Skip to content

පටුනට යන්න

බව්තීස්ම වීමේ අර්ථය ඔබ වටහාගෙන තිබෙනවාද?

බව්තීස්ම වීමේ අර්ථය ඔබ වටහාගෙන තිබෙනවාද?

බව්තීස්ම වීමේ අර්ථය ඔබ වටහාගෙන තිබෙනවාද?

‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්නා අයව බව්තීස්ම කරන්න.’—මතෙ. 28:19.

1, 2. (අ) ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී සිදු වුණේ කුමක්ද? (ආ) එදින බොහෝදෙනෙක් බව්තීස්ම වීමට හේතුව කුමක්ද?

ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේ පැවති උත්සවයට බොහෝ ප්‍රදේශවලින් පැමිණි ජනයාගෙන් යෙරුසලම පිරී පැවතුණා. එහිදී පේතෘස් ප්‍රබල කතාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විශේෂ දෙයක් සිදු වුණා. එය නම් යුදෙව්වන් හා යුදෙව් ආගමට හැරුණු 3,000ක් පමණ පිරිසක් ඔවුන්ගේ පව් ගැන පසුතැවිලි වී බව්තීස්ම වීමයි. එලෙස ඔවුන් අලුතෙන් පිහිටෙවූ ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් බවට පත් වුණා. (ක්‍රියා 2:41) එතරම් විශාල පිරිසක් බව්තීස්ම වන විට එහි යම් කලබලකාරී ස්වභාවයක් පවතින්න ඇති.

2 එදින විශාල පිරිසක් බව්තීස්ම වීමට හේතු වුණේ කුමක්ද කියා අපි බලමු. එදින උදෑසන “තද සුළඟක් හමන්නා සේ ශබ්දයක් අහසින්” ඇසුණා. ඒ අවස්ථාවේදී යෙරුසලමේ නිවසක උඩුමහලේ රැස්ව සිටි යේසුස්ගේ අනුගාමිකයන් 120දෙනාට දෙවිගේ බලය ලැබුණු නිසා ඔවුන් “විවිධ භාෂාවලින් කතා” කිරීමට පටන්ගත්තා. ඉන්පසු පේතෘස් පැවසූ, විශේෂයෙන් යේසුස්ගේ මරණය ගැන ඔහු සඳහන් කළ කාරණා අසාගෙන සිටි බොහෝදෙනෙකුට “හදවත පැලෙන තරම් වේදනාවක්” ඇති වුණා. ඔවුන් කළ යුතු දේ ගැන පේතෘස් මෙසේද පැවසුවා. ‘ඔබ සියලුදෙනා පසුතැවිලි වෙන්න. යේසුස් ක්‍රිස්තුස්ව පිළිගෙන බව්තීස්ම වෙන්න. එවිට ඔබට දෙවිගේ බලය නමැති දීමනාව නොමිලේ ලැබෙයි.’—ක්‍රියා 2:1-4, 36-38.

3. යුදෙව්වන් හා යුදෙව් ආගමට හැරුණු අය කළ යුතු වුණේ කුමක්ද?

3 පේතෘස්ගේ කතාවට සවන් දුන් යුදෙව්වන් හා යුදෙව් ආගමට හැරුණු අය විශ්වාස කළ දේවල් ගැන ටිකක් සිතා බලන්න. ඒ වන විටත් යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි ලෙස ඔවුන් පිළිගෙන තිබුණා. එමෙන්ම සියල්ල නිර්මාණය කිරීමට හා ඉන්පසුව දෙවි තම බලය යොදාගත් ආකාරයද ඔවුන් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි තුළින් දැන සිටියා. (උත්. 1:2; විනි. 14:5, 6; 1 සාමු. 10:6; ගීතා. 33:6) නමුත් ඔවුන් තවත් දෙයක් දැනගත යුතු වුණා. එනම් දෙවි ගැලවීම ලබා දෙන්නේ යේසුස් මාර්ගයෙන් බවයි. ඒ නිසා ‘යේසුස් ක්‍රිස්තුස්ව පිළිගෙන බව්තීස්ම’ වීමේ අවශ්‍යතාව පේතෘස් කාවැද්දුවා. ඉහත සිදුවීමට දින කිහිපයකට පෙර යේසුස්, පේතෘස්ට හා අනිකුත් අනුගාමිකයන්ට මෙසේ අණ කර තිබුණා. “පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්නා අයව බව්තීස්ම කරන්න.” (මතෙ. 28:19, 20) යේසුස් පැවසූ ඒ දේ එදා මෙන් අදටත් වලංගුයි. එහි අර්ථය දැන් අපි සලකා බලමු.

පියාණන්ව පිළිගැනීම

4. පෙන්තකොස්ත දවසෙන් පසු සිදු වූ වෙනස කුමක්ද?

4 පේතෘස්ගේ කතාව අසා සිටි අය ඒ වන විටත් දෙවිට නමස්කාර කරමින් හා දෙවි සමඟ මිත්‍රත්වයක් භුක්ති විඳිමින් සිටියා. ඒ වගේම ඔවුන් මෝසෙස්ගේ නීතියේ ඇති ආඥා පිළිපැදීමට උත්සාහ කරමින්ද සිටියා. ඔවුන් වෙනත් ප්‍රදේශවල සිට යෙරුසලමට පැමිණියේ ඒ නිසයි. (ක්‍රියා 2:5-11) නමුත් පෙන්තකොස්ත දවසෙන් පසු යෙහෝවා දෙවි තම විශේෂ ජාතිය වූ යුදෙව්වන්ව ප්‍රතික්ෂේප කළා. ඔවුන්ට දෙවිගේ අනුමැතිය ලබාගැනීමට තවදුරටත් මෝසෙස්ගේ නීතිය පිළිපැදීමට අවශ්‍ය වුණේද නැහැ. (මතෙ. 21:43; කොලො. 2:14) දෙවි සමඟ ඇති මිත්‍රත්වය දිගටම තබාගැනීමට නම් ඔවුන් කළ යුතු වූ දේ දැන් අපි බලමු.

5, 6. දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට පළමු ශතවර්ෂයේ සිටි අය කළේ කුමක්ද?

5 ඔවුන් කළ යුතුව තිබුණේ ජීවිතය ලබා දුන් තැනැත්තාගෙන් ඈත් වීම නොවෙයි. (ක්‍රියා 4:24) මන්ද ගැලවුම්කරු ලෙස යේසුස්ව එවීමෙන් ඔහුව මරණයට පත් කළ අයට පවා සමාව දීමට දෙවි කැමැත්තෙන් සිටියා. ඒ බව පේතෘස් පැවසූ මේ දෙයින් ඔවුන් දැනගත්තා. “මුළු ඊශ්‍රායෙල් ජාතියම දැනගත යුතු දෙයක් මම සඳහන් කරන්න කැමතියි. එනම් ඔබ කණුවක ඇණ ගසා මරා දැමූ ඒ යේසුස්ව, දෙවි දැන් ස්වාමීන් සහ ක්‍රිස්තුස් හැටියට පත් කර තිබෙනවා!” එමගින් යෙහෝවා දෙවි කොතරම් ත්‍යාගශීලී දෙවි කෙනෙක්ද කියා එදා පැමිණ සිටි අය වඩාත් හොඳින් අවබෝධ කරගත්තා. ඇත්තෙන්ම ඔවුන්ට දෙවි සමඟ නැවත මිත්‍රත්වයක් ඇති කරගැනීමට දෙවි මොන තරම් පරිත්‍යාගයක් කළාද!ක්‍රියා 2:30-36 කියවන්න.

6 යේසුස් තුළින් ගැලවීම ලබා දීමට අරමුණු කළේ යෙහෝවා දෙවි බව යුදෙව්වන් හා යුදෙව් ආගමට හැරුණු අය දැනගත්තා. දෙවිගේ අනුමැතිය ලබන්න නම් ඔවුන් එය පිළිගත යුතු වුණා. දැන හෝ නොදැන යේසුස්ව මරණයට පත් කිරීමට හවුල් වීමේ පාපය ඇතුලු ඔවුන්ගේ අනිකුත් පාප වෙනුවෙන් ඔවුන් පසුතැවිලි වුණේ ඒ නිසායි. ඉන්පසු ගත වූ දින කිහිපයේදී ඔවුන් “යේසුස්ගේ නියෝජිතයන් ඉගැන්වූ දේවලට හොඳ අවධානයක්” දුන්නෙත් ඒ නිසයි. (ක්‍රියා 2:42) එදා පටන්, “මහත් කරුණාව පෙන්වන තැනැත්තාණන්ගේ සිංහාසනය වෙතට ළඟා වී කිසි බියක් සැකක් නොමැතිව නිදහසේ ඔහුට යාච්ඤා කිරීමට” ඔවුන්ට හැකි වූ අතර එසේ කිරීමටද ඔවුන් මහත් ආශාවකින් සිටින්න ඇති.—හෙබ්‍රෙ. 4:16.

7. අද දින සිටින බොහෝදෙනා පියාණන්ව පිළිගෙන බව්තීස්ම වීම සඳහා කර තිබෙන්නේ කුමක්ද?

7 අද දින විවිධ ජාතීන්ට අයත් මිලියන ගණනක් ජනයා යෙහෝවා දෙවි ගැන ඉගෙනගෙන තිබෙනවා. (යෙසා. 2:2, 3) ඔවුන් අතර දෙවි කෙනෙක්ව විශ්වාස නොකළ අයද දෙවි කෙනෙක් ගැන විශ්වාසයක් තිබුණත් ඔහුට මිනිසුන් ගැන සැලකිල්ලක් නැති බව සිතන අයද සිටිනවා. ඔවුන් බයිබලය අධ්‍යයනය කිරීමෙන් නිර්මාණකරුවෙක් සිටින බවත් ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගත හැකි බවත් අවබෝධ කරගෙන තිබෙනවා. දෙවි ගැන ඉගෙනගෙන තිබෙන අය අතර දෙවි ත්‍රිත්වයක් බව විශ්වාස කළ අය හෝ රූපවලට නමස්කාර කළ අයද සිටිනවා. ඔවුන්ද බයිබලය අධ්‍යයනය කිරීමෙන් පසු සියලු බලය ඇති දෙවි යෙහෝවා බව දැනගෙන ඔහුගේ නම කියා යාච්ඤා කරනවා. පියාණන්ව පිළිගෙන බව්තීස්ම වීම සඳහා ඒ කාරණා දැන සිටීම අවශ්‍යයි.

8. තමන්ට පාපය උරුම වී ඇති බව තේරුම්ගත් පසු කෙනෙක් කළ යුත්තේ කුමක්ද?

8 යෙහෝවා දෙවි ගැන ඉගෙනගත් අය තවත් දෙයක් තේරුම්ගෙන තිබෙනවා. (රෝම 5:12) එනම් ඔවුන්ට පාපය උරුම වුණේ ආදම්ගෙන් බවයි. එය ඔවුන්ට අලුත් දෙයක් වුණත් ඔවුන් එය පිළිගන්න අවශ්‍යයි. තමාට තිබෙන අසනීපය ගැන නොදන්නා මිනිසෙකුට ඔවුන්ව සමාන කළ හැකියි. යම් වේදනාවක් ඔහුට ඉඳහිට ඇති වුණත් නිශ්චිත රෝගයක් තමන්ට තිබෙන බව නොදන්නා ඔහු තමන් හොඳ සෞඛ්‍ය තත්වයකින් පසුවන බව සිතනවා. නමුත් ඔහුගේ සැබෑ තත්වය ඔහුට තේරුම්ගත හැකි වන්නේ වෛද්‍ය පරීක්ෂණයක් කිරීමෙන් පසුවයි. (1 කොරින්ති 4:4 බලන්න.) එලෙස ඔහුට තිබෙන රෝගය කුමක්ද කියා දැනගත් පසු ඒ සඳහා ඇති හොඳම ප්‍රතිකාරය ලබාගැනීම ඥානවන්ත ක්‍රියාවක් නොවෙයිද? ඒ හා සමානව තමන්ට ‘රෝගයක්’ තිබෙන බව එනම්, තමන් පාපය උරුම කරගෙන තිබෙන බව බයිබලය අධ්‍යයනය කිරීමෙන් මිනිසුන් තේරුම්ගෙන තිබෙනවා. එ වගේම දෙවි ලබා දෙන ‘සුවය’ගැනද ඔවුන් ඉගෙනගෙන තිබෙනවා. ඒ නිසා පාපය නමැති රෝගයෙන් ‘සුවයක්’ ලැබීමට නම් සියලුදෙනා නැවත පියාණන් වෙතට හැරිය යුතුයි.—එෆී. 4:17-19.

9. මිනිසුන්ට තමා සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට උපකාර කිරීම සඳහා දෙවි කළේ කුමක්ද?

9 ඔබ දැනටමත් යෙහෝවා දෙවිට කැප වී බව්තීස්ම වී සිටිනවා නම් දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීම මොන තරම් වරප්‍රසාදයක්ද කියා ඔබ අවබෝධ කරගෙන ඇති. ඒ වගේම යෙහෝවා දෙවි කොතරම් ප්‍රේමණීය පියෙක්ද කියාත් ඔබ හොඳින් දන්නවා. (රෝම 5:8 කියවන්න.) අදම් සහ ඒව දෙවිට විරුද්ධව පව් කළත් ඔබ ඇතුලු ඔවුන්ගෙන් පැවත එන සියලුදෙනාට තමා සමඟ කිට්ටු මිත්‍රත්වයක් භුක්ති විඳීමට හැකි වන ලෙස මූලික පියවර ගෙන තිබෙන්නේ දෙවියි. ඒ සඳහා තම ප්‍රේමණීය පුත්‍රයා දුක් විඳ මිය යනවා දැකීමේ වේදනාව දරාගැනීමට ඔහුට සිදු වුණා. ඒ සියල්ල කළ දෙවි කෙරෙහි ඔබට ඇති වන ප්‍රේමය නිසා ඔහුට යටත් වී ඔහුගේ නීති පිළිපැදීමට ඔබ පෙලඹෙන්නේ නැද්ද! ඔබ තවමත් දෙවිට කැප වී බව්තීස්ම වී නැත්නම් එසේ කිරීම ගැන සිතා බැලීමට දැන් ඔබට හොඳ හේතු තිබෙනවා.

පුත්‍රයාව පිළිගැනීම

10, 11. (අ) ඔබ යේසුස්ට කොතරම් ණයගැතිද? (ආ) යේසුස්ගේ ජීවිත පූජාව ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

10 යෙරුසලමේ රැස්ව සිටි ජනයාට පේතෘස් පැවසූ දේ ගැන මොහොතකට සිතන්න. ‘පුත්‍රයාව පිළිගෙන’ බව්තීස්ම වීමේ වැදගත්කම ඔහු එහිදී කාවැද්දුවා. එය එදා සිටි අයට මෙන්ම අපටද වැදගත්. පුත්‍රයාව පිළිගෙන බව්තීස්ම වීමෙන් අදහස් කරන්නේ අපට දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට යේසුස් කර ඇති දේ තේරුම්ගැනීමයි. ඇත්තයි, යේසුස් වධ කණුවක් මත මිය යෑමෙන් මෝසෙස්ගේ නීතියෙන් ඇති වූ ශාපයෙන් යුදෙව්වන් නිදහස් වුණා. නමුත් ඔහුගේ මරණය නිසා බොහෝ ප්‍රයෝජන අපට ලැබෙනවා. (ගලා. 3:13) ඒ තුළින් මුළු මිනිස් වර්ගයාවම පාපයෙන් ගලවාගැනීමට හැකි වුණා. (එෆී. 2:15, 16; කොලො. 1:20; 1 යොහ. 2:1, 2) නමුත් ඒ සඳහා යේසුස්ට අයුක්තියට, අපහාසවලට හා වද වේදනාවලට මුහුණ දීමට මෙන්ම මිය යෑමට පවා සිදු වුණා. යේසුස් කළ පරිත්‍යාගය කොතරම් වටිනවාද කියා තේරුම්ගැනීම සඳහා අපි මේ උදාහරණය සලකා බලමු. ඔබ අවුරුදු 12ක් වයසැති පිරිමි ළමයෙක් කියා සිතන්න. වර්ෂ 1912දී අයිස් කන්දක් මත ගැටීම නිසා ගිලෙමින් පවතින ටයිටැනික් නැවේ ඔබ සිටිනවා. ඔබ ජීවිතාරක්ෂක බෝට්ටුවකට නැඟගැනීමට උත්සාහ කළත් එහි සෙනඟ පිරී සිටින නිසා ඔබට එය කළ නොහැකියි. නමුත් ඒ මොහොතේ ඒ බෝට්ටුවේ සිටි මිනිසෙක් තම බිරිඳගෙන් සමුගෙන ගිලෙමින් පවතින නැවට පැමිණ ඔබට ඒ ජීවිතාරක්ෂක බෝට්ටුවට ඇතුල් වීමට අවස්ථාව ලබා දෙනවා. ඔහු කළ දේ ගැන ඔබට හැඟෙන්නේ කොහොමද? ඔබේ ජීවිතය බේරාගැනීම ගැන ඔහු කෙරෙහි මොන තරම් ණයගැති බවක් ඔබට දැනෙයිද! ටයිටැනික් නැවේ සිටි එක් පිරිමි ළමයෙක් එම අද්දැකීමට ඇත්තටම මුහුණ දුන්නා. * නමුත් යේසුස් අප වෙනුවෙන් කළ දේ නිසා අපට සදාකාලයටම ප්‍රයෝජන ලැබෙනවා.

11 යේසුස් කළ ඒ දේ ගැන ඔබ මුලින්ම ඉගෙනගත් අවස්ථාවේදී ඔබට හැඟුණේ කොහොමද? (2 කොරින්ති 5:14, 15 කියවන්න.) ඔබට ඇති වූ ණයගැතිභාවය නිසා දෙවිට කැප වී, ‘ඔබ වෙනුවෙන් ජීවත් නොවී, ඔබ වෙනුවෙන් මිය ගිය තැනැත්තා උදෙසා ජීවත් වීමට’ ඔබ පෙලඹුණා. යේසුස්ව පිළිගෙන බව්තීස්ම වීමට ඔහු ඔබ වෙනුවෙන් කර තිබෙන දේවල් අගය කිරීම හා “ජීවනය ලබා දීමට පත් කර ඇති ප්‍රධාන තැනැත්තා” ලෙස ඔහුගේ අධිකාරියට යටත් වීම ඇතුළත් වෙනවා. (ක්‍රියා 3:15; 5:31) දෙවිට කැප වීමට පෙර ඔබට දෙවි සමඟ මිත්‍රත්වයක් හා ජීවිතයට සැබෑ බලාපොරොත්තුවක් තිබුණේද නැහැ. නමුත් යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තබමින් බව්තීස්ම වූ නිසා ඔබට දැන් පියාණන් සමඟ කිට්ටු මිත්‍රත්වයක් තිබෙනවා. (එෆී. 2:12, 13) ඒ ගැන පාවුල් මෙසේ පැවසුවා. “ඔබේ මනස් දුෂ්ට ක්‍රියාවලට යොමු වී තිබූ නිසා ඔබ කලක් දෙවිගෙන් ඈත් වී ඔහුගේ සතුරන්ව සිටි බව සැබෑය. නමුත් තම මිනිස් ජීවිතය මරණය උදෙසා පරිත්‍යාග කළ [යේසුස්] මාර්ගයෙන් තමන් සමඟ සමාදාන වීමට දෙවි දැන් අවස්ථාව උදා කර තිබේ. ඔහු එසේ කළේ ඔබට ශුද්ධ, නිකැළැල් සහ නිදොස් අය ලෙස තමන් ඉදිරියේ සිටීමට හැකි වීම සඳහාය.”—කොලො. 1:21, 22.

12, 13. (අ) පුත්‍රයාව පිළිගෙන බව්තීස්ම වී සිටින කෙනෙක් අන් අයට සමාව දෙන්නේ ඇයි? (ආ) එවැනි කෙනෙකුට ඇති වගකීම කුමක්ද?

12 යේසුස් ඔබ වෙනුවෙන් තම ජීවිතය පූජා කළත් ඔබ තවමත් පාපය උරුම කරගෙන සිටින බව ඔබ හොඳින්ම දන්නවා. එය මතක තබාගැනීම එදිනෙදා ජීවිතයේදී ඔබට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වෙයි. කෙනෙක් ඔබේ සිත රිදෙව්වා කියා සිතන්න. ඔබ දෙදෙනාම පව්කාරයන් වන නිසා ඔබ දෙදෙනාටම දෙවිගෙන් සමාව අවශ්‍ය වන අතර ඔබ දෙදෙනාම එකිනෙකාටද සමාව දිය යුතුයි. (මාක් 11:25) මේ කරුණ කාවැද්දවීම සඳහා යේසුස් උපමාවක් භාවිත කළා. එහිදී ස්වාමියෙක් තමාට තලෙන්ත දස දහසක් (එනම් ඩිනාරි 6,00,00,000) ණයව සිටි දාසයෙකුව ඒ ණයෙන් නිදහස් කළා. නමුත් එම දාසයා තමාට ඩිනාරි 100ක් ණයව සිටි සෙසු දාසයෙකුගේ ණය අවලංගු කිරීමට කැමති වුණේ නැහැ. එම උපමාව පහදා දීමෙන් යේසුස්ට අවශ්‍ය වුණේ කෙනෙක් තම සහෝදරයාට සමාව දුන්නේ නැත්නම් ඔහුට යෙහෝවා දෙවිගෙන් සමාව නොලැබෙන බව අවධාරණය කිරීමටයි. (මතෙ. 18:23-35) එසේනම් පුත්‍රයාව පිළිගෙන බව්තීස්ම වීමට යේසුස්ගේ ආදර්ශය අනුකරණය කිරීම හා ඔහුගේ ඉගැන්වීම් පිළිපැදීමද අයත් වෙනවා. ඊට එකිනෙකාට සමාව දීම ගැන යේසුස් ඉගැන්වූ දෙයද ඇතුළත්.—1 පේතෘ. 2:21; 1 යොහ. 2:6.

13 ඔබට පාපය උරුම වී තිබෙන නිසා යේසුස්ගේ ආදර්ශය පූර්ණ ලෙස අනුකරණය කිරීමට හැකියාවක් නැහැ. නමුත් ඔබ මුළු හදවතින්ම දෙවිට කැප වී ඇති නිසා හැකි උපරිමයෙන් යේසුස්ගේ ආදර්ශය අනුකරණය කිරීමට ආශාවෙන් සිටින බව ස්ථිරයි. ඊට පරණ පෞද්ගලිකත්වය අහක දමා අලුත් පෞද්ගලිකත්වය පැළඳගැනීමට නොකඩවා වෑයම් කිරීමද ඇතුළත් වෙනවා. (එෆීස 4:20-24 කියවන්න.) ඔබට හුඟක් කිට්ටු මිත්‍රයෙක් සිටිනවා කියා සිතන්න. ඔහුගේ හොඳ ආදර්ශය හා ගතිගුණ අනුකරණය කිරීමට ඔබ නිතැතින්ම පෙලඹෙනවා. ඒ හා සමානව ක්‍රිස්තුස්ගෙන් ඉගෙනගෙන ඔහුගේ ආදර්ශය අනුකරණය කිරීමට ඔබ පෙලඹෙන බව ස්ථිරයි.

14. දේවරාජ්‍යයේ රජ ලෙස යේසුස්ගේ කාර්යය තේරුම්ගෙන තිබෙන බව ඔබ පෙන්වන්නේ කොහොමද?

14 පුත්‍රයාව පිළිගෙන බව්තීස්ම වීමෙන් අදහස් කරන දේ ඔබ තේරුම්ගෙන ඇති බව පෙන්විය හැකි තවත් ආකාරයක් අපි බලමු. “දෙවි ඔහුගේ පාදවලට සියල්ල යටත් කර සභාවේ ප්‍රයෝජනය උදෙසා [යේසුස්ව] සියලු දේවල් කෙරෙහි හිස ලෙස පත්” කළා කියා බයිබලයේ සඳහන් වෙනවා. (එෆී. 1:22) ඒ නිසා යෙහෝවා දෙවිට කැප වී සිටින අයට යේසුස් මඟ පෙන්වන බව ඔබ පිළිගත යුතුයි. යේසුස් පාපය උරුම කරගත් මිනිසුන්ව ඔහුගේ සභාවේ වැඩකටයුතු වෙනුවෙන් යොදාගන්නවා. එසේ කිරීමෙන් ‘ශුද්ධ තැනැත්තන්ව නිවැරදි මාර්ගයට ගෙන ඒමටත් ක්‍රිස්තුස්ගේ ශරීරය ගොඩනැඟීමටත්’ හැකි වෙනවා. (එෆී. 4:11, 12) උරුම කරගත් පාපය නිසා කෙනෙකු අතින් වරදක් සිදු වුණොත් දේවරාජ්‍යයේ රජ වන යේසුස් තමන්ට කැමති කාලයේදී හා සුදුසු ආකාරයට එය නිවැරදි කරනවා. ඔබ එය විශ්වාස කරනවාද?

15. බව්තීස්ම වීමෙන් ඔබට බලාපොරොත්තු විය හැකි ආශීර්වාද මොනවාද?

15 යෙහෝවා දෙවිට කැප වී බව්තීස්ම නොවූ බොහෝදෙනෙක් අප අතරේ සිටිනවා. ඔබ එවැනි කෙනෙක් නම් යේසුස් කර ඇති දේවල් වෙනුවෙන් ඔබගේ අගය පෙන්විය හැකි හොඳම ක්‍රමය ඔහුව පිළිගෙන බව්තීස්ම වීම බව ඔබට පැහැදිලි වන්න ඇති. එසේ කිරීමෙන් ඔබට ආනාගතයේදී අනගි ආශීර්වාද බොහෝමයක් භුක්ති විඳීමට අවස්ථාව ලැබෙනවා.යොහන් 10:9-11 කියවන්න.

දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය පිළිගැනීම

16, 17. දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය පිළිගෙන බව්තීස්ම වීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

16 දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය පිළිගෙන බව්තීස්ම වීමෙන් අදහස් කරන්නේ කුමක්ද? කලින් සඳහන් කළ ලෙස පේතෘස්ගේ කතාවට සවන් දුන් අයට දෙවි තම බලය යොදාගන්නා ආකාරය ගැන අවබෝධයක් තිබුණා. ඔවුන් ඒ අවස්ථාවේදීත් එය අද්දැක්කා. මන්ද ඔවුන් ඉදිරියේ කතා කරමින් සිටි පේතෘස්, ‘දෙවිගේ බලය ක්‍රියාත්මක වී විවිධ භාෂාවලින් කතා කරන්න පටන්ගත්’ අය අතර සිටි කෙනෙක්. (ක්‍රියා 2:4, 8) එසේනම් දෙවිගේ බලය පිළිගෙන බව්තීස්ම වන කෙනෙක් දෙවි තම අරමුණ ඉටු කිරීමට එම බලය යොදාගන්නා ආකාරය අවබෝධ කරගන්නවා.

17 ඔබ දෙවිගේ බලය ගැන පැහැදිලි අවබෝධයක් ලබාගත්තේ බයිබලය අධ්‍යයනය කිරීමෙන් පසුවයි. උදාහරණයක් ලෙස ශුද්ධ ලියවිල්ල දෙවිගේ බලයේ මඟ පෙන්වීම යටතේ ලියැවුණු බවත් ‘දෙවිගේ බලය ඉල්ලන අයට ඔහු එය දෙන’ බවත් ඔබ අවබෝධ කරගෙන තිබෙනවා. (2 තිමෝ. 3:16; ලූක් 11:13) ඒ වගේම දෙවිගේ බලය ඔබගේ ජීවිතය තුළ ක්‍රියා කරන ආකාරයද ඔබ දැනටමත් අද්දැක තිබෙන්න පුළුවන්. ඔබ ඉදිරියේදී බව්තීස්ම වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් පියාණන් ඔහුගේ බලය ලබා දෙන බවට යේසුස් දුන් පොරොන්දුවට අනුව ඔබට බොහෝ ආශීර්වාද ලැබෙන බව ස්ථිරයි.

18. දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය පිළිගෙන බව්තීස්ම වීමෙන් ලැබෙන ආශීර්වාද මොනවාද?

18 අද දින යෙහෝවා දෙවි ක්‍රිස්තියානි සභාවට අවශ්‍ය මඟපෙන්වීම් ලබා දෙන්නේ ඔහුගේ බලය මාර්ගයෙනුයි. අප එදිනෙදා කරන වැඩකටයුතුවලදීත් අපට අවශ්‍ය උපකාර ලබා දීමට දෙවිගේ බලයට හැකියි. ඒ අනුව දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය පිළිගෙන බව්තීස්ම වීමෙන් අදහස් කරන්නේ එම බලය අපගේ ජීවිත තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිගැනීම හා ඉන් ලබා දෙන මඟපෙන්වීම් වටිනා දෙයක් ලෙස සලකා කැමැත්තෙන්ම ජීවිතයට අදාළ කරගැනීමයි. යෙහෝවා දෙවිට කළ කැප වීමට එකඟව ජීවත් විය හැකි ආකාරය ගැනත් ඊට ඔහුගේ බලයේ උපකාර ලැබෙන ආකාරය ගැනත් අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[පාදසටහන]

^ 10 ඡේ. වර්ෂ 1981 ඔක්තෝබර් 22 පිබිදෙව්! කලාපයේ 3-8 පිටු බලන්න. (සිංහලෙන් නැත.)

ඔබට මතකද?

• පියාණන්ව පිළිගෙන බව්තීස්ම වීමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

• පුත්‍රයාව පිළිගෙන බව්තීස්ම වීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

• පියාණන්ව හා පුත්‍රයාව පිළිගෙන බව්තීස්ම වීමේ වැදගත්කම ඔබ අගය කරන බව පෙන්වන්නේ කොහොමද?

• දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය පිළිගෙන බව්තීස්ම වීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූර]

ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසෙන් පසු යේසුස්ගේ අනුගාමිකයන් හා පියාණන් අතර ඇති වූ සම්බන්ධය කුමක්ද?

[හිමිකම් විස්තර]

By permission of the Israel Museum, Jerusalem