Skip to content

පටුනට යන්න

තත්වයන් වෙනස් වුණත් දෙවිට විශ්වාසවන්ත වන්න

තත්වයන් වෙනස් වුණත් දෙවිට විශ්වාසවන්ත වන්න

තත්වයන් වෙනස් වුණත් දෙවිට විශ්වාසවන්ත වන්න

ඔබ නොසිතූ ආකාරයෙන් ඔබේ ජීවිතයේ තත්වයන් වෙනස් වී ඇති. සමහරවිට ඉදිරියේදී එවැනි තත්වයකට මුහුණ දීමට ඔබට සිදු වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබට උපකාර කරන ගුණාංග මොනවාද කියා තේරුම්ගැනීමට සැබෑ ජීවිත අද්දැකීම් කිහිපයක් සෝදිසි කර බලමු.

උදාහරණයකට දාවිත්ට ඔහුගේ ජීවිතයේ නොසිතූ ආකාරයේ දේවලට මුහුණ දීමට සිදු වුණා. සාමුවෙල් ඔහුව රජ ලෙස අභිෂේක කරන විට ඔහු බැටළුවන් බලාගන්නා කොලු ගැටයෙක්. යෞවන වයසේ සිටියදී ඔහුට පිලිස්තීය යෝධයා සමඟ සටන් කිරීමට සිදු වුණා. (1 සාමු. 17:26-32, 42) ඉන්පසු සාවුල් රජ තම මාලිගාවේ ජීවත් වීමට ඔහුට ආරාධනා කළ අතර ඔහුව තම හමුදාවේ ප්‍රධානියා ලෙසද පත් කළා. මේ දක්වා මුහුණ දීමට සිදු වූ හා ඉදිරියේදී මුහුණ දීමට සිදු වන තත්වයන් දාවිත් කිසි දිනක අපේක්ෂා නොකරන්න ඇති.

කාලයක් ගත වීමෙන් පසු සාවුල් රජ දාවිත්ට වෛර කිරීමට පටන්ගත්තා. (1 සාමු. 18:8, 9; 19:9, 10) පසුව සාවුල්ගෙන් තම ජීවිතය බේරාගැනීම සඳහා තැනින් තැනට පලා යෑමට දාවිත්ට සිදු වුණත් කාලයත් සමඟම ඔහු ඊශ්‍රායෙලයේ රජ බවට පත් වුණා. ඉන්පසුවත් ඔහුට ජීවිතයේ විශාල වෙනස්කම්වලට මුහුණ දීමට සිදු වුණා. විශේෂයෙන්ම එය සිදු වුණේ ඔහු අනාචාරයේ යෙදීමෙන් හා ඒ වරද වසාගැනීම සඳහා මිනීමැරීමක් සිදු කිරීමෙන් පසුවයි. නමුත් ඔහු පසුතැවිලි වූ නිසා යෙහෝවා දෙවි ඔහුට සමාව දුන් අතර ඒ නිසා දෙවි සමඟ තිබූ මිත්‍රත්වය නැවත ඇති කරගැනීමට ඔහුට හැකි වුණා. කෙසේනමුත් ඔහු කළ වරද නිසා ඔහුගේ පවුලේ අයටද විපත්වලට මුහුණ දීමට සිදු වුණා. ඔහුගේම පුතා වන අබ්සලොම් ඔහුට විරුද්ධව කැරලිගැසුවා.—2 සාමු. 12:10-12; 15:1-14.

අපටද නොසිතූ ආකාරයේ දේවලට මුහුණ දීමට සිදු වෙන්න පුළුවන්. උදාහරණයකට සෞඛ්‍යය ගැටලු, ආර්ථික ප්‍රශ්න හෝ පවුලේ ගැටලුවලට මුහුණ දීමට සිදු වෙනවා. එවැනි දේවලට ඔබට මුහුණ දීමට සිදු වන්නේ ඔබම කළ යම් දෙයක් නිසා වෙන්න පුළුවන්. ඊට මුහුණ දීමට ඔබට උපකාර කරන්නේ කුමන ගුණාංගද?

යටහත්පහත්කම

යටහත්පහත් කෙනෙක් නිතරම තමා සිටින තත්වය තේරුම්ගන්නා අතරඅන් අයගේ හැකියාවන් හා යහපත් ගුණාංග අගය කරනවා. නොසිතූ ආකාරයේ දේවලට මුහුණ දීමට සිදු වන හේතුවත් ඊට මුහුණ දිය හැකි ආකාරයත් තේරුම්ගැනීමට යටහත්පහත් පුද්ගලයෙකුට හැකියි.

සාවුල්ගේ පුත් යොනතාන්ගේ යටහත්පහත්කම ගැන අපි දැන් සලකා බලමු. ඔහුට නොසිතූ ආකාරයේ දේවලට මුහුණ දීමට සිදු වුණේ ඔහුම කළ දේවල් නිසා නොවෙයි. තම පියා වූ සාවුල්ගේ අකීකරුකම නිසයි. සාවුල්ගේ වැරදිවලට යොනතාන් වග කිව යුතු නැති වුණත් සාවුල්ව රජකමෙන් ඉවත් කළ පසු යොනතාන්ට රජකම ලැබුණේ නැහැ. (1 සාමු. 15:28; 16:1, 12, 13; 20:30, 31) ඒ වෙනුවට දෙවි තෝරාගත්තේ දාවිත්වයි. යොනතාන් තමන්ට රජකම අහිමි වූ නිසා දාවිත්ට වෛර කළාද? නැහැ. දාවිත්ට වඩා වයසින් හා අද්දැකීම් වැඩි වුණත් යොනතාන් දාවිත්ට සම්පූර්ණ සහයෝගය දුන්නා. (1 සාමු. 23:16-18) ඊට හේතුව ඔහු ‘තමන් ගැන වුවමනාවට වඩා නොසිතීමයි.’ (රෝම 12:3) යෙහෝවා දෙවි තමන්ගෙන් බලාපොරොත්තු වන දේ යොනතාන් තේරුම්ගත් අතර දෙවි ගෙන තිබූ තීරණයට ඔහු ගරු කළා.

එක පිට එක ප්‍රශ්න ගැටලු පැමිණෙන විට ඊට මුහුණ දීම එතරම් ලෙහෙසි දෙයක් නොවෙයි. යොනතාන්ටද එවැනි තත්වයකට මුහුණ දීමට සිදු වුණා. ඔහුට යෙහෝවා දෙවිව ප්‍රතික්ෂේප කළ තම පියා වූ සාවුල් සමඟ හා අනාගත රජ ලෙස දෙවි විසින් අභිෂේක කළ දාවිත් රජ සමඟ කටයුතු කිරීමට සිදු වුණා. ඔවුන් දෙදෙනා යොනතාන්ට සමීපව සිටි නිසා ඔහුට එය ඉතා දුෂ්කර දෙයක් වූවා විය හැකියි. ඒ නිසා ඔවුන්ගෙන් පක්ෂව සිටිය යුත්තේ කාටද යන්න ගැන තීරණය කිරීමටද ඔහුට සමහර අවස්ථාවලදී අසීරු වන්න ඇති. ඒ අතරතුර දෙවි සමඟ ඇති මිත්‍රත්වය රැකගැනීමටද ඔහුට අවශ්‍ය වුණා. අපටද නොසිතූ ආකාරයේ දේවලට මුහුණ දීමට සිදු වන විට අනාගතය ගැන බියක් ඇති විය හැකියි. නමුත් යෙහෝවා දෙවි ඒ දෙස බලන ආකාරය තේරුම්ගැනීමෙන් එම තත්වයට හොඳින් මුහුණ දෙන්නත් ඔහුට විශ්වාසවන්තව සේවය කරන්නත් අපට පුළුවන්.

යටහත්පහත්කම වැදගත් වන්නේ ඇයි?

යටහත්පහත් කෙනෙක් තමන්ට කළ හැකි දේවලට සීමාවක් තිබෙන බව තේරුම්ගන්න අවශ්‍යයි.

දාවිත් යටහත්පහත්කම සම්බන්ධයෙන් අපට හොඳ ආදර්ශයක්. යෙහෝවා දෙවි ඔහුව රජ ලෙස තෝරාගෙන තිබුණත් රජකම ලබාගැනීම සඳහා ඔහුට වසර ගණනාවක් බලා සිටීමට සිදු වුණා. ඊට හේතු මොනවාද කියා යෙහෝවා දෙවි දාවිත්ට පැවසූ බව බයිබලයේ සඳහන් වන්නේ නැහැ. නමුත් දෙවි එය නිවැරදිව හසුරුවන බව දාවිත් දැන සිටියා. ඒ නිසා ඔහු එය ගැටලුවක් කරගත්තේ නැහැ. තමාට කළ හැකි දේවලට සීමාවක් තිබෙන බවද දාවිත් අවබෝධ කරගෙන සිටියා. සාවුල්ගෙන් තම ජීවිතය ආරක්ෂා කරගැනීමට දාවිත්ට සිදු වුණත් ඔහුව මරා දැමීමට දාවිත් අකමැති වුණේ ඒ නිසයි. ඒ වගේම ඔහු එසේ කිරීමට අබිෂයිට ඉඩ දුන්නේද නැහැ.—1 සාමු. 26:6-9.

අපගේ සභාවේ යම් කාරණයක් නිවැරදිව හසුරුවා නැති බව අපට වැටහෙන්න පුළුවන්. නැත්නම් එය සිදු වුණේ ඇයි කියා සම්පූර්ණයෙන්ම අපට නොතේරෙනවා විය හැකියි. එවැනි අවස්ථාවක යේසුස් සභාවේ නායකයා බවත් ඔහු වැඩිමහල්ලන් තුළින් සභාවේ දේවල් හසුරුවන බවත් අප යටහත්පහත්ව පිළිගන්නවාද? යෙහෝවා දෙවි සමඟ ඇති මිත්‍රත්වය දිගටම තබාගැනීම සඳහා යේසුස් තුළින් අවශ්‍ය මඟ පෙන්වීම් සපයන තුරු අප ඉවසීමෙන් බලා සිටිනවාද?—හිතෝ. 11:2.

යටහත්පහත් වීමේ ඇති ප්‍රයෝජන

යටහත්පහත් අය ඉක්මනින් කෝප වෙන්නේ නැහැ. එවැනි කෙනෙක් තව කෙනෙක් කරන දෙයක් නිසා ඇති වන වේදනාව දරාගන්නා අතර පළිගැනීමට උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා යටහත්පහත්කම වර්ධනය කරගැනීමට දැඩි වෑයමක් දැරීම අවශ්‍යයි. ‘දේශයේ වසන නිහතමානී සියල්ලෙනි, නිහතමානීව කටයුතු කිරීමට වෙර දරන්න’ කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි. (ශෙප. 2:3) කෙනෙක් යටහත්පහත් නම් ඔහු තුළ යහපත්කම හා මෘදුකම වැනි ගුණාංග තිබෙනවා. එවැනි කෙනෙක් තමාට ලැබෙන පුහුණුව හා මඟ පෙන්වීම් පිළිගන්නා නිසා ඔහුට ක්‍රිස්තියානියෙකු ලෙස දියුණු වීමටද හැකියි.

ජීවිතයේ නොසිතූ ආකාරයේ දේවලට මුහුණ දීමට යටහත්පහත්කම අපට උපකාරවත් වන්නේ කොහොමද? බොහෝදෙනා එවැනි අවස්ථාවලදී කලකිරෙනවා. නමුත් යෙහෝවා දෙවිගෙන් අපට යම් පැතිවලින් පුහුණුවක් ලැබීමට එවැනි තත්වයක් වුවත් අවස්ථාවක් කරගත හැකියි. ඒ සම්බන්ධයෙන් අපි මෝසෙස්ගේ ආදර්ශය සලකා ලබමු.

මෝසෙස්ට වයස අවුරුදු 40ක් වන විටත් ඔහු බොහෝ යහපත් ගතිගුණ විදහාපෙන්නුවා. ඔහු දෙවිගේ සෙනඟගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වූ අතර ඕනෑම පරිත්‍යාගයක් කිරීමටද ඉදිරිපත් වුණා. (හෙබ්‍රෙ. 11:24-26) ඒ වුණත් ඔහුව ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා කිරීමට පෙර ඔහුට තවදුරටත් නිහතමානීකම වර්ධනය කරගැනීමට අවශ්‍ය වුණා. ඔහුට ඊජිප්තුවෙන් පලා ගොස් මිදියන් දේශයේ අවුරුදු 40ක් ජීවත් වීමට සිදු වුණා. එහිදී ඔහුට ඊජිප්තුවේ රජ පවුලේ කෙනෙකු ලෙස පිළිගැනීමක් තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔහු කටයුතු කළේ එඬේරෙකු ලෙසයි. මෝසෙස්ගේ ජීවිතයේ නොසිතූ ආකාරයෙන් දේවල් වෙනස් වීමෙන් සිදු වුණේ ඔහු වඩා හොඳ පුද්ගලයෙක් බවට පත් වීමයි. (ගණන්. 12:3) ඒ නිසා ඔහු තමාට කැමති දේවල් කරනවා වෙනුවට දෙවි කැමති දේවල් කළා.

ඊශ්‍රායෙල්වරුන්ගේ අකීකරුකම නිසා ඔවුන්ව ප්‍රතික්ෂේප කර මෝසෙස්ගෙන් පැවත එන අයගෙන් විශාල ජාතියක් බිහි කරන බව යෙහෝවා දෙවි මෝසෙස්ට පැවසුවා. ඒ අවස්ථාවේදී මෝසෙස් පැවසූ දෙයින් ඔහුගේ යටහත්පහත්කම අපට තේරුම්ගත හැකියි. (ගණන්. 14:11-20) ඔහු පැවසූ දෙයින් පැහැදිලි වුණේ ඔහු යෙහෝවා දෙවිගේ නාමය හා තම සහෝදරයන්ගේ යහපත වෙනුවෙන් මිස ඔහුගේම යහපත වෙනුවෙන් ක්‍රියා නොකළ බවයි. ඒ ජාතියේ නායකයා හා මැදිහත්කරු ලෙස කටයුතු කිරීමට එවැනි යටහත්පහත් කෙනෙකු අවශ්‍ය වුණා. ආරොන් හා මිරියම් මෝසෙස්ට විරුද්ධව කළ අපහාසවලට ඔහු ඉවසිලිවන්තව මුහුණ දෙන්න ඇති. මන්ද ඔහු ගැන ඒ වාර්තාවේ සඳහන් වන්නේ මෙලෙසයි. “පොළොවේ ජීවත් වූ අන් සියලු මනුෂ්‍යයන්ට වඩා මෝසෙස් මෘදු ගුණැති කෙනෙක්.” (ගණන්. 12:1-3, 9-15) මෝසෙස් ඒ අවස්ථාවේදී කෝප වී කටයුතු කළා නම් කුමක් සිදු වනු ඇද්ද කියා ඔබට සිතා ගත හැකිද?

අපි මෝසෙස් සම්බන්ධ තවත් සිද්ධියක් සලකා බලමු. එක් අවස්ථාවක මනුෂ්‍යයන් කිහිපදෙනෙකුට දෙවිගේ බලයේ උපකාරය ඇතුව අනාවැකි කීමට හැකියාව ලැබුණා. නමුත් අනාගතවක්තෘවරුන් ලෙස කටයුතු කිරීම ඒ පුරුෂයන්ගේ වගකීම නොවූ බව යොෂුවාට හැඟුණා. මෝසෙස් ඒ කාරණය දෙස බැලුවේ යෙහෝවා දෙවි බලන ආකාරයටයි. ඔහු යටහත්පහත් කෙනෙකු වූ නිසා තමාගේ අධිකාරිය අඩු වීම ගැන කනස්සලු වුණේ නැහැ. (ගණන්. 11:26-29) ඔහු යටහත්පහත් කෙනෙකු නොවුණා නම් යෙහෝවා දෙවි ඇති කළ ඒ වෙනස පිළිගනී කියා ඔබ සිතනවාද?

යෙහෝවා දෙවි මෝසෙස්ට තවත් බාරදූර වගකීමක් පැවරුවා. දෙවි මෝසෙස්ට හොරෙබ් කන්දට පැමිණ සියලු ඊශ්‍රායෙල්වරු ඉදිරියේ පෙනී සිටින ලෙස පැවසුවා. ඉන්පසු දේවදූතයෙකු යොදාගෙන මෝසෙස් මාර්ගයෙන් දෙවි ඊශ්‍රායෙල්වරුන්ට තම නීති මාලාව ලබා දුන්නා. එලෙස දෙවි මැදිහත්කරු ලෙස මෝසෙස්ව යොදාගත්තත් ඔහු උඩඟු නොවී දිගටම දෙවිගේ අනුමැතිය ලබාගෙන කටයුතු කළේ යටහත්පහත් කෙනෙකු වූ නිසයි.

අපගේ තත්වය කුමක්ද? අපගේ දියුණුවටද යටහත්පහත් වීම අත්‍යවශ්‍ය දෙයක්. යෙහෝවා දෙවිගේ සෙනඟ අතර සිටින වගකීම් දරන හා විශේෂ පැවරුම් ලබා සිටින අය යටහත්පහත් අය විය යුතුයි. එවිට උඩඟු නොවී ඔවුන්ගේ වගකීම ඉටු කිරීමට ඔවුන්ට හැකියි. ජීවිතයේ විවිධ තත්වයන්ට මුහුණ දෙන විට අප ඊට ප්‍රතිචාරය දක්වන ආකාරය වැදගත්. එම තත්වය පිළිගෙන යටහත්පහත්කම වර්ධනය කරගැනීමට එය අවස්ථාවක් කරගනිමු. එවිට අපට ක්‍රිස්තියානීන් ලෙස දියුණු විය හැකියි.

නොසිතූ ආකාරයේ දේවලට මුහුණ දීමට සිදු වන විට ඊට හේතුව අපට නොතේරෙනවා වෙන්න පුළුවන්. අපට කළ හැකි දේවල් සීමා සහිත වන නිසාත් එවැනි අවස්ථාවකට මුහුණ දීමේදී ඇති වන පීඩනය නිසාත් ඒ දෙස දෙවි බලන ආකාරයට බැලීමට අපහසු විය හැකියි. ඒ වුණත් ඊට හොඳින් මුහුණ දී දෙවි සමඟ ඇති අපගේ මිත්‍රත්වය දිගටම තබාගැනීමට යටහත්පහත් කෙනෙක් වීම අපට බොහෝ සේ උපකාරවත් වෙයි.

[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අප සිටින තත්වය තේරුම්ගැනීමට යටහත්පහත්කම අපට උපකාරයක්

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

යටහත්පහත්කම අපගේ දියුණුවට අත්‍යවශ්‍ය දෙයක්

[5වන පිටුවේ පින්තූරය]

මෝසෙස්ට මුහුණ දීමට සිදු වූ දේවල් නිසා ඔහුට වඩාත් යටහත්පහත් කෙනෙක් වීමට හැකි වුණා