Skip to content

පටුනට යන්න

ජීවීන්ගේ අවශ්‍යතා සපුරාලන්න පෘථිවියට හැකි වෙයිද?

ජීවීන්ගේ අවශ්‍යතා සපුරාලන්න පෘථිවියට හැකි වෙයිද?

පාඨකයන් අසයි

ජීවීන්ගේ අවශ්‍යතා සපුරාලන්න පෘථිවියට හැකි වෙයිද?

▪ ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය සෑම දෙයක්ම මේ පෘථිවිය මත තිබෙනවා. නමුත් ජනගහන වර්ධන වේගය හා සම්පත් ක්ෂය වන වේගය නිසා මතු දිනක ජීවීන්ට අවශ්‍ය ආහාර හා සම්පත් නැති වී යයි කියා ඔබට භයක් දැනෙනවාද?

ඔබට එලෙස හැඟෙනවා නම් මීට අවුරුදු 4,000කට ඉහතදී යෙහෝවා දෙවි දුන් මේ පොරොන්දුව ඔබට සහනයක් වේවි. “පොළොව පවතින තාක් කල්, බීජ වැපිරීම සහ අස්වැන්න නෙළීම සිදු වනු ඇත. ශීතල සහ උණුසුමත් ගිම්හාන ඍතුව සහ ශීත ඍතුවත් දවාල සහ රාත්‍රියත් සැමදා පවතිනු ඇත.” (උත්පත්ති 8:22) ඒ අනුව ජීවීන්ට අවශ්‍ය ආහාර සහ සම්පත් කිසි දිනක පෘථිවියෙන් තුරන් වී යන්නේ නැහැ කියා අපට නිසැක විය හැකියි.

වර්ෂ 2004දී එක් වාර්තාකරුවෙක් වූ ඇලෙක්ස් කර්බි පැවසූ දෙය සලකා බලන්න. “ජීවීන්ට අවශ්‍ය තරම් ආහාර මේ පෘථිවියේ තිබෙනවා. නමුත් ගැටලුව වී තිබෙන්නේ ආහාර නැති රටවලට ඒවා නොලැබීම, ආහාරවල මිල අධික වීම සහ වැඩි කාලයක් ගබඩා කර තබාගැනීමට නොහැකි වීමයි. ඒ අනුව සියලුදෙනාටම නිසි ලෙස ආහාර නොලැබෙන්නේ තාක්ෂණයේ දෝෂයක් නිසා නොව වග කිව යුතු අයගේ අඩුපාඩුකම් නිසයි.” පෘථිවියේ සම්පත් හොඳින් කළමනාකරණය කරමින් ඒවා නිසි ලෙස අධීක්ෂණය කරනවා නම් ආහාර හිඟයක් ගැන බිය විය යුතු නැහැ. උදාහරණයක් ලෙස පුරාණයේ සිටි ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා දෙවි පැවසූ මේ දෙය සලකා බලන්න. ‘හත්වන අවුරුද්දේදී භූමියට විවේකයක් දෙමින් ඔබ සබතක් පැවැත්විය යුතුයි. ඔබ එම අවුරුද්ද මුළුල්ලේම ඔබේ කෙත්වල බීජ නොවැපිරිය යුතුයි.’ (ලෙවී කතාව 25:4) සෑම හත්වෙනි අවුරුද්දකම ඊශ්‍රායෙල්වරුන් වගා නොකළත් ඔවුන්ට ඇති තරම් ආහාර ලබා දීමට දෙවි වග බලා ගත්තා. එමනිසා ආහාර හිඟයක් ඇති වෙයි කියා ඔවුන් බිය වුණේ නැහැ.—ලෙවී කතාව 26:3-5.

ස්වභාවික සම්පත්වලට සිදු වී තිබෙන හානිය වැළැක්වීමට ඇතැම් අය උත්සාහ කර තිබෙනවා. ඒත් බොහෝ අය පවසන්නේ ඒ සඳහා ප්‍රමාද වැඩියි කියායි. කොහොමවුණත් “පොළොව විනාශ කර දමන අයව විනාශ කර දැමීමට” යෙහෝවා දෙවි අනාගතයේදී පියවර ගන්නා නිසා පෘථිවියේ සම්පත් සුරැකෙන බවට ස්ථිර විය හැකියි. (එළිදරව් 11:18) ඊට අමතරව යහපත් අය වෙනුවෙන් ඇති තරම් ආහාර නිෂ්පාදනය කළ හැකි තත්වයකට මේ පෘථිවිය පත් කිරීම සඳහාත් යෙහෝවා දෙවි ආශාවෙන් බලා සිටිනවා. එදාට තමන්ගේ වාසිය තකා පොළොවේ සම්පත් විනාශ කරන අය තවදුරටත් සිටින්නේ නැහැ. එමෙන්ම යෙහෝවා දෙවිගේ අරමුණට එකඟව කටයුතු කරන අයට බයිබලයේ සඳහන් මේ වදන්වල සත්‍යතාව අද්දකින්න ලැබෙයි. “පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි. කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි. සරුසාරව තිබෙන ලෙබනොන් වනාන්තරය මෙන් ඔහු ලබන අස්වැන්නද සරු වන්නේය.”—ගීතාවලිය 72:16.

යෙහෝවා දෙවි මිනිසුන්ට බෙහෙවින් ප්‍රේම කරන නිසා ඔහුගේ ආශාව වන්නේ මිනිසුන් මේ පොළොව රැකබලා ගෙන එය පාරාදීසයක් බවට පත් කර සන්තෝෂයෙන් ජීවත් වෙනවා දැකීමයි. (උත්පත්ති 1:28) ඒ කාලයේදී පොළොවේ ජීවත් වන ධර්මිෂ්ඨ අය එහි සම්පත් ඥානවන්තව භාවිත කරන නිසා ඇති තරම් ආහාර තිබේවි. ඇත්තෙන්ම සියලුදෙනාගේම බලාපොරොත්තු ඉටු කරන මෙවැනි ප්‍රේමණීය දෙවි කෙනෙක් සිටීම ගැන අපි මොන තරම් සතුටු විය යුතුද!—ගීතාවලිය 145:16.

[22වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“සියලුදෙනාටම නිසි ලෙස ආහාර නොලැබෙන්නේ තාක්ෂණයේ දෝෂයක් නිසා නොව වග කිව යුතු අයගේ අඩුපාඩුකම් නිසයි”