Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

රස්තෆාරියානු ආගම ඇදහූ තරුණයෙක් දිගට වවාගෙන සිටි කොණ්ඩය කපා දැමුවෙත් සුදු ජාතිකයන් කෙරෙහි තිබූ වෛරය නැති කරගත්තේත් ඇයි? මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හවුල් වූ දාමරික තරුණයෙක් ඔහුගේ ජීවිතය වෙනස් කරගත්තේ ඇයි? ඒ ගැන ඔවුන් පවසන දේවල් දැන් අපි සලකා බලමු.

“සුදු ජාතිකයන් කෙරෙහි තිබුණ වෛරය මම නැති කරගත්තා.”—හාෆෙනි ඩාමා

වයස: 34

රට: සැම්බියාව

අතීතයේදී: රස්තෆාරියානු ආගමික සාමාජිකයෙක්

මගේ අතීතය: මම ඉපදුණේ සැම්බියාවේ අනාථ කඳවුරකයි. නැමීබියාවේ යුද්ධ තිබුණ කාලයේදී මගේ අම්මා රට අත්හැරලා ගියා. ඊටපස්සේ අම්මා දකුණු බටහිර අප්‍රිකානු ජනතා සංවිධානයට සම්බන්ධ වෙලා නැමීබියාව පාලනය කළ දකුණු අප්‍රිකාවට විරුද්ධව සටන් කළා.

මගේ ළමා කාලයේ මුල් අවුරුදු 15 ගෙවුණේ අනාථ කඳවුරුවලයි. දේශපාලනය අපේ මනස් විකෘති කළා. ඒ විතරක් නෙවෙයි සුදු ජාතිකයන්ව අපේ සතුරන් විදිහට සලකන්නත් පුරුදු කළා. එහෙම කළේ කලු ජාතිකයන් වෙනුවෙන් කරන සටන ඉදිරියටම ගෙන යෑමේ වගකීම අපි පිට පැටවීමේ අරමුණ ඇතුවයි.

වයස අවුරුදු 11දී මට හිතුණා කඳවුරේ තිබුණ පල්ලියට ගිහින් ක්‍රිස්තියානියෙක් වෙන්න ඕනේ කියලා. ඒකට රෝමානු කතෝලිකයන්, ලුතරන් සාමාජිකයන්, එංගලන්ත සභාවට අයිති අය සහ තවත් අයත් ආවා. මට ක්‍රිස්තියානියෙක් වෙන්න ඕනේ කියලා පල්ලියේ පූජකයෙකුට කිව්වාම එයා කිව්වා ඒක කරන්න එපා කියලා. ඊටපස්සේ දෙවි කෙනෙක් ඉන්නවාද කියන එක ගැන මට ප්‍රශ්න ඇති වෙන්න පටන්ගත්තා. ඒ වුණත් කලු ජාතිකයන්ගේ නිදහස ගැන මට ලොකු උනන්දුවක් තිබුණ නිසාත් මම රෙගේ සංගීතයට ආස කළ නිසාත් රස්තෆාරියානු ආගමට බැඳෙන්න මම තීරණය කළා. ඒ වෙනකොට මට වයස අවුරුදු 15යි. ඊටපස්සේ මම කොණ්ඩේ වැව්වා. ඒ වගේම ගංජාවලටත් හුරු වුණා. ඒත් මස් කන එක නතර කළා. කොහොමවුණත් ඒ කාලයේදී මම ගත කළේ හරිම නරක ජීවිතයක්. මම නිතරම වගේ සැහැසික චිත්‍රපටි බැලුවා. ඒ වගේම අසභ්‍ය වචනත් පාවිච්චි කළා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: වර්ෂ 1995දී මම මගේ ජීවිතය ගැන ටිකක් හිතන්න පටන්ගත්තා. එතකොට මට වයස අවුරුදු 20ක් විතර ඇති. රස්තෆාරියානු ආගමේ හැම පොතක්ම වගේ මම කියවලා තියෙනවා. සමහර පොත්වල බයිබල් පද සඳහන් කරලා තිබුණත් ඒවා පැහැදිලි කරලා තිබුණු විදිහ නම් මට තේරුණේ නැහැ. ඒ නිසා තනියම බයිබලය කියවන්න මම තීරණය කළා.

දවසක් රස්තෆාරියානු ආගමේ සිටි මගේ යාළුවෙක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පොතක් මට දුන්නා. මම ඒ පොත හොඳට කියවලා ඒකේ සඳහන් කරලා තිබුණ බයිබල් පද බයිබලයෙන් බැලුවා. ටික කාලයකට පස්සේ මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැහුණා. ඊටපස්සේ මම ඒ අයත් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා.

ඒ නිසා දුම්පානයත් හුඟක් මත්පැන් පානය කරන එකත් මම නතර කළා. (2 කොරින්ති 7:1) ඒ වගේම මම දිගට වවාගෙන හිටිය කොණ්ඩේ කපලා පිළිවෙළකට අඳින්න පටන්ගත්තා. ඒ විතරක් නෙවෙයි කාමුක පින්තූර බලන එකත් සැහැසික චිත්‍රපටි බලන එකත් අසභ්‍ය වචන පාවිච්චි කරන එකත් නතර කළා. (එෆීස 5:3, 4) මේ විදිහට කාලය ගෙවෙනකොට සුදු ජාතිකයන් ගැන මගේ හිතේ තිබුණ වෛරයත් ටිකෙන් ටික නැති වෙලා ගියා. (ක්‍රියා 10:34, 35) මේ වෙනස්කම් කරන්න මට පුළුවන් වුණේ ජාත්‍යාලය ඇති කරන සින්දු අහන එකත් නරක යාළුවන් ආශ්‍රය කරන එකත් නතර කළ නිසයි.

මගේ ජීවිතය වෙනස් කරගත්තාට පස්සේ මම සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්න පටන්ගත්තා. මටත් ඕනේ වුණේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්නයි. ඒත් මගේ පවුලේ අය නම් ඒකට කැමති වුණේ නැහැ. අම්මා කිව්වේ සාක්ෂිකරුවෙක් වෙන්නේ නැතුව වෙන ඕනෑම ආගමක් අදහන්න කියලයි. ඒ වගේම සාක්ෂිකරුවෙක් වෙන්න ඕනේ කියලා මම ගත්ත තීරණයට මගේ මාමා කෙනෙකුත් නිතරම මට දොස් කිව්වා. එයා දේශපාලනයට සම්බන්ධ කෙනෙක්.

මේ විදිහට මට නින්දා අපහාස ආවත් ඒ හැම එකකටම හොඳින් මුහුණ දෙන්න මට පුළුවන් වුණේ යේසුස්ගේ ආදර්ශය අනුගමනය කළ නිසයි. ඒකට හේතුව යේසුස්ට මිනිස්සු අපහාස කළත් යේසුස් කවදාවත් එකට එක කළේ නැහැ. ඇත්තටම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උගන්වන දේවල් බයිබලයට සම්පූර්ණයෙන්ම එකඟයි. උදාහරණයකට දේවරාජ්‍යය ගැන දේශනා කරන්න කියලා බයිබලයේ සඳහන් ආඥාවට ඔවුන් කීකරු වෙනවා. (මතෙව් 28:19, 20; ක්‍රියා 15:14) ඒ වගේම ඔවුන් දේශපාලනයට හවුල් වෙන්නේත් නැහැ. ඒකටත් බයිබලයේ හොඳ හේතුවක් තියෙනවා. (ගීතාවලිය 146:3, 4; යොහන් 15:17, 18) මේ හේතු නිසා සැබෑ ආගම ඒක කියලා මට කිසිම සැකයක් තිබුණේ නැහැ.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: බයිබලයේ තියෙන ප්‍රතිපත්ති මගේ ජීවිතයට අදාළ කරගත්ත නිසා මම හුඟක් ප්‍රයෝජන ලැබුවා. එකක් තමයි ගංජා පාවිච්චි කරන එක නතර කළ නිසා ඒ වෙනුවෙන් නාස්ති කරන මුදල් ඉතුරු කරගන්න ලැබීම. ඒ වගේම මගේ මානසික හා ශරීර සෞඛ්‍යයත් යහපත් අතට හැරුණා.

දැන් මගේ ජීවිතයට පැහැදිලි අරමුණක් තියෙනවා. ඒක මම හෙව්වේ පොඩි කාලයේ ඉඳලාමයි. හැම දේකටම වඩා මට වටින්නේ යෙහෝවා දෙවිට ළං වෙන්න ලැබීමයි.—යාකොබ් 4:8.

“කේන්තිය පාලනය කරගන්න මම ඉගෙනගත්තා.”—මාර්ටිනෝ පෙඩ්‍රෙටි

වයස: 43

රට: ඕස්ට්‍රේලියාව

අතීතයේදී: මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්

මගේ අතීතය: මම පුංචි දවස්වල මගේ දෙමව්පියෝ නිතරම වගේ පදිංචිය මාරු කළා. ඒ නිසා කුඩා නගරවල, ලොකු නගරයක වගේම ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් එක්කත් අපි ජීවත් වුණා. ඒ කාලයේ අපේ නෑදෑයන් එක්ක අපි හුඟක් විනෝද වුණා. ඒ දවස්වල අපි මාළු ඇල්ලුවා, දඩයමේ ගියා, සෙල්ලම් කළා. ඒ සුන්දර අතීතය නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

මගේ තාත්තා දක්ෂ බොක්සින් ක්‍රීඩකයෙක්. ඒ නිසා පොඩි කාලයේදීම ගහගන්න විදිහ තාත්තා මට කියලා දුන්නා. ඒ දවස්වල ඉඳලාම මම හුඟක් දාමරිකයි. මමයි මගේ යාළුවනුයි ගිහින් ඕනේකමින්ම රණ්ඩුවලට පැටලෙනවා. අපි රණ්ඩුවට යන්නේ පිහි, බේස්බෝල් පිති වගේ දේවලුත් අරගෙනයි. ඒ නිසා 20දෙනෙක් ආවත් භය නැහැ. මම බාර්වලට ගිහින් බොන්න පුරුදු වුණේත් ඒ කාලයේදීමයි.

මම සල්ලි හොයන්න කළේ මත්ද්‍රව්‍ය විකිණීමයි හොරකම් කිරීමයි. ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවනුත් මට සල්ලි දුන්නා. කවුරු හරි මත්ද්‍රව්‍ය අරන් සල්ලි දුන්නේ නැත්නම් ඒ අයගෙන් සල්ලි ගන්න ජාවාරම්කරුවෝ පාවිච්චි කළේ මාවයි. මම ඒ මිනිසුන්ව භය කරලා කොහොම හරි සල්ලි ගන්නවා. මගේ එකම ආසාව වුණේ මැරයෙක් වෙන එක. ඒ නිසා මම නිතරම හිතුවේ තව කෙනෙක් මාව මරන්න කලින් මම එයාව මරන්න ඕනේ කියලයි.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන අහලා තිබුණා. මට මතකයි වයස අවුරුදු 20දී වගේ මම අම්මාගෙන් ඇහුවා සාක්ෂිකරුවන් ඉන්න තැනක් දන්නවාද කියලා. ඊට දවස් දෙකකට පස්සේ සාක්ෂිකරුවෙක් ඇවිත් අපේ දොරට තට්ටු කළා. එයාගේ නම ඩික්සන්. එයා ටික වෙලාවක් මාත් එක්ක කතා කරකර ඉඳලා ඊටපස්සේ කිව්වා සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට එන්න කියලා. ඒ නිසා මාත් ගියා. ඒ ගිය ගමන අද වන තුරුත් මම නතර කරලා නැහැ. මම සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්න පටන් අරන් දැනට අවුරුදු 20ක් වෙනවා. ඒ කාලය තුළ මට තිබුණ හැම ප්‍රශ්නයකටම වගේ ඒගොල්ලන් බයිබලය තුළින් උත්තර දුන්නා.

යෙහෝවා දෙවි පව්කාරයන් ඇතුළු හැම කෙනෙක් ගැනම සැලකිලිමත් කියලා දැනගත්තම මට ලොකු සහනයක් දැනුණා. (2 පේතෘස් 3:9) ඒ වගේම කවුරු මං ගැන සැලකිලිමත් නොවුණත් යෙහෝවා දෙවි පියෙක් වගේ මාව බලාගන්වා කියලා මට තේරුණා. ඒ විතරක් නෙවෙයි මගේ වැරදි අත්හැරියොත් දෙවි මට සමාව දෙනවා කියලා දැනගන්න ලැබුණාම මට ලොකු සහනයක් දැනුණා. මගේ හිතට හුඟක් කාවැදුණු බයිබල් පදයක් තමයි එෆීස 4:22-24. ඒකේ කියන්නේ ‘පරණ පෞද්ගලිකත්වය අහක දමා අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න’ කියලයි.

මගේ ජීවිතය වෙනස් කරගන්න මට හුඟක් කල් ගියා. මත්ද්‍රව්‍ය ගන්නේ නැතුව සතියේ දවස් පහේම ඉන්න පුළුවන් වුණත් සති අන්තවල ඒක ලේසි වුණේ නැහැ. ඒකට හේතුව සති අන්තවලදී මම මගේ යාළුවන් එක්ක එකතු වුණ නිසයි. ඒ නිසා මට තේරුණා මගේ ජීවිතේ වෙනස් කරගන්න නම් මගේ යාළුවන්ව අත්හැරලා වෙන ප්‍රදේශයකට යන්න ඕනේ කියලා. මම පදිංචිය මාරු කරලා වෙන ප්‍රදේශයකට යනකොට මගේ යාළුවෝ කිහිපදෙනෙකුත් මාත් එක්ක ආවා. ඒ යන අතරතුරේදී ඒගොල්ලන් ගංජා බොන්න පටන්ගත්තා. ඒවා මටත් දෙන්න හැදුවා. එතකොට මම කිව්වා මම මේ ගමන යන්නේ මගේ නරක පුරුදු අත්හැරලා කියලා. කොහොම හරි ඒ අය මාව ඇරලවලා යන ගමන් බැංකුවක් මංකොල්ල කාලා කියලා මට ආරංචි වුණා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: මගේ යාළුවන්ව ආශ්‍රය කරන එක නතර කළ නිසා මගේ ජීවිතය වෙනස් කරගන්න ලේසි වුණා. ඊටපස්සේ 1989දී මම බව්තීස්ම වුණා. ඒ වගේම මගේ අම්මයි, තාත්තායි නංගියි යෙහෝවා දෙවිට සේවය කරන්නත් පටන්ගත්තා.

මම විවාහ වෙලා දැනට අවුරුදු 17ක් වෙනවා. මට පුතාලා දෙන්නෙකුයි දුවෙකුයි ඉන්නවා. කවුරු හරි මාව කේන්ති ගැස්සුවත් ඒ කේන්තිය මට දැන් හොඳට පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම සෑම ජාතියකම මිනිස්සුන්ට ප්‍රේම කරන්නත් මම ඉගෙනගත්තා. (එළිදරව් 7:9) යේසුස් කිව්වේ “ඔබ මා උගන්වන දේවල් පිළිපදිනවා නම් ඇත්තෙන්ම ඔබ මගේ ගෝලයෝ වෙනවා. ඔබට සත්‍යය ගැන අවබෝධයක් ලැබෙයි. ඒ සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා” කියලයි. ඒක සත්‍යය කියලා මම මගේ ජීවිතය තුළින්ම අද්දැකලා තියෙනවා.—යොහන් 8:31, 32.

[19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මේ වෙනස්කම් කරන්න මට පුළුවන් වුණේ ජාත්‍යාලය ඇති කරන සින්දු අහන එක නතර කළ නිසයි

[20වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අපි ඕනේකමින්ම රණ්ඩුවලට පැටලෙනවා. රණ්ඩුවට යන්නේ පිහි, බේස්බෝල් පිති වගේ දේවලුත් අරගෙනයි. ඒ නිසා 20දෙනෙක් ආවත් භය නැහැ