Skip to content

පටුනට යන්න

එක එඬේරෙක් යටතේ සිටින එක රැළක්

එක එඬේරෙක් යටතේ සිටින එක රැළක්

එක එඬේරෙක් යටතේ සිටින එක රැළක්

‘මා අනුව ආ ඔබත් සිංහාසන දොළොසක ඉඳගෙන, ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොස විනිශ්චය කරනවා.’—මතෙ. 19:28.

1. ආබ්‍රහම්ගෙන් පැවත ආ අය සමඟ යෙහෝවා දෙවි කටයුතු කළේ කොහොමද? ඉන් වෙනත් ජාතීන්ව නොසලකා නොහැරිය බව පවසන්න පුළුවන් ඇයි?

යෙහෝවා දෙවි ආබ්‍රහම්ට කොතරම් ප්‍රේම කළාද කිව්වොත් ඔහුගෙන් පැවත එන අයටද බොහෝ සේ ප්‍රේම කළා. ඒ වගේම ආබ්‍රහම්ගෙන් පැවත ආ ඊශ්‍රායෙල් සෙනඟව සියවස් 15කට වැඩි කාලයක් පුරා තම “විශේෂ සෙනඟ” ලෙස දෙවි සැලකුවා. (ද්විතීය කතාව 7:6 කියවන්න.) ඉන් අදහස් කළේ යෙහෝවා දෙවි වෙනත් ජාතීන්ව සම්පූර්ණයෙන්ම නොසලකා හැරිය බවද? නැහැ. ඒ කාලයේදී දෙවිට නමස්කාර කිරීමට කැමැත්තක් දැක්වූ වෙනත් ජාතීන්ට ඔහුගේ විශේෂ ජාතියට එකතු වීමේ අවස්ථාව තිබුණු අතර ඔවුන් දෙවිගේ සියලුම නීති පිළිපැදිය යුතු වුණා. (ලෙවී. 24:22) ඔවුන් එසේ කරනවා නම් ඔවුන්ව එම ජාතියේම අය ලෙස සලකන බවද දෙවි පවසා තිබුණා.—ලෙවී. 19:33, 34.

2. යේසුස් පළමු ශතවර්ෂයේ සිටි යුදෙව්වන්ට පැවසුවේ කුමක්ද? ඒ තුළින් මතු වන ප්‍රශ්න මොනවාද?

2 පළමු සියවසේදී යේසුස් යුදෙව්වන්ට මෙවැනි දෙයක් පැවසුවා. “දෙවිගේ රාජ්‍යය ඔබෙන් ගෙන රාජ්‍යය වෙනුවෙන් පල උපදවන වෙනත් ජාතියකට එය දෙනු” ලබනවා. (මතෙ. 21:43) ඒ අලුත් ජාතියට අයිති වන්නේ කවුද? එය අපට බලපාන්නේ කොහොමද?

අලුත් ජාතියක්

3, 4. (අ) පේතෘස් අලුත් ජාතිය හඳුන්වා දුන්නේ කොහොමද? (ආ) ඊට අයත් වන්නේ කවුරුන්ද?

3 පේතෘස් ඒ අලුත් ජාතිය පැහැදිලිව හඳුන්වා දෙමින් මෙසේ ලිව්වා. “ඔබ, ‘තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක් සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්’ වන්නහුය. එසේ වන්නේ ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ, ‘ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම’ සඳහාය.” (1 පේතෘ. 2:9) එම අලුත් ජාතියේ මුල්ම සාමාජිකයන් වුණේ යේසුස්ව ගැලවුම්කරු ලෙස පිළිගත් යුදෙව්වනුයි. (දානි. 9:27; මතෙ. 10:6) පසුව ඊශ්‍රායෙල් නොවන අයටද එම ජාතියට එකතු වීමට අවස්ථාව ලැබුණා. ඒ ගැන පේතෘස් මෙසේ පැවසුවා. ‘කලකට පෙර ඔබ ජාතියක් ලෙස සංවිධානය වී නොසිටියත් ඔබ දැන් දෙවි තෝරාගත් සෙනඟ වන්නහුය.’—1 පේතෘ. 2:10.

4 පේතෘස් එහිදී කතා කරන්නේ කවුරුන් ගැනද? ඔහුගේ ලිපිය මුලදී ඔහු ඒ ගැන මෙසේ සඳහන් කරනවා. “යේසුස් ක්‍රිස්තුස්ව මරණයෙන් නැවත නැඟිටුවීම මගින් [දෙවි] අපට අලුත් උපතක් දෙමින් අපට ස්ථිර බලාපොරොත්තුවක් දී ඇත. එම බලාපොරොත්තුවට අනුව අපට කිසිදා දිරා නොයන, කැළැල් රහිත, කිසිදා පරවී නොයන ජීවිතයකට උරුමකම් කීමට පුළුවන. ඒ උරුමය ඔබ වෙනුවෙන්ද ස්වර්ගයෙහි වෙන් කර තිබේ.” (1 පේතෘ. 1:3, 4) ස්වර්ගික ජීවිතයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් එම අලුත් ජාතිය සමන්විත වන අතර ඔවුන්ව ‘දෙවිගේ ඊශ්‍රායෙල්’ ලෙසද හඳුන්වනවා. (ගලා. 6:16) ඔවුන්ගේ ගණන 1,44,000ක් බව යොහන් දර්ශනයකින් දුටුවා. “දෙවි සහ බැටළු පැටවා වෙනුවෙන් පළමු පල ලෙස මිනිසුන් අතරින් මිල දී ගෙන” තිබෙන ඔවුන්, “පූජකයන්” ලෙසත් රජවරුන් ලෙසත් “අවුරුදු දහස පුරා [යේසුස්] සමඟ රජකම්” කිරීමට නියමිතයි.—එළි. 5:10; 7:4; 14:1, 4; 20:6; යාකො. 1:18.

තවත් අය ඇතුළත්ද?

5. (අ) ‘දෙවිගේ ඊශ්‍රායෙල්’ කියා හඳුන්වන්නේ කාවද? (ආ) වෙනත් අයව නියෝජනය කිරීමටද දෙවි ඊශ්‍රායෙල් ජාතිය යොදාගත් බව පවසන්න පුළුවන් ඇයි?

5 ‘දෙවිගේ ඊශ්‍රායෙල්’ ලෙස ගලාති 6:16හි හඳුන්වා තිබෙන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ගැන පමණයි. ඔවුන්ට අමතරව වෙනත් අයව නියෝජනය කිරීමටද යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් ජාතිය යොදාගත් අවස්ථා තිබෙනවා. යේසුස් තම නියෝජිතයන්ට පැවසූ මේ දෙයින් එය පැහැදිලියි. “මගේ පියාණන් මා සමඟ රාජ්‍යයක් සඳහා ගිවිසුමක් ඇති කළා සේම මම ඔබ සමඟ ගිවිසුමක් ඇති කරනවා. එයින් මගේ රාජ්‍යයට හවුල් වී මගේම මේසයේ එකට කා බී සිංහාසනවල ඉඳ ඊශ්‍රායෙල් දේශයෙහි ගෝත්‍ර දොළහ විනිශ්චය කිරීමට ඔබට අවස්ථාව ලැබෙයි.” (ලූක් 22:28-30) එය සිදු වන්නේ “සියල්ල අලුත් කරන කාලයේදී” එනම්, ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලන කාලය තුළයි.මතෙව් 19:28 කියවන්න.

6, 7. මතෙව් 19:28 සහ ලූක් 22:30හි සඳහන් ආකාරයට ‘ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොසෙන්’ නියෝජනය කරන්නේ කාවද?

6 අභිෂේක ලත් 1,44,000දෙනා යේසුස් සමඟ රජවරුන්, පූජකයන් හා විනිශ්චයකරුවන් ලෙස කටයුතු කිරීමට නියමිතයි. (එළි. 20:4) ඔවුන් විනිශ්චය කරන්නේ හා පාලනය කරන්නේ කාවද? ඔවුන් “ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොස” විනිශ්චය කරන බව මතෙව් 19:28 සහ ලූක් 22:30හි සඳහන් වෙනවා. එම පදවලට අනුව ‘ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොසෙන්’ නියෝජනය වන්නේ යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තබමින් පොළොව මත සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඇති අයවයි. (පූජකයන් අයත් වූ ලෙවී ගෝත්‍රය ඊශ්‍රායෙල් ගෝත්‍ර 12ට අයත් වුණේ නැහැ.) එම ගෝත්‍ර 12 නියෝජනය කරන අය පූජක ගෝත්‍රය නියෝජනය කරන 1,44,000දෙනා කරන සේවයෙන් ප්‍රයෝජන ලබනවා. ඔවුන්ටද දෙවි ප්‍රේම කරන අතර ඔවුන්ව තම සෙනඟ ලෙසද පිළිගන්නවා. ඒ නිසා ඔවුන්ව පුරාණයේ සිටි ඊශ්‍රායෙල්වරුන්ට සමාන කිරීම සුදුසුයි.

7 මහත් පීඩාවට පෙර 1,44,000දෙනාට අවසන් මුද්‍රාව ලැබෙන ආකාරය යොහන් දුටුවා. ඉන්පසු “සියලු ජාතීන්ට අයත්” කිසිවෙකුට ගණන් කළ නොහැකි ‘මහත් සමූහයක්වද’ යොහන් දුටුවා. (එළි. 7:9) ඔවුන් මහත් පීඩාවෙන් බේරී ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනයට ඇතුල් වන අතර නැවත නැඟිටින බිලියන ගණනක්දෙනාද ඔවුන්ට එකතු වෙනවා. (යොහ. 5:28, 29; එළි. 20:13) මතෙව් හා ලූක්හි සඳහන් ‘ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොසට’ ඒ සියලුදෙනාම අයත්. යේසුස් සහ ඔහුගේ හවුල් පාලකයන් 1,44,000දෙනා විසින් විනිශ්චය කරනු ලබන්නේ ඔවුන්වයි.—ක්‍රියා 17:31; 24:15; එළි. 20:12.

8. සමඟි කිරීමේ දවසේ සිදු වූ දේවලින් හෙළි වන්නේ කුමක්ද?

8 අභිෂේක ලත් ක්‍රිස්තියානීන් හා පොළොව මත සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුවක් ඇති අය අතර තිබෙන සම්බන්ධය තේරුම්ගැනීමට අපි උදාහරණයක් සලකා බලමු. වාර්ෂික සමඟි කිරීමේ දවසේදී උත්තම පූජකයා මුලින්ම “තමන්ගේ පාපවලට හා තම ගෙයි වැසියන්ගේ පාපවලට” පූජාවක් ලෙස ගොනෙකුව පූජා කළා. (ලෙවී. 16:6-10) ඉන් පැහැදිලි වන්නේ යේසුස්ගේ ජීවිත පූජාවෙන් මුලින්ම ප්‍රයෝජන ලබන්නේ ඔහුගේ ගෙයි වැසියන් බවයි. එනම් ඔහු සමඟ සේවය කිරීමට නියමිත සෙසු පූජකයන් 1,44,000දෙනායි. ඒ වගේම සමඟි කිරීමේ දවසේදී අනිකුත් සියලුම ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් එළුවන් දෙදෙනෙකුව වෙන් කර තැබුවා. ඒ සියලු ඊශ්‍රායෙල්වරුන්ගෙන් නියෝජනය කරන්නේ පොළොව මත සදාකල් ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින අයයි. ඉන් පැහැදිලි වන ආකාරයට මතෙව් 19:28හි සඳහන් ‘ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොසෙන්’ නියෝජනය වන්නේ යේසුස්ගේ අභිෂේක ලත් පූජකයන්ව නොව ඔහුගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තබන සියලුදෙනාවයි. *

9. එසකියෙල්ගේ දර්ශනයේ පූජකයන්ගෙන් හා සෙසු ජනයාගෙන් නියෝජනය වුණේ කවුරුන්වද?

9 අපි දැන් තවත් උදාහරණයක් එනම්, දේවමාලිගාව සම්බන්ධයෙන් එසකියෙල් දුටු දර්ශනය ගැන සලකා බලමු. (එස. 40-48 පරිච්ඡේද) එහි සේවය කරන පූජකයන්ට යෙහෝවා දෙවි උපදෙස් හා මඟ පෙන්වීම් දෙන ආකාරයත් පූජකයන් ඒවා ජනයාට ලබා දෙන ආකාරයත් එසකියෙල් දුටුවා. (එස. 44:23-31) ඒ වගේම විවිධ ගෝත්‍රවලට අයත් ජනයා දෙවිට නමස්කාර කිරීමට හා පූජා ඔප්පු කිරීමට දේවමාලිගාවට පැමිණෙනවා එසකියෙල් දුටුවා. (එස. 45:16, 17) එම දර්ශනයේදී පූජකයන්ගෙන් නියෝජනය වුණේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් වන අතර සෙසු ජනයාගෙන් නියෝජනය වුණේ පොළොව මත සදාකාල ජීවිතයක් බලාපොරොත්තුවෙන් සිටින අයවයි. පූජක පන්තියට අයත් අය සැබෑ නමස්කාරය වෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු කරන අතර පූජකයන් නොවන අය ඔවුන්ට සහයෝගය දක්වමින් එකමුතුව සේවය කරන ආකාරය එම දර්ශනයෙන් පැහැදිලි වෙනවා.

10, 11. (අ) වර්තමානයේදී ඉටු වන්නේ යේසුස් පැවසූ කුමන වචනද? (ආ) වෙනත් බැටළුවන් සම්බන්ධයෙන් පැන නඟින ප්‍රශ්නය කුමක්ද?

10 යේසුස්ද කණ්ඩායම් දෙකක් ගැන එනම්, තමාගේ අභිෂේක ලත් අනුගාමිකයන් වන “කුඩා රැළ” හා “වෙනත් බැටළුවන්” ගැන කතා කළා. (යොහ. 10:16; ලූක් 12:32) එම කණ්ඩායම් දෙක ගැන ඔහු මෙසේ පැවසුවා. “මම උන්ටද මඟ පෙන්විය යුතුයි. එවිට උන් මගේ හඬට කීකරු වෙනවා. උන් සියලුදෙනාම එක එඬේරෙක් යටතේ සිටින එක රැළක් වෙයි.” ඉන් පැහැදිලි වන්නේ අභිෂේක ලත් කුඩා කණ්ඩායමක් සමඟ වෙනත් බැටළුවන්ට අයත් විශාල පිරිසක් එකට එකතු වී දෙවිට සේවය කරන බවයි. එම වචන වර්තමානයේදී ඉටු වන ආකාරය දකින්න ලැබීම මොන තරම් දිරිගන්වන සුළු දෙයක්ද! (සෙකරියා 8:23 කියවන්න.) එසකියෙල් දුටු දර්ශනයේ සිටි පූජකයන් මෙන් වෙනත් බැටළුවන් දේවමාලිගාවේ ඇතුල් මළුවේ සේවය නොකළත් ඔවුන් පිටත මළුවේ සේවය කරනවා.

11 දැන් අපි වෙනත් බැටළුවන් සම්බන්ධයෙන් තවත් කාරණයක් සලකා බලමු. යෙහෝවා දෙවි වෙනත් බැටළුවන්ව සමහර අවස්ථාවලදී පූජකයන් නොවන ඊශ්‍රායෙල් සෙනඟට සමාන කරන නිසා ඔවුන්ටත් යේසුස්ගේ මරණය සිහි කිරීමේ උත්සවයේදී සංකේත භාවිත කළ හැකිද?

අලුත් ගිවිසුම

12. යෙහෝවා දෙවි අනාවැකි පැවසුවේ කුමක් ගැනද?

12 අලුත් ගිවිසුමක් ගැන යෙහෝවා දෙවි මෙවැනි අනාවැකියක් පැවසුවා. “ඒ කාලයට පසු මම ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ඇති කරගන්නා ගිවිසුම මෙයයි. මම මාගේ නීති ඔවුන්ගේ සිත්වල තබන්නෙමි. ඒවා ඔවුන්ගේ හදවත්වල ලියන්නෙමි. මම ඔවුන්ව මාගේ සෙනඟ ලෙස පිළිගෙන ඔවුන්ගේ දෙවි වන්නෙමි.” (යෙරෙ. 31:31-33) යෙහෝවා දෙවි ඇති කළ එම අලුත් ගිවිසුම මගින් ඔහු ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු කරනවා. එමගින් පෙළොවේ සියලු ජාතීන් සදාකාලික ප්‍රයෝජන ලැබීමට නියමිතයි.උත්පත්ති 22:18 කියවන්න.

13, 14. (අ) අලුත් ගිවිසුමේ හවුල්කරුවන් වන්නේ කවුද? (ආ) ඉන් ප්‍රයෝජන ලබන්නේ කවුද? ඒ සඳහා ඔවුන් කරන්නේ කුමක්ද?

13 තම මරණයට පෙර දින රාත්‍රියේ යේසුස් එම අලුත් ගිවිසුම ගැන මෙවැනි දෙයක් සඳහන් කළා. “මේ කුසලානයෙන් නියෝජනය වන්නේ ඔබ උදෙසා වගුරුවනු ලබන මගේ රුධිරයයි. අලුත් ගිවිසුම ස්ථිර වන්නේ මගේ රුධිරය මාර්ගයෙනුයි.” (ලූක් 22:20; 1 කොරි. 11:25) සියලුම ක්‍රිස්තියානීන් ඒ අලුත් ගිවිසුමට අයිති වෙනවාද? නැහැ. එහි හවුල්කරුවන් වන්නේ එදා යේසුස් සමඟ ඒ කුසලානයෙන් පානය කළ අය මෙන් සුළු පිරිසක් පමණයි. * එදිනම තම අභිෂේක ලත් අනුගාමිකයන් සමඟ යේසුස් තවත් ගිවිසුමක් ඇති කළා. (ලූක් 22:28-30) එමගින් අභිෂේක ලත් අයට යේසුස් සමඟ ඔහුගේ රාජ්‍යයේ හවුල් පාලකයන් වීමට අවස්ථාව ලැබුණා.—ලූක් 22:15, 16.

14 පොළොව මත සදාකල් ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින අය එම අලුත් ගිවිසුමට සම්බන්ධ වන්නේ කොහොමද? එම ගිවිසුමෙන් ප්‍රයෝජන ලබන්නේ ඔවුනුයි. (ගලා. 3:8, 9) ඔවුන් එහි හවුල්කරුවන් නොවුණත් එම ගිවිසුමේ සඳහන් නීතිවලට “එකඟව ජීවත්” වෙනවා. ඒ ගැන දෙවි මෙසේ පැවසුවා. ‘යෙහෝවා දෙවි වන මට සේවය කිරීම සඳහා මා වෙතට පැමිණ සිටින විදේශිකයන්ව එනම්, යෙහෝවා යන මාගේ නාමයට ප්‍රේම කරන, සබත කඩ නොකර මාගේ ගිවිසුමට එකඟව ජීවත් වන විදේශිකයන්ව මාගේ ශුද්ධ කන්දට ගෙන්වාගන්නෙමි. ඔවුහු මාගේ යාච්ඤා ගෘහයේදී මහත් ප්‍රීතියෙන් කල් ගෙවන්නෝය. මන්ද මාගේ ගෘහය, සියලු ජාතීන් සඳහා තිබෙන යාච්ඤා ගෘහයක් ලෙස හඳුන්වනු ලබයි.’—යෙසා. 56:6, 7.

සංකේත භාවිත කළ යුත්තේ කවුද?

15, 16. (අ) අලුත් ගිවිසුමේ හවුල්කරුවන් ගැන පාවුල් පැවසුවේ කුමක්ද? (ආ) පොළොව මත සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඇති අය යේසුස්ගේ මරණය සිහි කිරීමේ උත්සවයේදී සංකේත භාවිත නොකිරීමට හේතුව කුමක්ද?

15 අලුත් ගිවිසුමේ හවුල්කරුවන්ට “කිසි බියක් සැකක් නැතුව අතිශුද්ධස්ථානයට ඇතුල් වීමට අවස්ථාව උදා වී” තිබෙන බව පාවුල් පැවසුවා. එනම් ඔවුන්ට ස්වර්ගයට ඇතුල් වීමට අවස්ථාව උදා වී තිබෙනවා. (හෙබ්‍රෙව් 10:15-20 කියවන්න.) ඔවුන්ට හිමි වන්නේ “කිසි ලෙසකින්වත් සෙලවිය නොහැකි රාජ්‍යයක්.” (හෙබ්‍රෙ. 12:28) ඒ නිසා යේසුස්ගේ මරණය සිහි කිරීමේ අවස්ථාවේදී ‘කුසලානයෙන්’ පානය කළ යුත්තේ ඔහු සමඟ ස්වර්ගයේ රජවරු හා පූජකයන් ලෙස සිටීමට යන අය පමණයි. ඔවුන් බැටළු පැටවාගේ මනාලිය වීමටද නියමිතයි. (2 කොරි. 11:2; එළි. 21:2, 9) අනික් සියලුදෙනාම යේසුස්ගේ මරණය සිහි කිරීමේ උත්සවයට සහභාගි වන්නේ නිරීක්ෂකයන් ලෙස නිසා ඔවුන් එම සංකේත භාවිත කරන්නේ නැහැ.

16 අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට පාවුල් මෙසේ පැවසුවා. “ස්වාමීන් එන තාක් කල් ඒ රොටිය කන, ඒ කුසලානයෙන් බොන සෑම වතාවකදීම ඔබ ඔහුගේ මරණය ගැන ප්‍රකාශ කරනු ඇත.” (1 කොරි. 11:26) ස්වාමීන් පැමිණෙන්නේ කවදාද? තමාගේ මනාලියට අයත් අයගේ අවසන් සාමාජිකයාව ඔහුගේ නිවසට පිළිගන්න විටයි. (යොහ. 14:2, 3) පොළොව මත සදාකාල ජීවිතයක් බලාපොරොත්තුවෙන් සිටින අය යේසුස්ගේ මරණය සිහි කිරීමේ උත්සවයේදී සංකේත භාවිත නොකරන බව තේරුම්ගැනීමට පාවුල් ඉහත පැවසූ දේ අපට උපකාරවත් වෙනවා. ඔවුන්ට එම උත්සවයේදී සංකේත භාවිත කිරීමට අවස්ථාව තිබුණා නම් එම උත්සවය සදාකාලයටම පැවැත්වීමට සිදු වෙනවා. නමුත් එය එසේ සිදු වන්නේ නැහැ. ඒ වෙනුවට එම උත්සවය පැවැත්වෙන්නේ ස්ත්‍රියගෙන් පැවත එන “ඉතුරු අය” මේ පොළොවේ සිටින තාක් කල් පමණයි. ඔවුන් සියලුදෙනාම ස්වර්ගයට ගිය පසු තවදුරටත් එම උත්සවය පැවැත්වීම අවශ්‍ය වන්නේ නැහැ.—එළි. 12:17.

‘ඔවුහු මාගේ සෙනඟ වන්නෝය’

17, 18. එසකියෙල් 37:26, 27හි ඇති අනාවැකිය ඉටු වී තිබෙන්නේ කොහොමද?

17 තම සෙනඟ අතර ඇති එක්සත්කම ගැන යෙහෝවා දෙවි මෙසේ පැවසුවා. “මම ඔවුන් සමඟ සමාදානයේ ගිවිසුමක් ඇති කරන්නෙමි. ඒ ගිවිසුම සදහටම පවතිනු ඇත. මම ඔවුන්ව දේශයේ පදිංචි කරවා ඔවුන්ගේ ගණන මහත් සේ වැඩි කරන්නෙමි. ඔවුන් අතරෙහි මාගේ ශුද්ධස්ථානය සදහටම පිහිටුවන්නෙමි. මාගේ කූඩාරමද ඔවුන් අතරෙහි පිහිටුවන්නෙමි. මම ඔවුන්ගේ දෙවි වන්නෙමි. ඔවුහුද මාගේ සෙනඟ වන්නෝය.”—එස. 37:26, 27.

18 සමාදානය ගැන සඳහන් එම ශ්‍රේෂ්ඨ පොරොන්දුවෙන් එනම්, ගිවිසුමෙන් දෙවිගේ සියලුම සේවකයන් ප්‍රයෝජන ලබනවා. එවිට දෙවිගේ බලය ක්‍රියාත්මක වීමෙන් ඇති වන ගුණාංග ඔවුන් තුළ පැහැදිලිව දැකගත හැකියි. ඒ වගේම ඔවුන් පවිත්‍ර නමස්කාරයේද හවුල් වෙනවා. එය ‘දෙවිගේ ශුද්ධස්ථානය ඔවුන් අතර’ තිබෙනවා හා සමානයි. ඔවුන් සියලු ආකාරයේ රූප නමස්කාරය අත්හරිමින් යෙහෝවා දෙවිට පමණක් නමස්කාර කරන නිසා ඔහුගේ සෙනඟ වී තිබෙනවා.

19, 20. “මට අයිති සෙනඟ” කියා යෙහෝවා දෙවි හඳුන්වන අයට ඇතුළත් වන්නේ කවුද? අලුත් ගිවිසුම නිසා සිදු වී තිබෙන්නේ කුමක්ද?

19 වර්තමානයේදී කුඩා රැළ හා වෙනත් බැටළුවන් එක රැළක් මෙන් එක්සත්ව දෙවිට සේවය කරනවා දැකීම මොන තරම් හද දනවන්නක්ද! තමන්ට ස්වර්ගික බලාපොරොත්තුවක් නැතත් එම බලාපොරොත්තුව ඇති අය සමඟ ඇසුරු කිරීමෙන් මහත් සමූහය සතුටක් ලබනවා. ඔවුන් දෙවිගේ ඊශ්‍රායෙල් සමඟ එකතු වී සිටින නිසා යෙහෝවා දෙවි ඔවුන්වත් ‘තම සෙනඟ’ ලෙස සලකනවා. ඒ තුළින් මෙම අනාවැකියේ ඉටුවීම අපට පැහැදිලිව දැකගත හැකියි. “ඒ කාලයේදී, බොහෝ ජාතීහු යෙහෝවා දෙවි වන මා වෙතට එක් රැස් වී මට අයිති සෙනඟක් බවට පත් වන්නෝය. මමද ඔබ සමඟ වාසය කරන්නෙමි.”—සෙක. 2:11; 8:21; යෙසායා 65:22 සහ එළිදරව් 21:3, 4 කියවන්න.

20 යෙහෝවා දෙවි ඒ සියල්ල සිදු කරන්නේ අලුත් ගිවිසුම තුළිනුයි. ඒ ගිවිසුම නිසා බොහෝ ජාතීන්ට අයත් මිලියන ගණනක්දෙනා දෙවිගේ අනුමැතිය ඇති සෙනඟට එකතු වී තිබෙනවා. (මීකා 4:1-5) අලුත් ගිවිසුමේ ඇති නීතිවලට කීකරු වීමටත් ඒ තුළින් ලැබෙන සැපයුම්වලින් ප්‍රයෝජන ගැනීමටත් ඔවුන් අදිටන් කරගෙන සිටිනවා. (යෙසා. 56:6, 7) එසේ කිරීමෙන් ඔවුන් දෙවිගේ ඊශ්‍රායෙල් සමඟ එකතු වී දෙවිගේ සමාදානය භුක්ති විඳිනවා. දැනුත් සදාකාලයටත් ඔබටද එම සමාදානය අද්දකින්න හැකි වේවා!

[පාදසටහන්වල]

^ 8 ඡේ. ඒ හා සමානව “සභාව” යන වචනය භාවිත කරද්දීත් ඉන් මූලිකවම අදහස් කරන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීනුයි. (හෙබ්‍රෙ. 12:23) කෙසේවෙතත් එය සියලුම ක්‍රිස්තියානීන්ට අදාළ වන අවස්ථාද තිබෙනවා.—2007 මුරටැඹ අප්‍රියෙල් 15, 21-23 පිටු බලන්න.

^ 13 ඡේ. යේසුස් එම ගිවිසුමේ මැදිහත්කරු මිස එහි හවුල්කරුවෙක් නොවෙයි. ඒ නිසා ඔහු එම සංකේත භාවිත කළේ නැහැ.

ඔබට මතකද?

• ‘ඊශ්‍රායෙල් ගෝත්‍ර දොළොසෙන්’ නියෝජනය වන්නේ කවුරුන්වද?

• අභිෂේක ලත් අය සහ වෙනත් බැටළුවන් අලුත් ගිවිසුමට සම්බන්ධ වන්නේ කොහොමද?

• සෑම ක්‍රිස්තියානියෙක්ම යේසුස්ගේ මරණය සිහි කිරීමේ උත්සවයේදී සංකේත භාවිත කළ යුතුද?

• අනාවැකියකින් පවසා තිබුණේ කවුරුන් අතර ඇති වන එක්සත්කම ගැනද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[25වන පිටුවේ ප්‍රස්තාරය⁄පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

බොහෝදෙනා දෙවිගේ ඊශ්‍රායෙල් සමඟ එකතු වී සේවය කරනවා

73,13,173

40,17,213

14,83,430

3,73,430

1950 1970 1990 2009