Skip to content

පටුනට යන්න

අභියෝගවලට මුහුණ දීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න

අභියෝගවලට මුහුණ දීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න

අභියෝගවලට මුහුණ දීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න

අපගේ දරුවන් අද බොහෝ අභියෝගවලට මුහුණ දෙනවා. ඊට හේතුවක් වන්නේ සාතන්ගේ බලපෑම යටතේ තිබෙන දුෂ්ට ලෝකයක ජීවත් වීමට ඔවුන්ටද සිදු වීමයි. එමෙන්ම “යොවුන් වියට ආවේණික වූ ආශාවන්” නිසාද ඔවුන් විවිධ අභියෝගවලට මුහුණ දෙනවා. (2 තිමෝ. 2:22; 1 යොහ. 5:19) ඒ විතරක් නොවෙයි ඔවුන් ‘ශ්‍රේෂ්ඨ සැදුම්කරුව සිහි කරන්න’ උත්සාහ කරන නිසා ඔවුන්ට විරුද්ධවාදීන්ගේ නින්දා, අපහාස හා හිරිහැර විඳින්නත් සිදු වී තිබෙනවා. (දේශ. 12:1) තම යෞවන කාලය ගැන සිහි කරමින් වින්සන්ට් නමැති සහෝදරයා මෙසේ පැවසුවා. “මම සාක්ෂිකරුවෙක් වුණ නිසා හැම වෙලේම කවුරු හරි කෙනෙක් මට කරදර කළා. එහෙමත් නැත්නම් මාත් එක්ක රණ්ඩු වුණා. ඒවා මට දරාගන්න කොච්චර අමාරු වුණාද කිව්වොත් මට පාසැල් ගමනත් එපා වුණා.” *

අපගේ දරුදැරියන්ට තිබෙන තවත් අභියෝගයක් වන්නේ තම යහළුවන් කරන දේවල් කිරීමට ඔවුන්ද ආශාවක් දැක්වීමයි. අවුරුදු 16ක පසුවන කැත්ලීන් මෙවැනි දෙයක් පවසනවා. “මම අනික් අයට වඩා වෙනස් කෙනෙක් කියලා මගේ යාළුවන්ට පෙන්වන එක මට ගොඩක් අමාරු වුණා.” ඇලන් නම් යෞවන සහෝදරයෙක් ඒ ගැන මෙවැනි දෙයක් පැවසුවා. “සති අන්තවල එහෙ මෙහෙ යන්න මගේ යාළුවෝ නිතර නිතර මට කතා කළා. මටත් එයාලා එක්ක යන්න ලොකු ආශාවක් තිබුණා.” පාසැල්වල පැවැත්වෙන තරඟවලට සහභාගි වීමේ ආශාවක්ද යෞවනයන්ට තිබෙනවා. නමුත් එහි ඇති භයානකකම වන්නේ නරක ආශ්‍රයට වැටීමට ඉඩ තිබීමයි. ටාන්යා නමැති යෞවන සහෝදරිය පැවසුවේ මෙසේයි. “මම ක්‍රීඩාවට හුඟක් ආසයි. අපේ පාසැලේ සිටි පුහුණුකරුවන්ද මාව කණ්ඩායමකට බඳවගන්න නිතරම උත්සාහ කළා. ඒක ප්‍රතික්ෂේප කරන එක එච්චර ලෙහෙසි වුණේ නැහැ.”

අභියෝගවලට මුහුණ දීමට දරුවන්ට උපකාර කිරීමට දෙමාපියන් වන ඔබට පුළුවන් කොහොමද? දරුවන්ට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙන ලෙස යෙහෝවා දෙවි දෙමාපියන්ට අණ කර තිබෙනවා. (හිතෝ. 22:6; එෆී. 6:4) දෙවිට ගරුබිය දක්වන දෙමාපියන්ගේ ඉලක්කය විය යුත්තේ දෙවිට කීකරු වීමට ආශාවක් දරුවන් තුළ ඇති කිරීමයි. (හිතෝ. 6:20-23) ඔබ එසේ කරනවා නම් ඔබ ළඟ නැති අවස්ථාවලදී පවා දරුවන් දෙවිට කීකරු වීමට පෙලඹෙනවා.

රැකියාවක නිරත වීම, පවුලක් නඩත්තු කිරීම හා සභාවේ වැඩකටයුතුවල හවුල් වීම වැනි සියලු වගකීම් දැරීම දෙමාපියන් වන ඔබට පහසු දෙයක් නොවෙයි. සමහරවිට ඔබ දරුවන් සමඟ තනි වූ කෙනෙක් විය හැකියි. එසේත් නැත්නම් ඔබගේ සහකරු දෙවිට නමස්කාර නොකරන කෙනෙක් නිසා ඔහුගේ හෝ ඇගේ විරුද්ධවාදීකම්වලට මුහුණ දෙන කෙනෙක් විය හැකියි. ඒ කෙසේවෙතත් දරුවන්ට අවශ්‍ය පුහුණුව හා උපකාරය ලබා දීමට කාලය වෙන් කිරීම යෙහෝවා දෙවි දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වෙනවා. එසේනම් මිත්‍රයන්ගෙන් එල්ල වන නරක බලපෑම්, දෙවිට අකීකරු වීමට ඇති වන පෙලඹීම් සහ වෙනත් ආකාරයේ හිරිහැරවලින් ආරක්ෂා වීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න ඔබට පුළුවන් කොහොමද?

යෙහෝවා දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය

යෙහෝවා දෙවිව නොපෙණුනත් ඔහු සැබෑ පුද්ගලයෙක් බව විශ්වාස කිරීමට අප අපගේ දරුවන්ට උපකාර කළ යුතුයි. (හෙබ්‍රෙ. 11:27) යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට දෙමාපියන් තමාට උපකාර කළ ආකාරය ගැන කලින් අදහස් දැක්වූ වින්සන්ට් මෙසේ පවසනවා. “අම්මයි තාත්තයි යාච්ඤා කිරීමේ වැදගත්කම මට කියලා දුන්නා. මම පොඩි කාලේ ඉඳලම රෑට නිදාගන්න කලින් හැමදාම යාච්ඤා කළා. ඒ නිසා යෙහෝවා දෙවි මට සැබෑ පුද්ගලයෙක් වුණා.” ඔබත් ඔබේ දරුවන් සමඟ එකට යාච්ඤා කරනවාද? පෞද්ගලිකව දෙවිට යාච්ඤා කරද්දී ඔවුන් කියන්නේ මොනවාද කියා ඔබ අසාගෙන සිටිනවාද? ඔවුන් එකම වචන නැවත නැවත සඳහන් කරමින් යාච්ඤා කරනවාද නැත්නම් යෙහෝවා දෙවි ගැන හැඟෙන ආකාරය ගැන සඳහන් කරමින් යාච්ඤා කරනවාද? ඔවුන්ගේ යාච්ඤාවලට ඇහුම්කන් දීමෙන් ඔවුන් දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් වර්ධනය කරගනිමින් සිටිනවාද කියා අවබෝධ කරගන්න ඔබට හැකියි.

දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට කාලසටහනකට අනුව නිතිපතා බයිබලය කියවීම බොහෝ සෙයින් ප්‍රයෝජනවත්. කලින් අදහස් දැක්වූ කැත්ලීන් මෙසේ පවසනවා. “මම පොඩි කාලේ ඉඳලම බයිබලය කියෙව්ව නිසා ඒක මට ගොඩාක් උපකාරවත් වුණා. ඒ නිසා කවුරු මට විරුද්ධ වුණත් යෙහෝවා දෙවි මාත් එක්ක ඉන්නවා කියන විශ්වාසය මට තිබුණා.” ඔබේ දරුවන්ටත් බයිබලය දිනපතා කියවීමේ කාලසටහනක් තිබෙනවාද?—ගීතා. 1:1-3; 77:12.

ක්‍රිස්තියානීන් ලෙස ඔබේ දරුවන් ලබන දියුණුව වයසට අනුව වෙනස් විය හැකියි. ඒ වගේම සෑම දරුවෙක්ම එක හා සමානවම ඔබ ලබා දෙන මඟ පෙන්වීම්වලට ප්‍රතිචාරය දක්වන්නෙත් නැහැ. ඒ වුණත් යෙහෝවා දෙවි සැබෑ පුද්ගලයෙක් බවට දරුවන් තුළ විශ්වාසයක් ඇති කිරීමට නම් ඔවුන්ට මඟ පෙන්වීම් ලබා දීම අත්‍යවශ්‍යයි. දෙමාපියන් වන ඔබ එම මඟ පෙන්වීම් ඔවුන්ගේ සිතට කාවදින ආකාරයෙන් ඉගැන්නුවොත් ඔවුන් කොතැන සිටියත් ඊට එකඟව ජීවත් වෙන්න ඔවුන්ට හැකියි. (ද්වි. 6:6-9) එමෙන්ම යෙහෝවා දෙවි තමන් ගැන සැලකිලිමත් වන බව දරුවන්ට තේරුම්ගන්නද උපකාර කරන්න.

අර්ථවත් ලෙස අදහස් හුවමාරු කරගන්න

ඔබේ දරුවන්ට උපකාර කළ හැකි තවත් ආකාරයක් වන්නේ ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගැනීමයි. ඒ සඳහා සාමාන්‍යයෙන් කරන කතාබහ පමණක් ප්‍රමාණවත් නැහැ. ප්‍රශ්න ඇසීමත් ඔවුන් ලබා දෙන පිළිතුරුවලට හොඳින් ඇහුම්කන් දීමත් වැදගත්. සමහරවිට ඔවුන් ලබා දෙන පිළිතුරු ඔබ බලාපොරොත්තු වන ඒවා නොවිය හැකියි. ඒ වුණත් ඔවුන්ට ඇහුම්කන් දීම ප්‍රයෝජනවත්. පිරිමි ළමුන් දෙදෙනෙක් සිටින මවක් වන ඈන් ඒ ගැන මෙසේ පවසනවා. “ළමයින් එදිනෙදා කරන්නේ මොනවාද, එයාලා කල්පනා කරන්නේ මොනවාද කියලා තේරුම්ගන්න මට අවශ්‍ය නිසා මම එයාලගෙන් ප්‍රශ්න අහනවා.” දරුවා කියන දේට ඔබ ඇත්තටම සවන් දෙන බව ඔබේ දරුවන්ට හැඟෙනවාද? කලින් අදහස් දැක්වූ ටාන්යා ඒ ගැන මෙසේ පවසනවා. “මගේ අම්මයි තාත්තයි නිතරම මට ඇහුම්කන් දුන්නා. අපි කතා කළ යම් කාරණා ඔවුන් මතක තියාගෙන ඒවායේ අලුත් තත්වය ගැන පසුව මගෙන් අහනවා. මගේ යාළුවන්ගේ නම් පවා ඔවුන් දැනගෙන හිටියා. එයාලා ගැන විස්තරත් මගේ අම්මයි තාත්තයි මගෙන් අහනවා.” එයින් පැහැදිලි වන්නේ ඇහුම්කන් දීම හා කතා කළ දේවල් මතක තබාගැනීම හොඳ අදහස් හුවමාරුවට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් බවයි.

බොහෝ පවුල් අර්ථවත් ලෙස අදහස් හුවමාරු කරගැනීමට ආහාර ගන්නා අවස්ථාව යොදාගන්නවා. වින්සන්ට් ඒ ගැන මෙසේ පවසනවා. “එකට ආහාර ගැනීම අපේ පවුලේ හැමදෙනාම වැදගත් දෙයක් හැටියට සැලකුවා. අපිට පුළුවන් හැම වෙලාවෙම පවුලේ අනික් අයත් එක්ක එකට කෑම මේසයේ වාඩි වෙන එක අම්මයි තාත්තයි අපෙන් බලාපොරොත්තු වුණා. ඒ වෙලාවට රූපවාහිනිය බලන්න, ගුවන් විදුලියට සවන් දෙන්න, පොත්පත් කියවන්න අපේ අම්මයි තාත්තයි අපිට ඉඩ දුන්නේ නැහැ. අපි කෑම කන හැම වෙලාවෙම බැරෑරුම් දෙවල් ගැන විතරක් කතා කළේ නැහැ. අපි සාමාන්‍ය දේවල් ගැනත් කතා කළා. ඒ දේවල් පාසැලෙන් එල්ල වන පීඩනවලට මුහුණ දෙන්න මට උපකාරවත් වුණා. කෑම කන වෙලාවේ දෙමාපියන් එක්ක කතා බහ කරන්න මම පුරුදු වෙලා හිටිය නිසා බරපතළ ගැටලුවක් ඇති වුණ අවස්ථාවකදී වුණත් ඒ ගැන ඔවුන් එක්ක කතා කරන්න මට පහසු වුණා.”

ඔබගෙන්ම මෙසේ අසාගන්න. ‘අපි පවුලක් ලෙස එකට ආහාර වේලක් ගන්නේ කොපමණ කාලයකට සැරයක්ද?” කාල සටහනේ යම් සකස් කිරීම් කර ඔබේ දරුවන් සමඟ අර්ථවත් ලෙස අදහස් හුවමාරු කරගැනීමට ඔබට හැකිද?

පෙරහුරු කිරීම ඉතා වැදගත්

විවෘතව අදහස් හුවමාරු කරගන්නත් දරුවන් මුහුණ දෙන ගැටලු නිවැරදිව හසුරුවන්නත් සතිපතා පවුලේ නමස්කාරයට වෙන් කර ඇති කාලය උපකාරවත් වෙනවා. කලින් අදහස් දැක්වූ ඇලන් මෙසේ පවසනවා. “අපි සිටින තත්වය හොඳින් තේරුම්ගන්න පවුලේ නමස්කාරයට යොදවන කාලය දෙමාපියන් ප්‍රයෝජනයට ගත්තා. අපිට මුහුණ දීමට සිදු වන තත්වයන් තෝරාගෙන ඔවුන් ඒවා අපිත් එක්ක සාකච්ඡා කළා.” ඇලන්ගේ මව මෙවැනි දෙයක් පවසනවා. “අපි ඒ වෙලාව යම් දේවල් පෙරහුරු කරන්න යොදාගත්තා. ඒ නිසා අපේ දරුවන්ට ඔවුන්ගේ විශ්වාසයන් සත්‍යය බව ඔප්පු කරන්න පුළුවන් වුණා. ඒ වගේම ඉදිරියට ඔවුන්ට මුහුණ දීමට සිදු වන අභියෝග ජය ගන්න ඔවුන් සමඟ කළ පෙරහුරු ඔවුන්ට උපකාරවත් වුණා.”

පාසැලේ මිතුරන්ගෙන් බලපෑම් එල්ල වන විට එය ප්‍රතික්ෂේප කර, ඉන් ඉවත් වීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඔවුන් එය කරන්නේ හෝ නොකරන්නේ ඇයි යන ප්‍රශ්නයට පිළිතුරු දීමත් අවශ්‍යයි. දරුවන්ගේ විශ්වාසයන් නිසා ඔවුන්ට සමච්චල් කරන විට කළ යුතු දේ ගැන ඔවුන් පැහැදිලිව දැනගත යුතුයි. තම විශ්වාසයන් ගැන ඔවුන්ට කතා කරන්න නොහැකි නම් සැබෑ නමස්කාරයට පක්ෂව නිවැරදි තීරණයක් ගන්න ඔවුන්ට හැකි වන්නේ නැහැ. නිවසේදී කරන පෙරහුරු ඔවුන්ට ඒ සඳහා උපකාරවත් වෙනවා.

පවුලේ නමස්කාරයට වෙන් කළ කාලයේදී පෙරහුරු කළ හැකි අවස්ථා කිහිපයක්  18වන පිටුවේ ඇති කොටුවේ දක්වා තිබෙනවා. ඒවා පෙරහුරු කරන විට දරුවන්ට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවාද කියා දැනගැනීමට ඔවුන්ගෙන් අමතර ප්‍රශ්න අසන්න. ඒ සම්බන්ධයෙන් බයිබලයේ ඇති උදාහරණවලින් ඉගෙනගත හැක්කේ කුමක්ද කියා සාකච්ඡා කරන්නත් ඔබට පුළුවන්. ඔබ එසේ කරනවා නම් ඔබේ දරුවාට එල්ල වෙන ඕනෑම පීඩාවකට සාර්ථකව මුහුණ දීමට ඔහුට හැකියි.

ඔබේ නිවස සතුට ගෙන දෙන ස්ථානයක්ද?

ඔබේ දරුවන් පාසැල් හැර නිවසට පැමිණෙන්නේ ආශාවෙන්ද? නිවසේදී දරුවන්ට සතුටක් දැනෙනවා නම් ඔවුන් එසේ පැමිණෙන බව ස්ථිරයි. ඔබේ දරුවන්ට එලෙස දැනෙනවා නම් එය ඔවුන්ට ඇති වන අභියෝගවලට මුහුණ දෙන්නද උපකාරවත් වෙනවා. දැන් බෙතෙල් පවුලේ සාමාජිකයෙක් ලෙස සේවය කරන සහෝදරියක් මෙසේ පවසනවා. “කුඩා කාලයේදී මම වැඩියෙන්ම ඉන්න ආස කලේ ගෙදරයි. මම පාසැලේ මොන ප්‍රශ්නයකට මුහුණ දුන්නත් ගෙදර ගියාම ඒ හැම දෙයක්ම මට අමතක වෙනවා.” ඔබේ නිවසේ පවතින්නේ මොන වගේ වාතාවරණයක්ද? ‘හදිසි කෝපය, විවාද හා භේද’ එහි නිතරම තිබෙනවාද? නැත්නම් ‘ප්‍රේමය, ප්‍රීතිය හා සමාදානය’ පවතිනවාද? (ගලා. 5:19-23) ඔබේ නිවසේ සමාදානය නැත්නම් එය ඇති කරගැනීමට කළ යුතු වෙනස්කම් මොනවාද කියා ඔබ සොයා බලනවාද?

ඔබගේ දරුවන්ට උපකාර කළ හැකි තවත් ආකාරයක් වන්නේ ඔවුන්ට හොඳ ඇසුරක් භුක්ති විඳීමට අවස්ථාව සලසා දීමයි. ඒ සඳහා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගෙන සිටින සහෝදර සහෝදරියන්ව ඔබේ පවුලේ සුහද ඇසුරකට ආරාධනා කරන්න ඔබට හැකිද? එසේත් නැත්නම් සංචාරක සේවකයෙකුට හෝ පූර්ණකාලීන සේවයේ යෙදෙන ක්‍රිස්තියානීන්ට ඔබේ නිවසේ ආහාර වේලක් ගැනීමට ආරාධනා කරන්න ඔබට පුළුවන්ද? ලිපියක්, ඊ-මේල් පණිවිඩයක්, දුරකතන ඇමතුමක් හෝ වෙනත් ක්‍රමයක් මාර්ගයෙන් මිෂනාරිවරුන් හෝ බෙතෙල් සාමාජිකයන් සමඟ මිත්‍රත්වයක් ඇති කරගන්න ඔබේ දරුවන්ට පුළුවන්ද? එවැනි අයව ආශ්‍රය කිරීම ඔබේ දරුවන්ට නිවැරදි මාර්ගයේ ගමන් කිරීමටත් හොඳ ඉලක්ක තබාගැනීමටත් උපකාරවත් වෙනවා. පාවුල් සමඟ ඇසුරු කිරීමෙන් යෞවන තිමෝති ප්‍රයෝජන ලැබූ ආකාරය ගැන කල්පනා කර බලන්න. (2 තිමෝ. 1:13; 3:10) ඒ ඇසුර නිසා දේවසේවය තුළ හොඳ ඉලක්ක තබාගෙන දියුණු වීමට තිමෝතිට හැකි වුණා.—1 කොරි. 4:17.

ඔබේ දරුවන්ට ප්‍රශංසා කරන්න

සාතන්ගේ ලෝකයෙන් එල්ල වන කුමන පීඩාවන්ට මුහුණ දුන්නත් තමන්ට පක්ෂව සිටින යෞවනයන්ව දකින විට යෙහෝවා දෙවි සතුටු වෙනවා. (ගීතා. 147:11; හිතෝ. 27:11) ඔවුන් නිවැරදි තේරීම් කරන විට ඔබත් සතුටු වන බවට කිසිම සැකයක් නැහැ. (හිතෝ. 10:1) ඔවුන් ගැන ඔබට හිතෙන දේ ඔවුන්ට පවසන්න. ඒ වගේම ඔවුන්ට නිතරම ප්‍රශංසා කරන්න. ඒ සම්බන්ධයෙන් යෙහෝවා දෙවි දෙමාපියන්ට තබන්නේ හොඳ ආදර්ශයක්. යේසුස් බව්තීස්ම වන අවස්ථාවේ යෙහෝවා දෙවි මෙසේ පැවසුවා. “මාගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි. මම ඔබව අනුමත කළෙමි.” (මාක් 1:11) ඒ නිසා තමන්ට මුහුණ දීමට සිදු වන අභියෝග ජය ගන්න යේසුස්ට මොන තරම් ශක්තියක් ලැබෙන්න ඇද්ද! ඒ හා සමානව ඔබත් ඔබේ දරුවන්ට ප්‍රේම කරන බව ඔවුන්ට පවසන්න.

කෙසේවෙතත් ඔබේ දරුවා මුහුණ දෙන සියලුම පීඩා, සමච්චල් හෝ නිග්‍රහ කිරීම්වලින් ඔවුන්ව ආරක්ෂා කරන්න ඔබට හැකි වන්නේ නැහැ. නමුත් ඔවුන්ට උපකාර කරන්න ඔබට පුළුවන්. ඒ කොහොමද? දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට ඔවුන්ට උපකාර කිරීමෙන් එය කළ හැකියි. එමෙන්ම අර්ථවත් ලෙස අදහස් හුවමාරු කරගත හැකි වාතාවරණයක්ද නිවස තුළ ඇති කරන්න. ඔබේ නමස්කාරය සඳහා වෙන් කළ රාත්‍රිය දරුවන්ට ප්‍රයෝජනවත් වන ආකාරයෙන් යොදාගන්නද ඔබට පුළුවන්. ඔබේ නිවස ඔබේ දරුවාට සතුට දැනෙන ස්ථානයක් බවට පත් කරන්න. එසේ කිරීමෙන් ඔබේ දරුවන් මුහුණ දෙන අභියෝග සමඟ කටයුතු කරන්න ඔවුන්ට අවශ්‍ය උපකාර ලැබෙන බව ස්ථිරයි.

[පාදසටහන]

^ 2 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

[18වන පිටුවේ කොටුව⁄පින්තූරය]

 පෙරහුරු කිරීම ප්‍රයෝජනවත්

යෞවනයන්ට මුහුණ දීමට සිදු වන අවස්ථා කිහිපයක් පහත දැක්වේ. පවුලේ නමස්කාරයේදී මේවා පෙරහුරු කිරීමට ඔබට හැකියි.

▸ පාසැලේ ක්‍රීඩා කණ්ඩායමට එකතු වෙන්න කියා පුහුණුකරුවෙක් ඔබේ දියණියගෙන් ඉල්ලා සිටියි.

▸ ඔබේ පුතා පාසැල අවසන් වී නිවසට එන අතරේ ඔහුට මිත්‍රයෙක් දුම්වැටියක් ලබා දෙයි.

▸ ඔබේ පුතා මින් පසු ශුභාරංචිය ප්‍රකාශ කළොත් ඔහුට පහර දෙන බවට පිරිමි ළමයි කිහිපදෙනෙක් තර්ජනය කරයි.

▸ ඔබේ දියණිය දේවසේවයේ යන විට නිවසකදී ඇගේ යහළුවෙක්ව මුණගැසෙයි.

▸ පන්තියේ සියල්ලන් ඉදිරියේ ඔබේ දියණියගෙන්, ඇය කොඩියට ආචාර නොකරන්නේ ඇයි කියා කෙනෙක් අසයි.

▸ ඔබේ පුතා සාක්ෂිකරුවෙක් නිසා යහළුවෙක් ඔහුට නිතරම සමච්චල් කරයි.

[17වන පිටුවේ පින්තූරය]

ඔබේ දරුවන්ට බයිබලය කියවීමේ කාලසටහනක් තිබෙනවාද?

[19වන පිටුවේ පින්තූරය]

දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගෙන සිටින අයව ඔබේ පවුලේ සුහද ඇසුරකට ආරාධනා කරන්න ඔබට හැකිද?