‍ය නිසයි. කෙසේවෙතත් දෙවිගේ බොහෝ සේවකයන්ගේ විශ්වාසවන්තකම නැති කිරීමට ඔවුන්ව අසාධාරණ ලෙස සිරගත කර, පීඩා කර හා මරණයට පවා පත් කර තිබෙනවා. (හෙබ්‍රෙ. 11:34-39) ඒ කොහොමනමුත් තමාට විශ්වාසවන්තව සිටීමට අවශ්‍ය උපකාරය දෙවි ඔවුන්ට ලබා දී තිබෙනවා. ඒ අනුව 91වන ගීතිකාවෙන් දෙවි පොරොන්දු වන්නේ ඔහු සමඟ අපට ඇති මිත්‍රත්වය ආරක්ෂා කරන බවයි.

11. ‘මහෝත්තම දෙවිගේ රහස් ස්ථානය’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? දෙවි ඉන් ආරක්ෂාව සපයන්නේ කාටද?

11 ‘මහෝත්තම දෙවිගේ රහස් ස්ථානය’ කියා පැවසීමෙන් ගීතිකාකරු අදහස් කළේ දෙවි සමඟ ඇති අපගේ කිට්ටු මිත්‍රත්වය ආරක්ෂා කරගැනීමට දෙවි ලබා දෙන උපකාරයයි. එම උපකාරය ලබන අයට දිගටම දෙවිට ප්‍රේම කරමින් ඔහුට විශ්වාසවන්තව සිටිය හැකියි. (ගීතා. 15:1, 2; 121:5) එය රහස් ස්ථානයක් වන්නේ දෙවි කෙරෙහි විශ්වාසය නොතබන අයට එය අවබෝධ කරගැනීමට නොහැකි වන නිසයි. නමුත් ‘මා විශ්වාසය තබන මාගේ දෙවි ඔබය’ කියා පවසන අයට යෙහෝවා දෙවි ආරක්ෂාව සපයනවා. එවැනි අය “කුරුලු දඩයක්කරු” වන සාතන්ගේ උගුලකට හසු වීමෙන් දෙවිගේ අනුමැතිය අහිමි වෙයි කියා ඕනෑවට වඩා කනස්සලු විය යුතු නැහැ.

12. දෙවි සමඟ ඇති අපගේ මිත්‍රත්වයට හානි කළ හැකි දේවල් මොනවාද?

12 තමන්ට රිසි සේ හැසිරීමේ ආශාව ඇති කිරීමෙන් “කුරුලු දඩයක්කරු” බොහෝදෙනෙකුව හසු කරගෙන සිටිනවා. (2 කොරි. 11:3) එමෙන්ම කෑදරකම, උඩඟුකම හා ධන සම්පත්වලට ආශාවක් ඇති කිරීමෙන්ද ඔහු බොහෝදෙනෙකුව තමාගේ පැත්තට ගෙන තිබෙනවා. ඒ විතරක් නොවෙයි ජාත්‍යාලය, පරිනාමවාදය හා අසත්‍ය ආගමික ඉගැන්වීම්වලින්ද ඔහු තවත් අයව මුළා කර තිබෙනවා. (කොලො. 2:8) වැරදි ආකාරයේ ලිංගික හැසිරීමේ උගුලටද බොහෝදෙනා හසු වී සිටිනවා. ගීතිකාකරු ‘අඳුරේ පැතිරී යන වසංගතය හා දවල් කාලයේදී සියල්ල නැති නාස්ති කර දමන විනාශය’ කියා සඳහන් කළේ එවැනි දේවල් ගැනයි. (ගීතා. 91:5, 6) ඒ දේවල් නිසා මිලියන ගණනක්දෙනා දෙවිට දැක්වූ ප්‍රේමය නැති කරගෙන තිබෙනවා.ගීතාවලිය 91:7-10 කියවන්න; මතෙ. 24:12.

දෙවි කෙරෙහි ඇති ප්‍රේමය ආරක්ෂා කරගන්න

13. දෙවි සමඟ ඇති මිත්‍රත්වයට හානි සිදු විය හැකි දේවලින් ඔහු අපව ආරක්ෂා කරන්නේ කොහොමද?

13 යෙහෝවා දෙවි සමඟ ඇති මිත්‍රත්වයට හානි සිදු විය හැකි දේවලින් ඔහු තම සෙනඟව ආරක්ෂා කරන්නේ කොහොමද? ගීතිකාකරු ඊට මෙසේ පිළිතුරු දෙනවා. “ඔහු තම දූතයන්ට ඔබව ආරක්ෂා කිරීමට අණ දෙන්නේය. එසේය, ඔබ ගන්නා සෑම පියවරකදීම ඔබව ආරක්ෂා කරන ලෙස අණ දෙන්නේය.” (ගීතා. 91:11) දේවදූතයන්, අපට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම් හා ආරක්ෂාව ලබා දෙනවා. (එළි. 14:6) සභාවේ සිටින වැඩිමහල්ලන්ද ශුද්ධ ලියවිල්ලට එකඟව අපට අවශ්‍ය දැනුම ලබා දෙමින් අසත්‍ය ඉගැන්වීම්වලින් අපව ආරක්ෂා කරනවා. එමෙන්ම වැරදි ආකල්ප ඉවත් කරගැනීමට උත්සාහ කරන අයටද ඔවුන් උපකාර කරනවා. (තීත. 1:9; 1 පේතෘ. 5:2) ඒ විතරක් නොවෙයි පරිනාමවාදය, වැරදි ආශාවන් ඉටු කරගැනීමට ඇති පෙලඹවීම්, ධන සම්පත් ඉපයීමට හා ජනප්‍රිය වීමට ඇති ආශාවන් මෙන්ම අනිකුත් වැරදි ආශාවන්ගෙන් අපව ආරක්ෂා කිරීම සඳහා විශ්වාසවන්ත නුවණ ඇති දාසයාද අවශ්‍ය මඟ පෙන්වීම් අපට ලබා දෙනවා. (මතෙ. 24:45) ඉහත සඳහන් හානිකර දේවලින් ආරක්ෂා වීමට ඔබට උපකාරවත් වී තිබෙන්නේ කුමක්ද?

14. දෙවි ලබා දෙන ආරක්ෂාවෙන් ප්‍රයෝජන ගන්න අපට පුළුවන් කොහොමද?

14 දෙවිගේ ‘රහස් ස්ථානයේ’ සිටිමින් දිගටම ආරක්ෂාව ලැබීමට අප කළ යුත්තේ කුමක්ද? අනතුරුවලින්, අපරාධකරුවන්ගෙන් හෝ රෝගවලින් ආරක්ෂා වීම සඳහා අප නිරතුරුවම ක්‍රියා කරනවා හා සමානව දෙවි සමඟ අපට ඇති මිත්‍රත්වයට හානි සිදු විය හැකි දේවලින් ආරක්ෂා වීමටත් අප නිරතුරුවම පියවර ගත යුතුයි. ඒ සඳහා අපගේ ප්‍රකාශන, රැස්වීම් හා එක්රැස්වීම් මාර්ගයෙන් දෙවි ලබා දෙන මඟ පෙන්වීම් අපට ප්‍රයෝජනවත් වෙනවා. එමෙන්ම අපට උපකාර කිරීමට සභාවේ වැඩිමහල්ලන්ද සිටිනවා. අපගේ සහෝදර සහෝදරියන් විදහාපෙන්වන යහපත් ගතිගුණද අපට ඒ සඳහා ප්‍රයෝජනවත්. ඔවුන් සමඟ ඇසුරු කිරීමෙන් අපට ප්‍රඥාවන්තයන් මෙන් කටයුතු කළ හැකියි.—හිතෝ. 13:20; 1 පේතෘස් 4:10 කියවන්න.

15. දෙවිගේ අනුමැතිය අහිමි කරන දේවලින් අපව ආරක්ෂා කිරීමට ඔහුට හැකි බව විශ්වාස කරන්න අපට පුළුවන් කොහොමද?

15 දේශපාලන හා ආගමික විරුද්ධවාදීන්ගේ මුලික අරමුණ අපව මරණයට පත් කිරීම නොවෙයි. ඒ වෙනුවට ඔවුන්ට අවශ්‍ය වන්නේ දෙවිගේ අනුමැතිය අහිමි කර අපව දෙවිගෙන් ඈත් කිරීමටයි. නමුත් යෙහෝවා දෙවි අපව කණ්ඩායමක් ලෙස ආරක්ෂා කර තිබෙනවා. “ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැත” යන පොරොන්දුව එමගින් ඔහු ඉටු කර තිබෙනවා. (යෙසා. 54:17) ඒ නිසා දෙවිගේ අනුමැතිය අහිමි කරන දේවලින් අපව ආරක්ෂා කිරීමට ඔහුට හැකි බව සැක කිරීමට කිසිම හේතුවක් අපට නැහැ.—රෝම 8:38, 39.

සැබෑ නිදහස ලබා දෙන්නේ කවුද?

16. අපට සැබෑ නිදහසක් ලබා දීමට දෙවිගෙන් ඈත් වූ ලෝකයට නොහැකි ඇයි?

16 යෙහෝවා දෙවිට කැප වීමෙන් අපගේ නිදහස නැති වෙයිද? නැහැ. නමුත් දෙවිගෙන් ඈත්ව සිටින ලෝකයට අයිති වීමෙන් අපගේ නිදහස නැති වෙනවා. මන්ද එය පාලනය කරන කුරිරු දෙවියා ඔහුගේ යටත් වැසියන්ව දාසයන් කරගෙන තිබෙනවා. (යොහ. 14:30) උදාහරණයකට සැප පහසු ජීවිතයක් ගත කිරීමට මිනිසුන්ව පොලඹවා ඔවුන්ගේ නිදහස අහිමි කිරීමට සාතන් උත්සාහ කරනවා. (එළිදරව් 13:16, 17 බලන්න.) ඊට අමතරව පාපයේ මුළා කරවන බලපෑමට හසු වීමෙන්ද කෙනෙකුගේ නිදහස නැති වෙනවා. (යොහ. 8:34; හෙබ්‍රෙ. 3:13) දෙවිගේ ප්‍රතිපත්ති නොසලකා හැර තමන්ට කැමති ආකාරයෙන් ජීවත් වීමෙන් නිදහස් ජීවිතයක් ගත කළ හැකි බව සමහරුන් පවසන්න පුළුවන්. නමුත් ඊට සවන් දෙන කෙනෙකුට අන්තිමේදී සිදු වන්නේ පාපයේ දාසයෙකු වීමටයි.—රෝම 1:24-32.

17. යෙහෝවා දෙවි ලබා දෙන නිදහස කුමක්ද?

17 අප යෙහෝවා දෙවිට කැප වුණොත් අපට හානි විය හැකි ඕනෑම දෙයකින් ඔහු අපව ආරක්ෂා කරනවා. අසනීපයක් නිසා ජීවිතය අවදානම් තත්වයක තිබෙන විට ඉන් තමන්ව ගලවාගත හැකි දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකු කෙරෙහි විශ්වාස කරන පුද්ගලයෙකුගේ තත්වයට අපගේ තත්වය සමාන කළ හැකියි. අප සෑම කෙනෙක්ම පාපය උරුම කරගෙන තිබෙන නිසා අපගේ ජීවිත තිබෙන්නේද අවදානම් තත්වයකයි. නමුත් අප යෙහෝවා දෙවිට කැප වෙනවා නම් ඔහු යේසුස්ගේ ජීවිත පූජාව නිසා පව්කාර තත්වයෙන් අපව නිදහස් කර අපට සදාකාල ජීවනය ලබා දෙනවා. (යොහ. 3:36) වෛද්‍යවරයා පිළිබඳ අප සතු අවබෝධය වැඩි වන තරමට ඔහු කෙරෙහි ඇති විශ්වාසය වැඩි වෙනවා හා සමානව දෙවි පිළිබඳ දැනුම වැඩි කරගැනීමෙන්ද දෙවි කෙරෙහි ඇති විශ්වාසය වැඩි කරගත හැකියි. ඒ සඳහා දේවවචනය දිගටම අධ්‍යයනය කිරීම වැදගත්. එසේ කිරීමෙන් දෙවි කෙරෙහි අපට ඇති ප්‍රේමයද වැඩි වෙනවා. එමගින් දෙවිට කැප වීමට නැත්නම් ඔහුට අයිති වීමට ඇති බිය අපට නැති කරගත හැකියි.—1 යොහ. 4:18.

18. දෙවිට අයිතිව සිටින අයට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද?

18 තමන්ට කැමති දේ කිරීමේ නිදහස දෙවි මිනිසුන්ට ලබා දී තිබෙනවා. ඒ බව බයිබලයේ මෙසේ පවසවා. “ඔබ තෝරාගත යුත්තේ ඔබටත් ඔබේ දූපුතුන්ටත් දිගු කල් ජීවත් වීමට හැකියාව ලබා දෙන ජීවනයට යන මාර්ගයයි. ඒ සඳහා ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කරන්න.” (ද්වි. 30:19, 20) දෙවිට සේවය කිරීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වීමෙන් ඔහුට ප්‍රේම කරන බව පෙන්වනවාට ඔහු කැමතියි. අප ප්‍රේම කරන අපේ දෙවි වන යෙහෝවාට අයිතිව සිටීමෙන් අපගේ නිදහස නැති වෙනවා වෙනුවට අපට සන්තෝෂය ලැබෙනවා.

19. දෙවිට අයිතිව සිටීමට අපට හැකි වී තිබෙන්නේ ඔහුගේ මහත් කරුණාව නිසා කියා පවසන්න පුළුවන් ඇයි?

19 අප පව්කාරයන් නිසා අපගේ පරිපූර්ණ දෙවිට අයිති වීමට කිසිම සුදුසුකමක් අපට නැහැ. නමුත් දෙවිගේ මහත් කරුණාව නිසා අපට ඒ වරප්‍රසාදය ලැබී තිබෙනවා. (2 තිමෝ. 1:9) ඒ ගැන පාවුල් මෙසේ ලිව්වා. “අප ජීවත් වන්නේ යෙහෝවා දෙවිගේ ගෞරවය උදෙසාය. අපට මිය යන්න සිදු වුණත් එසේ මිය යන්නේ යෙහෝවා දෙවිගේ ගෞරවය උදෙසාය. ඒ අනුව අප ජීවත් වුණත් මිය ගියත් අප අයිති වන්නේ යෙහෝවා දෙවිටයි.” (රෝම 14:8) ඒ නිසා දෙවිට අයිති වීමට අප ගත් තීරණය ගැන අප කිසිම දිනක කනගාටු නොවන බව ස්ථිරයි.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

• දෙවිට අයිතිව සිටීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

• දෙවි අපගෙන් බලාපොරොත්තු වන දේ කරන්න අපට පුළුවන් ඇයි?

• තම සේවකයන්ට දෙවි ආරක්ෂාව සපයන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[8වන පිටුවේ පින්තූර]

යෙහෝවා දෙවිට අයිති වීමෙන් ප්‍රයෝජන ලැබූ ආකාරය අන් අයගෙන් අසන්න

[10වන පිටුවේ පින්තූරය]

දෙවි අපට ආරක්ෂාව සපයන ක්‍රම සමහරක් මොනවාද?