Skip to content

පටුනට යන්න

හොඳම පාලනය දෙවිගේ පාලනයයි

හොඳම පාලනය දෙවිගේ පාලනයයි

හොඳම පාලනය දෙවිගේ පාලනයයි

“මනුෂ්‍ය ආණ්ඩුවලට වඩා ඉහළින් සිටින, පූර්ණ බලයක් ඇති එකම තැනැත්තා වන්නේ මහෝත්තම දෙවියි.”—දානි. 4:17.

1, 2. මනුෂ්‍ය පාලන අසාර්ථක වීමට හේතු මොනවාද?

මනුෂ්‍ය පාලන සියල්ල සම්පූර්ණයෙන්ම අසාර්ථක වී තිබෙන බව අතීතයේ සිට පැහැදිලි වෙනවා. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ සාර්ථක ලෙස පාලනය කිරීමට අවශ්‍ය ප්‍රඥාව මිනිසාට නොමැති වීමයි. එමෙන්ම අද සිටින බොහෝ පාලකයන් ‘තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, ද්‍රෝහිකම් කරන, කිසිම දෙයක් ගැන එකඟ නොවන, නින්දා කරන, තමන්වම පාලනය කරගත නොහැකි, දරුණු, යහපතට කිසි ඇල්මක් නොදක්වන, අනුන්ව පාවා දෙන හා අහංකාර’ අය නිසාත් මනුෂ්‍ය පාලන අසාර්ථක වී තිබෙනවා.—2 තිමෝ. 3:2-4.

2 දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කිරීමෙන් තමන්ට නිදහසක් ලැබෙයි කියා ආදම් සහ ඒව සිතන්න ඇති. නමුත් සිදු වුණේ ඔවුන් සාතන්ගේ පාලනයට යටත් වීමයි. “මේ ලෝකයේ පාලකයා” වන සාතන් යටතේ මිනිසුන් වසර 6,000ක් පාලනය කර තිබෙනවා. අද අප සිටින්නේ එම පාලනයේ දරුණුතම අවස්ථාවෙයි. (යොහ. 12:31) ඒ ගැන එක් පොතක මෙසේ පවසනවා. ‘පරිපූර්ණ ලෝකයක් ගැන බලා සිටීම තේරුමක් නැති දෙයක්. එවැනි ලෝකයක් ඇති කිරීමට උත්සාහ කිරීමෙන් සිදු වන්නේ විපත්, ඒකාධිපති පාලනයන් හා යුද්ධ ඇති වීම පමණයි.’ මනුෂ්‍ය පාලනවල ඇති අසාර්ථකත්වය ගැන මොන තරම් නිවැරදි පැහැදිලි කිරීමක්ද!—The Oxford History of the Twentieth Century.

3. ආදම් සහ ඒව දෙවිට අකීකරු නොවුණා නම් දෙවි පොළොව පාලනය කරන ආකාරය ගැන අපට කියන්න පුළුවන් කුමක්ද?

3 ආදම් සහ ඒව සාර්ථකම පාලනය වන දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කිරීම මොන තරම් කනගාටුදායක දෙයක්ද! නමුත් ඔවුන් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටියා නම් යෙහෝවා දෙවි කෙසේ පොළොව පාලනය කරයිද කියා අප හරියටම දන්නේ නැති බව ඇත්තයි. කෙසේවෙතත් දෙවිගේ පාලනය අපක්ෂපාති මෙන්ම ප්‍රේමණීය එකක් වන බව නම් ස්ථිරයි. (ක්‍රියා 10:34; 1 යොහ. 4:8) දෙවිට තිබෙන අතිමහත් ප්‍රඥාව නිසා ඔහු පොළොව පාලනය කළා නම් මිනිසාගේ පාලනයෙන් ඇති වූ විපත් කිසිවක් සිදු නොවන බව අප දන්නවා. එමෙන්ම දෙවි ‘ජීවමාන සියල්ලන්ගේ ආශාව තෘප්තිමත් කරන’ බවත් අපට ස්ථිර විය හැකියි. (ගීතා. 145:16) ඇත්තෙන්ම එය කිසි අඩුවක්වත් දෝෂයක්වත් නැති පාලනයක් වීමට තිබුණා. (ද්වි. 32:4) එවැනි පාලනයක් ප්‍රතික්ෂේප කිරීම මොන තරම් අඥාන දෙයක්ද!

4. සාතන්ට පාලනය කිරීමට හැකි වන්නේ කොතරම් දුරකටද?

4 මිනිසාට තමාවම පාලනය කිරීමට යෙහෝවා දෙවි ඉඩ දුන්නත් පාලනය කිරීමට තමාට ඇති අයිතිය ඔහු අත්හැර නැහැ. ඒ කාරණය බැබිලෝනියේ බලසම්පන්න රජ කෙනෙකුට පවා පිළිගැනීමට සිදු වුණා. ඔහු දෙවි ගැන මෙසේ පැවසුවා. “මනුෂ්‍ය ආණ්ඩුවලට වඩා ඉහළින් සිටින, පූර්ණ බලයක් ඇති එකම තැනැත්තා වන්නේ මහෝත්තම දෙවියි.” (දානි. 4:17) අවසානයේදී ඉටු වන්නේ දෙවිගේ කැමැත්ත පමණක් බව ඉන් පැහැදිලි වෙනවා. (මතෙ. 6:10) කෙසේවෙතත් “මේ සමාජයේ දෙවියා” ලෙස සාතන්ට කෙටි කාලයකට පාලනය කිරීමට දෙවි ඉඩ දුන්නේ ඔහුදෙවිට විරුද්ධව එල්ල කළ චෝදනාවට පැහැදිලි පිළිතුරක් ලබා දීමටයි. (2 කොරි. 4:4; 1 යොහ. 5:19) නමුත් දෙවි ලබා දී ඇති සීමාව ඉක්මවා යෑමට සාතන්ට කිසිවිටෙකත් හැකි වන්නේ නැහැ. (2 ලේක. 20:6 සහ යෝබ් 1:11, 12; 2:3-6 බලන්න) දෙවිගේ ප්‍රධාන සතුරා වන සාතන් තම පාලනය යොදාගෙන මිනිසුන්ව දෙවිගෙන් ඈත් කරන්න උත්සහ කළත් දෙවිට කීකරුව යටත්ව සිටි අය ඉතිහාසය පුරාම සිටියා.

දෙවි ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කළ ආකාරය

5. ඊශ්‍රායෙල්වරුන් යෙහෝවා දෙවිට වුණ පොරොන්දුව කුමක්ද?

5 ආබෙල්ගේ කාලයේ සිට ඊශ්‍රායෙල් ජාතිය බිහි වූ අවස්ථාව දක්වා දෙවිට නමස්කාර කරමින් ඔහුගේ කැමැත්ත කළ විශ්වාසවන්ත පුද්ගලයන් සිටියා. (හෙබ්‍රෙ. 11:4-22) ඊශ්‍රායෙල් ජාතිය බිහි වුණේ ක්‍රිස්තු පූර්ව 1513දී දෙවි යාකොබ්ගෙන් පැවත ආ අය සමඟ ගිවිසුමක් ඇති කරගත් අවස්ථාවේදීයි. එහිදී ඔවුන් යෙහෝවා දෙවිගේ පාලනයට යටත් වන බවට මෙසේ පොරොන්දු වුණා. “යෙහෝවා දෙවි පැවසූ සියල්ල කිරීමට අප සතුටුයි.” එම පොරොන්දුවට ඔවුන්ගෙන් පැවත එන අයද ඇතුළත් වුණා.—නික්. 19:8.

6, 7. දෙවි ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කළේ කොහොමද?

6 ඊශ්‍රායෙල්වරුන්ව තම සෙනඟ ලෙස තෝරාගැනීමට දෙවිට හොඳ හේතුවක් තිබුණා. (ද්විතීය කතාව 7:7, 8 කියවන්න.) ඔවුන්ගේ යහපත උදෙසා ක්‍රියා කිරීමට වඩා වැදගත් දෙයක් ඊට අයත් වුණා. ඔවුන්ව තෝරාගැනීමට ප්‍රධාන හේතුව වුණේ දෙවි තම නාමය හා සියල්ල පාලනය කිරීමට ඇති අයිතිය ගැන සැලකිලිමත් වීමයි. ඒ නිසා යෙහෝවා දෙවි එකම සැබෑ දෙවි බවට ඊශ්‍රායෙල්වරුන් සාක්ෂිකරුවන් වීමට නියමිතව තිබුණා. (යෙසා. 43:10; 44:6-8) ඒ ගැන දෙවි ඊශ්‍රායෙල් ජාතියට මෙසේ පැවසුවා. ‘ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ ඔබ ශුද්ධ සෙනඟක්. මේ පොළොවේ සිටින සියලුම ජාතීන් අතරින් තමාට විශේෂ සෙනඟක් ලෙස යෙහෝවා දෙවි තෝරාගෙන තිබෙන්නේ ඔබව පමණක් බව නිතරම මතක තබාගන්න.’—ද්වි. 14:2.

7 දෙවි තම සෙනඟට ලබා දුන් නීති පරිපූර්ණ වූ අතර එවා තුළින් ඔහුගේ ගතිලක්ෂණ වන ශුද්ධකම, යුක්තිය, සමාව දීමට ඇති ආශාව හා ඉවසීම වැනි දේ දැකගැනීමට හැකි වුණා. ඒ නිසා දෙවි ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කරද්දී ඔවුන්ගේ පව්කාර ස්වභාවය ගැන සැලකිලිමත් වුණා. යොෂුවාගේ කාලය වන විට ඊශ්‍රායෙල්වරුන්ට දෙවිගේ නීතිවලට කීකරු වෙමින් ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇතුව සාමයෙන් ජීවත් වීමට හැකි වුණේ ඒ නිසයි. (යොෂු. 24:21, 22, 31) එමගින් යෙහෝවා දෙවි පාලනය කළ ආකාරය මොන තරම් සාර්ථකද කියා පැහැදිලි වෙනවා.

රජෙකුව ඉල්ලීමෙන් සිදු වුණ පාඩුව

8, 9. ඊශ්‍රායෙල්වරුන් ඉල්ලා සිටියේ කුමක්ද? එහි ප්‍රතිඵල මොනවාද?

8 ඊශ්‍රායෙල්වරුන් නිතර නිතර දෙවිට අකීකරු වෙමින් ඔහුගේ පාලනය ප්‍රතික්ෂේප කළ නිසා ඔවුන්ට දෙවිගේ ආරක්ෂාව නැති වුණා. පසුව ඔවුන් තමන්ව පාලනය කිරීමට රජ කෙනෙකු ලබා දෙන ලෙස සාමුවෙල්ගෙන් ඉල්ලා සිටියා. ඔවුන්ගේ ඒ ඉල්ලීම ඉටු කර දෙන ලෙස දෙවි සාමුවෙල්ට පැවසුවා. නමුත් දෙවි මෙසේද පැවසුවා. “ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ ඔබව නොව, ඔවුන්ගේ රජු වන මාවය.” (1 සාමු. 8:7) ඊශ්‍රායෙල්වරුන්ට රජෙකුව පත් කරගැනීමට දෙවි ඉඩ දුන්නත් ඒ නිසා ඔවුන්ට මුහුණ දීමට සිදු වන භයානක ප්‍රතිඵල ගැන ඔහු අනතුරු ඇඟෙව්වා.1 සාමුවෙල් 8:9-18 කියවන්න.

9 දෙවි ලබා දුන් අනතුරු ඇඟවීම සත්‍යය බව ඉතිහාසය පුරා සිදු වූ දේවලින් ඔප්පු වී තිබෙනවා. මිනිසෙකුගේ පාලනය යටතේ සිටින විට ඊශ්‍රායෙල්වරුන් බරපතළ ගැටලුවලට මුහුණ දුන්නා. ඔවුන්ගේ රජ දෙවිට විශ්වාසවන්තව නොසිටි අවස්ථාවලදී තත්වය තවත් දරුණු වුණා. එසේනම් යෙහෝවා දෙවි ගැන නොදන්නා කෙනෙක් පාලනය කරන විට යහපත් ප්‍රතිඵල නොලැබීම ගැන පුදුම විය යුතු නැහැ. සමහර පාලකයන් සාමය හා සුරක්ෂිතබව ගෙන ඒමට තමන් ගන්නා වෑයම්වලට දෙවි ආශීර්වාද කරයි කියා බලාපොරොත්තු වෙනවා. නමුත් දෙවිගේ පාලනයට යටත් නොවන කෙනෙකුට ඔහු ආශීර්වාද කරන්නේ කොහොමද?—ගීතා. 2:10-12.

දෙවිගේ පාලනය යටතේ අලුත් ජාතියක්

10. පුරාණ ඊශ්‍රායෙල් ජාතිය වෙනුවට දෙවි අලුත් ජාතියක් තෝරාගත්තේ ඇයි?

10 ඊශ්‍රායෙල්වරුන්, යෙහෝවා දෙවිට දිගටම විශ්වාසවන්තව සේවය කළේ නැහැ. ඔවුන් පසු කලකදී දෙවි පත් කළ ගැලවුම්කරුව ප්‍රතික්ෂේප කළ නිසා දෙවි ඔවුන්වද ප්‍රතික්ෂේප කළා. ඒ නිසා ඔවුන් වෙනුවට අලුත් ජාතියක් ඇති කිරීමට දෙවි පියවර ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රිස්තු වර්ෂ 33දී අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත සභාව බිහි වුණා. එය යෙහෝවා දෙවිගේ පාලනය යටතේ පවතින අලුත් ජාතියක් කියාද හඳුන්වන්න පුළුවන්. පාවුල් ඔවුන්ව “දෙවිගේ ඊශ්‍රායෙලය” කියා හැඳින්නුවා.—ගලා. 6:16.

11, 12. “දෙවිගේ ඊශ්‍රායෙලය” හා ඊශ්‍රායෙල් ජාතිය අතර ඇති සමානකම කුමක්ද?

11 පුරාණ ඊශ්‍රායෙලය හා “දෙවිගේ ඊශ්‍රායෙලය” අතර අසමානකම් හා සමානකම් තිබෙනවා. ඊශ්‍රායෙල් ජාතියට රජ කෙනෙක් සිටියත් ක්‍රිස්තියානි සභාව පාලනය කිරීමට මනුෂ්‍ය පාලකයෙක් නැහැ. ඒ වගේම පාප වෙනුවෙන් සත්ව පූජා ඔප්පු කිරීමේ අවශ්‍යතාවක්ද අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට නැහැ. ඊශ්‍රායෙල් ජාතිය හා ක්‍රිස්තියානි සභාව අතර තිබෙන සමානකමක් වන්නේ වැඩිමහල්ලන් පත් කිරීමයි. (නික්. 19:3-8) ක්‍රිස්තියානි වැඩිමහල්ලන් දෙවිගේ රැළ පාලනය නොකළත් ඔවුන් ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල පෙරමුණ ගනිමින් කැමැත්තෙන්ම සභාව රැකබලා ගන්නවා. ඔවුන් සභාවේ සෑම සාමාජිකයෙකු සමඟම ප්‍රේමණීය ආකාරයෙන් ක්‍රියා කරමින් ඔවුන්ට ගෞරවය ලබා දෙනවා.—2 කොරි. 1:24; 1 පේතෘ. 5:2, 3.

12 දෙවි, ඊශ්‍රායෙල්වරුන් සමඟ ක්‍රියා කළ ආකාරය ගැන කල්පනා කිරීමෙන් අභිෂේක ලත් අයට හා වෙනත් බැටළුවන්ට යෙහෝවා දෙවිවත් ඔහුගේ පාලනයත් ගැඹුරින් අගය කළ හැකියි. (යොහ. 10:16) උදාහරණයකට ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කළ රජවරුන්ගේ ක්‍රියා එහි යටත්වැසියන්ගේ යහපතට හෝ අයහපතට හේතු වුණ ආකාරය ගැන කල්පනා කර බලන්න ඔවුන්ට පුළුවන්. ඉන් ක්‍රිස්තියානි වැඩිමහල්ලන් තේරුම්ගන්නා දෙයක් වන්නේ ඔවුන් පාලකයන් නොවුණත් පෙරමුණ ගන්නාවූ අය ලෙස හැමවිටම දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් ආදර්ශයක් තැබිය යුතු බවයි.—හෙබ්‍රෙ. 13:7.

අද දින යෙහෝවා දෙවි පාලනය කරන ආකාරය

13. වර්ෂ 1914දී සිදු වූ වැදගත් සිදුවීම කුමක්ද?

13 මනුෂ්‍ය පාලනවල අවසානය ළං වී ඇති බව අද දින ක්‍රිස්තියානීන් අන් අයට දැනුම් දෙමින් සිටිනවා. වර්ෂ 1914දී යෙහෝවා දෙවි තම රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවා, එහි රජ ලෙස යේසුස් ක්‍රිස්තුස්ව පත් කළා. ඒ අවස්ථාවේදී ඔහුට ‘ජය අත් කරගනිමින් සම්පූර්ණ ජයග්‍රහණයක් ලබන්න’ අවශ්‍ය බලයද දෙවි ලබා දුන්නා. (එළි. 6:2) ඒ වගේම “ඔබේ සතුරන්ව යටත් කරගන්න” කියාද දෙවි ඔහුට පැවසුවා. (ගීතා. 110:2) කනගාටුදායක ලෙස ජාතීන් දෙවිගේ පාලනයට යටත් වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව ඔවුන් ‘යෙහෝවා දෙවිවද ප්‍රතික්ෂේප කර’ තිබෙනවා.—ගීතා. 14:1.

14, 15. (අ) අද දින දෙවි අපව පාලනය කරන්නේ කොහොමද? අප අපගෙන්ම අසාගත යුතු ප්‍රශ්න මොනවාද? (ආ) දෙවිගේ පාලනය ශ්‍රේෂ්ඨ එකක් බව අද දින පවා දැකගත හැක්කේ කොහොමද?

14 ‘දෙවිගේ ඊශ්‍රායෙලයට’ අයත් යේසුස්ගේ සහෝදරයන් ස්වල්පදෙනෙක් තවමත් පොළොව මත සිටිනවා. ඔවුන් “ක්‍රිස්තුස් වෙනුවෙන් තානාපතීන් ලෙස ක්‍රියා කරමින්” සිටිනවා. (2 කොරි. 5:20) විශ්වාසවන්ත නුවණ ඇති දාසයා ලෙස ක්‍රියා කිරීමට පත් කර තිබෙන්නේද ඔවුන්වයි. ඔවුන් තමන්ටත් පොළොව මත ජීවත් වීමේ බලාපොරොත්තුව ඇති දෙවිගේ සෙනඟටත් අවශ්‍ය රැකවරණය හා දෙවිගේ මඟ පෙන්වීම් ලබා දීමට ක්‍රියා කරනවා. (මතෙ. 24:45-47; එළි. 7:9-15) යෙහෝවා දෙවිගේ සේවකයන් භුක්ති විඳින ආශීර්වාදවලින් එම සැලැස්මට ඔහුගේ අනුමැතිය ලැබී තිබෙන බව පැහැදිලියි.

15 අප සියලුදෙනාම අපගෙන්ම මෙසේ අසාගනිමු. ‘මට සභාව තුළ ඉටු කරන්න තිබෙන වගකීම් ගැන අවබෝධයක් තිබෙනවාද? මම දෙවිගේ පාලනයට නිසි අයුරින් යටත් වෙනවාද? එහි යටත්වැසියෙක් වීම ගැන මම සතුටු වෙනවාද? මට හැකි උපරිමයෙන් දෙවිගේ පාලනය ගැන අන් අයට කියන්න මම අදිටන් කරගෙන තිබෙනවාද?’ අප සියලුදෙනාම පාලක මණ්ඩලය ලබා දෙන මඟ පෙන්වීම්වලට කැමැත්තෙන්ම යටත් වන අතර සභාවේ වැඩිමහල්ලන්ට අවශ්‍ය සහයෝගයද ලබා දෙනවා. එමගින් පෙන්වන්නේ අප දෙවිගේ පාලනය පිළිගන්නා බවයි. (හෙබ්‍රෙව් 13:17 කියවන්න.) දෙවිගේ පාලනයට කැමැත්තෙන්ම යටත් වීමෙන් අද මිනිසුන් අතර දකින්න නැති එක්සත්කම අප අතර ඇති වෙනවා. ඒ වගේම අප සාමකාමී හා ධර්මිෂ්ඨ පුද්ගලයන් බවටද පත් වෙනවා. ඉන් යෙහෝවා දෙවිටද ප්‍රශංසාව ලැබෙනවා. ඒ සියල්ලෙන් ඔප්පු වන්නේ හොඳම පාලනය දෙවිගේ පාලනය බවයි.

හොඳම පාලනය

16. සියලුදෙනාම ගත යුතු තීරණය කුමක්ද?

16 ඒදන් උයනේදී ඇති වූ ප්‍රශ්නය විසඳීමට ඇත්තේ තව කෙටි කාලයයි. ඒ නිසා සෑම පුද්ගලයෙක්ම තමන් දෙවිගේ පාලනයට යටත් වෙනවාද නැද්ද කියා තීරණය කිරීමට කාලය දැනුයි. ඒ ගැන නිවැරදි තීරණය ගැනීමට අන් අයට උපකාර කිරීමට අපට පැවරී ඇති වගකීම අප සලකන්නේ වරප්‍රසාදයක් ලෙසයි. දෙවිගේ අවසන් යුද්ධය වන හර්–මගෙදොන්හිදී සාතන්ගේ බලපෑම යටතේ පවතින මනුෂ්‍ය ආණ්ඩු වෙනුවට දෙවිගේ ආණ්ඩුව සදහටම මුළු පොළොවම පාලනය කිරීමට පටන්ගන්නවා. (දානි. 2:44; එළි. 16:16) හොඳම පාලනය දෙවිගේ පාලනය බව එදාට සම්පූර්ණයෙන්ම තහවුරු වෙයි.එළිදරව් 21:3-5 කියවන්න.

17. යටත් වන්නේ කුමන පාලනයටද කියා කෙනෙකුට නිවැරදි තීරණයක් ගැනීමට උපකාරවත් වන තොරතුරු මොනවාද?

17 දෙවිගේ පැත්ත ගෙන ක්‍රියා කිරීමට තවමත් තීරණයක් ගෙන නොමැති අය නිවැරදි තීරණයක් ගැනීම සඳහා දෙවිගෙන් උපකාර ඉල්ලා යාච්ඤා කළ යුතුයි. එමෙන්ම පහත සඳහන් කාරණා ගැන සලකා බැලීමටද ඔවුන්ට හැකියි. ත්‍රස්තවාදය ඇතුළු අපරාධ සියල්ල නැති කිරීමට මනුෂ්‍ය පාලනයන්ට හැකි වී නැහැ. නමුත් දෙවිගේ පාලනය තුළින් ඒ සියලු දුෂ්ට දේවල් මේ පොළොවෙන් සදහටම නැති කර දමනවා. (ගීතා. 37:1, 2, 9) මනුෂ්‍ය පාලන නිසා සෑම තැනම යුද්ධ පැවතුණත් දෙවිගේ පාලනය ‘පොළොවේ සිදු වන සියලු යුද්ධ නවත්වා දමනවා.’ (ගීතා. 46:9) දෙවිගේ පාලනය තුළ මිනිසා හා සත්වයා පවා සාමයෙන් ජීවත් වෙනවා. (යෙසා. 11:6-9) මිනිස් පාලනය යටතේ දිලිඳුකම හා කුසගින්න සෑම තැනම තිබුණත් දෙවි ඔහුගේ පාලනයේදී ඒ සියල්ල නැති කර දමනවා. (යෙසා. 65:21) හොඳ චේතනාවක් ඇති පාලකයන්ට පවා අසනීප හා මරණය නැති කිරීමට හැකි වී නැහැ. නමුත් දෙවිගේ පාලනය යටතේ ඒ සියලු දේ අවසන් වෙනවා. ඒ විතරක් නොවෙයි මහලු අය නැවත තරුණ වියටද පැමිණෙනවා. (යෙසා. 35:5, 6; යෝබ් 33:25 ) එමෙන්ම මිය ගිය අයද නැවත නැඟිටින අතර මුළු පොළොවම පාරාදීසයක් බවට පත් වෙනවා.—ක්‍රියා 24:15; ලූක් 23:43.

18. හොඳම පාලනය දෙවිගේ පාලනය බව අප විශ්වාස කරනවා කියා පෙන්වන්නේ කොහොමද?

18 ආදම් සහ ඒවගේ කාලයේ සිට වසර 6,000ක් පුරා සාතන් සිදු කළ හානිය දෙවි ක්‍රිස්තුස් මාර්ගයෙන් වසර 1,000ක් ඇතුළත යතා තත්වයට පත් කරනවා. දෙවිගේ පාලනය මොන තරම් විශිෂ්ටද කියා එදාට සම්පූර්ණයෙන්ම ඔප්පු වෙයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෙස අප දෙවිව අපගේ පාලකයා ලෙස පිළිගන්නවා. ඒ නිසා දවසේ පැය 24 පුරාම අප දෙවිගේ රාජ්‍යයේ යටත් වැසියන් බවත් ඔහුගේ නමස්කාරකයන් බවත් ඔහුගේ සාක්ෂිකරුවන් වීම ගැන ආඩම්බර වන බවත් අපගේ ජීවිත තුළින් අපි පෙන්වමු. එමෙන්ම සවන් දීමට කැමැත්තක් දක්වන සෑමදෙනාටම හොඳම පාලනය යෙහෝවා දෙවිගේ පාලනය බව පැවසීමට අපි සෑම අවස්ථාවක්ම යොදාගනිමු.

දෙවිගේ පාලනය සම්බන්ධයෙන් පහත සඳහන් බයිබල් පදවලින් අප ඉගෙනගත්තේ මොනවාද?

ද්විතීය කතාව 7:7, 8

1 සාමුවෙල් 8:9-18

හෙබ්‍රෙව් 13:17

එළිදරව් 21:3-5

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[29වන පිටුවේ පින්තූර]

පාලනය කිරීමේ අයිතිය දෙවි කිසිවෙකුට පවරා නැහැ

[31වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවිගේ පාලනයට කැමැත්තෙන්ම යටත් වීම එක්සත්කමට දායක වෙනවා