Skip to content

පටුනට යන්න

ස්වර්ගය මොන වගේද?

ස්වර්ගය මොන වගේද?

ස්වර්ගය මොන වගේද?

බොහෝ අය සිතන්නේ ස්වර්ගයේ සිට කිසි කෙනෙක් පොළොවට පැමිණ නැති නිසා අපට ස්වර්ගය ගැන කිසිම දෙයක් දැනගන්න බැහැ කියායි. නමුත් යේසුස් පැමිණියේ ස්වර්ගයෙන් බව ඔවුන් අමතක කර තිබෙනවා. (යොහන් 6:38) එදා සිටි සමහර ආගමික නායකයන්ට යේසුස් පැවසුවේ “ඔබ ඇවිත් සිටින්නේ පොළොවෙන්. මම ඇවිත් සිටින්නේ ඉහළින්” කියායි. (යොහන් 8:23) ඇත්තටම ස්වර්ගයේ සිට පැමිණි කෙනෙක් හැටියට යේසුස් ස්වර්ගය ගැන පැවසුවේ කුමක්ද?

යෙහෝවා දෙවි සිටින්නේ ස්වර්ගයේ කියා යේසුස් පැහැදිලිව පැවසුවා. “ස්වර්ගයේ සිටින මගේ පියාණන්” කියා ඔහු දෙවිව ඇමතුවේ ඒ නිසයි. (මතෙව් 12:50) එසේනම් ස්වර්ගය තිබෙන්නේ කොහේද? ඊට පිළිතුර දැනගැනීමට බයිබලයේ සඳහන් මේ වදන් සලකා බලන්න. “පෘථිවි ගෝලයට ඉහළින් වාසය කරන තැනැත්තෙක් සිටියි.”—යෙසායා 40:22.

දෙවි සිටින්නේ පෘථිවි ගෝලයට ඉහළින් බව බයිබලයේ සඳහන් වන නිසා ඉන් අදහස් වෙන්නේ ඉර, සඳ සහ තරු පිහිටි විශ්වය තුළ ස්වර්ගය තිබෙන බවද? නැහැ. පුරාණයේ සිටි සලමොන් රජ දේවමාලිගාව කැප කළ අවස්ථාවේදී පැවසූ මේ දෙයින් එය වඩාත් පැහැදිලි වෙනවා. “දෙවි සැබවින්ම මේ පොළොවේ වාසය කරන්නේද? ඔබට වාසය කිරීමට මුළු මහත් විශ්වයම ප්‍රමාණවත් නැත. එසේනම් මා ගොඩනැඟූ මේ ගෘහය ඔබට ප්‍රමාණවත් වේද?” (1 රාජාවලිය 8:27) ඒ අනුව යෙහෝවා දෙවිට මේ මහත් විශ්වයම ප්‍රමාණවත් නැති බව පැහැදිලියි. එසේනම් ඔහු සිටින්නේ කොතැනද?

විද්‍යාඥයන් ඉතා ප්‍රබල දූරේක්ෂ යොදාගෙන අපගේ විශ්වය ගැන හදාරා තිබෙන අතර ගගනගාමීන්ද අභ්‍යවකාශය තරණය කර තිබෙනවා. ඒත් ‘කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැහැ.’ (යොහන් 1:18) ඊට හේතුව ‘දෙවි නොපෙනෙන කෙනෙක්’ වීමයි.—යොහන් 4:24.

මිනිසුන්ට තිබෙන්නේ ලේ, ඇට, මස්, නහර එකතු වීමෙන් සෑදුණු ශරීරයක් නිසා එය අපේ ඇසට පෙනෙනවා. නමුත් දෙවිට තිබෙන්නේ එවැනි ශරීරයක් නොවෙයි. ඒ නිසා අපට ඔහුව පෙනෙන්නේ නැහැ. ඒ වුණත් ස්වර්ගික ජීවිතය පොළොවේ අපි ගත කරන ජීවිතයට වඩා ශ්‍රේෂ්ඨ ජීවිතයක් බව පැවසිය හැකියි. ඊට හේතුව තමා ස්වර්ගයේ සිටි කාලයේදී දෙවි සමඟ “තේජසට පත්” වී සිටියා කියා යේසුස් පැවසීමයි. (යොහන් 17:5; ෆිලිප්පි 3:20, 21) ඇත්තටම ස්වර්ගය මොන වගේද? එහි සිදු වන්නේ කුමක්ද?

ප්‍රීතිමත් ක්‍රියාකාරකම් රැසක් සිදු වන ස්ථානයක්

බයිබලයේ සඳහන් වන ආකාරයට ස්වර්ගය ඉතා කාර්යබහුල ස්ථානයක්. එහි දේවදූතයන් මිලියන ගණනක් සිටිනවා. (දානියෙල් 7:9, 10) ඒ සෑම දේවදූතයෙකුගේම පෞද්ගලිකත්වය එකිනෙකට වෙනස්. එසේ පවසන්නේ ඇයි? මොහොතකට අප අවට පරිසරය ගැන සිතන්න. එහි ඇති සියල්ලක්ම නිර්මාණය කර තිබෙන්නේ යෙහෝවා දෙවියි. ඒ සියල්ල එකිනෙකට කොතරම් වෙනස්ද! ඒ හා සමානව යෙහෝවා දෙවි නිර්මාණය කර තිබෙන දේවදූතයන්ටද වෙනස් පෞද්ගලිකත්වයන් තිබෙනවා කියා සිතීම සාධාරණයි. නමුත් ඔවුන් සියලුදෙනාම වැඩ කරන්නේ එක්සත්වයි. එවැනි එක්සත්කමක් මිනිසුන් අතර සොයාගන්න නැහැ.

ස්වර්ගයේ සිටින දේවදූතයන් ක්‍රියා කරන ආකාරය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “යෙහෝවා දෙවිගේ අණට සැමවිටම කීකරු වන ඔහුගේ දූතයෙනි, ඔහුට ප්‍රශංසා කරන්න. ඔහු පවසන දේට සවන් දී එය ඉටු කරන බලසම්පන්න දේවදූතයෙනි, දෙවිට ප්‍රශංසා කරන්න. යෙහෝවා දෙවිගේ කැමැත්ත ඉටු කරන ඔහුගේ සේවකයන් වූ ස්වර්ගයේ සේනාවෙනි, ඔහුට ප්‍රශංසා කරන්න.” (ගීතාවලිය 103:20, 21) ඉන් පැහැදිලි වන්නේ ස්වර්ගයේ දේවදූතයන් විශාල වැඩ කොටසක් කරමින් සිටින බවයි. එම වැඩවලින් ඔවුන් තෘප්තියක් ලබන බවට කිසිම සැකයක් නැහැ.

දෙවි පොළොව නිර්මාණය කිරීමට බොහෝ කාලයකට පෙර සිටම දේවදූතයන් සතුටින් ස්වර්ගයේ සේවය කර තිබෙනවා. උදාහරණයකට දෙවි පොළොව නිර්මාණය කළ අවස්ථාවේදී ඔවුන් “එක්ව ප්‍රීතියෙන් ගී ගැයූ” බවත් “සතුටු සිතින් ප්‍රශංසා කළ” බවත් බයිබලයේ සඳහන් වෙනවා. (යෝබ් 38:4, 7) එමෙන්ම එක් දේවදූතයෙක් සියලු දේ නිර්මාණය කිරීමට දෙවි සමඟ හවුල් වූ බවත් බයිබලයේ සඳහන් වෙනවා. ඔහු වෙන කිසිවෙකු නොව දෙවිගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්. (කොලොස්සි 1:15-17) ස්වර්ගයේ ප්‍රීතිමත් වැඩ රාශියක් සිදු වන නිසා ‘අපටත් ස්වර්ගයට යන්න තිබෙනවා නම් කොච්චර හොඳද’ කියා ඔබටත් හැඟෙනවා ඇති.

මිනිසුන්ව නිර්මාණය කළේ ස්වර්ගයේ ජීවත් වීමටද?

යෙහෝවා දෙවි පොළොව නිර්මාණය කිරීමට බොහෝ කාලයකට පෙර සිටම දේවදූතයන් ස්වර්ගයේ සිටියා. ඒ නිසා දෙවි මුල් මිනිස් යුවළව නිර්මාණය කළේ ස්වර්ගයේ ජීවත් වීමට කියා සිතන්න බැහැ. දෙවි ඔවුන්ට පැවසූ දේ බයිබලයේ සඳහන් වෙන්නේ මෙසේයි. “දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න.” (උත්පත්ති 1:28; ක්‍රියා 17:26) පොළොවේ තිබූ සියලුම නිර්මාණවලට වඩා ආදම් අද්විතීයයි කියා පැවසිය හැකියි. ඊට හේතුව ඔහුට දෙවිව හඳුනාගැනීමටත් දෙවිට විශ්වාසවන්තව සේවය කිරීමටත් හැකියාව තිබීමයි. මුළු මිනිස් වර්ගයාගේම පියා වීමේ වගකීම පැවරී තිබුණේත් ඔහුටයි. “ස්වර්ගය අයිති යෙහෝවා දෙවිටය. පොළොව ඔහු මනුෂ්‍යයන්ට වාසය කිරීමට දුන්නේය” කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි.—ගීතාවලිය 115:16.

සාමාන්‍යයෙන් කිසිම කෙනෙක් මිය යන්න කැමති නැහැ. ඊට හේතුව දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ ටික කාලයක් ජීවත් වී මිය යෑමට නොවන නිසයි. දෙවි ආදම්ට පැවසුවේ ඔහු දෙවිට විශ්වාසවන්තව සිටින තාක් කල් නොමැරී ජීවත් වන බවයි. එසේ වූවා නම් ඔහු අදටත් ජීවත් වෙනවා ඇති.—උත්පත්ති 2:17; රෝම 5:12.

යෙහෝවා දෙවි ආදම්ට ස්වර්ගික ජීවිතයක් පිළිබඳව කිසිම දෙයක් පැවසුවේ නැහැ. දෙවිගේ අරමුණ වුණේ පොළොව මත මිනිසුන් සතුටින් සදහටම ජීවත් වෙනවා දැකීමයි. ඒ අරමුණ නුදුරු අනාගතයේදී ඉටු වෙනවා. බයිබලයේ ඒ ගැන සඳහන් වෙන්නේ මෙසේයි. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.” (ගීතාවලිය 37:29) ඉන් පැහැදිලි වන්නේ දෙවි මිනිසුන්ව පොළොවේ නිර්මාණය කළේ ස්වර්ගයට ගැනීමේ අරමුණින් නොවන බවයි. එසේනම් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ස්වර්ගික ජීවිතයක් ගැන පොරොන්දු වුණේ ඇයි? යේසුස් ඉන් අදහස් කළේ හොඳ මනුෂ්‍යයන් ස්වර්ගයට යන බවද?