Skip to content

පටුනට යන්න

සෑම අවස්ථාවකම අවංක විය යුතුද?

සෑම අවස්ථාවකම අවංක විය යුතුද?

සෑම අවස්ථාවකම අවංක විය යුතුද?

ඕනෑම කෙනෙක් යම් අවස්ථාවලදී අවංකව කටයුතු කරනවා. තවත් සමහර අය බොහෝ අවස්ථාවලදී එසේ කරනවා. නමුත් සෑමවිටම අවංකව කටයුතු කරන්නේ කීයෙන් කීදෙනාද?

අවංකකම ගැන මිනිසුන් අද විවිධ මත දරනවා. සමහර අය සිතන්නේ දුෂ්කරතා හමුවේ වංක ලෙස කටයුතු කිරීමේ හා සොරකම් කිරීමේ වරදක් නැහැ කියායි. නමුත් යෙහෝවා දෙවි පවසන්නේ “සොරකම් නොකරන්න” කියායි. (නික්මයාම 20:15) ඉන් අපට පැහැදිලි වන්නේ සෑම අවස්ථාවකදීම අවංකව කටයුතු කිරීම දෙවි අපෙන් බලාපොරොත්තු වෙන බවයි. සොරකම සාධාරණීකරණය කිරීමට අද සමාජය ඉදිරිපත් කරන හේතු තුනක් දැන් අපි සලකා බලමු.

දිලිඳුකම නිසා සොරකම් කිරීම සුදුසුද?

“අපරාධවලට හේතුව දිලිඳුකම” කියා රෝම කියමනක් තිබෙනවා. සමහරවිට සොරකම් කිරීම සාධාරණයි කියා දිලිඳු කෙනෙකුට සිතෙන්න පුළුවන්. එමෙන්ම තවත් අය ඊට එකඟ විය හැකියි. නමුත් දිලිඳු අය සමඟ යේසුස් කටයුතු කළේ කෙසේද? ඔහු අවශ්‍යතා ඇති අය ගැන ඉතා සැලකිලිමත් වුණා. එක් අවස්ථාවකදී පීඩා විඳිමින් සිටි මිනිසුන්ව දුටු විට ‘ඔහුට ඔවුන් කෙරෙහි අනුකම්පාවක් ඇති වුණා’ කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. (මතෙව් 9:36) නමුත් මිනිසුන් මුහුණ දෙන දුෂ්කරතා නිසා සොරකම් කිරීම සුදුසුයි කියා ඔහු පැවසුවාද? නැහැ. එසේනම් දිලිඳු අය කළ යුත්තේ කුමක්ද?

දෙවිගේ ආඥා පිළිපදිමින් තමන්ගේ අවශ්‍යතාවන් සපුරාගැනීමට උත්සාහ කරන අයට යෙහෝවා දෙවි ආශීර්වාද කරනවා. (ගීතාවලිය 37:25) බයිබලයේ ඒ ගැන සඳහන් වන දේ සලකා බලන්න. “යෙහෝවා දෙවි ධර්මිෂ්ඨ තැනැත්තාව කුසගින්නේ නොතබයි. නමුත් දුෂ්ටයන්ගේ ආශාවන් ඔහු ඉෂ්ට නොකරයි.” (හිතෝපදේශ 10:3) ඇත්තටම දුප්පත් අයට එම පොරොන්දුව කෙරෙහි විශ්වාසය තැබිය හැකිද? එය සත්‍යයක් බව වික්ටෝරීන් නම් කාන්තාව අද්දැක්කා. ඇගේ අද්දැකීම සලකා බලන්න.

වික්ටෝරීන් වැන්දඹුවක්. ඇයට පාසැල් යන දරුවන් පස්දෙනෙක් සිටිනවා. ඇය ජීවත් වෙන්නේ දියුණු වෙමින් පවතින රටකයි. ඇය වැඩි හරියක් කාලය ගත කරන්නේ නිවසෙන් පිට නිසා සොරකම් කිරීමටත් ඇයට ඕනෑ තරම් අවස්ථාව තිබෙනවා. නමුත් ඇය එසේ කරන්නේ නැහැ. ඇය ඇගේ වියදම් පියවාගැනීමට සුළු ව්‍යාපාරයක් කරනවා. ඇය එසේ අවංකව කටයුතු කිරීමට උත්සාහ කරන්නේ ඇයි? ඒ ගැන ඇය පවසන දේ සලකා බලන්න.

“මම නමස්කාර කරන යෙහෝවා දෙවි අවංක කෙනෙක්. ඒ නිසා මමත් අවංකව කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මම අවංකව කටයුතු කළොත් විතරයි මගේ දරුවනුත් අවංකව කටයුතු කරන්න ඉගෙනගන්නේ.”

“අපිට කන්න, අඳින්න, ඉන්න, හිටින්න තැනක් තියෙනවා. ඒ වුණත් හදිසියේම පවුලේ කෙනෙක් අසනීප වුණොත් මට මගේ යාළුවන්ගෙන් උදව් ඉල්ලන්න වෙනවා. ඒ වගේ වෙලාවට මගේ යාළුවෝ මට උදව් කරන්න අදිමදි කරන්නේ නැහැ. ඒකට හේතුව ඒ අය දන්නවා මම කිසිම වෙලාවක ඒ අයගෙන් අයුතු ප්‍රයෝජන ගන්නේ නැහැ කියලා.

“මගේ දරුවනුත් හරිම අවංකයි. දවසක් අපේ ගෙදර මේසේ උඩ සල්ලි වගයක් තියෙනවා දැකලා අපේ අසල්වැසියෙක් ඇහුවා ඒ සල්ලි මගේ දරුවන් හොරකම් කරයි කියලා මට භය නැද්ද කියලා. එතකොට මම කිව්වා මගේ දරුවෝ කවදාවත් එහෙම කරන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ එයා ඒක විශ්වාස කළේ නැහැ. ඒ නිසා දවසක් එයා මටත් හොරෙන් සල්ලි වගයක් දරුවන්ට පේන තැනක තියලා ගිහින්. ඒත් එයා පහුවෙනිදා එනකොටත් ඒ සල්ලි එතනම තිබුණා. එයා ඒ ගැන හුඟක් පුදුම වුණා. ඇත්තටම වස්තු කන්දරාවක් තියෙනවාට වඩා අවංක දරුවන් ඉන්න එක ගැන මම ආඩම්බර වෙනවා.”

හැමෝම කරන නිසා

රැකියා ස්ථානයේදී සොරකම් කිරීම අද සාමාන්‍ය දෙයක් වෙලා. ඒ නිසා බොහෝදෙනාගේ අදහස වී තිබෙන්නේ “හැමෝම හොරකම් කරන නිසා මමත් කළාම මොකද” කියායි. නමුත් බයිබලයේ සඳහන් වෙන්නේ “වැඩිදෙනෙකුගේ කීම අසා වැරදි දේ නොකරන්න” කියායි. (නික්මයාම 23:2) එම ප්‍රතිපත්තිය වික්ටොයිරි නම් කාන්තාව අදාළ කරගත්තා. එමගින් ඇයට අයහපතක් සිදු වුණාද? දැන් අපි ඒ ගැන සලකා බලමු.

වයස අවුරුදු 19දී වික්ටොයිරිට පාම් තෙල් නිෂ්පාදනය කරන ස්ථානයක රැකියාවක් ලැබුණා. එහි සිටින කාන්තාවන් 40දෙනෙක් පාම් ඇට සොරකම් කරන බව වැඩි කල් යන්න කලින් වික්ටොයිරිට දැනගන්න ලැබුණා. ඔවුන් සොරකම් කළ පාම් ඇට සෑම සති අන්තයකම විකුණා දවස් තුන හතරක වැටුපකට සරිලන මුදලක් සොයාගත්තා. ඒ ගැන වික්ටොයිරි මෙසේ පැවසුවා. “හැම කෙනෙක්ම වාගේ පාම් ඇට හොරකම් කළා. එහෙම කරන්න කියලා මටත් කිව්වා. ඒත් මම අවංක ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන නිසා මම හොරකම් කරන්නේ නැහැ කියලා ඒ අයට කිව්වා. එහෙම කිව්වාම ඒගොල්ලන් මට විහිළු කළා. ‘කවදා හරි දවසක ඔයා ඒ ගැන පසුතැවිලි වෙයි’ කියලත් කිව්වා.

“දවසක් අපි වැඩ ඉවර වෙලා යන්න හදනකොට වැඩ බලන නිලධාරියෙක් ඇවිත් අපි හැම කෙනෙක්ගේම මලු පරීක්ෂා කළා. ඒ වෙලාවේ හැම කෙනෙකුගේම මලුවල පාම් ඇට තිබිලා අහු වුණා. ඒත් මගේ මල්ලේ විතරයි පාම් ඇට තිබුණේ නැත්තේ. ඒ වෙලාවෙම ඒ අයට කිව්වා එදාම රස්සාවෙන් අස් වෙලා යන්න නැත්නම් පඩි නැතුව සති දෙකක් වැඩ කරන්න කියලා. මට විහිළු කළ අයට තේරෙන්න ඇති පසුතැවෙන්න වුණේ කාටද කියලා.”

ලැබුණා නම් තියාගන්න

වෙන කෙනෙකුට අයිති දෙයක් ඔබට සම්බ වුණොත් ඔබට ඒ ගැන හැඟෙන්නේ කෙසේද? බොහෝ අය නම් තමන්ට වටිනා යමක් සම්බ වුණා කියා සතුටු වෙනවා. ඒ වගේම ඒ දෙය නැවත අයිතිකරුට භාර දීමට කැමැත්තක් දක්වන්නේද නැහැ. ඔවුන් සිතන්නේ සම්බ වුණ දේ තියාගැනීමේ කිසිම වරදක් නැහැ කියායි. එමෙන්ම නැති වූ දෙය අයිති කෙනා ඒ ගැන බලාපොරොත්තු අත්හැරගෙන ඇති කියාත් ඔවුන් සිතනවා. තවත් අය පවසන්නේ එහි අයිතිකරුව සෙවීම තමන් සතු වගකීමක් නොවන බවයි.

කෙසේවෙතත් යෙහෝවා දෙවිට ඒ ගැන හැඟෙන්නේ කෙසේද? වෙන කෙනෙකුට අයිති දෙයක් ඔබට සම්බ වුණොත් එහි අයිතිකරුව හමු වන තෙක් එය ආරක්ෂා කර නැවත “අයිතිකරුට භාර දෙන්න” කියා බයිබලයේ සඳහන් වෙනවා. (ද්විතීය කතාව 22:1-3) නමුත් කෙනෙක් අයිතිකරුව සොයා එය භාර දෙන්නේ නැත්නම් ඇත්තෙන්ම ඔහු යෙහෝවා දෙවි ඉදිරියේ සොරෙක් බවට පත් වෙනවා. (නික්මයාම 22:9) කොහොමවුණත් නැති වූ දෙයක අයිතිකරුව සොයා එය නැවත භාර දීම කළ හැකි දෙයක්ද? ඒ සම්බන්ධයෙන් ක්‍රිස්ටීන්ගේ අද්දැකීම සලකා බලමු.

ක්‍රිස්ටීන් පෞද්ගලික පාසැලක අධ්‍යක්ෂකවරියක්. දිනක් ඇය ඇගේ මාසික වැටුපත් රැගෙන කුලී වාහනයකින් ඇගේ ආගමික රැස්වීමකට ගියා. ඇය රියදුරාට මුදල ගෙවීමට බෑගය විවෘත කළ විට ඇයටත් නොදැනීම ඇගේ වැටුප් මුදල බිමට වැටුණා. ඒ වන විටත් අඳුර වැටී තිබුණු නිසා ඇයට එය පෙනුණේ නැහැ.

මිනිත්තු කිහිපයකට පසුව තම මිතුරෙකුව හමු වීමට පැමිණි 19-හැවිරිදි බ්ලේස් මුදල් වගයක් බිම වැටී තිබෙනවා දුටුවා. ඔහු එය රැගෙන තම මිතුරාව මුණගැසීමට ගියා. ඔහුත් ගියේ ක්‍රිස්ටීන් ගිය රැස්වීම් ශාලාවටමයි. කොහොමවුණත් රැස්වීම අවසන් වී ඔහු තම මිතුරා සමඟ කතා කර තමාට යමක් සම්බ වූ බවත් එහි අයිතිකරුවෙක් සිටිනවා නම් තමන්ට ඇමතුමක් දී ඒ ගැන පවසන්න කියාත් ඔහු තම මිතුරාට පැවසුවා.

රැස්වීම අවසන් වී නිවසට ගිය ක්‍රිස්ටීන් තමන්ගේ වැටුප නැති වී ඇති බව දැනගත්තා. ඒ ගැන ඇය කලබල වුණා. සතියකට පසුව නැවතත් රැස්වීම් ශාලාවට ගිය විට ඇය ඇගේ මිතුරියක් වන ජොසෆින්ට ඒ ගැන කිව්වා. එවිට ගිය සතියේ රැස්වීමට පැමිණි තරුණයෙක් තමන්ට යමක් සම්බ වූ බවත් එහි අයිතිකරුව හමු වුණා නම් තමන්ට දුරකථන ඇමතුමක් දෙන්න කියා පැවසූ බවත් ඇය ක්‍රිස්ටීන්ට පැවසුවා. පසුව ක්‍රිස්ටීන් බ්ලේස්ට ඇමතුමක් දී සිදු වූ දෙය ඔහුට විස්තර කළා. බ්ලේස් අදාළ මුදල නැවත ක්‍රිස්ටීන්ට දුන් විට ඇය හුඟක් සතුටු වුණා. බ්ලේස් ඒ ගැන මෙසේ පැවසුවා. “ඒ සල්ලි මම තියාගන්නවාට වඩා අයිතිකරුව හොයලා නැවත ඒක දුන්න එකෙන් මම ලොකු සතුටක් ලැබුවා.”

අවංකව කටයුතු කළේ ඇයි?

වික්ටෝරීන්, වික්ටොයිරි සහ බ්ලේස් ජීවත් වුණේ විවිධ ප්‍රදේශවලයි. ඒ නිසා ඔවුන් එකිනෙකාව හඳුනන්නේ නැහැ. නමුත් ඔවුන් තිදෙනාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිසා බයිබල් ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න ඔවුන් උත්සාහ කළා. යෙහෝවා දෙවි දී තිබෙන පොරොන්දුවට අනුව “ධර්මිෂ්ඨකම රජයන අලුත් අහසක් සහ අලුත් පොළොවක් පැමිණෙන තුරු” ඔවුන් බලා සිටින්නේ ඉතා ආශාවෙන්. ඒ කාලයේදී සියලුදෙනාම අවංකව කටයුතු කරනවා.—2 පේතෘස් 3:13.

වික්ටෝරීන්ට ආර්ථික ගැටලු තිබුණත් ඒ සියල්ලටම විසඳුමක් ලැබෙන්නේ දෙවිගේ පාලනය තුළදී බව ඇය හොඳින් අවබෝධ කරගෙන සිටිනවා. කෙසේවෙතත් ඇය යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගෙන තිබෙනවා. එමෙන්ම ඇගේ දරුවන්ද ජීවත් වෙන්නේ බයිබල් ප්‍රමිතිවලට එකඟවයි. යෙහෝවා දෙවි තමන්ට හඬ ගසන සියල්ලන්ගේම ආශාවන් ඉටු කරන බව අන් මනුෂ්‍යයන්ට කියා දීමෙන් ඔවුන් මහත් ප්‍රීතියක් අද්දකිනවා.—ගීතාවලිය 145:7, 18, 20.

පාම් තෙල් නිෂ්පාදනය කරන ස්ථානයේ සේවය කළ වික්ටොයිරි රැකියාවෙන් අස් වුණා. ඇය තමන්ගේම කියා පුංචි ව්‍යාපාරයක් පටන්ගත්තා. ඇය අවංකව කටයුතු කරන නිසා ඇයට පාරිභෝගිකයන් රැසක් සිටිනවා. පසු කාලයේදී ඇය විවාහ වී තම ස්වාමිපුරුෂයා සමඟ පූර්ණකාලීනව දෙවිට සේවය කරන්න පටන්ගත්තා.

කලින් සඳහන් කළ ක්‍රිස්ටීන්ගේ වැටුප් මුදල නැති වූයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම් ශාලාවක් අසලදීයි. ඒ වන විට බ්ලේස් හඳුනාගෙන සිටියේ ඒ රැස්වීම් ශාලාවට පැමිණෙන කිහිපදෙනෙකුව පමණයි. ඒත් ඔවුන් තමා මෙන් බයිබල් ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමට උත්සාහ කරන අවංක අය කියා ඔහු දැන සිටියා.

සෑම අවස්ථාවකදීම අවංකව කටයුතු කිරීමට උත්සාහ කරන කීදෙනෙකුව ඔබ හඳුනනවාද? නිකමට සිතන්න, එවැනි මිනිසුන් 50දෙනෙක්, 100දෙනෙක් හෝ 200දෙනෙක් සමඟ ඔබට ඇසුරු කරන්න ලැබුණොත් එය මොන තරම් ප්‍රීතිමත් අවස්ථාවක් වේවිද! යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එම ප්‍රීතිය අද්දකිනවා. ඔවුන් හා එකතු වී ඒ ප්‍රීතිය අද්දකින්න ඔබත් කැමති නැද්ද?

[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“වස්තු කන්දරාවක් තියෙනවාට වඩා අවංක දරුවන් ඉන්න එක ගැන මම ආඩම්බර වෙනවා.”—වික්ටෝරීන්

[14වන පිටුවේ කොටුව]

කුසගින්න නිසා සොරකම් කිරීම වැරදිද?

බයිබලයේ මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “සොරෙකු තම කුසගින්න නිවාගැනීමට සොරකම් කළාට ඔහුව හෙළාදකින්නේ නැත.” (හිතෝපදේශ 6:30) ඉන් අදහස් වෙන්නේ කුසගින්න නිසා සොරකම් කිරීමේ වරදක් නැති බවද? නැහැ. එයට හේතුව එම බයිබල් පදයට පසුව මෙසේ සඳහන් වීමයි. සොරකම් කළ පුද්ගලයාව හසු වූ විට “ඒ සඳහා හත් ගුණයකින් වන්දි ගෙවීමට ඔහුට සිදු වෙයි. ඔහුගේ නිවසේ වටිනා යමක් ඇත්නම් ඒ සියල්ල වුවද ඔහුට දීමට සිදු වෙයි.” (හිතෝපදේශ 6:31) ඉන් පැහැදිලි වෙන්නේ කුමන හේතුවක් නිසා සොරකම් කළත් එය දෙවි ඉදිරියේ වැරදි බවයි. ඒ නිසා දෙවිව සතුටු කිරීමට කැමති අය සොරකම් කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුයි.