Skip to content

පටුනට යන්න

ඔබේ ආශාව ස්වර්ගයට යෑමද?

ඔබේ ආශාව ස්වර්ගයට යෑමද?

ඔබේ ආශාව ස්වර්ගයට යෑමද?

පුද්ගලයෙක් මිය ගිය පසු ඔහුගේ ආත්මය දිගටම ජීවත් වෙනවා කියා මුස්ලිම්, හින්දු, බෞද්ධ සහ ක්‍රිස්තියානි පල්ලිවලට අයත් බොහෝදෙනා විශ්වාස කරනවා. එමෙන්ම ආගමක් අදහන්නේ නැති අය පවා එය විශ්වාස කරනවා. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් බලාපොරොත්තු වන්නේ ස්වර්ගයට යන්නයි. ඊට හේතුව ස්වර්ගයට ගිය පසු නැවත ඥාතීන්ව සහ හිතමිතුරන්ව හමු විය හැකියි කියා ඔවුන් විශ්වාස කිරීමයි. එමෙන්ම ස්වර්ගය දුක් වේදනාවලින් තොර ඉතා සුන්දර ස්ථානයක් බවත් ඔවුන් විශ්වාස කරනවා. නමුත් ප්‍රශ්නය වී තිබෙන්නේ බොහෝ අය ස්වර්ගයට යෑමට කැමති වුණත් මැරෙන්න අකමැති වීමයි.

සාමාන්‍යයෙන් අපි ආශා කරන දෙයක් ලැබෙන තුරු අප කවුරුත් බලා සිටින්නේ නොඉවසිල්ලෙන්. ඒ අනුව අපි මරණයෙන් පසු යන්නේ ස්වර්ගයට නම් ඒ වන තුරු අපි සිටිය යුත්තේ ආශාවෙන් නොවේද? එසේනම් අපි මිය යෑමට අකමැති ඇයි?

ආගමික නායකයන් කියා සිටින්නේ පොළොවේ ගත කරන ජීවිතයෙන් පසු මිනිසුන් ස්වර්ගයට යන බවයි. උදාහරණයකට අගරදගුරු තියෙඩෝර් මැකාරික් පැවසූ දේ සලකා බලන්න. “අපි දැන් ගත කරන්නේ අපේ සැබෑ ජීවිතය නෙවෙයි. ඊට හේතුව අපිව නිර්මාණය කර තිබෙන්නේ ස්වර්ගයේ ජීවත් වීමටයි.” එමෙන්ම එක්සත් ජනපදයේ එවැන්ජලිස්ත සංගමයේ සභාපතිව සිටි ටෙඩ් හැගර්ඩ්ද මෙසේ පැවසුවා. “ජීවිතයේ අරමුණ තමයි ජීවත් වෙන කාලයේදී දෙවිට ප්‍රශංසා කරලා අවසානයේදී ස්වර්ගයට යන එක. අපට උරුම තැන ස්වර්ගයයි.”

මිනිසුන් මිය ගිය පසු ස්වර්ගයට යනවා කියා බොහෝ අය විශ්වාස කළත් එම විශ්වාසය ගොඩනැඟී තිබෙන්නේ ස්ථිර පදනමක් මත නොවෙයි. ආගම් පිළිබඳව හදාරන ආයතනයක සභාපති ලෙස කටයුතු කරන ජෝජ් බාන පැවසූ දේ සලකා බලන්න. “බොහෝ අය මරණයෙන් පස්සේ ස්වර්ගයට යනවා කියලා විශ්වාස කරන්නේ චිත්‍රපටි, ගීත සහ නවකතා පොත්වල ඒ ගැන සඳහන් වන නිසයි.” එමෙන්ම ක්‍රිස්තියානි පූජකයෙක්ද මෙසේ පැවසුවා. “අපි ස්වර්ගය ගැන කිසි දෙයක් දන්නේ නැහැ. අපි දන්නේ දෙවි ස්වර්ගයේ ඉන්නවා කියලා විතරයි.”

ඇත්තටම ස්වර්ගය ගැන බයිබලයේ බොහෝ අවස්ථාවල සඳහන් කර තිබෙනවා. එසේනම් ස්වර්ගය මොන වගේ ස්ථානයක්ද? එමෙන්ම මිනිසුන්ව නිර්මාණය කර තිබෙන්නේ ස්වර්ගයේ ජීවත් වීමටද? මරණින් පසු මිනිසුන් ස්වර්ගයට යනවා නම් ඒ කුමක් සඳහාද?

[3වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මරණින් පසු ස්වර්ගයට යෑමට බොහෝ අය ආශා කළත් ඔවුන් මිය යන්න අකමැති ඇයි?