Skip to content

පටුනට යන්න

ක්‍රිස්තුස්ගේ සැබෑ අනුගාමිකයෙක් වන්න

ක්‍රිස්තුස්ගේ සැබෑ අනුගාමිකයෙක් වන්න

ක්‍රිස්තුස්ගේ සැබෑ අනුගාමිකයෙක් වන්න

“සෑම හොඳ ගසකින්ම ලැබෙන්නේ හොඳ පලයි. නමුත් සෑම නරක ගසකින්ම නෙළාගත හැක්කේ කිසි වැඩකට නැති පලයි.”—මතෙ. 7:17.

1, 2. ක්‍රිස්තියානීන්යයි කියාගන්නාවූ අය හා සැබෑ ක්‍රිස්තියානීන් අතර වෙනස හඳුනාගත හැක්කේ කොහොමද?

මිනිසුන් අහන දකින දේවල් ඔවුන්ගේ ක්‍රියා හා සිතුවිලිවලට ප්‍රබල බලපෑමක් ඇති කරනවා. (මතෙ. 15:18, 19) යේසුස්ගේ අනුගාමිකයන් තමන් බව බොරුවට කියා සිටින අය හා ඔහුගේ සැබෑ අනුගාමිකයන් අතර ඇති වෙනස ඔවුන්ගේ ඉගැන්වීම් හා හැසිරීමෙන් වටහාගත හැකි බව යේසුස් පැවසුවා. (මතෙ. 7:15-17, 20) ඒ අනුව නිතරම අසත්‍ය ඉගැන්වීම්වලින් පෝෂණය වන අය “කිසි වැඩකට නැති පල” දරනවා. නමුත් සත්‍ය ඉගැන්වීම්වලින් පෝෂණය ලබන අය දරන්නේ “හොඳ පලයි.”

2 පවතින මේ සමාජයේ අන්තිම දවස්වල එම පල වර්ග දෙක පැහැදිලිව දැකගන්න ලැබෙනවා. (දානියෙල් 12:3, 10 කියවන්න.) තමන් ක්‍රිස්තියානීන්යයි කියාගන්නාවූ අයට දෙවි ගැන ඇත්තේ විකෘති අදහස් මෙන්ම බොරු භක්තියක්. නමුත් සැබෑ ක්‍රිස්තියානීන් දෙවි “ලබා දෙන මඟ පෙන්වීමට හා ඔහු එළිදරව් කරන සැබෑ දැනුමට එකඟව” ඔහුට නමස්කාර කරනවා. (යොහ. 4:24; 2 තිමෝ. 3:1-5) ඒ වගේම ඔවුන් ක්‍රිස්තියානි ගුණාංග විදහා පෙන්වීමටද වෑයම් කරනවා. සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගත හැකි ලක්ෂණ පහක් අපි දැන් සලකා බලමු. ඒවා සලකා බලන විට ඔබගෙන්ම මෙසේ අසාගන්න. ‘මම අන් අයට උගන්වන දේවලට අනුව ජීවත් වෙනවාද? මගේ හැසිරීම නිසා අන් අයට දෙවි ගැන ඉගෙනගන්න පෙලඹීමක් ඇති වෙනවාද?’

දෙවිගේ වචනයට අනුව ජීවත් වන්න

3. යෙහෝවා දෙවිව සතුටු කළ හැක්කේ කාටද? එවැනි කෙනෙක් කටයුතු කළ යුත්තේ කොහොමද?

3 “ස්වර්ගයෙහි සිටින මගේ පියාණන්ගේ කැමැත්ත කරන්නා මිස මට ‘ස්වාමීනි, ස්වාමීනි’ කියන සියලුදෙනාටම ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න ලැබෙන්නේ නැහැ” කියා යේසුස් පැවසුවා. (මතෙ. 7:21) ඉන් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවිව සතුටු කළ හැක්කේ තමන් ක්‍රිස්තියානියෙක් කියා පවසන කෙනෙකුට නොව දෙවි බලාපොරොත්තු වන දේ කරන කෙනෙකුට පමණක් බවයි. එවැනි කෙනෙක් මුදල් ගැන දරන ආකල්පය, රැකියාව, විනෝදාස්වාදය, සිරිත් විරිත් හා උත්සව, විවාහය සහ සෙසු අය සමඟ කටයුතු කිරීම වැනි ජීවිතයේ සෑම කාරණයකදීම කටයුතු කරන්නේ දෙවි කැමති ආකාරයටයි. නමුත් ක්‍රිස්තියානීන්යි කියාගන්නාවූ අය ක්‍රියා කරන්නේ පවතින මේ සමාජයේ දුෂ්ට ආකල්ප හා ක්‍රියාවලට අනුවයි.—ගීතා. 92:7.

4, 5. මලාකි 3:18 අපට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

4 අවසාන කාලයේ සිදු වන දෙයක් මලාකි මෙසේ විස්තර කරනවා. “ඒ කාලයේදී ධර්මිෂ්ඨයා කවුද කියාත් දුෂ්ටයා කවුද කියාත් දෙවිට සේවය කරන්නේ කවුද කියාත් නොකරන්නේ කවුද කියාත් පැහැදිලිව දැකගැනීමට හැකි වනු ඇත.” (මලා. 3:18) ඒ සම්බන්ධයෙන් ඔබට මෙසේ කල්පනා කළ හැකියි. ‘මම ජීවත් වන ආකාරයෙන් පැහැදිලි වන්නේ මම දෙවිට සේවය කරන කෙනෙක් කියලද නැත්නම් නොකරන කෙනෙක් කියලද? පාසැලේ හෝ රැකියා ස්ථානයේ අය වගේ වෙන්න මම නිතරම උත්සාහ කරනවාද නැත්නම් බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙමින් ඒ ගැන ඔවුන්ට කතා කරනවාද?’ (1 පේතෘස් 3:16 කියවන්න.) අප දෙවිගෙන් ඈත් වී සිටින මිනිසුන්ට වඩා ධර්මිෂ්ඨ බව පෙන්වීමට උත්සාහ නොකළත් ඔවුන්ට වඩා වෙනස් බව පෙන්විය යුතුයි.

5 හැසිරීම සම්බන්ධයෙන් ඔබට යම් වෙනස්කමක් කළ යුතුයි කියා හැඟුණොත් ඒ ගැන නොකඩවා දෙවිට යාච්ඤා කරන්න. ඒ වගේම බයිබලය නිතිපතා අධ්‍යයනය කිරීම හා රැස්වීම්වලට සහභාගි වීමද ඒ සඳහා ඔබට උපකාරවත් වේවි. දෙවිගේ වචනයේ ඇති මඟ පෙන්වීම් අදාළ කරගන්නා විට ඔබට “හොඳ පල” දැරිය හැකියි. ‘නිතරම අපගේ මුවින් දෙවිගේ නාමය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමද’ එම පලවලට අයත් වෙනවා.—හෙබ්‍රෙ. 13:15.

දෙවිගේ රාජ්‍යය ගැන කතා කරන්න

6, 7. ශුභාරංචිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සැබෑ ක්‍රිස්තියානීන් හා ක්‍රිස්තියානීන්යයි කියාගන්නාවූ අය අතර ඇති වෙනස කුමක්ද?

6 “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය වෙනත් නුවරවලත් දේශනා කළ යුතුයි. මාව එවා තිබෙන්නේ ඒ සඳහායි” කියා යේසුස් පැවසුවා. (ලූක් 4:43) දේවරාජ්‍යයේ රජ ලෙස තමන් අභිෂේක ලත් සහෝදරයන් සමඟ එකතු වී මිනිසුන්ගේ දුකට හේතු වී තිබෙන පාපය හා සාතන්ව විනාශ කරන බව යේසුස් දැන සිටියා. ඒ නිසා ඔහු දේවරාජ්‍යය තම සේවයේ ප්‍රධාන විෂය කරගත්තා. (රෝම 5:12; එළි. 20:10) පවතින මේ සමාජයේ අවසානය පැමිණෙන තුරු ඒ ගැන ශුභාරංචිය ප්‍රකාශ කරන ලෙස ඔහු තම අනුගාමිකයන්ට ආඥා කළෙත් ඒ නිසයි. (මතෙ. 24:14) තමන් ක්‍රිස්තියානීන්යයි කියාගන්නාවූ අය නම් දේවරාජ්‍යය ගැන කතා කරන්නේ නැහැ. ඊට එක් හේතුවක් වන්නේ ඒ ගැන ඔවුන්ට නිවැරදි අවබෝධයක් නොමැති වීමයි. දෙවැනි හේතුව වන්නේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේදී ඇති වන නින්දා අපහාස හා විරුද්ධවාදීකම්වලට මුහුණ දීමට අවශ්‍ය යටහත්පහත්කම හා නිර්භීතකම ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට නොමැති වීමයි. (මතෙ. 24:9; 1 පේතෘ. 2:23) ඔවුන්ට දෙවිගේ බලය නොමැති වීමද ඊට තවත් හේතුවක්.—යොහ. 14:16, 17.

7 ඊට වෙනස්ව යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ට දෙවිගේ රාජ්‍යය කියන්නේ කුමක්ද හා ඉන් සිදු කරන්නේ කුමක්ද යන්න ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ වගේම ඔවුන් දෙවිගේ රාජ්‍යයේ කටයුතුවලට මුල් තැන ලබා දෙන අතර දෙවිගේ බලයේ උපකාරය ඇතුව ඒ ගැන සෑම තැනකම ප්‍රකාශ කරනවා. (සෙක. 4:6) ඔබ නිතිපතා එම කාර්යයෙහි හවුල් වෙනවාද? ඒ සඳහා වැඩි කාලයක් යෙදවීමට හා වඩාත් ඵලදායි ලෙස එහි හවුල් වීමට ඔබ උත්සාහ කරනවාද? සමහරුන් ඒ සඳහා බයිබලය හොඳින් භාවිත කිරීමට ඉගෙනගෙන තිබෙනවා. පාවුල්ද ශුද්ධ ලියවිලි භාවිත කිරීම පුරුද්දක් කරගෙන තිබුණා. ඔහුට මෙසේ පැවසීමට හැකි වුණේ ඒ නිසයි. “දෙවිගේ වදන් ජීවමානය, බලවත්ය.”—හෙබ්‍රෙ. 4:12; ක්‍රියා 17:2, 3.

8, 9. (අ) දේවසේවයේදී බයිබලය භාවිත කිරීමේ වැදගත්කම පෙන්වන උදාහරණ දෙන්න. (ආ) දෙවිගේ වචනය දක්ෂ ලෙස යොදාගන්න අපට පුළුවන් කොහොමද?

8 දේවසේවයේදී එක් සහෝදරයෙක් කතෝලික භක්තිකයෙකුට දානියෙල් 2:44 කියවා දේවරාජ්‍යය මගින් සැබෑ සාමය හා සුරක්ෂිතභාවය ලබා දෙන ආකාරය පැහැදිලි කළා. පසුව ඒ පුද්ගලයා මෙසේ පැවසුවා. “ඔයාම කතා කරනවාට වඩා මට බයිබලයෙන්ම ඒ ගැන පෙන්වපු එක මම ගොඩක් අගය කරනවා.” තවත් අවස්ථාවකදී සහෝදරයෙක් ග්‍රීක ඕතඩොක්ස් පල්ලියට යන කාන්තාවකට බයිබල් පදයක් පෙන්නුවා. ඇය ඒ ගැන උනන්දුවක් දැක්වූ නිසා ප්‍රශ්න ඇසීමට පටන්ගත්තා. පසුව මේ සහෝදරයා හා ඔහුගේ භාර්යාව බයිබලය යොදාගෙන ඒ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නා. අවසානයේදී ඒ කාන්තාව මෙසේ පැවසුවා. “මම ඔයාලට ඇහුම්කන් දෙන්න කැමති වුණේ ඔයාලා කියපු දේවල් බයිබලයෙන් මට පෙන්වපු නිසයි.”

9 අප දේවසේවයේ හවුල් වන විට ප්‍රකාශන ලබා දීම වැදගත් වුණත් වඩාත්ම වැදගත් දේ වන්නේ බයිබල් පදයක් පෙරලා කියවීමයි. ඔබ එසේ නොකරනවා නම් ඒ සඳහා ඉලක්කයක් තබාගැනීම හොඳ දෙයක් නොවෙයිද? ඒ සඳහා ඔබගේ ප්‍රදේශයේ ජනයා මුහුණ දෙන ගැටලුවලට, දේවරාජ්‍ය මගින් විසඳුම් ලබා දෙන ආකාරය ගැන සඳහන් බයිබල් පද කිහිපයක් ඔබට සොයාගත හැකියි. පසුව ඒවා දේවසේවයේදී භාවිත කරන්න ඔබට පුළුවන්.

දෙවිගේ නම භාවිත කිරීම ගැන ආඩම්බර වෙමු

10, 11. දෙවිගේ නාමය භාවිත කිරීම සම්බන්ධයෙන් යේසුස් හා ඔහුව අනුගමනය කරන බව කියා සිටින අය අතර ඇති වෙනස කුමක්ද?

10 තම සෙනඟ ගැන යෙහෝවා දෙවි මෙසේ පවසා තිබෙනවා. “ඔබ මාගේ සාක්ෂිකරුවෝය. සැබෑ දෙවි මමය.” (යෙසා. 43:12) යෙහෝවා දෙවිගේ විශිෂ්ටතම සාක්ෂිකරුවා වන යේසුස් ක්‍රිස්තුස් දෙවිගේ නම භාවිත කිරීම හා ඒ ගැන අන් අයට පැවසීම ගෞරවයක් ලෙස සැලකුවා. (නික්මයාම 3:15; යොහන් 17:6; හෙබ්‍රෙව් 2:12 කියවන්න.) ඒ නිසා ඔහුව “විශ්වාසවන්ත සාක්ෂිකරු” කියා හැඳින්නුවා.—එළි. 1:5; මතෙ. 6:9.

11 ඊට වෙනස්ව දෙවි හා ඔහුගේ පුත්‍රයාව නියෝජනය කරනවා කියා පවසන බොහෝදෙනා දෙවිගේ නාමය විවිධ ආකාරවලින් අගෞරවයට පත් කර තිබෙනවා. ඔවුන් සමහර බයිබල් පරිවර්තනවලින් දෙවිගේ නම ඉවත් කර තිබෙනවා. මෑතකදී කතෝලික බිෂෝප්වරුන්ට ලැබුණු ලිපියක මෙසේ සඳහන් වුණා. නමස්කාරයේ යෙදෙන විට “ටෙට්‍රග්‍රැමටනය (YHWH) යන හෙබ්‍රෙව් අකුරු මගින් සඳහන් කර ඇති දෙවිගේ නාමය භාවිත කිරීමවත් එය උච්චාරණය කිරීමවත් අවශ්‍ය නැහැ.” * එය මොන තරම් දුෂ්ට ආකල්පයක්ද!

12. වර්ෂ 1931 සිට දෙවිගේ සෙනඟ වඩාත් ප්‍රසිද්ධ වුණේ කවුරුන් ලෙසද?

12 ක්‍රිස්තුස්ව හා ඔහුට කලින් සිටි ‘විශාල වලාකුළක් හා සමාන සාක්ෂිකරුවන් සමූහයව’ අනුකරණය කරන අද දින සිටින සැබෑ ක්‍රිස්තියානීන් දෙවිගේ නාමය භාවිත කිරීම ගැන ආඩම්බර වෙනවා. (හෙබ්‍රෙ. 12:1) දෙවිගේ සේවකයන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යන නම භාවිත කිරීම ආරම්භ කළේ වර්ෂ 1931දීයි. (යෙසායා 43:10-12 කියවන්න.) එතැන් පටන් වෙන කවරදාටත් වඩා වැඩියෙන් ඔවුන් දෙවිගේ “නාමය දරන සෙනඟ” බවට ප්‍රසිද්ධ වුණා.—ක්‍රියා 15:14, 17.

13. දෙවිගේ නාමය භාවිත කරන සෙනඟ ලෙස අපට කුමක් කළ හැකිද?

13 දෙවිගේ නාමය භාවිත කරන සෙනඟ ලෙස අපගෙන් බලාපොරොත්තු වන දේ අප කරනවාද කියා පෙන්වන්නේ කොහොමද? එක් ආකාරයක් නම් විශ්වාසවන්තව දෙවි ගැන අන් අයට කතා කිරීමයි. එහි ඇති වැදගත්කම ගැන පාවුල් මෙසේ පැවසුවා. “යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවනු ලබන්නේය. නමුත් ඔවුන්ට ඔහු ගැන විශ්වාසයක් නැත්නම් ඔවුන් ඔහුට අයැදින්නේ කෙසේද? ඔවුන් ඔහු ගැන අසා නැත්නම් ඔහු කෙරෙහි විශ්වාසය තබන්නේ කෙසේද? දේශනා කරන්න කෙනෙක් නැත්නම් ඔවුන් ඔහු ගැන අසා දැනගන්නේ කෙසේද? ඔවුන්ව යවා නැත්නම් ඔවුන් දේශනා කරන්නේ කෙසේද?” (රෝම 10:13-15) දෙවි බලාපොරොත්තු වන දේ කරන බව පෙන්විය හැකි තවත් ආකාරයක් වන්නේ නිරය නමැති ඉගැන්වීම බොරු බව ඔප්පු කිරීමට පියවර ගැනීමයි. ඒ තුළින් අපගේ නිර්මාණකරු හා ප්‍රේමණීය දෙවි, සාතන් මෙන් දුෂ්ට ගුණාංග තිබෙන කෙනෙකු නොවන බව ඔප්පු කළ හැකියි.—යෙරෙ. 7:31; 1 යොහ. 4:8; මාක් 9:17-27 බලන්න.

14. පළමු වතාවට දෙවිගේ නාමය දැනගත් සමහරදෙනෙක් දැක්වූ ප්‍රතිචාර මොනවාද?

14 දෙවිගේ නාමය දරන්න ලැබීම ගැන ඔබ ආඩම්බර වන්නේ නැද්ද? එම ශුද්ධ නාමය ගැන ඔබ අන් අයට දැනුම් දෙනවාද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙවිගේ නම දැනගෙන සිටින බව ප්‍රංශයේ පැරිස් නුවර ජීවත් වන කාන්තාවකට දැනගන්න ලැබුණා. ඉන්පසු ඇයට සාක්ෂිකරුවන්ව හමු වූ විට දෙවිගේ නම බයිබලයෙන් පෙන්වන්න කියා ඇය ඉල්ලා සිටියා. සාක්ෂිකරුවන් ඇයට ගීතාවලිය 83:18 පෙරළා කියවන්න දුන්නා. එය ඇගේ සිතට තදින්ම කාවැදුණු නිසා ඇය බයිබලය ගැන තවදුරටත් ඉගෙනගන්න පටන්ගත්තා. දැන් ඇය වෙනත් රටක දෙවිට විශ්වාසවන්තව සේවය කරනවා. ඕස්ට්‍රේලියාවේ ජීවත් වන කතෝලික කාන්තාවක් පළමු වතාවට දෙවිගේ නම බයිබලයෙන් දකිද්දී ඇගේ දෑස්වල සතුටු කඳුළු පිරුණා. පසුව දෙවි ගැන ඉගෙනගත් ඇය වසර ගණනාවක සිට ස්ථාවර පුරෝගාමියෙක් ලෙස සේවය කරනවා. ජැමෙයිකාවේ සිටින කාන්තාවකටද ඇගේම බයිබලයෙන් දෙවිගේ නම පෙන්වූ අවස්ථාවේ දැනුණු සතුට නිසා ඇඬුණා. දෙවිගේ ශ්‍රේෂ්ඨ නාමය දැරීමට ලැබීම ගැන ආඩම්බර වීමට ඔබටත් හැකියි. එමෙන්ම යේසුස් මෙන් ඒ අනර්ඝ නාමය ගැන අන් අයටත් දැනුම් දීමට උපරිමයෙන් වෑයම් කරන්න.

‘මේ ලෝකයට ඇල්මක් නොදක්වන්න’

15, 16. මේ ලෝකය ගැන සැබෑ ක්‍රිස්තියානීන් දරන ආකල්පය කුමක්ද? අප අපගෙන්ම අසාගත යුතු ප්‍රශ්න මොනවාද?

15 “මේ ලෝකයටවත් මෙහි තිබෙන දේවලටවත් ඇල්මක් නොදක්වන්න. යමෙක් මේ ලෝකයේ තිබෙන දේවලට ඇල්මක් දක්වනවා නම් පියාණන් සඳහා ප්‍රේමයක් ඔහු තුළ නැත” කියා යොහන් පැවසුවා. (1 යොහ. 2:15) මේ දුෂ්ට සමාජය හා එහි නපුරු බලපෑම යෙහෝවා දෙවිටත් ඔහුගේ මඟ පෙන්වීම්වලටත් විරුද්ධයි. ඒ නිසා ක්‍රිස්තුස්ගේ සැබෑ අනුගාමිකයන් මේ ලෝකයේ ඇති දුෂ්ට දේවලින් ඈත් වී සිටිනවා පමණක් නොව ඊට ප්‍රේම කිරීමෙන්ද වැළකී සිටිනවා. ඒ ගැන යාකොබ් මෙවැනි දෙයක් පැවසුවා. ‘ලෝකය සමඟ මිතුරුකම් පැවැත්වීම දෙවි සමඟ සතුරු වීමට හේතු වෙනවා.’—යාකො. 4:4.

16 වරදට පෙලඹිය හැකි බොහෝ දේවල් අප අවට තිබෙන නිසා යාකොබ් පැවසූ දේට කීකරු වීම පහසු දෙයක් නොවෙයි. (2 තිමෝ. 4:10) යේසුස් ඔහුගේ අනුගාමිකයන් වෙනුවෙන් මෙසේ යාච්ඤා කළේ ඒ නිසයි. “මම ඔබෙන් ඉල්ලන්නේ, ඔවුන්ව ලෝකයෙන් ඉවතට ගන්න කියා නොවෙයි. නමුත් දුෂ්ටයාගේ බලපෑමෙන් ඔවුන්ව ආරක්ෂා කරන්න කියායි. මම මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා වගේම ඔවුනුත් මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා.” (යොහ. 17:15, 16) ඒ නිසා ඔබගෙන්ම මෙසේ අසාගන්න. ‘දෙවිගෙන් ඈත් වූ මේ ලෝකයේ කොටසක් නොවී සිටින්න මම වෑයම් කරනවාද? බයිබලයට පටහැනි මෙන්ම මේ දුෂ්ට ලෝකයේ ආකල්ප ඉස්මතු කරන උත්සව හා චාරිත්‍ර වාරිත්‍ර ගැන මගේ ස්ථාවරය අන් අය දන්නවාද?’—2 කොරි. 6:17; 1 පේතෘ. 4:3, 4.

17. දෙවි ගැන ඉගෙනගන්න සමහරුන් පෙලඹිය හැකි හේතුව කුමක්ද?

17 බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව අප ගන්නා තීරණවලට සියලුදෙනාම කැමති නොවන බව ඇත්තයි. නමුත් අප එවැනි තීරණ ගැනීමට හේතුව ගැන සොයා බලන්න සමහරු පෙලඹෙන්න පුළුවන්. ඒ වගේම අපගේ විශ්වාසයන් බයිබලයට එකඟ බවත් ඒවා අප අදාළ කරගන්නා බවත් ඔවුන් තේරුම්ගන්නවා. ඒ නිසා ඔවුන්ද බයිබලය ගැන ඉගෙනගන්න පෙලඹිය හැකියි. එවිට එය හරියට “දෙවි ඔබ සමඟ සිටින බව අපට ආරංචි විය. එහෙයින් ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු” කියා අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට පවසනවා හා සමානයි.—සෙක. 8:23.

සැබෑ ප්‍රේමය පෙන්වන්න

18. යෙහෝවා දෙවිටත් අසල්වාසීන්ටත් ප්‍රේම කිරීමට නම් අප කළ යුත්තේ කුමක්ද?

18 “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි” කියා පැවසූ යේසුස් මෙසේද පැවසුවා. “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.” (මතෙ. 22:37, 39) එලෙස ප්‍රේමය (ග්‍රීක භාෂාවෙන් අගාපේ) පෙන්වන කෙනෙක් ප්‍රතිපත්ති හා යුතුකම් වැනි දේවල් ගැන සැලකිල්ලක් දක්වනවා. ඒ වගේම උණුසුම් හැඟීම්ද ඔහුට තිබෙනවා. (1 පේතෘ. 1:22) එමෙන්ම ඔහු ක්‍රියා කරන්නේත් කතා කරන්නේත් අන් අය ගැන සැලකිලිමත් වෙමිනුයි. තමා ගැන පමණක් සිතන කෙනෙකුට වඩා එවැනි කෙනෙක් බොහෝ සෙයින් වෙනස්.1 කොරින්ති 13:4-7 කියවන්න.

19, 20. ක්‍රිස්තියානීන් සැබෑ ප්‍රේමය පෙන්වන විට ලැබෙන ප්‍රතිඵල ගැන තිබෙන අද්දැකීම් මොනවාද?

19 වාර්ගික, සංස්කෘතික හා දේශපාලන බාධක ගැන නොසලකා එකිනෙකාට ප්‍රේම කිරීමට සැබෑ ක්‍රිස්තියානීන්ට හැකි වී තිබෙන්නේ, ප්‍රේමය දෙවිගේ බලය ක්‍රියාත්මක වීමෙන් ඇති වන ගුණාංගයක් නිසයි. නමුත් දෙවිට නමස්කාර නොකරන අයට එලෙස ක්‍රියා කිරීමට හැකි වී නැහැ. (යොහන් 13:34, 35 කියවන්න; ගලා. 5:22) ඊශ්‍රායෙලයේදී යුදෙව් හා අරාබි ජාතික සහෝදරයන් එකට වාඩි වී රැස්වීමට සහභාගි වෙනවා දුටු යුදෙව් ජාතික තරුණයෙක් ඒ ගැන පුදුම වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු දිගටම රැස්වීම්වලට සහභාගි වූ අතර බයිබල් පාඩමක් කිරීමටද කැමති වුණා. ඉන් පැහැදිලි වන්නේ සැබෑ ප්‍රේමය පෙන්වන කෙනෙක් තුළ ඇති යහපත් ගතිගුණ දකින බොහෝදෙනා දෙවි ගැන ඉගෙනගන්න පෙලඹෙන බවයි. ඔබත් ඔබේ සහෝදරයන්ට හදවතින්ම ප්‍රේම කරනවාද? රාජ්‍ය ශාලාවට පැමිණෙන නවකයන්ගේ ජාතිය, සමේ පාට, තරාතිරම ගැන නොසලකා ඔවුන්ව උණුසුම් ලෙස පිළිගන්න ඔබ වෑයම් කරනවාද?

20 සැබෑ ක්‍රිස්තියානීන් ලෙස සියලුදෙනාටම ප්‍රේමය පෙන්වීමට අපද වෑයම් කළ යුතුයි. එල් සැල්වදෝරයේ සිටින වයස අවුරුදු 87ක් වන භක්තිමත් කතෝලික ස්ත්‍රියකට තරුණ සහෝදරියක් ශුභාරංචිය ගැන කතා කළා. දිනක් මේ ස්ත්‍රිය බරපතළ ලෙස අසනීප වූ නිසා රෝහල් ගත කිරීමට සිදු වුණා. ඇය නැවත නිවසට පැමිණි පසු සාක්ෂිකරුවන් ඇයව බැලීමට ගිය අතර ඇයට අවශ්‍ය ආහාර පාන ලබා දීමටද කටයුතු කළා. ඒ ආකාරයට මාසයක් පමණ ඔවුන් ඇයට උපකාර කළත් එම ස්ත්‍රිය අයත්ව සිටි පල්ලියේ කිසිවෙක් ඇයව බැලීමට පැමිණියේ නැහැ. පසුව ඇය ඇගේ නිවසේ තිබූ රූප ඉවත් කර පල්ලියේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වුණා. ඒ වගේම ඇය දිගටම බයිබල් පාඩම කරගෙන ගියා. ඇත්තෙන්ම ප්‍රේමය ඉතා ප්‍රබල ගුණාංගයක්! ඒ නිසා එය වචනයට පමණක් සීමා නොකොට ක්‍රියාවෙන් පෙන්වීමෙන් විශාල බලපෑමක් ඇති කළ හැකියි.

21. අපගේ අනාගතය සුරක්ෂිත කරගත හැක්කේ කොහොමද?

21 තමාට සේවය කරන බව කියා සිටියත් එසේ නොකරන අයට ඉතා ළඟදී යේසුස් මෙසේ පවසනවා. “මම ඔබව කිසි කලක හඳුනාගෙන සිටියේ නැහැ! අධර්මිෂ්ඨ ක්‍රියා කරන්නෙනි, මා වෙතින් අහක්ව යන්න.” (මතෙ. 7:23) ඒ නිසා දෙවිටත් ඔහුගේ පුත්‍රයාටත් ගෞරවය ලැබෙන ආකාරයෙන් අප ක්‍රියා කළ යුතුයි. ක්‍රිස්තුස්ගේ සැබෑ අනුගාමිකයෙක් වීමට අප කළ යුතු තවත් දෙයක් ගැන යේසුස් මෙසේ පැවසුවා. “මගේ මේ වචන අසා ඒවා පිළිපදින සෑම කෙනෙක්ම පර්වතයක් මත තම ගෙය ගොඩනැඟූ නුවණැති මිනිසෙකුට සමානයි.” (මතෙ. 7:24) අප යේසුස්ගේ සැබෑ අනුගාමිකයෙක් ලෙස ක්‍රියා කළොත් අපට දෙවිගේ අනුමැතිය හා සුරක්ෂිත අනාගතයක් ලැබෙනවා නිසැකයි.

[පාදසටහන]

^ 11 ඡේ. දි ජෙරුසලම් බයිබල් යන පරිවර්තනය ඇතුළු වර්තමානයේ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති කතෝලික ප්‍රකාශන කිහිපයක දෙවිගේ නාමය “Yahweh” ලෙස යොදා තිබෙනවා.

ඔබට මතකද?

• ක්‍රිස්තියානීන්යයි කියාගන්නාවූ අය හා සැබෑ ක්‍රිස්තියානීන් අතර ඇති වෙනස්කම් මොනවාද?

• සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගත හැකි “යහපත් පල” මොනවාද?

• යහපත් පල දැරීමට ඔබට තබාගත හැකි ඉලක්ක මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූරය]

දේවසේවයේදී බයිබලය යොදාගැනීම ඔබ පුරුද්දක් කරගෙන තිබෙනවාද?

[15වන පිටුවේ පින්තූරය]

බයිබලයට පටහැනි උත්සව ගැන ඔබගේ ස්ථාවරය අන් අය දන්නවාද?